Jump to content

ඇම්බැක්කේ දේවාලය

විකිපීඩියා වෙතින්
ඇම්බැක්කේ දේවාලය
Embekke Devalaya
ඇම්බැක්කේ දේවාලය is located in ශ්‍රී ලංකාව
ඇම්බැක්කේ දේවාලය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමUdunuwara, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°13′04.5″N 80°34′03.8″E / 7.217917°N 80.567722°E / 7.217917; 80.567722ඛණ්ඩාංක: 07°13′04.5″N 80°34′03.8″E / 7.217917°N 80.567722°E / 7.217917; 80.567722
අනුබැඳියාවHinduism
දේවතාවාKataragama deviyo, Devatha Bandara
දිස්ත්‍රික්කයමහනුවර
පළාතCentral Province
උරුම නාමකරණයArchaeological protected monument (23 January 2009)[1]
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයDevalaya
ආදිකර්තෘKing Vikramabahu III

පැරණි ලක්දිව රාජධානි විකාශනය තුල ගම්පළ රාජධානි සමයේදී එනම් 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. "ලක්දිව ශ්‍රේෂ්ඨතම ලී කැටයම් ඇත්තේ ඇම්බැක්කේ" යන්න උගතුන්ගේ පිළිගැනීමය. වික්‍රමබාහු රජුගේ මෙහෙසිය වශයෙන් සිටි සෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය මෙම දේවාලයට අධිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඇම්බැක්කේ දේවාලය හා සම්බන්ධ විවිධ පුරාවෘත ඉතිහාසයේ සඳහන් වේ.[2]

ඇම්බැක්කේ දේවාල පුරාවෘතය

[සංස්කරණය]

ලංකාවේ දක්නට ලැබෙන පැරණි සිංහල ලී කැටයම් පිළිබඳ මහත් ප්‍රසිද්ධියක් උසුලන ඇම්බැක්කේ දේවාලය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මැද පළාතෙහිය. පේරාදෙණියේ සිට ඇඹිල්මීගම දක්වා වැටී ඇති මහා මාර්ගයෙහි දවුලගල නම් මංසන්ධියකි. එතැන් සිට ගංහත දක්වා දිවෙන පාරේ සැතපුම් භාගයක් පමණ ගිය කල හමුවන වෙල්යායක් සහිත ගම්මානයක් මධ්‍යයෙහි මෙම දේවාලය සාදවා ඇත.

මෙම දේවාලය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉතිහාසයේ දක්වන පුරාවෘත "ඇම්බැක්කේ වර්ණනාව" නම් කාව්‍ය කෘතියෙහි මැනවින් පැහැදිලි කෙරේ. ඇම්බැක්කේ දේවාලය ගොඩනැංවීමට හේතු වූයේ යැයි සැළකෙන ප්‍රසිද්ධ කතා පුවතකි. රංගම නම් ගමේ වාසය කරන ලද බෙර වයන්නෙකුට වැළඳී තිබුණු කුෂ්ට රෝගයක් කතරගම ගොස් කරන ලද කන්නලව්වකින් පසුව සුව විය. මෙනිසා ඔහු වර්ෂයක් පාසා එහි ගොස් බෙර වයා කඳසුරිඳුන්ට කෘතගුණ දැක්වීය. පසු කලෙක මහළුව එහි යා නොහැකිව සිත් තැවුලෙන් සිටියදී දිනෙක කතරගම සුරිඳුන් සිහිනෙන් විත් "බිය නොවී ගමට යව. නොබෝ දිනකින් රුකකින් ලකුණක් පෙන්වා මගේ අනුසස් පාමි. එවිට මඟුල් බෙර වයා බුහුමන් කරව" යනුවෙන් පැවසීය. පසු කලෙක වික්‍රමබාහු රජුගේ අගමෙහෙසිය වූ සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියට අයත් ඇම්බැක්කේ මල් උයනෙහි කටු පඳුරු කපා දමද්දී එහි තිබූ කදුරු ගසකින් රුධිර ධාරාවක් නිකුත් වී තිබේ. පසුව එම බෙර වයන්නා රජුට තමන් දුටු සිහිනය සැළකර සිටි බැවින් රජු එතැන දෙව් විමනක් බඳු තෙමහල් පායක් කරවීය. එය ඇම්බැක්කේ ‍දේවාලය නම් විය.

ඇම්බැක්කේ වර්ණනා කාව්‍යයෙහි මෙකී ප්‍රාසාදය තැනවීම පිළිබඳව සවිස්තරව දක්වා ඇත්තේ ‍මෙසේය. "කණුමුල් සිඳවා,භූමි ප්‍රදේශය බෙර ඇසක් මෙන් තනවා අවටින් ප්‍රාකාරයක් බඳවා සුබ මොහොතින් මඟුල් කප් සිටුවා, ඉඩම් (අම්බලම්),මණ්ඩප,මුළුතැන් ගෙවල්, ගබඩා අටු, ළිං, පලතුරු සහ මල් උයන්, බෝධි වෘක්ෂ, බුද්ධ පූජාව සඳහා පිළිම ගෙවල්, වීදිය කෙළවර ‍පෙරහර කාලයේදී භාවිතය සඳහා දෙමහල් ගෙයක් යනාදිය කරවා දේවාලයෙහි බිතුසිතුවම් ද අඳවන ලද්දේය.එයිනික්බිති ඇම්බැක්කේ සිට ගම්පළ දක්වා විහිදී ගිය මාර්ගය කණුමුල් උදුරා ශුද්ධ කර සරසවා පෙරහරින් පැමිණි රජතෙමේ ශුභ මොහොතින් දේවාලයෙහි වූ සිංහාසනය මත කඳ කුමරා‍ගේ රූපය හිඳවීය. ඒ මඟුල නිමිත්තෙන් සැණ‍කෙළි සහිත උත්සවයක් ද පැවැත්විණි. දේවාලයේ නඩත්තුව සඳහා ගම්වර කිහිපයක් ද, කෙත්වතු අසූපස් අමුණක් ද , අලි ඇතුන් ආදිය ද රජු විසින් පුදන ලද්දේය".

ඇම්බැක්කේ දේවාලය කරවන ලදැයි සළකනු ලබන තෙවන වික්‍රමබාහු රජු පිළිබඳව "ඇම්බැක්කේ වර්ණනාව" කාව්‍යයෙහි මෙසේ සඳහන් කරයි.

"මෙලෙසින් දෙවියන් හට මුළුතැන්         බා

නිරිඳුන්හට සැල කළෝ විකුම්             බා

එවදන් සා'රජතුම විය පෙම්          බා

මැතියන් සැම දෙන කරමින් සම්         බා "

(ඇම්බැක්කේ වර්ණනාව :26 කවිය)


මෙම දේවාලයට අධිගෘහිත්වය සම්බන්ධයෙන් ද විවිධ වූ විශ්වාස පවතී. කතරගම දෙවියන් උදෙසා කැප කිරීමක් ලෙසින් මෙම දේවාලය ඉදි කර තිබේ. මේ පිළිබඳව ද ඇම්බැක්කේ වර්ණනාව කාව්‍යයෙහි තවදුරටත් පැහැදිලි කෙරේ. සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියතුන්වන වික්‍රමබාහු රජුගේ මෙහෙසිය බවට පත්ව සිට පසුව කතරගම දෙවියන් අතින් මරුමුවට පත් වූවාය. එම දෙවියන් විසින් ඇයට ඇම්බැක්කේ දේවාලය ඇතුළත මැටියෙන් නිමවා සායම් කළ කළ කතරගම දෙව්රුව මයුරාසනාරූඩ කර තැන්පත් කර ඇත. සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ පිළිමයක් උඩහේවාහැට, රහතුන්ගොඩ, වෑගම රජමහා විහාරයෙහි දක්නට ලැබේ.


"පවර සෙනකඳ බිසෝ බණ්ඩර අදහසින් යන දේවි ‍දේවී

කතරගම සුරිඳුන්ගෙන් ලැබ ගෙන ඇම්බැක්කෙ දේවාල පදවී

නිතර ලෙව් සතහට ද පිහිටව නොයෙක් උවදුරු රෝග දුරුවී

අතර ලක මුළු තෙද'ණසක යස රැසින් අළු කර බැබළවී "


යන කාව්‍යයෙන් ද සෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය හා ඇම්බැක්කේ දෙවොල අතර තිබෙන සබඳතාවය පැහැදිලි කෙරේ. ඇම්බැක්කේ දේවාල‍යේ අදිකාරම් ධූරය දරන ලද තැනැත්තා හඳුන්වන ලද්දේ 'දේවතා බණ්ඩාර' ලෙසිනි. මෙම දේවතා බණ්ඩාර උදෙසා ඇම්බැක්කේ දේවාල භූමියෙහිම පල්ලේ දේවාලය පිහිටුවා ඇත. මෙහි අඩි 5ක් පමණ උස ඇති, සායම් ගා වර්ණවත් කළ දේවතා බණ්ඩාරගේ දැවමුවා ප්‍රතිමාවක් ඇත. ඇම්බැක්කේ වර්ණනාව කාව්‍ය මෙන්ම දේවතා බණ්ඩාර කවි වලින් ද මෙම දේවතා බණ්ඩාර පිළිබඳව හඳුන්වා ඇත.

"දෙවියන් සැමටම සැල කර වැන්ඳූ

-දේවතා බණ්ඩර දෙවි මිස ඇද්දූ "

(ඇම්බැක්කේ දේවතා බණ්ඩාර කවි)

ගෘහ නිර්මාණ ශිල්පය

[සංස්කරණය]

ගම්පල යුගයේ ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ ප්‍රෞඩත්වය විදහාලීමෙහි ලා සැලකෙන වැදගත් කෘතියක් ලෙසින් ඇම්බැක්කේ දේවාලය හැඳින්විය හැක. මෙම යුගයේ ඉදි වූ සෙසු දැව කර්මාන්තයන් පරයමින් වැජ‍ඹෙන්නකි. මහනුවර කාලයට අයත් කෘතීන් අතර වුවද මේ තරම් සීග්‍ර දැව කර්මාන්තයක් සොයාගත නොහැකි වනුයේ එහි ගෘහ නිර්මාණයේදී භාවිතය වී තිබෙන මා හැඟි ලී කැටයම් නිසාය.

පුරාණ විහාර සිතියමක භූමි සැලැස්ම පිළියෙල කිරීමේදී බොහෝ විට විහාර ගෙයට නුදුරින් දේවාලයක් ද ඉදිකිරීම චිරාගත සම්ප්‍රදායකි. නමුත් මෙහි ප්‍රමුඛව දක්නට ඇත්තේ වැඳුම් පිදුම් සඳහා වූ එකම දේවාල ගොඩනැගිල්ලක් පමණි. ඒ අනුව ර්ට්ටාගේ(දිග්ගෙය), විහාර ගෙය සහ දේවාලය යන අංග තුනකින් සමන්විතය.

මහා දේවාලය

[සංස්කරණය]

මැද පිහිටි මහා දේවාලය හෙවත් වැඩ සිටින මාළිගය ලෙසින් හැඳින්වෙන ගර්භගෘහය දෙමහල් වන සේ තනා ඇත. මුදුන් වහලය පියස්සකින් සෙවෙනි වෙයි. පහත මාලයේ බිත්ති ආවරණය වීම සඳහා සතර පැත්තෙන් පියසි කොන් යොදා ඇත. පහත මාලයෙන් මුදුන් මාලය වෙන් කෙරෙනුයේ ලොකු දාදු කැටයක් මත ඊට ප්‍රමාණයෙන් කුඩා වූ දාදු කැටයක් තැබූ ආකාරයෙනි. මුදුන් මහලේ බිත්ති සතර වටා ඉදිවූ කණු මත මුදුන් පියස්ස නංවනු ලැබීය. සතර වටේට දේවරූප සතරක් සවි කළ කොතක් මුදුන් පියස්ස මත රැඳවිණි.

දිග්ගෙය

[සංස්කරණය]

දිග්ගෙය,හේවිසි මඩුව යන නමින්ද හඳුන්වනු ලැබේ.හුණු මැටියෙන් කළ දෙව් මැදුරට යාබදව මෙම දැව කණු ශාලාව පිහිටා ඇත.මෙම දෙවොල ලී කැටයම් අතින් පමණක් නොව ලීයෙන් කළ දේවාලයේ පියස්ස විශ්වකර්ම නිර්මාණයක් සේ සළකා එහි අගය දෙගුණ තෙගුණ විය. ඉක්මනින් වැසිදිය බැස යන සේ තැනූ යමහි වහල සෙවිලි කිරීමට භාවිතා කර තිබෙනුයේ "පෙති උළු" නමින් හැඳින්වෙන විශේෂ උළු වර්ගයකි.වේයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙම දිග්ගෙය අඩි දෙකහමාරක් පමණ උස් වූ අඩිතාලමක් මත තනා ඇත. මෙහි කැටයම් කණු 32ක් වෙයි.

ඇම්බැක්කේ දේවාලයේ කණු සඳහා යොදා ගෙන ඇත්තේ ඉතාම දුර්ලභ ලී වර්ගයක් වන 'ගම්මාලු' ලී වර්ගයයි. මෙහි කුළුණු විවිධාකාර කැටයම්වලින් අලංකාර කර තිබේ. කුළුණු හිසෙහි මුතුදැල් මෝස්තරයක් ද, කුළුණු පාද අටපට්ටම් හෝ චතුරශ්‍රය පෙන්වන තැන නාගබන්ධන හෝ ගැටලියපත් මෝස්තරය හඳුනාගත හැකිය. ඇම්බැක්කේ හේවිසි මඩුවෙහි පේකඩ මත නැංවූ තලාඳ වලද කැටයම් වැලකි.

වාහල්කඩ

[සංස්කරණය]

දිග්ගෙයට මඳක් ඈතින් පිහිටා ඇති මෙය එක් මඬුලු සෙවෙණිය සහිත සිව්රැස් වාහල්කඩකි. මෙම වාහල්කඩ චතුරශ්‍රාකාර හැඩයකින් යුතු ගොඩනැගිල්ලකි. මනහර කැටයමින් විභූෂිතදැවකණුදහයක් මත තනා ඇති මෙම වාහල්කඩයේ පියස්ස ඇතුළුව මුදුන් වහල කේතු ආකාර හැඩයෙන් යුක්තය. මෙහිද දිග්ගෙයෙහි මෙන් ඉක්මනින් වැසි දිය බැස යන ආකාරයෙන් වහල තනා ඇති අතර වහල සෙවිලි කිරීමට පෙති උළුභාවිතා කර තිබේ.

වෙනත් ගොඩනැගිලි

[සංස්කරණය]

ඇම්බැක්කේ දේවාලයෙහි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව අධ්‍යනය කිරීමේදී ඉහතින් දැක්වූ ප්‍රධාන ගොඩනැගිලිවලට අමතරව වෙනත් ගොඩනැගිලි කිහිපයක් ද වෙයි.

  • පල්ලේ දේවාලය
  • විහාර ගෘහය හෙවත් බුදු ගෙය
  • වී අටුව නොහොත් අටු මඩුව
  • මුළුතැන් ගෙය
  • අම්බලම

ඇම්බැක්කේ ලී කැටයම්

[සංස්කරණය]

ඇම්බැක්කේ දේවාලය කලාකාමීන්ගේ අමන්දානන්දයට ළක් වී තිබෙන්නේ එහි ඇති ලී කැටයම් නිසාය. ප්‍රධාන දේවාලයේ ඇති කණු දෙතිසත්, වාහල්කඩයේ කණු දහයත් අනෙකුත් ගොඩනැගිලිවල කණු සහ ගල් ටැම් ආදිය සරසා ඇත්තේ ලක්දිව අන් කිසිදු තැනෙක දක්නට නොලැබෙන තරමේ කැටයම් වලිනි. ඇම්බැක්කේ දේවාල නැටයම් ශිල්පියා ලෙස විශ්වාස නෙරෙන්නේ "දෙල්මඩ මූලාචාරීන්ය".

කැටයම් පුවරුව

[සංස්කරණය]
  • වෘෂභ කුඤ්ඡරය
  • කිඳුරු කින්නර කැටයම
  • ගජසිංහ
  • සැරපේඬියා
  • ඇත්කඳ ලිහිණියා
  • නයි පූට්ටුව
  • මකර
  • භේරුණ්ඩ පක්ෂියා
  • අශ්වාරෝහක
  • මල් වර්ග
  • වෘක්ෂලතා
  • ජ්‍යාමිතික රූප
  • මල්ලව පොරය
  • කිඹිසි මුහුණ
  • ලී කෙළි ක්‍රීඩාව
  • ඔළිඳ කොළම්බ

මෙම කැටයම් වල මූලික ලක්ෂණ අනුව ඒවා චිරාගත සිංහල ඌරුවට නෙලූ බවක් පෙනී යයි. ඇම්බැක්කේ දේවාල ලී කැටයම් යනු හෙළ කලා කරුවා සතු උසස් කලා කර්මාන්ත නෛපුණ්‍ය, කලා කෞෂල්‍යයත් මනාව විදහා දක්වන උත්කෘෂ්ට දේශීය කලා කෘතියකි.

පින්තූර ගැලරිය

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Gazette 1586 23 January 2009, පිටු අංකය: 109.
  2. ^ "Embekke Devalaya – ඇම්බැක්කේ දේවාලය". AmazingLanka.com. සම්ප්‍රවේශය 2022-09-29.

ආශ්‍රිත ග්‍රන්ථ

[සංස්කරණය]
  • මුදියන්සේ නන්දසේන:ඇම්බැක්කේ වර්ණනාව සහ වෙනත් ලිපි
  • මද්දුමාගේ මිල්ටන්:චිත්‍ර කලා අධ්‍යනය

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඇම්බැක්කේ_දේවාලය&oldid=591399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි