ද්වාරය:සමාජය/Selected article

විකිපීඩියා වෙතින්

අටපට්ටම සහ බුදු මග


අෂ්ඨලෝක ධර්මතාවය විවරණය කරමින් බෞද්ධයාගේ මහා මංගල්‍යයයේ දී ආමිස පූජාවක් ලෙස නිර්මාණය කරන මුඛ්‍ය නිර්මාණය වන අටපට්ටම කලාත්මක දර්ශනීය අර්ථපූර්ණ නිමැවුමකි. අටපට්ටම් මේ නම ආරෝපණයේ පටන්ම ගැබ්වන හර පද්ධතියක් වේ. මේ වෙසක් සමයේ ඒ පිළිබඳ දැනුවත්වීම යම් සමාජ ශෝධනයකට හේතු වනු ඇතැයි හඟිමි. උණබටයකින් සව්කොළකයින් කෙරෙන මෙම නිර්මාණයේ ආරම්භයේ පටන්ම වෙසක්සමයේ අවසන දක්වාම විහිදයන දිගු අරුත් විවරණයක් වේ. ඒ කෙසේදැයි විමසා බලමු. (කියවීමේ/අවබෝධයේ පසුව උදෙසා එකිනෙක කෙටි සටහනින් ඉදිරිපත් කරමි.) 1. උණබටයක් තෝරා ගැනිම.


පඳුරට හානියක් නොවනසේ උණබටයක් කපා ගැනීම සාමාන්ය සිරිතයි. නමුත් විශාල උණගස් වැඩිමට දීර්ඝ කාලයක් වැයවේ. හොඳින් මේරූ ගසක් කපා ගැනීමට මෙහිදී අපි පර්වේශම් වෙමු. සම්පූර්ණ ගසම එක් නිවස්නකට අවශ්‍ය නොවන බැවින් ඉතිරිය අසල්වැසියා සමග බෙදාගන්නට අපි පුරුදු වීමු. ස්වභාවධර්මයේ යමක් උකහාගන්නේ නම් එය ඊට හානි නොවන අයුරින් උකහාගතයුතුය, එමෙන්ම මේරූ උණගසක් තෝරාගැනීමෙන් පරිණතබව හා ශක්තිමත්ය යන්න අරුත්ගන්වයි. කපා ගැනීම යනු අවිනිශ්චිතභාව සංඛේතවත් වීමකි. ඉතිරිය අසල්වැසියා සමග බෙදා ගැනීම සහජීවනය සහ අරපිරිමැස්ම ඉගැන්වීමකි. 2. පතුරු සැකසීම


සීරුවට බටය පලා ගැනීම සහ ඒවා සුද්ධ කර සමාන කොටස් විසිහතර කට කපා ගැනීම සහ සෑම පතුරු කොටසකම දෙකෙලවර සුමට කර බැඳීමට හැකිවනසේ සැකසීම. එලැඹි සිහියෙන් කටයුතු කිරීම මෙහීදී මොනවට පැහැදිලි වේ. සීරුවට මෙම කාර්ය නොකරන්නට තුවාල සිදුවීමට ඇති දැඩි අවදානම මීට දෙස්දෙයි. දෙකෙලවර සුමට කිරීම සහ පතුරු විසිහතර තුලින් ඉදිරි සැළැස්ම සහ ඊට උචිත පූර්ව සූදානම දැකිය නොහැකිවේද? 3. කූඩු බැඳීම සහ සැකිල්ල


බන්ධනයට වඩාත් සුදුසු ඔට්ටපාළු (රබර් ගස්වලින් ගනු ලබන රබර් පට්ටා විශේෂයක්) හෝ සුදුසු ආදේශකයක් සොයාගෙන කූඩු බැඳීම. මෙය බොහෝවිට පවුලේ සියලුදෙනා හෝ අවම වශයෙන් පවුලක පහල පෙල සහ අසල්වාසී පවුල්වල පහලපෙල එක්ව කරන්නකි. සහජීවනය සමානාත්මතාව මෙමගින් නිරතුරුව ගොඩනැගේ. මෙසේ නිර්මාණය කරන සැකිල්ල බෞද්ධ දර්ශනය පසක් කරයි. ශක්තිමත් සැකිල්ලක් නොවන තැන අනාගතය ස්ථාවර නොවේය, යන පොදු ධර්මතාව එයයි. එහිදි බන්ධන ඉතා ශක්තිමත් නොවුවහොත් අරමුණකරා ගමන්කල නොහැකිය යන්න පැහැදිලිව පෙනේ. එමෙන්ම කවුරුත් දන්නා පරිදි අෂ්ඨලෝක ධර්මතාව නිරූපණයවේ. ඒ කෙසේදැයි දන්නවාද? කවුරුත් කියන නිසා කීවාට දන්නවාද...? ත්රිකෝණ අටෙන් එය නිරූපණයවේ. එම ත්රිකෝණ මුණතට මුණත පිහිටා තිබීමෙන් එය මනාව විවරණය වේ. සැප දුක ; ලාභ -අලාභ ; නින්දා ප්රසංශා ; යස අයස යන්නෙන් කම්පා නොවිය යුතුය යන්න බෞද්ධ දර්ශනයේ ඉගැන්වීමයි. එසේනම් ප්රධාන කොටු හතර? ඔව් එයටත් අනන්‍ය අර්ථයකි. එනම් ජාති ; ජරා ; ව්‍යාධි ; මරණ යන සතරයි. ජීවිතයේ සැබෑ ස්වභාවය සතර ව්‍යාපාධයෙන් පසක් කෙරේ. හිස්ව පවතින උඩ යට කොටු? එම කොටු වලින් අත්හැරීම, විනිවිදභාවය, හරසුන් හිස්බව සහ නිර්වාණය අර්ථවත් කෙරේ. ජීවිතයේ හිස්බව නැතිකිරීමෙන් නිර්වාණය අවභෝධ කරගතහැක. කූඩුව එල්ලා තැබීම සහ නූලෙන් ? අවිනිශ්චිත භාවය සහ සිතෙහි හටගන්නා විවිධ සිතුවිලි වලින් වන කම්පනයන් දරා සිටීම අර්ථවත් කෙරේ. 4. කොල ඇලවීම


ඉතා පරෙස්සමෙන් කොල කපා නිසි පරිදි අලවා ගැනීම කල යුතුය. අමතර රටා එකිනෙකාගේ රුචිකත්වය මත වෙනස්කම්වලට භාජනයවේ. රැලි ඇලවීම ද ඉන් පසුව කෙරේ. අෂ්ඨ ලෝක ධර්මතාව කුමන ආකාරයකින් හෝ වෙනසකට ලක්කිරීමට උත්සාහ කළත් එය නොවෙනස්ව පවතින බව සහ සියල්ල රඳා පවතින්නේ ඒ මත බව මෙයින් දක්වයි. රැලි මගින් සිදු කරනුයේ සුලගට පහසුවෙන් හසුවීමට සැළැස්වීමයි. එය මගින් අටපට්ටමට ලස්සන නිමාවක් ලබාදෙයි. නමුත් එයම විනාශයටද හේතුවේ. එනම් බාහිර ආටෝපයන් කෙරේ දක්වන වැඩි ඇල්ම විනාශයට හේතුවන බව පෙන්වාදීමකි. තවද මේ කටයුතු සිදු කිරීමට මනා සංයමයක් අවශ්‍ය වනු ඇත. එය හුදෙක්ම භාවනාවකට සමවැදීමක් වැනිය. ඒ තුලින් එලැඹි සිහියෙන් කටයුතු කිරීමේ ගුණාංගය ප්‍රගුණ කෙරේ. 5.කූඩු දැල්වීම


ඉතා පරීක්ෂාවෙන් යුතුව කළ යුතුය. එසේ නොවුනහොත් තම මහන්සිය සම්පූර්ණයෙන්ම අපතේ යාහැකිය. ඇතැම් අවස්ථා වල කූඩු ගිණිගැනීම නිසා හඬා වැලපෙන දරුවන් ඕනෑ තරම් අපි දැක ඇත්තෙමු. දරුවන් පමණක් හඬා වැලපෙන නමුදු වැඩිහිටියන් තුලද සංවේගයක් හටගන්නා බව නොරහසකි. මේ තුළින් අනිත්‍යය මෙනෙහි කිරීම සිදුවේ. අනිත්‍යය යනු ලෝක ස්වභාවයයි. එය නැවත නැවතත් ස්මරණය කිරීම මෙමගින් සිදුවේ. තවද පහන්කූඩු දැල්වීමෙන් ලබන චිත්තප්රසාදය අව්‍යාජ අදීන ප්රසාදයකි. බෞද්ධ දර්ශනයන් අනුව වැළඳගතයුතු සත්‍ය ද එයයි. ස්වෝත්සාහී නැගී සිටිමකින් ජීවන ගමන සාර්ථක කොටගෙන අවසන අමාමහ නිර්වාණය කරා ළඟාවිමයි. තවද ඉටි පහන් ආලෝකය ප්‍රඥාව සංඛේතවත් කරන බව නොරහසකි. 6.කූඩු ඉවත්කිරීම හෝ ගිණිගැනීම


නැවතත් අනිත්‍යය මෙනෙහි කිරීමයි.


චයිනීස් වෙසක් කූඩුවද ? උණබටයෙන් හැදූ දේශිය කූඩුව නිවසට ගන්නවාද යන තීරණය ඔබට බාරයි.... ඒච්.ඒස්. ලක්මාල්

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:සමාජය/Selected_article&oldid=397424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි