අන්නාසි වගාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
Ghana pineapple field.jpg

හැදින්වීම[සංස්කරණය]

Ananas comosus dsc07804.jpg

අනනාස් කොමොසස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අන්නාසි බ්‍රොමිලියේසි කුලයට අයත්වේ.මෙහි නිජබිම බ්‍රසීලයයි. ඉදවා අළුත් පළතුරක් ලෙසද ටින්වල අසුරනලද පළතුරක් ලෙස ජෑම් හාකෝඩියල් ආකාරයටද අන්නාසි ආහාරයට ගනුලැබේ. අන්නාසි ඵලයේ හා පත්‍රවල යුෂයෙහි පණුනාශකහැකියාව ඇතිඅතර තවද ඵලයේ ඇති බ්‍රොමිලින් නම් එන්සයිමය නිසා ආහාර දිරවීම පහසුකිරීම මෙහි ඖෂධීයමය ගුණ ලෙස හඳුනාගතහැක. චීනය,පිලිපීනය වැනි රටවල අන්නාසි පත්‍රවලින් ලබාගන්නා කෙඳි රෙදිපිළි නිෂ්පාදනයට ගනුලැබේ. තවද විනාකිරි කර්මාන්තය සඳහා ද අන්නාසි උපයෝගීකරගනුලැබේ.

අන්නාසි වගාවේ දේශගුණික අවශ්‍යතා[සංස්කරණය]

  • වර්ශාපතනය - වර්ෂයකට මිලිමීටර්. 1500 – 3000 පමණ.
  • උෂ්ණත්වය - සෙන්ටිග්‍රේට් අංශක 24– 32 පමණ.


අන්නාසි වගාබිමෙහි පසෙහි ස්වභාවය[සංස්කරණය]

  • වගාවට සුදුසු වන්නේ වැලි සහිත ලෝම පසකි.
  • මැටි හෝ හුණු අධික පස් වගාවට නුසුදුසුය.
  • හොඳින් පසේ ජලය බැසයාම වගාව සාර්ථකවීමට වැදගත්ය.
  • පසෙහි පී.එච්. අගය 5.5 – 6 වීම වඩාත් සුදුසුය.


අන්නාසි ප්‍රබේද[සංස්කරණය]

ප්‍රධාන ව‍ශයෙන් වගාකරන ප්‍රබේද දෙකක් ඇත.

  • මුරුසි ප්‍රබේදය

ඉදවා අළුත් පළතුරක් ලෙස වැඩිවශයෙන් පරිබෝජනයකරයි.හොඳින් ඉදුණු ගෙඩියෙන් සුවඳක් හමයි.මාංශලය තද කහ වර්ණයෙන් යුතු අතර ඉතා පැණිරසය.හොඳින් වැඩුණු ගෙඩියක් කිලෝ එකහමාරක් පමණ බරය.මේ ප්‍රබේදයේ පත්‍ර කටු සහිතය.මේ ගසකින් මොරෙයියන් වැඩිප්‍රමාණයක්ද ලබාගත හැක.


  • කිව් ප්‍රබේදය
Pineapple and cross section.jpg






මේ ප්‍රබේදය ටින්වල ඇසිරීම සඳහා ගනුලබයි.කිව් ප්‍රබේදය මුරුසි ප්‍රබේදය තරම් පැණිරස නැත.තරමක් ඇඹුල් රසැතිය.මාංශලය සුදු පාටට හුරු ලාකහ පැහැතිය.ඉතා වැඩි යුෂ ප්‍රමාණයක් ඇත.ගෙඩියක් කිලෝ එකහමාරේ සිට කිලෝ තුන පමණ දක්වා වැඩේ.පත්‍රවල කටු අඩු අතර මොරෙයියන් හටගැනීමද අඩුය.

අන්නාසි වගාවේ රෝපණ ද්‍රව්‍ය[සංස්කරණය]

රෝපණ ද්‍රව්‍ය ලෙස විවිධාකාරයේ මොරෙය්යන් වර්ග භාවිතාකළ හැකිය.

Young Pineapple Plant.jpg


  • කරඬුව = ගෙඩිය මුදුනේ ඇති කොටස
  • නටුමොරෙයියන් = ගෙඩියේ නටුවෙන් මතුවන මොරෙයියන්
  • අක්ෂිමොරෙයියන් = පත්‍ර අතරින් මතුවන මොරෙයියන්
  • මුල්මොරෙයියන් = කඳ පාමුළින් මතුවන මොරෙයියන්

අන්නාසි වගාකිරීම[සංස්කරණය]

ක්ෂේත්‍රය සැකසීම[සංස්කරණය]

මූලික බිම් සැකසීම ලෙස ට්‍රැක්ටරයකින් පොළව හෑමෙන් පස මෘදුවසකසා දිග,පළල හා ගැඹුර සෙන්ටිමීටර 20 වන කානු සැකසිය යුතුය.බෑවුම් සහිත ඉඩමක නම් කානු දැමියයුත්තේ සමෝච්ච ක්‍රමයටය.කානු කැපීමේදී ඉවත්කරන පස්,බෑවුම ඇති දිසාවේ කුඩා වැටියක් සෑදෙන ආකාරයට දමන්න.

පැල සිටුවීම[සංස්කරණය]

  • දෙපේළි ක්‍රමය

සකස්කරගත් ක්ෂේත්‍රයේ කානු දිගේ සෙන්ටිමීටර 20 ක පරතරයෙන් මොරෙය්යන් කෙළින් සිටින පරිදි වැටියට හේත්තුකරන්න.වැටියට විරුද්ධ පැත්තෙන් පස් සූරාගෙන මොරෙය්යන්ගේ පාදස්ථ කොටසින් සෙන්ටිමීටර 10 -15 පමණ වැසෙන සේ පස් දැමියයුතුය.දෙපේළි ක්‍රමය යටතේ පේළි දෙක අතර පරතරය සෙන්ටිමීටර 60 වියයුතුය.

  • තනිපේළි ක්‍රමය

මෙම කමයට පැල සිටුවීමේදී පේළි තුළ පැල අතර පර‍තරය සෙන්ටිමීටර 30 වියයුතුය.තනිපේළි ක්‍රමයේදී පේළි දෙකක් අතර පරතරය මීටර දෙකක් වියයුතුය.

පොහොර යෙදීම[සංස්කරණය]

යූරියා, රොක්පොස්පේට්, මියුරියේට්ඔ‍ෆ්පොටෑෂ් භාවිතාකර සාදාගන්නා එන්.පී.කේ. 11-7-31 පොහොර මිශ්‍රණය අන්නාසි සඳහා නිර්දේශිතය.අන්නාසි සඳහා මූළික පොහොර යෙදීමක් නොකර සිටුවා මසකට පසු ඉහත සඳහන් මිශ්‍රණයෙන් එක පැලයකට ග්‍රෑම් 28 බැගින් යෙදියයුතුය.ඉන්පසු සෑම මාස 3-4 කට වරක් පසේ හොඳින් තෙතමනය ඇති විටදී ඉහත සඳහන් කළ පොහොර ප්‍රමාණයම දැමියයුතුය.පළමු වරට පොහොර යොදන විට පැල ආසන්නයේ පසට යොදන්න ඉන්පසු ගසේ පහළින් ඇති පත්‍ර අතරට පොහොර යොදන්න.ගසේ ගොබයට පොහොර වැටීමට ඉඩනොදෙන්න.


ජල සම්පාදනය[සංස්කරණය]

වර්ශාව නොමැති වියලි කාලවලදී මසකට වාර 6-7 දක්වා ජල සැපයුම මගින් හොඳ අස්වැන්නක් ලබාගතහැක.පසෙ තෙතමනය සුරැකීමට සෙන්ටිමීටර 20-30 පමණ ඝණකමට කොහුබත් හෝ වෙනත් සුදුසු වසුනක් පැල පේළි අතරට යෙදියයුතුය.


අන්නාසි වගාවේ වල් පැල මර්දනය[සංස්කරණය]

සුළුපරිමාන වගාවන්හි අන්නාසි පත්‍රවලට හානි නොවන සේ උදලුගෑමෙන් වල් මර්දනය කළහැක.වල් මර්දනයට රසායනික වල්නාශකද භාවිත කළහැක.ඩියුරෝන් 80% තෙත්කළහැකි කුඩකි.එය ග්‍රෑම් 2ක් ජලය ලීටර 180- 200 ක මිශ්‍රකර සිටුවා මාසයක් පමණ වූ වගා වල වල්පැල මර්දනයට යෙදියහැක.

අන්නාසි වගාවට වැළදෙන රෝග[සංස්කරණය]

  • ගොබය හෙවත් කරඩුව කුණුවීම
  • පාදස්ථය කුණුවීම හා මුල් කුණුවීම
  • ගෙඩි කුණුවීම
  • ගස් මැළවීම

රෝග ලක්ෂණ හා රෝග පාලනය[සංස්කරණය]

කරඬුව කුණුවීම හා පාදස්ථ, මුල් කුණුවීම[සංස්කරණය]

රෝග ලක්ෂණ සැළකීමේදී ගොබ කුණුවීම අළුත් වගාවල ඇතිවේ. ගොබයේ ළාබාල පත්‍ර පහසුවෙන් ගැලවී එයි. පාදස්ථ,මුල් කුණුවීමේදී පත්‍ර මැළවේ. ගස් පහසුවෙන් ගැලවී එයි. රෝග පැතිරීම රෝගකාරක දිලීර සහිත පස් හා රෝපණ ද්‍රව්‍ය මගින් සිදුවේ. රෝග පාලනය සඳහා නිරෝගී වගාවකින් මොරෙයියන් ගෙන පැල සිටුවීමට පෙර දිලීරනාශකයක් යොදා පූර්ව ප්‍රතිකාර කර සිටුවියයුතුය. වගා ඉඩමේ ජලවහනය දියුණු කළයුතුය. වර්ශාව අධික තෙත් කාළගුණයක් ඇති විට පැල නොසිටුවීම වැදගත්ය. පැල සිටුවීමේදී ගොබය තුලට පස් නොවැටීමට වගබලා ගතයුතුය. පවතින වගාවක ගොබ කුණුවීමට දලීරනාශකයක් වන මැන්කොසෙබ් 64% , මෙටලැක්සිල් 8% තෙත්කළහැකි කුඩු (රිඩොමිල්) පැලවල ගොබයට යොදන්න. පවතින වගාවක පාදස්ථ කුණුවීම හෝ මුල් කුණුවීම ඇති විට රෝගී ගස්වල පහතින් ඇති පත්‍ර කපා ඉවත්කර ඉහත දැක්වූ දිලීරනාශකයම ගසේ පාමුල සේදීයන සේ වත්කර ගස පාමුළට පස් දමන්න.එවිට අළුත් මුල් වැඩේ.

ගෙඩි කුණුවීම[සංස්කරණය]

රෝග ලක්ෂණ සැළකීමේදී දිලීරය ඇතුල්වී දින දෙකකට පමණ පසු නෙලාගත් ගෙඩියේ නටුව ක්‍රමයෙන් කළු පැහැවීමට පටන්ගනී. පසුව මේ කළුපැහැ වීම නටුව දිගේ ගෙඩිය තුළටද පැතිරේ.රෝග පාලනය කිරීමේදී හානි නොවන සේ ප්‍රවේශමෙන් නෙලාගත් ගෙඩි පිරිසිදු ස්ථානයක ගබඩාකළ යුතුය. රෝගය තදින් ඇත්නම් බෙනොමිල් 80% තෙත්කළහැකි කුඩු ග්‍රෑම් 100 ක් ජලය මිලිලීටර 100 ක දියකළ ද්‍රාවණයක ගෙඩිවල නටුවේ කැපුම්පෘෂ්ඨය ගිල්වා ඉවතට ගෙන ගබඩාකරන්න.

ගස් මැළවීම[සංස්කරණය]

රෝග ලක්ෂණ සැළකීමේදී රෝගය වැලඳුන ගස්වල පත්‍ර පළමුව රතුවී පසුව රෝස පාටවේ. මේ අවස්ථාවේදී දාරය දිගේ පත්‍රඇතුලට නැමේ.පත්‍ර මැළවුණු ස්වභාවයක් දිස්වේ.රෝගී ගස් ක්‍රමයෙන් මැරීයයි.අන්නාසි ගස් මැළවීම විවිධ හේතු නිසා සිදුවේ.එනම් පාදස්ථ කුණුවීම , මුල් කුණුවීම , පිටිමකුණා මගින් පැතිරෙන වෛරස් රෝගය නිසා ගස් මැළවීම.රෝග පාලනය කිරීමේදී වැදගත් වන්නේ නිරෝගී වගාවකින් ලබාගත් මොරෙයියන් පමණක් සිටුවීමය. පිටිමකුණා පාලනයකරගැනීමද අවශ්‍යවේ.


කෘතීමව මල් හටගැන්වීම[සංස්කරණය]

Ananas comosus 002.JPG




අවාරයේ අන්නාසි අස්වනු ලබාගැනීම මෙහි අරමුණවේ. මේ සඳහා එතිෆෝන්, ඉන්ඩෝල්, ඇසිටික් අම්ලය, කැල්සියම් කාබයිඩ් වැනි රසායනික යොදාගනී. වඩාත් කාර්යක්ෂම රසායනිකය එතිෆෝන්ය. මෙහි වෙළඳනාමය එත්‍රල්ය. නිෂ්පාදනයන්ගේ නිර්දේශයන්ට අනුව සාදාගත් ද්‍රාවණයෙන් මිලිලීටර් 40 පමණ අන්නාසි ගසේ මේරූ පත්‍ර 20 ට වැඩි නම් ගොබයට වත්කල යුතුය. ද්‍රාවණය යොදා දින 30 න් රතු පාට මල් හටගනී.

ගෙඩි විශාල කරගැනීම[සංස්කරණය]

ඇල්‍ෆා නැප්තලීන් ඇසිටික් අම්ලය අඩංගු රසායනික ද්‍රව්‍යක් හෝ ඉන්ඩෝල් ඇසිටික් අම්ලය නිර්දේශිත පරිදි ජලයේ දියකර සාදාගත් ද්‍රාවණයේ ලීටරයකට යූරියා ග්‍රෑම් 2ක් මිශ්‍රකර මල් පිපී මසකින් ළපටි ගෙඩි වල‍ට ඉසීමෙන් ගෙඩිවල ප්‍රමාණය විශාල කරගතහැක.


ගෙඩිවල පැහැය වැඩිකරගැනීම[සංස්කරණය]

නෙළාගත් අන්නාසි ගෙඩිවලට එතිෆෝන් යෙදීමෙන් ඒකාකාරී කහ පැහැයක් ලබාගතහැක.


අස්වනු නෙළීම[සංස්කරණය]

අන්නාසි ගෙඩියේ නටුව සෙන්ටිමීටර 20 පමණ දිගට තබා ගෙඩියෙන් 25% පමණ පිටපොත්තේ වර්ණ‍ය කහපැහැවූ පැසුණු අන්නාසි ගෙඩි උදේ වරුවක නෙළිය යුතුය. නෙලූගෙඩි එකගොඩේ ගොඩනොගසා මදක් තුනීකර සෙවනේ තබා ප්‍රවේශමෙන් ප්‍රවාහනය කළයුතුය.


සාර්ථක අන්නාසි වගාවකට.......[සංස්කරණය]

අනවශ්‍ය මොරෙයියන් ඉවත්කිරීම , නිසිකලට පොහොර දැමීම, ජලසම්පාදනය කිරීම, රෝග හා පළිබෝධ පාලනය කිරීම ආදිය කරමින් හොදින් නඩත්තුකරන අන්නාසි වගාවකින් වසර 3ක් පමණ සාර්ථක ලෙස අස්වැන්න ලබාගතහැක.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

[1] [2] [3]

"https://si.wikipedia.org/w/index.php?title=අන්නාසි_වගාව&oldid=365234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි