නව අරහාදී බුදුගුණ

විකිපීඩියා වෙතින්
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

සම්මා සම්බුදුවරුන්ගේ අනන්ත වූ ගුණ මෙනෙහි කිරීමේ පහසුව සඳහා මුලික වූ ගුණ නවයක් නිතර මෙනෙහි කරමින් බෞද්ධයෝ සිත පහදවා ගනිති. බුදුගුණ පෙළෙහි දක්වා ඇත්තේ

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්න සුගත ලෝක විදූ
අනුත්තරෝ පුරිස ධම්ම සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවා

යනුවෙනි.බුදු ගුණ 9 කි.අරහං බුදු ගුණය බුදුගුණාලංකාරය මෙසේ කවියකින් විස්තර කොට ඇත .


රහසත් පව් නොකො ට කෙලෙසරයනුත් දුරුකො ට නිසි වූයෙන් පුද ට අරහ යන නම කියති මුනිදු ට

1. අරහං[සංස්කරණය]

ආරකත්තා - හතත්තා ච කිලේසාරීන සෝ මුනි
හතසංසාර චක්කාරො - පච්චයාදීන චාරහෝ
න රහෝ කරෝති පාපානි – අරහං තෙන වුච්චති
(විසුද්ධි මග්ග)
ආරකත්තා - කෙලෙසුන්ගෙන් දුරුව සිටිනා බැවින් ද
හතත්තා ච කිලේසාරීන - කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද
හතසංසාර චක්කාරෝ - සංසාර චක්‍රයාගේ ගරාදි සිඳ දැමූ හෙයින් ද
පච්චයාදීන චාරහෝ - චීවරාදි ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද
න රහෝ කරෝති පාපානි - රහසින්වත් පව් නොකළ හෙයින් ද
අරහං නම් වේ.

2. සම්මා සම්බුද්ධ[සංස්කරණය]

දුක,දුක හට ගැනීම , දුක නැති කිරීම සහ දුක නැති කරන මාර්ගය යන ආර්ය සත්‍ය හතර තමන් විසින්ම අවබෝධ කරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වේ.

3. විජ්ජා චරණ සම්පන්න[සංස්කරණය]

අෂ්ට විද්‍යාවන්ගෙන් සහ පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වන බැවින් විජ්ජා චරණ නම් වේ.
අෂ්ට විද්‍යා
  1. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය - විදර්ශනා ඥානය (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නා වූ විදර්ශනා ඥානයන්ගෙන් ද)
  2. චුතූපපාත ඥානය - සත්වයින්ගේ චුති උප්පත්ති දැකියහැකි ඥානය
  3. සෘද්ධිවිධ ඥානය - අහසින්යෑම, දිය මත ඇවිදීම, පොලොවේ කිමිදී යෑම, ගිනිමත සිටීමේ හැකි ඥානය
  4. දිබ්බ ශ්‍රෝත ඥානය - දුර පවතින ශබ්ද , යන්ත්‍ර වලටවත් අසුනොවන සියුම් ශබ්ද ආදිය ඇසීමේ ඥානය
  5. පරචිත්ත විජානන ඥානය - අනුන්ගේ සිත් කියවීමේ ඤාණය
  6. පුර්වෙනිවාසානුස්සති ඥානය - අනන්ත වූ පෙර භවයන් දැකියහැකි ඤාණය
  7. දිබ්බ චක්කු ඥානය - දිව ඇස්. ඕනෑම දුරක පවතින දෙයක් දැකීමේ ඥානය
  8. ආසවක්ෂය ඥානය - ආසාව ක්‍ෂය කරන ඥානය යන අටයි
පසළොස් චරණ ධර්ම
  1. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය - චීවරය දැරීමට අවශ්‍ය වන නීති රීති රකිමින් දරන සීලය
  2. ඉන්ද්‍රිය සංවර ශීලය - ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රිය සංවර කර ගනිමින් දරන සීලය
  3. භෝජනයෙහි මාත්‍රඥතාව - භෝජනයේ පමණ දැනීම
  4. ජාගරියානු යෝගය - නිදිවරා කෙළෙස් තවන නුවණ
  5. ශ්‍රද්ධාව -තම සිතින්ම තුනුරුවන් කෙරෙහි ඇති වන චිත්තප්‍රසාදය.
  6. හිරිය - අකුසලයට අති ලැජ්ජාව
  7. ඔත්තප්පය - අකුසලයට ඇති බය
  8. බහුශ්‍රැත භාවය - බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව
  9. වීර්යය -
  10. ස්මෘතිය - සතර සතිපට්ඨානය පිළිබඳ සිහි නුවණ
  11. ප්‍රඥාව - සියලු පරමාර්ථ සත්‍යයන්ගේ අනිච්ච දුක්ඛ අනත්ථ ස්වභාවයහි අවබෝධය
  12. ප්‍රථම ධ්‍යානය - විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා
  13. ද්විතීය ධ්‍යානය - විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා
  14. තෘතීය ධ්‍යානය - ප්‍රීති සුඛ ඒකාග්‍රතා
  15. චතුර්ථ ධ්‍යානය - සුඛ ඒකාග්‍රතා

4. සුගත[සංස්කරණය]

ප්‍රධාන අර්ථ දෙකකි
සු + ගත (ගමනාර්ථය)
සු + ගත (වචනාර්ථය)
කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තලමතානුයෝගය යන අන්තයන්ට නොවැටී මධ්‍යම ප්‍රතිපදාව නම් වූ මඟහි ගමන් කළ හෙයින් සුගත නම් වේ. පළමු අර්ථ විවරණය අනුව මනා වූ සහ නිවැරැදි වූ ගමන් ඇති හෙයින් සුගත නම් වේ.
දෙවැන්න සුහද හෙවත් සුගත යන්නයි. ලොවට වැඩ ඇති නිධානයක්‌ බඳු වචනම (නිධාන වතිං වාචං) නිරන්තරයෙන් වදාළ හෙයින්ද, ප්‍රිය මනාප වචන ව්‍යවහාර කළ හෙයින් ද, සත්‍ය එලෙසම මිස වෙනත් අයුරකින් නොවන හෙයින්ද, කිසිවකුටත් දෙසු දහම් වෙනස්‌ කළ නොහැකි හෙයින්ද, වචනයයෙන් පවසන දේම ක්‍රියාවටද නඟන හා ක්‍රියාවට නඟන දේ පමණක්‌ වචනයෙන් පවසන හෙයින් සුගත නම් වේ.

5. ලෝකවිදු[සංස්කරණය]

මුළු විශ්වයම සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය ලෙස ත්‍රිවිධ ක්ෂේත්‍රයක් යටතේ අවබෝධ කර ගත් නිසා ලෝකවිදූ විය. මේ අනුව විශ්වය තුළ ජීවින් සිටින ලෝක, සකස් වෙමින් පවතින ලෝක, විනාශ වෙමින් පවතින ලෝක අනන්ත අප්‍රමාණව තිබේ. බුද්ධ දේශනාව ලෝක විෂය අචින්ත්‍ය බවයි. පෘථිවිට දිස්වන ඉර හඳ හා තාරකාවලට අමතරව, අපට නොපෙනෙන සූර්යයන් හා චන්ද්‍රයන් විශ්වයේ අප්‍රමාණ සංඛ්‍යාවක් පවතීන බවත් ලෝක ධාතු ගැන සංස්කාර ධර්මයේදේශනා කොට ඇත. ලෝක විෂය පිළිබඳ සම්මුතීන් වශයෙන් හැදෑරීම පාරක් තෙරක් නොමැති බවයි. විශ්වය පුරාවටම ඇත්තේ පරමාර්ථ ධර්ම 82කි. බඹයක් පමණ වූ තම ශරීරය තුලින් පරමාර්ථ ධර්ම 82කම අවබෝධ කල හැකි ක්‍රම වේදය පහදා දි ඇත.

6. අනුත්තරෝ පුරිසධම්ම සාරථි[සංස්කරණය]

උන්වහන්සේට වඩා ගුණයෙන් උසස් කිසිවෙක් තුන්ලොවෙහිම නැති හෙයින්ද,උන්වහන්සේට සමාන කෙනකුත් තුන්ලොවෙහිම නැති හෙයින්ද, අනුත්තර නම් වන සේක. හික්මවිය යුතු පුද්ගලයන් ධර්මයෙන් හික්මවිය හැකි බැවින්ද ධර්මයෙන් දමනය කළ හැකි බැවින්ද පුරිස දම්ම සාරථි නම් වන සේක.
  • .බුදුන් වහන්සේ ලෝකයේ වෙනත් කිසිවෙකුට සමාන නොවන අයුරින් දමනය කල යුතු පුද්ගලයින් දමනය කල හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි නම් වන සේක. උන් වහන්සේ එම දමනය කිරීම් දඩුවමින් හෝ ආයුද වලින් සිදු නොකලහ. එම දමනය කිරීම් සිදු කලේ කරුණාවෙන් හා ප්‍රඥාවෙනි. අංගුලිමාල,ආලවක,සච්චක ආදී දරුණු පිරිස් මෙන්ම නාලාගිරි,නන්දෝපනන්ද,වැනි දරුණු සත්වයන්ද ආලවක,සුචිරෝම,ඛරරෝම ආදී අමනුෂ්‍යයන් ද දමනය කලේ මෙම අසම සම දමනය කිරිමේ හැකියාව තුළිනි.

7. සත්ථා දේව මනුස්සානං[සංස්කරණය]

සත්ථා යනු ශාස්තෘ යන්නයි. දෙවිමිනිසුන් සහිත ලෝකයාට අනුශාසනා කරන්නේ යැයි යන අරුතින් සත්ථා නම් වේ. එලෙස දෙව් මිනිසුනට සසර කතරින් එතෙර වන්නට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන බැවින් ද සියලු පූජාවන්ට සුදුසු වන බැවින්ද සත්ථා දේව මනුස්සානං නම් වේ.

8. බුද්ධ[සංස්කරණය]

බුද්ධ යන වචනයෙන් අවබෝධ කළ යන්න අදහස් වේ. අවබෝධ කරගත් ධර්මය ඒ ආකාරයෙන්ම අන්‍යයන්ට අවබෝධ කරවීමට සමත් වන දේශනා ඥාණය ද ඇති බැවින් බුද්ධො නම් වන සේක.

9. භගවා[සංස්කරණය]

භාග්‍යවන්ත බව - පාරමී ධර්ම පුරමින් එක්රැස් කල මහා ගුණ සමුදාය නිසා භාග්‍යවන්ත වූ හෙයින් භගවා නම් වන සේක.

භගවාති වචනං සෙටඨං - භගවාති පද මුත්තමං
ගරු ගාරව යුත්තෝ සෝ -භගවා තේන වුච්චති
"භගවා වචනය ශ්‍රේෂ්ඨවූ භගවා පදය උතුම්වූ ගරු බුහුමන් කල යුතු ලෙස භගවා ගැන කියමි1
[1]
දිව්‍ය, බ්‍රහ්ම,මනුෂ්‍ය, නාග සුපර්ණාදී සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය උතුම්ය. එමෙන්ම ලෝකයේ වැඳුම් පිදුම් ලබන ශ්‍රේෂ්ඨයන් පවා ගරු බුහුමන් ලබන්නා වූ යන අරුත් දේ.
විශුද්ධි මාර්ගයට අනුව
  1. ඉස්සරිය[1] - ඓශ්චර්ය
  2. ධම්ම - ධර්ම
  3. යස - යස
  4. සිරි - ශ්‍රී
  5. කාම - කාම
  6. පයතන - ප්‍රයත්න
යන භාග්‍යයන් හයකින් යුක්තවූ අරුත දේ.

1. ඉස්සරිය හෙවත් ඓශ්චර්ය භාග්‍යය
ඉසුරු බවයි. තම සිත තමා කැමති පරිදි හැසිරවිය හැකි බවයි. අන්‍යයන්ගේ සිත් ද තමා කැමති පරිදි හැසිරවිය හැකි බවයි. කෙළෙස් වලින් සපිරුණු අන් කිසිවෙකුටත් මෙසේ කල නොහැකි බැවින් මෙම ගුණය චිත්තේශවර ගුණය නම් වේ. චිත්තේශවර ගුණය නිසා සමාධි සම්පත්තීශ්වර බවද, ධර්මේශ්වර බවද, සෘද්ධීශ්වර බවද, ගණේශ්වර බවද, සංඝේශ්වර බවද ලෝකයාට ම අධිපති බැවින් ලෝකේශ්වර බව ද වලින්ද යුක්තවේ.
තවද ලාභ අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප දුක් යන අටලෝ දහමින් කම්පා නොවන ගුණයද චිත්තේශ්වර බව නිසා ඇතිවන ගුණයකි.
ඓශ්චර්ය භාග්‍යය බැඳී පවතින සෘද්ධිමය ස්වභාවය හා පවතින ලක්‍ෂණ අටකි[1]
  1. අනිමා - තම ශරීරය ඉතාම කුඩා කිරීමට හැකි බව. අබ ඇටයක් තරම් කුඩා වූ ප්‍රමාණයක තුන් සිව්රු දරමින් සතර ඉරියව් පැවැත්විය හැකි බව.
  2. මහිමා - අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකට ශරීරය විශාල කළ හැකි බව.
  3. පත්ති - ඈත දුරකට වුවද, පිට සක්වලකට වුවද එක්කළ අතක් දික්කරන කාලය තුළදී ගොස් ආපසු පැමිණිය හැකි බව.
  4. පාකම්ම – ගිනි, දිය, සුළං ආදිය ක්‍ෂණයකින් නිර්මාණය කොට ප්‍රාතිහාර්ය පෑහැකි බව.
  5. ලඝිමා - සිතට අනුකූල අයුරින් කය කැමති පරිදි ඕනෑම අවස්ථාවක ක්‍රියා කරවිය හැකි බව මෙන්ම සැහැල්ලු කළ හැකි බව.
  6. ඊසිතා - තුන් ලෝකයේ සියලු දෙනා මිනිස් දෙව් බඹුන් ආදී සැම තම වසඟයට ගත හැකි බව.
  7. වසිතා - ඕනෑම අරමුණක් අගසිට මුලටත්, මුල සිට අගටත් ධ්‍යාන වලට සමවැදි මෙනෙහි කල හැකි බව.
  8. යත්ථ කාම වසායිතා - ඕනෑම කාලයකදී ඕනෑම ප්‍රදේශයක කැමති පරිදි ප්‍රාතිහාර්ය පෑ හැකි බව
යන මේවා ඓශ්චර්යය භාග්‍යයෙහි විශේෂ හැකියාවෝ වෙති.
2. ධර්ම භාග්‍යය
ධර්මයෙහි සුවිශේෂ ගුණාංගවලින් සමන්විතව ධ්‍යාන අභිඥාන වලින් පෝෂිතව, ෂඩ් අසාධාරණ ඤාණ දරන බැවින් ධර්ම ඓශ්චර්යයෙන් යුතු බව.
3. යස භාග්‍යය
විවිධ ස්වරූපයෙන් පවතින පැතිරී ගිය කීර්තිය, පරිවාර සම්පත්තිය යස භාග්‍ය යන ගුණය වේ. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක, උපාසිකා දිව්‍ය බ්‍රහ්ම නාග ආදීන්ගේ ගරු බුහුමනට ලක් වෙමින් ඒ පිරිස් ඒ අවස්ථාවල පිරිවරමින් වැඩ සිටීමට පසුබිම සැළසී තිබීම යස ඓශ්චර්යයි.
4.. ශ්‍රී භාග්‍යය
රූප සොභාවයි. දකින්නන්ගේ මන නුවන් සනහා ලන රූප ශ්‍රීයක් තිබුණි. පැහැපත් බව, පිරිසුදු බව, ඉරියව් පැවැත්වීම, කතා කිරීම, සිනාසීම, බැලීම, යානාදී සියලු ක්‍රියාවලින් මෙම භාග්‍ය ලක්‍ෂණයෝ ප්‍රකට වෙති. දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණ, අසීති අනුවෘඤය ලක්‍ෂණ, කේතුමාලාලංකාර, බණමප්‍රභා, ආදී සුවිශේෂී ලක්ෂණ වලින් යුක්ත වූ බැවින් ද මෙම ගුණය තවද ප්‍රකට කෙරේ. දීඝ නිකායේ ලක්‍ඛණ සූත්‍රය හා මජ්ඣිම නිකායේ බ්‍රාහ්මායුෂ සූත්‍රය මෙම ලක්‍ෂණ පිළිබඳව විස්තර කෙරෙ. සිරුරෙහි සෝභාව කෙබඳුද යත් වක්කලී හිමියන් බුදු සිරුරට වසඟව නිතර නිතර බලමින් ක්‍රියා කළ ආකාරය නිදසුනකි.
5. කාම භාග්‍යය
තම සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් කැමති පරිදි ඉටුකර ගැනීමට හැකි බවයි. ආත්මාර්ථ ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉටුකර ගත්තාක් මෙන්ම පරාර්ථ ප්‍රාර්ථනා අතර අසංඛ්‍ය විසිහතරක් සත්වයන් සසර කතරින් එතෙර විය. රිසි පරිදි ආත්මාර්ථ පරාර්ථ සේවය සිදු කළ හැකිවීම කාම භාග්‍යය නම් වේ.
6. ප්‍රයත්න භාග්‍යය
ප්‍රයත්න නම් උත්සාහයයි. ආත්මාර්ථය හා පරාර්ථය පරමාර්ථ කරගත් උත්සාහය නිසා බුද්ධත්වයට පත්විය. දැඩි උත්සාහයත් වීර්යයත් නිසා බුද්ධ කෘත්‍යය කිරීමට හැකි විය. මෙම ප්‍රයත්නය වෙනත් කෙනෙකුට දැරිය නොහැකිය. මෙසේ වූ මහා ප්‍රයත්නයක් දැරීමට හැකිවීම ප්‍රයත්න භාග්‍ය නම් වේ.
  1. 1.0 1.1 භගවා ගැන, http://www.lakehouse.lk/budusarana/2012/05/05/tmp.asp?ID=vision10, ප්‍රතිෂ්ඨාපනය 2015-06-02 
"https://si.wikipedia.org/w/index.php?title=නව_අරහාදී_බුදුගුණ&oldid=653689" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි