ජගත් වීරසිංහ
| ජගත් වීරසිංහ | |
|---|---|
| උපත | 1954 මොරටුව, ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
ජගත් වීරසිංහ ශ්‍රී ලාංකික සමකාලීන කලාකරුවෙකු සහ පුරාවිද්‍යාඥයෙකි.[1][2]
ඔහු 1981 දී කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් ලලිත කලාවේදී උපාධිය ලබා ඇත.[1] අපොස උසස් පෙළ විභාගයට විද්‍යා අංශයෙන් පෙනී සිටින ලද වීරසිංහ සෞන්දර්ය අධ්‍ය්‍යන ආයතනයට බැදී ඇත්තේ සිසුන් බදවා ගනු ලැබූ පොදු පටිපාටියට අනුව නොව චිත්‍ර කලාව පිළිබදව ඇති විශේෂ දක්ෂතා අනුව සිසුන් බදවා ගනු ලබන පටිපාටියකට අනුවය. වීරසිංහ මුල් වරට කලා ප්‍රදර්ශනයක් හැටියට සමාජාවතීර්ණ වී ඇත්තේ 1980 දශකයේදී ගීතාංජන කුඩලිගමගේ සමග එක්ව කොළඹ මහජන පුස්තකාල ප්‍රදර්ශන ශාලාවකදී පැවැත් වූ ප්‍රදර්ශනයකිනි. වීරසිංහ හා ගීතාංජන කුඩලිගමගේ යන දෙදෙනා සෞන්දර්ය අධ්‍ය්‍යන ආයතනයට සම්බන්ධ වීමට පෙර සිට මිතුරන් දෙදෙනෙකු උවත් ඔවුන් සෞන්දර්ය අධ්‍ය්‍යන ආයතනයට සම්බන්ධ වන්නේ අවධි දෙකකදී ය. ඒ අනුව වීරසිංහ සෞන්දර්ය අධ්‍ය්‍යන ආයතනයේ උපාධිධාරියෙකු වූ පසු ගීතාංජන චිත්‍ර කලාව හැදෑරීම සදහා සෞන්දර්ය අධ්‍යයන ආයතනයට ඇතුලත් වනුයේ මේ ද්විපුද්ගල ප්‍රදර්ශනයෙන් පසුව 1980 දශකයේ අගභාගයේදී ය. 1985 දී රෝමයේ සංස්කෘතික දේපළ සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICCROM) බිතු සිතුවම් සංරක්ෂණය පිළිබද පුහුණුවක් ජගත් වීරසිංහ ලබන අතර ගීතාංජන චිත්‍ර කලාව හැදෑරීම සදහා සෞන්දර්ය අධ්‍යයන ආයතනයට බැදීමෙන් පසු වීරසිංහ 1990 දී වොෂින්ටන් ඩී.සී. හි ඇමරිකානු විශ්ව විද්‍යාලයෙන් Master of Fine Arts උපාධිය ද ලබා ගන්නා ලදි. අනතුරුව වීරසිංහ 1992 දී කාංසාව මැයෙන් සිය ප්‍රථම ඒකපුද්ගල කලා ප්‍රදර්ශනය කොළඹ ජාතික කලාභවනේදී පවත්වනු ලබයි. කාංසාව යන්න මානසික රෝගයක් වන අතර මානසික රෝගයක නමින් කලාකරුවකු කලා ප්‍රදර්ශනයක් පැවැත්වූ විශේෂ සිදුවීමක් හැටියට මෙම ප්‍රදර්ශන අවස්ථාව සැළකිය හැකිය. 1983 කලු ජූලියත්, 1988-1989 දුර්දාන්ත භීෂණ සමයේ මිනීමැරුම් වල ආදීනව ඔහු කාංසාවකින් පෙළෙන බවට 1992 හා 1995 දී ඔහු පැවැත් වූ ප්‍රදර්ශන අරබයා ඔහු විසින් සමාජයට පවසා ඇත. කලාකරුවකු වන අයකු තමන් කාංසාවට ලක්ව ඇතැයි ප්‍රකාශ කිරීමත් එය පදනම් කරගෙන එවැනි අයකුගේ කලාව සමාජය විචාරගත කර ගැනීමත් සුවිශේෂ වන නමුත් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදේශයන් තුළද එය විශේෂ කොට සළකන බවට තොරතුරු නැත.
වීරසිංහ ලාංකේය සමාජය තුළ සිය ප්‍රථම කලා ප්‍රදර්ශනයෙන් ම සමාජ අවධානය දිනා ගැනීමට සමත් වූ අතර ඔහු එම ප්‍රදර්ශනය අවස්ථාවේදී කලු ඇදුමින් සැරසුණ තරුණයින් පිරිසක් ලවා මිනී පෙට්ටියක් කුඩු කරවනු ලැබීමත්, ඊට සමගාමීව සුදු ඇදුමින් සැරසී අරලිය මල් අතින් දරා ගත් ජර්මන් ජාතික කාන්තාවක් ලවා නිරූපණයක් ඉදිරිපත් කිරීමත්, තමන්ගේ අනන්‍යතාව හැටියට සුදු හැට්ටයක් සහ සුදු සාරියකින් නිරන්තරයෙන් සැරසී සිටින ගායිකාවක වන 80 දශකයේ රාජ්‍ය මර්දනයට එරෙහිව පවන නමින් විරෝධාකල්පිත ගී ප්‍රසංග මාලාවක් හා කැසට් පට ද්විත්වයකට ගී යැයූ නන්දා මාලිනී එම ප්‍රදර්ශනයේ මෙම නිරූපණ අවස්ථාවට සහභාගි වූ ආරාධිතයකු වීමත් යන කාරණා කිහිපයක් නිසා මේ ප්‍රදර්ශනය සුවිශේෂී ප්‍රදර්ශනයක් විය. දෘෂ්‍ය කලා ප්‍රදර්ශන ඉදිරිපත් කරන ඇතැම් කලාකරුවන් චිත්‍ර, මූර්ති, ස්ථාපන හා එකලස් කලා වැඩ වලට අමතරව නිරූපණයන් ද ඉදිරිපත් කරන අතර මේ ප්‍රදර්ශනයට සමාන්තරව ප්‍රදර්ශන සමාරම්භක අවස්ථාවේ කළ නිරූපණයේ විශේෂත්වය වන්නේ ප්‍රදර්ශනයේ කලාකරුවා වන ජගත් වීරසිංහ නිරූපණය ඉදිරිපත් නොකොට වෙනත් අය ලවා ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිරූපණ ඉදිරිපත් කිරීමයි. මේ ප්‍රදර්ශනයේදී මිනී පෙට්ටියක් කුඩු කර දමන තරුණයින් කව්ද යන්න පිළිබදව ද ප්‍රදර්ශනයේ කලාකරුවා වන ජගත් වීරසිංහ කිසිදු අයුරකින් හෙළිදරව් කොට නැත.
වීරසිංහ සිය කලා ශෛලියේ මූලික ලක්ෂණය සදහා ආභාසය ලබාගෙන ඇත්තේ ඇමරිකානු සිත්තරකු වන පිල්ප් ගස්ටන්ගේ කලා ශෛලියෙන් ය. එම කලා ශෛලිය ගුරු කොට ගනිමින් ගුරුකුලයක් 1992 න් අනතුරුව අනූව දශකයේ හා 2000 න් පසුව ලංකාව තුළ ව්‍යාප්ත උන අතර ගීතාංජන කුඩලිගම එම ගස්ටන්-ජගත් ගුරුකුලයේ ම ප්‍රභල පසුප්‍රාප්තිකයකු වේ. ප්‍රදීප් චන්ද්‍රසිරි, කෝරලේගෙදර පුෂ්පකුමාර, හර්ෂා මනෝජනී, නිලන්ති වීරසේකර, තුහියා පුෂ්පකුමාර සහ ලසන්ත චන්දන කුමාර ආදීහු ගස්ටන්-ජගත් ගුරුකුලයේ අනෙකුත් සාමාජිකයින් වේ. ජගත් වීරසිංහ හා ගීතාංජන කුඩලිගමගේ ඇතුළු මෙම ගුරුකුලයේ සියලු කලාකරුවන්ගේ එක් ලක්ෂණයක් වන්නේ මෙම ගුරුකුලයේ කලා ශෛලිය පෙන්නුම් කරන ලද ඔවුනගේ සිය කලා කෘති වලට කලින් ඔවුන් කරන ලද කලා කෘති මොනවාද යන්නත්, ඒවායේ ස්වභාවය මොන වගේ ද යන්නත් සමාජයට හෙළිදරව් නොකිරීමයි. මෙම ගුරුකුලයේ සාමාජිකයින්ට පෙර එම සෞන්දර්ය කලාපයට ඥාතිත්වයක් පෙන් වූ කලාකරුවන් හැටියට ශාන්ත කේ. හේරත් සහ සස්කියා පින්ටලොන් හදුනාගත හැකිය. පිලිප් ගස්ටන් 1960 දශකයේ අග භාගයේදී සිතුවම්කරණයේ දී වියුක්ත ප්‍රකාශනවාදයේ සිට නැවුම් ප්‍රකාශනවාදයකට මාරු වූ අතර ආත්මානුබද්ධ සංකේත සහ වස්තූන් නිරූපණය, චිත්‍රණය සරල කිරීම, බෙලහීනාකාර සෞන්දර්යයක් පෙන්නුම් කිරීම, මානව විදවීම් කලාපයක් ස්පර්ෂ කිරීම, බොළද ආකාරයක් නිරූපණය කිරීම, ශාස්ත්‍රාලයීය පුහුණු ඇදීම හා පින්තාරුකරණයට සපුරාම පටහැනි දුර්වලාකාරකමක් පෙන්වීම ආදී ලක්ෂණයන්ගෙන් යුක්ත අනූපම කලා ආරක් විෂද කළේ ය. වින්සන්ට් වැන්ගෝ වැනි දුක්ඛාන්තමය සෞන්දර්ය ප්‍රකාශනයන් සේ ම ගස්ටන් ගුරුකොට ඇමරිකාව තුළ ගුරුකුලයක් නොසෑදුණේ ගස්ටන්ගේ කලාව නැවත දෘෂ්‍ය කලාවේ ඇදීම හා පින්තාරුකරණය මගින් පුනරුච්චාරණය කිරීමට නොහැකි පුද්ගලානුබද්ධ කලාවක් නිසාද යන්න ගැන ගවේශනයක් මේ වන තෙක් සිදුව නැත. ඇමෙරිකාව තුළ ගස්ටන් ගුරුකොට ගුරුකුලයක් බිහි නොවී ලංකාව තුළ පළමුව ගස්ටන් සහ දෙවනුව ජගත් ගුරුකොට ගනිමින් ගුරුකුලයක් හැදීම ලංකාවේ කලා ඉතිහාසය තුළ පමණක් නොව ලෝක කලා ඉතිහාසය තුළ ද සුවිශේෂ ය.
ලලිත කලාවේදී ප්‍රථම උපාධිය සහ ලලිත කලාව සදහාම වන දෙවන පශ්චාත් උපාධියක් ලබා ඇති ජගත් වීරසිංහ 1990 දශකයේදී ම පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයකු වීම ද විශේෂ සිදුවීමකි. පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පුරා විද්‍යා ප්‍රථම උපාධිය ලබා දෙන විශ්ව විද්‍යාල දෙපාර්තමේන්තුවකට වඩා එහි විෂය පථය හා පරමාර්ථ අතින් වෛශයික දුරවබෝධ විශේෂඥභාවයන් ඇති කරලීම පිණිස කටයුතු කරන ආයතනයකි.ඒ අනුව එය අනෙකුත් පුරා විද්‍යාවට අදාළ ප්‍රථම උපාධි දෙපාර්තමේන්තු වලට වඩා ඉහළින් සිටින ආයතනයකි. පුරා විද්‍යාවට අදාළ එබදු වෛශයික ආයතනයකට චිත්‍ර කලාව ගැන උසස් අධ්‍යාපනය හා පශ්චාත් උපාධි ලත් ජගත් වීරසිංහ කෙලින්ම බදවා ගැනීමට කටයුතු කොට ඇත්තේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක ය. බිත්බර සිතුවම් සංරක්ෂණය එවක පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ අනතුරුව එහි අධ්‍යක්ෂවරයකු ද විය. ජගත් වීරසිංහ සිත්තරෙක් වන අතරම සමකාලීන දෘෂ්‍ය කලාවේ ඉතිහාසය අරබයා උනන්දු වන කලා ඉතිහාසඥයකුගේ භූමිකාව තුළද නියලේ. වීරසිංහ 1990 දශකයේ ඇති වූ සිය ගුරුකුල ශෛලියට අයත් ගීතාංජන කුඩලිගම හැර එම ගුරුකුලයේ තෝරා ගත් පසුප්‍රාප්තික වෙනත් කිහිප දෙනෙකුත්, ගස්ටන්-ජගත් ගුරුකුලයට අයත් නොවන ඊට සපුරාම වෙනස් වූ වෙනත් බහු ශෛලීය ප්‍රවේෂයනුත් ඇතුලත් කොට 90 වේ ප්‍රවණතාව යනුවෙන් ඔහු ගුරු කොට ගත් බහුත්ව බහු ශෛලීය ප්‍රවණතාවක් ඇති උන බවට සිය ඉතිහාසකරණය මෙහෙය වූ අතර 2006 දී ඔහුගේ ව්‍යායාමය 90 වේ ප්‍රවණතාව නමින් ම ප්‍රසන්න රණබාහු යන පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ම කථිකාචාර්යවරයකු වන අය ග්‍රන්ථයක් හැටියට සම්පාදනය කරන ලදි. මහාචාර්ය සේනක බණ්ඩාරනායක විසින් උත්තරාරෝපිතව ජගත් වීරසිංහ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිත්‍ය කථිකාචාර්යවරයකු බවට පත් කර ගැනීමට කටයුතු කළ අයුරින් ම ජගත් වීරසිංහ ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු හැටියට සහ අනතුරුව අධ්‍යක්ෂකවරයකු හැටියට පත් වීමේ බලය අවභාවිත කොට ප්‍රසන්න රණබාහු යන අය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයකු බවට උත්තරාරෝපිතව පත් කරගෙන ඇති බව ප්‍රසන්න රණබාහු සම්පාදනය කොට ඇති 90 වේ ප්‍රවණතාව යි කියන ග්‍රන්ථය අධ්‍යයනයෙන් හදුනා ගත හැකිය.
අනෙකුත් කලාකරුවන් මෙන් නොව වීරසිංහ සිය කලාව, පුරා විද්‍යා දැනුම හා ඉතිහාසය පිලිබඳ දැනුම හා බුද්ධිය මත මෙහෙයවන බව ඔහු විසින් මෙතෙක් ලියා පළ කොට ඇති ලිපි ලේඛන පරීක්ෂා කරන විට පෙනේ. හෙතෙම කලා ප්‍රදර්ශන අභිරක්ෂකයකුද 2000 දී ස්ථාපිත කරන ලද තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව නැමති රාජ්‍ය නොවන සංවිධානයේ පුරෝගාමියා ද එහි ව්‍යාපෘති සම්පාදකයකුද වේ. එම සංවිධානය ස්ථාපිත කිරීමට සමගාමීව ඔහු විසින් 'Made in IAS' නමින් සමූහ ප්‍රදර්ශනයක් අභිරක්ෂණය කොට 2000, ජුලි බෙයාර්ෆුට් කලාගාරයේදී පවත්වන ලද අතර එම ප්‍රදර්ශනය ඔහු විසින් වහරණ අනූවේ ප්‍රවනතාව යන්නට අදාළ බහුත්ව බහු විලාස නිදර්ශන පෙන්වා දෙන කෘත්‍රිම හදිසි ප්‍රදර්ශනයක් වේ. 90 වේ ප්‍රවණතාව යන ග්‍රන්ථය රචනා කළ ප්‍රසන්න රණබාහු මුල්වරට කලා ප්‍රදර්ශනයක් හැටියට සමාජාවතිර්ණ වන්නේ ද විරසිංහ අභිරක්ෂණය කොට ඉදිරිපත් කළ මෙම මේඩ් ඉන් අයි. ඒ. එස්. ප්‍රදර්ශනය මගිනි. සුජිත් රත්නායක හැර මෙම ප්‍රදර්ශනයේ සියලු සාමාජිකයින් ගේ කලා කෘති වූයේ එවක සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර-මූර්ති අධ්‍යයනාංශය වෙනුවෙන් කළ පාඨමාලා අධ්‍යයන පැවරුම් ය. රත්නායක උපාධි පාඨමාලාවට මූර්ති කලාව හැදෑරූ අතර මේ ප්‍රදර්ශනය සදහා ලබා ගත් ඔහුගේ පුරහල බෝම්බය කෘතිය චිත්‍ර/ග්‍රැෆික්/මිශ්‍ර මාධ්‍ය/මොන්ටාජ් ශිල්ප විධීන්ට අයත් මූර්ති පාඨමාලාවට කිසිදු සම්බන්ධයක් නැති නිදහස් කෘතියකි. දෙවන අධ්‍යයන වසරේ සිට අවසන් අධ්‍යයන වසර දක්වා සිසුන් 16 දෙනෙකුගෙන් මේ ප්‍රදර්ශනය සමන්විත වූ අතර රත්නායක හැර සෙසු 15 දෙනාගේ සිය අධ්‍ය්‍යන පැවරුම් කලා ප්‍රදර්ශනයක් හැටියට වීරසිංහ ඉදිරිපත් කරන්නේ ආයතනයෙන් නිළ අවසරයක් ලබා ගැනීමෙන් ද තොරව ය. පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිත්‍ය කථිකාචාර්යවරයකු උවත් වීරසිංහ 1996 පමණ සිට සෞන්දර්ය අධ්‍ය්‍යන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු විය. මෙම ප්‍රදර්ශනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ සුජිත් රත්නායක හැර ඉතිරි සියල්ලෝ ම මේ ප්‍රදර්ශනය මගින් කලා ප්‍රදර්ශනයකට මුල්වරට සම්බන්ධ වීමයි. මෙම ප්‍රදර්ශනයේ සහභාගීකරුවන් අතුරින් අනතුරුව තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකත්වය හා කලා සංස්කෘතික ක්‍රියාකාරකම් සමග 1.ප්‍රසන්න රණබාහු 2. බන්ධු මනම්පේරි 3. සරත් ප්‍රේමසිංහ 4. පාල පොතුපිටිය යන අය සම්බන්ධ වී කටයුතු කරන ලද අතර ප්‍රසන්න රණබාහු හා සරත් ප්‍රේමසිංහ යන අය තීර්ථ සංවිධානයේ ප්‍රකාශන වල ලේඛකයින් හැටියට ද කටයුතු කරන ලදි. 'Made in IAS' ප්‍රදර්ශනය පැවැත් වූ 2000 වර්ෂයේදීම වීරසිංහගේ පුරෝගාමීත්වයෙන් තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන රාජ්‍ය නොවන සංවිධානය පිහිටුවන ලද අතර එම සංවිධානය කලාකරුවන් 11 දෙනෙකුගෙන් පිහිටුවන ලද බව එම සංවිධානයට අයත් වෙබ් අඩවියේ සදහන් කොට ඇතත් එම එකොලොස් දෙනා කව්ද යන්න මේ වන තෙක් එම වෙබ් අඩවියේ දක්වා නැත. ජගත් වීරසිංහ සිංහල හා ඉංග්‍රීසී භාෂාව කතා කරන ඒ වගේ ම භාෂා දෙකෙන් ම ලේඛකයකු වූ අතර සිවිල් සමාජ තත්වයක් ලබා සිටි ජ්‍යෙෂ්ඨ ඉහළ මධ්‍යම පන්තික සිවිල් සමාජ සාමාජිකයෙකි. එවකදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු, ප්‍රදර්ශන අභිරක්ෂකයකු, ව්‍යාපෘති සම්පාදකයකු වූ හෙතෙම සමග තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 'Made in IAS' ප්‍රදර්ශනයෙන් මුල් වරට කල එළි බසින ලද බන්ධු මනම්පේරි ඇතුළු වෙනත් විරසිංහගේ සිවිල් සමාජ තත්වය සමග නොපෑහෙන කණිෂ්ඨ පිරිසක් සිටීම ද විශේෂත්වයකි. ඒ වගේ ම ප්‍රදර්ශන සමරු කලාපයට අනුව 'Made in IAS' ප්‍රදර්ශනය ඉදිරිපත් කරන ලද සංවිධානය හැටියට දක්වා ඇති Club Made in IAS යන්න භාවිතයේ නැති අතර එම සංවිධානයේ ලිපිනය හැටියට දක්වා ඇත්තේ ජගත් වීරසිංහගේ දෙමව්පියන්ගේ නිවසේ ලිපිනය වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ සමකාලීන කලාව තුළ ගස්ටන්-ජගත් ගුරුකුලයේ දීප්තිමත් පසු ප්‍රාප්තිකයකු වන ගීතාංජන කුඩලිගම යන අය අනූවේ ප්‍රවණතාව යැයි කියන ප්‍රවණතාවයෙන් පිටත තැබීමත්, මෙම ප්‍රවණතාවට පෙර දෘෂ්‍ය කලාවේ නවමු විෂද ප්‍රවිෂ්ටයන් පෙන්නුම් කළ ගස්ටන්-ජගත් ගුරුකුලයට කිසිදු සම්බන්ධයක් නැති බන්ධුල පීරිස්-තිලක් සමරවික්‍රම-ඩෘවින්කා මඩවල-ශාන්ත කේ. හේරත්- සස්කියා පින්ටලොන්-ඉන්ද්‍රනාථ තේනුවර-සරත් චන්ද්‍රජීව- රැලෙක්ස් රණසිංහ-නයනානන්ද විජේගුණතිලක-රාජා සෙගාර්-සරත් සූරසේන-සරත් ගුණසිරි පෙරේරා-එස්. එච්.සරත්-විනී හෙට්ටිගොඩ-කරුණිසිරි විජේසිංහ-සිරිමල් සංජීව කුමාර-සුජීවා කුමාරි-නෙලුම් හරස්ගම වැනි අය මුලුමනින් ම ඊට අදාළ කර නොගැනීමත්, ඒ වගේ ම ගස්ටන්-ජගත් ගුරුකුලයට කිසිදු සම්බන්ධයක් නැති රොහාන් අමරසිංහ-තිස්ස ද අල්විස්-චන්ද්‍රගුප්ත තේනුවර- කිංස්ලි ගුණතිලක-මොහොනඩ් කාඩර්-ටී ශනාතනන්-සුජිත් රත්නායක යන අය ඉහත ප්‍රවණතාව තුළ 'Made in IAS' ප්‍රදර්ශනයේ හා තිර්ථ සංවිධානයේ සාමාජිකයින් සමග සමරූපීක කොට ජගත් විරසිංහ ගුරු කොට ගත් බහුත්ව බහු ශෛලීය 90 වේ ප්‍රවණතාව තුළ බහු ශෛලීය පසුප්‍රාප්තිකකරණයට ලක් කිරීමත්, ජී. ආර්. කොන්සටන්ටයින්- අනෝලි පෙරේරා-මැණිකා වැන්ඩර්පූටන් වැනි තිර්ථට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ තවත් කිහිප දෙනෙක් උක්ත ප්‍රවණතා සම්පිණ්ඩණය තුළට ඇතුලත් කිරීමත්, ඒ වගේ ම විභවි ලලිත කලා ඇකඩමියේ නිර්මාතෘවරයා වන චන්ද්‍රගුප්ත තේනුවරගේ ශාස්ත්‍රාලයීය කලා ශික්ෂණය හා පරිචයට වෙනස් එම ඇකඩමියේ ම එවක ආධුනික ශිෂ්‍යයකු වූ අනුර බැරගමගේ රැඩිකල් අරුමෝසම් කලා වැඩ චන්ද්‍රගුප්ත තේනුවරගේ වැඩ සමග උක්ත ප්‍රවණතාව තුළ සමරූපික කිරීමත්, උක්ත ප්‍රවණතාව තුළ ජගත් වීරසිංහ මූල සාධකයක් හැටියට සම්පිණ්ඩණය කොට අනතුරුව එය පදනම් කර ගනිමින් ස්ත්‍රවාදී-අරුමෝසම්වාදී-සංකල්පවාදී-පශ්චාත් නූතනවාදී-පාර නූතනවාදී-ආසියානු නූතනවාදී-බහුත්වවාදී ය කියන ......මානයන් රාශියක් තුළ විරසිංහගේ කලාවත් සමග කිසිදු සම්බන්ධයක් නැති කලා ප්‍රවිශ්ටයන් සහ තීර්ථ සංවිධානයේ කලාකරුවන් කිහිප දෙනෙකුගේ වැඩ පිරමිඩාකාර නිර්මිතයක් තුළ ඉතිහාස ප්‍රවණතාකරණයක් බවට පත් කිරීමත්, ලංකාව තුළ ඇබ්ස්ට්‍රෑක්ට් කලාවේ පුරෝගාමියකු වන 43 කණ්ඩායමේ ජොර්ජ් ක්ලාසන්ගෙන් වියුක්තව එච්. ඒ කරුණාරත්නගේ ඇබ්ස්ට්‍රෑක්ට් කලාව අනූවේ ප්‍රවණතාවය කියන ප්‍රවණතාවේ පූර්ව දයලෙක්තික තර්කනය හැටියට කෘත්‍රිමව අධිනිෂ්චය කොට ඊට ප්‍රති උත්තරයක් හැටියට ජගත් වීරසිංහ ගුරු කොට ගත් අනූවේ ප්‍රවණතාවය කියන ප්‍රවණතාව ඇති වූ බවට පුරෝකථනය කිරීමත්, චිත්‍ර-මූර්ති අධයාපනය හා නිර්මාණකරණයෙහිලා සම්භාවනාවට ලක් උන කාය ව්‍යවච්ඡේදය-පර්යාවලෝකනය-මානව හා වස්තු පරිමාණ-නිෂ්චල ද්‍රව්‍ය සම්පිණ්ඩණ-ජීව රූ ඇදීම- ස්කන්ධ-වර්ණ-රේඛා-හැඩ-හැඩතල-වයන-අවකාශ ආදී දෘෂ්‍ය කලා උසස් අධ්‍යාපනයෙහිලා සම්භාවනාවට පාත්‍ර වූ මූලධර්ව වල උචිතානුචිතභාවය අවිචාරගත කිරීමත් ඇතුලු අතිශය සංකීර්ණ පරාසයක ජගත් විරසිංහ හා ඔහු නියෝජනය කරන තිර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන සංවිධානය කටයුතු කරයි. හුදෙක් කලාකරුවකු පමණක් නොවන ජගත් විරසිංහ නිසා 90 දශකයෙන් පසු ලංකාවේ දෘෂ්‍ය කලාවේ අනන්‍යතා, ගුරුකුල, ප්‍රවණතා, සංධිස්ථාන,නව ප්‍රවිෂ්ට, දෘෂ්‍ය කලා සමාජයට අදාළ පොදු පිළිවෙළ, දෘෂ්‍ය කලා සමාජයේ ධූරාවලි ආදී සාධක හා ප්‍රපංච අර්බුදයකට ලක් වූ අතර ඒ අනුව දෘෂ්‍ය කලා විචාර ක්ෂේත්‍රයද අර්බුදයට ලක් විය. මෙම තත්වය දෘෂ්‍ය කලා අධ්‍යාපනය හා කලා නිර්මාණ ක්‍රියාවලියට නරක අතට බලපාන ලද බවට වර්තමාන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨය හෝ කිසිදු දෘෂ්‍ය කලාකරුවකුද විවේචනය හෝ ප්‍රශ්න කිරීමකට ලක් නොකිරීමද විශේෂත්වයකි. වීරසිංහ හා මෙම තත්වය විවේචනය හා ප්‍රශ්න කිරීමට ලක් කරනු ලබන්නේ වීරසිංහ විසින් 2000 දී 'Made in IAS' ප්‍රදර්ශනයේ සාමාජිකයකු බවට පත් කරන ලද සුජිත් රත්නායක පමණකි.
ඒකපුද්ගල ප්‍රදර්ශන
[සංස්කරණය]- 1992 කාංසාව - ජාතික කලාභවන, කොළඹ[3]
- 1995 ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ
- 1997 යන්ත්‍රගල හා වට වන්දනාව - හෙරිටේජ් කලාගාරය, කොළඹ[1]
- 1997 Recent Paintings - පැරඩයිස් කලාගාරය, කොළඹ
- 2000 (My) Inability of Painting Woman - Gallery 706, කොළඹ
- 2003 පැරඩයිස් - රෝඩ් කලාගාරය, කොළඹ
- 2005 The Celestial Underwear - Phenomenal Space Gallery, කොළඹ
- 2006 The Reading Room: Thousand Shivas and Thousand Mikes - Singapore Biennale curated by Fumio Nanjo, Sharmini Perira, Eugene Tan and Roger McDonald, සිංගපූරුව.
- 2009 Shiva Nataraja - සස්කියා ප්‍රනාන්දු කලාගාරය, කොළඹ
- 2014 Decorated - සස්කියා ප්‍රනාන්දු කලාගාරය, කොළඹ
- 2014 Decorated - Breese Little, ලන්ඩන්, එක්සත් රාජධානිය
- 2015 පැරඩයිස් කලාගාරය, කොළඹ
- 2016 With or without me/aning - සස්කියා ප්‍රනාන්දු කලාගාරය, කොළඹ
- 2018 Belief: The Promise of Absence - සස්කියා ප්‍රනාන්දු කලාගාරය, කොළඹ[4]
- 2025 ඉතිහාසය සොයා ගැනීම - සස්කියා ප්‍රනාන්දු කලාගාරය, කොළඹ[5]
රචිත ග්‍රන්ථ
[සංස්කරණය]2002 - චිත්‍රයේ අනෙක් පැත්ත, විභවි ලලිත කලා ඇකඩමියේ ප්‍රකාශනයකි.
සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්ය ධූර අවධිය
[සංස්කරණය]සංස්කරණය කිරීමට නියමිතයි.
කියුරේටර් භූමිකාව
[සංස්කරණය]සංස්කරණය කිරීමට නියමිතයි.
තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව සංවිධානයේ භූමිකාව
[සංස්කරණය]සංස්කරණය කිරීමට නියමිතයි.
යොමු
[සංස්කරණය]- ^ a b c "Jagath Weerasinghe" (ඉංග්‍රීසි බසින්). Framer Framed. සම්ප්‍රවේශය 1 අගෝස්තු 2025.
- ^ "Jagath Weerasinghe" (ඉංග්‍රීසි බසින්). World art and Memory Museum. සම්ප්‍රවේශය 1 අගෝස්තු 2025.
- ^ "I have got enough guilt to start my own religion (1992)" (ඉංග්‍රීසි බසින්). Museum of Modern and Contemporary Art Sri Lanka. සම්ප්‍රවේශය 1 අගෝස්තු 2025.
- ^ "Jagath Weerasinghe's exhibition 'Belief: The Promise of Absence' at Saskia Fernando Gallery". DailyFT (ඉංග්‍රීසි බසින්). 24 නොවැම්බර් 2018. සම්ප්‍රවේශය 1 අගෝස්තු 2025.
- ^ වීරරත්න, රිෂිනි (11 ජනවාරි 2025). "EXHIBIT BY JAGATH WEERASINGHE". Daily Mirror (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 1 අගෝස්තු 2025.