කාමාවචර ලෝක
බුද්ධ ධර්මයට කාමාවචර ලෝක යනු ලෝක 6 කි. එම ලෝක 6 ට උසස් ස්ථාන මෙන්ම දුක්විදීමට සිදුවන පහත් ස්ථාන ද අයත් වේ. කෙනෙකු මෙයින් කුමන ස්ථානයක උපත ලබයි ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයාගේ කර්මය අනුවය.
එම ලෝක 6 නම් දේව, අසුර, මනුෂ්‍ය, සත්ත්ව, ප්‍රේත හෝ නිරය (අපාය) වේ. මෙම ලෝක 6 ගැන සඳහන් වන්නේ ටිබෙට් මහායාන බුදු දහමේය. ථේරවාදයේදි අසුර භවය පිළිබඳ සඳහන් නොවේ. එහෙයින් ලෝක 5 ක් ගැන පමණක් එහි සඳහන්වේ.
භවචක්‍රය හෙවත් ජීවිත චක්‍රය ඉතා ප්‍රසිද්ධ ඉගැන්වීම් මෙවලමකි. භව හා එවැනි භවවල උප කැළැඹීම සඳහා හේතුවන කර්ම එහි චිත්‍ර ගත කර ඇත. එහිදී දේව ආත්මය ඉහළින්ම පිහිටා ඇති අතර දක්ෂිණාවර්තව අසුර, ප්‍රේත, නිරය, සත්ත්ව හා මනුෂ්‍ය ලෝක සිතුවම් කර ඇත. එම සෑම භවයකම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනු දක්නට ලැබේ.
විවිධ සම්ප්‍රදායන්වල මෙම අනුපිළිවෙල තුළ වෙනස්කම් දැකිය හැකිය. අසුර ලෝකය මනුෂ්‍ය ලෝකයට ඉහළින් පවතින බව ඇතැම් සම්ප්‍රදායන් විශ්වාස කරයි.
දිව්‍ය ලෝක[සංස්කරණය]
දේව භවය යනු ඉමහත් සතුට සංතුෂ්ඨිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති ආවාසිය නම් සැප සම්පත් වලින් පරිපුර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුහු තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට පහත් භවයක උපත ලබති. නමුත් බොහෝ දෙවිවරු තම පෙර භාවයේ කල කී දේ මතක් වී වහාම නැවතත් දහමට යොමු වේ. එසේ මතක් නොවන අයට කල්‍යාණ මිත්‍ර සේවනය නිසා , ඔහුට පෙර දිව්‍යලෝකයට ගිය මිතුරු දෙවියකු ඔහු ඉදිරියට පැමිණ, වහාම පෙර භාවයේ තමා හා එකතු වී කුසල් කල ආකාර මතක් කර දී දහමට යොමුකර ගනී.
මෙම දෙවියන් ඉතා බලවත් ලෙස සැලකේ. ඇතැම්විට ග්‍රීක හා රෝම මිත්‍යා දෙවිවරුන් හා සමානත්වයෙන් සලකති. දෙවියන් අමරණීය, සර්වඥ හෝ සර්ව බලධාරි නොවේ. එසේම ඔවුහු මිනිසාගේ මැවුම්කරුවන් හෝ මරණයේදී විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා නොකරති. එම හේතුවෙන් බටහිර දේවවාදයෙන් මෙය වෙනස් වේ.
බුදු දහමට අනුව දිව්‍ය ලෝක හයක් ගැන කියැවේ.ඒවා මෙසේය.
- චතුම්මහාරාජිකය
- තාවතිංසය
- යාමය
- තුසිතය
- නිම්මානරතිය
- පරනිම්මිතවසවර්තිය
චතුම්මහාරාජික දිව්‍ය ලෝකය[සංස්කරණය]
චතුම්මහාරාජිකය යනු දෙව්රජවරු හතර දෙනකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි.විරූඩ, විරූපාක්ෂ, ද්‍රඩරාක්ෂ, වෛශවන නමින් හඳුන්වන දෙව් රජවරු සතරදෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි.නන්දන උයන අලකමන්දාව සේරිස්සක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතිනබව පැවසේ.මෙම දිව්‍ය ලෝකයට සමභන්ධව නාග ගරුඩ යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්භන්ධ බව පැවසේ.මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 50 කට සමානය.මෙම දිව්‍ය ලෝකයේ පරමායුෂ දිව්‍ය වර්ෂ 500ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් වර්ෂ අනූ ලක්ෂයකි (50[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 500 = 9, 000, 000)
තාවතිංස දිව්‍ය ලෝකය[සංස්කරණය]
තවුතිසා දෙවු ලොව නමින්ද හඳුන්වයි.මෙහි අධිපතීත්වය දරන්නේ ශ්‍රක්‍ර දෙවියන් විසිනි. සිළුමිණි සෑය පිහිටා ඇත්තේ මෙම දිව්‍ය ලෝකයේය.සුධර්මා දිව්‍ය සභාව පිහිටියේ මෙහිය.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 100කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 1, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් තුන්කෝටි හැට ලක්‍ෂයකි. (100[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 1000 = 36, 000, 000)
යාම දිව්‍ය ලෝකය[සංස්කරණය]
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සුයාම නමින් හඳුන්වන දෙව්රජවරයෙකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 200කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 2, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි. (200[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 2000 = 14 4, 000, 000)
තුසිත දිව්‍ය ලෝකය[සංස්කරණය]
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සංතුසිත නම් දිව්‍යරාජයකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සැමවිටම මීලඟට ලොවුතුරා බුදුබවට පත්වීමට නියමිත බෝධිසත්වයන් විසින් දරයි.රජු විසින් සුදු පැහැති ඹටුන්නක් පළදියි.එබැවින් ස්වේත කේතු නමින්ද මෙම දිව්‍ය රාජයා හඳුන්වයි.අනෙකුත් දෙවිවරුද බොහෝමයක් බෝධිසත්වයන් හෝ සකෘර්දාගාමී මාර්ගලයට පත් වූ දෙවියන්ය.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 400කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 4, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් පණස්හත්කෝටි හැට ලක්‍ෂකි . (400[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 4000 = 5 76, 000, 000)
නිමිමානරතී දිව්‍ය ලෝකය[සංස්කරණය]
මෙම දිව්‍ය ලෝකයේ රජු සුනිම්මිත නම් දෙවු රජ කෙනෙකි.මෙම දිව්‍ය ලොකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 800 කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 8, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයකි . (800[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 8000 = 2, 3 04, 000, 000)
පරනිම්මිතවසවර්තී දිව්‍ය ලෝතය[සංස්කරණය]
මෙම ලෝකයේ රජු පරනිම්මිත වසවර්ති නමින් හඳුන්වන දෙවු රජ කෙනෙකි.මාර නමින් හඳුන්වන දේව කොට්ඨාසය ඇත්තේ මෙම දිව්‍ය ලෝකයේය.සැප සම්පත් වලින් අධිකතම දිව්‍ය ලෝකය මෙයයි.මෙහි එක දිනක් මිනිස් ලොව වර්ෂ වලින් 1600කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 16, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් නවසිය විසිඑක්කෝටි හැට ලක්‍ෂයකි . (1600[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 16, 000 = 9, 216, 000, 000)
කෙටි සටහන[සංස්කරණය]
දෙව්ලොව | දිව්‍ය වර්ෂ | මනුෂ්‍ය වර්ෂ | |
---|---|---|---|
චාතුම්මහාරාජිකය | 500 | 90 00 000 | අනූ ලක්‍ෂයයි |
තාවතිංසය | 1 000 | 3 60 00 000 | තුන්කෝටි හැට ලක්‍ෂයයි |
යාමය | 2 000 | 14 40 00 000 | දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි |
තුසිතය | 4 000 | 57 60 00 000 | පණස්හත්කෝටි හැට ලක්‍ෂයයි |
නිම්‌මානරතිය | 8 000 | 230 40 00 000 | දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයයි |
පරනිම්‌මිතවසවත්‌තිය | 16 000 | 921 60 00 000 | නවසියවිසිඑක්කෝටි හැට ලක්‍ෂයයි |
අසුර ලෝකය[සංස්කරණය]
අසුර ලෝකයේ වාසය කරන්නේ උප දේවතාවන්ය. ඔවුන් මෙම ලෝකයේ උපත ලැබීමට හේතුව වන්නේ ඊර්ෂ්‍යාව, කලහ කිරීම ආදියයි. මනුෂ්‍යයන් වශයෙන් යහපත් අරමුණක් උදෙසා එවැනි දෑ සිදුකළද එයින් අන්න්‍යයන්ට හානි වීම හේතු වෙන් මෙම ලෝකයේ උපත ලබයි.
අසුරයෝ මනුෂ්‍යාට වඩා සැප භුක්තිවිදින නමුත් ඔවුහු නිරතුරුම දෙවියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළෙති. අසුර ලොව ඊර්ෂ්‍යාකාරී දේව ලොව, අර්ධ දෙව් ලොව හෝ දෙවියන්ට එරෙහි ලොව යනුවෙන්ද හැඳින්වේ. අසුරයන් ඇතැම්විට රාක්ෂයන් ලෙසද හැඳින්වේ. එහෙත් අපායෙහි වෙසෙන රාක්ෂයන් හා මොවුන් අතර සමානකමක් නැත.
කුලාවක ජාතකෙයහි අසුර ලෝකය පිළිපද විස්ථර ඇත.ඒ අනුව අසුර ලෝකය මහාමේරු පර්වත යට පිහිටා ඇත.යොදුන් දස දසහක විශාලත්වයකින් යුක්තය.මෙහි තවතිසා දෙවුලොව ඇති කප්රුහ හා සමානව අසුර ලෝකයේ චිත්‍රපාටලී නම් වෘක්ෂයක් ඇත.මෙම වෘක්ෂයේ මල් පරසතු මල් වලට සමානය.එහෙත් පැහැදිළි වෙනසක් ඇත.එමනිසා අසුරයන් තමා ඉන්නේ අසුර ලෝකයේ බව දැන ගන්නේ මෙම වෘක්ෂයේ මල් පිපුන පසුවයි.අසුර ලෝකය හැම අතින්ම තවුතිසා දෙවුලොවට සමානය.අසුරයන් නිරන්තරයෙන් දිව්‍ය සුරාව බී මත් වී නිදාගැනීම සිරිතය.කොතරම් සැප සම්පත් තිබුනද ඒවා අනුභවය වෙනුවට ඔවුන් සුරා බී නිදාගනී.අසුරයන් දිව්‍ය ලෝකය ආක්‍රමණයට එන අතර දෙවියන් හා අසුරයන් අතර නිතර ගැටුම් ඇතිවේ.අසුර ලොව රජු වේපචිත්තී නම් අසුර රජුය.අසුරයන්ගේ අක්රෙමණයට ගොදුරු වන්නේ චතුමහාරාජිකය හා තාවතිංසය යන දිව්‍ය ලෝක පමණි.ඊට ඉහළ දිව්‍ය ලෝක ආක්‍රමණයට ඔවුන්ට බලයන් නැත.
මනුෂ්‍ය ලෝකය[සංස්කරණය]
මනුෂ්‍ය ලොව පදනම් වී ඇත්තේ රාගය, අපේක්ෂාව හා සැකය පදනම් කරගෙනය. සංසාරයේ ලැබිය හැකි වඩාත්ම ප්‍රයෝජනවත් භවය ලෙස මනුෂ්‍යභවය සැලකේ.
මනුෂ්‍ය උපතින් පසු ලැබෙන ජීවිතය නිවැරදිව යොදා ගන්නේ නම් ඉතා ඉහළ ඵල ලැබිය හැකිය. මනුෂ්‍ය භවය දුර්ලභව ලැබෙන්නකි. එයට හේතුව අපි මනුෂ්‍ය ජීවිතයට, වස්තුවට ඇති තණ්හාව ආදී කරුණු හේතුවෙන් වැරදි සිතුවිලි හා ක්‍රියාවන්හි නිරතවීමයි. එමනිසා බොහෝ විට මනුෂ්‍ය භවයක් ලැබු තැනැත්තෙක් නැවත උපත ලබන්නේ ඊට පහත් භවයකය.
වඩා පහත් භවවලට නිදසුනක් ලෙස සත්ව භවය දැක්විය හැක. මනුෂ්‍යභවයක් ලබා ගැනීම සඳහා කුසල් රැස්කිරීම ඉතා අපහසුය. එසේම එය සෙමින් සිදුවන්නකි. එම නිසා මනුෂ්‍ය භවයක් ලබා ගැනීම සඳහා විශාල ආත්ම ගණනක් ගත වේ.
සත්ව ලෝකය[සංස්කරණය]
අධික මෝඩ බව, පෙර භව වලදි සිදු කරන ලද අවිචාරවත් හැසිරිම් ආදිය සත්ත්ව හෙවත් තිරිසන් යෝනී භවයක් ලැබීමට හේතුවේ. බෞද්ධයන්ට අනුව මෙය පෘථිවිය මත පවතින සත්ත්ව ලෝකයයි. අසුරයන්ට දිව්‍ය ලෝකය පෙනෙන සේම මනුෂ්‍යයාටද සත්ව ලෝකය පෙනේ.
ප්‍රේත ලෝකය[සංස්කරණය]
යමෙකු ප්‍රේත ලෝකයේ උපත ලබන්නේ පෙර භවයේ පැවති අධික වස්තු තණ්හාව හේතුවෙනි. ප්‍රේත ලෝකයේ වසන සංචේතන සත්වයෝ "කුසගිනි භූතයන්" ලෙසද හැඳින්වේ. ඔවුහු නිරතුරුවම අධික කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙති. එහෙත් එම අවශ්‍යතා සංසිදුවා ගැනීමට ක්‍රමයක් නැත. ටිබෙට් භව චක්‍රයේ ඔවුන්ව පටු බෙල්ලක් හා විශාල උදරයකින් යුක්තව ඇඳ තිබේ. එයින් සංකේතවත් කරන්නේ ඔවුන් ආශාවෙන් පීඩා වින්දද ඔවුන්ට ඒවා ඉටු කර ගත නොහැකි බවයි.
ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු ග්‍රන්තයට අනුව ප්‍රේතයින් කොටස් හතරක් දැක්වේ.
- පාංශු පිසාචික
- නිජ්ඣාමතන්නික
- පුප්පිපාසික
- පරදත්තූප ජීවී
මීට අමතරව ගූතකාදක මහාඍද්ධික වේමානික පාෂාණ භූත ආදී වශයෙන් විවිධ ප්‍රේත කොටස් ඇත.
නිරය[සංස්කරණය]
නිරය හෙවත් අපායේ උපත ලැබීමට හේතුවෙන්නේ පෙර භවවලදි අධික කෝපයෙන් හා වෛරයෙන් ක්‍රියා කිරීමයි.
ඒක දේවවාදී සම්ප්‍රදායන්හි අපායන්ගෙන් බුදු දහමේ දැක්වෙන අපාය වෙනස්වේ. නිරයේ දුක්විඳින්නෝ සදාකාලිකවම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසාන් වූ පසු ඔවුහු වෙනත් භවයක උපත ලබති.
බුදු දහමට අනුව මහා අපායන් අටක් දැක්වේ.ඒවා මෙසේය.
- සංඝීතිය
- සංඝාතය
- කාල සූත්‍රය
- රෞරවය
- මහා රෞරවය
- තාපය
- ප්‍රතාපය
- අවීචිය