අගතා ක්‍රිස්ටි

විකිපීඩියා වෙතින්

අගතා ක්‍රිස්ටි එංගලන්ත ජාතික ගත් කතුවරියකි. ඇය වඩාත් ප්‍රකට වූයේ අපරාධ පරීක්‍ෂණ නවකතා රචිකාවියක වශයෙනි. නවකතා සැට හයකට අධික සංඛ්‍යාවක් ඇය විසින් රචනා කරන ලදි. ඇය මේරි වෙස්ට්මාකොට් යන ආරූඪ නාමය භාවිතා කරමින් ආදර කතා මාලාවක් ද රචනා කළා ය​. ඇගේ ඇතැම් නිර්මාණ සිනමාවට ද නැඟුණි. ද ඔරියෙන්ට් එක්ස්ප්‍රෙස් ඒ අතරින් වඩාත් කැපී පෙනෙන සිනමා කෘතියෙකි. ඇයගේ නිර්මාණ භාෂා හාරසියයකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත​. ඉංගිරිසි අපරාධ කතා කලාවේ රැජිණ යන විරුදයෙන් ඇයව හඳුන්වනු ලැබේ.

ඇගේ මව ක්ලැරිස්සා මාග්‍රට් වූවා ය​. ඇයට වයස අවුරුදු දහයේ දී, ඇගේ පියා ෆ්‍රෙඩෙරික් අල්වා මිලර් අභාවප්‍රාප්ත විය​. ඇයට මාග්‍රට් මැඩ්ජ් නම් සහෝදරයෙක් ද​, ලුවී මොන්ටි මොන්ටැට් නම් සහෝදරියක් ද වූහ​. අගතා කුඩා අවධියේ දී තම හැඟීම් ප්‍රමාණවත්ලෙස ප්‍රකාශ කර ගැනීමට අපොහොසත් වූ ලජ්ජාශීලී දැරියක වූ අතර ඇය මවට දැඩි සේ සමීප වූවා ය​. ඇය පාසල් නොගිය අතර ඇයට පෞද්ගලික ගුරුවරියන් මාර්ගයෙන් අධ්‍යාපනය දෙනු ලැබී ය​.

1914 දී ඇය රාජකීය ගුවන් හමුදාවේ, ප්‍රහාරක යානා ගුවන් නියමුවෙකු වූ ආර්චි ක්‍රිස්ටි හා විවා පත් වූවා ය​. එම විවාහයෙන් ඇය රොසාලින්ඩ් හික්ස් (1919 - 2004) නම් දුවක ලැබුවා ය​.

ඇගේ සැමියා පළමු ලෝක යුද්ධයට සහභාගී වන අතර ඇය හෙදියක් වශයෙන් කටයුතු කළා ය​. එහි දී ලද විවේක කාලය තුළ දී ඇය රහස් පරීක්‍ෂක නවකතාවක් රචනා කළා ය​.(එය ඇගේ ප්‍රථම නවකතාව වූ අතර එය "ද මිස්ටීරුයස් ඇෆ්ෆෙයාර් ඇට් ස්ටයිල්ස්" නම් විය​.) නමුත් එම කෘතිය ප්‍රකාශයට පත් වූයේ, එය රචනා කොට වසර පහක් ඇවෑමෙන්, එනම් 1920 දී ය​.

පළමු ලෝක යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ගේ දුක්ඛ දෝමනස්සයන් ඇය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් විය​. හෙදියක වශයෙන් කටයුතු කළ මේ අවධියේ දී ඇය විෂ වර්ග ගැන ද හොඳ අවබෝධයක් ලැබුවා ය​. මෙම දැනුම අපරාධ පරීක්‍ෂණ නවකතා රචනා කිරීමේ දී ඇයට ඉවහලක් විය​.

1926 දී ඇගේ සැමියා අන් ස්ත්‍රියක හා ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇගෙන් දික්කසාද වීම ඉල්ලා සිටියේ ය​. මේ වන විට මවගේ අභාවය නිසා දැඩි වේදනාවකට පත්ව සිටි ඇය මේ සිදු වීමෙන් පසු සති තුනකට අතුරුදන්ව සිටියා ය​. පසුව ඇය කුඩා හෝටලයක නැවතී සිටිය දී පොලිසීය විසින් සොයා ගන්නා ලදි. ඇය පවසා සිටියේ තමා මතකය අහිමි වී යාමකට ගොදුරු වූ බවයි. මෙසපොටේමියාවට ගිය සංචාරයක් අතරදී මුණගැසුණු තරුණ පුරා විද්‍යාඥයෙකු වූ සර් මැක්ස් එඩ්ගාර් ලුසියෙන් මැලොවන් සමඟින් 1930 දී ඇය නැවතත් විවාහ දිවියට පත් වූවා ය​.

"https://si.wikipedia.org/w/index.php?title=අගතා_ක්‍රිස්ටි&oldid=489307" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි