ගෝතමී විහාරය

විකිපීඩියා වෙතින්
ගෝතමී විහාරයේ දාගැබ

කොළඹ බොරැල්ලේ ගෝතමී පාරේ පිහිටා ඇති ගෝතමී විහාරය වර්ෂ 1900 හි වෙසක් පුර පසලොස්වක දින අරඹන ලද්දකි. ගෝතමී විහාරය, එහි ඇති පුරාණ බිතු සිතුවම් නිසා මහත් ප්‍රසිද්ධියට පත් වූ විහාරයකි. ප්‍රාචීන භාෂාවන්ගෙන් මෙන් ම බුරුම හා තායි භාෂාවන්ගෙන් ද ලියැවුණු දුර්ලභ ග්‍රන්ථ රාශියක් ඇතුළත් පුස්තකාලයක් ද දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵලරුහ බෝධියක් ද මෙහි ඇත. මෙම විහාරයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේලා අතර ප්‍රාචීන භාෂෘ ශාස්ත්‍ර පිළිබඳ විශිෂ්ට පඬිරුවන් වූ තෙල්වත්තේ අමරවංශ, තෙල්වත්තේ ශ්‍රී ආරියවංශ යන හිමිවරු වෙත්.

ගෝතමී විහාරයේ ඇති බෝ රුක

ආරම්භය[සංස්කරණය]

මෙම විහාරයේ මූලික දායකත්වය දරන ලද්දේ ශ්‍රීමත් ජේම්ස් පීරිස් ගේ මෑණියන් වූ ඇපලෝනියා ද සොයිසා පීරිස් විසිනි. විහාරය කරවා පූජා කෙ‍රුණේ දොඩන්දූවේ ‍ශෛලබිම්භාරාමාධිපති ව වැඩ විසූ බෞද්ධ අධ්‍යාපනඥ පූජ්‍යපාද දොඩන්දූවේ ශ්‍රී පියරතන මාහිමියන් වෙත ය.

චිත්‍ර[සංස්කරණය]

ගෝතමී විහාර බිතු සිතුවම්:සිද්ධාර්ථ කුමරු වප්මඟුල් දා භාවනා කිරීම
ගෝතමී විහාර බිතු සිතුවම්:රාහුල කුමරු ඉපදීම

මෙම විහාරය අතිශය ප්‍රසිද්ධියට පත් වීමට ප්‍රධාන හේතුව වන්නේ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි ජෝර්ජ් කීට් (1901-1993) විසින් අඳින ලද අගනා බිතු සිතුවම් සමූහය මෙහි පිහිටා තිබීමයි.

කීට් විසින් 1939 මුල් භාගයේ දී අරඹන ලද මෙහි චිත්‍රකරණය 1940 දී නිම කරන ලදී. මෙහි දී ඔහුට අනුග්‍රහය දක්වන ලද්දේ ඇපලෝනියා පීරිස් ගේ මුණුබුරකු වූ හැරල්ඩ් පීරිස් විසිනි. කීට් ගේ චිත්‍රකරණය සඳහා අවශ්‍ය පරිදි ප්‍රතිමා ගෘහයේ බිත්ති සකස් කරන ලද්දේ ගෘහනිර්මාණ ශිල්පී ඇන්ඩෲ බොයිඩ් විසිනි. මුලින් තද දුඹුරු පැහැති රේඛා චිත්‍ර ලෙස නිමවන ලද බිතු සිතුවම් පසුව තෙල්වත්තේ ශ්‍රී අමරවංශ නාහිමියන් ගේ ඉල්ලීම පරිදි කීට් විසින් වණර්‍වත් කරන ලද බව පැවසේ. [1] චිත්‍රකරණය සඳහා කිසිඳු අය කිරීමක් නොකළ කීට් සායම් සඳහා වැය වූ මුදලින් සෑහීමකට පත් විය. කීට් විසින් අඳින ලද එක ම බිතු සිතුවම් සමූහය මෙය වීම විශේෂ කරුණකි.

බුද්ධ ප්‍රතිමාව ඇති ගර්භය වටා පිහිටා තිබෙන ප්‍රදක්ෂිණා පථයෙහි පිට බිත්තියේ ඇතුළු පැත්තෙහි දේවාරාධනාව, මහමායා සිහිනය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, ධනු ශිල්ප දැක්වීම, සරණ මංගල්‍යය, නළඟන රැඟුම්, ගිහිගෙයි කල කිරීම, සතර පෙර නිමිති දැකීම, රාහුල පුතුන් දැකීම, මහාභිනිෂ්ක්‍රමණය, අනෝමා නදියෙන් එතෙර වීම, කේෂඡේදනය, පිඬු සිඟා වැඩීම, ආලාර කාලාම තවුසා මුණ ගැසීම, මාර යුද්ධය යන බුදු සිරිතෙහි වැදගත් සිදුවීම් කීපයක් සිතුවමට නගා තිබේ. මෙම චිත්‍ර නිර්මාණයේ දී පෙරදිග පැරණි චිත්‍ර කලා සම්ප්‍රදාය අනුව එක් සිද්ධියක් අනෙක් සිද්ධිය හා බද්ධ වන පරිදි අඛණ්ඩ කථන න්‍යාය අනුගමනය කර තිබේ.

ප්‍රදක්ෂිණා පථයෙහි ඇතුළු බිත්තියෙහි පිට පැත්තේ මූණත් තුනක, බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩීම, ප්‍රථම ධර්මදේශනාව හා සම්බුද්ධ පරිනිර්වාණය වෙන් වෙන් ව සිතුවම් කර තිබේ.

සිංහල චිත්‍රවල එන මිනිස් රූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ව සිතුවම් කොට ඇත. සිත්තරා පැරණි සම්ප්‍රදායෙන් පිටතට අවස්ථා ලෙස පැරණි විහාරවල සාමාන්‍යයෙන් ඇතුළු ගර්භයේ ඇස් මට්ටමෙන් ඉහළ සිතුවම් කෙ‍රෙන බුදු සිරිතේ සිද්ධි මෙහි ප්‍රදක්ෂිණා පථයේ ඇස් මට්ටමින් පහළ සිතුවම් කිරීම දැක්විය හැකි ය. ප්‍රධාන බිතු සිතුවම්වලට පහළින් ඇති අලංකරණ මෝස්තර නිමවා ඇත්තේ මේ යුගයේ විසූ ප්‍රකට සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියකු වූ මංජුශ්‍රී විසිනි. විශේෂයෙන් මෙම චිත්‍රවල වටිනාකම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය විසින් 1989 වර්ෂයේ දී ගෝතමී විහාරය සංරක්ෂණය කළ යුතු ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගෝතමී_විහාරය&oldid=591954" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි