Jump to content

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය

විකිපීඩියා වෙතින්

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය යනු 2019 මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කර සිදුවූ සමූහ වෙඩි තැබීම් දෙකකි. වෙඩි ප්‍රහාර දෙකම තනි වෙඩික්කරුවෙකු විසින් සිකුරාදා යාඥා මෙහෙය අතරතුරදී සිදු කරන ලදී. ප.ව. 1:40 ට පමණ රිකාටන් හි අල් නූර් පල්ලියේත්, ප.ව. 1:52 ට පමණ නගරයේ අනෙක් පස වූ ලින්වුඩ් ඉස්ලාම් මධ්‍යස්ථානයේත් වෙඩි තැබීම් සිදුවිය. ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මරණයට පත් වූ අතර, 40 දෙනෙකු තුවාල ලැබීය.

අපරාධකරු බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති 28 හැවිරිදි සුදු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් විය. ඈෂ්බර්ටන් හි පිහිටි තුන්වැනි මුස්ලිම් පල්ලියක් වෙත සිය රථය පදවන අතරතුර පොලීසිය විසින් ටැරන්ට් අත් අඩංගුවට ගනු ලැබීය. ඔහු සිය පළමු වෙඩි ප්‍රහාරය ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කළ අතර, එය අන්ත-දක්ෂිණාංශික ත්‍රස්තවාදී ප්‍රහාරයක් අන්තර්ජාලය හරහා සජීවීව විකාශනය කෙරුනු ප්‍රථම අවස්ථාව විය. 2020 මාර්තු 26 වැනිදා, ටැරන්ට් මිනීමැරීම් 51 කටත්, මිනීමැරීමට තැත් කිරීම් 40 කටත්, ත්‍රස්තවාදී ක්‍රියාවක නිරතවීමටත් තමා වරදකරු බව පිළිගන්නා ලදී. 2020 අගෝස්තු මස ඔහුට ක්ෂමා විරහිත ජීවිතාන්තය දක්වා සිර දඩුවම නියම වූ අතර, නවසීලන්තයේ එවැනි දඬුවමක් නියම වූ පළමු අවස්ථාව එය විය.

සුදු ජාතිකවාදය, සංක්‍රමණ විරෝධය සහ සුදු ස්වෝත්තමවාදී මතවාද ප්‍රහාරයට ප්‍රධාන හේතු විය. ටැරන්ට් තමා "පාරිසරික ෆැසිස්ට්වාදියෙක්" ලෙස හඳුන්වාගත් අතර, අන්ත-දක්ෂිණාංශික කුමන්ත්‍රණ න්‍යායක් වන "මහා ප්‍රතිස්ථාපනය" පිලිබඳ මත පල කර ඇත. ප්‍රහාරය දේශපාලනඥයන් සහ ලෝක නායකයන් විසින් හෙලා දකිනු ලැබූ අතර, නවසීලන්තයේ එවකට අග්‍රාමාත්‍ය වූ ජසින්ඩා ආර්ඩන් එය "නව සීලන්තයේ අඳුරුතම දින වලින් එකක්" යැයි සඳහන් කළාය.