ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය-ඇෆ්ඝනිස්තානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search


2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදු වීමෙන් පසු ඉතා ඉක්මණින්ම 2001 ඔක්තෝබරයේදී නැටෝ හමුදා ඇෆ්ඝනිස්ථානයට පහර දුන්නේ එහි සිටින අල්ඛයිඩා හමුදා එලවා දැමීම සහ එරට පාලනය කරමින් සිටි තලේබාන් රජය පෙරලා දැමීමේ අදහසිනි. 2001 සැප්තැතම්බර් 20 දින ජෝර්ජ් ඩබ්. බුෂ් තලේබාන් පාලනයට අවසාන නිවේදනයක් නිකුත් කළේ එහි සිටින ඔසාමා බින් ලාඩන් සහ අල්ඛයිඩා නායකයින් භාර දෙන ලෙස ඉල්ලමිනි. ඔසාමා බින් ලාඩන් සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙසත් එම සාක්ෂි ඔහුට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් නම් ඉස්ලාමීය අධිකරණයක ඒ නඩුව විමසිය යුතු බවත් තලේබාන් පාලනය දන්වා සිටියේය. 2001 ඔක්තෝබර් 07 වැනි දින ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කරමින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව නිල වශයෙන් යුද්ධය ආරම්භ කළහ.

පකිස්ථානය

මේ අතර පකිස්තාන නිලධාරීන් සහ එක්සත් ජනපද හමුදා සමග එක් වී කරන ලද සෝදිසි මෙහෙයුම් කීපයකින් පසු 2002 මාර්තු 23 වැනි දින සවුදි ජන්මයක් ඇති සයින් අල් - අබ්දින් මොහම්මද් හසේන් අබු සුබෙයිදා අත් අඩංගුවට ගන්නා ලදි. මෙම මෙහෙයුම පැවති අවස්ථාවේ සැකකරු හමුදා නිලධාරීන්ගෙන් බේරී පැන යාමට කරන ලද උත්සාහයන්හිදී තුන්වරක් වෙඩි ප්‍රහාර වලට ලක් විය. සුබයිදා ඒ වන විට අල් - ඛයිඩා පුහුණු කඳවුරු පවත්වා ගෙන යාමේ ප්‍රධානියා ලෙසද කටයුතු කරමින් සිටි බව කියනු ලැබේ. එම අවුරුද්දේම අවසාන භාගයේ 2002 සැප්තැම්බර් 14 වැනි දින පැය තුනක් පුරා පොලිසිය සමග කරන ලද වෙඩි හුවමාරුවකින් පසු රම්සි බිනල්ෂිබ් පකිස්ථානයේදී අත් අඩංගුවට ගන්නා ලදි. ඔහු මොහමඩ් අට්ටා සමග ජර්මනියේ හැම්බර්ග් නුවර එක කාමරයක නැවතී සිටි බව හා අල් ඛයිඩා සංවිධානයේ මෙහෙයුම් වලට මූල්‍ය ආධාර සැපයූ තැනැත්තෙකු ලෙස හඳුන්වා තිබිනි. බිනල්ෂිබ්ද ගුවන් යානා මංකොල්ලකරුවන් ගෙන් එක් අයෙකු යයි අනුමාන කර තිබුනි. කෙසේ වුවද, එක්සත් ජනපද පුරවැසි සහ ආගමන සේවාව ඔහුගේ වීසා ඉල්ලුම් පත්‍ර තුන් වරක් ප්‍රතික්ෂේප කළේය. මේ නිසා ඔහුට සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන තැනැත්තෙකු ලෙස පමණක් කටයුතු කිරීමට සිදු විය. බිනල්ෂිබ් විසින් ජර්මනියේ සිට එක්සත් ජනපදයට මුදල් යැවීමේදි මොහමඩ් අට්ටා සහ සකරියාස් මුසාවි දෙදෙනාද හවුල් වූහ.

2003 මාර්තු 1 වැනි දින CIA සංවිධානය විසින් කරන ලද පරීක්ෂණ මෙහෙයුමකින් පකිස්තාන් අගනුවර වූ ඉලස්ලාමාබාද් සිට සැතපුම් නමයක් ඈත රාවල්පින්ඩි ප්‍රදේශයේදී ඛාලිඩ් ෂෙයික් මොහමඩ් අත් අඩංගුවට ගැනුනේය. ඔහු අත් අඩංගුවට පත් වන විට අල් ඛයිඩා සංවිධානයේ ඉහළ පෙලේ නායකයින් අතර තුන්වැන්න‍ා ලෙස සිටියා පමණක් නොව සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ප්‍රධාන මොළකාරයා ලෙසත් කටයුතු කර තිබුනේය. මීට කලින් ඔහු අල්ලා ගැනීමට කරන ලද මෙහෙයුමකින් බේරී පැන ගත් අවස්ථාවේදී, ඊට පෙර අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලබා ගන්නා ලද තොරතුරු ඔහු නැවත අත් අඩංගුවට ගැනීමට උපකාරී විය. 1996 දී එක්සත් ජනපද රජය මොහමඩ්ට එරෙහිව ඇමෙරිකානු සිවිල් ගුවන් සේවාවෙහි බෝම්බ ඇටවීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නඩු පවරා තිබුනේය. ඔහු සම්බන්ධ වූ අනෙක් එවැනි සිද්ධීන් නම්, ඩැනියෙල් පර්ල් නම් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පතේ වාර්තාකරු මරා දැමීමට නියෝග කිරිම, USS Cole බෝම්බ ප්‍රහාරය, සපත්තු බෝම්බයක් මගින් එක්සත් ජනපද සිවිල් ගුවන් යානයක් පුපුරුවා හැරීමට රිචඩ් රීඩ් ගත් උත්සාහය, සහ ටියුනිසියාවේ ඩ්ජෙර්බා හි එල් ග්රිබා නම් යුදෙව් භක්තික ආයතනයක් වෙත එල්ල කරන ලද ප්‍රහාරය යනාදියයි. ඛාලිඩ් ෂෙයික් මොහමඩ්, අල් ඛයිඩා හමුදා කමිටුවෙහි ප්‍රධානිය ලෙස කටයුතු කළ බව සටහන් වෙයි.

මේ සියලු කටයුතු අතරේ 2006 වර්ෂයේදී නැටෝ සංවිධානයේ අණදෙන නිළධාරි විසින් ඇ‍ෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන්ට උදව් හා අනුබල දීම සම්බන්ධයෙන් පකිස්ථානයට චෝදනා කරන ලදි. එහෙත් පසුව පකිස්ථානය හෝ ISI (Inter Service Intelligence) සංවිධානය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අනුග්‍රහයක් නොදක්වන බව නැටෝ සංවිධානය තේරුම් ගත්තේය. කෙසේ වෙතත් 2007 වර්ෂයේ ISI සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වූයේ ඝාතණය කරනු ලබන සෑම නැටෝ සංවිධානයේ සාමාජිකයෙකු සඳහාම පාකිස්ථානු රුපියල් ලක්ෂයක් (CDN 1900) ඔවුන් විසින් පරිත්‍යාග වශයෙන් රහසේ ගෙවමින් සිටි බවයි. මේ අතර, ඒ ආසන්න කාලයේ ඝාතණය කරනු ලැබූ තලිබාන් සංවිධානයේ ජ්‍යේෂ්ඨ හමුදා ප්‍රධානියෙකු වූ මුල්ලා දාදුල්ලාහ් ආරක්ෂා කිරීම සහ වෙනත් අන්දමින් සටන්කාමීන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ඇෆ්ඝන් රජයේ චෝදනාද ISI වෙත එල්ල වූ නමුත් මෙම චෝදනා පකිස්තාන රජය පිළි නොගත්තේය. මේ අතර ඉන්දියාව නොකඩවාම පකිස්තානයේ අන්තර් සේවා බුද්ධි සේවාව (ISI) වෙත චෝදනා එල්ල කළේ එම සංවිධානය ඉන්දියානු ජනරජයේ කාශ්මීරයේ සහ වෙනත් ප්‍රදේශවල ත්‍රස්තවාදී ප්‍රහාරයන් කිරීමට සැලසුම් කරන්නේය කියමිනි. මෙම චෝදනාවලට 2006 ජූලි 11 දින මුම්බායි දුම්රිය බෝම්බ ප්‍රහාරයද ඇතුලත් විය. එහෙත් පකිස්ථානය මෙහි වගකීම පැවරුවේ දේශීය ත්‍රස්තවාදය වෙතටයි.ඇෆ්ඝනිස්ථානය සහ එක්සත් රාජධානිය වැනි අනෙක් බොහෝ රටවල් ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය සහ මූල්‍ය පහසුකම් සැපයීම ගැන පකිස්තානයට චෝදනා එල්ල කළහ. පකිස්තානය සහ අසල්වැසි ඇෆ්ඝනිස්ථානය තුල අමෙරිකානු හමුදා ක්‍රියාකාරකම් ඉහළ යාම, පකිස්ථානු රජයට අමෙරිකානු යුද ආධාර වැඩි වැඩියෙන් ලැබීමට හේතුවක් විය. සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර වූ අවුරුදු 3 තුල අමෙරිකානු යුද ආධාර වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 9 ක් (දළ වශයෙන්) පකිස්තානයට ලැබුනි. ප්‍රහාරයට පසුව ගත වූ අවුරුදු තුනක කාලය ඇතුලත මෙම ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.2 දක්වා ඉහළ දැමුනේ 9/11 ඉහළම අරමුදල් ලබා දුන් රාජ්‍යය බවට පත් කරමිනි. මෙපමණ අති විශාල මුදල් ප්‍රමාණයක් රට තුළට ගලා ඒමෙන් ගැටලු සහගත තත්වයක් නිර්මාණය වූයේ, මෙම මුදල් කිසිදු පැහැදිලි කිරීමකින් සහ වගකීමකින්ද තොරව ලැබුනු හෙයිනි.මෙම මුදල් වලින් විශාල ප්‍රමාණයක් මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ කටයුතු වලට බලුඛිස්ථාන නොසන්සුන්තාවය වැනි දේශීය ගැටලු සම්බන්ධයෙන් ප්‍රයෝජනයට ගැනුනි.