ගැලීලියානු චන්ද්‍රයින්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බ්‍රහස්පති ග්‍රහයාගේ විශාලත්වය සහ ගැලීලියානු චන්ද්‍රයින්ගේ විශාලත්වයන් සසඳමින් ඡායාරූප කිහිපයක් එක්කොට තැනූ සමෝධානයක්. ඉහල සිට පහලට පිළිවෙලින් ආයෝ, යුරෝපා, ගැනිමීඩ්, කැලිස්ටෝ

ගැලීලියානු චන්ද්‍රයින් යනු වර්ෂ 1610 ජනවාරි මාසයේ ගැලීලියෝ ගැලීලි විසින් සොයාගන්නාලද බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් සතරකි. මේවා බ්‍රහස්පති ග්‍රහයා සතු විශාලතම චන්ද්‍රයන් සතර වන අතර ඒවා සියුස් දෙවියාගේ පෙම්වතියන් සිව්දෙනෙක් වන ආයෝ, යුරෝපා, ගැනිමීඩ් සහ කැලිස්ටෝ යන නම් වලින් නම් කර ඇත. සූර්යයා සහ අනෙකුත් ප්‍රධාන ග්‍රහලෝක අට හැරුනු විට සූර්යග්‍රහ මණ්ඩලය තුල පවතින විශාතම වස්තූන් අතර මෙම චන්ද්‍රයින් ද වේ. මේවා විශාලත්වයෙන් අනෙකුත් සියළුම වාමන ග්‍රහලෝක අභිබවයි.

මෙම චන්ද්‍රයින් සොයාගන්නා ලද්දේ වර්ෂ 1609 සහ 1610 පමණ කාලය තුලදී ගැලීලියෝ විසින් ඔහුගේ දුරේක්ෂය වැඩිදියුණු කිරීමෙන් පසු වඩාත් පැහැදිළිව දුරස්ථ ආකාශ වස්තූන් නිරීක්ෂණය කිරීමට ඔහුට හැකිවූ බැවිනි. ගැලීලියෝගේ මෙම සොයාගැනීම මඟින් අභ්‍යවකාශය තුළ පියවි ඇසින් දැකිය නොහැකි වස්තූන් ඇති බව මෙන්ම තාරකා විද්‍යාඥයින්හට අභ්‍යවකාශ නිරීක්ෂණයේ දී දුරේක්ෂය භාවිතයේ ඇති වැදගත්කම ද පෙන්වාදෙන ලදී. වඩාත්ම වැදගත් කරුණක් වන්නේ එවකට පිළිගැනීමට ලක්ව තිබූ භුකේන්ද්‍ර වාදය එනම් සියළු ආකාශ වස්තූන් පෘථීවිය වටා භ්‍රමණය වන බව, පෘථීවිය නොවන වෙනත් වස්තුවක් වටා භ්‍රමණය වන අභ්‍යවකාශ වස්තූන් සොයාගැනීම හේතුවෙන් බිඳවැටීමයි.

ගැලීලියෝ විසින් මේවා Cosmica Sidera (කොසිමෝ ගේ තාරකා) ලෙස මුලින්ම හැඳින්වූ අතර වර්තමානයේ පවතින නම් තෝරාගන්නා ලද්දේ ජර්මන් ජාතික තාරකාවිද්‍යාඥයෙකු වූ සිමොන් මාරියස් විසිනි. මාරියස් විසින් ද මෙම චන්ද්‍රයන් ගැලීලියෝට සමකාලීනව සොයාගෙන ඇති අතර තාරකාවිද්‍යාඥ ජොහැන්ස් කෙප්ලර් විසින් වර්ෂ 1614 දී පලවූ Mundus Jovialis නම් කෘතියෙහි යෝජනාකල පරිදි මෙම චන්ද්‍රයින්ට ඒවායේ වර්තමාන නම් ලැබී ඇත.

ඉතිහාසය[සංස්කරණය]

සොයාගැනීම[සංස්කරණය]

ගැලීලියෝ ගැලීලි, ගැලීලියානු චන්ද්‍රයින් සොයාගත් තැනැත්තා

ගැලීලියෝ ගැලීලි විසින් ඔහුගේ දුරේක්ෂය සිදුකරන ලද වැඩිදියුණු කිරීම් හමුවේ 20× විශාලන බලයක් සහිතව, මින් පෙර නිරීක්ෂණය කිරීමට නොහැකිව තිබූ ආකාශ වස්තූන් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට ඔහුට හැකිවිය. එමඟින් වර්ෂ 1609 දෙසැම්බර් සහ 1610 ජනවාරි අතර කාලය තුලදී ගැලීලි හට මෙම ගැලීලියානු චන්ද්‍රයින් සොයාගැනීමට හැකිවිය.

වර්ෂ 1610 ජනවාරි මස 7 වැනි දින බ්‍රහස්පතිගේ චන්ද්‍රයින් පිළිබඳ ප්‍රථමවරට සඳහනක් කරමින් ලිපියක් ලියනු ලැබීය. එවිට ඔහු නිරීක්ෂණය කර තිබුණේ ඒවායින් චන්ද්‍රයන් ත්‍රිත්වයක් පමණක් වන අතර ඔහු ඒවා බ්‍රහස්පති ග්‍රහයා අසල පිහිටි ස්ථාවර තාරකාවන් ලෙස විශ්වාසකලේය. අනතුරුව ඔහු තවදුරටත් මෙම ඛගෝලය නිරීක්ෂණය කිරීමේ කටයුතු වල ජනවාරි 8 වෙනි දින සිට මාර්තු 2 වෙනි දින දක්වා නිරතවූවේය. එහිදී ඔහු සතරවන අවකාශ වස්තුව ද සොයාගන්නා ලදී. තවද ඒවා ස්ථාවර තාරකා සතරක් නොවන බවත් ඒවා බ්‍රහස්පති වටා පරිභ්‍රමණය වන බවත් ඔහු විසින් නිරීක්ෂණය කරන ලදී.

ගැලීලියෝගේ මෙම සොයාගැනීම තුලින් අභ්‍යවකාශයේ මෙතෙක් පියවි ඇසකින් නොදුටු වස්තූන් සොයාගැනීමට ඇති බව තාරකාවිද්‍යාඥයින් හට පෙන්වාදෙන ලද අතර අභ්‍යවකාශ නිරීක්ෂණයේදී උපකරණයක් ලෙස දුරේක්ෂය භාවිතයේ වැදගත්කම ද පෙන්වාදෙන ලදී. වඩාත් වැදගත් කරුණක් වනුයේ පෘථිවිය නොවන වස්තුවක් වටා භ්‍රමණය වන තවත් ආකාශ වස්තූන් සොයාගැනීමෙන් එවකට පිළිගැනීමට ලක්ව තිබූ භුකේන්ද්‍රවාදය එනම් පෘථිවිය විශ්වයේ මධ්‍යයේ පිහිටන අතර අනෙකුත් ආකාශ වස්තූන් පෘථිවිය වටා භ්‍රමණය වන බව පිළිගැනීම අභියෝගයට ලක්වීමයි. එහෙත් ඔහුගේ දුරේක්ෂය භාවිතකර සිදුකල ආකාශ නිරීක්ෂණයන් පිළිබඳ පලකල Sidereus Nuncius (තරු දූතයා) නම් කෘතියෙහි කොපර්නික්ස් ගේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබඳ පැහැදිළි සඳහනක් නොතැබූවා පමණක් නොව කොපර්නික්ස් ගේ සූර්ය කේන්ද්‍රවාදය ඔහු පිළිනොගත්තේය. මෙම සොයාගැනීම් වල ප්‍රතිඵලයක් වශයෙන් ගැලීලියානු චන්ද්‍රයින්ගේ කක්ෂ කාලාවර්තය මත පදනම්ව දේශාංශ නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් සකස්කිරීමටද ගැලීලියෝට හැකිවිය.

තාරකාවිද්‍යාව පිළිබඳ ඉතිහාසඥයෙකු වූ චීන ජාතික Xi Zezong සඳහන් කරන අන්දමට ක්‍රි. පූ 362 දී එනම් ගැලීලියෝගේ සොයාගැන්මට සහවස් දෙකකට පමණ ඉහතදී චීන ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ Gan De නමැත්තා විසින් බ්‍රහස්පති අසල නිරීක්ෂණය කරනු ලැබූ "රතු පැහැයට හුරු කුඩා තරුව" ගැනිමීඩ් ග්‍රහයා විය හැකි බවයි.

මෙඩිසිවරුන්ට පිළිගැන්වීම[සංස්කරණය]

නාමකරණය[සංස්කරණය]

බ්‍රහස්පති උපග්‍රහයින්ගේ කක්ෂයන් ආදර්ශණය කිරීම සඳහා 18 වන සියවසේ මැද භාගයේදී යොදාගත් උපකරණයක්

මුලින්ම ගැලීලියෝ විසින් ඔහුගේ මෙම සොයාගැනීම කොසිමෝ ඩි මෙඩිසි නම් ආදිපාදවරයාට ගෞරවයක් වශයෙන් Cosmica Sidera (කොසිමෝ ගේ තාරකා) ලෙස හැඳින්වූ අතර පසුව කොසිමෝ ගේ යෝජනාවකට අනුව කොසිමෝ, ෆ්‍රාන්සෙස්කෝ, කාලෝ සහ ලොරන්සෝ යන මෙඩිසි සහෝදරයන් සතරදෙනාටම ගෞරවයක් වශයෙන් Medicea Sidera (මෙඩිසියානු තාරකා) ලෙස ගැලීලියෝ විසින් නම වෙනස් කරනලදී. මෙම සොයාගැනීම ඒවායේ පලමු නිරීක්ෂණයෙන් මාස දෙකකට අඩු කලෙකදී එනම් වර්ෂ 1610 මාර්තු මාසයේ වැනීසියේ Sidereus Nuncius (තරු දූතයා) නම් කෘතියෙහි පල විය.

වෙනත් නාමකරණයන්

  • I. Principharus (ටස්කෙනියේ කුමරු), II. Victripharus (Vittoria della Rovere පසු), III. Cosmipharus (Cosimo de' Medici ට පසු) සහ IV. Fernipharus (ආදිපාද Ferdinando de' Medici ට පසු ) - ගැලීලියෝ ගැලීලිගේ ශිෂ්‍යෙයකු සහ (Medicaeorum Ephemerides, 1656) නම් කෘතියෙහි කතෘවරයා වූ Giovanni Battista Hodierna විසින්.
  • Circulatores Jovis හෝ Jovis Comites - Johannes Hevelius විසින්
  • Gardes හෝ Satellites (ලතින් භාෂාවෙන් satelles, satellitis, පරිවාරකයෝ යන තේරුම දේ) -Jacques Ozanam විසින්.

මෙම චන්ද්‍රයින්ගේ වර්තමාන නාමයන් ගැලීලියෝට සමකාලීනවම මෙවා සොයාගත් සිමොන් මාරියස් විසින් නම් කල ඒවා වන අතර ඔහු ඒවා නම්කරන ලද්දේ වර්ෂ 1614 දී ජොහැන්ස් කෙප්ලර් විසින් පලකරන ලද Mundus Jovialis නම් කෘතියේ යෝජනා කල පරිදි සියුස් දෙවියාගේ (ග්‍රීකයින්ට අනුව ජුපිටර් දෙවියා) පෙම්වතියන් වන ආයෝ, යුරෝපා, ගැනිමීඩ් සහ කැලිස්ටෝ යන සතරදෙනාගේ නම් වලිනි.

ගැලීලියෝ විසින් මාරියස්ගේ නාමකරණය එකහෙලාම ප්‍රතික්ෂේප කල අතර මේ නිසා ඔහු විසින් මෙම චන්ද්‍රයින් නම් කිරීම සඳහා නව අංකන ක්‍රමයක් ඉදිරිපත් කරන ලදී. එම අංකන ක්‍රමය වර්තමානයේ ද චන්ද්‍රයන්ගේ නියම නම් වලට සමගාමීව භාවිතකෙර්. අංකනය කිරීම සිදුවන්නේ බ්‍රහස්පතිගේ සිට පිටතටය. එම නිසා I, II, III සහ IV යන අංක පිළිවෙලින් ආයෝ, යුරෝපා, ගැනිමීඩ් සහ කැලිස්ටෝ හට හිමිවේ. ගැලීලියෝ විසින් මෙම අංකන ක්‍රමය ඔහුගේ සටහන් පොත් වල භාවිත කලද කිසි දිනක පලකලේ නැත. මෙම අංකනය කිරීම විසිවෙනි සියවසේ මැද භාගය වනතෙක්ම භාවිත වුවද අනෙකුත් ඇතුලත කක්ෂයන්හි වූ චන්ද්‍රයින් සොයාගැනීම හේතුවෙන් මාරියස් ගේ නාමකරණය බහුලව භාවිත විය.

සාමාජිකයින්[සංස්කරණය]