ටෙල් අස්මර් සමූහය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ටෙල් අස්මර් සමූහය
Standing male worshiper MET DT850.jpg
සුමේරියානු වන්දනාකරුවෙක්, ඇල්බැස්ටර් පාෂාණයෙන් නෙළා ඇති මෙහි ඇස්වලට බෙලි කටු යොදා ඇත. මෙම සමූහයේ ඇති ප්‍රතිමා දොළසෙන් එකකි.[1]
මාධ්‍යයජිප්සම්, හුනුගල්, ඇලබැස්ටර්
නිර්මාණය වූයේමුල්කාලීන රාජවංශික I-II, ක්‍රි.පූ. 2900–2550 පමණ
සොයාගනු ලැබූයේටෙල් අස්මර්, ඉරාකය
වර්තමාන පිහිටුමමෙට්‍රොපොලිටන් කෞතුකාගාරය, නිව් යෝක්
ඉරාකයේ ජාතික කෞතුකාගාරය
ප්‍රාචීන ආයතනය, චිකාගෝ
අළු හුනුගල්, ටෙල් අස්මර්, උතුරු මාලිගය, අක්කාඩියානු (ක්‍රි.පූ. 2350-2150)

ටෙල් අස්මර් සමූහය යනුවෙන් හැඳින්වෙන ප්‍රතිමා දොළසක් (මුල්කාලීන රාජවංශික I-II, ක්‍රි.පූ. 2900–2550 පමණ) 1933දී ඉරාකයේ දියාලා ප්‍රදේශයේ එෂ්නන්නා (නූතන ටෙල් අස්මර්) නම් ස්ථානයෙන් සොයාගැනිණි. එම භූමියේ පසුකාලීන සොයාගැනීම් සහ මහා මෙසපොතේමියානු භූමියෙන් හමුවූ වෙනත් භාණ්ඩ හා සැලකීමේ දී මේවා මුල්කාලීන රාජවංශික දේවාල ප්‍රතිමා කලාවේ (ක්‍රි.පූ. 2900 –2350) ඇති වියුක්ත ස්වභාවය සඳහා නිදසුනක් ලෙස සැලකේ.

සොයාගැනීම[සංස්කරණය]

පසුකාලීන 1920 දශකයේ බැග්ඩෑඩ්හි කෞතුක වස්තු වෙ‍ළඳුන් විසින් ටයිග්‍රිස් දෙමෝදරට උතුරින් වූ දියාලා ගංගාවට නැගෙනහිරින් පිහිටි කාන්තාරයෙන් අසාමාන්‍ය, ඉහළ ගුණාත්මයෙන් යුත් කෞතුක වස්තූන් විශාල වශයෙන් අත්කරගන්නා ලදී.[2]1929දී, චිකාගෝ විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන ආයතනය විසින් එම ප්‍රදේශයේ කැනීම් කටයුතු සිදු කිරීමට අනුග්‍රහය ලබාගන්නා ලදී.[2] එම ආයතනයේ ආදිකර්තෘවරයා වූ ජේම්ස් හෙන්රි බ්‍රෙස්ටඩ් (1865–1935) ලන්දේසි පුරාවිද්‍යාඥයකු වූ හෙන්රි ෆ්‍රෑන්ක්ෆර්ට් (1897–1954) හට මෙය මෙහෙයවීමට ආරාධනා කළේ ය. 1930 සහ 1937 අතර කාලයේ ෆ්‍රෑන්ක්ෆර්ට් සහ ඔහුගේ කණ්ඩායම මෙහි වූ ගොඩැලි සතරක විස්තීර්ණ තිරස් සහ සිරස් කැනීම් සිදුකළහ: ඛෆජා, ටෙල් අස්මර් (පුරාතන එෂ්නන්නා), ටෙල් අග්‍රබ්, සහ ඉෂ්චාලි එම ගොඩැලි සතරයි.[2] එහි දී ඔවුහු කි.පූ. 3100 සිට 1750 තෙක් කාල පරාසයක අයත් දේවස්ථාන, මාලිගා, පරිපාලන ගොඩනැගිලි, සහ නිවාස අනාවරණය කරගත්හ. මෙම පුරාතන ශිෂ්ටාචාර ව්‍යූහයේ වූ ස්තරීභුත නටබුන් අතුරින් පුරාවස්තු සිය ගණනක් සොයාගැනීමට හැකි විය. මෙය මුල්කාලීන රාජවංශික යුගය පිළිබඳ වූ අවබෝධය පුළුල් කරලීමට උපකාරී විය.[3]

මේ අතුරින් වඩාත්ම ප්‍රචලිත සහ වඩාත්ම හොඳින් සංරක්ෂණය වී ඇති වස්තූන් වන්නේ "ටෙල් අස්මර් සමූහය" යන සමූහාර්ථ නාමයෙන් හැඳින්වෙන ප්‍රතිමා දොළසකි. මෙම සමූහය සොයගැනුණේ ටෙල් අස්මර් අඩවියේ අබු දෙවියන්ට කැපකළ දෙවොලකට බිමට පහළින් තිබී 1933-34 කැනීම් වාරයේදී ය. මෙම ප්‍රතිමා දෙවොලෙහි අල්තාරය සමීපයෙහි වූ දිගටි කුටීරයක ක්‍රමවත්ව ගොඩගසා තිබිණි. මෙසේ ක්‍රමවත්ව ගොඩගසා තිබීම හේතුවෙන් යෝජනා වී ඇත්තේ ඒවා මෙසේ වළදමා ඇත්තේ හේතුවක් සහිතව බවයි. කෙසේනමුත් මෙසේ භූමදාන කිරීමට හේතුව හෝ එසේ සිදුකළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අපැහැදිළි ය. මෙම විෂය සම්බන්ධයෙන් පුළුල්ව රචනාකරණයේ නියැළුණු ෆ්‍රෑන්ක්ෆර්ට් යෝජනා කරන්නේ දේවස්ථාන‍යේ පූජකයා නව ප්‍රතිමා තැන්පත් කිරීමට අවකාශය ලබාගැනීම සඳහා දෙවොලෙහි වූ පැරණි හෝ හානි වූ ප්‍රතිමා ක්‍රමිකව මෙසේ තැන්පත් කරන්නට ඇති බවයි.[4]:16

ප්‍රතිමා[සංස්කරණය]

ටෙල් අස්මර් සමූහයේ ඇති ප්‍රතිමා අතර 21 cm (8.2 in.) සිට 72 cm (28.3 in.) දක්වා වූ පරාසයක උසින් යුත් ප්‍රතිමා ඇත. මෙහි දී සොයාගැනුණු ප්‍රතිමා දොළසෙන්, දහයක් පුරුෂ ප්‍රතිමා වන අතර, දෙකක් කාන්තා ප්‍රතිමා වේ. ප්‍රතිමා අටක් නිර්මාණය කොට ඇත්තේ ජිප්සම් පාෂාණයෙන් වන අතර, දෙකක් හුනුගල්වලින් ද, සහ එක් ප්‍රතිමාවක් (කුඩාම ප්‍රතිමාව) ඇලබැස්ටර් මාධ්‍යයෙන් ද නිර්මානය කොට ඇත.[4]:57–59 දණගසා සිටින ප්‍රතිමාව හැර සෙසු ප්‍රතිමා සිටගෙන සිටින ඉරියව්වෙන් දක්වා ඇත. සිහින් වෘත්තාකාර පාදමක් ආධාරක ලෙස භාවිතා වූ අතර, කේතු හැඩැති පාද හේතුවෙන් විශාල ප්‍රතිමාවල ස්ථායිතාව රැඳිණි.

සටහන්[සංස්කරණය]

  1. "Standing male worshiper | Sumerian | Early Dynastic I-II | The Met". The Metropolitan Museum of Art, i.e. The Met Museum. Retrieved 2017-11-08.
  2. 2.0 2.1 2.2 Karen L. Wilson, Excavations in the Diyala Region, in Art Of The First Cities: The Third Millennium B.C. from the Mediterranean to the Indus, ed. Joan Aruz (New York and London: The Metropolitan Museum of Art, Yale University Press, 2003), 58.
  3. Jean M. Evans, "The Square Temple at Tell Asmar and the Construction on Early Dynastic Mesopotamia ca. 2900-2350 B.C.E.", American Journal of Archaeology 11 (2007): 600.
  4. 4.0 4.1 Henri Frankfort, Sculpture of the Third Millennium B.C. from Tell Asmar and Khafãjah" (Chicago: University of Chicago Press, 1939).

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • [1] Henri Frankfort, Thorkild Jacobsen, and Conrad Preusser, Tell Asmar and Khafaje: The First Season Work in Eshnunna 1930/31, Oriental Institute Publication 13, 1932
  • [2] Henri Frankfort, Tell Asmar, Khafaje and Khorsabad: Second Preliminary Report of the Iraq Expedition, Oriental Institute Publication 16, 1933
  • [3] Henri Frankfort, Iraq Excavations of the Oriental Institute 1932/33: Third Preliminary Report of the Iraq Expedition, Oriental Institute Publication 17, 1934
  • [4] Henri Frankfort with a chapter by Thorkild Jacobsen, Oriental Institute Discoveries in Iraq, 1933/34: Fourth Preliminary Report of the Iraq Expedition, Oriental Institute Publication 19, 1935

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Evans, Jean. 2012. The Lives Of Sumerian Sculpture: An Archaeology of the Early Dynastic Temple. Chicago: University of Chicago.
  • Evans, Jean. 2007. The Square Temple at Tell Asmar and the Construction of Early Dynastic Mesopotamia, ca. 2900-2350 B.C.E. American Journal of Archaeology 4: 599-632.
  • Frankfort, Henri. 1939. Sculpture of the 3rd Millennium B.C. from Tell Asmar and Khafajah. The University of Chicago, Oriental Institute Publications 60. Chicago.
  • 1943. More Sculpture from the Diyala Region. The University of Chicago, Oriental Institute Publications 60. Chicago.
  • Jacobsen, Thorkild, "God or Worshipper", in Essays in Ancient Civilization Presented to Helene J. Kantor, edited by A. Leonard Jr. and B.B. Williams, p 125-30. Chicago. 1989.
"https://si.wikipedia.org/w/index.php?title=ටෙල්_අස්මර්_සමූහය&oldid=412442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි