අහ්මෝස් ඉන්හාපි

විකිපීඩියා වෙතින්
(අහ්මෝස්-ඉන්හපි වෙතින් යළි-යොමු කරන ලදි)
අහ්මෝස් ඉන්හාපි රූපාක්ෂර වලින්
iaH
ms
iniHa
p Z4
N36

අහ්මෝස් ඉන්හාපි
Jꜥḥ ms Jnḥꜥpj
අහ්මෝස් හෙනුට්ටමෙහු සහ අහ්මෝස් ඉන්හාපි යැයි සිතිය හැකි රාජකීය ආර්යාවකගේ රුවක්

අහ්මෝස්-ඉන්හැපි හෙවත් අහ්මෝස්-ඉන්හාපි (මැස්පරෝ විසින් අන්හාපෝව් ලෙස දක්වයි) යුනවේන හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පසුකාලීන 17වන රාජවංශයේ සහ මුල්කාලීන 18වන රාජවංශයේ විසූ කුමරියක මෙන්ම රැජිනකි.

දිවිය[සංස්කරණය]

ඇය පාරාවෝ සෙනඛ්ටෙන්රේගේ දියණියක යැයි සැලකේ. එසේම ඇය සෙකෙනෙන්රේ ටාඕ පාරාවෝවරයාගේත්, සහ ආහොටෙප් සහ සිට්ඩ්ජෙහුටි රැජිනියන්ගේ සොයුරිය ද වූවා ය. ඇය සෙකෙනෙන්රේ ටාඕ සමග විවාහ වන්නට ඇතැයි පැවසේ.[1][2] නමුත් ඇය Iවන අහ්මෝස්ගේ පසුකාලීන සමයේ (හෝ Iවන අමෙන්හොටෙප්ගේ සමයේ) පවා ජීවත්ව සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.[3]

ඇයට අහ්මෝස්-හෙනුට්ටමෙහු යනුවෙන් දියණියක විය. අහ්මෝස් ඉන්හාපි පිළිබඳ ඇගේ දියණිය වූ අහ්මෝස්-හෙනුට්ටමෙහුගේ මළවුන්ගේ පුස්තකයේ පිටපතක සහ අමනෙම්හට්ගේ සොහොන්ගැබේ (TT53) සඳහන් වේ. ඇගේ පදවි නාමයන් අතර රජුගේ භාර්යාව" සහ "රජුගේ දියණිය" යන නාමයන් පැවතිණි.[2]

මරණය සහ භූමදානය[සංස්කරණය]

අහ්මෝස්-ඉන්හාපිගේ මමිය

ඉන්හාපි වෙනුවෙන් ඉදිකළ සොහොන්ගැබ තීබ්සයේ පිහිටා තිබිණි. ඇගේ මමිය පසුකලෙක DB320 සොහොන්ගැබෙහි භූමදානය කෙරිණි. 1881දී එය සොයාගන්නා ලදුව, වර්තමානයේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.[2]

මෙම මමිය හමුවූයේ ඉන්හාපිගේ ලේලිය වූ අහ්මෝස්-නෙෆටාරි රැජිනගේ කිරිමව වූ රායි ආර්යාවගේ බාහිර මිනීපෙට්ටිය තුළ තිබී ය. 1886 ජූනි 26 දින ගැස්ටන් මැස්පරෝ විසින් එය විවෘත කළ අතර, පසුව ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් විසින් එය පරීක්ෂා කරන ලදී. ස්මිත් පවසා ඇත්තේ ඉන්හාපි දැවැන්ත, ශක්තිමත් කාන්තාවක වූ බවත්, ඇය ඇගේ සොයුරාට බෙහෙවින් සමානත්වයක් දැක්වූ බවත් ය.ස්මිත් පවසන්නේ ඇගේ භූමදානය Iවන අහ්මෝස්ගේ අවසන් දිනවල සිදුවූ බවයි. මෙම මමියේ ගෙල වටා මල් මාලාවක් පැවතිණි. දේහයේ දෑත් පසෙකින් පිහිටුවා තිබූ අතර, මමියේ සම තද දුඹුරු පැහැති විය. සමේ පිටත ස්තරය තවමත් පවතින අතර, එහි ලවණ භාවිතය පිළිබඳ කිසිදු සාධකයක් හමු නොවිණි. ඉන් හැඟවෙන්නේ මෙම මමිය හෙරඩෝටස්, ඩියඩෝරස් ආදීන් පැවසූ පරිදි නේට්‍රන් ද්‍රාවණයක ගිල්වා තබා නොමැති බවයි. සිරුරේ වම් පෙදෙසේ සිදුකළ කැපුමකින්, අවයව ඉවත් කොට ඇති අතර ඇතුළු කුහරය නේට්‍රන්වලින් පිරියම් කරන්නට ඇත. දේහයට ඇරෝමැටික දැව කුඩු තවරා ඇති අතර, රෙසිනයකින් පෙඟවූ ලිනන් රෙදිවලින් එය ඔතා ඇත.[4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ටිල්ඩෙස්ලි, ජොයිස්. ක්රෝනිකල් ඔෆ් ද ක්වීන්ස් ඔ‍ෆ් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2006. පි. 79, 82 ISBN 0-500-05145-3
  2. 2.0 2.1 2.2 ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්. ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. ISBN 0-500-05128-3
  3. ග්‍රැජෙට්ස්කි, ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්වීන්ස්: අ හයිරොග්ලිෆික් ඩික්ෂනරි, ගෝල්ඩන් හවුස් පබ්ලිකේෂන්ස්, ලනඩන්, 2005, ISBN 978-0-9547218-9-3
  4. ඊ. ජී. ස්මිත්; Catalogue General Antiquites Egyptiennes du Musee du Caire: ද රෝයල් මමීස්, කයිරෝ, 1912; සම්ප්‍රවේෂණය චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය
"https://si.wikipedia.org/w/index.php?title=අහ්මෝස්_ඉන්හාපි&oldid=389487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි