තලෙයිමන්නාරම ජැටිය සහ දුම්රිය ස්ථානය

විකිපීඩියා වෙතින්
තලෙයිමන්නාරම ජැටියෙහි දසුනක්

තලෙයිමන්නාරම ජැටිය සහ දුම්රිය ස්ථානය මෙරට මන්නාරම් දූපතේ තලෙයිමන්නාරමේ වයඹ දිග වෙරළට වන්නට ඉදිකොට තිබෙයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මකව පැවැති දුම්රිය පාරු සේවයෙහි මෙරට ප්‍රධාන නැවතුම්පළ ලෙස ක්‍රියාකරන ලද්දේ මෙම ජැටිය හා දුම්රිය ස්ථානය වෙයි.

දුම්රිය මාර්ග ද්විත්වයකට සේවය සැපයීම සඳහා ඉදිකොට ඇති ජැටිය, ප්‍රධාන භූමියේ සිට සාගරය තුලට (උතුරු දිශාව දෙසට) මීටර 264 ක දිගකින් යුක්තව ඉදිකොට තිබෙයි.

ඉතිහාසය[සංස්කරණය]

පෝක් සමුද්‍ර සන්ධිය හරහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දුම්රිය පාලමක් ඉදිකල යුතු බවට, 1894 වසරේදී මුල්ම වරට බ්‍රිතාන්‍ය රජය විසින් යෝජනා කරන ලදී. ශ්‍රී ලංකාවෙහි තේ වගාව වෙනුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු සිට පැමිණෙන කම්කරුවන්ගේ ප්‍රවාහන පහසුකම ඇතිකරවීම මෙහි අරමුණ විය.

දුම්රිය පාරු සේවය[සංස්කරණය]

දුම්රිය පාරු සේවය ක්‍රියාත්මකව පැවැති ගමන් මාර්ගය

පසුව 1914 වසර වන විට ඉදිකරනු ලැබූ තලෙයිමන්නාරම ජැටිය සහ දුම්රිය ස්ථානය මගින් මෙරට තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි (රාමේස්වරම්) දක්වා මගීන් ප්‍රවාහනය ආරම්භ කරන ලදී.

අඩපණ වීම[සංස්කරණය]

1967 වසරේ බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් මෙහි ජැටියට සහ දුම්රිය ස්ථානයට හානි සිදුවීම හේතුවෙන් පාරු සේවය වසර තුනක් යන තුරු ඇණ සිටි අතර, යටිතල පහසුකම් නැවතත් සංවර්ධනය කිරීමෙන් පසු නැවතත් පාරු සේවය ආරම්භ කරන ලදී.

කෙසේ වූවත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ දුම්රිය පාරු සේවය 1983 වර්ෂයෙන් පසු නැවතත් අක්‍රීය තත්වයට පත්විය.

වත්මන් තත්වය[සංස්කරණය]

2015 මාර්තු 14 වන දින සිට යළිත් තලෙයිමන්නාරම දක්වා ඍජු දුම්රිය ගමන් ආරම්භ කෙරිණි. දැනට දෛනිකව කොළඹ කොටුවේ සිට දුම්රිය දෙකක් හා තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක් ක්‍රියාත්මක වෙයි. [1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ලංකා බිස්නස් ඔන්ලයින්". ශ්‍රී ලංකා ගිව්ස් නේදන් රෙයිල් රීබිල්ඩිං ඩීල් ටු ඉන්ඩියා’ස් IRCON. 2010-08-18.

බාහිර සබැඳි[සංස්කරණය]