දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිම

විකිපීඩියා වෙතින්
(ඇසළ පෙරහැරේ ඓතිහාසික පසුබිම වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
වත්මන් දළදා මාළිගාව - සෙංකඩගල

කිත්සිරි මෙවන් රජු දවස පටන් අද දක්වාම දන්තධාතුව වහන්සේ මෙරට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙසින් පූජෝපහාරයට බදුන් වේ. සකල ලෝකවාසී බෞද්ධ ජනයාටත් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයාටත් මෙය මහානර්ඝ වූ පූජා වස්තුවකි. ඒ වෙනුවෙන් කර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාව වූ කලී සිංහල ජාතියේත් ,බෞද්ධ ආගමේත් උත්තරීතර සංකේතයයි. රාජ්‍යයත්, ආගමත් එකිනෙකට යා කොට බැඳ තබා ගනිමින් වසර එක් දහස් හයසියයකට වඩා අධික කාලයක් මුලුල්ලේ දිවයිනේ නොයෙකුත් රාජධානි තුළ සැදැහැවත් බෞද්ධ නරපතියන් ඉදිකළ දළදාමැදුරු වල සෙවන හා රැකවරණය ලබමින් නොකඩවා කෙරෙන පුද සත්කාර හමුවේ උපේක්ෂා සහගත මුත් විරාජමානව වැඩ සිටින දළදා වහන්සේ වනාහී ලාංකීය සමාජය තුළ වූ විවිධ පැතිකඩවල් අවධාරණය කර ලීමෙහිලා ඉවහල් වූවකි.


දේශපාලනික, ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, සාහිත්‍යය, කලාශිල්ප ආදී වශයෙන් වූ ඒ ඒ අතීත සමාජයන් තුළ පැවති විවිධ පැතිකඩවල්හි ස්වාභාවය දළදා වහන්සේ වටා බැදුනු ඓතිහාසික සංස්කෘතික පසුබිම විමසා බැලීමෙන් පෙනෙයි. අනගිභවනීය වැදගත්කම් රැසකින් හෙබි දළදා වහන්සේ මූලික කරගනිමින් කෙරෙන ඇසළ පෙරහැර හෙවත් මහනුවර දළදා පෙරහැර වනාහි සියලූ ලෝකවාසී බෞද්ධ ජනයාට අති උත්කෘෂ්ට බෞද්ධ මංගල්‍යයකි. විවිධ ආගමික සම්ප්‍රදායන් එක්කෙරෙන භක්තිමත් ආගමික මංගල්‍යයකි. ලෝ වාසී වෙනත් ජනයාට මනස්කාන්ත සංස්කෘතික මංගල්‍යයකි. පුරාණ ප්‍රෞඩ සිංහල රජ දරුවන්ගේ ඖදාර්යය මනාව පිළිබිඹු කෙරෙමින් අතීතයේ පැවති සෞන්දර්යයේ අඩුවක් නොවන තරමට දැනට වර්ෂයක් පාසා ජූලි මාසයේ මහනුවරදී ඇසළ පෙරහැර පවත්වනු ලබයි. ඈත අතීතයේ පටන්ම පැරණි ආගමික වතාවත් ජාතික සිරිත් විරිත් ඇදුම් පැළදුම් ක්‍රීඩා කලා ආදී ජාතියේ විවිධ සංස්කෘතික දායාදයන් එක්තැන් කොට වර්ෂයක් පාසා පවත්වන ඇසළ පෙරහැර අද්විතීය වටිනාකමකින් යුත් සංස්කෘතික කලා මංගල්‍යයක් බව පැහැදිලිය. දින ගණනනක් පුරාවට පැවැත්වෙන ඇසල පෙරහැරේ ඉතිහාසය වසර දහස් ගණනක් තිස්සේ පෙළගැසුනකි.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

දළදා වහන්සේ හා සම්බන්ධ භාරතීය පසුබිම[සංස්කරණය]

දළදා වහන්සේ සතු ඓතිහාසිකත්වය විමසා බැලීමෙදී ඒ වටා ගොඩනැගුනු ගද්‍ය, පද්‍ය හා ග්‍යෙය කාව්‍යයන්ගෙන් නිරූපිත කරුණු කාරණා වැදගත් වේ. දළදාව සාහිත්‍යයක් ලෙසින් හැදින්වීමට තරමි ඒ වටා ගොඩනැගුන ඓතිහාසික මූලාශ්‍ර රැසකි' දළදා පූජාවලිය, දළදා සිරිත, දළදා හටන, දළදාවලිය, දන්තධාතු විස්තරය, දළදා විත්ති, දළදා අෂ්ටක, දාඨාවංශය ආදී කෘති මෙන්ම දළදාව හා ඍජුවම සම්බන්ධ නොවුන ද මහාවංශය, චූලවංශය, පූජාවලිය, සිංහල ථූපවංශය මෙන්ම ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර දේශනා වලද දළදාවේ ඓතිහාසිකත්වය පිළිබඳව බැදුනු තොරතුරු ඛෙහෙවින් සපයා ගත හැක.


බුද්ධ පරිනිර්වාණය හා සතර දළදා වහන්සේ[සංස්කරණය]

අසූ වසක් ආයු වළඳා පිරිනිවන් පෑ බුදුුජාණන්වහන්සේ දේහය ආදාහනය කිරීමෙන් පසුව උන්වහන්සේගේ ශරීර ධාතූන්ගෙන් සප්ත මහා ධාතූන් ලෙස සැලකෙන කොටස් 07ක් හැර ඉතිරි අස්ථි සියල්ල මුං පියලි ,කඩ සහල්,අබ ඇට යන විවිධ ප්‍රමාණයන්ට කැඩී බිදී වෙන් වී ගියේය.1 ලලාට ධාතු, අකු ධාතු දෙනම, සතර දළදාව යන මේ කොටස් එම නොකැඩී නොබිදුණූ සප්ත ධාතුවෝ වෙති.2 මෙහි එන සතර දළදාව ලෙස හදුන්වන්නේ "රදනක" ලෙසින් සැලකෙන දත් විශේෂයයි. පාලි භාෂාව තුළ එය "දාඨ" යන වචනයෙන් හදුන්වනු ලැබ ඇත. දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයෙහි "චත්තාලිස දන්තතා" ලෙස දැක්වෙන ආකාරයට බුදුුරජාණන් වහන්සේ සතුව සම සතලිස් ධාතු පිහිටා තිබී ඇත.3 සතර දළදාවන් අනෙක් ඒවාට වඩා සුදු පැහැයෙන් යුක්ත වූ බවත් කියවේ.4 දළදා වහන්සේ ලංකාවට වැඩමවූ අවස්ථාවේ එහි වූ දුර්වර්ණය නිසා මුලින් කිත්සිරි මේඝ රජුට සැකයක් ඇතිවීමට හේතු වූයේද මේ පිළිබඳව ඔහු දැන සිටි නිසා විය හැක.5 බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශේෂ වූ එම සතර දළදාවන් වැඩ සිටින ස්ථාන බුද්ධවංශ පාලියේ ධාතු භාජනීය කථාවේ එක් ගාථාවක දක්වා ඇත.


එකා දාඨා නිදස පුරෙ - එකා නාග පුරේ අහු

එකා ගන්ධාර විසයෙ - එකා කාලිංග රාජිනො 6


ධාඨාවංශයේ මෙම ගථාවට වඩා තරමක් වෙනස් ලෙස දක්වා ඇති අතර7 එක් දළදාවක් තව්ිතිසා දෙව් ලොවද, එක් දළදාවක් නාග ලෝකයේද, එක් දළදාවක් ගාන්ධාර දේශයේද, අනෙක කාලිංග දේශයේද යන ඉහත අදහස් මහා පරිනිර්වාණ සූත්‍රයෙන් ද සනාථ කෙරෙයි.8 බුදුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් පසුව ධාතු ඛෙදාදීමේ කටයුත්ත සිදුකොට ඇත්තේ ද්‍රෝණ නම් බමුණකු විසිනි. ඒ හා බැදුණු ඇතැම් රසවත් සිදුවීම් ද මූල් කරගනිමින් සතර දළදාවන් ඒ ඒ තැන් වල ස්ථානගත වූ ආකාරය ධාතු වංශය ඇතුලු බොහෝ මූලාශ්‍රවල විස්තරාත්මකව දක්වා ඇත. එම විස්තරයන්ට අනුව ධාතු ඛෙදීමේ නිරතව සිටි ද්‍රෝණ බමුණා ඒ කෙරෙහි ලොල්බැද එක් දකුණු දළදාවක් සිය ජටාවේ සඟවාගන ඇත. පසුව අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා සඟවා ගත්තේය. වම් උඩු දළදාව වස්ත්‍ර අතර සඟවාගන ඇත. දකුණු දළදාව බිම දමා පයින් වසාගත් අයුරු දුටු ජයසේන නම් නා රජෙකු ඔහුට නොදැනෙන සේ ධාතුන් වහන්සේ ඍද්ධියෙන් ගෙන නාග භවනට ගොස් නාගපුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කොට මහත් වූ පුද පූජා පවත්වා ඇත.9 බෞද්ධයන් විසින් තව්ිතිසා දෙව් ලොව වැඩවසතැයි විස්වාස කරන අනෙක් දකුණු දළදා වහන්සේ සක් දෙවිදුන් විසින් පැහැර ගත්තකි. ධාතු ඛෙදීමේ උත්සවයට සහභාගී වූවන්ගේ ප්‍රමාදයෙන් ද්‍රෝණ බමුණා විසින් තම ජටාව තුළ සඟවා ගත් දකුණු දළදාව නොදැක සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවුරුන් විසින් ගනු ලැබුවාද කියා දිවසින් බලන්නේ එය බමුණාගේ ජටාව තුළ ඇති බව දුටුවේය. බමුණාට එම දන්ත ධාතූන් වහන්සේ ගෙන ගොස් නිසි පුද සත්කාර කිරීමට තරම් හැකියාවක් නොමැති බව වටහාගත් සක්දෙවිදු ඉතා සියුම් අතක් මවාගෙන ඔහුට නොදැනෙන සේ දකුණු දළදාව ගෙන රන් කරඩුවක තැන්පත් කර හිස මුදුනේ තබාගන තව්ි තිසා දෙව්ි ලොවට ගොස් ඇත. දළදා සිරිතේ දක්වන ආකාරය සක් දෙව්දු එම ධාතු කරඩුව සිළුමිණ මහාසෑයේ තැන්පත් කොට පුද සත්කාර කොට ඇත.10


බුද්ධවංශයේ සදහන්ව ඇති අකාරයට ගන්ධාර දේශයට වැඩම කරවා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ වම් උඩු දළදාවයි.11 ගන්ධාරය ද බුද්ධකාලීන භාරතයේ පැවති සොළොස් මහ ජනපදයන්ගෙන් එකකි. මෙහි සීමාවන් කෙතෙක් දුුරට විහිදී තිබුණාදැයි නිශ්චිතව කිව නොහැකි වුවත් උතුරු පකිස්ථානයේ හා ඇෆ්ගනිස්ථානයේ විශාල ප්‍රදේශයක් පුරාණ ගන්ධාර දේශයට අයත්ව තිබූ බව පුරාණ සාධක වලට අනුව පෙනී යයි. බුදුරජාණන් වහන්සේ ජීවමාණ සමයේදීම මෙරට බුදු සමය පැතිර ගොස් තිබූ අතර මහාකච්ිචායන මහරහතන් වහන්සේ විසින් එහි ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකර ඇත. ලෝ ප්‍රකට තක්ෂිලා විශ්ව විද්‍යාලය පිහිටා තිබුණේද මෙහිය. බමුණා විසින් කළ සොරකම දුටු ගන්ධාර දේශයෙන් පැමිණි එක්තරා පින් ඇති වැසියෙක් කුසල් සිතින් යුතුව ඒ දළදා වහන්සේ ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය වනයේ තැන්පත් කොට පුද සත්කාර පවත්වා ඇත. එහෙත් චේතිය වනයේ එලෙස තැන්පත් කළ දළදා වහන්සේ පිළිබද විවිධ මත දක්නට ලැබේ. ගන්ධාර දේශයේ වැඩ සිටි එම දළදා වහන්සේ මේ වන විට චීන දේශයේ එක් විහාරයක වැඩ සිටින බවට මතයක් පවතී. තවත් මතයක් වන්නේ මේ දළදා වහන්සේ කාවන්තිස්ස රජතුමා විසින් දකුණේ තිස්සමහාරාම දාගැබ තුළ තැන්පත් කර ඇති බවයි. ක්‍රි.ව දහවන ශතවර්ෂයට අයත් වන කිරින්දෙන් හමු වූ ටැම් ලිපියක ද මෙබදු විස්තරයක් එයි. මෙම ටැම් ලිපිය පිළිබදව විමර්ශනයක යෙදුන ඩී.ඊ ගොඩකුඹුර මහතා ප්‍රකාශ කර ඇත්තේ කාවන්තිස්ස රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ යටි වම්ි දළදාව තැන්පත් කොට තිස්සමහාරාම දාගැබ කරවා ඇති බවයි. නමුත් එයට එකඟ නොවන සිරිමල් රණවැල්ල මහතා පවසන්නේ මෙම දාගැබ ඈපා මිහිදු රජු හෙවත් හතර වන මිහිදුු රජු විසින් තනන ලද බවයි.

කාලිංග දේශය හා වම් දළදා වහන්සේ[සංස්කරණය]

කෙසේ වෙතත් කාලිංග දේශයට වැඩමවා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි වම් දළදාවයි. බුදුරජාණන් වහන්සේගේ අගසව් වහන්සේ නමක් වූ සැරියුත් මහරහතන් වහන්සේගේ ගෝලයකු ලෙස සැලකෙන ඛිම නම් රහතන් වහන්සේ නමක් විසින් ආදාහන චිතකයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටිවම්ි දළදාව ගෙන කාලිංඝ දේශයට ගොස් බඹදත් රජතුමාට එය භාරකොට ඇත.12 ජිනකාල මාලයේ ද එලෙසම සදහන් වේ.13 "ඉක්බිිති සියලු කෙලෙසුන් නසා ඛිම ප්‍රාප්ත වූ ඛිම නම් මහතෙර කෙනෙකුන් වහන්සේ ඝණ වන්දනා චිත වූ චිතකයෙහි දීම පහල වූ වම් ඇති වම් දළදා වහන්සේ ඍද්ධිියානුභාවයෙන් ඇරගත් සේක"14ආදී ලෙසින් දළදා සිරිතේ මෙම සිද්ධිිය දැක්වේ. ඔහු රන්රුවන් මුතුවැල් වලින් බැබළෙන සුවිසල් මැදුුරක් සාදවා දළදාව එහි තැන්පත් කළ බවක් දළදා පූජාවලියේ සදහන් වේ.15 ඒ අනුව දළදා වහන්සේ වෙනුවෙන් ඉදිවෙන පළමු දළදා මැදුර බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පා ආසන්න සමයේම ඉදිවූ බව පැහැදිළිය. එම මාලිගාවේ සිට පවත්වන ලද දළදා පූජාවක් පිළිබද බොහෝ විස්තරයන් ද දක්නට ලැබේ.16 මෙම මාලිගාව ඉදි වූ ප්‍රදේශය දන්තපුරය නමින් හදුන්වා ඇත. මෙම දන්තපුරය පිළිබඳව විස්තරයක් සිංහල පන්සිය පනස් ජාතකපොතේ එයි. එහි චූල්ල කාලිංග ජාතකයෙහි17 දන්තපුරය ගැන සදහන් වන අතර ධර්මප්‍රදීපිකාවේද18 (දන්තපුරේ රාජා හුත්වා) එබදු සදහනක් දක්නට ලැබේ. කළිඟු රජුගේ ඇවෑමෙන් රජකමට පත් වූ ඔහු පුත් කසීරජ එම දළදා මැදුර මැණික් වලින් ආලෝකමත් කොට පුද පූජා පවත්වා ඇති අතර පෙර සිරිතට අනුව එමින් කසී රජුගේ පුත් සුනන්ද රජුද දළදා හිමිට නිසි වත් පිළිවෙත් පුද පූජා පවත්වා ඇත.


එම රජ පෙළපත මෙලෙස වසර අටසියයකට පමණ කාලයක් පරම්පරා පිළිවලින් දළදා වහන්සේට අනේක විධ පුද පූජා සත්කාර සම්මාන පවත්වා ඇත. එහි අවසන් කාලයේ රජකමට පත් වූ ගුහසීව නම් රජු මිසදිටු නිඝණ්ඨයන්ගේ බසට රැවටී දළදා වහන්සේ වෙත පාරම්ිපරිකව කෙරුණු පුද පූජා සත්කාර හා වැදුම් පිදුම් අතහැර දැම්මේය. එසේ වුවද වැසියන් නිති පතා පුද පූජා පැවැත්වූයේය. ඒ දුටු රජු පසු කළෙක බුදු දහම කෙරෙහි පැහැදී දළදා වහන්සේ වෙත පාරම්ිපරිකව කරගෙන ආ පුද පූජා සිරිත් නැවත කිරීමට ආරම්භ කළේය. නිඝණ්ඨයන් විසින් යලිත් රජු තම බසට හරවා ගැනීමට උත්සාහ කලද නොනැමුණු ගුහසීව රජු ඔවුන් තම දේශයෙන් පන්නා දමුවේය. එයින් මිසදිටු නිඝණ්ඨයෝ කෝපයට පත්ව පැළලුප් නුවර පණ්ඩු නම්ි රජෙක් හමු වී "මහරජ, ගුහසීව නම් ප්‍රාදේශීය රජෙක් ඔබ ගරු කරන ශිව, බ්‍රහ්ම ආදී දෙවියන්ට නින්දා කරමින් මිනී ඇටයකට වදීය."19 යැයි කීහ. මෙය දළදා සිරිතේ දක්වා ඇත්තේ "දෙවයිනි නුඹට සාමන්ත වූ ගුහසීව නම් රජතෙම නුඹ විසින් පුදන ලද බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වරාදි දෙවියන්ට නින්දා කොට මිනී ඇටයක් තබා පුද සත්කාර කරන්නේය"20 යනුවෙනි. "කලිඟු රට දන්ත නුවරට ගොස් ගුහසීව රජු හා ඔහු විසින් පුදන ලද ඇටය වහා ගෙනව"21 පණ්ඩු රජු නියෝග කොට ඇත. "සේනාව සමඟ චිත්‍රයාන දන්තපුරයට ගිය අතර එහිදී ගුහසීහ රජුත්, දළදාවත් ගැන ප්‍රසාදයට පත්විය. එසේ වුවද තම ස්වාමියාගේ රාජ නියෝගය කඩකිරීමට නොහැකි වූයෙන් රජුත් දළදාවත් පෙරහැරකින් පාණ්ඩ්‍ය දේශයට වඩම්මවා ඇත. දළදා වහන්සේ විනාශ කිරීම සදහා නිගණ්ඨයන් හා එක්ව පණ්ඩු රජු කළ දෑ පිළිබදව දාඨාවංශය හා ජිනකාලමාලී22 ඇතුළු වෙනත් මූලාශ්‍ර වල සිත් ගන්නා සුළු දිගු විස්තරයක් දක්වා ඇත. මේ පිළිබදව ජිනකාලමාලනියට වඩා දීර්ඝ වූද වර්ණනාත්මක වූද විස්තරයක් දළදා පූජාවලියෙත්23 දළදා සිරිතෙත්24දක්නා ලැබේ. ඉන් අනතුරුව රජ දළදා වහන්සේ විනාශ කිරීමට කළ කී දෑ පිළිබදව මූලාශ්‍ර බොහොමයක් වාර්තා සපයයි. දීපණ්ඩු රජු අඟුරු රැසක දමා ඒ ධාතුව දවයි පැවසූ විට ඔවුහු එසේ කළහ. එකෙනෙහිම රථ රෝදයක් පමණ වූ මහ පියුමක් දළදාව පිළිගති.25 දාඨාවංශ විස්තරයට අනුව ඉතා දුර අහසට විහිදුණු ගිනිජාලාවන්ගෙන් යුතු ගිනිවලකට දළදාව දැමූවද දළදාවට කිසිදු හානියක් නොවී ගිනි වල තුළින්ම පැන නැගුන රන් පූෂ්පයක් මත පිහිටුවා ප්‍රාතිහාර්යය දක්වා ඇත.26 ඒ පිළිබද දළදා සිරිත දක්වන විස්තරය භක්ති ප්‍රමෝදිතය.27 මෙම උපක්‍රමය අසාර්ථක වූ තැන පඩි රජුගේ නියෝගය පරිදි වානේ කිණිහිරියක් මත දළදාව තබා තලා දැමීමට නියෝග කළහ.28 එයද අසාර්ථක කරමින් දළදා තොමෝ කළුගෙඩියෙහි භාගයක් ගිලී භාගයක් ගිලෙමින් කදුමුදුනකින් අඩක් නැගුණ සඳ මෙන් ගිලී ගියහ.29 එහි වැඩ සිටි දළදාවෙන් රශ්මි කදම්භයක් විහිදුනාහ. නිඝණ්ඨ ජනයා කල්පනා කලේ එය විෂ්ණු දෙවියන්ගේ ශාරීර අවයවයක් ලෙසය. එසේ කල්පනා කොට පැන් වඩා දළදාව කිණිහිරෙන් ගලවා ගැනිමට උත්සාහ කළද එයද අසාර්ථක විය. දළදාව කිණිහිරෙන් ඉවත් කර ගැනීමට කෙතෙක් ඇද්දැයි අසා පණ්ඩු රජු විසින් අණඛෙර යවා විමසනු ලැබීය. එම ආරාධනයෙන් සුභද්ද නම් සිටුපුත්‍රයකු පැමිණ බුදුගුණ ගයමින් පුදපූජා පවත්වා ආරාධනා කළ කල්හි දළදා වහන්සේ කිණිහිරයෙන් ඉගිලී අහසට පැන නැගී යලිත් ප්‍රාතිහාර්යය පෑ සේක.30එයද නොඉවසූ මිසදිටුවෝ දළදා වහන්සේ ගැඹුරු වලක දමා ඇතුන් ලවා පාගාදැමීමට සැලැස්වීය. මේ අවස්ථාවේිම උන්වහන්සේ අහසට පැණ නැගී යලිත් ප්‍රාතිහාර්යය පෑ සේක. 31 හතර වන වර නිඝණ්ඨයෝ දුගඳ හමන මහා අසූචි වලකට දළදා වහන්සේ දැමූහ. විසිකරන විටම ඒ වල පස්පියුමින් වැසී ගොස් ඒ මත හටගත් උස්වූ පියුමකින් බුදුරැස් විහදුවමින් ප්‍රාතිහාර්යය දැක්වීීය. මෙසේ අවස්ථා හතරකදී දළදා වහන්සේ විනාශ කිරීම විවිධ උපක්‍රම යෙදූ පඩු රජු දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යය නිසා පැහැදීමට පත්ව බුදු දහම වැළද ගත්තේය. දළදා වහන්සේට නොයෙක් අගනා සළුපිළිිවලින් දළදා වහන්සේ පුද නමස්කාර කොට යලි ගුහසීව රජුටම ගෞරවයෙන් යුතුව භාර දුන්නේය. ගුහසීව රජුද බොහෝ සතුටින් යුක්තව දළදා වහන්සේ ආපසු මහ පෙරහරින් දන්තපුරයට වඩමවා සිරිත් පරිදි දළදා පූජාවන් පවත්වා ඇත32

දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම[සංස්කරණය]

අනුරාධපුර යුගය[සංස්කරණය]

මූලාශ්‍රගත කරුණු වලට අනුව දළදා වහන්සේ මෙරටට වැඩම වීමට පෙර ඒ සම්ිබන්ධයෙන් භාරතයේ පැවති තත්වය එබන්දකි. මීලඟට සලකා බැලිය යුත්තේ දළදාව මෙරටට වැඩමවීම පිළිබදව ඓතිහාසික පසුබිමයි. බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් අටකට වඩා වැඩි කාලයක් කලිඟු රට පූජෝපහාරයන්ට ලක්වෙමින් පැවති දළදා වහන්සේ ක්‍රි.ව හතරවන සියවසේදී පමණ මෙරටට වැඩමවීමට හේතු වී ඇත්තේ ඒ වෙනුවෙන් හටගත් යුධමය වාතාවරණය නිසා බව පැහැදිළිය ,

දන්ත ධාතූන් වහන්සේ පිළිබද පුවත සැල වු විට එය අයත් කර ගැනීම සදහා දඹදිව ප්‍රාදේශීය පාලකයන් උත්සහ කළ බව කියවෙයි. ඊට පෙර පැලලුප් නුවර ආක්‍රමණය කොට තිබූ ඛීරධාර නම් රජකුගේ බෑනා කෙනෙකු දඹදිව අත්පත් කරගන්නට සේනාව සමඟ දන්ත පුරයට ආවේය. මගේ දිවි තිඛෙන තුරු දළදාව සතුරන්ට නොදෙන්නෙමි යි සිතූ ගුහසීව රජු තමා යුද්ධයෙන් පරාජය වුවහොත් දෙව් මිනිසුන් විසින් පුදනා ලද දළදාවද රුගෙන ලක්දිවට යන ලෙස තම බෑණුනුවන්ට පවසා ඇත. එහෙත් මහ සයුරෙන් එතෙර පිහිටි සීහළ දේශයෙහි සිටින්නේ ඔබගේ හෝ මාගේ නෑයන් නොවේ යනුවෙන් පැවසූ දන්ත කුමරු ඒ පිළිබදzව සැක උපදවා ඇත. එහෙත් කලිගු රජ තෙමේ සීහළ දේශයේ මිනිස්සු බුදුරදුන් කෙරෙහි සැදැහැති බෞද්ධයෝය. ආරක්ෂාව සදහා ඔවුන්ට දළදාව ගෙනගොස් දෙන්නැයි දළදාව භාරව සිටි දන්ත කුමරුට පැවසූ බව දාඨාවංශයේ දැක්වෙයි.33 දරුව මාගේ ජීවතය ඇති කල්හි දළදාව අනෙකෙකුට නොදෙන්නෙමි. ඉදින් මම ඒ රජකුමරුවන් පරදවන්නට නොහැකි වන්නේ නම් හෝ දළදාව ගෙන බමුණු වෙසින් ලක්දිවට යව. ලක්දිව මහා සේන රජු මාගේ ප්‍රිය මිත්‍රයෙකු කී බව ජිනකාලමාලියේ දැක්වේ.34 ලංකාවේ රාජ්‍යය කල මහසෙන් රජු තමාගේ මිත්‍රයෙකු බවත් මුලින් ඔහු තමාගේ දන්ත ධාතූන්වහන්සේ ඉල්ලා ඇත් අස් මුතු මැණික් ආදී තුටු පඩුරු එවූ බවත් දළදා පූජාවලියේ35 දැක්වෙන අතරම දාඨාවංශයේද36 ඔහු මිතුරෙකු සේම දළදාවේ පහස ලද පැන් පිඩක් හෝ එවන ලෙස දන්වා එවූ බව සදහන් වේ . මහසෙන් රජු තුටු පඩුරු එවූ බවත් සදහන් නොවන මුත් ඔහු තම මිත්‍රයකු නිසා දළදාව ලංකාවට වඩම වන ලෙස කී බව දළදා සිරිතෙහි දැක්වේ.37 මහසෙන් රජු තමන් විසින් කළ චෛත්‍යය වල තැන්පත් කරවීම සදහා ධාතුන් වහන්සේලා ලබාගැනීමටත් පරිශ්‍රමය කල බව පූජාවලියේ ද සදහන් වේ.


38 එලෙස වෙහෙස වූ රජු තමාට ධාතූන් වහන්සේ ලබාදෙන ලෙස ගුහසීව රජුගෙන් ඉල්ලා යවන්නට ඇතැයි සිතිය හැක. කෙසේ වුවත් එවකට ලංකාවේ රාජ්‍ය විචාල කර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාට පෙර සිටි ඔහුගේ පියා වන මහසෙන් රජතුමා ගුහසීව රජතුමාගේ සමීපතම මිතුරෙකු බවත් ඒ අනුව කිත්සිරිමෙවන් රජතුමාද පසුකලෙක ග්හසීව රජතුමා සමඟ සමීප සබදතා පවත්වාගන ගිය බවත් ඒ සබදතාවයන් මුල්කොට ගෙන දළදා වහන්සේ ලංකාවට එවීමට කටයුතු කළ බවත් වෙනත් මූලාශ්‍ර ගත කරුණූ ද විමසා බැලීමේදී පෙනේ. "මෙකී සම්බන්ධතා හදිසියේ ඇති වූ ඒවා ලෙස සිතිය නොහැකිය. ඒවා කලක් තිස්සේ පුවත ගෙන ආ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වශයෙන් පිලිගත හැකිය" ලෙස ලංකාව හා භාරතය අතර පැවති ඓතිහාසික සබදතාවලට උදාහරණද දෙමින් කඹුරුගමුවේ වජිර හිමියන් දක්වන අදහසට අනුව හුදෙක් කාලිංගයේ ඇතිවූ යුද්ධය ම දළදාව වැඩමවීමට හේතුවක් වූවා නොව පුරාතන සමයේ පටන් පැවති කාලිංග සබදතා මෙන්ම මහසෙන් රාජ්‍ය සමයේ පටන් පැවති ආගමික, දාර්ශනික සබදතාද දළදා වහන්සේ ලංකාවට වැඩම වීමට හේතු වූ බව පෙනීයයි.39ගුහසීව රජු සටනින් පරාජය වූ අතර ඔහුගේ දියණිය වූ හේමමාලා හා බෑණනුවන් වූ දන්ත කුමාරයා ආඩි වෙස් ගෙන දළදාවහන්සේ ද සඟවාගන ලංකාවට ඒමට සමත් විය. සතුරු උවදුරු වලින් බේරීම සදහා හේමමාලා කුමරිය ශ්‍රී දළදා වහන්සේ සිය කෙස් කළඹෙහි සඟවාගෙන ආ අතර ඒ එන ගමනේ දී ඔවුන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ බව දළදාසිරිතෙහි විස්තර කෙරෙයි.40 බොහෝදුරක් පයින් ගමන් කර තූත්තුකුඩියේ සිට පැමිණි වෙළෙද නැවකින් ඔවුහු ලංකාවට පැමිණියහ. එකළ මහසෙන් රජ මිය ගොස් ඔහුගේ පුත් මේඝවර්ණාභය රජතුමා ලංකාවේ රජ්‍යය කරවීය. දළදා වහන්සේ රැගෙන පැමිණි හේමමාලා හා දන්ත කුමරු ලංකාවේ පළමුව නවාතැන් ගන්නේ මේඝගිරි විහාරය හෙවත් ඉසුරුමුණි විහාරයේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාරණ මහතා ගේ මතයයි. ඉසුරුමුණි විහාරය පෙර දෙවනපෑතිස් රජතුමා විසින් කරවන ලද්දකි.41 මේිඝගිරිය යන්න වලාකුළු සහිත යන අරුත දෙන්නකි. මේ නිසාම දළදාව හා වර්ෂාව අතර සමිබන්ධයක් ඇතැයි ජනප්‍රවාදයේ පිළිගැනීමයි. මේ නිසාම වර්ෂාව නොලැඛෙන නියඟ කාලවලදී දළදා වහන්සේ වෙනුවෙන් විශේෂ පූජා හා දළදා ප්‍රදර්ශන වර්තමානයේද පවත්වන්නේ එබැවිනි. දළදා පෙරහැර අවසානයේ දියකැපීමෙන් පසුව වර්ෂාව ලැඛෙන බවට මතයක් වර්තමානයේද ලාංකිකයන් අතර පවතී. දළදා වහන්සේ ලක් දිවට වැඩමවූ පුවත අසන විට කිත්සිරිමෙවන් රජු උයන් කෙළියේ යෙදී සිටියේය. රජු මේ පුවත අසා බොහෝ සතුටට පත්ව උයන් කෙළියද නවතා වහා දළදා වහන්සේ දැක ගනු කැමතිව මේඝගිරි විහාරයට ගොස් ඇත. දළදා වහන්සේ ලක් දිවට වැඩම කිරීමේ පුවත මහාවංශය සදහන් වන්නේ පහත පරිදිය. "ඒ රජු දවස නව වන වස එක්තරා බැමිණියක් තොමෝ බුදු රජහු දළදාව කලිඟු රටින් මෙහි ගෙණවා (එළු) දළදාවස කී පරිද්දෙන් රජ තෙමේ ඒ ගෙන බහුමානයෙන් උතුමි පුදකොට හුදු පිළිමණින් කළ කරඩුවෙක බහා දෙවන පෑතිස් රජු විසින් රාජාරාමයෙහි කරවන ලද දමිසක් නම් ගෙයි වැඩුයේයි. එතැන් පටන් ඒ ගෙය "දාඨාධාතුඝර" නම් වී ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජ තෙමේ නව ලක්ෂයක් දන විසදා දළදා මහ පෙළහර කළේය. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩාගෙන ගොස් ඒ දන්ත ධාතුවට මෙබදු පූජා කරවයි නියෝග කළේය" 42 දාඨාවංශයේ මෙයට වඩා දීර්ඝ විස්තරයක් දැක්වේ. නමුත් එය මහාවංශයට වඩා තරමක් වෙනස් වේ.43 මහාවංශයට අනුව දළදාව වඩම්මවා ඇත්තේ කිසියම් බැමිණියක විසිනි. කාලිංගයේ සිට ගෙනාවා වුවද එය හේමමාලී හා දන්ත කුමාරුන් විසින් ගෙන ආ බවක් ඉන් නොකියවේ. රාජාවලිය තුළ රන්මාලි නම් කෙනෙක් විසින් ගෙන ආ බවක් දක්වා ඇත.44 පූජාවලියේ ද එසේමය. 45 නමුත් දාඨාවංශයට අනුව පෙනී යන්නේ හේමමාලා හා ඇගේ සැමියා වන දන්ත කුමරුන් සමග බමුණු වේෂයෙන් දළදාව රැගෙන ආ බවකි.46 දළදා පූජාවලියේ හා දළදා සිරිතේද එසේමය මහාවංශය දක්වන පරිදි රජු තම මාලිගාව පිහිටි භූමිය ආසන්නයේම ස්ථානගත එනම් දේවානම් පියතිස්ස රජු කළ ධම්මචක්කගෙහි දළදාවහන්සේ තැන්පත් කර ඇත. එතැන් පටන් එය "දාඨාධාතුඝර" ලෙස ප්‍රකට වූ බවක් සදහන් වේ. දළදා සිරිතට අනුව එය මහමෙවුනා උයන් තුළ පිහිටා තිබුණි.47 මූලාශ්‍රගත කරුණු පිළිබද අධ්‍යනය කොට බලන විට මේ පිළිබද ගොඩනැගෙන මත බොහොමයක් ඇති බව පෙනෙයි.48 තවදුරටත් දළදා සිරිත හා දළදා පූජාවලිය ආදී මූලාශ්‍රවල සදහන් වන ආකාරයට, එතැන් පටන් ශ්‍රි දළදා වහන්සේ විෂයෙහි ඉමහත් පුදසත්කාර නිතිපතා පැවැත්වූ කිත්සිරිමේඝ රජු තම රජමාලිගාව අසලම නව දළදා මැදුරක් ඉදිකරවා දළදා වහන්සේ එයට වැඩමවා ඇත. එපමණක් නොව තමන්ට පසුව රජවන සියලුම රජවරුන් ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් වන සියලුම වත් පිළීවෙත් පුදපූජා ,පෙරහැර ආදිය නොඅඩුව පැවැත්විය යුතු බවත් එය ඉරහඳ පවත්නා තෙක්ම රාජ නියෝගයක් මෙන්ම උත්තරීතර සම්මුතියක් ලෙස ප්‍රකාශයට පත් කළ රජු එය ශිලා ලිපියක් මගින්ද තහවුරු කොට ඇත. මහාවංශයට අනුව දළදා වහන්සේ තැන්පත් කෙරුණු මුල්ම දළදා මාලිගාව රජු විසින්ම ඉදි කළ එකක් බව පෙනෙයි. එකල අනුරාධපුරයේ පැවති ප්‍රබලතම භික්ෂූ නිකායන් දෙක වන මහාවිහාරයේ හෝ අභයගිරියේ හෝ දළදා වහන්සේ තැන්පත් නොකොට තමන්ගේම මාලිගාවක රජු එය තැන්පත් කලේ ඇයිද යන්න යම් ගැටළුවක් මතු කරන්නකි. ඒ පිලිබද කුඹුරුගමුවේ වජිර හිමියෝ මෙබදු අදහසක් දරති. "මහාවිහාරයත් අභයගිරියත් අතර අසමගි කම් නිසා ඒ දෙපාර්ශවයටම අයිති විහාරයක තැන්පත් නොකොට රජුට අයිති ගොඩනැගිල්ලක දළදා වහන්සේ තැන්පත් කරන්නට ඇතැයි මේ අනුව සිතා ගත හැකිය." 49 මේ අනුව කීර්ති ශ්‍රි මේඝවර්ණ රජු ප්‍රථම දළදා පූජාව පවත්වා තෙවරක්ම ලංකා රාජ්‍යයෙන් දළදාව පුදා ඇත. එතැන් සිට රාජ්‍ය පැමිණි සෑම රජ කෙනෙකුම ශ්‍රි දළදා වහන්සේ සිය රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකා කටයුතු කලද සියලු රජවරුන් දළදාව පිදුබව පිළිගත නොහැක්කේ රජවරු කිහිපදෙනෙක් පමණක් දළදාව පිදු බව සදහන්ව ඇති හෙයිනි.මේ යුගයේදී දළදා වහන්සේ ගැන වංශකථාවේ සදහන් වන්නේ කලාතුරකින් වුවද බොහෝ සිංහල බෞද්ධයන්ගේ සිත් දළදා ඇදහිල්ල කෙරෙහි ඇදී ගිය සැටිත් එකල රජවරුන් ඉතා උනන්දුවෙන් දළදා පූජා පැවැත්වූ සැටිත් පාහියන් හිමියන්ගේ විස්තරයෙන් අපට දැනගත හැකිය. රජ පවුලේ අයගෙත් උසස් නිළධාරීන්ගේත් නම් වලට මුලින් "දාඨා” (සිං,දළ) යන්න යෙදී තිබීමෙන් පසු කාලයේදී දළදා ඇදහිල්ල කොතරම් වැදගත් කොට සලකන ලද්දේද යන්න පැහැදිලි වේ. 50ඉහත විස්තර අනුව බැලූ කළ දළදා පෙරහැර මුල්වරට ලංකාවේ ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. හතරවන සියවසේදීය. එනම් ක්‍රීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි.ව 301-328) රජතුමාගේ කාලයේය. මෙහිදී දළදාව රාජකීය මන්දිරයේ සිට අභයගිර විහාරයට පෙරහැරින් වැඩමවා එය දර්ශනය කොට විවිධ පුද පූජා පැවැත්වීමට සැලැස්සූ බව පෙනේ. දළදා වහන්සේ අභයගිරියට වාර්ෂිකව වැඩමවා පෙරහැරක් කරවීමෙන් පෙනෙන්නේ අභයගිරි හා දළදාවහන්සේ අතර තිබූ සම්බන්ධතාවයයි. පසුකාලීන වන විට එම සම්බන්ධතාවය දැඩි වූ බව පෙනේ. ථෙරවාදී මහා විහාරිකයන් දළදා වහන්සේ මෙහි වැඩම කිරීම ගැන වැඩි උනන්දුවක් දැක් වූ බවක් නොපෙනෙයි. 51ථෙිරවාදී මහාවිහාරිකයන් දළදා වහන්සේ මෙහි වැඩම කිරීම ගැන වැඩි උනන්දුවක් දැක් වූ බවක් නොපෙනෙයි. දළදා වහන්සේ හා සම්බන්ධ නොවීමෙන් පෙනී යන්නේ මහා විහාරික භික්ෂූන් හා රජු අතර පැවැති සම්බන්ධය අභයගිරිවාසී භික්ෂූන්ට වඩා අඩු මට්ටමක පැවති බවකි. එයට හේතු වන්නට ඇත්තේ මහසෙන් රජ දවස මහාවිහාරයට සිදුවූවේයයි පවසන නොපනත් කම් විය හැකිය.52

පෙරහැර පිළිබද පාහියන් වාර්තාව[සංස්කරණය]

කෙසේ වෙතත් දළදා වහන්සේ අභයගිරි විහාරයට පෙරහැරින් වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ චාරිත්‍රය 5 වැනි සියවස දක්වාම පැවති බව ක්‍රී.ව 413 දී පමණ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවන්ට අනුව පැහැදිලිව වේ. එම කාලයේම ලංකාවට ආ බුද්ධඝෝෂ අටුවාචාරීන් ගැන මහාවංශයේ සදහන් වූවද පාහියන් හිිමියන් ගැන සටහනක් දක්නට නොලැබේ.53

"ඉක්බිති දන්ත ධාතූන් වහන්සේ මන්දිරයෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගය දිගේ වැඩම කරනු ලැබේ. දළදා වහන්සේ අභයගිරි විහාරස්ථ ප්‍රදර්ශන ශාලාවට ලගාවන තෙක්ම මග දිගට මිනිස්සු පුද පූජා පවත්වති. අනතුරුව භික්ෂූන් ද ගිහි මිනිස්සු එක්රැස්ව සුවද දුම් දීමත් පහන් දැල්වීමත් වෙනත් ආගමික පූජා පැවැත්වීමත් නැවතීමක් නැතිව රෑ දවල් දෙකෙහිම සිදු කරති. අනු දවසකට පසුව නගරයේ පිහිටි දන්ත ධාතු මන්දිරය කරා දළදා වහන්සේ වැඩම කරනු ලැඛෙත්. බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර සිදු කර සැදැහැවතුන්ට මන්දිර කරා පැමිණ දළදාව වැඳ පුදා ගත හැකිවනු පිණිස දන්ත ධාතු මන්දිරය පොහෝ දිනයන්හි විවෘතව තබනු ලැබේ.54

මේ පිලිබදව අදහස් දක්වන වජිර හිමියෝ පවසන්නේ රජුගේ ආගමික කටයුතු දක්වන වංශකතා විස්තර වලින් ඔහු මහාවිහාරයට හෝ අභයගිරියට විශේෂයක් නොකළද සිය පියාගේ අනුග්‍රහය ලද අභයගිරිය ඔහු ලගින් ඇසුරු කරන්නට ඇති බවකි. "ප්‍රදර්ශනය සදහා වාර්ෂිකව අභයගිරියට දළදාවහන්සේ වැඩමවන ලෙස නියම කිරීීමෙන් ද පැහැදිලි වන්නේ එයයි. එම පිලිවෙල එසේ දිගුකලක් පැවති බව පාහියන් භික්ෂූවගේ වාර්තාවලින්ද පෙනේ".55 අනුරාධපුරය හා සම්බන්ධව දළදාවහන්සෙගේ ඓතිහාසිකත්වය සම්බන්ධයෙන් මූලාශ්‍රවල දක්වා ඇති කරුණු පිළිබදව සලකා බලන විට වටහා ගත හැකි කරුණු කාරණා කිහිපයකි, එනම් කීර්ති කිත්සිරි මෙවන් රජුගෙන් පසුව අනුරාධපුර දළදා මාලිගාවක් පැවති බවත් එය වරින් වර ප්‍රතිසංස්කරණය කරන්නට ඇතැයි සිතිය හැකි වුව ද අනුරාධපුර යුගයේ දළදා වහන්සේට හිමිවූයේ දෙවන ස්ථානයකැයි මහාවංශයේ සදහන් විස්තරයට අනුව පෙනේ, මෙයට හේතුවන්නට ඇත්තේ එයට වඩා වැඩියෙන් පුද පූජාවන්ට ලක්වූ පූජනීය ස්ථාන අනුරාධපුර රාජධානියේ පැවතීම නිසා විය හැක, බුදුරජාණන් වහන්සේගේ මුලික ධාතු වලින් නැලි දෙකක් නිධන් කොට තැනූ මහාථූපය, ශ්‍රී මහබෝධිය අභිබවා දළදා වහන්සේ පෙරට ආ බවක් මහාවංශහි සදහන් තොරතුරු වලට අනුව නොපෙනෙයි, මුලින් සදහන් කළ ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ සදහන් දළදා පෙරහැර පිළිබදව ද මහාවංශයේ සදහන්ව නැත, එහෙත් කිත්සිරිමෙවන් රජු අවුරුද්දක් පතා දළදා වහන්සේ අභයගිරියට වඩම්මවා පෙරහැරක් කළ බව හා පසුව අනුප්‍රාප්තික රජවරුන්ට එසේ කිරීමට කළ නියෝගය පිළිබදවත් මහාවංශයේ සදහන් වේ. අනුරාධපුරයේ දළදා වහන්සේ සම්බන්ධ පුවත් වැඩිමනක් මහාවංශයට ඇතුළත් නොකළේ දළදා වහන්සේ අභයගිරියට සමිබන්ධව පැවතීම නිසා විය හැකිය, මහාවංශය රචිත මහානාම හිිමියන් මෙය හිතාමතාම යටපත් කළේද යන්න සැක සහිත වූවකි. නමුත් දළදාවහන්සේ ලක්දිවට වැඩමවීම, උත්කර්ෂවත් ලෙසින් එය පිලිගැනීම හා ධාතුසේන56 හා පළමුවන අග්බෝ 57 තවත් රජවරු කිහිප දෙනෙකු දළදා වහන්සේ පිදු අයුරු මහාවංශයේ සදහන් වීමෙන් මහාවංශ කතුවරයා මහාවිහාරයට පක්ෂග්‍රාහී වූබවක් පෙනෙන්නට නැති බව සමහර විද්වතුන්ගේ අදහසයි.

පොළොන්නරු යුගය[සංස්කරණය]

එකොලොස්වැනි සියවස වූ කලී ලක්දිව රාජ්‍ය ඉතිහාසයෙහි ඉතා වැදගත් කාල පරච්ිඡේදයක් විය. එනම් සොලී ආක්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට මාරුවූවේද එකොළොස්වන සියවසේදීය, රාජධානි සමිබන්ධයෙන් සිදු වූ මෙම වෙනස්කමත් සමගම ආගමික විශ්වාස සමිබන්ධයෙන්ද වෙනස්කමක් ඇති විය, ඒ වන විට ලක්දිව තිබූ පූජනීය වස්තූන් යුගලයෙන් එකක් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරපුර රාජධානියේම වැඩ සිටීමට සලස්වා දළදා වහන්සේගේ අයිතිය තමන් වෙත පවරාගෙන එය රාජධානි වෙනස්වන විට ඒ ඒ රාජධානි වෙත වැඩම කරවීමට කටයුතු කළහ, එසේ කරන ලද්දේ දළදා වහන්සේ පාලකයන් විසින් රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් සලකාගෙනය, අනුරාධපුර යුගයේ අවසාන කාලයේ එනම් හතරවන උදය ( ක්‍රි,ව. 946 -954 ) රජුගේ කාලයේදී ඇති වූ චෝළ ආක්‍රමණය නිසා දළදා වහන්සේ අනුරාධපුරයෙන් පිටතට වඩමවා ඇති අතර හතර වන මිහිදු රජුගේ ( ක්‍රි,ව. 956 -972 ) කාලයේම නැවත දළදා වහන්සේ ආපසු අනුරාධපුරයට වැඩම වූ බව සදහන් වේ, එහෙත් මෙබන්දක් මහාවංශය තුළ සදහන් නොවේ, කෙසේ වෙතත් ක්‍රි,ව 1017 -1070 දක්වා පොළොන්නරුවෙි පැවති චෝල පාලන සමය තුළ දළදා වහන්සේ පිළිබද තොරතුරු ප්‍රධාන වංශකතාවල සදහන් නොවේ, නමුත් අස්ගිරි තල්පත අධ්‍යනය කළ මැන්දිස් රෝහණධීරයන් පවසන්නේ එකල චෝල බලපෑම නිසා බුරුමයට ගොස් සිටි සිංහල භික්ෂූන් වහන්සේලා දළදා වහන්සේ ආරක්ෂා කළ බවයි. 58 පස්වන මිහිදු රජු සොලීන්ගේ සිරකරුවකු බවට පත් වීමේ සිට 1වන විජයබාහු රජතුමා රජවන කාලය අතර තුර රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් භික්ෂූන් ද සසුනද පිරිහුන හෙයින් විජයබාහු රජුට නැවත ශාසන ප්‍රතිෂ්ඨාපනයක් කිරීමට සිදුවූ බව පැහැදිලිය. චෝල පාලනයේ ලද ගැහැට නිසාම ඇතැම් භික්ෂූන් දළදා වහන්සේ රැගෙන රාමඤ්ඤ දේශයට ගොස් රැකවරණය ලබන්නට ඇතැයි ඇතැමුන් ගේ මතයයි. දීඅරමණයෙන් සිල්වත් ස්ථවිරයන් විසිදෙනෙක් ගෙන්වා ආගමයද ගෙන්වා මහලුුකම් කරවා දහස් ගණනින් භික්ෂූන් ඇති කරවා...59 ලෙස පූජාවලියේ දැක්වෙන ආකාරයට ගැහැට කාලයේ රැගෙන ගොස් රාමඤ්ඤයේ රැකවරණය ලද දළදාව ඒ සමග වඩම්මවා ඇති බව උගත්තු විස්වාස කරති. "ලංකාව එක්සේසත් කිරීමෙන් පසු රජුගේ වගකීම වූයේ චෝල ආක්‍රමණ වලට පෙර රටේ පැවති සමෘද්ධිමත් තත්වය විධිමත් කිරිමය. මෙය ආර්ථික ,ආගමික හා සාමාජ්ක හැම අංශයකින්ම ඉටු කළ යුත්තක් විය. එයින් ආගමික කටයුතු කෙරෙහි සිත් යොමු කළ රජතුමා බුරුම රට අනුරුද්ධ රජුගේ සහාය ඇතිව එරටින් භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගෙන උපසම්පදා කර්ම සිදුකරවීය."60 "හෙතෙම මහානඝර්වූ මනරම් දළදා මැදුරක් කරවා දළදා වහන්සේට සතතයෙන් මහ පුද කරවී"61 යනුවෙන් මහාවංශයේ දැක්වෙන දීර්ඝ විස්තරයට අනුව රජු පොළොන්නරු දළදා මාලිගයක් සදහා දළදාව එයට වඩම්වා ඇත. මහා විජයබාහු රජු තමන්ගේ ආරඬාවට සිටි දක්ෂ විදේශීය කුලී හමුදාවක් වු වේලයික්කාර භටයින් ද දළදා මාළිගාවේ ආරක්ෂාවට යොදවා ඇත. මේ ස්ථානයේ කරවා ඇති වේළයික්කාර සෙල්ලිපියෙන් ද දළදා වහන්සේ පිළිබඳ බොහෝ තොරතුරු හෙළිවේ. දළදා වහන්සේ විදෙස් හමුදාවකට භාරදීමෙන් රජු බලාපොරොත්තු වන්නට ඇත්තේ එහි ආරඬාව විය යුතුය.

මහා විජයබාහු රජුගෙන් පසුව රටේ ඇතිවන ව්‍යාකූල තත්වය නිසා නැවතත් රට අරාජික වන බවක් පෙනෙයි. "ඒ සියල්ලෝම පූර්ව චාරිත්‍ර මාර්ගය ඉක්මවා මාණාභරණ නම් කුමරුහු උප රජ බැවුහි පිහිටවූහ"62 මහලු විජයබාහු රජතුමාගෙන් පසුව පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ සමට දක්වා වූ අඩසියවසක් පමණ කාලය තුළ රටට සසුනට හා ජනතාවට කෙතරම් අහිතකර දුර්වල පාලනයක් පැවැත්තේ දැයි කියතොත් එය වංශ කතා කරුවෝ ගම්මුදලියන්ගේ පාලනයකට සමකොට පෙන්වති. එකී දුර්වලත්වය මග හරවා රට යළිත් සමෘද්ධිමත් කිරීමට සමර්ථ වූයේ මහාපරාක්‍රමබාහු (ක්‍රි.ව 1153-1156) රජ ය." 63 සියලු බාධක මැඩ රජු අභිෂේක ලැබූවද දළදා වහන්සේගේ අයිතිය රජු සතු නොවිනි. මහවිජයබාහු ගෙන් පසුව රටේ ඇති වූ ව්‍යාකූලතාවය හේතු කොට ගෙන පසු ඒ ඒ තැන්වල වාසය කලෝය.64 යන්නෙන් වංශකතා විස්තරයේ දැක්වෙන්නේ එම සිදුවීම බව පැහැදිලිය. තවදුරටත් වංශකතා විස්තරය දක්වන ආකාරයට පොලොන්නරු රාජධානිය පිහිටුවා ටික කලක් ගතවන තුරුම මහාපරාක්‍රමබාහු රජතුමා දළදාව හා පාත්‍ර ධාතුව පිලිබද අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වූයේ එවකට මෙම ධාතූන් වහන්සේ ලා යුග්මය යුද්ධයෙන් රුහුණට පලාගිය මානාභරණට ද පසුව මව සුගලාට ද හිමිව තිබූ බැවිනි. මහාපරාක්‍රමබාහු රජතුමා රක්ඛ සෙන්පතියාගේ නායකත්වයෙන් යුත් සේනාවක් රුහුණට පිටත් කර යවා සුගලා දේවිය බලවත් සටන් කිහිපයක් පරාජයට පත්කොට එම ධාතූන් යුගලය මඤ්ජු අධිකාරී විසින් අඤ්ජත කම්මනාථගේ භාරයේ සුරක්ෂිතව පොළොන්නරු රාජධානියට වඩමවාගෙන ඇත. රජතුමා මහත් ප්‍රීතියට පැමිණ ආරක්ෂාවද සහිතව නගර මධ්‍යයෙහි පිහිටි ධාතා ධාතුඝරය සුධර්මා දිව්‍ය සභාව මෙන් සෝභන ලෙස සරසවා එහි සුවද පුරවා දළදා වහන්සේ ස්වර්ණමය මා හැගි කරඩුවෙක බහා එහි තැන්පත් කරවා ඇත. ඉන් පසුව උත්කර්සවත් ලෙස දළදා පෙරහැර පවත්වා ඇත 65 පූජාවලියට අනුව මහරජහු දළදා පූජාවක්66 කළ බවක් පමණක් දක්වා ඇති මුත් රජු විසින් කළ දළදා බුහුමන පිලිබද දීර්ඝ විස්තර මහාවංශයේ දැක්වෙ, ඒ අනුව අනුරාධපුර යුගයෙන් පසුව ඉතාම උත්කර්ෂවත් අයුරින් පෙරහැරක් පැවැත් වූ බවට සාධක ලැඛෙනුයේ පොළොන්නරු යුගයේ මෙම රජු දවසය, පොලොන්නරු යුගයේ පැවති මෙම පෙරහැරේ විශේෂත්වය වන්නේ ඇතැමි අය නාට්‍ය, ගීතාදියෙන් පුද පූජා කරමින් ධජ පතාකාදිය රැගෙන යාමයි. නාටක ස්ත්‍රීන් වෙන් වෙන් කොට සිටුවා එවුන්ගේ නැටුමි ගීයෙන් වැයුමෙන් ද පුදන්නේ නන් කුසුමෙන් දුමින් නන් වැදෑරුම් ගඳින් සියලු නුවර සුවඳ කවමින් බොහෝ ජනයන් පිනවමින් නොයෙක් පහන් දසුන්ගේ අලුයෙන් හාත්පස සියලු දිගුන් හා එසේම විද්‍යාවන් එකලු කොට ඡත්‍රචාමර පන්තීන්ද විචිත්‍ර ඔිවජ පන්තීන්ද නානා වර්ග පනාකාවෙන්ද..."67 ඉහත ආකාරයට පෙරහැර අලංකාරකරමින් ගමන් කිරීම තුළ හෙලිවන කරුණු කාරණා බොහොමයකි, විවිධ ප්‍රදේශ වල අයිති කොඩි පතාක රැගෙන යාමෙන් හා නෘත්‍ය ගීතාදියෙන් පිළිබිඹුවන්ගේ විවිධ සංස්ථාවන්ගේ හා රජුට යටත් ප්‍රදේශයන්ගෙන් ලැබුන දායකත්වය බව පැහැදිලිය. පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල (1187-1196) ද දළදාවට පූජෝපහාර දක්වා ඇත. "රම්‍ය වූ ශෛලමය දන්තධාතු මන්දිරයක් කරවූවේය.68 ලෙස මහාවංශයේත් දීදළදා මාලිගාවෙහි ශෛලමය දළදාගෙය සැටපැයකින් කරවා69 ලෙස පූජාවලියේත් මෙම කරුණු සදහන් වේ. තම දරුවන් දෙදෙනා වූ වීරබාහු හා සර්වාංග සුන්දරී දළදා පාදාවනය පූජාකොට අනතුරුව ස්වර්ණමය දාගැබක් ඔවුන් වෙනුවෙන් ඉදිකරවා දළදා පාදා සන්තකයෙන් ඔවුන් නිදහස් කරගත් බව ඔහුගේ සෙල්ලිපිවල සදහන් වේ.70 එපමණකින් නොනැවතුන රජු ශෛලමය මල්කම් ලියකම් කරවා දර්ශනීය ලෙස ඉදිකරවූ නිශ්ශංක ලතා මණ්ඩපයට දළදා වහන්සේ වැඩම කරවා අති උත්කර්ෂවත් දළදා ප්‍රදර්ශනයක් ද පවත්වා ඇත. "තවද පණ්ඩිත විජයබාහු නිශ්ශංක කල්‍යාණි මාසරාජ,ධ්රමාශෝක ඇණියංග ලීලාවතී යන සිරිලක රජවරු තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ට පූජෘ සත්කාර පැවැත්වූහ."71

දඹදෙණි යුගය[සංස්කරණය]

"කාලිංග වංශයෙහි උපන් මාඝ නම් වූ එක් අධාර්මික මහී පාලකයෙක් තෙම සූවිසි දහසක් යෝධයන්ට අධික වූයේ කළිඟු රටින් බලය ලංකාද්වීපය ගත්තේය.72" ලෙසින් මහාවංශයේ දක්වන ආකාරයට සොලී අධිරාජයෙක් වූ මාඝ ලක්දිව ආක්‍රමණය කොට මහාවිනාශයක් කරන ලද්දේ දහතුන්වන සියවසේදීය. රුවන්වැලිය ආදී මහසෑ හා අනෙකුත් සෑයන් බිඳ දමමින් විහාරාරාම සිය සේනාවන්ගේ වාස භූමි බවට පත් කරමින් මාඝ කළ ශාසනික විනාශය හමුවේ උත්තර මූල වාචිිස්සර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා දළදා වහන්සේ ආරක්ෂා පතා කොත්මලය වෙත රැගෙන ගිය බව මහාවංශයේ හා පූජාවලියේ මෙන්ම බොහෝ මූලාශ්‍ර වල සදහන් වේ. "...පොළොන්නරුවෙන් ශාතෘහුගේ පාත්‍රා ධාතුව හා දන්ත ධාතුව ගෙන වාගීශ්වරාදී සියලු මහා ස්ථවරයෝ නික්ම මායා රටට අවුත් එහි කොත්මලය නම් පව්ිවෙහි එක් පියසෙක්හි නිර්භය වූ ස්ථානයෙක් හි සාදර වූවෝ ඒ ධාතු යුග්මය භූමි ගත කොට නිධාන කළෝ....73" පසුව තුන්වන විජයබාහු රජතුමා (ක්‍රි.ව1232-1236) සිංහලයන් සමගි කොට දඹදෙණිය රාජධානිය කොට රජවූ පසුව දළදාව සතුරන් අතට පත් නොවන බව අසා ඒවන විට පරතෙර සිටි වාචිිස්සර හිමි යලි මෙරටට ගෙන්වාගෙන මහාසංඝයා හා පරිවාර ජනයා පිරිවරා මහ පෙරහැරින් කොත්මලයට ගොස් දළදා හා පාත්‍ර ධාතූන් ගෙන ගමක් පාසා පූජා පවත්වමින් දඹදෙණියට වැඩමවා ඇත.74 ... අහසින් දෙවියන් විනා පොළොවෙහි පසමිතුරු මිනිසුන් විසින් යනු නොහැකි වේද එපරිද්දෙන්...75 ඛෙලිගල දළදා මාලිගාවක් කරවා එහි තැන්පත් කරවා ඇත. තුන්වන විජයබාහු රජුගෙන් පසුව රජවූ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු (ක්‍රි,ව. 1236-1270) ... ඒ ධාතූන්වහන්සේලා බිල්ල නම් පර්වතයෙන් ජමිබුදෝණී නම් පුරවරයට වැඩම වූයේය 76 යන්නෙන් මහාවංශය දක්වා ඇති පරිදි ඛෙලිගල වැඩසිටි දළදා වහන්සේ දඹදෙණියට වඩමවා තම රාජමාලිගාව අසලම දළදා මාලිගයක් සාදවා එහි තැන්පත් කොට ඇත, 77රජු සතුරා සමග යුද්ධයට යාමට පෙර දළදා වහන්සේ මුල්කරගෙන කළ සත්‍යක්‍රියාවක් ද අනතුරුව දළදා වහන්සේ පෑ ප්‍රාතිහාර්යයක්ද පිළීබද දීර්ඝ විස්තරයක් ලෙස මෙහි දක්වා ඇත.78 පොළොන්නරු සමයෙන් පසුව නැවත මනරම් දළදා පෙරහැරක් පවත්වා ඇත්තේ මොහුය. එම පෙරහැර පිළිබදව බොහෝ විස්තරත් එහි ගමන් මාර්ගය පිළිබදවත් බොහෝ තොරතුරු වංසකතාවල එයි. දළදා මාලිගාවේි සිට තම රාජධානියේ වැදගත් ස්ථානයක් කරා දළදා වහන්සේ මහ පෙරහැරකින් වැඩමවීම එකල පැවති සිරිත බව පෙනේ. දඹදෙණිය පටන් ශ්‍රි වර්ධන නුවර තෙක් පළලින් අඩයොදුනක් හා ඉස්බක් පමණ වූ පෙරහැර ගමන් මග ඛෙර ඇසක් සේ සමතලා කොට සුදුවැලි අතුරා ධජ පතාකයෙන් අලංකාර කරන ලදී . මග දෙපස මාරුක් ,තැඹිලි ,බෝදිලි නවසි ,තල් ,කිතුල් කදලි ගස් සිටුවා ඇත. මලින් පිරි පුන් කලස් දෙපස සකස් කොට තිබුණි, පස්රියන් තුළ රජ තොරණක් ද දසරියනක් තුළ පට තොරණක්ද බැගින් නිමවා දහස් තැනක ප්‍රතිමාවන්ගෙන් සැදුම් ලත් තෙමහල් ප්‍රසාද තැනක බුද්ධ ප්‍රතිමාවන්ගෙන් සැදුම්ි ලත් තෙමහල් ප්‍රාසාද ඉදිකරවා ඇත, දළදා හා පාත්‍රා ධාතූන් වහන්සේ විසිතුරු රථයක වඩා හිදුවා වැඩම කරවූ අතර පුන්කලස්, සෙමෙර, රන් කරඩු රැගෙන විවිධ අවබෝධකාරයෝ මේ පෙරහැරේ ගමන් කොට ඇත, පසුව නෘත්‍ය ගීත වාදකයන් පිරිවරාගත් රජතුමා පෙරහැරේ එක්ව ගමන් කර ඇත, පෙරහැරට ඇතුල් වූ ඇතුන්ගේ හා අශ්වයන්ගේ ඝෝෂාවද, නැට්ිටුවන්ගේ හා ගී ගයමින් ගිය ස්ත්‍රීන්ගේ ද නොයෙක් තූර්ය භාණ්ඩයන්ගේද නාදයෙන් ගිගුම්දී ඇත, පෙරහැර සිරිවර්ධනපුරයට ලගා වූ කල්හී ධාතුන්වහන්සේලා මාණික්‍ය මණ්ඩපයක වඩා හිදුවා මහජනයාට ප්‍රදර්ශනය කරමින් තුන් මසක් මේ පූජෝත්සවය පවත්වා ඇත, 79

යාපහුව හා කුරුණෑගල යුගයන්[සංස්කරණය]

මෙතෙක් දළදා වහන්සේ වැඩසිටි සෑම රාජ්‍යයකම වාගේ දළදා පෙරහැරක් පැවැත්වූ බවට සාධක දක්නට ලැබුනද වංසකථා විස්තරයන් ට අනුව යාපහුව රාජධානියේ දළදාව වැඩසිටිය ද චාරිත්‍රානුකූලව වත්පිළිවෙත් කොට පෙරහැරක් පැවැත්වූ බවට සාධක ඒවායේ සටහන් නොවේ, මෙම යුගයේ දළදාව සමිබන්ධව සිදුවූ වැදගත් සිදුවීමක් වන්නේ පඩිරට කුලසේකර රජුගේ අමාත්‍යවරයකු වූ ආර්ය චක්‍රවර්තී නම් තැනැත්තා ලක්දිවට පැමිණ දළදා වහන්සේ රැගෙන ගොස් කුලසේකර රජුට ලබා දීමයි. එහෙත් තුන්වන පරාක්‍රමබාහු (ක්‍රි,ව 1302-1310) රජතුමා කුලසේකර රජු හමුවට ගොස් සාමකාමී ලෙස යලි දළදා වහන්සේ ලබා ගෙනවිත් පුලස්තිපුරයේ වැඩහිදුවා පුද පූජා පවත්වා ඇත.80 කුරුණෑගල රාජධානි සමයේදී දළදා පෙරහැරක් පැවැත් වූ බවට විස්තර වංශකතාවල සදහන් වන අතරම හතර වන පණ්ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.ව 1302-1326) විසින් රචිත දළදා සිරිත නම් ග්‍රන්ථයේ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබේ. දළදා පූජා කටයුතු මෙන්ම සෙසු චාරිත්‍ර වාරිත්‍රාදිය පිලිබදවත් බොහෝ කරුණු මෙහි සදහන් වේ. මූලාශ්‍රයන්ට අනුව පෙරහැරට සතියකට පෙර සිටම දළදා මාලිගය වියන් බැද නොයෙක් පටපිළියෙන් සරසා රජතුමාද ඇමතිවරු හා අන්තඃපුර කාන්තාවෝද නුවර වැසියෝ ද ආහාර හා මල් පහන් පූජා කරති, සත් වන දවසේ උදය පූජාවෙන් පසු නගරයම මැනවින් සරසනු ලැබීය. පසුව උතුරු මූල මහතෙරුන් වහන්සේ ගණ වැඩිකිලිං දෙකුලයෙන් තෝරාගත් සුදුසු දෙදෙනෙක් ගමන් කළහ. මංගල හස්තියෙක් රථය ඇදගෙන ගියේය. මහා සංඝයා වහන්සේ පිරිත් කියමින් රථය පිටුපස වැඩම කල අතර පිරිත් හුය දළදා රථයට සම්බන්ධ කොට තිබිණි, දොරනා වැසි කුලයේ කෙනෙක් රිදී කටාරමෙන් පිරිත් පැන් ගෙන නගරයේ නොයෙකුත් තැන ඉසිනු ලැබීය, චාමර හා සේසත් දරන්නෝ දළදා රථය දෙපස ගමන් කළහ, දළදා මාලිගාවේ දුරය හා විජ්ජතුන් සේවය කරමින් ගමන් කළහ, අනතුරුව සේනාව සමග ඇමතිවරු පෙරහැරට එක්වූහ පෙරහැර දළදා මැදුරට ගෙවදුන පසුව රජතුමා උතුරු මූල මහතෙරුන් වහන්සේ ගණ වැසිකිලිං දෙකුලයේ දෙදෙනා හා දළදා ගේ බලන්නෝ යන මොවුහු දළදා කරඩුව විවෘත කර දළදා වහන්සේ රජු අතට වඩම්මවා ප්‍රදර්ශනය කුටියේ තැන්පත් කොට මහජනයාට ප්‍රදර්ශනය කළහ. ඉන් පසුව දළදා වහනසේ දළදා මැදුරට වැඩමවා රජු ඉදිරියේම තැන්පත් කොට මුදු තැබූහ. මෙසේ වාර්ෂිකව දළදා පෙරහැර හා ප්‍රදර්ශන පැවැත්වූ රජතුමා වැසි නොවස්නා කල්හි වැසි පතා දළදා ප්‍රදර්ශනය කළ යුතු යැයි ව්‍යවස්ථාවක් ද පැනවීය. ඉහත විස්තරයට අනුව කුරුණෑගල සමය පැවති දළදා පෙරහැර සම්ිබන්ධ විශේෂ කරුණු ගණනාවක් හමුවේ. ප්‍රථමයෙන්ම නීතිමාලාවක් හා අනුපිළිවෙලක් යටතේ පෙරහැර කරුණු ගණනාවක් හමුවේ ක්‍රමවත්ව සංවිධානය කිරීමට උත්සහ දැරූබවක් පෙනේ. දළදා පෙරහැර පැවැත්වෙන ආකාරයට එහිදී පිලිපැදිය යුතු නීති රීති මෙන්ම දළදා වහන්සේගේ භාරකරත්වය පිලිබදවත් පෙරහැරේ ගමන් ගන්නා පුද්ගලයන් පිළිබදවත් තොරතුරු රැසක් මෙමගින් අනාවරණය කර ගතහැක,

ගම්පොල කෝට්ටේ හා යුගයන්[සංස්කරණය]

කුරුණෑගල යුගයෙන් පසුව එළඹෙන ගම්පොල හෝ කෝට්ටේ යුගයේ දළදා පෙරහැරක් හෝ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බවට ගිනිය හැකි සාධක නොමැත. එමකාලය තුළ රටේ පැවති අභ්‍යන්තරික හා බාහිර ව්‍යාකූලතාවයන් එයට බලපාන්නට ඇතැයි සිතිය හැක. කෝට්ටේ සමයේ පැවති දළදා පෙරහැරක් පිළිබද සාධක නොලැබුණද දළදා වහන්සේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රව තිබූ බවට පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය තොරතුරු බොහෝ සෙයින් සොයාගත හැකිය. දළදා වහන්සේ වෙනුවෙන් ඉදිකළ විිසිතුරු මාලිගා සහ විවිධ සංදේශ කාව්‍ය වලදී දළදාව වන්දනා කොට යන ලෙස සදහන්ව තිබුණ ද පැවති දළදා පෙරහැරක් පිළිබද ව තොරතුරු හමු නොවේ. දළදා පෙරහැර සම්බන්ධව තොරතුරු සාකචිඡා කිරීමේිදී හෙලිවන ප්‍රධාන ලක්ෂණයක් වූයේ ලාංකික සමාජයේ රාජ්‍යත්වයේ සංකේතය ලෙස දළදා වහන්සේ පැවති බවයි. විශේෂයෙන්ම රාජ්‍ය පාලනය කරන රජු සතුව දළදා වහන්සේ තිබිය යුතු අතර ඔහු අනිවාර්යයෙන් බෞද්ධයකු ද විය යුතුය. ඔහු විසින් දළදා වහන්සේට දෛනික හා වාර්ෂිකව ඉටුකරනු ලබන වත් පිලිවෙත් නිසි ලෙස ඉටු කළ යුතුව තිබිණිමෙම අවශ්‍යතාවන් සම්පූර්ණ නොවුන කල්හි දළදා වහන්සේ ආරක්ෂිත තැනක් කරා වැඩම කරවීම එකල දළදාව සිටියවුන් විසින් කල බව පෙනෙයි. දොන් ජුවන් ධර්මපාල රජු යටතේ කෝට්ටේ රාජ්‍ය බලය පෘතුග්‍රීසීන්ට නතුවන විට එවකට දළදාව භාරව සිටි හිරිපිටියේ රාළ විසින් දළදා වහන්සේ කෝට්ිටෙන් හොර රහසේ සීතාවකට වඩමවා මායාදුන්නේ රජුට භාර කිරීමත් 1වන රාජසිංහ රජු ශිවාගම වැළදගෙන බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් ගෙන යන විට එකල කන්ද උඩරට රජවූ පළමුවන විමලධර්ම සූරිය රජුගේ භාරයට පත් කිරීමත් මෙහිදී නිදසුන් කොට ගත හැකිය.

මහනවුර යුගයේ දළදා වහන්සේගේ ඓතිහාසිකත්වය[සංස්කරණය]

පළමු වැනි විමලධර්ම සූරිය රජු දෙවනගල රතනාලංකාර හිමියන්ගේ අනුශාසනා පරිදි දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවර රාජධානිය වෙත වැඩමවා ඇත.81 දළදාව මහනුවර වැඩම වන තුරු පෘතුග්‍රීසින්ගෙන් ආරක්ෂාකර ගැනීම සදහා දෙල්ගමු විහාරයේ කුරහන් ගලක වසර හතළිස් තුනක් සඟවා තිබූ බව කියවේ. දෙල්ගමුවිහාරයේ සිට මහනුවරට වැඩම කරවනු ලැබූ දළදාවහන්සේ වෙනුවෙන් දළදා මැදුරක් සාදන තුරු දළදාව තාවකාලික වශයෙන් මහනුවර අස්ගිරි යේ ගෙඩිගේ විහාරයේ හෙවත් ආදාහන මළු විහාරයේ වඩාහිදුවා ඇත. දළදා වහන්සේට තාවකාලිකව නවාතැන් සැපයූ බැවින් මෙම ස්ථානය වර්තමානයේද "දළදා ගමන් මාලිගාව" ලෙස හදුන්වයි. එම ඓතිහාසිකමය සිදුවීම සිහි කරමින් අදද දළදා පෙරහැර අවසන් දින රන්දෝලි පෙරහැර නිමාවීමෙන් පසුව දළදා කරඩුව මෙම දළදා ගමන් මාලිගාවේ රාත්‍රියක් තැන්පත් කර තබයි. සෙනරත් (ක්‍රි.ව.1604-1635) රජු පළමුවන විමලධර්ම සූරිය රජතුමා විසින් ඉදිකළ දෙමහල් දළදාමාලිගාව ඔහු විසින් පසුකලෙක තෙමහල් කොට ඉදිකළ බව මූලාශ්‍රවල දැක් වුවද එය විනාශ වී ඇත. සෙනරත් රජු කාලයේ දී පමණ සිදුවූ පෘතුග්‍රිසි ආක්‍රමණ නිසා මැද මහනුවර අලුත් දළදා මැදුරක් ඉදිකර දළදාව එහි තැන්පත් කර ඇත. ඔහුගෙන් පසුව රජවූ දෙවන රාජසිංහ රජතුමා ද නව දෙමහල් පහයක් ඉදිකොට දළදා වහන්සේ මහනුවරට වඩම්මවා ඇත. මහාවංශයේ සදහන් වන ආකරයට දෙවන විමලධර්ම සූරිය (ක්‍රි.ව,1687-1707) රජු තුන් මහල් දළදා මැදුරක් ඉදිකොට දළදාව එහි තැන්පත් කොට ඇත. 82 විවිධ හේතුනිසා එය ද විනාශ වී ගොස් ඇති අතර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව, 1707-1739) රජතුමා විසින් එය කඩා දෙමහල් ලෙස පහත් කර දළදා වහන්සේ එහි තැන්පත් කොට ඇත. නායක්කාර් වංශික ශ්‍රී විජය රාජසිංහ රජු දවස දළදාවේ හාස්කම් පිලිබදව තිඛෙන පුවත් මහාවංශයේ මෙන්ම ජනප්‍රවාද වලද පවතී. වර්තමානය වන විට මහනුවර දක්නට ඇත්තේ එම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසින් ඉදිකළ එම දෙමහල් දළදා මාලිගාවයි. ක්‍රි.ව 1765 දී වැන්රීන් ප්‍රධාන ලන්දේසීන් විසින් මෙම දළදා මැදුරටත් ගිනි තබා ඇත, එසේ වුවත් කීර්ති ශ්‍රි රාජසිංහ රජු එය පිලිසකර කරවා නැවත ක්‍රි,ව 1770 වෙසක් පොහෝදින නැවත විවෘත කොට ඇත.


ලක්දිව බි්‍රතාන්‍යයන්ට යටත් වීමට පෙර අවසන් වරට මහජන ගෞරවය හා පුද පූජා සදහා දළදා වහන්සේ ප්‍රදර්ශනය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව, 1747-1782) රජු දවස බව පැහැදිළිය. 1815 පෙබරවාරි මස 18 වෙනි දින මැද මහනුවර උඩුපිටිය ආරචිචිලාගේ නිවසේදී ඉංග්‍රිසි විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව,1798 -1815) අත් අඩංගුවට ගැනීමත් සමග මෙතෙක්් අවිචිඡින්නව පැවත ආ සිංහල රාජවංශය නිමා විය. එය දළදා වහන්සේ හා එතෙක් බැදී තිබුණ සංස්කෘතියේ නව වෙනස්කම් රැසකට හේතු වූ බව පැහැදිලිය.

සබැදි පිටු[සංස්කරණය]

පාදක සටහන්[සංස්කරණය]

  1. ජිනකාලමාලී, (සංස්). ඒ.පී බුද්ධ දත්ත හිමි. (කොළඹ: මවුන්ට් යන්ත්‍රාලය, 1956) 137 පිටු
  2. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ 2008) 48 පිටු
  3. සිංහල දීඝනිකාය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (කොළඹ: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2004) 440 පිටු
  4. ධාතුවංශය, (සංස්). මකුළුදූවේ පියරතන. (කොළඹ: ඇම් පී ගුණරත්න, 1941) 15 පිටු
  5. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,2008) 65 පිටු
  6. ශ්‍රී බුද්ධ වංශ පාලි, (සංස්). සී.ඒ .ශ්‍රී සීලක්කන්ධාභිධාන. (කොළඹ: ඇන්.ජේ කුරේ සහ පුත්‍රයෝ 1912) 264 පිටු
  7. දාඨාවංශය, (සංස්). රන්ජිත් වනරත්න. (කොළඹ: සමයවර්ධන පොත්හල, 2000) 118 ගාථා
  8. සිංහල දීඝනිකාය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (කොළඹ: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2004) 258-259 පිටු
  9. ධාතුවංශය, (සංස්). මකුළුදූවේ පියරතන. (කොළඹ: ඇම් පී ගුණරත්න, 1941)
  10. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න . (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ , 2008) 48 පිටු
  11. ශ්‍රී බුද්ධ වංශ පාලී, (සංස්). සී.ඒ .ශ්‍රී සීලක්කන්ධාභිධාන. (කොළඹ: ඇන්.ජෝර් කුරේ සහ පුත්‍රයෝ, 1912) 264 පිටු
  12. දළදා පුජා වලිය, (සංස්). වී.ඩී.එස් ගුණවර්ධන. (කොළඹ:ගුණසේන හා සමාගම, 1912) 19 පිටු
  13. ජිනකාලමාලී, (සංස්). ඒ.පී බුද්ධ දත්ත හිමි. (කොළඹ: මවුන්ට් යන්ත්‍රාලය, 1956) 160 පිටු
  14. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ ,2008) 48 පිටු
  15. දළදා පුජා වලිය, (සංස්). වී.ඩී.එස් ගුණවර්ධන. (කොළඹ: ගුණසේන හා සමාගම, 1912) 19 පිටු
  16. දළදා පුජා වලිය, (සංස්). වී.ඩී.එස් ගුණවර්ධන. (කොළඹ: ගුණසේන හා සමාගම, 1912) 20 පිටු
  17. පන්සිය පනස් ජාතක පොත, (සංස්). වතුවත්තේ පේමානන්ද ස්ථවිර. (කොළඹ:රත්නාකර පොත් වෙළෙද සමාගම, 1912) 886 පීටූ
  18. ධර්මප්‍රදීපිකා, (සංස්). බද්දේගම විමලවංශ. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ. 1967) 291 පිටු
  19. ජිනකාලමාලී, (සංස්). ඒ.පී බුද්ධ දත්ත හිමි. (කොළඹ: මවුන්ට් යන්ත්‍රාලය, 1956) 161 පිටු
  20. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2008) 51 පිටු
  21. එම
  22. ජිනකාලමාලී, (සංස්). ඒ.පී බුද්ධ දත්ත හිමි. (කොළඹ: මවුන්ට් යන්ත්‍රාලය, 1956) 161 පිටු
  23. දළදා පුජා වලිය, (සංස්). වී.ඩී.එස් ගුණවර්ධන. (කොළඹ: ගුණසේන හා සමාගම,1912) 21-24 පීටූ
  24. එම - 49-52 පිටු
  25. ජිනකාලමාලී, (සංස්). ඒ.පී බුද්ධ දත්ත හිමි. (කොළඹ: මවුන්ට් යන්ත්‍රාලය, 1956) 161 පිටු
  26. දාඨාවංශය, (සංස්). රන්ජිත් වනරත්න. (කොළඹ: සමයවර්ධන පොත්හල, 2000) 199-200 ගාථා
  27. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,2008) 53 පිටු
  28. එම - 27 පිටු
  29. ජිනකාලමාලී, (සංස්). ඒ.පී බුද්ධ දත්ත හිමි. (කොළඹ: මවුන්ට් යන්ත්‍රාලය, 1956) 161 පිටු
  30. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,2008)54-55 පිටු
  31. දළදා පුජා වලිය, (සංස්). වී.ඩී.එස් ගුණවර්ධන. (කොළඹ: ගුණසේන හා සමාගම, 1912) 35 පීටූ
  32. එම - 58 පිටු
  33. දාඨාවංශය, (සංස්). රන්ජිත් වනරත්න. (කොළඹ: සමයවර්ධන පොත්හල, 2000) 298-299 ගාථා
  34. ජිනකාලමාලී, (සංස්).ඒ.පී බුද්ධ දත්ත හිමි. (කොළඹ: මවුන්ට් යන්ත්‍රාලය, 1956) 162 පිටු
  35. දළදා පුජා වලිය, (සංස්). වී.ඩී.එස් ගුණවර්ධන. (කොළඹ: ගුණසේන හා සමාගම, 1912) 43 පීටූ
  36. දාඨාවංශය, (සංස්). රන්ජිත් වනරත්න. (කොළඹ: සමයවර්ධන පොත්හල, 2000) 301 ගාථා
  37. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,2008) 60 පිටු
  38. පූජාවලිය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (කොළඹ: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2008) 728 පිටු
  39. දළදා ඉතිහාසය හා සංස්කෘතිය, කුඹුරුගමුවේ වජිර.ස්ථවිර.(දෙහිවල: තිසර ප්‍රකාශකයෝ, 2008) 94 පිටු.
  40. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2008) 61-63 පිටු.
  41. මහාවංශය, (සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන්තුඩාවේ දේවරඬිත පඬිතුමා. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1996) 20:16.
  42. මහාවංශය 2 භාගය, (සංස්). ශී්‍ර සුමංගල නාහිමි සහ බටුවන්තුඩාවේ දේවරඬිත පඬිතුමා. (කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1963) 37:92-98.
  43. දාඨාවංශය, (සංස්). රන්ජිත් වනරත්න. (කොළඹ: සමයවර්ධන පොත්හල, 2000) 339-352 ගාථා
  44. රාජාවලිය, (සංස්). ඒ.වී සුරවීර. (කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන, 1997) පිටු
  45. පූජාවලිය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (කොළඹ: බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානය, 2008) පිටු
  46. දාඨාවංශය, (සංස්). රන්ජිත් වනරත්න. (කොළඹ: සමයවර්ධන පොත්හල, 2000) 304 ගාථා
  47. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස් ගුණරත්න. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ , 2008) 64 පිටු
  48. දළදා ඉතිහාසය හා සංස්කෘතිය, කුඹුරුගමුවේ වජිර.ස්ථවිර.(දෙහිවල: තිසර ප්‍රකාශකයෝ, 2008) 97 පිටු
  49. එම - 98
  50. ලංකා විශ්ව වීද්‍යාලයේ ලංකා ඉතිහාසය, හේම් චන්ද්‍ර රායි .(දෙහිවල: විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, 2008) 362 පිටු
  51. එම -363
  52. මහාවංශය ප්‍රථම භාග, (සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන්තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1996) 37:1-12.
  53. මහාවංශය දෙවන භාග, (සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1963) 37:215
  54. බෞද්ධ රාජධානි පිලිබද තොරතුරු හා ෆාහියන් දේශාටන වාර්තාව , විමල් ජී බලගල්ලෙA. (දෙහිවල: සී/ස විසිදුනු ප්‍රකාශකයෝ, 1998) 96 පිටු
  55. දළදා ඉතිහාසය හා සංස්කෘතිය, කුඹුරුගමුවේ වජිර.ස්ථවිර.(දෙහිවල: තිසර ප්‍රකාශකයෝ, 2008) 100 පීටූ
  56. මහාවංශය දෙවන භාගය, (සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1963) 38:71-73
  57. එම -41:34
  58. අස්ගිරි තල්පත,(සංස්). (මැන්දිස් රෝහණ දීර. මහරගම: තරංජි ප්‍රින්ටර්ස්,1997) 3 පිටු
  59. පූජාවලිය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (කොළඹ: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2008) 789 පිටු
  60. දළදා ඉතිහාසය හා සංස්කෘතිය, කුඹුරුගමුවේ වජිර.ස්ථවිර.(දෙහිවල: තිසර ප්‍රකාශකයෝ, 2008) 111 පිටු
  61. මහාවංශය 2 භාග, (සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: රත්නාකර පොත් සමාගම , 1963) 60:4-8
  62. එම -60:56
  63. දළදා ඉතිහාසය හා සංස්කෘතිය, කුඹුරුගමුවේ වජිර.ස්ථවිර.(දෙහිවල: තිසර ප්‍රකාශකයෝ, 2008) 116 පීටූ
  64. මහාවංශය 2 භාග, (සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: රත්නාකර පොත් සමාගම , 1996) 61:61
  65. එම -199: 249
  66. පූජාවලිය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (කොළඹ: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2008) 784 පිටු
  67. මහාවංශය දෙවන භාග, (සංස්). ශ්‍රී සුමංගල නා හිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1996) 79:218
  68. මහාවංශය දෙවන භාග, (සංස්). ශ්‍රී සුමංගල නා හිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: රත්නාකර පොත් සමාගම, 1963)
  69. පූජාවලිය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (කොළඹ: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2008) 785 පිටු
  70. ලක්දිව සෙල්ලිපි, (සංස්). කොත්මලේ අමරවංශ හිමි. (කොළඹ:ඇම් ,ඩී ගුණරත්න ,1969) 393 පිටු
  71. දළදා පුජා වලිය, (සංස්). වී.ඩී.එස් ගුණවර්ධන. (කොළඹ: ගුණසේන හා සමාගම, 1912) 61 පීටූ
  72. මහාවංශය 2 භාග, (සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: රත්නාකර පොත් සමාගම, 1996) 80:58,59,294
  73. මහාවංශය 2 භාග, (සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: රත්නාකර පොත් සමාගම, 1996) 81:17-20
  74. පූජාවලිය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. (කොළඹ: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2008) 785 පිටු
  75. මහාවංශය 2 භාග, (සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත. (කොළඹ: රත්නාකර පොත් සමාගම, 1996) 81:17,20,297 පිටු
  76. එම - 82:33
  77. එම - 82:09
  78. එම- 82:17-45
  79. එම- 83:4-32
  80. එම- 90:52-56
  81. එම - 95:11-14
  82. එම - 97

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

ප්‍රාථමික මූලාශ්‍ර[සංස්කරණය]

  1. දාඨාවංශය, (සංස්). රන්ජිත් වනරත්න. කොළඹ: සමයවර්ධන පොත්හල .2000.
  2. ධර්මප්‍රදීපිකා ,(සංස්). බද්දේගම විමලවංශ .කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ. 1967.
  3. අස්ගිරි තල්පත, (සංස්). මැන්දිස් රෝහණ ධීර. මහරගම: තරංජි ප්‍රින්ටර්ස්.1997.
  1. ජිනකාලමාලි, (සංස්). ඒ.පී බුද්ධ දත්ත හිමි. කොළඹ: මවුන්ට් යන්ත්‍රාලය. 1956.
  2. දළදා පුජාවලිය, (සංස්). වී.ඩී.එස්. ගුණවර්ධන. කොළඹ: ගුණසේන හා සමාගම. 2008.
  3. දළදා පුවත, (සංස්). එම්.ඩබ්. විමල විජෙරත්න. කොළඹ: ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව. 1992.
  4. දළදා විත්තිය, (සංස්). පුඤ්චි බංඩාර සන්නස් ගල. කොළඹ: ලේක් හවුස්.
  5. දළදා සිරිත, (සංස්). වී.ඩී.එස්. ගුණවර්ධන. කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ. 2008
  6. ධාතුවංශය, (සංස්). මකුළුවේ පියරතන .කර්තෘ ප්‍රකාශන. 1941.
  7. පන්සිය පනස් ජාතක පොත, (සංස්). වතුවත්තේ පේමානන්ද ස්ථවිර. කොළඹ: රත්නාකර පොත් වෙළෙද සමාගම .1959.
  8. පූජාවලිය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. දෙහිවල: 2007.
  9. පූජාවලිය, (සංස්). ජේ. ඇම්. වීරසුන්දර මුදලි. කලූතර: ඇම්.ඇප්.පී. ගුණරත්න. 1923.
  10. මහාවංශය ප්‍රථම භාග,(සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන් තුඩාවේ දේව රක්ඛිත පඩිතුමා. කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.1996.
  11. මහාවංශය 2 (චූල වංශය) ,(සංස්). ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන්තුඩාවේ දේව රක්ඛිත පඩිතුමා. කොළඹ: රත්නාකර පොත් සමාගම.1963.
  12. රාජාවලිය, (සංස්). ඒ.වී. සුරවීර .කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන. 1997.
  13. ශ්‍රී බුද්ධ වංශ පාලි, (සංස්). සී.ඒ. ශ්‍රී සීලක්කන්ධාභිධාන. කොළඹ: ඇන්.ජෝර්. කුරේ සහ පුත්‍රයෝ. 1912.
  14. සිංහල බෝධිවංශය ,(සංස්). පුඤ්චි බංඩාර සන්නස්ගල. කොළඹ: ලේක් හවුස් මුද්‍රණය .1970.
  15. සිංහල දීඝනිකාය, (සංස්). බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය .කොළඹ: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය . 2004.

ද්විතීයක මූලාශ්‍ර[සංස්කරණය]

පරිවර්ථන[සංස්කරණය]

  1. ඩොයිලිගේ දිනපොත. (අනු). ධර්ම ශ්‍රී ගුණපාල. කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ. 1994.
  2. ඩේව් දුටු ලංකාව. (සංස්). තෙන්නකෝන් විමලානන්ද. කොළඹ: ඇම්.ඩී ගුණසේන සහ සමාගම.1967.
  3. බෝහියර් හදුනාගත් ලංකාව. (සංස්). අභය හේවාවරම්. කොළඹ: සූර්ිය ප්‍රකාශකයෝ. 2002.
  4. බෞද්ධ රාජධානි පිලිබද තොරතුරු හා ෆාහියන් දේශාටන වාර්තාව. (සංස්). විමල් ජී බලගල්ලේ. බොරලැස්ගමුව: විසිදුනු ප්‍රකාශකයෝ. 1999.
  5. මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය. (සංස්). ඇම්. බී. ආරියපාල. කොළඹ: ගුණසේන හා සමාගම. 1969
  6. මධ්‍යකාලීන සිංහල කලා. (සංස්). එච්.ඇම්. සෝමරත්න. කොළඹ: සංස්කෘතික දෙපාර්තමේන්තුව.1962
  7. දර්ශනයේ මූලධර්ම, (අනු). දැදිගම වී රුද්‍රිගු. මොස්කව්: ප්‍රගති ප්‍රකාශන මන්දිරය.1978.
  8. ලංකා විශ්වවිද්‍යාලයලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය 2 භාගය. කොළඹ:
  9. සංක්ෂිප්ත ලංකා ඉතිහාසය. (සංස්). එස්. සෙනවිරත්න. කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. 2005.
  10. සිංහල සමාජ සංවිධානය (මහනුවර යුගය). (අනු). කේ.ඒ.ඩී පෙරේරා. කොළඹ: සීමාසහිත සමාජ ප්‍රකාශකයො.1964

සිංහල ග්‍රන්ථ[සංස්කරණය]

  1. අත්තනායක, අනුලා. දහනව වන සියවසේ බ්‍රිතාන්‍යයන් දුටු ලංකාව. කොළඹ: රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, 1991.
  2. අභය සිංහ, පී. ඇම් පී. උඩරට විත්ති. කොළඹ: සංස්කෘතික කටයුතු දෙපාර්තෙමින්තුව, 1998.
  3. අමරවංශ, ලක්දිව සෙල්ලිපි. කොත්මලේ. කොළඹ: ඇම් ,ඩී ගුණරත්න. 1969
  4. අල්විස්, ඩී ඇම්. කෝට්ටේ රාජධානිය ඉතිහාස සහ පුරාවස්තු. නුගේගොඩ: දිපානි මුද්‍රණ ප්‍රකාශකයෝ ඇම් ,ඩී ගුණරත්න.1986
  5. ආරියපාල, ඇම්. බී. මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය . කොළඹ: ගුණසේන හා සමාගම .1969
  6. එල්ලාවල, එච්. පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය. නුගේගොඩ: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව (වර්ෂයක් සදහන් නොවේ)
  7. ගමගේ, චන්ද්‍රා වික්‍රම . බුද්ධාභිෂේකය හා නානුමුරය. කොළඹ: ප්‍රබුද්ධ ප්‍රකාශකයෝ. 1986
  8. ජයකොඩ, සරත්චන්ද. සිරි දළදා පවත. බොරලැස්ගමුව: සදීපා පොත්හල. 2004
  9. තිස්ස කුමාර, ආනන්ද. පැරණි ලක්දිව අත්තදාණි ප්‍රදාන විධි. කැළණිය: ජාතික පුස්තකාල සේවා මණ්ඩලය.1990
  10. දසනායක, කරුණාරත්න. එදාඋඩරට. කොළඹ: ඇස් ගොඩගේ සහ සමාගම. 2005
  11. දිසානායක, ජේ.බී. සිංහල බුදුසමය. කොළඹ: රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව. 1991
  12. පතිරණ, බී.ඒ. පෙරහැර විසිතුර. කොළඹ:ඇම්.ඩී ගුණසේන සහ සමාගම. 1973
  13. පොන්නම් පෙරුම, ඩී,.පී. විදේශීයයන් දුටු ලංකාව . මහනුවර: ආර්ය මුද්‍රණාලයග 1961
  14. රත්නපාල, ඊ.ඇම්. දළදාව හා සමාජය . පන්නිපිටිය: සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පෞද්ගලික). 2000
  15. රාජපක්ෂ, වෛද්‍යමතී. දළදා සහ තූර්යවාදනය. කොළඹ: ඇස් ,ගොඩගේ සහ සහෝදරායෝ. 1961
  16. වජිර, කුඔුරුගමුවේ. දළදා ඉතිහාසය සහ සංස්කෘතිය. දෙහිවල: තිසර ප්‍රකාශකයෝ.1983
  17. විමලානන්ද, තෙන්නකෝන්. උඩරට මහකැරැල්ල 3 කාණ්ඩය. කොළඹ: ඇම්.ඩී ගුණසේන.1963
  18. වාචිස්සර හිමි, කොටගම. සරණංකර සංඝරාජ සමය. කොළඹ: ඇස් ,ගොඩගේ සහ සහෝදරායෝ. 2005
  19. සරත්චන්ද, ශ්‍රී බන්දුල.අපේ සංස්කෘතික උරුමය හා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරිසරය (2 ඛාන්ඩය): ඇස්, ගොඩගේ සහ සහෝදරායෝ. 1978
  20. සුමනවංස, කපුගම. දළ-දා පුදග කොළඹ: ඇස්, ගොඩගේ සහ සහෝදරායෝ. 1964
  21. හෙට්ටිමුල්ල, රංජිත් ටී. දළදා පුවත. මහනුවර: සිතුමිණ මුද්‍රණාලය .1960

අමතර[සංස්කරණය]

  • සගරා
  • පුවත්පත්