කාල් සේගන්

විකිපීඩියා වෙතින්
කාල් සේගන්
සේගන්, 1980 දී
උපත
කාල් එඩ්වඩ් සේගන්

නොවැම්බර් 9, 1934(1934-11-09)
බෲක්ලින්, නිව් යෝක්, එක්සත් ජනපදය
මියගිය දිනය1996 දෙසැම්බර් 20 (වයස 62)
සියැටල්, වොෂින්ටන්, එක්සත් ජනපදය
සතපවන ලද තැනලේක් විව් සුසානභූමිය (ඉතකා, නිව් යෝක්)
උගත් ශාස්ත්‍රාලයචිකාගෝ විශ්වවිද්‍යාලය
(BA, BS, MS, PhD)
සම්මානKlumpke-Roberts Award (1974)
NASA Distinguished Public Service Medal (1977)
Pulitzer Prize for General Non-Fiction (1978)
Oersted Medal (1990)
Carl Sagan Award for Public Understanding of Science (1993)
National Academy of Sciences Public Welfare Medal (1994)
Scientific career
ක්ෂේත්‍රය
ආයතන
Thesisග්‍රහලෝක වල භෞතික අධ්‍යයනය (1960)
අත්සන

කාල් එඩ්වඩ් සේගන් (1934 නොවැම්බර් 9 – 1996 දෙසැම්බර් 20) යනු ඇමරිකානු තාරකා විද්‍යාඥයෙක්, ග්‍රහ විද්‍යාඥයෙක්, අජටාකාශ විද්‍යාඥයෙක්, තාරකා භෞතික විද්‍යාඥයෙක්, අභ්‍යවකාශ ජීව විද්‍යාඥයෙක්, කතුවරයෙක් සහ විද්‍යා ප්‍රචාරකයෙකි. ඔහුගේ වඩාත්ම ප්‍රචලිත විද්‍යාත්මක දායකත්වයන් වන්නේ පාරභෞම ජීවය ගැන සිදු කළ පර්යේෂණ ය. විකිරණ භාවිත කර මූලික රසායනිකයන්ගෙන් ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කිරීම සඳහා ඔහු සිදු කළ පරීක්ෂණ ඉන් විශේෂ ය. අභ්‍යවකාශයට යැවුනු පළමු භෞතික පණිවුඩය සේගන් විසින් එකලස් කරන ලදී. ඒ පයනියර් ඵලකය සහ වොයේජර් ස්වර්ණමය තැටිය ය. එම පණිවුඩයන් සොයාගත හැකි පාරභෞමික ජීවියෙකු වේනම් ඔවුන්ට එය තේරුම් ගත හැකි වේයැයි විශ්වාස කෙරේ. සිකුරු ග්‍රහයාගේ අධික මතුපිට උෂ්ණත්වයට හේතුව හරිතාගාර ආචරණය බවට සේගන් ඉදිරිපත් කළ උපකල්පිතය වර්ථමානයේ පිළිගැනේ.

මුලින් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙක් ලෙස ක්‍රියා කළ සේගන්, පසුව කෝර්නෙල් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස ක්‍රියා කළේය. විද්‍යාත්මක ලිපි 600 කට වඩා ප්‍රකාශයට පත් කළ සේගන් ග්‍රන්ථ 20 කට අධික ප්‍රමාණයක කර්තෘ, සමකර්තෘ හෝ සංස්කාරක ලෙස කටයුතු කළේය. ඔහු විසින් ප්‍රසිද්ධ විද්‍යාත්මක ග්‍රන්ත රැසක් රචනා වූ අතර ද ඩ්‍රැගන්ස් ඔෆ් ඊඩන්, කොස්මොස්, බ්‍රොකා'ස් බ්‍රේන් සහ පේල් බ්ලූ ඩොට් යනු එයින් කිහිපයකි. එමෙන්ම 1980 විකාශය වූ කොස්මොස්: අ පර්සනල් වොයේජ් නම් සම්මානලාභී රූපවාහිනී වැඩසටහනේ සම-කර්තෲ සහ පසුබිම් කථිකයා වූයේ සේගන් ය. ඇමරිකානු පොදු රූපවාහිනි විකාශන ඉතිහාසයේ වැඩිම වරක් නැරඹූ වැඩසටහන් මාලාව වූ කොස්මොස් රටවල් 60 ක ප්‍රේක්ෂකයන් මිලියන 500 ගණනක් විසින් නරඹා ඇත. 1985 දී ඔහු කන්ටැක්ට් නම් විද්‍යා ප්‍රබන්දය රචනා කළ අතර, 1997 දී එය ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිර්මාණය කෙරුනි.

සේගන් විද්‍යාත්මක සංශයවාදය සහ විද්‍යාත්මක ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි අතර පාරභෞම බුද්ධිය සෙවීම (SETI) සඳහා අනුග්‍රහය දැක්විය. ඔහු තම වෘත්තිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසයි. සේගන් විද්‍යාත්මක ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය හේතුවෙන් ඔහුට විශාල සම්මාන ප්‍රමාණයක් සහ අගයකිරීම් හිමිවිය. ඒ අතර නාසා ආයතනයේ මහජන සේවා ගෞරව පදක්කම, ජාතික විද්‍යා ඇකඩමියේ මහජන ශුභසාධන පදක්කම, ප්‍රබන්ධ නොවන නිර්මාණ සඳහා වූ පුලිට්සර් ත්‍යාගය, එමී සම්මානය (දෙවරක්), පීබොඩි සම්මානය මෙන්ම හියුගෝ සම්මානයද විශේෂ වේ. සේගන් තුන් වරක් විවාහ වූ අතර ඔහුට ළමයින් පස් දෙනෙක් විය. මයිලෝඩිස්ප්ලාසියා රෝගයෙන් පීඩා විදි ඔහු නියුමෝනියාව හේතුවෙන් 1996 දෙසැම්බර් 20 වැනිදා (වයස 62) මරණයට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=කාල්_සේගන්&oldid=574944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි