Jump to content

ටවර් හෝල් රඟහල් පදනම

විකිපීඩියා වෙතින්


ටවර් හෝල් රඟහල පදනම ඓතිහාසික පසුබිම

[සංස්කරණය]

1880 වර්ෂය වන විට කොළඹ නගරය පුරා සින්ක් තහඩු සෙවිලි කරන ලද තාවකාලික මඩු කුඩාරම් රුසක් පැන තැනුණේ නාට්‍ය වේදිකා ගත කිරීමේ අරමුණ සඳහාය. එකල කොළඹ වැසියන්ට විනෝදාස්වාදය සඳහා තිබුණු එකම ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යය නාට්‍යය පමණක් විය. මෙම තාවකාලික මඩු, පැවිලියන් තියටර්, පබ්ලික් හෝල්, සරස්වතී හෝල් ආදි වශයෙන් නම් කර තිබු අතර, ඒවා යොදාගනු ලැබුවේ තාවකාලික රඟහල් වශයෙනි. ශ්‍රී ලංකාවේ ඉදිවු ප්‍රථම ස්ථාවර රංග ශාලාව ටවර් රඟහලයි.

එය ගොඩ නගන ලද්දේ මරදානේ විසු ව්‍යාපාරිකයෙකු වු ජී.ඩී හෙන්ද්‍රික් සෙනවිරත්න මහතා විසිනි. අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක ප්‍රේක්ෂකයන් 800 කට ඉඩ-කඩ සහිත ශාලාවක්, බැල්කනියක් සහ නේපථ්‍යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදි කිරීමට ඔහු තීරණය කළේය. ප්‍රධාන ශාලාවට යාබද ඔරලෝසු කණුව සැලසුම් කරන ලද්දේ ලන්ඩනයේ ඔරලෝසු කුළුණ නිරූපනය කිරීමටය. මෙය ටවර් රඟහල යන්නෙන් නම් කරන ලද්දේ ඒ සඳහාය. ටවර් රඟහල 1911 දෙසැම්බර් 06 දින උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු වශයෙන් බුහුමන් ලද අනගාරික ධර්මපාලතුමන් විසිනි. ඊට පසු දින ලංකා ආණ්ඩුකාර සර් හෙන්රි මැකලන්තුමාගේ ප්‍රධානත්වයෙන් පණ්ඩුකාභය නමති නූර්ති නාට්‍ය වේදිකා ගත කරන ලදී. ‘පණ්ඩුකාභය’ නාට්‍යයේ පිටපත් රචක හා අධ්‍යක්ෂවරයා වුයේ හෙන්ද්‍රික් සෙනවිරත්න මහතාගේ දියණිය හා විවාහ වී සිටි චාල්ස් ඩයස් නම් නීතිඥවරයායි. මෙම නාට්‍යයට අවශ්‍ය සියළුම ඇදුම් පැළදුම් බොම්බායේ (මුම්බායි) සිට ආනයනය කරන ලදී. ආරම්භයේ දී ටවර් රඟහල වෙන් කර තිබුනේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය සඳහාය. එහෙත් පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීම ද අරඹන ලදී. මෙම යුගය හඳුන්වා දෙන ලද්දේ ටවර් ‍යුගය නමිනි. එකල නිෂ්පාදනය කරන ලද නාට්‍ය නූර්ති හෙවත් නව නාට්‍ය නමින් හඳුන්වන ලද අතර ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසයේ එම ප්‍රභේදයට විශේෂ තැනක් හිමිවිය.

චිත්‍රපට තිරගත කිරිම

[සංස්කරණය]

හෙන්ද්‍රික් සෙනවිරත්නගේ මරණ‍‍යෙන් පසු ටවර් රගහල අර්බුදයකට ‍‍ගොදුරු වුයේ ඔහුගේ දරුවන් අතර දේපල පිළිබඳ නීතිමය අර්බුදයක් පැණ නැගුණු බැවිනි.

1930 එෆ්.ඩී ෆැන්ක් නැමැත්තෙක් විසින් මසකට රු.2000 බැගින් ටවර් රඟහල් භුමිය කුලියට ගන්නා ලද අතර එහි චිත්‍රපට තිරගත කිරිම ඇරඹුණු පසු ටවර් හෝල් ශිල්පීන්ට සිය වෘත්තිය අහිමි වු නිසා ඔවුහු වෘත්තිය සමිති නායකයකු වු ඒ.ඊ ගුණසිංහ මහතාට ආයාචනා කළේය. එතුමා ට්‍රැන්ක් මහතා සමග නීතිඥයින්ගේ ඉරණම ගැන සාකච්ඡා කරන ලදී. එහි ප්‍රතිථලයක් ව‍ශයෙන් සෑම බ්‍රහස්පතින්දා දිනකම සිංහල නාට්‍යයක් ටවර් රඟහලේ දී වේදිකාගත කළ යුතුය යන සමතයට එළඹීමට හැකි විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1947 අප්‍රේල් මාසයේ දී සිලෝන් තියටර්ස් සමාගම ටවර් හෝල් රඟහල රුපියල් 125,000.00ට මිලදී ගත්තේය. ඉන්පසුව සිලෝන් තියටර්ස් සමාගමේ අධ්‍යක්ෂ වූ එම්. සෙල්ලමුත්තු මහතා සහ සීමාසහිත සිනමා සමාගමේ අයිතිකරු වූ කේ.ගුණරත්නම් මහතා සමඟ හවුල් වී ටවර් හෝල් රඟහල සිනමා ශාලාවක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා සීමාසහිත ටවර් ‍ටෝකිස්ටි නැමැති සමාගම පිහිටුවා ගති.


රජයට පවරා ගැනී‍ම

[සංස්කරණය]

අනතුරුව ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍යධූරය දැරු කාලයේ දී ටවර් රඟහල ජනසතු කළ යුතුය යන යෝජනාව පිළිගනු ලැබ මේ අරමුණු සඳහා ලියකියවිලි පවා සකස් කරන ලදි. කෙසේ වුවද මේ යෝජනාව ක්‍රියාත්මක කෙරුනේ දිවංගත ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා අගමැති ධූරයට පත් වී 1978 මාර්තු 15 වැනි දින රජය විසින් ටවර් රඟහල පවරා ගැනී‍මෙන් පසුවය. මේ පවරා ගැනීමෙන් පසුව ගරු ආර්. ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය යටතේ ටවර් හෝල් රඟහල පදනම යන පරිපාලන ඒකකයක් පිහිටුවන ලද්දේ නූර්ති සහ ටවර් හෝල් රඟහල පුනරුත්ථාපනය කිරීමේ අරමුණෙනි. මේ අනුව ටවර් හෝල් රඟහල පදනම මගින් නීතිඥ ජෝන් ද සිල්වා ශුරීන් විසින් ලියා අධ්‍යක්ෂණය කල නාට්‍යක් වූ ‘සිරිසඟබෝ' නාට්‍ය නිෂ්පාදනය කිරීමේ වගකීම කීර්තිමත් නළුවෙකු සහ නාට්‍යවේදියෙකු හෙන්රි ජයසේන මහතා වෙත භාර දෙන ලදි.

ටවර් හෝල් රඟහල පදනම නවීකරණය කොට පවරා ගැනීමෙන් පසු එහි වේදිකා ගත කරන ලද ප්‍රථම නාට්‍යය සිරිසඟබෝය. එම නිසා දශක කිහිපයකට පසුව සිංහල නාට්‍ය උපත ලද ස්ථානයේ දී 'දන්නෝ බුදුන්ගේ' යන සනාතන ගීතය යළිත් රැව් දෙන්නට විය. මෙම සාම්ප්‍රදායික නූර්ති ගීතය අලංකාර කරමින් එහි රක්තාක්ෂි චරිතය රඟපානු ලැබූයේ දේශීය නර්තන කලාවේ පුරෝගාමියෙකු වූ චිත්‍රසේනයන් විසිනි. සිරිසඟබෝ පසු කළක මහජන චීනයේ දී පවා ප්‍රදර්ශනය කරන ලදි.

ටවර් හෝල් රඟහල පදනම

[සංස්කරණය]

මේ අතර 1978 ඔක්තෝබර් 10 දින අංක 01 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත ක්‍රියාත්මක වූ අතර, අග්‍රමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ සභාපතිත්වය යටතේ පිහිටුවන ලද ටවර් හෝල් රඟහල පදනමේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වුයේ ගරු අගමැතිතුමාට දක්ෂ ලෙස සහාය දුන් ඒ.ජේ රණසිංහ මහතාය. ටවර් හෝල් රඟහල පදනම විසින් ඉදිරිපත් කරන ලද දෙවන නූර්තිය වූයේ නීතිඥ ජෝන් ද සිල්වා ශුරීන්ගේ සුප්‍රකට ඵෙතිහාසික නාට්‍යයක් වූ 'ශ්‍රීවික්‍රම'ය. මෙම නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීමේ දුෂ්කර කාර්යය ප්‍රමුඛ පෙලේ නාට්‍ය රචකයෙකු හා අධ්‍යක්ෂවරයෙක් වූ ප්‍රේමරංජිත් තිලකරත්න මහතාට පවරන ලද, අතර එම නාට්‍ය මගින් සිංහල රාජ්‍යයේ ඛේදජනක අවසානය මූර්තිමත් ‍කළේය. ප්‍රේමරංජිත් තිලකරත්න මහතා මෙම නූර්තිය, වේදිකා ආලෝකය සමූහ චලන සහ සමූහ ගායනා නැමැති නවින රංග ශිල්ප ක්‍රම යොදවා අනුවාදනයක් ලෙස සකස් කළේය. ශ්‍රී වික්‍රම නාට්‍යයේ මංගල දර්ශනය 1979 මාර්තු 02 වැනි දින පවත්වන ලද්දේ එකල ජනාධිපති ධූරය දැරු දිවංගත ගරු ජේ.ආර්. ‍ජයවර්ධන මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ තානාපතිවරුන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙනි. එය සිංහ‍ලයේ අන්තිම රජුගේ යටත් වීමේ 164 වැනි සංවත්සරය සනිටුහන් කලේය.

‘සමුද්‍රදේවී’ වේදිකා නාට්‍යය ටවර් හෝල් රඟහල පදනම විසින් නිපදවන ලද තුන්වැනි නාට්‍යය වේ. 1940 දශකයේ ප්‍රකට නාට්‍ය රචකයෙකු වූ ඩී.බී. සෙනෙවිරත්න මහතා විසින් ලියන ලද මේ නාට්‍යය නිෂ්පාදනය කිරීම භාරදෙන ලද්දේ ටවර් හෝල් යුගයේ කලාකරුවෙකු වූ ජී. එච්. ස්ටැන්ලි පෙරේරා මහතා (ස්ටැන්ලි මාස්ටර්) වෙතය. වීදිය බණ්ඩාර නම් කෝට්ටේ යුගයේ වීර කුමරෙකු සහ සමුද්‍රදේවී නම් අහිංසක සිංහල කුමරියක අතර ඇති වූ ඛේද ජනක ප්‍රේම වෘත්තාන්තය මේ නාට්‍යයෙන් ප්‍රකට විය. කෙසේ වුවද සමුද්‍රදේවී චවනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූර්තියක් නොවේ. එහි හැඩහුරුකම සමානවන්නේ ටීටර් නැමැති නාට්‍යය ප්‍රභේදයන්ටය. "ගෝවේ ගෑණු පරාදයි" යන ජනප්‍රිය රිද්මානුකුල ගීතය මේ නාට්‍යයේ අඩංගු විය. එය පෘතුගීසි බයිලා ගායනයට නෑකම් දැක්වූවකි.

මේ නූර්ති නාට්‍ය තුනේම සංගීතය මෙහෙයවන ලද්දේ දිවයිනේ අති දක්ෂ සංගීතඥයෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා විසිනි. නර්තන විලාශ, චිත්‍රසේන නර්තන පාසල විසින් මෙහෙයවන ලද අතර, ඇදුම් සහ වේදිකා සැරසිලි සැලසුම් කොට නිර්මාණය කළේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ සෝමබන්දු විද්‍යාපති විසින්ය. ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ අභාවයත් සමගම 1993 දී ගරු ඩී.බී. විජේතුංග මැතිතුමා විසින් ටවර් රඟහල පදන‍‍මේ සභාපතිත්වය භාර ගන්නා ලදි. ඉන් පසුව අග්‍රමාතවරුන් වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා යන ප්‍රභුන් විසින් ටවර් හෝල් රඟහල පදනමේ සභාපතිත්වය හොබවන ලදී.

මේ අතර අධ්‍යක්ෂ ජනරාල් තනතුර කේ.එච්. අබේසිංහ මහතා, දිසා වීරපාන මහතා, බෙනඩික් කුමාරගේ මහතා රංජිත් ධර්මකීර්ති මහතා, නීතීඥ ඉන්දිකා පී. චන්ද්‍රතිලක මහත්මිය සහ එන්.ඩබ්. වෙරළුපිටිය මහතා යන අය විසින් දරා ඇත.

2005 දෙසැම්බර් මස 27 දින සිට සුප්‍රකට නාට්‍යයරචක සහ නාට්‍ය අධ්‍යක්ෂ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් වූ අතර, භාරකාර මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ ගරු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාය. දැනට ටවර් හෝල් රඟහල පදනම ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ ශ්‍රී ලාංකාවේ (iii) ජාතික මධ්‍යස්ථානය වශයෙන් ද කටයුතු කරනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ටවර්_හෝල්_රඟහල්_පදනම&oldid=383192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි