ගීතාංජන කුඩලිගමගේ

විකිපීඩියා වෙතින්

ගීතාංජන කුඩලිගමගේ උපත ලැබූයේ 1960 දී ශ්‍රී ලංකාවේදී ය. හෙතෙම ශ්‍රී ලංකා පුරවැසියකු ද ඇමරිකා එක්සත් ජනපද පුරවැසියකු ද වේ. සිත්තරකු වන ගීතාංජන 1997 දී එවක කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් ලලිත කලාවේදී උපාධිය ලබා ගන්නා ලදි. 2005 දී MFA උපාධිය බෆලෝහි නිව්යෝර්ක් ස්ටේට් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ලද අතර ඔහු එම විශ්ව විද්‍යාලයේ ම සහාය මහාචාර්යවරයකු හැටියට සේවය කරයි. ගීතාංජන සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශිෂ්‍යයකු වීමට පෙර 1980 දශකයේදී මුල් වරට මහාචාර්ය ජගත් වීරසිංහ සමග එක්ව කොළඹදී කලා ප්‍රදර්ශනයක් ද පවත්වා ඇත. ඇමරිකානු සිත්තරකු වන පිල්ප් ගස්ටන්ගේ කලා ශෛලිය ආභාස කර ගනිමින් ජගත් වීරසිංහ භාවිතා කරන ලද කලා ශෛලිය ගුරු කොට ගනිමින් ගුරුකුලයක් 1990 දශකයේ මැදභාගයේදී ශ්‍රී ලංකාව තුළ බිහි උන අතර ගීතාංජන කුඩලිගම එම ගස්ටන්-ජගත් ගුරුකුලයේ දීප්තිමත් ම පසුප්‍රාප්තිකයකු වේ. ප්‍රදීප් චන්ද්‍රසිරි, කෝරලේගෙදර පුෂ්පකුමාර, හර්ෂා මනෝජනී, නිලන්ති වීරසේකර ගස්ටන්-ජගත් ගුරුකුලයට අයත් අනූව දශකයේ සිත්තම්කරණයේ නියලුණ සෙසු සිත්තර-සිත්තරියෝ ය. මෙම ගුරුකුලයට පෙර මෙම ගුරුකුලයේ සෞන්දර්ය කලාපයට ඥාතිත්වයක් පෙන් වූ කලාකරුවන් දෙදෙනෙකු හැටියට ශාන්ත කේ. හේරත් සහ සස්කියා පින්ටලොන් සැළකිය හැකිය. ගස්ටන්-ජගත් ගුරුකුලයේ ජගත් වීරසිංහ විසින් 1992 දී කාංසාව මැයෙන් සිය ප්‍රථම ඒකපුද්ගල කලා ප්‍රදර්ශනය කොළඹ ජාතික කලාභවනේදී පවත්වන ලද අතර ගීතාංජන සිය ප්‍රථම ඒකපුද්ගල ප්‍රදර්ශනය පවත්වන්නේ Grotesque Hero නමින් 1997 දී කොළඹ හෙරිටේජ් කලාගාරය නමින් හැදින් වූ එතරම් ප්‍රකට නැති කලාගාරයකදී ය. එම කලාගාරය එම ප්‍රදර්ශනයට තදාසන්න කාලයේදීම වසා දමන ලදි. එම කලාගාරයේ ප්‍රදර්ශන අභිරක්ෂක හැටියට වැඩ කළේ ඉන්දියානු ජාතිකයකු වන බල්හිර් බෝද් ය. ලංකාවේ ගස්ටන්-ජගත් ගුරුකුලයේ පුරෝගාමියා වන ජගත් වීරසිංහ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් ම පුවත්පත්-සගරා ලිපි සහ ග්‍රන්ථ සම්පාදනයෙහි නියලෙන ලේඛකයකු ඒ වගේ ම 2000 දී ශ්‍රී ලංකාවේ පිහිට වූ තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන රාජ්‍ය නොවන සංවිධානයේ පුරෝගාමීයා ද එම සංවිධානයට අයත් රෙඩ් ඩොට් කලාගාරයේ ක්‍රියාමයකරුවකු ද වේ. තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන සංවිධානයේ ම සාමාජිකයකු වන ප්‍රසන්න රණබාහු යන අය කතෘ වන අනූවේ ප්‍රවණතාව යන ග්‍රන්ථයට අනුව ලංකාව තුළ ඇති උනාය කියන අනූවේ ප්‍රවණතාව යි කියන බහුත්ව-බහු ශෛලීය කලා ප්‍රවණතාවක ද පුරෝගාමියකු වේ. ගීතාංජන කුඩලිගම 2001 දී ගැලරි කැෆේ පිහිටා ඇති පැරඩයිස් රෝඩ් ගැලරීස් හි සිය හතර වන ඒකපුද්ගල ප්‍රදර්ශනය පැවැත්වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ කිසිදු අයුරකින් සක්‍රීය වන්නේ නැත. අනතුරුව ඔහු ඒකපුද්ගල කලා ප්‍රදර්ශන සහ සමූහ ප්‍රදර්ශන වලට සහභාගි වන්නේ එක්සත් ජනපදය තුළ පමණකි. සිත්තරකු හැටියට එක්සත් ජනපදය තුළ සක්‍රීය වන ගීතාංජන ඊට අමතරව එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකේය සම්භවයක් තිබෙන ඇමරිකානු පුරවැසි ප්‍රේක්ෂක සමාජය අතර සිංහල ගීත ගයන ගායකයකු හැටියට ද ප්‍රචලිත ය. ගායකයකු හැටියට ඔහු වෙනුවෙන් ම රචනා කරන ලද ඒ වගේ ම එම රචනා වෙනුවෙන් ම සංගීතඥයකු විසින් තනු නිර්මාණය ලද ගීත වෙනුවට ඔහු ගයනු ලබන්නේ ලංකාවේ ගායකයන් විසින් ගායනා කරන ලද ගීත ය. ඔහු සුලබ වශයෙන් ගයනුයේ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගේ ගීත ය. 2001 න් පසු සිත්තරකු හැටියට ශ්‍රී ලංකාව තුළ ගීතාංජන සක්‍රීය නොමැති උවත් 2017 දී ලංකාවේ ජාතික රූපවාහිණියේ සජීවී ව විකාශනය උන ගීතාංජන ගී ගැයූ සිහිනයකි රෑ වැඩසටහන නිසා ඔහු ගායකයකු හැටියට ශ්‍රී ලාංකේය සමාජය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. ගීතාංජන ගී ගැයූ මෙම සිහිනයකි රෑ වැඩසටහනේ විශේෂත්වය වූයේ ලංකාවේ ගස්ටන්-ජගත් ගුරුකුලයේ පුරෝගාමියා වන ජගත් වීරසිංහ විසින් තේරූ ගී ගස්ටන්-ජගත් ගුරුකුලයේ ගීතාංජන විසින් ගැයීමයි. 1980 දශකයේදී මුල් වරට ජගත් වීරසිංහ සමග එක්ව කොළඹදී කලා ප්‍රදර්ශනයක් පවත්වා ඇති ගීතාංජන 2017 දී නැවත අවුරුදු 30 කට ආසන්න කාලයකට පසු චිත්‍ර කලාව නොවන මෙම සජීවී සංගීත වැඩසටහන මගින් නැවත එකට දකින්න ලැබීම විශේෂ සංසිද්ධියකි. තව දුරටත් සිත්තරකු හැටියට ලංකාව තුළ සක්‍රීය නොවුණත් ඇමරිකාව තුළ ලංකාවේ ගස්ටන්-ජගත් ගුරුකුලයේ ම අඛණ්ඩ සමාජිකයකු හැටියට චිත්‍ර කලාවේ නියලෙන ගීතාංජන එම ගුරුකුලයේ පුරෝගාමියා වන ජගත් වීරසිංහ සමග කිසිදු විවේචනයක් නොමැතිව ගුරුකුල සාමාජිකයකු වීමත්, සිහිනයකි රෑ වැඩසටහන මගින් ඔවුනතර සුහද මිතුදම පෙන්වීමත් ලංකාවේ දෘෂ්‍ය කලාවේ ඉතිහාසය තුළ වැදගත් සංසිද්ධියකි.

"https://si.wikipedia.org/w/index.php?title=ගීතාංජන_කුඩලිගමගේ&oldid=454070" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි