Jump to content

කෙටිකතා

විකිපීඩියා වෙතින්

කෙටිකතා යනු සාපේක්ෂව කෙටි කාලවේලාවක් තුළ කියවා නිමකළ හැකි කෙටි ගද්‍ය ප්‍රබන්ධ විශේෂයකි. 17වැනි සියවසේ පැවති අසා සිටින්නන්ට කථාන්දර කීමේ සම්ප්‍රදාය තුළින් උපත ලැබූ කෙටිකතාව නිශ්චිත චරිත ලක්ෂණ සමුදායකින් වෙන්කර දැක්විය නොහැකි තරම් පුළුල් නිර්මාණාවලියකට මාධ්‍යය වී තිබෙන සාහිත්‍ය ආකෘතියකි. මුල් යුගයේ දී කෙටිකතාව ප්‍රධාන චරිත කීපයක් පමණක් යොදාගනිමින් එක් මූලික සිද්ධියක් නිරූපණය තුළින් කිසියම් එක් තේමාවක් විවරණය කිරීම අරමුණු කර ගත්තේ ය. ඒ තුළ නවකතාවකට වඩා අඩු වශයෙන් සහ රචනාවක් තුළ දීට වඩා වැඩි වශයෙන් කථා වින්‍යාසය,අනුනාදය/පුනරුක්තිය, සහ වෙනත් ක්‍රියාශීලී ගුණාංගයන් යොදාගනී. කෙටිකතාව නවකතාවෙන් විශාල වශයෙන් දුරස් වුවද එහි නවකතාවට ද පොදු ශිල්ප ක්‍රම රැසක් යොදාගැනේ.

කෙටිකතාවකට තිබිය යුතු වචන සංඛ්‍යාව මෙ පමණකැයි සීමාවක් පනවා නැත. කෙටිකතාවක්, නවකතාවක් හෝ වෙනයම් සාහිත්‍යාකෘතියක් යටතට යමක් ගැනෙන්නේ එහි වචන සංඛ්‍යාව නොව වෙනත් පසුබිම් කාරණා මුල්කරගනිමිනි. මේ හේතුවෙන් කෙටිකතාවක් ලෙස හදුනාගැනීමේ නිර්ණායක ශානරයන්, රටවල්, යුග මෙන් ම විචාරකයන් අනුව ද වෙනස් වෙයි.

දීර්ඝත්වය

[සංස්කරණය]

කෙටිකතාවක් දීර්ඝ ප්‍රබන්ධාකෘතියකින් වෙන්කරගැනීමේ නිර්ණායකය පිළිබද ව එකගත්වයක් නැත. එඩ්ගා ඇලන් පෝ සිය The Philosophy of Composition (1846) නම් රචනාව තුළ දැක්වූ "කෙටිකතාව යනු එකදිගට කියවා හමාර කළ හැකි කථාවක් ය" යන නිර්වචනය තවමත් සම්භාව්‍ය නිර්වචනයක් ලෙස සැලකෙයි. නමුත් මෙම නිර්වචනය නූතන තත්ත්වයන් තුළ යොදාගැනීම ගැටලු සහගත වේ. මක්නිසාද යත් එකදිගට කියවා හමාර කිරීම යන්න මේ යුගයේ දී පෝ ගේ සමයට වඩා කෙටි කාලසීමාවක් විය හැකි වීම යි. අනෙකුත් නිර්වචන කෙටිකතාව වචන 1000 පටන් 4000 අතර උපරිම වචන සංඛ්‍යාවක් තුළට ගොනු කරති. වර්තමාන ව්‍යවහාරයේ දී කෙටිකතාවක් ලෙස හැදින්වෙන්නේ වචන 1000කට නො අඩු වූත් වචන 20 000කට නො වැඩි වූත් ප්‍රබන්ධ නිර්මාණයකි. වචන 1000කට වඩා අඩුවෙන් ඇති ප්‍රබන්ධ නිර්මාණ ඇතැම්විට කෙටි කෙටි කතා (short short stories) හෝ සැණ කථා (flash fiction) යනුවෙන් හැදින්වෙයි. විද්‍යා ප්‍රබන්ධය උදෙසා පිරිනැමෙන ඇමරිකාවේ නෙබියුලා සම්මාන ඇගයුම් මණ්ඩලය විසින් විද්‍යා ප්‍රබන්ධ සහ ෆැන්ටසි කථා රචකයන්ට සපයා ඇති නිර්ණායකයන්ට අනුව එකී ශානරය උදෙසා ඔවුන් කෙටිකතාවක් ලෙස පිළිගනු ලබන්නේ වචන 7 500කට අඩු නිර්මාණයකි. නවකතාවක් ලෙස හැදින්වීමට තරම් විශාල නොවූ එහෙත් කෙටිකතාවකට වඩා දීර්ඝ නිර්මාණ කෙටිනවකතා (novella) වශයෙන් හැදින්වෙන අතර මේවා ද කෙටිකතා මෙන් ම සංග්‍රහ වශයෙන් ප්‍රකාශයට පත් වේ.

ලක්ෂණ

[සංස්කරණය]

කෙටිකතාව තුළ ද ගද්‍ය ප්‍රබන්ධයේ අනෙකුත් සාහිත්‍යාංගයන් තුළ මෙන් ම හැදින්වීම, ගැටුම් අවස්ථාවට මගපෑදීම, ගැටුම උච්ච වීම සහ ගැටුම නිරාකරණය යන අවස්ථාවලින් සමන්විත නාට්‍යමය ව්‍යුහය දැකගත හැකි ය.

මෙම ව්‍යුහය යොදාගන්නේ ද නැද්ද යන්න කෙටිකතාවක දීර්ඝත්වය මත රදා පවතිනු ඇත. නිදසුනක් ලෙස නූතන කෙටිකතාවල හැදින්වීමක් කළාතුරකින් පමණක් දැකගත හැකි වන අතර කථාවේ අතරමැදි අවස්ථාවකින් කෙටිකතාව අරඹනු දැකගත හැකි වේ. දීර්ඝ ප්‍රබන්ධයන්හි මෙන් ම කෙටිකතාවන්හි ද ආඛ්‍යානය තුළ ගැටුම් අවස්ථාව සහ ගැටුම් නිරාකරණය යන අවස්ථා දැකගත හැකි ය. කෙසේනමුත් බොහොමයක් කෙටිකතාවන් අනපේක්ෂිත අන්දමින් සිතීමේ අවකාශයක් විවර කරමින් අවසන් කරනු දැකගත හැකි ය. එසේම බොහෝ කෙටිකතා උපදේශයක් හෝ පණිවිඩයක් ලබාදීමෙන් තොර ව අවසන් වන අයුරු ද නිරීක්ෂණය කළ හැකි ය. කවර සාහිත්‍යාංගයක වුවද ලක්ෂණ තීරණය වන්නේ එහි පරම බලධාරියා වන නිර්මාණකරුවාගේ සිතැගි අනුව ය යන්න කෙටිකතාවට ද වලංගු වේ.

කෙටිකතාව යනු නවකතාව තරම් සංකීර්ණ වූ සාහිත්‍යාංගයක් නොවේ. කෙටිකතාවක් සාමාන්‍යයෙන් එක් සිද්ධියක් මුල්කරගනී. තනි කථා පුවතක් පමණක් එහි ඉදිරිපත් කෙරෙන අතර චරිත සුලු ප්‍රමාණයක් යොදාගනිමින් කෙටි කාල සීමාවක සිදු වන සිදුවීම් ආවරණය කෙරේ. නූතන කෙටිකතාව අසාසිටින්නන්ට කථාන්දර කීමේ සම්ප්‍රදායන්, ජනකතා සහ උපමා කථා වැනි කෙටි උපදේශාත්මක කථා කලාවන් සහ සාහිත්‍යමය රචනාවන් වෙතින් බිහිවූවක් බව සිතිය හැකි ය. මේ සියලුම සාහිත්‍ය සම්ප්‍රදායන් සිය තේමාව/පණිවිඩය කරා ක්ෂණිකව එළැඹිය හැකි ඉක්මන් කථාවින්‍යාසයක් යොදාගනු පෙනේ.

ඉතිහාසය

[සංස්කරණය]

යථාර්ථවාදී නවකතාවේ නැගීමත් සමග කෙටිකතාව ද ඊට සමාන්තරව සංවර්ධනය විය. එකී ලක්ෂණ පළමුවෙන් ම පෙන්නුම් කළේ ඊ. ටී. ඒ. හොෆ්මාන් විසින් රචිත කථා තුළිනි. පසුව කෙටිකතා මාධ්‍යයෙන් ලියූ රචකයන්ගේ නිර්මාණත්, කෙටිකතාවේ වස්තු විෂයන් සහ ශිල්ප ක්‍රම කෙරෙහි මත පළ කළ විචාරකයනුත් හේතුවෙන් කෙටිකතාවේ අනන්‍ය ලක්ෂණ හැඩගැස්විනි. නිදසුන් වශයෙන් ජෝර්ජ් ලුවී බෝර්හේස් සහ ඕ. හෙන්රි යන අය දැක්විය හැකි ය. ඇමරිකානු කතාකරුවන් වශයෙන් ජැක් ලන්ඩන්, ඇම්බ්‍රෝස් බියර්ස්, එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්, අර්නස්ට් හෙමින්වේ, විලියම් ෆෝක්නර්, ෆ්ලැනරි ඕ කොනර්, ජෝන් චීවර් සහ රේමන්ඩ් කාවර් දැක්විය හැකි ය. වෙනස් මානයක කාව්‍යමය ස්පර්ශයක් සහිත වූ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව වූ කලී රේ බ්‍රැඩ්බරිගේ කථා වෙතින් ඉමහත් ජනප්‍රසාදයක් ද ලබමින් ගොඩනැගුණකි. 19වන සියවසේ දෙවන භාගය වන තුරු ම කෙටිකතාව බොහෝදෙනාගේ ඇස්මානයෙන් මගහැරුණු ශානරයක් විය. මුද්‍රණ කර්මාන්තයේ දියුණුවත් වාරප්‍රකාශන බිහිවීමත් කෙටිකතා ශානරය ප්‍රචලිත වීමට බලපෑ සාධක අතර විය. රඩ්යාඩ් කිප්ලිං (එක්සත් රාජධානිය), ඇන්ටන් චෙකොෆ් (රුසියාව), ගී ද මෝපසාං (ප්‍රංශය), මැනුවෙල් ගුතාරේස් නාජෙරා (මෙක්සිකෝව) සහ රුබින් දාරියෝ (නිකරගුවාව) බටහිර සාහිත්‍යය තුළ කෙටිකතාවේ නීති රීති හදුන්වා දීමට මුල්වූවෝ අතර ප්‍රමුඛයෝ වෙති.

කථා කලාව පිළිබද ශාස්ත්‍රීය ගවේෂණයන් අතර වැදගත් කෘතියක් වශයෙන් වෝල්ටර් බෙන්ජමින්ගේ The Storyteller නම් අධ්‍යයනය දැක්විය හැකි ය. නූතන ලෝකය තුළ කථාන්දර කීම අභාවයට යමින් ඇති බවටත් අත්දැකීම් ප්‍රකාශනය උදෙසා මාධ්‍යයක් නොමැති වෙමින් යන බවටත් (incommunicability of experiences) එහි දී ඔහු තර්ක කරයි. ඔස්කා වයිල්ඩ්ගේ The Decay of Lying නම් රචනාවත් හෙන්රි ජේම්ස්ගේ The Art of Fiction නම් කෘතියත් මේ විෂය තරමක් දුරට ඇසුරු කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=කෙටිකතා&oldid=600979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි