ඩාෆූර් වර්ග සංහාරය

විකිපීඩියා වෙතින්
ගොනුව:Deaths.jpg

හැඳින්වීම[සංස්කරණය]

වර්ග සංහාරයක් යනුවෙන් හැඳින්වෙන්නේ යම් රටක, ප්‍රදේශයක හෝ යම් ජාතියක‍‍‍‍‍‍‍, වාර්ගික කණ්ඩායමක හෝ ආගමික කණ්ඩායමක සාමාජිකයන් මරා දැමීම, ශාරීරික හෝ මානසික හානි සිදු කිරීම, එම කණ්ඩායම තුළ දරු උපත් නැති කිරීම මෙන්ම එම කණ්ඩායම තුළ සිටින ළමුන් වෙනත් කණ්ඩායම් වලට මාරු කිරීම ආදී වූ කරුණුය. අතීතයේ රුවන්ඩා, කාම්බෝජය, බොස්නියාව ආදී දේශයන්හි දරුණු සමූල ඝාතන දක්නට ලැබුණි.රුවන්ඩා සමූහ මිනිස් ඝාතනයේ 10 වැනි සමරුවේදී, මිනිස් කමට නිගා වන මිනිස් ඝාතන නැවත මිහිතලය මත සිදු නොවීමට වග බලා ගන්නා බවට ජාත්‍යන්තර ප්‍රජාව සපථ කරන ලදී. ඒ කෙසේ වුවද 21 වැනි සියවසේ අපකීර්තිමත්ම මනුෂ්‍ය සංහාරය හය වසරක් තිස්සේ සුඩානයේ ඩාෆූර් ප්‍රදෙශයේ සිදුවෙමින් පවතී.

කොන් වූ දේශය[සංස්කරණය]

ගොනුව:Darfur-map-282x300.gif
ඩාෆූර් දේශය

භූමි ප්‍රමාණය අනුව අප්‍රිකාවේ විශාලම රාජ්‍යය වන්නේ සුඩානයයි. ඩාෆූර් සුඩානයට අයත් පෙදෙසක් වන අතර බටහිර දේශ සීමාවේ ඇත්තේ චැඩ් රාජ්‍යයයි. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 493,200 ක් වන ඩාෆූර් ප්‍රදේශයෙහි විවිධ ජන කණ්ඩායම් හා ගෝත්‍ර වාසය කරයි. ජනගහණය මිලියන 6.5 ක් වන මෙහි 52% ක් අප්‍රිකානු වාර්ගික ජනතාව වන අතර 39% ක් අරාබිවරුය. ඉතිරිය සුළු ජන වර්ග වලට අයත් විය. අතීතයේ බටහිර අධිරාජ්‍යවාදයට නතුව සිටි මොවුන් කාන්තාර ජීවිතයට හැඩගැසුණු එ‍ඬේරුන්ගෙන් හා ගොවින්ගෙන් සමන්විතය. 1917 දී ඩාෆූර් සුඩානයේ පළාතක් ලෙස ප්‍රකාශයට පත් වීමත් සමග එය නයිල් නිම්නයේ කාටුම් අගනුවරින් පාලනය විය. ආන්තික දේශයක් ලෙස සැලකූ මෙයට ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයේදී ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. යටිතල පහසුකම් ලැබෙන්නේම නැත. ඉඩම් පරිභෝජනය පිළිබඳ ගැටලුවක් ඇති මෙහි ගොවීන්ට වගා බිම් ද, එ‍ඬේරුන්ට තණ බිම් ද අවශ්‍ය වන අතර එක් කණ්ඩායමක් වත් අනෙක් කණ්ඩායම ට සවන් දීමට අකමැතිය. බටහිර සුඩාන ප්‍රදේශයේ පවතින මෙම ගැටුමෙන් ප්‍රහාරයට ලක් වන්නේ,

  • ෆර්
  • මසාලිට්
  • සගාවා යන සුළු වාර්ගික කොටස්ය.

මෙම සන්නාහ සන්නද්ධ අරගලයේ එක් පාර්ශවයක් වන්නේ සුඩාන යුධ හමුදාව හා ඒ හමුදාවෙන් යැපෙන ජන්ජාවීඩ්' කණ්ඩායමයි.' ජන්ජාවීඩ් යනු අලුතෙන් යුධ පුහුණුව ලබා දී බඳවා ගත් උතුරු රීසෙග් පෙදෙසේ බගරා ගෝත්‍රිකයන්ය. කළු අරාබීන් යනු මොවුන්ය. අනෙක් පාර්ශවය වන්නේ රජයට එරෙහි සුඩාන විමුක්ති ව්‍යාපාරය සහ සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් කැප වූ කණ්ඩායමයි.(JEM) තවත් සන්නද්ධ පිරිස් 20ක් පමණ රජයට එරෙහිව ක්‍රියාත්මක වෙ. මූලිකව මොවුන් අරාබි නොවන ෆර්, මසාලිට් සහ සගාවා යන ගෝත්‍රයන්හි ගොවියන්ය. සුඩාන විමුක්ති හමුදාව කොටස් දෙකකට වෙන් වී එක් කොටසක් රජය සමග ද අනෙක් කොටස රජයට එරෙහිව ද ක්‍රියාත්මක වේ. දශක ගණනාවක් පවතින දැඩි නියඟය, භූමිය කෙමෙන් වැලි කතරක් බවට පත් වීම සහ ජනගහණයේ වැඩි වීම මෙම අන්‍යොන්‍ය අභ්‍යන්තර ගැටුම නිර්මාණය වීමට හේතු විය. මෙහිදී බිහි වූ සන්නද්ධ කණ්ඩායම් වලින් එ‍ඬේරුන් පිරිසට රජයේ ද, ගොවියන් ට චැඩ් වැනි පිටස්තර දේශයන්ගෙන් ද ආධාර ලැබුණු නිසා ඔවුන් ශක්තිමත් විය. අතීත සිවිල් යුද්ධය සමනය කිරීමට 2003 දී ඇති කර ගත් සම්මුතිය තුළ ද ඩාෆූරයට තැනක් නොවීය. එය තව දුරටත් නොසලකා හරින ලද රාජ්‍යයක් විය. මේ අතර ඩාෆූර් කැරලි කරුවන් තම භූමියට රජයේ අවධානය යොමු කරවා ගැනීමට 2003 පෙබරවාරි මාසයේදී ඩාෆූර් එල් ෂෆාර් හි සුඩාන ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කළේය. මේ නිසා සුඩාන රජය ඩාෆූර් වැසියන් කෙරේ වෛරයෙන් පසු විය. සිදු වෙමින් පවතින විනාශයට මුල පිරුවේ ඒ සිද්ධියයි.

සංහාරය[සංස්කරණය]

ගොනුව:SFHJ.jpg

කැරලිකාරී ව්‍යාපාරයට එරෙහිව සුඩාන රජය කළේ එය මැඩ පැවැත්වීමට උත්සාහ කිරීම නොව, ඔවුන්ට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැරීමයි. මෙහිදී රජයේ හමුදා පමණක් ප්‍රමාණවත් නොවුණු හෙයින් ඩාෆූර් හි සාගතයෙන් බැට කන අරාබි එ‍ඬේර කණ්ඩායම, තමාට කියා ආහාර ස්වල්පයක් ඇති අරාබි නොවන මිනිසුන්ට එරෙහිව උසිගැන්වීම ද සිදු විය. තව ද ෆර්, සගාවා හා මසාලිට් යන ගෝත්‍රිකයන් අතුරින් තෝරා ගත් පිරිස් ජන්ජාවීඩ් කණ්ඩායමට බඳවා ගත් රජය ඔවුන් ට මුදල් මෙන් ම යුධ පුහුණුවක් ද ලබා දුනි. මෙම පිරිස අරාබි නොවන ජනයා වෙසෙන ගම් වලට කඩා වැදී ගෙවල් ගිනි තැබීය. භව භෝග සම්පත් කොල්ල කෑවේය. අපරාධ කළේය. කාන්තාවන් හා ගැහැණු ළමුන් දූෂණය කළේය. සමූහ දූෂණ ද සිදු කරන ලදී. පිරිමින් මැරීය. මෙහිදී මරණයට පත් වූ පිරිස ලක්ෂ 4 කට අධිකය. අතුරුදහන් වූ අවුරුදු 12 - 18 ත් අතර ළමුන් සංඛ්‍යාව ගණන් හිලව් නොමැත. මේ අතර සුඩාන රජයේ හමුදාව බෝම්බ හෙලමින් සංහාරක ක්‍රියාවලිය ට ආධාර කරයි. මෙය බරපතල මානව අයිතිවාසිකම් කඩ කිරීමකි. මෙම යුද්ධය නිසා සිය රට තුලම අවතැන් වූ පිරිස දෙමිලියනයකට අධික ය. ලක්ෂ දෙක හමාරකට අධික පිරිසක් චැඩ් රාජ්‍යයට පලා ගොසිනි. ප්‍රචණ්ඩ ක්‍රියා ඩාෆූර් වැසියන් පමණක් ම ඉලක්ක කර ගත් එකක් නො වූ අතර එයට එහි රඳවා ඇති සාම සාධක භටයන් ද ඉලක්ක විය.


සරණාගතයින්[සංස්කරණය]

මානුෂික ආධාර කණ්ඩායම් වලට ගුවන් තහනමක් පැනවීම හරහා ද පීඩාවට පත් වන්නේ සරණාගතයින් ය. සිය රටින් පලා ආ සරණාගතයින් වැඩි ප්‍රමාණයක් රැඳී සිටින්නේ චැඩ් රාජ්‍යයේ ය. ඩාෆූර් අභ්‍යන්තරයේ ඇති සරණාගත කඳවුරු නිරතුරුවම ජන්ජාවීඩ් කල්ලියේ ප්‍රහාර වලට ලක් වේ. මෙලෙස ප්‍රහාර එල්ල කිරීම ඇරඹුනේ බටහිර ඩාෆූර් හි ඇරෝ ෂැරෝ කඳවුර ට 2005 සැප්තැම්බර් 28 වැනි දා ප්‍රහාරයක් එල්ල කරමිනි. ඉන් පසුව දිගින් දිගට ම විවිධ ප්‍රදේශයන් හි වූ සරණාගත කඳවුරු ප්‍රහාරයට ලක් වන ලදී.


මරණ හා අවතැන් වීම්[සංස්කරණය]

ගොනුව:Nmb.jpg

2004 ග්‍රීෂ්ම ඍතුවේදී මිනිසුන් 50,000 - 80,000 ත් පමණ මරා දමා ඇතැයි පැවසේ.මෙම මරණ පිළිබඳව විවිධ පුද්ගලයින් මෙන්ම විවිධ සංවිධාන ද එක් එක් කාල වකවානු වලදී සංඛ්‍යා දත්ත වාර්තා ඉදිරිපත් කරයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, 2004 සැප්තැම්බර් මාසය වන විට එනම් ගැටුම ඇති වී මාස 18 ක් තුළ මරණ 50,000 ක් පමණ සිදුව ඇත.මෙම මරණ වලට කුසගින්න නිසා සිදු වූ මරණ මෙන්ම ලෙඩ රෝග නිසා සිදු වූ මරණ ද ඇතුළත් ය. වෙනත් වාර්තාවක ට අනුව 2004 මාර්තු මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මරණ 70,000 ක් පමණ ප්‍රමාණයක් සිදු වී ඇත. රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශ කරන ආකාරය ට 2004 - 2007 දක්වා කාලයේ විපත් 200,000 සිට 500,000 අතර ප්‍රමාණයකි. එක්සත් ජාතීන් ට අනුව මසකට මරණ 10,000 ක් පමණ සිදු වේ යැයි ගණන් බලා ඇත. නමුත් මෙයට හිංසනය නිසා සිදු වන මරණ අන්තර්ගත නොවේ. 2004 ග්‍රීෂ්ම ඍතුවේ මිලියනයක් පමණ මිනිසුන් ඔවුන්ගේ නිවාස වලින් පලවා හැර ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව 2005 ජනවාරි මාසය වන විට ජනතාව මිලියන 1.6 ක් පමණ අභ්‍යන්තරික ව අවතැන් වී ඇත. එසේම 200,000 කට අධික පිරිසක් සරණාගතයින් ලෙස යාබද චැඩ් ප්‍රදේශයට ගොස් ඇත. 2006 ඔක්තෝබර් මාසය වන විට මිලියන 2.5 ක් පමණ අවතැන් වී ඇති බවට වාර්තා වේ. 2004 සිට සාක්ෂිකරුවන් සිර කිරීමෙන් හා මරා දැමීමෙන් සාක්ෂි සැඟවීම පිළිබඳව ත්, සාක්ෂි වටිනාකම් විනාශ කිරීම පිළිබඳව ත් සුඩාන රජය ට චෝදනා එල්ල වේ.එහි පවතින සමූහ මිනී වලවල් මගින් ඒ බව ඔප්පු වේ.පවතින තත්වය අපැහැදිලි කිරීමට ත්, වසන් කිරීමට ත් වාර්තා කරුවන් ට හා මාධ්‍ය වේදීන් ට කරදර කිරීම මෙන්ම ඔවුන් අත්අඩංගුවට ගැනීම ද රජය විසින් සිදු කරයි. 2006 මැයි මාසයේ දී සුඩාන විමුක්ති ව්‍යාපාරයේ එක් කොටසක් පමණක් සුඩාන රජය සමඟ සාමය සඳහා වූ ගිවිසුම ට එකඟ විය. නමුත් අනෙක් පාර්ශවය මෙයට එකඟ නොවීය. කෙසේ වුව ද මැයි 05 වන දින, එකඟ වූ පාර්ශවය සමඟ සුඩාන රජය මෙම ගිවිසුම අත්සන් කළේ ය. මේ අයුරින් වරින් වර විවිධ ගිවිසුම් වලට අත්සන් තබා ඇත.

ජාත්‍යන්තර අවධානය[සංස්කරණය]

සුඩාන ප්‍රදේශයේ පවතින මෙම වර්ග සංහාරය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ලැබීම ආරම්භ වූයේ ක්ෂමා සංවිධානය ආදී පක්ෂ වාදී සංවිධාන වල වාර්තා වලින් පසුව ය. සුඩානය සඳහා පත් කළ එක්සත් ජාතීන්ගේ සාමාජිකයා වන මුකේෂ් කපිල විසින් 2004 මාසයේ දී ඩාෆූර් අර්බුදය යනු ලෝකයේ විශාලතම මනුෂ්‍යත්වයට එරෙහි අර්බුදය යැයි පවසන තෙක් ලෝකය පුරා මේ සම්බන්ධ ව විශාල මාධ්‍ය ප්‍රචාරණයක් සිදු නොවුනි. සුඩාන රජයේ මෙම සංහාරක ක්‍රියාවන් ට ලෝකයේ සියලුම රාජ්‍යයන් විරෝධය පළ කළ ද, සුඩානය ට චීනයෙන් මනා පිටු බලයක් ලැබේ. චීනය විසින්,

  1. සුඩාන් රජය ට අවි ආයුධ ලබා දෙයි.
  2. සුඩාන් හමුදා පුහුණු කරයි.
  3. සුඩානය ට මුදල් ලබා දෙයි.
  4. එක්සත් ජාතීන්ගේ මානුෂික මෙහෙයුම ට ඍණාත්මක බලපෑමක් කරයි.

ඩාෆූර් වර්ග සංහාරය වැළැක්වීම ට වැදගත් ම කාර්ය භාරයක් ඉටු කරනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. වෙනත් සංවිධාන මෙය වර්ග සංහාරයක් ලෙස හැඳින්වුව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙය වර්ග සංහාරයක් ලෙස විස්තර කිරීමෙන් වැළකුණි. 2005 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව සුඩාන රජය යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වලට දායකත්වය සපයා ඇත.එසේම මානව අයිතිවාසිකම් විනාශ කිරීම හා ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2006 වර්ෂයේදී ඩාෆූර් හි සාමය අාරක්ෂා කිරීම සඳහා UNAMID (United Nations African Mission In Darfur) ආරම්භ කරන ලදී.එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් ඩාෆූර් හි සුඩාන ඉවුරේ සරණාගතයින් මිලියන 1.2 ක පමණ පිරිසකට ආහාර ලබා දෙන ලදී. 2008 ජුලි 14 වැනි දින සුඩාන ජනාධිපති ඕමාර් අල්-බෂීර් ට විරුද්ධ ව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පැමිණිලි කරුවන් විසින් චෝදනා 10 ක් ගොනු කරන ලදී.ඉන්

  • 3 ක් - වර්ග සංහාරය පිළිබඳ
  • 5 ක් - මනුෂ්‍යත්වය ට එරෙහි අපරාධ පිළිබඳ
  • 2 ක් - මිනී මැරුම් පිළිබඳ වූ චෝදනාවන් විය.
ගොනුව:Rty.jpg


මෙයට අමතරව

  • ඇමරිකාව
  • අප්‍රිකානු සංගමය
  • ක්ෂමා සංවිධානය
  • බ්‍රිතාන්‍යය
  • කෙන්යාව
  • දකුණු අප්‍රිකාව
  • ඩාෆූර් බේරා ගැනීමේ ඒකාබද්ධ සංවිධානය

ආදී විවිධ රාජ්‍යයන් හා සංවිධාන මෙම අර්බුදය සම්බන්ධයෙන් විවිධ කාර්යයන් ඉටු කර ඇති අතර යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. දින 30 ක් ඇතුලත සුඩාන රජය ඩාෆූර් ප්‍රදේශයේ වෙසෙන කළු අප්‍රිකානුවන් ගේ ආරක්ෂාව සැලැස්වීම ට මෙන්ම ගේ දොර අතහැර දමා ගොස් සිටින ලක්ෂ 10 කට අධික ජනතාව ට නැවත තමන් පදිංචි වී සිටින ස්ථාන වලට පැමිණීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් යෙදිය යුතු වනු ඇත. සුඩාන රජය එසේ කිරීමට අසමත් වුව හොත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 41 වැනි වගන්තිය යටතේ සම්බාධක පැනවීම ට කටයුතු කරනු ඇත.

සමාලෝචනය[සංස්කරණය]

බොහෝ විචාරකයන්ට අනුව ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ඩාෆූර් ප්‍රදේශයේ හට ගෙන ඇති තත්වය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වීමට හේතු වන කරුණ ලෙස සුඩානයේ තෙල් සම්පත දක්වයි. සුඩානය සතු තෙල් සම්පත් ප්‍රමාණය සෞදි අරාබිය හා ඉරාකය යන දෙරටේම ඇති තෙල් සම්පත් වලට වඩා විශාල ය. ඔවුන් ට මෙයට ප්‍රවේශ වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඩාෆූර් අර්බුදය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා යැවීමේ තීරණයට ද පාදක වන්නේ මෙම තෙල් සම්පත යි. නමුත් සුඩාන රජය එවන් සාම සාධක හමුදාවක් භාර ගැනීමට සූදානම් නැත. චීනය විසින් සුඩානයේ තෙල් සම්පත් සඳහා ගිවිසුමක් අත්සන් කර, ඒවාට සම්බන්ධ වී ඇති බැවින් චීනය විසින් සුඩානය ට විවිධ ආධාර සපයයි.සුඩානය ට එරෙහි ව පියවර ගැනීම ට චීනය විරුද්ධ වන්නේ ද මෙම තෙල් සම්පත හේතුවෙනි. රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර ජනමාධ්‍ය වසර 6 ක් තිස්සේ ඩාෆූර් හි සිදු වන ඝාතන වැළැක්වීම ට, මිනිස් ජීවිත රැකීමට හා ඔවුන් ජීවත් කරවීමට ගෙන ගිය ව්‍යාපාරයෙන් කිසිවක් සිදු ව නොමැති බව පෙන්විය හැක.

පෞද්ගලික වෙබ් පිටුවක සදහන්, සුඩාන රජයට අවාසිදායක ලෙස ඉදිරිපත් කළ ප්‍රවෘත්තියක් නිසා එක්සත් ජාතීන්ගේ සුඩාන විශේෂ නියෝජිත පාන් ප්‍රොන්ක් ට පැය 72 ක් ඇතුලත එරටින් පිටවන්නැයි සුඩාන රජය නිවේදනය කළේය. නමුත් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කිරීම ට සූදානම් බව දැක්වීය. දකුණු සුඩානයේ රඳවා සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ට එරෙහි ව විශාල චෝදනා ප්‍රමාණයක් ඇත. එයින් බොහොමයක් ම කාන්තාවන් හා ගැහැණු ළමයින් ලිංගික අපයෝජනය ට ලක් කිරීම සම්බන්ධව ය. ඔවුන් සුඩානය ට පැමිණි පසු එරට ගණිකා වෘත්තිය ආරම්භ වූ බවට ද චෝදනා ඇත. එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය තානාපති සර් එමීර් ජෝන්ස් සුඩානය ට උදව් කිරීමට ත්, සාම ගිවිසුම් අත්සන් කිරීමට ත් අරමුණු ලෙස සුඩානයේ තෙල් සම්පත් හා බලතල අන්තර් වාර රජය හා ප්‍රාදේශීය පාලන ව්‍යුහයන් සමඟ බෙදා ගැනීම දැක්විය හැක. සුඩානයේ මෙම මානව ඛේදවාචකය ට විසඳුම් ලබා ගැනීමේ දී ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකරන බවට ස්වේච්ඡා සංවිධාන චෝදනා කරයි.

කුමන විසඳුම් ලබා දුන්නද ඩාෆූර් අර්බුදය තවමත් නොවිසඳී ඇති ගැටළුවකි. එම නිසා දැන් සුඩාන් නායකයා සහ ඩාෆූර් කැරලි කණ්ඩායම් අතර සාමකාමී විසඳුමක් ඇති කිරීමේදී බලපෑම් කිරීමෙන් ඔබ්බට යාමේ කාලය උදා වී ඇත. කාටුම් පාලනය දණ ගැස්සවීම සඳහා වඩාත් ප්‍රබල පියවර ගත යුතු ය. උදාහරණ ලෙස,

  1. ඩාෆූර් හි තහනම් ගුවන් කලාපය ක් ප්‍රකාශ කිරීම.
    ගොනුව:STOP GENOCIDE350.jpg
  2. සුඩානයේ වරායවල් අසුරා තැබීම.
  3. නේටෝ මැදිහත් වීම.
  4. එක්සත් ජාතීන්ගේ බලකායක් යැවීම.
  5. සම්බාධක පැනවීම.

ආදී දේ දැක්විය හැකිය.

පින්තූර ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිතයන්[සංස්කරණය]

පුවත්පත් හා සඟරා

  • පෙඩරල් වාදය, 4 වැනි වෙළුම, 1 වැනි කලාපය, 2004 මාර්තු
  • සාම විමර්ශි, 2006 මාර්තු
  • රාවය පුවත්පත, 2008.05.25
  • ලංකාදීප පුවත්පත, 2006.10.27

වෙබ් පිටු

සබැඳි පිටු[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඩාෆූර්_වර්ග_සංහාරය&oldid=592134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි