දෙගල්දොරුව රජ මහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
දෙගල්දොරුව රජ මහා විහාරය
Degaldoruwa cave temple.jpg
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

දෙගල්දොරුව රජ මහා විහාරය මහනුවර අමුණුගම නම් ග්‍රාමයේ පිහිටා තිබේ. සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත (එබැවින් දෙගල්දොරුව නම්‍ වු) විහාරය, මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලබයි.

ඉතිහාසය[සංස්කරණය]

කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1782) ගල්මඬුව විහාරය කරවමින් සිටියදී එතුමන්ට අනුහස් සහිත වු මෙම ස්ථානස පිළිබඳව සැල වී ගල්මඬුව විහාර කර්මය අතර මඟ නතර කර මෙය ඇරඹු බව පැවසේ.[1] අනතුරුව මෙහි වැඩ ඵතුමන්ගේ සොයුරු ශ්‍රී රාජාධි රාජසිංහ රජු ක්‍රි:ව 1786 දී නිමකර මොරතොට ධම්මබුද්ධ හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරූ බව විහාර සන්නසේ දැක්වේ.[2]

දිගින් දොළොස් රියනක් සහ අට රියනක් පළලින් යුත් ලෙනක් කැණ දහඅට රියනක් දිගින් සැතපෙන බුදු පිළිමයක් පිහිටි ගලින්ම මතුකර සායම් කරමින් නිර්මිත මෙම විහාරයේ සිතුවම් කටයුතු දේවේන්ද්‍ර මූලාචාරී ප්‍රමුඛ උපසම්පදා නොලත් දෙවරගම්පළ සිල්වත්තැන, නීලගම පටබැඳි සහ කොස්වත්තේ සිත්තර නයිදේ ලවා කරවා ඇත්තේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ බවද පැවසේ.[2] දිනක් මෙහි සිත්තරෙකු වු දෙවරගම්පළ සිල්වත්තැන සිතුවම් කරමින් සිටින විට තම ගෝලයා යැයි සිතා රජු අතට දුන් බුලත්හපයක් පවා, රජු අතට ගෙන විසිකර ඇති බවද පැවසේ. මෙයින්ද පෙනෙන්නේ රජු සිතුවම් කෙරෙහි දෑක්වු උනන්දුවයි. ධම්ම බුද්ධ හිමිට රාජාධි රාජසිංහ රජු මෙය පූජා කර ඇත්තේ ගුරු පඬුරක් ලෙසිනැයිද පැවසේ.

මෙහි දහඅට රියන් පිළිමය නෙළීමට වසර 20ක් පමණ ගතව ඇත. වෙහෙරෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බවත් පැවසෙන අතර දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත. මෙහි ගර්භ ගෟහයට ඇතුළුවීමට නෙළා ඇති කේතු ආකාර සඳකඬ පහනේ ප්‍රධාන මෝස්තරය තිරිඟි තලයයි. මෙයද පිහිටි ගලින්ම නෙළා ඇති අතර නුවර යුගයේ දර්ශ්‍නීයතම සඳකඩ පහනකි. අන්තරාලයේ විශාල ගල් කුළුණු 12ක් මතින් පියස්ස දරා සිටින අතර මේවාද බිතුසිතුවමින් අලංකෘතය. විහාරය ඇතුළත දුර්ලභ ගණයේ දැවමය මකර තොරණකි.

සිතුවම්[සංස්කරණය]

මේ සියල්ල අභිබවා දෙගල්දොරුව අමරණීයව ඇත්තේ එහි ගර්භ ගෟහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතක කමාරපරාජය සිතුවමත් මහාසීලව, සත්තුභත්ත යන ජාතක කතාත් ප්‍රමුඛ මහනුවර යුගයේ සිතුවම් රැස නිසාය. මෙහි සිතුවම් අතරින් වෙස්සන්තර,සුතසෝම ජාතක කතා නිරූපණයේදී කලා කරුවාගේ ආවේශය සහ නිර්මාණශීලී ප්‍රකාශනය විශිෂ්ඨත්වයෙන් අගතැන්පත් වේ.

මාර පරාජය සිතුවම[සංස්කරණය]

තුවක්කුව අතින් ගත් මාරයින් දැක්වෙන මාරපරාජය සිතුවම

දෙගල්දොරුවේ වියන් චිත්‍රයක් වූ මාර පරාජය සිතුවම, බොහෝ වියතුන්ගේ නොමද අවධානය දිනාගත් සිතුවමක් වේ. එහි වූ සුවිශේෂිත්වය වන්නේ භයංකාර මාරයාට විසුළු ස්වරූපයක් ලබා දී තිබීමත්, මාරයන්ගේ දුනු ඊතල හෙලි අතරට තුවක්කු ද යොදා තිබීමත් වේ. මාරපරාජයේ තුවක්කුව අතින් ගත් මාරයින් කාළීන අධිරාජ්‍යවාදී බලපෑමට සියුම් විරෝධයක් දැක්වීමට යොදාගෙන ඇති බවට සිතිය හැකි වේ. මාරපරාජයේ හිස් පහක් සහ ඔටුණු පහක් සහිත මාරයාගේ ද සෙසු මාරයින්ගේද ජුගුප්සාජනක බව හොඳින් නිරූපිතය.

කලාකරුවන් අමන්දානන්දයට පත් කළ, විවේචකයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ වෙස්සන්තර සහ සුතසෝම ජාතක තාවන්ගේ විශේෂී නිරූපණ කිහිපයක් විමසා බැලීම යෙහෙකැයි සිතේ. මෙහි වෙසතුරු ජාතකයේ අලි ඇතුන් දන්දීම, භාණ්ඩ දන්දීම, ළිඳ ළඟ කළහය, ජූජක බමුණා සැඟවී සිටීම සහ සුතසෝම ජාතකයේ රුක්දෙවියාට බිළි දීමට බැඳ දමා ඇති කුමරුවන්, සිව්රඟසෙන් පැරදවීම යනාදිය මේ අතරින් සුවිශේෂී වේ. අලි ඇතුන් දන්දීම යන අවස්ථාවේ රූප සම්පිණ්ඩණය සහ සමබරතාවය ඉතා උසස් බවක් ගනී. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ජීවිතයට සම්බන්ධ අවස්ථා ජාතක කතා තුළින් නිරූපිත බවට අනුමාන කෙරේ. තද වර්‍ණ මිටි රූ සහිත මෙම සිතුවම් මහනුවර යුග සිතුවම් කලාවේ විශ්මයකි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "දෙගල්දොරුව පුරාණය". දිවයින. 2009.10.21. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6.  Check date values in: |access-date=, |date= (help)
  2. 2.0 2.1 "සොදුරු රූ මවන දෙගල්දොරුව රජ මහ වෙහෙර". බුදුසරණ. 2013.7.16. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6.  Check date values in: |access-date=, |date= (help)