ඇමෙරිකානූ සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

යටත්විජිත සමය-ඇමරිකානු සාහිත්‍යය[සංස්කරණය]

ඇමරිකානු සාහිත්‍යයේ මුල්කාලීන ස්වරූපය වූයේ, යුරෝපීන්ට හා යටත්විජිත සභාවන්ට ලැබුණු ප්‍රතිලාභ වර්ණනා කරමින් ලියවුනු ලිපි හා පත්‍රිකාය. කපිතාන් ජෝන් ස්මිත් ඇමරිකාවේ ප්‍රථම ග්‍රන්ථ කර්තෘවරයා ලෙස සලකන අතර "ටෲ රිලේශන් ඔෆ් වර්ජිනියා (1608)" , "ජෙනරල් හිස්ට්‍රි ඔෆ් වර්ජිනියා", "නිවු එන්ග්ලන්ඩ්" හා "සමර් අයිල්ස්" ඔහුගේ කෘති කිහිපයකි. ඩැනියෙල් ඩෙන්ටන්, තෝමස් ආශෙ, විලියම් පෙන්, ජොර්ජ් පර්සි, විලියම් ස්ට්‍රෙචි, ජෝන් හමොන්ඩ්, ඩැනියෙල් කොක්ස්, ගේබ්‍රියෙල් තෝමස් හා ජෝන් ලෝස්න් එම ශෛලිය අනුගමනය කළ තවත් රචකයන් කිහිප දෙනෙකි.

ඇමරිකාවේ ආගමික මතභේද සඳහා තුඩුදුන් ගිවිසුම්ද මුල්කාලීන ලිපි ලිවීමේදී ඒවාට මාතෘකා විය. ජෝන් වින්ට්‍රෝප් විසින් රචනා කළ සඟරාවක "මැසචුසෙට්ස් බේ කොලනි" යන ආගමික පදනම පිළිබඳව සාකච්ඡා කරන ලදී. "මේෆ්ලවර්ස්" නැමති කෘතිය පැමිණීමෙන් පසු වර්ෂයේ එඩ්වර්ඩ් වින්ස්ලෝ දින දර්ශනයක් වර්ථා කරන ලදී. ආගමික අභාශය ලත් අනෙකුත් රචකයන් වන ඉන්ක්‍රීස් මැතර් සහ විලියම් බ්‍රැඩ්ෆෝර්ඩ් යන අය විසින් "හිස්ට්‍රි ඔෆ් ද ප්ලේමවුත් ප්ලාන්ටේෂන් (1620-47)” නමින් සඟරාවක් ප්‍රකාශයට පත් කරන ලදහ. රොජර් විලියම්ස් සහ නතාලියෙල් වොර්ඩ් යන කර්තෘවරු ක්‍රිස්තියානි සභාවේ බිඳීයාම පිළිබඳව දරුණු චෝදනාත්මක ප්‍රකාශ නිකුත් කර ඇත. ඒ අතර සමහර කාව්‍යයන්ද පැවතිණි. ඇන් බ්‍රැඩ්ස්ට්‍රිට් සහ එඩ්වර්ඩ් ටේලර් යන අය විශේෂ සැලකිල්ලකට බඳුන් විය. අවසන් විනිශ්චය කාලය විස්තර කරමින්, මිෂෙල් විග්ල්ස්වර්ත් විසින් ලියන ලද "ඩේ ඔෆ් ඩූම්" යන කවිය සඳහා විශාල ඉල්ලුමක් පැවතිණි. නිකොලස් නොයිස් නැමති කවියාද තම පද්‍ය හේතුවෙන් ප්‍රකට විය.

මුල්කාලීනව ලියවුණු වෙනත් ලිපි මඟින් ඉන්දියානුවන් සමඟ ඇතිවූ ඝට්ටන හා අන්තර් ක්‍රියා පිළිබඳව විස්තර කෙරේ. ඩැනියෙල් ගෝකින්, ඇලෙක්සැන්ඩර් විටේකර්, ජෝන් මේසන්, බෙන්ජ්මින් චර්ච් හා මේරි රෝලන්ස් යන අයගේ ලිපි තුළින් මෙය පැහැදිලිව දැකගත හැකිය. ජෝන් එලියට් විසින් බයිබලය අල්ගකින් භාෂාවට පරිවර්තනය කරන ලදී.

18 වැනි ශතවර්ෂය මුල් භාගයේදී ("කැල්වින්වාදය" පිළිබඳව තදින් කියා සිටින) ජොනතන් එඩ්වර්ඩ් සහ ජොර්ජ් වයිට්ෆීල්ඩ් විසින්, ආගමික පුබුදුව පිළිබඳව ලියන ලද "ග්‍රේට් අවේක්නින්" නැමති කෘතිය එළිදක්වන ලදී. තෝමස් හුකර්, තෝමස් ෂෙපර්ඩ්, යූරි ඔර්ක්ස්, ජෝන් වයිස් හා සැමුවෙල් විලර්ඩ් යන අය අසත්‍ය පිළිකුල් කළ, ආගමික රචකයන් වේ. එනමුත් සැමුවෙල් සෙවල්, සාරා කෙම්බල් නයිට් හා විලියම් බර්ඩ් යනු සන්සුන් සහ ලිහිල් රචකයන් කිහිප දෙනෙකි.

විප්ලවකාරී සමයේදී දේශපාලනය පිළිබඳව සැමුවෙල් ඇඩම්ස්, ජෝශී කුවින්සි, ජෝන් ඩිකන්ස් හා ජෝසප් ගැල්වේ වැනි රජයට ගැති රචකයන් විසින් ලිපි ලියන ලදී. ඒ අතරින් ප්‍රධාන චරිත දෙක වන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් විසින් රචිත "පුවර් රිචර්ඩ්ස් අල්මැනක්" හා "ඕටොබයග්‍රෆි ඔෆ් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්" යනු ඔවුන්ගේ බුද්ධිය හා වර්ධනය වෙමින් පැවතුණු ඇමරිකානු අනන්‍යතාවයෙන් ලැබුනු අභාෂය විදහා දක්වන ශ්‍රේෂ්ඨ නිර්මාණ දෙකකි.

විප්ලව කාලයෙදී "යැන්කී ඩුඩල්" හා "නේතන් හෝල්" වැනි කවි සහ ගීත ජනප්‍රියව පැවතිණ. ජෝන් ටම්බල් හා ෆ්‍රැන්සිස් හොප්කින්ස් ප්‍රකට උපහාස රචකයන් විය. පිලිප් මොරීන් ෆ්‍රේනී යුධ කාලය අලලා කවි ලිවීය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු[සංස්කරණය]

දෙවන ලෝක යුද්‍ධයෙහි නිමාව සිට එනම් දළ වශයෙන් 1960 දශකයෙහි අග භාගය හා 1970 දශ‍කයේ මුල් භාගය වන කාලය ඇමෙරිකානූ ඉතිහාසයේ ඉතාමත්ම ජනප්‍රිය කෘතින්ගේ එළිදැක්වීම සිදුවිය. යථාර්ථවාදී නූතන අදහස් දරන්නන් සහ හණමිටි සමාජය අප්‍රිය කළ තරුණ ප්‍රේමාන්විතයින් මේ කාලය තුළ පෙරමුණ ගනු ලැබූහ. ඔවුන්ගේ මේ කාර්යයට දෙවන ලෝක යුද්ධයට ඇරමරිකාව හවුල් කිරීමට විත්තිකරුවන් වූවන්ගේ බලපෑම ද නොමද ලැබුණි.

ජේ.ඩී සැලින්ගර්ගේ Nine Stories, The Catcher හා the Rye වැනි කෘතින් ගේ සිට සිල්පියා ප්ලාක්ගේ The Bell Jor වැනි කෘතින් දක්වා වූ නිර්මාණ, ඇමෙරිකාවේ උමතුව ජාතියේ සාහිත්‍යමය ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට හවුල්විය. වෙනත් රටවලින් ඇමෙරිකාවට පදිංචියට පැමිණි එලදීමිර් නෝබෝකොන් වැනි කතුවරුන් Lolita (ලෝලීටා)වැනි කෘතින් මඟින් මෙම මාතෘකාව ඉදිරියට ගෙන ගියහ. එම කාලය තුළදීම ඉහත දැක්වු තරුණ ප්‍රේමාන්විතයින් ඔවුන්ගේ Lost generation පූර්වජයන්ගෙන් සංවිධානාත්මක පියවරක් ඉවතට තැබීය.

නිව්යෝර්ක් නුවර හා කොලොම්බියා සරසවිය ආශ්‍රිතව ගොඩනැගී යම් කාලයකට පසු සැන් ‍ෆ්‍රෙන්සිස්කෝ නුවර නිළ වශයෙන් පිහිටවනු ලැබූ බුද්ධිමතුන්ගේ කව මඟින් බිහිවූ Beat Generation හි කවි හා ප්‍රබන්ධ කරලියට පැමිණියහ. Beat යන පදය 'ජෑස්' සංගීතයේ ප්‍රතිවිරුද්ධ සංස්කෘතික රිද්මයටත්, යුද්ධයෙන් පසුවත් පැවති වෙනස්වීම් වලට ඇති අකමැත්ත කෙරෙහි වූ කැරළිකාර ස්වභාවයත්, මත්ද්‍රව්‍ය, මත්පැන් දර්ශන වාසය හා සෙන් බෞද්ධාගම ප්‍රමුඛ ආගම් වලින් ලැබූ නව ආත්මීය අත්දැකීමුත් සහ සියල්ලම හැඳින්වීමට සාමූහිකව භාවිතා කරන ලදී. ඇලන් ජින්ස්බර්ග් විසින් ඔහුගේ Howl නම් කවිය මඟින් මෙම යාන්ත්‍රණයට අවශ්‍ය තාලය සපයන ලදී. මාගේ පරම්පරාවේ සුවිශේෂම බුද්ධිමතුන් උමතුව මඟින් විනාශ වනු මම දුටිමි. ලෙස ආරම්භ වු මෙම කවිය වෝල්ට් විට්මෑන්ගේ කෘතින්ට සමානකමක් දැක්විය. මේ කාලය තුළදීම ඇලන් ජින්ස්බර්ගේ මිත්‍රයෙකු වු ජැක් කොරොවුවැක් (1922-1969) ගේ ජනප්‍රියම නවකථාව වන The Road මඟින් Beats ලෙස හැඳින්වූවන්ගේ විනෝදකාමී, බාහිර බලපෑම් රහිත, ස්ථර පදිංචියක් පවා නැති ජීවිත විග්‍රහ කරන ලදී. දෙවන ලෝක යුද්ධයට පසු සමය යුද්ධ නවකථා සම්බන්ධව නම් ඇමෙරිකාව තුළ විශාල සාහිත්‍යමය පිබිදීමක් ඇති වූ සමයක් විය. නෝමන් මේලර් ගේ The Naked and the dead (1948) ‍ජෝසප් හෙලර්ගගේ Catch -22 (1961) සහ කර්ථ වොන්නෙගට් ජූනියර්ගේ Slaughter House- Five (1969) වැනි කෘතින් මේ කාලය තුළදී ඉතාමත් ජනප්‍රිය වූ කෘතීන් කිහිපයක් විය. බාබරා ගාර්කන් විසින් රචිත Mac Bird කෘතිය යුද්ධයෙන් නිරර්ථක භාවය විදහාපාන තවත් කෘතියක් විය.

සංසන්ඳනාත්මකව බැලූ කල, ජෝන් අප්බයික් ඇමෙරිකානු ජීවිතයේ ගැමි ජීවිතය අලංකාරව විස්තර කිරීමක් ලෙස සැලකිය හැකි කෘතීන් නිහඩ එහෙත් පෙරලිකාර රචනා ශෛලියකින් ඉදිරිපත් කළේය. ඇමෙරිකානු මධ්‍යම පන්තියෙහි කුඩා තොරතුරු පවා චරිතයට නැගීම නිසා 1960 දී රචිත Robbit Run නමැති කෘතිය නවමු අත්දැකීමක් විය. මෙම නවකතාව වර්ථමාන කාලය එහි කතා විස්තරයට යොදාගත් පළමු නවකතා කිහිපය අතරින් එකක් ලෙස ද සැලකේ.

ෆ්ලැන්නරි ඕ'කොනර් (උපත මාර්තු 25, 1925 ජෝර්ජියාව විපත අගෝස්තු 3 1964 ජෝර්ජියාව) විසින්ද මාර්ක් ට්වේන් වැනි ඇමෙරිකානු සාහිත්‍යයේ ප්‍රමුඛ කතුවරුන්ට ඉතා සමීප මාතෘකාවක් වු දකුණු පළාත සහ මාතෘකාව පිරික්සීමට ලක්කොට සංවර්ධනය කරන ලදී. (Wise Blood 1952, The Violeut Bear it Away 1960, Everything that Rises Must Converge - ඇගේ ප්‍රසිද්ධම කෙටිකථාව හා අතිශය වැදගත් එකතුවක් 1965 දී ඇ‍ගේ අභාවයෙන් පසුව එළිදක්වන ලදී.

සුවිශේෂි ඇමෙරිකානු රීතිය[සංස්කරණය]

1812 යුද්ධය සමග සහ සුවිශේෂී ඇමෙරිකානු නිර්මාණයන් බිහි කිරීම සඳහා ඇති වූ උනන්දුව හේතුකොට ගෙන ප්‍රධාන පෙළේ සාහිත්‍ය ලැදි උගත් පිරිසක් බිහි වූහ. මේ අතරින් වොෂින්ටන් අර්වින්, විලියම් කුලන් බ්‍රයන්ට්, ‍ජේම්ස් ෆෙනිමො‍්ර් කූපර් සහ එඩ්ගා ඇලන්පෝ කැපී පෙනුනහ. මෙයින් අර්වින් සුවිශේෂ ඇමෙරිකානු රීතියක් ඇති කිරීමට උත්සාහ ගත් ප්‍රථම ලේඛකයා ලෙස බොහෝ විට සළකනු ලැබේ. (මෙම කාරණය විවාදිතය) ඔහු ලියු හාස්‍යෝත්පාදක කෘතින් නම් සල්මන් ගුන්ඩි සහ බොහෝ දෙනෙක් දන්නා උපහාසාත්මක කථාවක් රැගත් අ හිස්ටරි ඔෆ් නිව් යොර්ක් බයි ඩීඩ්රිට් නිකර්බෝකර් (1809) වැනි කෘතින්ය. බ්‍රයන්ට් මුල්ම ප්‍රේමාන්විත සහ ස්වභාව සෞන්දර්ය එක් කරමින් කවි ලීවේය. මෙම කෘතින් ඒවායේ යුරෝපයේ මූලයන්ගෙන් විකාශනය වූ ලක්ෂණ පෙන්නුම් කළේය. 1832 දී පෝ කෙටි කතා ලිවීම ආරම්භ කළේය. මේවායින් කීපයක් නම් ‘ද මැස්ක් ඔෆ් ද රෙඩ් ඩෙත්’, ‘ද පිට් ඇන්ඩ් ද පෙන්ඩුලුම්’ ‘ද ෆෝල් ඔෆ් ද හවුස් ඔෆ් යුෂර්’ සහ ‘ද මර්ඩර්ස් ඉන් ද රියු මෝර්ග්’ වැනි කෙටි කථාය. මෙම කථා වලින් මානව මනෝ විද්‍යාවේ සැඟවුනු තැන් ගවේෂණය විය. එමෙන්ම ප්‍රබන්ධ වල සීමාවන් අභිරහස් කථා සහ මායා ලෝකයන් දක්වා තල්ලු විය. කූපර්ගේ නැට් බම්පෝ ගැන ලෙදර්ස්ටොකින් කථා මාලාව අලුත් රටේ සහ විදේශයන්හි ජනප්‍රිය විය.

හාස්‍යජනක කථා ලියු ලේඛකයන් ද ජනප්‍රිය වූහ. නිව් එංගලන්තයේ සෙබා ස්මිත් සහ බෙන්ජමින් පී ෂිලාබර් වැන්නෝද - ඔගස්ටන් බෝල්ඩ්වින් ලෝංග් ස්ට්‍රීට්, ජොන්සන් ජේ හූපර්, තෝමස් බැන්ග්ස් තෝර්ප්, ජෝශප් ජි බෝල්ඩ්වින් සහ ජෝර්ජ් වොෂින්ටන් හැරිස් වැනි ඇමෙරිකානු ප්‍රත්‍යන්ත දේශ ගැන ලියු අයද ඒ ගණයට අයත් වූහ.

නිව් එංග්ලන්ඩ් බ්‍රාහ්මින් නමින් හැඳින්වූ ලේඛක කණ්ඩායමද හාවර්ඩ් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වූහ. මෙහි වැදගත් කණ්ඩායමට ජේම්ස් රසල් ලොවෙල්, හෙන්රි වර්ඩ්ස් වර්ත්, ලෝංග්ෆෙලෝ සහ ඔලිවර් වෙන්ඩෙල් හෝල්ම්ස් ද අයත් වූහ.

1836 දි හිටපු ඇමතිවරයෙකු වූ රැල්ෆ් වුල්ඩෝ එමර්සන්ට් ‘නේචර්’ නම් ප්‍රබන්ධ ගණයට නොවැටෙන ආන්දෝලනාත්මක කෘතියක් ප්‍රකාශයට පත් කළේය. ඒ මගින් ස්වභාවධර්මයට අනූකූලව සහ එය අධ්‍යයනය කිරීමෙන් උසස් අධ්‍යාත්මික තත්වයක් ඇති කර ගත හැකි බවත්, සංවිධානය වූ ආගම් අවශ්‍ය විය නොහැකි බවත් ප්‍රකාශ කළේය. ඔහුගේ ලේඛණවලට ඔහු වටා සිටි ලේඛකයින්ගේ අදහස් පමණක් නොව ඔහුගේ දේශනා ඇසු මහජනතාවගේද අදහස්ද ඇතුලත් විය.

එමර්සන්ගේ අනගිතම සහාය චින්තකයා සමහර විට හෙන්රි ඩේවිඩ් තෝරියෝ (Henry David Thoreau 1817-1862 නම් දැඩි අදහස් ඇති එංගලන්ත සභාවට අයත් නැති ක්‍රිස්තු භක්තිකයා විය හැකිය. වනයෙන් ගැවසිගත් පොකුණක් අසල කුටියක අවුරුදු දෙකක් ජීවත් වෙමින් ඔහු Wolden නම් පොතක් පමණ විශාලත්වයක් ඇති ජීවන සටහනක් ලීවේය. ඒ මගින් සංවිධානගත සමාජයේ අනවශ්‍ය අණ කිරීම්වලට බාධා පමුණුවන මෙන් බල කිරීමක් කරන ලදී. ඔහුගේ විරෝධාකල්ප සහිත ලියවිලිවලින් ඇමෙරිකානු ලක්ෂණයේ තනිපුද්ගලවාදය දෙසට ගැඹුරු මුල් බැසගත් කැමැත්තක් ප්‍රකාශ කෙරේ. ලෝකෝත්තර වාදය විසින් උනන්දු කරවනු ලැබු අනෙකුත් ලේඛකයින් නම් බ්‍රොන්සන් ඇලිකට්, මාර්ගර්ට් ෆුලර්, ජෝර්ජ් රිප්ලේ, ඔරෙස්ටන් බ්‍රවුන්සන් ජෝන්ස් වෙරි යන අයයි.

අත්හැරීමේ වාදය වටා වූ දේශපාලන අර්බුද විසින් විලියම් ලොයිඩ්ට සහ ලිබරේට් නම් ඔහුගේ පත්‍රයටද, ඒ සමගම ජෝන් ග්‍රීන් ලීෆ් නම් කවියාටද සහ අන්කල් ටොම්ස් කැබින් නම් කෘතිය කළ හැරියට් බීචර් ස්ටොව්ටද පෙළඹවීම් ඇති කරන ලදී.

1837දී තනානියෙල් හැව්තෝර්න් (1804-1864) සංකේත හා ගුප්ත සිදු වීම් වලින් පිරුණු Twice told tales වැනි ඔහුගේ කථා ඛාණ්ඩයක් වශයෙන් එක් කළේය. හැව්තෝර්න්, වරද, අභිමානය සහ ආවේග මැඩ පැවැත්වීම වැනි තේමාවන් ගවේෂණය කරන පූර්ණ දිග ප්‍රමාණයෙන් යුත් ආදර කථා වැනි නවකථා ලිවීමෙහි නිරත විය. ඔහුගේ අති විශිෂ්ඨ කෘතියක් වන ‘ද ස්කාර්ට්ලට් ලෙටර්’ ලියැවි ඇත්තේ පර පුරුෂ සේවනය හේතුවෙන් තමන්ගේ සමාජයෙන් කොන් කළ ගැහැණියක් පිළිබඳවයි. හැව්තෝර්න්ගේ ප්‍රබන්ධ ඔහුගේ මිතුරු හර්මන් මෙල්වින් කෙරෙහි ගැඹුරු ඝට්ඨණයක් තිබුනි. මෙම මෙල්විල් ඔහුගේ මූදු ගමන් යෙදුනු දින වලින් විචිත්‍ර නවකථා දක්වා කරුණු වෙනස් කිරීමෙන් පළමුවෙන් නමක් ඇති කර ගෙන තිබුනි. හැව්තෝර්න් ගේ උදාහරණයෙන් උනන්දු වූ මෙල්විල් දර්ශනවාදය පිළිබඳ විමර්ශනයන්ගේ පොහොසත් නවකථා කරණයෙහි දිගටම යෙදුනේය. නපුරු ගතිගුණ වල ස්වභාවය, පංචමහා භූතයන්ට එරෙහිව මනුෂ්‍යයන්ගේ අරගලය, වැනි තේමාවල් පරික්ෂා කිරීම සඳහා මොබිඩික් වැනි (තල් මසුන් සොයා ගිය චාරිකා) වැනි කෘතින් පිටුවහලක් වෙයි. මෙල්වින්ගේ ගැඹුරු අදහස් ඇති කෘතින් අලෙවිය අතින් දුර්වල විය. ඔහුගේ මරණය සිදු වන අවස්ථාවේ ඔහු පිළිබඳව බොහෝ දෙනාට අමතකව තිබිනි. ඔහු ගැන නැවතත් මතකය අවදි වන්නේ 20 වෙනි ශත වර්ෂයේ මුල් දශක දෙක තුලයි.


ඇමෙරිකානු සාහිත්‍ය - 20 වැනි ශතවර්ෂය[සංස්කරණය]

අර්නස්ට් හෙමිංවේ පළමුවෙනි ලෝක සංග්‍රාම නිල ඇඳුමෙන්

20 වෙනි ශත වර්ෂය ආරම්භයේදි ඇමෙරිකානු නවකථාකරුවන් ඉහළ සහ පහළ පන්ති සමාජ ජීවිතය හසුකර ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රබන්ධ කථාවල විෂය පථය පුළුල් කළහ. එඩිත් වාර්ටන් (Edith Wharton 1862-1937) ඇගේ කතාවල සහ නවකථාවල ඉහළ පන්තිය පරෙස්සමින් සෝදිසි කළාය. ඊස්ටන් සීබෝඩ් සමාජය නම් වූ එම සමාජය තුළ ඇය හැදි වැඩුනාය. ඇගේ කදිම පොත් වලින් එකක් වූ ඒජ් ඔෆ් ඉනසන්ස් (The age of innocence) ඉලක්ක කර තිබෙන්නේ විවාහය සඳහා ලස්සන පිටස්තර ගැහැණියකට වඩා සාම්ප්‍රදායික සිරිත් විරිත් ගරු කරන සමාජය පිළිගත් ගැහැණියක තෝරා ගන්නා පිරිමියෙකු ගැනයි. මෙම කාලය තුළදීම ස්ටීවන් ක්‍රේන් (1871-1900) (Stephen crane) නිව් යොර්ක් නගරයේ වෙසඟනන් ගැන කියැවෙන ‘මැගි: අ ගර්ල් ඔෆ් ද ස්ට්‍රීට්ස්’ නැමැති කෘතිය කළේය. ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ සිවිල් යුද්ධය අළලා ඔහු ලියු ‘ද රෙඩ් බැජ් ඔෆ් කරේජ්’ නම් නව කථාවෙනි. එමෙන්ම ‘සිස්ටර් කැරි’ නමින් තියසෝර් ඩ්‍රෙසියර් (1871-1945) Theodore Dreiser) විස්තර කරන්නේ චිකාගෝ නගරයට පැමිණි ගම්බද කාන්තාවක් ගැනයි. හැමිලින් යාර්ලන්ඩ් සහ ෆ්‍රෑන්ක් නොරිස් ඇමෙරිකානු ගොවීන්ගේ ප්‍රශ්න ගැන ලියුවෝය.


දේශපාලන ලියවිලි මගින් සමාජ ප්‍රශ්න සහ සමගියේ බලය ගැන ඍජුව සාකච්ඡා වුණි. එඩ්වර්ඩ් බෙලමි වැනි ඇතැම්හු ඉදිරියේදි විය හැකි දේශපාලන සහ සමාජ හැඩ ගැසීම් වල හැඩය Looking Backward හිදී පෙන්වා දුන්හ. ද ජංගල් කෘතිය නිසා බොහෝ ප්‍රසිද්ධ වූ අජටන් සින්ක්ලෙයාර් නම් ලේඛකයා සමාජවාදය හඳුන්වා දුන්නේය. යුගයේ සිටි අනෙකුත් දේශපාලන ලේඛකයින් අතරට එඩ්වින් මාර්ක්හැම්, විලියම් වෝහ්න් මූඩි යන අය අයත් වෙති. පත්‍ර කලාවේ විවේචකයන් වූ ඉඩා එම් ටාර්බල් සහ ලින්කන් ස්ටෙෆෙන්ස් “අපචාර අවුස්සන්නේ” (muskrakers) ලෙස හඳුන්වනු ලැබූහ. හෙන්රි ඇඩම්ස්ගේ ස්වයං චරිතාපදානය වූ ‘ද එඩියුකේෂන් ඔෆ් හෙන්රි ඇඩම්ස්’ කෘතියෙන් අධ්‍යාපන ක්‍රමයේ සහ නවීන ජීවිතයේ නොමනා පැති හෙළි කළේය.

හැඩය සහ ශෛලිය පිළිබඳව කළ පරික්ෂණ වලින් ප්‍රස්තුත කාරණය සමග ඉක්මණින් සම්බන්ධ විය. 1909 දී එවකට පැරීසියට පිටමං වී සිටි ගර්ට්රූඩ් ස්ටෙයින් (1874-1946) ත්‍රී ලයිව්ස් නමින් කෘතියක් ප්‍රකාශයට පත් කළාය. එය ජ්‍යාමිතික චිත්‍ර කලාව, ජෑස් සංගීතය සහ සමකාලීන කලා සහ සංගීතයේ අංගවලට ඇයට තිබු සමීප බව ආභාෂයට ගෙන ලියැවුණු අමුතු ආකාරයේ කෘතියක් විය.

එස්රා පවුන්ඩ් (1885-1972) නම් කවියා ඉඩහෝ හි උපන් නමුත් ඔහුගේ වැඩිහිටි කාලය බොහෝ සෙයින් ගත කළේ යුරෝපයෙහිය. ඔහුගේ නිර්මාණ සංකීර්ණ ඒවා විය. ඇතැම් විට තේරුම් ගැනීමට දුෂ්කරය. ඒවායේ වෙනත් කලා ක්‍රමවලට සහ පෙර අපර දෙදිග සාහිත්‍යයට යොමු කළ කරුණු ඇත. ඔහු වෙනත් බොහෝ කවීන්ගේ ආභාෂය ලබා ගත්තේය. විශේෂයෙන් ටී.එස්.එලියට් (1888-1965) සඳහන් කළ හැකිය. පවුන්ඩ්ගේ කෘතිවල මෙන්ම එලියට්ගේ කාව්‍යයන්ගේද ව්‍යාංගර්ථයන් බහුලය. ඔහුගේ වෙස්ට්ලන්ඩ් (The wasteland) නම් කාව්‍ය සංග්‍රහයේ කවියා විසින්ම තබන ලද අධෝ ලිපි තිබේ. 1948 දී සාහිත්‍ය සම්බන්ධයෙන් එලියට් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේය.

ඇමෙරිකානු ලේඛකයෝ යුද්ධය මත ඇති වූ සිත්වල පවතින මුලාවන් ප්‍රකාශ කළහ. එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරාල්ඩ්ගේ (1896-1940) කථා සහ නවකථා වලින් 1920 දශකයේ අසහනකාරි නොසැලකිලිමත් තත්ත්වයන් හසුකර ගනි. ඔහුගේ ද ග්‍රේට් ගැට්ස්බි (The Great gatsby) කෘතියේ තේමාව වී ඇත්තේ තරුණයින්ගේ රන් සිහින බලාපොරොත්තු කඩවීම සහ අසමත් වීම මත දියවී යාමයි. සින්ක්ලෙයාර් ලුවිස් සහ ෂර්වුඩ් ඇන්ඩර්සන් ද ඇමෙරිකානු ජීවිතය විවේචන කරන ආකාරයේ නවකථා ලියූහ. ජෝන් ඩොස් පැඩෝස් යුද්ධය ගැන මෙන්ම පරිහානිය දක්වා විහිදෙන එක්සත් ජනපද ත්‍රිත්වය (U.S.A. Trilogy) ගැන ලියුවේය. අර්නස්ට් හෙමිංග්වේ (1899-1962) පළමු ලෝක යුද්ධ සමයේ ගිලන් රථ රියදුරෙකු වශයෙන් සේවය කිරීමේදි දරුණු ක්‍රියා සහ මරණය පිළිබඳ අත්දැකීම් ලබා තිබුණේය. ඔහු තම ලේඛනවලින් අනවශ්‍ය වචන කපා හැරියේය. වාක්‍ය ව්‍යුහය සරල කළේය. ද සන් ඕල්සෝ රයිසස් සහ අ ෆෙයාර්වෙල් ටු ආර්මි යන කෘතින් සාමාන්‍යයෙන් ඔහුගේ අගනාම කෘතින් ලෙස සළකනු ලැබේ. 1954 දී ඔහු සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය ලැබුවේය.

හෙමිංවේට අවුරුදු පහකට කලින් තවත් ඇමෙරිකානුවෙකු වූ විලියම් ෆෝල්ක්නර් (William Faulkner) (1897-1962) නොබෙල් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔහු විසින්ම නිර්මාණය කරන ලද මිසිසිපි ප්‍රදේශයක් වූ යොක්නපටව්ෆා කවුන්ටි (Yoknapatawha County) කෘතියට මනුෂ්‍යත්වය පිළිබඳ අති විශාල පරාසයක් ඇතුළත් කර ගැනීමට ඔහු සමත් විය. ඔහු ඔහුගේ චරිත නිර්මාණය කර ඇත්තේ (පෙනෙන ආකාරයට) සංස්කරණයකින් තොරව දිගින් දිගටම විස්තර කරමින් එම චරිතවල අභ්‍යන්තර ස්වභාවය පෙන්වා දීම සඳහාය. (මෙම ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ ‘Stream of consciousness’ යනුවෙනි.) වර්තමානය තුළ අතීතය පවතින්නේ කෙසේද කියා පෙන්වීමට ඔහු කාල ක්‍රමානූකුල පිළිවෙල (විශේෂයෙන් ඈත දකුණේ වහල් සේවය පැවති කාලය) වෙනස් කළේය. ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෘති අතරට ද සවුන්ඩ් ඇන්ඩ් ද ෆියුරි, ඇබ්සැලොම්, ඇබ්සැලොම්!, ගෝ ඩවුන්, මෝසෙස් සහ ද අන්වැන්ක්විෂ්ඩ් යනාදි කෘතින් ඇතුළත් වේ.


අවපාත යුගයේ (Depression era) සාහිත්‍යය තියුණු නොවීය. එසේම එය යොමු වූයේ කෙළින්ම සමාජ විවේචනය සඳහාය. ජෝන් ස්ටෙයින්බෙක් (1902-1968) කැලිෆෝර්නියාවේ සැලිනාස් හි උපත ලද අතර එහිදි ඔහුගේ බොහෝ ග්‍රන්ථ සකස් වුනේය. ඔහුගේ ශෛල්‍ය සරල මෙන්ම ප්‍රබෝධාත්මකය. මේ නිසාම විවේචකයින්ගේ නොව බොහෝ සෙයින් පාඨක ප්‍රසාදයට ඔහුට ලැබුණි. ඔහු බොහෝ විට දුගී ජනයා, සහ යහපත් ජීවිතයක් පතා වැඩ කරන පන්තිය ගෙන යන අරගලය ගැන ලීවේය. ඔහුගේ යුගය ගැන බලන විට සමාජය ගැන හොඳින් දැනුවත්ව සිටි පුද්ගලයා ඔහු බව කිව හැකිය. ‘ද ග්‍රේප්ස් ඔෆ් රොත්’ ඔහුගේ අගනා කෘතිය ලෙස සැළකේ. එය ඉතා බලවත් සමාජය මූලික කරගත් කෘතියකි. වඩා හොඳ ජිවිතයක් අපේක්ෂාවෙන් ඔක්ලොහෝමා සිට කැලිෆෝනියා දක්වා ගිය ජෝඩ් (Joads) නම් දුගි පවුලක් වටා එම කථාව ලියැවි තිබේ. ඔහුගේ අනෙකුත් ජනප්‍රිය කථා අතරට ටොරිල්ලා ෆ්ලැට් ඔෆ් මයිස් ඇන්ඩ් මෙන්, කැනරිරෝ සහ ඊස්ට් ඔෆ් ඒඩ්න් නම් කෘතින් ඇතුළත් වේ. 1962 වර්ෂයේදි ඔහු සාහිත්‍යය සඳහා නොබෙල් සම්මානය ලැබුවේය. දුගි අය ගැන ලියු අනෙකුත් ලේඛකයින් නම් නදනියෙල් වෙස්ට් (Nathanael west) ෆීල්ඩින් බර්ක්, ජැක් කොන්‍රොයි, ටොම් ක්‍රොමර්, රොබට් කැන්ට්වෙල්, ඇල්බර්ට් හාපර් සහ එඩ්වින් ඇන්ඩර්සන් යනාදිහු වේ.

යථාර්ථවාදය, ට්වේන් සහ ජේම්ස්[සංස්කරණය]

මාර්ක් ට්වේන්, 1907

මාර්ක් ට්වේන් (සැමුවෙල් ලැංග්හෝර්න් ක්ලෙමන්ස් 1835-1910 ලේඛණ කලාවේදි යොදා ගත් නම) ඇමෙරිකාවේ නැගෙනහිර වෙරලෙන් ඔබ්බෙහි මායිම් රාජ්‍යයක් වූ මිසූරි හි උපත ලද්දේය. මතක සටහන් අඩංගු Life on the Misissippi සහ නව කථාවක් වූ Adventure of Huckleberry Finn යන කෘතින් කලාපීය වශයෙන් ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෘතින් විය. පුවත්පත් කලාවේ පන්නරය ලැබු ට්වේන්ගේ ලේඛණ ශෛලිය සාමාන්‍ය ග්‍රාම්‍ය ව්‍යවහාරයෙන් යුක්ත ප්‍ර‍බෝධමත් සහ හාස්‍ය ජනක එකක් විය. මෙම ශෛලිය ඇමෙරිකානුවන්ගේ භාෂාව ලිවීමේ ක්‍රමය වෙනස් කළේය. ඔහුගේ චරිත සැබෑ මිනිසුන් ලෙස කථා කළ අතර ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරය පාවිච්චි කරමින් අලුතෙන් සොයාගත් වචන, ප්‍රාදේශීය උච්ඡාරණය යොදා ගනිමින් ඇමෙරිකානු ස්වරූපය විශිෂ්ඨ ලෙස පෙන්නුම් කළේය. ප්‍රාදේශීය උච්ඡාරණය සහ වෙනස්කම් ගැන උනන්දු වූ අනෙකුත් ලේඛකයින් වුයේ ජෝර්ජ් ඩබ්ලිව්.කේබල්, තෝමස් නෙල්සන් පේජ්, ජොඑල් චැන්ඩ්ලර් හැරිස්, මේරි නොඑල්ස් මර්ෆි Sarah Orne jewett, මේරි ඊ විල්කින්සන්, ෆ්‍රීමන් හෙන්රි කයිලර් බනර් සහ විලියම් සිඩ්නි පෝටර් (ඕ හෙන්රි) වැන්නන්ය.

විලියම් ඩීන් හවෙල්ස් ද ඔහු‍ෙග් The Rise of Silas Lapham වැනි ඔහුගේ නවකථා තුලින් සහ ‘Atlantic Monthly, (අත්ලාන්තික් මන්ත්ලි) නම් පුවත්පතේ කතුවරයා වශයෙන් යථාර්ථවාදි සම්ප්‍රදාය නියෝජනය කළේය.

හෙන්රි ජේම්ස් (1843-1916) පැරණි ලෝකය සහ නව ලෝකය නම් වූ උභතෝකෝටික ප්‍රශ්නය කෙලින්ම ලිවීමෙන් ඒ දෙක අතර ගැටුමට මුහුණ දුන්නේය. ඔහු නිව් යොර්ක් සිටි හි උපන් නමුත් ඔහුගේ වැඩිහිටි කාලය බොහෝ සෙයින් ගත කළේ ලන්ඩනයේය. ඔහුගේ නවකථා බොහොමයකට පාදක වූයේ ඇමෙරිකාවේ ජීවත්වන සහ යුරෝපයට යනෙන ඇමෙරිකානුවන්ය. නොයෙක් අවුල් සහගත වුත්, ඉතා උසස් යෙදුම් සහිත වාක්‍ය සහ ආවේගයන් සහ මනෝවිද්‍යාත්මක කාරණාවල සියුම් වෙනස් විස්තර කර දැක්වීම ආදි කරුණු නිසා ඔහුගේ ප්‍රබන්ධ කියවීම වෙහෙසකර විය. යු‍රෝපයේ ජීවත්වූ රුවැති ඇමෙරිකානු ගැහැණු ළමයෙකු පිළිබඳ ලියැවුනු Daisy Miller නම් වෘතාන්තයද The turn of the screw නම් අද්භූත හොල්මන් කථාවද ජනතාව ප්‍රිය කළ ඔහුගේ කෘතින් දෙකකි.

සටහන්[සංස්කරණය]

[1]
"https://si.wikipedia.org/w/index.php?title=ඇමෙරිකානූ_සාහිත්‍යය&oldid=341532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි