අනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අනුරාධපුරයට යමු

අනුරාධපුර යුගය ලංකාව‍වේ පළමු රාජධනි අවධියයි.විජය ඇතුලු පිරිසගේ සංක්‍රමනයත්,ඔවුන් ලංකාවේ ජනාවාස පිහිටුවා ගැනීමත් යන සාධක ඔස්සේ අනුරාධපුර රාජධානියේ ආරම්භය සනිටුහන් වේ.අනුරාධපුර රාජධානියේ උන්නතියට දිරි දුන් ප්‍රබලතම සාධකය ලෙස ප්‍රදේශය පුරා විහිදීගිය අතිවිශාල වාරි පද්ධතිය හැදින්විය හැකිය.ඒ සදහා යොදායනු ලැබූ විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම හේතුවෙන් මෙම යුගයේ වාරිකර්මාන්තය විදෙස් රටවල් පවා මවිතයට පත් කොට ඇත.එවන් අති විශාල උරුමයක් වූ අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තය පිළිබඳව මෙම ලිපිය තුළින් විමසා බලනු ලැබේ.

වාරිකර්මාන්තයක අවශ්‍යතාව[සංස්කරණය]

Faddy1.jpg

.

Paddy6.jpg

ලංකාවට පැමිනි මුල්ම සංක්‍රමනිකයින් ඔවුන්ට හුරු පුරුදු ජිවන වෘත්තිය වූ වී ගොවිතැන ප්‍රධාන කොටගත් කෘෂිකාර්මිකදිවිපෙවෙත ලක්දිව තුළදිද එලෙසම පවත්වාගෙන යනු ලැබීය.ඒ සඳහා ඔවුන් ලංකාවේ ගංඟානිම්න ප්‍රදේශ සිය වාස භූමි ලෙස තෝරාගනු ලැබිණ.විශේෂයෙන්ම ලංකාවේ උතුරු ප්‍රදේශ වී ගොවිතැනට වඩාත් සුදුසු දේශගුණයෙන්ද,එයටම ආවේනික තැනිතලා භූමියකින්ද යුක්ත වූ හෙයින් කෘෂිකාර්මික කටයුතු වඩාත් හොදින් පවත්වාගෙන යාම සඳහා ඉතා යෝග්‍ය විය.විජයගෙන් ඇරඹි අනුරාධපුර රාජධානිය ක්‍රමයෙන් වර්ධනය වත්ම එහි විසූ සියලුම වැසියන් පාහේ කෘෂිකාර්මික දිවි පෙවෙතකට අනුව හැඩගැසීම හේතුවෙන්ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය නිසි කළට වේලාවට ලබාදීමේ අවශ්‍යතාවය මත ක්‍රමවත් ලෙස සැකසූ වාරි පද්ධතියක අවශ්‍යතාවය මතුවිය.එම අභියෝගය ජය ගැනීම අරමුණ කොට ගනිමින් අනුරාධපුරයේ බලයට පත්වූ සෑම රජෙකුම පාහේ වාරිකර්මාන්ත කටයුතු සඳහා කැපවී ක්‍රියා කළ බව පෙනෙයි.

පාලකයින්ගේ දායකත්වය[සංස්කරණය]

පණ්ඩුකාභය රජ සමය[සංස්කරණය]

මහාවංසයට අනුව මෙම රජු ක්‍රි.පූ.437 දී ප්‍රථම වරට අනුරාධපුර රාජධානිය පිහිටුවා ගත් අතර වසර 70ක් පමණ අනුරාධපුරය අගනුවර කොට ගනිමින් ලක්දිව පාලනය කළහ.මොහු අනුරාධපරයේ වාරිකර්මාන්තයේ ආරම්භක රජු ලෙස සලකන අතර මොහු විසින් වැව් 3ක් කළ බව මහාවංසයේ දැක්වේ.ඒවා ලෙස

  • අභය වැව
  • ජය වැව
  • ගාමිණී වැව

හදුන්වා දිය හැකිය.

දෙවනපෑතිස් රජ සමය[සංස්කරණය]

තිසා වැව

මෙම රජුගේ රාජ්‍ය කාලය ක්‍රි.පු.307-267 දක්වා වන අතර බුදු දහම ලක්දිවට ගෙන එනු ලැබුවේ මෙම රජුගේ පාලන සමය තුළදීය.මොහු ඉතා ප්‍රසිද්ධව ඇත්තේ වෙහෙර විහාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන අතර අනුරාධපුරයේ ඉසුරැමුණියට නුදුරින් පිහිටි සප්‍රසිද්ධ තිසා වැව මෙම රජුගේ නිර්මානයක් ලෙස සැලකේ.

දුටුගැමුණු රජ සමය[සංස්කරණය]

මෙම රජුගේ සමය තුළ ලංකාවේ වාරිකර්මාන්තය සම්බන්ධයෙන් අතිවිශාල දියුණුවක් දක්නට නොලැබුනත් යම්තාක් දුරකට හෝ සොයා බැලූබව සදහන් වේ.මොහු විසින් නැගෙනහිර පළාතේ වී ගොවිතැන පිළිබඳ සොයා බැලීම සඳහා සොහොයුරු වූ සද්ධාතිස්ස කුමරු දීඝවාපියට යවන ලද බව සඳහන් වේ.මෙයින් පෙනියනුයේ මෙම යුගයේදී රජවරුන් පෞද්ගලිකවම වාරිකටයුතු පිළිබඳ සොයා බැලූ බවයි.

සද්ධාතිස්ස රජ සමය[සංස්කරණය]

දුටුගැමුනු රජුගෙන් පසුව අනුරාධපුරය සිංහාසනය කොටගත් සද්ධාතිස්ස රජු වැව් 12ක් කළ බව පූජාවලියෙහි දැක්වේ.එහෙත් රාජාවලියෙහි දැක්වෙනුයේ මොහු විසින් වැව් 18ක් කළ බවයි.කෙසේ වෙතත් මෙම රජු කුඩා වැව් විශාල ප්‍රමාණයක් කළ බවට සාක්ෂි හමුවේ.මොහු රුහණු ජනපදය පාලනය කරන සමයේදී මඩකළපුවේ දිගාවැව ආදී වැව් කිහිපයක් තැනූ බවද වංශකතාවල සඳහන් වේ.

වසභ රජ සමය[සංස්කරණය]

මෙම රජුගේ යුගයේ ඉදිවූ වැව් පෙරට වඩා තරමක විශාල ඒවා විය.වැඩිවන ජනගහනයට සරිලන ස්වයංපෝෂිත ආර්ථිකයක් උදෙසාම ඒවා නිර්මාණය කළ බව පෙනෙයි.මෙම රජුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව.66-110 දක්වා වන අතර මහා වැව් තැනීමේ ආරම්භක රජු ලෙස සලනනුයේ මොහුය.මොහු විසින් වැව් 12ක් කළ බව මහාවංසයේ සඳහන් වේ.මේවායින් දැන‍ට හදුනාගෙන ඇත්තේ වැව් කිහිපයකි.ඒවා ලෙස,

  • මහවිලච්චිය වැව මානන්කැටිය වැව
  • කලිය වැව
  • නොච්ච්යාගම වැව
  • කොලොම්ගල වැව
  • අක්වඩුන්න වැව
  • මහාපත්පහත් වැව
  • නොච්චිපොතාන වැව
  • රතුපුල වැව
  • කොහාල වැව
  • මහරන්මෙන්ති වැව
  • මානන්කැටිය වැව

ආදිය හදුනාගෙන ඇත.මෙම වැව් මුල් කාලීන වැව වලට සාපේක්ෂව විශාල ඒවා විය.මොහු විසින් වැව් වලට අමතරව ඇළ මාර්ග 12ක් කල බවද මූලාශ්‍රයන්හි දැක්වේ.එයින් ප්‍රධාබත්වයෙහි ලා සලකනු ලබනුයේ අලිසාර ඇළ හෙවත් ඇලහැර ඇළය.ඇලහැර අසලදී අඹන් ගඟ හරහා බඳින ලද වේල්ලෙන් ආරම්බ වන මෙම ඇළ මාර්ගය කිලෝමීටර් 48ක් පමණ දුර ගෙවා කිරි ඔයෙන් අවසන් වන්නට ඇතැයි සැලකේ.එසේම මෙම රජුගේ සමයේදී උම්මග්ග ජල මාතිකා හෙවත් උමං ජල මාර්ග ද තැනූ බවට සාධක හමුවේ.අනුරාධපුරයේ රන්මසු උයනේ පොකුනු වලට තිසා වැවෙන් ජලය ගෙනයනු ලැබූ එබඳු උමංජල මාර්ග සොයායෙන තිබීම මීට නිදසුන්ය.

මහසෙන් රජ සමය[සංස්කරණය]

වසභ රජුගෙන් පසු වාරිකර්මාන්තයේ වැදගත් අවදියක් ලෙස මහසෙන් රජ සමය හැදින්විය හැකිය.මොහුගේ රාජ්‍ය කාලය වසර 27ක් වු අතර මෙකළ පැවති සාමකාමී දේශපාලන වාතාවරණය ඒ සඳහා මනා පිටුවහලක් වන්නට ඇත.මොහු විසින් කරවන ලද වාරි කටයුතු අතර වැව් 16ක් ද විශාල ඇළක්ද ප්‍රධාන වේ.ඒවා අතරින් හඳුනාගත් වැව් කිහිපයක් ලෙස,

  • මින්නේරිය වැව
  • කණදරා වැව
  • කවුඩුල්ල වැව
  • මහගල්කඩවල වැව
  • හුලුගල්ල වැව
  • හිරාමුල්ල වැව
  • හුරුළු වැව
  • මාමිණියා වැව
  • මාගල් වැව
  • කළවාණ වැව
  • මෙරවාපිය වැව
  • පබ්බතන්ත ඇළ
Mg1.jpg

ආදිය දැක්විය හැකිය.මෙම රජු අඹන් ගඟ හරහා වේල්ලක් බැද තල්වතු ඇළෙන් මින්නේරි වැවට ජලය ගෙනයන ලදැයි සැලකේ.මහසෙන් රජුගේ මින්නේරි ව්‍යාපාරයට පදනම වැටුනේද වසභ රජු ඉදිකළ ඇළහැර ඇළ නිසාය.මෙම ඇළහැර මින්නේරි ව්‍යාපාරය වාරිමාර්ග ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ලෙසද සැලකේ.ඒ නිසා මහසෙන් රජු අදත් හත්රජ්ජුරුබණ්ඩාර නමින් දේවත්වයෙහි ලා සලකනු ලබයි.මහවැලි ගඟෙන් ආරම්භ වන පබ්බතන්ත ඇළද මහසෙන් රජු විසින්ම කරන ලද්දක් බව සැලකේ.

ධාතුසේන රජ සමය[සංස්කරණය]

කලාවැව

මින්නේරිය වැව හා මහසෙන් රජුගේ නාමය බැදී පවතිනවා සේම ධාතුසේබ රජුගේ නාමය සමග කලා වැවද බැදී පවතී.ක්‍රි.ව.459-471 කාලය තුළ මෙම රජු අනුරාධපුරය අගනුවර කරගත්හ.මෙම රජුගේ විශිෂ්ටතම නිර්මානය ලෙස සලකනු ලබන්නේ කලා වැව ඉදිකිරීමය.කලා වැවේ සිට තිසා වැව දක්වා ජලය ගෙන යන ජය ගඟ හෙවත් යෝධ ඇළ ආරම්භ කළේද මෙම රජු බවට පිළිගැනේ.මෙලෙස ජය ගඟ ඔස්සේ තිසා වැවට අතිරේක ජලය ලබා දෙමින් තිසා වැවේ ජල ධාරිතාව වැඩිකොට,අස්වද්දනු ලැබූ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජල සැපයුම නිසි පරිදි ඉටු කරනු ලැබීය.මෙම රජු වැව් 18ක් කළ බව මහාවංශයේ සදහන් වේ.මෙයින් හදුනාගෙන ඇත්තේ වැව් කිහිපයකි. ඒවා ලෙස,

  • මාදතුගම වැව
  • යෝධ වැව
  • මාඑළිය වැව
  • පානන්කාමකුලම වැව
  • මැද්දකැටිය වැව


කලාවැව

දැක්විය හැකිය.රජරට විශාල වැව් වලට වඩා වෙනස් ආකෘතියක් ගත් යෝධ වැවේ බැම්ම සකසනු ලැබුවේ චාප හැඩයටය.මේ අනුව අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තයේ උන්නතිය සම්බන්ධයෙන් ධාතුසේන රජු විශාල මෙහෙයක් කරඇති බව පැහැදිලි වේ.

වැව් බද්ද[සංස්කරණය]

වැව් අමුණු සම්බන්ධව අයකරන ලද විවිධ බදු හා බදු තනතුරු පිලිබඳවද මූලාශ්‍ර මගින් හා ශිලාලේඛන මගින් සාධක සොයා ගත හැකිය.ඒ අනුව,

  • ඉඩම් හිමියාගේ ආදායම-බොජියපති
  • ජලයෙන් ලැබෙන ආදායම-දකපති
  • මාළුවලින් ගැබෙන ආදායම-මහාපති

යනුවෙන්ද දක්වා ඇත.මේ කාලය වන විට ලංකාවේ වාරි කර්මාන්තය සංවිධානාත්මක පදනමක පිහිටා තිබූ බව පැහැදිලි වේ.

වාරිකර්මාන්තයේ විශිෂ්ටත්වය[සංස්කරණය]

සරුසාර කෘෂිකර්මාන්තය

ලංකාවේ මුල්ම රාජධානිය වන අනුරාධපුර රාජධානිය තුළ බලයට පත්වූ සෑම පාලකයකුම පාෙහ් වාරිකර්මාන්තය පිළිබද ඉතා වැඩි අවධානයක් යොමු කරන ලද බව ඉහත සඳහන් වාරි කටයුතු මගින් සනාත වේ.වියළි කලාපීය වී ගොවිතැන ප්‍රධාන කොටගත්කෘෂිකාර්මික අර්ථ ක්‍රමයක් සහිත රටක් වශයෙන් මුල් කාලයේ සිටම ඒ සඳහා අවශ්‍ය ජල ප්‍රවාහන පද්ධතීන් සැපයීම රජයේ පූර්ණ වගකීමද විය.එමනිසා බලයට පත්වූ සෑම පාලකයකුම පාහේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමට දිරි දීමක් වශයෙන් මෙම අතිවිශාල වාරිමාර්ග පද්ධතීන් බිහි කළ බව පෙනේ.විශේෂයෙන්ම ඉන්දියානු ආභාෂය ලද ඉතා දියුණු තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් ,ඉන්දීය ආභාශය ලැබුවද ඇතැම් විට ඔවුන්ටත් වඩා ශිල්පඥානය භාවිත කරමින් ලාංකිය වාරිශිල්පීන් අතිවිශිෂ්ට අන්දමින් සිය දක්ෂතාවයන් විදහාපෑමට සමත් වී ඇත.උදාහරණ ලෙස ඇලඑැර ඇළෙහි පූර්ණ දිග ප්‍රමාණය සැතපුම් 95 ක් බව දැනට සොයා ගෙන ඇත.එසේම පබ්බතන්ත ඇළ දිගින් සැතපුම් 20 ක්ද මිණිපේ ඇළ සැතපුම් 17 ක්ද දිගින් යුතු වන බව මේ වන විට පුරාවිද්‍යාත්මක සාධක මගින් සොයා ගෙන ඇත.එසේම ඉතා වාශාෂ්ට නිර්මාණයක් වන කලා වැවේ සිට තිසා වැව දක්වා ජලය ගෙයන "ජය ගඟ" ‍හෙවත් "යෝධ ඇළ" දිගින් සැතපුම් 54ක් වන බව ගනන් බලා ඇත.මේ සඳහා භාවිතා කරනු ලැබූ අතිවිශිෂ්ට ශිල්ප ක්‍රමය විදේශීය ඉංජිනේරුවන් පවා මවිතයට පත්කිරීමට සමත්ව ඇත.

WorkerPaddyField.jpg
Paddy4.jpg
Paddy5.jpg

මේ අනුව පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තය ඉතා විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කරමින් ගොඩනංවා ඇතිබව පැහැදිලි වේ.එසේම පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ ලක්දිව ප්‍රචලිත වීමටත් කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත අර්ථක්‍රමයක් ගොඩනගා ගැනීමටත් මෙම වාරිපද්ධතිය බෙහෙවින්ම ඉවහල් වී ඇති බව නිගමනය කළ හැකිය. වර්ථමානයේ පවා වියලිකලාපීය කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම වාරිපද්ධතීන් මගින් ලැබෙන පිටුවහල අතිවිශාල වෙයි.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • ශ්‍රී සුමංගල හිමි,බටුවන්තුඩාවේ දේවරක්ෂිත;සිංහල මහාවංසය
  • බස්නායක එච්.ටී;ලංකාවේ පුරාණ ජල ශිෂ්ටාචාරය
  • කුමාරතුංග ඩී.ජී;ශ්‍රී ලංකාවේ ඉතිහාසය I
  • මැන්දිස් ජී.සී;ලංකා ඉතිහාසය(පූර්ව භාගය)
  • සිරිවීර ඉන්ද්‍රකීර්ති;රජරට ශිෂ්ටාචාරය හා නිරිතදිග රාජධානි

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

සබැඳි පිටු[සංස්කරණය]