අංගුලිමාල පිරිත
වංචනිකයින්ගේ අදහස් අනුව නොමග ගිය ගුරුවරයාගේ ඉල්ලීම අනුව දහසකට වඩා මිනිසුන් මරමින් ඇගිලි කපමින් මාලයක් සාදා ගුරුවරයාට පුද දීමට සැරසුනු අහිංසක නම් කුමරුවෙකු බුදුන් වහන්සේගේ මගපෙන්වීමෙන් එම දාමරික ක‍්‍රියාවන් අතහැර ආර්ය ජාතියෙහි නැවත් ඉපදීමට යොමු කරවූ අතර විළිරුදාවෙන් දුක්‍ඛිත වූ මවක අරභයා කරන ලද සත්‍යක‍්‍රියාව අංගුලිමාල පිරිත ලෙසින් ව්‍යාවහාරයේ පවතී. එම පිරිතෙහි අදහස වන්නේ ආර්ය ජාතියේ උපන් දා පටන් (රහත් වූ දා සිට) කිසිදු සතෙකුගේ දිවි තොර නොකළ බව සත්‍යයි. ඒ සත්‍යයේ බලයෙන් මේ ගර්භයට ආශිර්වාද වේවා යන්නයි. දහසකටත් අධික මිනිසුන් නැසූ අඟුල්මල්, පැවිදි ව රහත් වීමෙන් පසු ඔහු කෙරෙහි සමාජය තුළ පැවති භීතිය නසන්නට බුදුහිමියන් කළ උපක්‍රමය ලෙසද මෙය දැකිය හැක. අද බෞද්ධ සමාජයේ දරුවෙකු මෙලොවට බිහිවන්නේ බොහෝ විට මෙම ආශිර්වාදයත් සමඟ ය.
බුදුහිමියන්ගේ පුරිසධම්මසාරථී ගුණය ප්‍රකට කෙරෙන ප්‍රධාන දමන කථා පුවත ලෙස සාහිත්‍යධරයන් අභිරුචියෙන් වර්ණනා කළේ අංගුලිමාල දමනයයි. ගුරුළුගෝමී, විද්‍යාචක්‍රවර්තී දෙදෙනාම තම කෘති දෙකට බුදුගුණ විශද කරලීම පිණිස මෙම අංගුලිමාල දමනය එක් කළහ. මේ අතරින් ගුරුළුගෝමී අමාවතුරේ අංගුලිමාල දමන කථාව ඉතාම විසිතුරු සාහිත්‍ය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කෙරෙයි. කථාවේ මතුපිටින් මතුවන කථා රසය අභිභවා වසංගතයෙන් විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක මතුවන සමාජ ධර්ම රාශියක් ප්‍රකට වන ලෙයින් ගුරුළුගෝමී අගුල්මල් දමනය වර්ණනා කරයි.
ඉතිහාස කතාව
[සංස්කරණය]අහිංසක කුමාරයා
[සංස්කරණය]භාර්ඝව නම් පුරෝහිත බමුණාට දාව මන්තාණි නම් බැමිණියගේ කුසින් පුතකු ප්‍රසව වූ දා රැයෙහි නගරයෙහි සියලු ආයුධ දිලෙන්නට වූ අතර රජුගේ මඟුල් කඩුව ද ඒ අතර විය. පුරෝහිතයා රජුගෙන් විමසා තම පුතු සොරුන් උපන් නැකතින් උපන් බව පවසා මරා දමන්නට යෝජනා කළේ රජුට ඇති පක්ෂපාතිත්වය ප්‍රකාශ කරනු පිණිස විය හැකි ය. එහෙත් ඔහු රට පහරන සොරෙක් නොවන බව පුරෝහිත කී හෙයින් ඔහු පෝෂණය කරන්නට රජු නියම කරයි. මේ සොර නැකතින් උපන් පුතු සමාජයේ වරදින් නොමගට යොමු වුව ද ලොව ශ්‍රේෂ්ඨතම චරිතයක් වූ බව පෙන්වීමෙන් ගුරුළුගෝමී බමුණා චින්තනයට සදය උපහාසයක් කථාව ආරම්භයෙහි ම එල්ල කරයි.
"“ඔහු නම් තබන්නාහු සියලු නුවරැ දිලිසෙන ආයුධයො කිසි කෙනක්හට හිංසා නොකළහ’ යි අහිංසක නම් තැබූහ.”" යනුවෙන් මොහු අහිංසක කුමාරයා වූ බව පවසන කතුවරයා තම වර්ණනාවෙහි දෙවන ඡේදය ඉතා වැදගත් කරුණක් අනාවරණය කරයි. "“ඔහු වියපත් වූ කල්හි මවුපියෝ ශිල්ප උගන්නට තක්සලා නුවර නඟා යවූහ. හේ ධර්මාන්තේවාසික වැ ශිල්ප උගන්නී වත්සපනැ.”" යනුවෙන් තක්සලාවෙහි ශිෂ්‍යයකු ලෙස අහිංසක තුළ පැවති ප්‍රධාන ගුණ දෙකක් ඉදිරිපත් කරයි. එනම් ‘ධර්මාන්තේවාසික’ සහ ‘වත්සපනැ’ යන්නැයි පරමාදර්ශි ශිෂ්‍යයකු තුළ පැවතිය යුතු අද වුව තිබිය යුතු උසස් ගුණධර්ම දෙකක් ලෙස ගුරුළුගෝමී දක්වන මේ කාරණා දෙක විමසිය යුතු ය. එනම් ධර්මයෙහි යටත් වැසියකු යන්නෙන් අර්ථ දැක්වෙන්නේ ශිෂ්‍යයකු තුළ පැවතිය යුතු ශාස්ත්‍ර ගෞරවයයි. ‘වත්සපනැ’ යන්නෙන් අරුත් ගන්වන්නේ ආයතන ගෞරවයයි තමන් උගන්නා ධර්මයට දක්වන ගෞරවය මෙන් ආයතනය හා ගුරුවරයා කෙරෙහි තම යුතුකම් ඉටු කිරීම ගුණාත්මක ශිෂ්‍යයකුගේ ස්වභාවයයි. මේ නිසා ම අහිංසක “කී දැයක් වහා සපයයි, මන වඩනා නියායෙන් හැසිරෙයි. පෙම් වඩනා නියායෙන් බෙණෙයි” යනුවෙන් දිසාපාමොක් ඇදුරිදුගේ විශේෂාවධානය දිනා ගැනීම හේතු වන ලෙස සිසුදිවිය ගෙවූ අයුරු කතුවරයා පැහැදිලි කරයි.
දක්ෂයකු, පරමාදර්ශී ශිෂ්‍යයකු මෙසේ තක්සලාවෙහි හැමදෙනාගේ ම ප්‍රිය මනාප ශිෂ්‍යයා බවට පත් වූ විට මනුෂ්‍යත්වයේ කුහකත්වය මතු වීම හුදෙක් වත්මනෙහි පමණක් නොව ලෝක ඉතිහාසයේ ම සත්‍ය දහමක් විය. අදක්ෂයන් දක්ෂයා පෙළන්නට, කුමන්ත්‍රණ කිරීම සදාතනික දහම ඒ අනුව තක්සලාවේ ශිෂ්‍යයෝ ඔහුගෙන් ඈත වී ඔහුට එරෙහිව කුමන්ත්‍රණ සංවිධාන කළහ. මේ කුමන්ත්‍රණය ඉතා ප්‍රබල එකකි. එහි අභ්‍යන්තර තුළ මතු වෙන්නේ මිනිස් සිත්හි දූෂිත මනෝභාවයන්හි තරම ය. අහිංසක දක්ෂයා අංගුලිමාලයෙක් කරන්නට තරම් තරුණ පරපුරේ දුෂ්ට සිත් ක්‍රියා කළේ කවරාකාරයෙන්දැයි ගුරුළුගෝමී අපූර්වත්වයෙන් අමාවතුරෙහි පෙළගස්වයි.
ශිෂ්‍යයන් වෙන්වී සාකච්ඡා කළේ අහිංසක ශිෂ්‍යයා හා ආචාර්යවරයා අතර ගොඩනැඟුණු ගුරු සිසු සබඳතාව බිඳ දමන්නටයි. ඒ සඳහා අහිංසක වෙනුවෙන් විවිධ චෝදනා ඉදිරිපත් කරන්නට විය. ඇතමෙක් ඔහුගේ ජන්මයේ දුබලතාවක් මතු කරන්නට උත්සාහ කළහ. තවත් කෙනෙක් ඔහුගේ ප්‍රතිපත්ති විවේචනය කරන්නට වූහ. මේ සියල්ල ව්‍යර්ථ වනවිට ශිෂ්‍යයන් තීරණය කළේ “ආචාර්යයා අඹුව හා සසඟ ඇත්තේ යයි බිඳපියව්” යනුවෙන් ගුරුතුමාගේ බිරිය හා අහිංසක අතරෙහි සබඳතාවක් ඇති බව ප්‍රචලිත කොට භේද කරන්නටයි.
නූතනයේ පවා කෙනකුගේ චරිතයක් ඝාතනය කරන්නට භාවිතයට ගත හැකි හොඳ ම අවිය වන්නේ කාන්තාවකට පුරුෂයකු සම්බන්ධ කිරීම හෝ පුරුෂයකුට කාන්තාවක සම්බන්ධ කිරීමයි. මනුෂ්‍ය චිත්තයේ ජාගර ස්වරූපය මොනවට ප්‍රකට කරමින් එවැනි චෝදනාවකට ලක් වන්නන්ට ඒ චරිත ඝාතනයෙන් මිදෙන්නට පහසු නොවෙයි මෙය ද ලොව පවතින සදාතනික දහමක් බව අගුල්මල් දමන කතාවෙන් පැහැදිලි වෙයි.
ශිෂ්‍යයන් මේ ප්‍රමාදය ආචාර්යවරයා හමුවට රැගෙන යන්නේ ද සැලසුම් ගතව ය. එනම් සියලු ශිෂ්‍යයන් කණ්ඩායම් තුනකට බෙදී එක් එක් කණ්ඩායම් වරින් වර ගොස් ගුරුතුමාට ඇති ගෞරවයත් ආදරයත් ලෙස පෙන්වා තක්සලාවේ මෙවැන්නක් කථා වන බව පවසයි. ආරම්භයේදී මේ ගැන කී ශිෂ්‍යයන් කෝපයෙන් පලවා හැරිය ද නිතර නිතර ම එකම දේ ගුරුතුමාගේ කනට ඇසෙන්නට සැලැස්වීමෙන් අපූර්ව ලෙස ඔහුගේ යටි සිතට ද මේ ගැටලුව රැගෙන යන්නට ශිෂ්‍යයෝ සමත් වූහ. එවන් විටෙක ඕනෑම පුරුෂයකු තම බිරියගෙ කුඩා වැරැද්දක් පවා විශාල කොට සිතමින් මේ චෝදනා සත්‍ය කරවන්නට වෑයම් කිරීම ද ලෝක දහමකි. දිසාපාමොක් ඇදුරිඳු ද මේ මානසික ව්‍යාධියට හසු විය. “ආචාර්ය, ඔවුන් තමා සනා ඇතිව බණුන සේ දැකැ ඇය හා ඔහු සසඟ ඇති සේ යයි බිඳී ඔහු මරමී සිතී” යනුවෙන් ගුරුළුගෝමී ඉදිරිපත් කරන උක්ත ප්‍රකාශනය ඒ බව පසක් කරවයි.
ශිෂ්‍යයන් තමන් කෙරෙහි සෙනෙහසින් මෙසේ ප්‍රකාශ කරන බව සිතන ඇදුරිඳු, සැබවින් ම එවැනි සබඳතාවක් ඇතැයි කල්පනා කොට ශිෂ්‍යයා මරන්නට තීරණය කරයි. මේ අවස්ථාව ඕනෑම සමාජයක මිනිස් දුබලතාව ප්‍රකට කරවන තැනෙකි. දිසාපාමොක් වර්තමාන සරසවියක උපකුලපතිට සමාන වෙයි. ඔහු මහා ශිෂ්‍ය ප්‍රජාවක නියමුවා ය. ශිෂ්‍යයන්ගේ දුෂ්ට කුමන්ත්‍රණයකට හසු වන්නට තරම් බාල මානසිකත්වයක් ඔහුට පැවතිය නොහේ. එහෙත් මේ දිසාපාමොක් ලෝකයේ ඇදුරු පරපුරේ අවාසනාවන්තම අදූරදර්ශී ගුරුවරයා ය.
ඔහු සැමියකු ලෙස තම බිරිය කෙරෙහි පැවතිය යුතු ආදරයේ පරම ධර්මය වන ‘විශ්වාසය’ රඳවා ගත්තේ නැත. තම බිරිය හා සබඳතා පවත්වන සැමියකු තරම් ඇය හඳුනන කෙනෙකු ලෝකයේ තවත් ඇත්ද? ඇදුරුතුමා මේ මූලික මානව ධර්මය පවා බිඳ හළෙකි. එපමණක් නොව මෝඩයන්ගේ ඕනෑම කුමන්ත්‍රණයකට හසුවන අවිචාර ගුරුවරයෙකි. ගුරු පෞරුෂය අත්හලෙකි. එසේ නොවූ නම් දුෂ්ට කුමන්ත්‍රණකරුවන්ගේ කීමෙන් ම අහිංසක මරා දමන්නට තීරණය කළ හැකි ද? අහිංසක යනු පරමාදර්ශි ශිෂ්‍යයෙකි. ඔහුගේ සමස්ත ශිෂ්‍ය ජීවිතය ම ගුරුළුගෝමී කී වදන් දෙකෙහි ඇතුළත් ය. කවර වරදක් ඇත ද මෙවන් සිසුවකු වෙනුවෙන් බාහිරින් එන චෝදනාවක් පිරික්සන්නට තරම් තක්සලාවේ ආචාර ධර්මයක් නොවිණි ද?
මරා දැමීම, මරණ දඬුවමයි. එය මිනී මැරීමකට දෙන දඬුවමයි. අහිංසක එවන් දඬුවමට යටත් කරන්නේ කවර මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ හෙයින් ද? ගුරුළුගෝමී මේ කථාව විවරණ කළ ක්‍රමවේදය තුළ මේ ප්‍රශ්න අපට නිරන්තරයෙන් නැඟෙයි. අවසන කපටි ඇදුරකුගේ වේශය ගන්නා දිසාපාමොක් තමා අතින් ශිෂ්‍යයා මළොත් එයින් තමා පිළිබඳ අපකීර්තිය පැතිරී තමාට ලැබෙන ලාභ වරප්‍රසාද ගුරුපඬුරු අඩුවන බව දැන අනුන් ලවා මරවන්නට සිතා මිනිසුන් දහසක් මරා ඇඟිලි ගෙනෙවයි අහිංසක ශිෂ්‍යයාට නියෝග කරයි.
"“එසෙබැවිත් ශිල්ප සමහරයට උපචාරය යි කියා මිනිස් දහසක් මරන්නට කියමි, ඒකාන්තයෙන් එයින් එකෙක් ඔහු මරයි සිතා පුත, මිනිස් දහසක් මැරුව මැනවැ. එසේ වන්නා ශිල්පයට උපචාර කළා වෙයි කීයැ.”"
ගුරුවරයාගේ නියෝගය වන්නේ ශිල්ප අවසන් කිරීම වෙනුවෙන් ගුරු පූජාවක් කරන ලෙසයි. මෙය අහිංසක ශිෂ්‍යයා කිසිදා අපේක්ෂා නොකළ දෙයකි. අහිංසකගේ කම්පිත වදන් අප තුළ ඇති කරන්නේ කම්පනයක්ම ය. ඔහු ඇදුරිඳු හමුවේ කියා සිටින්නේ “ඇපි අන්නට හිංසා නොකරන කුලෙහි උපන්නම්හ. එසේ නොකට හැක්කේ ය” යනුවෙනි. එහෙත් එවිට ගුරුවරයාගේ නියෝගය වූයේ “ශිල්පයට උපචාර නොකරන්නා ඵල නොදෙයි පුතැ යි කීය.”
තමා උගත් ශිල්පයෙන් ඵල ලබන්නට මේ ගුරු පූජාව කළ යුතු බවට අණ කරන ගුරුවරයා වෙනුවෙන් ඇඟිලි දහස ගෙනෙන්නට පංචායුධ රැගෙන යන අහිංසක කුමාරයා අවසානයේ මහා මිනිස් ඝාතකයකුව මුළු මහත් මිනිස් සමාජයම භීතියට පත් කරවන අංගුලිමාලයකු වෙයි. අවිචාරවත් අදුරදර්ශී ගුරුවරයකුගේ ක්‍රියා කලාපයෙන් ලොව තක්සලාවක සිටි ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයකු, නම ඇසූ පමණින් බිය ඇති කරවන නාමයක් බවට පත් වූවා නොවේද? [1]
අංගුලිමාල
[සංස්කරණය]සැවැත් නුවර චාලනී නම් වන අරණෙහි සැඟවී සිටින, නුවර ගම් බිය වද්දන බිහිසුණු සාහසිකයෙක් පිළිබඳ පුවත ගංවතුරක් සේ පැතිර යමින් තිබිණ. තමන් ඇස ගැටෙන ගැහැණු , පිරිමි, බාල, වැඩිමහල් යනාදී කිසිදු වෙනසක් නොමැතිව මරා දමන්නාවූ හෙතෙම තමන් විසින් මරා දමනු ලබන අයගේ අත්වල මහපටඟිල්ල කපා ගන්නා බවද කෙනෙක් කීහ. එසේ කපා ගනු ලබන ඇඟිලි මාලයක් සේ උර පළඳිනා හෙයින් හේ අංගුලිමාල නමින් හැඳින්වෙන බවද තව කෙනෙක් කීහ. හේ වල්කලා ඇඳුමක් හැඳි, රත් ගිනි පුලිඟුවන් දැසින් ද, හැඩපලු ගෙතී දුර්වර්ණ වී ගිය උරහිස දක්‌වා දිගට වැඩුණු හිස කෙස් වලින්ද යුතු බාහු බලයෙන් පිරිපුන් නව යොවුන් අයෙක් බවද පැවසිණි. එහෙත් මෙසේ දුටු දුටුවන් කුමක් හෙයින් මරා ඇඟිලි කපන්නේද යන වග දත් කිසිවෙක්‌ද නොවූහ.
මෙසේ ගම් දනව් දනන් ලොමු දැහැ ගන්වමින් සිටි ඒ අඟුල්මල් නම් සැහැසියාගෙන් තමන් මුදවා ගන්නා ලෙස කොසොල් රජ මැඳුර අබියසට රැස්‌වූ දනෝ කියා සිටින්නට වූහ. රජ තෙමේද සිය සෙන්පතියා කැඳවා
වහාම ඒ සාහසිකයා ජීව ග්‍රාහයෙන් හෝ එසේ නොමැතිනම් ජීවිතක්‌ෂයට පත්කර හෝ රැගෙන එන ලෙස ආඥවක්‌ද නිකුත් කළේය.
අනතුරුව සෙන්පතියාණෝ රැස්‌ව සිටි ජනයාට මෙසේ කීහ.
දුකට පත්ව සිටින වැසියනි· රජ අණ පරිදි මම දැන්ම ඒ චාලනී වනයට අසුන් සහිත සේනාවක්‌ම පිටත් කර යවන්නෙමි. ඔවුන්ගේ සහායට දුනු හී ගත් තවත් පිරිස්‌ද යන්නාහුය. නුඹලා ආපසු නිවෙස් කරා ගොස් අපට සහාය වුව මැනවි. දින දෙකක් ඇතුළත ඒකාන්තයෙන්ම ඒ සාහසිකයාද ඔහුගේ දුෂ්ට ක්‍රියාද අවසන් වනු ඇත.
රැස්‌ව සිටි ජනයා ඔල්වර සන් නඟමින් නිවෙස් කරා ගියහ.
මේ අතර කොසොල් රජුගේ විශේෂ දූතයෙක් ඡේතවනාරාමයට පැමිණ ආනන්ද හිමියන් බැහැදැක ඒ පුවතද සැළකර කුමන කරුණක් අරභයා හෝ විහාර භූමියෙන් පිටතට නොයන ලෙස ආයාචනයක්‌ද කළේය. එසේම ඡේතවනාරාමයෙහි වැඩ වසන බුදුන් වහන්සේ ප්‍රමුඛ සියලුම භික්‍ෂූන් වහන්සේලාගේ හීල් දානයද දහවල් දානයද සවස ගිලන්පස හා බෙහෙත්ද යන සියල්ල රජමාළිගාවෙන් පූජා කෙරෙන බවද දන්වා සිටියේය.
මේ සියලු තතු බුදුන් වහන්සේට දැන්විය යුතු යෑයි සිතූ අනඳ හිමියෝ උදැසනම බුදුන් වහන්සේ බැහැදැකීමට ගියහ.
"භාග්‍යවතුන් වහන්ස, අද පටන් දෙදිනක් යන තෙක් අපගේ භික්‍ෂු සංඝයා වහන්සේට මේ ආරාම භූමියෙන් පිටතට නොවඩිනා ලෙසට අණක් නිකුත් කරනු මැනවි. අද චාලනී වන අරණෙහි රාජකීය සෙබලෝ මෙහෙයුමක් අරඹති. ඒ එකී වනයට අරක්‌ගත් අංගුලිමාල නම් බිහිසුණු සොරෙක් අල්ලනු පිණිසය. ඒ සොරා දුටු දුටුවන් මරා දමන්නේලු. ඔහු කෙරෙහි බියෙන් නුවර ගම්වල ජනයා සියලු කටයුතු හැර පියා තම නිවෙස්‌වල රැඳී සිටිතියිද කියති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේද මෙහිම ධර්ම කටයුතු කරන ලෙසද මම ආයාචනා කරමි. යම් හෙයකින් ඔබ වහන්සේ ඔහු නෙත ගැටුණුද මේ බුදුමහිම යයි නොදන්නා නපුරාට නොකළ හැකි විපත්ද නැත.
බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට සවන් දුන් සේක් අනතුරුව මෙසේ වදාලහ:
ආනන්දය, ඔබගේ බස සැබෑය. මම ඒ අංගුලිමාලයන් විසින් කරන ලද සියලු විනාශයන්ද ඉඳුරා දනිමි. එහෙත් රජුගේ හමුදාවන්ට පෙර මම ඒ වනාන්තරයට ගොස් ඔහු හමුවීමට අදිටන් කර ඇත්තෙමි. යම් හෙයකින් මගේ ගමන පමා වුවහොත් එයින් ඔහුට වන විපත අප්‍රමාණ වන්නේය. තවද කෙලෙස් නසා සංසාර ගමන අවසන් කිරීමට තරම් හේතු සම්පත් සහිත හේ සුළු ප්‍රමාදයකින් ආනන්තරීය පාප කර්මයක් සිදු කරන්නේය. එසේ වුවහොත් එය නොමැනවි.
එසද ආනන්ද හිමියෝ මෙබදු යෝජනාවක් කළහ.
භාග්‍යවතුන් වහන්ස, ඒ සොරු ඔබ වහන්සේ ගැන හෝ ධර්මය ගැන හෝ නොදන්නෙහිය. කෝපාවිෂ්ටව සිටින ඔවුන් වෙත හුදෙකලාව නොවැඩ අපද ඒ ගමනට එක්‌කර ගත හැකිනම් එය සතුටකි.
බුදුහු ආනන්ද හිමියන්ගේ ස්‌වභාවය ඉඳුරා දනිති. මේ සංසාරයේ දිගු කලක්, බුදුන් වහන්සේ පෙරුම් පුරන සමයෙහි එක්‌ව සිටි එක් සුහදයාණන් කෙනෙක් නම් එහිමියා. එනිසා ආනන්ද හිමියන්ගේ පරිත්‍යාගශීලි ගුණයද බුද්ධ ගෞරවයද බුදුහු දනිති. එහෙයින්ම මෙසේ වදාළහ:
ආනන්ද බුදු වරයකුට අභියෝග කළ හැකි කිසිවෙක් මේ සක්‌වල තබා වෙනත් සක්‌වලද නොවෙති. නපුරු බවෙහිද බිහිසුණු බවෙහිද විලාසය මෙවිතර යෑයි කිව නොහැකි මාරයාද ඔහුගේ දසබිම්බරක් සෙනඟද මම හුදෙකලාව ජය ගත්තෙමි. මරුගේ කිසිදු බලයකින් මා සිරුරෙහි රෝම කූපයකට තරම් පීඩාවක්‌වත් නොවීය. ඒ බුදු මහිමයට මිහිකතද සාක්‍ෂි දැරීය. එවන් මට මේ අඟුල්මල් සොරුන් කෙළි බඩුවක් වැන්න. මම එකලාවම වඩිමි. දැනටමත් අඟුල්මල්ගේ මව ඒ වනයට ගොස් සිටින්නීය. ආනන්දය දාරක ස්‌නේහය නම් නොසිදෙන සයුරකි. මේ මව වනයට යන්නී සිය පුතුන් රාජකීය හමුදාවෙන් බේරා ගන්නටය. එහෙත් විකල් සිහියෙන් සිටින හේ මව දුටු සැණින් ඇය මරා ඇගේ ඇඟිල්ලද සිය මාලයට අමුණ ගන්නෙහිය. මම මේ ගමන අවසන් කර පැමිණ ඒ සියලු පුවත් ඔබ ඇතුලු සංඝයා වහන්සේට දන්වමි. මට බාධා නොකරන්න.
ආනන්ද හිමියෝ සන්සුන්ව බුදුන්ට නමස්‌කාර කළහ. ඉක්‌බිති බුදුන් වහන්සේ සමඟ ඡේතවනාරාමයට ඇතුල්වන දොරටුව තෙක්‌ද ගමන් කළේය. බුදුන් වඩනා මඟ දෙස නොපෙනී යන තෙක්‌ම බලා සිටි ආනන්ද හිමියෝ ආපසු කුටියට පැමිණියහ.
බුදුන් වහන්සේ සැවැත්නුවරට වැටෙන සුපුරුදු මඟෙහි ස්‌වල්ප දුරක් ගොස් වමට හැරී වෙනත් අතුරු මගකට පිවිසුණු සේක. එමඟ දෙපස මනාව වැඩුණු වතුපිටිය තන්හි තන්හි කුඩා නිවෙස්‌ද විය. එහෙත් කිසිදු මිනිසෙක් හෝ ගැහැනියෙක් එලිමහනක නොවූහ. බුදුන් වහන්සේද සන්සුන්ව ඒ මග ඔස්‌සේ වඩිමින් සිටියහ.
මේ අතර එක්‌තරා කුඩා නිවසක සිටි අයෙක් බුදුන් වහන්සේ වඩින අයුරු දැක වහා දිව අවුත් මෙලෙස කීවේය.
බුදුහාමුදුරුවන් වහන්ස, මේ මඟ චූලනී නම් වන අරණ දෙසට වැටෙන මගකි. දින කීපයක සිට මේ මඟ ඔස්‌සේ යන එන අය නොවෙති. මේ ගමේ සිටි කීප දෙනෙක්‌ම ජීවිකාව සඳහා වනයට යන්නාහු එහි සැඟව සිටින බිහිසුණු සොරුන්ට ගොදුරුව වැනසුනහ. ඒ කිසිවෙකුගේ සිරුරක්‌වත් දුටු කෙනෙක් නොවූහ. එබදු නපුරු වනයකට තතු නොදැන යන ඔබ වහන්සේටද ඒකාන්ත විපතක් වන්නේය. බුදු හාමුදුරුවන් වහන්ස නො යනු මැනවි.
බුදුහු ඔවුන්ට මෙසේ කීහ:
පින්වත, මම ඒ සියලු තතු දැන දැනම ඒ වනයට යන්නෙමි. බිය නොවන්න. හේ කෙබඳු සාහසිකයකු වුවද ඔහුට මට කළ හැකි සුළු හෝ අනතුරක් නැති බව ඉඳුරා කියමි. අද ඒකාන්තයෙන්ම ඔහුගේ දැඩිකම්, සැහැසිකම් අවසන් වන්නේය. එහෙයින් පෙරළා ගොස් බිය නොවී අඹුදරුවන් සමඟ සිටින්න. සෙසු අයටද ඒ බව දන්වන්න.
බුදුන් වහන්සේ මෙතරම් ස්‌ථිරව පල කරන කරුණු බැහැරලීමට ඔහුටද නොහැකි විය. ඔහු තුළද කිසියම් අලුත් අපේක්‍ෂාවක් නැගුණි.
බුදුන් වහන්සේද තව අඩ හෝරාවක් පමණ පියවර නගමින් ඒ චාලනී නම් අරණ සමීපයටම ළං වූ සේක. හිරු රැසින් පිබිදුනු තුරුලතා පෙළ ඇස නිවයි. සුළඟ හා මුසුවූ කුරුළු ගී නිහඬ බව බිඳ දමයි. තුරු මුදුන්හි කෙළි දෙලෙන් පනින වඳුරු කැළ මොහොතක් වනගැබට පිවිසෙන බුදුන් වහන්සේ දෙස විමසිලිමත්ව බලා සිටියහ. දහවල් දානය කිසියම් පලතුරකින් පිරිමසා ගත යුතුයෑයි බුදුන් වහන්සේ කල්පනා කළ සේක. හාත්පස බලන උන් වහන්සේට රතුපැහැ පලින් බරවූ අඹ රුක් කීපයක්‌ම දැකගත හැකි විය. අනතුරුව අඹ පල දෙකක් නෙලාගත් බුදුන් වහන්සේ රුක් මුළම වැඩ හිඳිමින් ඒවා වැළදූහ.
ගමන් වෙහෙසක් නොදැනුණි. යළිත් නැගී සිටි උන්වහන්සේ දකුණු පසට වැටුණු තරමක් පුළුල් මාවතක් ඔස්‌සේ ගමන් කළ සේක.
එවේලෙහි අංගුලිමාල සොරුද ඒ මාවත ඔස්‌සේම පෙරට එමින් සිටියේය. හේ එක්‌වරම සන්සුන්ව වඩිනා බුදුන් වහන්සේ දෙස බලා සිටියේය. ඔහුට හැඟුනේ කම්, පල විඳින්නට තමන් අබිමුවට එන, තතු නොදත් ශ්‍රමණයකු ලෙසය. බුදුන් වහන්සේද තමා අබිමුවට එන අංගිලිමාලයන් එක්‌වරම හඳුනාගත් සේක. එහිදී අංගුලිමාල තුළ මෙබඳු සිතිවිලි දාමයක් නැගෙන්නටද විය.
මේ ශ්‍රමණයෝ ඒකාන්තයෙන්ම මා පිළිබඳ තතු නොදනිති. මගේ නම ඇසූ පමණින් සිහි මුර්ජා වී ඇද වැටෙන ජනයා පිළිබඳවද ඔවුන් කිසිවක් නොදන්නා සෙයකි. ඔහුගේ මුහුණ කාන්තිමත්ය. ප්‍රිය වඩන සුළුය. මෙවන් ප්‍රසන්න ශ්‍රමණයකු වැනසීම මට තරම් නොවේ. එහෙයින් හඬ නගා ඔහු බිය ගන්වා එළවා දමමි.
අංගුලිමාල එසේ සිතමින්ම සිය සුපුරුදු භීෂණයේ රාවයෙන් වනගැබ සෙලවීය. බුදුන් වහන්සේ ඒ හඬ නෑසුණාක් මෙන් ඔහු අබිමුවට වඩින අයුරු දුටු අංගුලිමාල විස්‌මිතව මෙසේ කීහ:
එම්බා ශ්‍රමණය, මම නුඹට අභයදීමට සිතා පහසුවෙන්ම නුඹ මැරීමට තිබුණු අවස්‌ථාවද අත්හලෙමි. එහෙත් නුඹ අහංකාර ශ්‍රමණයකු සේ මට හැඟෙයි. මම ඒ අහංකාර මානය බිඳ හෙලමි. බල තට වන දේ. මේ නරයන්ගේ ඇඟිලිවලින්ම සැදුණු මාලයට තගේ ඇඟිල්ලක්‌ද ලබා ගැනීමට මා පොළඹවන ලද්දේ ඔබය.
අංගුලිමාල එසේ වහසිබස් දොඩමින් අසිපතද ඔසවා මාරාවේශයෙන් මෙන් දිව එන්නට විය. එහෙත් ඔහුට කෙසේවත් බුදුන් වහන්සේ සමීපයට ළංවිය නොහැකි විය.
අංගුලිමාල වික්‌ෂිප්ත වූයේ, මේ කිමෙක්‌ද? මම මේසා වේගයකින් හඹා එන්නේ වූවද මේ පියවි ගමනින් යන ශ්‍රමණයන්ට ළංවිය නොහැකි වෙමි. මේ ශ්‍රමණයන්, ඉන්ද්‍රජාල ඇත්තෙක්‌ද? නොඑසේ නම් අත්භූත මායාරූපයක්‌ද?
බුදුන් වහන්සේ සෘද්ධි බල මහිමයෙන් ඔහු කෙතරම් දිව ගියත් ඉදිරියට හෝ පසුපසට නොයන ආකාරයට එහිම රැඳවූ සේක. ඒ වගක් නොදත් අංගුලිමාල මෙසේ කියන්ටද විය.
"එම්බල ශ්‍රමණය, නවතිව, මම අද තොපගේ බල සිඳලමි. අංගුලිමාලගේ විලාසය කෙබඳුදැයි දැන ගන්නට සලස්‌වමි.
බුදුහු සන්සුන්ව මෙසේ වදාළහ: මම නතර වී සිටින්නෙමි. තවමත් දුවන්නේ ඔබය. ඔබද නතර විය යුතුය. ඔබ කෙබෙඳු ජව සම්පන්නයකු වුවද මා අසලට වත් ළංවිය නොහැකි බවද දැනගනු යෙහෙකි.
එවදන් ඇසූ අංගුලිමාල තවත් නොඉවසිලිමත් විය. ඔහුට දැනුනේ තම සිරුරද අත්පාද එක්‌වරම ගල්වී ඇති බවකි. හේ මහත් වෙර යොදා උඩට එසවුණු අත පහත හෙලීමට වෑයම් කළද එය අසීරු විය. දහදියෙන් ගතම වැසී යයි. තරමක විඩාවක්‌ද දැනුණි. සිය සිත සන්සුන් කර ගැනීමට ඔහුට වුවමනා විය.
බුදුන් වහන්සේ ඔහු දෙස මොහොතක් බලාසිට යළි මෙසේ වදාළහ:
අංගුලිමාලය, ඔබට අවශ්‍ය නම් නැවතීමට බාධාවක් නැත. එහෙත් ඒ ස්‌ථිරවම නතර වන්නේ නම් පමණි.
එසඳ බුදුහු ඔහුගේ බන්ධනය ලිහිල් කළහ. අංගුලිමාලට කිසියම් සැහැල්ලුවක් දැනුණි. ඔහු තුළ වූ විකල් බවද දුරුවෙමින් තිබිණි. තමන් විසින් කරන ලද්දේ කිසි දිනක නිවැරදි කරගත හැකි වරදක් නොවන බවද එවේලේ ඔහුට සිහිවිය. සුරත වූ අසිපත නොදැනීම ගිලිහිණි. දෙදණ බිම වැදිණි. දෙඅත් එක්‌ව බුදුන් වහන්සේ දෙසට යොමුවිණි. දෙනෙත් වලට කඳුළු පිරිණි. ඔහුqගේ මතකය අලුත් විය. දිසාපාමොක් ඇඳුරුතුමන්ගේ ප්‍රියතම සිසු ලෙස ආදරයට පාත්‍ර වූ තමන් මෙබඳු සාහසිකයකු වූයේ කෙසේ දැයි සිතන්නටද විය. කිසිවක් නිරවුල්ව සිතා ගැනීමට අසමත් වූ හේ බිම පෙරළෙමින් හඬන්නටද විය.
බුදුන් වහන්සේ ඔහුට කාරුණිකව මෙසේ වදාළහ.
අහිංසක...... මම නුඹගේ නියම නාමයෙන් නුඹ අමතමි.
අහිංසක යන නම ඇසෙත්ම හේ යළි ප්‍රකෘති සිහිය ලැබ විස්‌මිතව බුදුන් වහන්සේ දෙස බැලීය.
ස්‌වාමීනි, මේ කිසිවක් මට තෝරා ගත නොහැක්‌කේය. මේ රුදු වනයෙහි මෘගයකු සේ මිනී මරමින් කල්ගෙවූ මගේ නියම නාමය දන්නා කිසිවෙක්‌ද නොවෙති. එහෙත් ඒ නමින්ම අද මා අමතනු ඇසුණි. මට කියනු මැනවි ඔබ ශ්‍රමණ වෙස්‌ගත් දෙවියෙක්‌ද? බ්‍රහ්මයෙක්‌ද? නොඑසේනම් සක් දෙවිඳුන්ද?
අහිංසක.... මම දෙවියකු, බඹකු හෝ ශක්‍රයකුද නොවෙන්නෙමි. ඔබ කී ඒ සියල්ලෝම මට ගරු බුහුමන්ද පූජාද කෙරෙති. මම නුඹ කෙරෙහි උපන් කරුණාවෙන්ම මෙහි පැමිණි සම්මා සම්බුදු වන්නෙමි.
අංගුලිමාලට පිළිවෙළින් සියල්ල සිහිපත් විය. අනතුරුව හේ මෙලෙස ඒ තතු බුදුන් වහන්සේට කියා සිටියේය.
කාරුණික බුදුපියාණනි මගේ පියාගේ නම ගර්ගය. මව මන්තානි නම් වූවාය. ඔවුහු සුත පෙමින් මා හදා වඩා සිප් සත හැදැරවීමට දිසාපාමොක් ඇඳුරුතුමන් වෙත එවූහ. එහි උගත් මම දක්‍ෂතම සිසුවා වීමි. මගේ නරක මිතුරෝ මා ඇඳුරුතුමන් කෙරෙහි බිඳ වූහ. ගුරුතුමාණෝ ගුරු පුද පිණිස ඇඟිලිමාලයක් ගෙන එන්නැයි මට කීහ. මම දැඩි ගුරු පෙමින් ඒ පූජාව සඳහා මෙසේ වනගත වීමි. දැන් මට මා කළ අපරාධ සිහිවේ. බුදුපියාණනි මට කිසි දිනක සමාවක් නොලැබෙන බවද දනිමි.
බුදුහු යළි මෙසේ වදාළහ:
මම නුඹට පිහිට වන්නෙමි. නුඹ විසින් කරන ලද ප්‍රාණඝාතය යළි නිවැරදි කළ නොහැකි බව සැබෑය. එහෙත් බුද්ධියෙන්ද සිහියෙන්ද ඒ දෙස බලා සත්‍යයේ එළියද විමුක්‌තියේ සිසිලද ලබාගැනීමට තවමත් ඔබට හැකිය. ජීවිතය යනු විනාශ වූ කල ලබා දිය නොහැක්‌කක් බව නුඹට දැන් පසක් විය යුතුය. එහෙත් පසු තැවීමෙන්ම එයට වන්දි ගෙවිය නොහැක. ඒ සඳහා අධිෂ්ඨානශීලීව ජීවිතයට මුහුණ දිය යුතුය. වෛරය අත්හැර දයාවෙන්ද මෛත්‍රියෙන්ද යුතු අලුත් ජීවිතයක් ඇරඹීමට මම නුඹට උපකාර වන්නෙමි.
ඉක්‌බිති අංගුලිමාල සිය උරයෙහි රැඳි ඇඟිලිමාලය ගලවා වන ගැබට විසි කළේය. ලේ තැවරුණු අසිපතද එදෙසටම වීසි කර දමා යළිත් පසඟ පිහිටුවා බුදුන් වහන්සේට නමස්‌කාර කළේය. බුදුහු හෙතෙම පන්සිල්හි පිහිටුවා ආපසු ඔහු සමඟ ඡේතවනාරාමය බලා වඩින්නට වූහ.
මේ අතර තමන් වහන්සේ වඩිනා මඟ දෙසට එන කිසියම් කාන්තාවක් දුටු බුදුන් වහන්සේ එහි නතර වූ සේක. අංගුලිමාලද බුදුන් වහන්සේ අනුවම නතර වීය. ඇය බෙහෙවින් විඩාබර විලාසයක් පෑවාය.s ඇගේ දෙපා රත් පැහැවී ඉදිමී තිබිණි. සිරුර පුරා සීරීම් තුවාල විය. හිස කෙස් අවුල් විය. වස්‌ත්‍ර තැනින් තැන ඉරී ගොස්‌ය. බුදුන් වහන්සේ අසලටම පැමිණි ඕ නතර වී හාත්පස බැලුවාය. නිශ්චිතව කිසිවක් සිතා ගත නොහැකි වුවද තමන්ට කිසිදු අනතුරක් නැතැයි යන හැඟීම ඇය තුළ විය. ඇය කතා කරන්නී මහත් ආයාසයෙනි. එහෙත් ඇගේ වදන් පැහැදිලිය.
මට උපකාර කළ මැනවි මම දින දෙකක් මුළුල්ලේ මගේ පුතු සොයමින් මේ වන අරණේ සරන්නෙමි. ඒ මගේ එකම පුතුය. ඔහු උපන් සඳ අප ඔහුට නම් තැබුවේ අහිංසක නමිනි. වැඩුණු හේ දිසාපාමොක් වෙත යවා ශිල්ප ඉගැන්වීමි. නොමද ගුරු බැතියෙන් යුතු ඔහු ගුරුන් කෙරෙහි බිඳවනු ලැබිණි. හේ ගුරු පූජාවක් සඳහා ඇඟිලි සොයමින් වන ගතවිය. දැන් අවිගත් සෙබලෝ ඔහු සොයා මේ අරණ පීරති. ඔහුට විපතක් වනු මට දරා ගත නොහැක්‌කේය. මම ඔහු සොයා මෙසේ පැමිණියෙමි. මෙතෙක් ඔහු නෙත නොගැටුණි ඔබ ඉතා උතුම් කෙනෙක් සේ මට හැඟෙයි. නොමග ගිය මපුතු මට සොයා ගන්නට පිහිට වනු මැනවි.
ඉක්‌බිති බුදුහු ඇයගෙන් මෙසේ විමසූහ. "මෑණියනි" මට නිසැකවම ඔබට පිහිට විය හැකිය. ඔබගේ පුතු යම් හෙයකින් දුටුවොත් ඔබට හඳුනාගත හැකිද?
මම එසේ සිතමි. ඇතැම් විට දිගු කලකින් නුදුටු හෙයින් ඔහුගේ විලාසය වෙනස් වී තිබිය හැකිය. මපුතුගේ අහිංසක විලාසය වෙනුවට යක්‍ෂාවේෂයක් ඔහු කෙරෙන් පලවිය හැකිය. එහෙත් මවක් සිය පුතු හඳුනා ගන්නී ඉවෙනි. ලේ කිරට කර දුන් මවකට ඒ ලේ දුවන සිරුර අමුතු නොවෙයි.
බුදුන් වහන්සේ එසඳ තමන් වහන්සේ පසුපස සිටින අංගුලිමාල දෙසට සුරත දිගු කළ සේක. ඒ වන විට අඟුල්මල්ටද සියල්ල හොඳින් ඇසී තිබිණි. හේ වහා නැගිට මව දෙසට විදුලියක් මෙන් පැන්නේය. ඇගේ දෙපා මුළ වැටි වැටී හඬමින් මවගේ පතුල් කඳුළින් සෝදා හරින්ටද වූයේය.
මේ අනපේක්‍ෂිත දසුනින් වික්‍ෂිප්ත වූ මවද කිසිවක් සිතා ගත නොහැකිව සිටියාය. අහිංසක පුතු රකුස් වෙස්‌ගෙන සිටි නමුදු තවමත් අහිංසකයෙක් බව මවට හැගුණි. මොන තරම් අස්‌වැසිල්ලක්‌ද? දෙදෙනාම ඇති තරම් හැඬූහ.
අනතුරුව බුදුහු මෙසේ වදාළහ:
මෑණියනි දැන් සියලු විපත් මඟහැරී ගොසින්ය. ඔබ මෙන්ම ඔබගේ පුතුද භාග්‍යවන්තයහ. නොමඟ ගිය හේ දැන් සුමඟට වැටී සිටින්නෙහිය. මම ඔහුට පරම ශාන්තිය ලබා දෙන්නෙමි. ඔබටද අප සමඟ ඡේතවනාරාමය දක්‌වා ගොස් ආපසු නිවසට යා හැකිය. නුඹගේ පුතු මේ ජටිල සමාජයේ සියලු තතු දක්‌නා නුවණින් පොහොසත්ය. මම ඔවුන් කෙරෙහි කරුණාවෙන්ම මේ වන අරණට පැමිණි ලොව්තුරා බුදුන් වන්නෙමි.
බුද්ධ යන වදන ඇසෙත්ම ඇගේ ළසෝ ගිනි නිවී යන අයුරු ඇයට දැනුණි. ඕ දොහොත් නගා බුදුන්ට යළි නමස්‌කාර කළාය. පසුව ඇයද සිය පුතු සමඟ බුදුන් වහන්සේ පසු පසට ඇදුණාය. [2]
පැවිද්දෙන් පසු
[සංස්කරණය]මෙම section, විකිපීඩියාවේ කතුහිමිකම් ප්‍රතිපත්තියට පටහැනි වියහැකි අයුරින්, වෙනත් තැනකින් පිටපත් කොට තිබීමට බොහෝ දුරට ඉඩ ඇත. (2024 ඔක්තෝබර්) |
ඉක්බිති ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පසු ශ‍්‍රමණයන් කොට ගත් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර චාරිකාවෙහි වැඩියා. අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් සැවැත් නුවරට වැඩම කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ අරමෙහි වැඩ විසුවා. එසමයෙහි පසේනදී කොසොල් රජු ගේ අන්තඃපුර දොරටුවේ රැස් වූ මහාජනයා උස් හඬින් මහ හඬින් ඝෝෂා කළා. “දේවයන් වහන්ස, ඔබ ගේ රාජධානියෙහි අංගුලිමාල නම් සොරෙක් සිටියි. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. දේවයන් වහන්ස, එ් සොරාව වළකාලන සේක්වා!”
එවිට පසේනදී කොසොල් රජු පන්සීයකින් යුතු අශ්ව සේනාවක් සමඟ සැවැත් නුවරින් නික්මුණා. ගිනි මද්දහන වේලෙහි දෙව්රම කරා පිටත් වුණා. යානභූමිය යම් තාක් ද, එතෙක් වාහනයෙන් ගොස් එයින් බැස පා ගමනින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩි වූ පසේනදී කොසොල් රජුට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “පින්වත් මහාරාජ, කිම? සේනිය බිම්බිසාර මහධේශ්වරයන් කිපුණා වත් ද? විසල් නුවර ලිච්ඡවීන් කිපුණා වත් ද? වෙනත් ප‍්‍රතිරාජයෙක් කිපුණා වත් ද?”
“අනේ නැහැ ස්වාමීනී, මගධේශ්වර සේනිය බිම්බිසාර රාජයන් කිපිලා ත් නොවෙයි. විශාලාවෙහි ලිච්ඡවීන් කිපිලා ත් නොවෙයි. අන්‍ය ප‍්‍රතිරාජයෙක් කිපිලා ත් නොවෙයි. ස්වාමීනී, මාගේ විජිතයෙහි අංගුලමාල නම් සොරෙක් ඉන්නව නෙව. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා නෙව. ස්වාමීනී, මං මේ යන්නෙ එ් සොරාව වළක්වන්නට යි.”
“පින්වත් මහාරාජ, ඉදින් යම්හෙයකින් කෙස් රැවුල් බහා කසාවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වී සිටින, සතුන් මැරීමෙන් වැළකී සිටින, සොරකමින් වැළකී සිටින, බොරුවෙන් වැළකී සිටින, එක්වේල වළඳන, සීලවන්ත වූ බඹසර සුරකින කල්‍යාණ ධර්ම ඇතිව එ් අංගුලිමාල සිටිනවා දුටුවොත් ඔබ මොකද කරන්නේ?”
“ස්වාමීනී, එහෙම නම් අපි වන්දනමානන කරනවා. දැක හුනස්නෙන් නැගිටිනවා. අසුනෙන් පවරනවා. සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පුදනවා. එ් භික්ෂුවට ධාර්මික ආරක්ෂාව සපයනවා. එහෙත් ස්වාමීනී, දුස්සීල වූ, පවිටු ස්වභාව ඇති පුද්ගලයෙකුට මෙබඳු සීල සංවරයක් කෙසේ නම් ඇතිකරගන්නට ද?”
එවේලෙහි ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වාඩි වී සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජතුමා ගේ දකුණු අතින් අල්ලා ගෙන අවුත් මෙය වදාළා. “පින්වත් මහාරාජ, ඔය ඉන්නේ එ් අංගුලිමාල තමයි.”
එවිට පසේනදී කොසොල් රජතුමාට භයක් ඇතිවුණා. තැති ගැනීමකුත් ඇතිවුණා. ලොමුඩැහැ ගැනීමකුත් ඇතිවුණා. භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජු භය වී, තැතිගෙන, ලොමුඩැහැගෙන සිටින බව දැන පසේනදී කොසොල් රජුට මෙය වදාළා. “පින්වත් මහාරාජ, භයවෙන්නට එපා! පින්වත් මහාරාජ, භයවෙන්නට එපා! ඔබට එ් භික්ෂුව ගෙන් කිසි භයක් වන්නේ නැහැ.” එතකොට පසේනදී කොසොල් රජුහට යම් භයක්, තැතිගැනීමක්, ලොමුඩැහැ ගැනීමක් තිබුණා ද, එය සංසිඳී ගියා. ඉක්බිති පසේනදී කොසොල් රජු ආයුෂ්මත් අංගුලිමාලයන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් අංගුලිමාලයන් ගෙන් මෙය ඇසුවා. “ස්වාමීනී, අප ගේ ආර්යයන් වහන්සේ අංගුලිමාලයන් ද?” “එසේය පින්වත් මහාරාජ” “ස්වාමීනී, ආර්යයන් වහන්සේ ගේ පියාණන් කවර ගෝත‍්‍ර නාමයකින් යුක්ත ද? මෑණියන්දෑ කවර ගෝත‍්‍ර නාමයකින් යුක්ත දෑ ද?” “පින්වත් මහාරාජ, මාගේ පියාණන් ගර්ග නම් වෙයි. මෑණියන්දෑ මන්තානි නම් වූ දෑ ය.” “ස්වාමීනී, මන්තානිපුත‍්‍ර වූ ගර්ග ආර්යයන් වහන්සේ මේ ශාසනයෙහි ඇලී වසත්වා! මන්තානිපුත‍්‍ර ගර්ග වූ ආර්යයන් වහන්සේට මං සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර සපයන්නට උත්සාහ ගන්නම්.”
එකල්හි ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ආරණවාසීව පමණක් සිටිමින්, පිණ්ඩපාතයෙන් පමණක් යැපෙමින්, පාංශුකූල චීවරය පමණක් පොරවමින්, තුන්සිවුර පමණක් ඇතිව සිටියා. ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පසේනදී කොසොල් රජුහට මෙය පැවසුවා. “පින්වත් මහාරාජ, කම්නැත. මට තුන්සිවුරු සම්පූර්ණව තියෙනවා.”
එවිට පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව හිඳ ගත්තා. එකත්පස්ව හුන් පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දමනය නො වූ වන් දමනය කරන සේක් ම යි! ශාන්ත නො වූ වන් ශාන්ත බවට පත් කරන සේක් ම යි! නො පිරිනිවී ගිය සතුන් පිරිනිවන් බවට පත් කරන සේක් ම යි! ස්වාමීනී, එ් අපි යමෙකුව දඬුමුගුරෙන් වේවා, ආයුධයෙන් වේවා දමනය කරන්නට අසමර්ථ ද, එහෙත් ඔහුව භාග්‍යවතුන් වහන්සේ දඬුමුගුරෙන් තොරව, ආයුධයෙන් තොරව දමනය කරන ලද්දේ ය. ස්වාමීනී, දැන් අපි යන්නම්. අපට ඉතින් බොහෝ කෘත්‍ය තියෙනවා නෙව. බොහෝ රාජකාරී තියෙනවා නෙව.” ”පින්වත් මහාරාජ, යමකට කාලය නම් එය දැනගත මැනැව.” එකල්හි පසේනදී කොසොල් රජු හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත්ව ගියා. [3]
අංගුලිමාල (චිත්‍රපටිය)
[සංස්කරණය]අංගුලිමාල කතාව චිත්‍රපටයක් ලෙස 1988 දී එළිදක්වනු ලැබිණි.
අංගුලිමාල සූත්‍රය
[සංස්කරණය]මජ්ක්‍ධිම නිකායේ රාජවග්ගයේ ඇතුළත් අංගුලිමාල සූත්‍රය, බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල මහ රහතන් වහන්සේට උගන්වා වදාරන ලද්දකි. විලිරුදාවෙන් පෙළෙන ගර්භිණී ස්ත්‍රියකගේ ප්‍රසූතිය පහසු වන ලෙස කරනු ලබන සත්‍ය ක්‍රියාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ අංගුලිමාල රහතන් වහන්සේට උගැන්වූ මෙම සූත්‍රය තුළ, අනාගතයේ පහළ වන, පෘථග්ජන භාවය නිසා නොයෙක් අවස්ථාවල වැරැදි කර පසුතැවිලි වන සකල මිනිස් වර්ගයාටම පිහිට වන අනර්ඝ අවවාදයක් සැඟවී තිබේ. ජීවිත දහසක් පමණ නසා, තම මෑණියන් ද බුදුරජාණන් වහන්සේ ද නසන්නට තැත් කළ අංගුලිමාල මහා ප්‍රඥාවෙන් සහ මහා කරුණාවෙන් දමනය කළ බුදුරජාණන් වහන්සේ ඔහු යහමගට යොමු කර තමන් වහන්සේගේ ආරාමයට ම කැඳවාගෙන අවුත් පැවිදි කළ සේක.
නිධාන කතාව
[සංස්කරණය]දිනක් අංගුලිමාල තෙරුන් වහන්සේ පිඬු සිඟා යද්දී, ප්‍රසූතිය අපහසුව විලිරුදාවෙන් පෙළී හුන් ගර්භිණී ස්ත්‍රියක දැක අනුකම්පා උපදවා, බුදුරජාණන් වහන්සේ කරා ගොස් එම පුවත සැළ කළ සේක. බුදුරජාණන් වහන්සේ සිතා මතා ම, කලක් මිනීමරුවකු ව සිට යහමගට පිළිපන් තෙරුන් වහන්සේට අද්භූත සත්‍ය ක්‍රියාවක් උගන්වා, එම ගභ¡ණී ස්ත්‍රිය වෙත ගොස් එම සත්‍ය ක්‍රියා පාඨය කියන්නට අවවාද කළ සේක. මුල් වතාවේ බුදුරජාණන් වහන්සේ උගැන්වූ එම අද්භූත පාඨය මෙසේ විය. “ යතොහං භගිනි ජාතො නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරෝපේතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ ති.” එහි තේරුම නම් “ නැගණියනි, මම උපන් තැන් පටන් කොට දැන – දැන සත්වයකුගේ දිවි තොර කළ බවක් නො දනිමි. එම සත්‍යයෙන් ඔබට සෙත් වේවා, ගර්භයට සෙත් වේවා! මෙම පාඨයෙහි උපත වශයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මනුෂ්‍ය ජාතියෙහි මුල්වර උපතට වඩා කථනය වැදගත් ආර්ය ජාතියෙහි දෙවන වර උපත බවයි. මෙම අර්ථ මුලින් වටහා නොගත් අංගුªලිමාල තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්ස මෙය මා දැන – දැනම කියන (සම්පජාන) මුසාවක් වෙයි. මම අතීතයේ දැන – දැන බොහෝ සත්වයින්ගේ දිවි තොර කළ කෙනෙක්මි ‘ යි පැවසූ සේක. බුදුරජාණන් වහන්සේ දෙවනුව එම පාඨය ම වෙනත් ආකාරයකින්, එනම් අංගුලිමාල සූත්‍ර දේශනාවේ ඔබ – අප දන්නා වචනවලින් දේශනා කළ සේක. ඒ මෙසේය.
අංගුලිමාල පිරිත
[සංස්කරණය]“ 'යතොහං භගිනි, අරියාය ජාතියා ජාතො නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරොපෙතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු සොත්ථි ගබ්භස්සා’ ති.' මෙම දෙවන වරට උගැන්වූ පාඨයෙන් කියැවෙන්නේ “ නැගණියනි, මම යම් දවසක ආර්ය ජාතියෙහි උපනෙම් ද, එතැන් පටන් කොට දැන දැන සත්වයකුගේ දිවි තොර කළ බවක් නො දනිමි. එම සත්‍යයෙන් ඔබට සෙත් වේවා, ගර්භයට සෙත් වේවා!” යනුයි. [4]
සත්‍යක්‍රියාවෙන් පසු
[සංස්කරණය]මේ විදියට සත්‍යක්‍රියා කළ උන් වහන්සේගේ බලයෙන් එම තැනැත්තියගේ කුසතුල හිර වී සිටි දරුවා කිසිම කරදරයකින් තොරව උපත ලද බව සඳහන් වෙනවා. මේ සිදුවීමෙන් දින කිහිපයකට පස්සේ අංගුලිමාල හාමුදුරුවෝ මහරහත් බව ලබාගත්තා.
අංගුලිමාල තෙරණුවන් සත්‍යක්‍රියා කළ ස්ථානය වෙහෙරක් ඉදි කලා. එය අංගුලිමාල දාගැබ ලෙස හඳුන්වනවා. එම ස්ථානය තවමත් පුදුම හාස්කම් ශක්තියක් ඇති ස්ථානයක්. තවමත් ගැබිනි මවුවරු එම ස්ථානය වැඳනමස්කාර කරගැනීමෙන් සුවයක් ලබනවා.
එවිට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ තනිව ම හුදෙකලා වුණා. අප‍්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ධර්මයෙහි හැසිරෙද්දී, යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත‍්‍රයන් මනා කොට ගිහි ජීවිතය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙද්ද, බඹසර ජීවිතයේ නිමාව වන එ් උතුම් අරහත්වය මෙහි දී ම තමන් ගේ විශිෂ්ඨ ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගත්තා. ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ද, රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා.
ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත‍්‍රය ද ගෙන සැවැත් නුවර පිඬුසිඟා වඩිනවා. එවැනි වෙලාවක දී වෙනත් තැනකට ගසන ගල් පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන දඬු මුගුරු පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන කැට කැබිලිති පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. එතකොට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ බිඳුණු හිසින් යුතුව, ලේ වැගිරෙද්දී, බිඳුණු පාත‍්‍රය ඇතිව, ඉරී ගිය සඟල සිවුරු ඇතිව, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙනවා. එවිට දුරින් ම වඩින ආයුෂ්මත් අංගුලිමාලයන් දකින භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් අංගුලිමාලයන්ට මෙය පවසා වදාරණවා. “පින්වත් බ‍්‍රාහ්මණය, ඔබ ඉවසන්න! පින්වත් බ‍්‍රාහ්මණය, ඔබ ඉවසන්න! ඔබ විසින් කරන ලද යම් කර්මයක විපාකය බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයෙහි පැසවන්නට තිබුණා ද, පින්වත් බ‍්‍රාහ්මණය, ඔබට එ් කර්මයේ විපාක මේ ජීවිතයේ දී විතරයි විඳවන්නට තියෙන්නේ.” ඉතින් හුදෙකලාවෙහි භාවනා කරමින් විමුක්ති සුඛ විඳිමින් සිටින ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ එ් වේලාවෙහි මේ උදානය වදාළා.
'යෝ ච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡා සෝ නප්පමජ්ජති,
සෝ’මං ලෝකං පභාසේති අබ්භා මුත්තෝ’ව චන්දිමා.'
කවුරු හරි කලින් දහමේ හැසිරෙන්නට පමා වෙලා හිටිය ත්, පස්සෙ කාලෙක අප‍්‍රමාදීව දහමේ හැසිරුණොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන් සඳක් වගේ.
'යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති,
සෝ’මං ලෝකං පභාසේති අබ්භා මුත්තෝ’ව චන්දිමා.'
කවුරු හරි කෙනෙක් තමන් ගේ පව් කුසල් බලයෙන් නැති කරල දැම්මොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන්සඳක් වගේ.
'යෝ හවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධසාසනේ,
සෝ’මං ලෝකං පභසේති අබ්භා මුත්තෝ’ච චන්දිමා.'
කොයි තරම් තරුණ භික්ෂුවක් වුනත් ශීල, සමාධි, ප‍්‍රඥාවේ යෙදෙනවා නම් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන් සඳක් වගේ.
'දිසා’හි මේ ධම්මකථං සුණන්තු – දිසා’හි මේ යුඤ්ජන්තු බුද්ධසාසනේ,
දිසා’හි මේ තේ මනුජේ භජන්තු – යේ ධම්මමේවාදාපයන්ති සන්තෝ.'
"මගේ සතුරන්ට ත් ඇසෙන්නට ඕන මේ චතුරාර්ය සත්‍යය ධර්මය ම යි. මගේ සතුරන් හැසිරෙන්නට ඕන ශීල, සමාධි, ප‍්‍රඥාවේ ම යි. මගේ සතුරො ත් ඇසුරු කරන්නට ඕන මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය පෙන්නා දෙන සත්පුරුෂ උතුමන්ව යි."
'දිසා හි මේ ඛන්තිවාදානං – අවිරෝධප්පසංසිනං,
සුණන්තු ධම්මං කාලේන – තඤ්ච අනුවිධීයන්තු.'
ඉවසන ගුණයෙන් යුතු, මෛත‍්‍රියට ප‍්‍රශංසා කරන එ් උතුමන් ගේ ධර්මය ම මාගේ හතුරෝ ද අසත්වා! එ් උතුම් ධර්මය ම අනුගමනය කරත්වා!
'න හි ජාතු සෝ මමං හිංසේ – අඤ්ඤං වා පන කිඤ්චනං,
පප්පුය්‍ය පරමං සන්තිං – රක්ඛෙය්‍ය තසථාවරේ.'
එ් මාගේ සතුරෝ මට හෝ වෙන කෙනෙකුට හෝ හිංසා නො කරත්වා! දැන් අංගුලිමාල පරම ශාන්තියට පැමිණිලා ඉන්නෙ. තැති ගන්නා සතුනුත්, තැති නො ගන්නා රහතුනුත් රකිනවා.
'උදකං හි නයන්ති නෙත්තිකා – උසුකාරා නමයන්ති තේජනං,
දාරුං නමයන්ති තච්ඡකා – අත්තානං දමයන්ති පණ්ඩිතා.'
වතුර අදින අය තමන් කැමැති දිශාවට වතුර ගෙනියනවා. හී වඩුවන් ඊතල වල ඇද හැරලා කෙලින් කරනවා. ලී වඩුවන් කැමැති විදිහට ලී නවනවා. අන්න එ් විදිහට බුද්ධිමත් කෙනා තමන් ගේ ජීවිතය දමනය කර ගන්නවා.
'දණ්ඩේනේකේ දමයන්ති – අංකුසේහි කසාහි ච,
අදණ්ඩේන අසත්ථේන – අහං දන්තෝම්හි තාදිනා.'
සමහර උදවිය දඬු මුගුරු වලිනුත්, හෙණ්ඩුවෙනුත්, කසයෙනුත් තමයි අනුන්ව දමනය කරන්නේ. එ් වුණාට දඬු මුගුරු නැතිවයි, අවි ආයුධ නැතිවයි අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ මාව දමනය කළේ.
'අහිංසකෝ’ති මේ නාමං – හිංසකස්ස පුරේ සතෝ,
අජ්ජාහං සච්චනාමෝම්හි – න නං හිංසාමි කිඤ්චනං.'
ඉස්සර මට අහිංසක කියල කීවෙ අනුන්ට හිංසා කරද්දී ම යි. එ්ත් දැන් මං කාටවත් හිංසා නො කරන ඇත්තට ම අහිංසක කෙනෙක්.
'චෝරෝ අහං පුරේ ආසිං – අංගුලිමාලෝ’ති විස්සුතෝ,
වුය්හමානෝ මහෝඝේන – බුද්ධං සරණමාගමං.'
මං ඉස්සර අංගුලිමාල නමින් ප‍්‍රසිද්ධ වෙච්ච හොරා. මාව සංසාරෙ සැඩ පහරට අහුවෙලා ගහගෙන යන කොට තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබුණේ.
'ලෝහතපාණී පුරේ ආසිං – අංගුලිමාලෝ’ති විස්සුතෝ,
සරණාගමනං පස්ස – භවනෙත්ති සමූහතා.'
ඉස්සර මං අත්වල ලේ තවරාගෙන ප‍්‍රසිද්ධ වෙලා හිටියේ අංගුලිමාල නමින්. එහෙත් උතුම් තිසරණයට පැමිණීමේ ආනිශංසය බලන්න. සියළු භව රැහැන් මුලින් ම කපලා දැම්මා.
'තාදිසං කම්මං කත්වාන – බහුං දුග්ගතිගාමිනං,
ඵුට්ඨෝ කම්මවිපාකේන – අනණෝ භුඤ්ජාමි භෝජනං.'
මගේ අතින් අපායට යන්නට බොහෝ පව් සිද්ධ වුණා. එහෙත් දැන් මං විපාක විඳින්නෙ මේ ජීවිතයේ දී විතරයි. අනුන් ගේ දානෙ මං වළඳන්නෙ ණය නැතිව යි.
'පමාදමනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා,
අප්පමාදං ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති.'
අඥාන ජනතාව බාහිර වැඩ කටයුතුවලට මුළු ජීවිතය ම කැප කරනවා. ධර්මයේ හැසිරීම ප‍්‍රමාද කරනවා. නමුත් බුද්ධිමත් කෙනා අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නෙ උතුම් ධනයක් රැක ගන්නවා වගෙයි.
'මා පමාදමනුයුඤ්ජේථ – මා කාමරතිසන්ථවං,
අප්පමත්තෝ හි ඣායන්තෝ – පප්පෝති පරමං සුඛං.'
ධර්මයේ හැසිරීම පිණිස ප‍්‍රමාද වෙන්නට එපා! කාම සැපයේ ම ඇලී වාසය කරන්නට එපා! අප‍්‍රමාදීව භාවනා කරන කෙනා තමයි උතුම් සැපය ලබා ගන්නෙ.
'ස්වාගතං නාපගතං – නේතං දුම්මන්තිතං මම,
සංවිභත්තේසු ධම්මේසු – යං සෙට්ඨං තදුපාගමං.'
සම්බුදු සසුනට මං ආපු එක කොයි තරම් හොඳයි ද! මේක වැඩකට නැති දෙයක් නො වෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නොවේ. විස්තර වශයෙන් පහදල දෙන එ් චතුරාර්ය සත්‍යය ධර්මය තුළිනුයි මං උතුම් නිවනට පත් වුණේ.
'ස්වාගතං නාපගතං – නේතං දුම්මන්තිතං මම,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා – කතං බුද්ධස්ස සාසනං.'
බුදුරජාණන් වහන්සේ ගේ සසුනට මං ආපු එක කොයිතරම් හොඳ ද! මේක වැඩකට නැති දෙයක් නො වෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නො වෙයි. මා ත‍්‍රිවිද්‍යාව ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.
[5]
උගත හැකි පාඩම
[සංස්කරණය]යම් අවස්ථාවක තම අතීත සිද්ධියක් වරද බව අවංක ව පිළිගෙන එතැන් පටන් කොට දැන දැන එම වරද නොකර සිටීම පසුතැවිලි වීමට වඩා ප්‍රඥාගෝචර බව, බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට දුන් අවවාදයෙන් උගත යුතුය. එම අවවාදයෙහි පිහිටා ඉන්පසු අංගුලිමාල තෙරුන් වහන්සේ කළ සත්‍යක්‍රියාව සාර්ථක වීමෙන් ද, පසුතැවිලි නොවී අංගුලිමාල පිරිත අංගුලිමාල තෙරුණ් කමටහන් වඩා රහත් බව ලැබීමෙන් ද, පැහැදිලි වෙයි. උන් වහන්සේ පසුකලකදී ඇනූ උදානය මෙසේ ය. “යමකු පළමු පමා වැ සිට පසුව නො පමා වේ ද හෙතෙමේ අග්‍ර (වලා ) හිමාදීන් මිදුණු සඳ මඬල සෙයින් මෙලොව බබුළුවන්නේය.” “යමක්හු විසින් කරන ලද පව්කම් මාර්ග කුසලයෙන් වසා ලනු ලැබේද, හේ අග්‍ර ( වලා ) හිමාදීන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේයි.” ශේක්ස්පියර්ගේ මැක්බෙත් දෘශ්‍ය කාව්‍යයේ මැක්බෙත් වෛද්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නාවලියේ සඳහන් වන “ ළය මඬල පිරිසුදු වීමේ සංකේතය වශයෙන් අංගුලිමාල තෙරුන් වහන්සේගේ උදානයේ සඳහන් වන “ සඳ මඬල බැබළවීම” පිළිගත හැක. [6]
- ^ වර්ෂ 2012ක් වූ ජුලි මස 15 වන ඉරිදා සිළුමිණ පුවත්පත, පුන්කලස අතිරේකය, පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
- ^ වර්ෂ 2012ක් වූ ජුලි මස 15 වන ඉරිදා දිවයින පුවත්පත, ගාමිණී සුමනසේකර විසින් රචිත අතිරේකය
- ^ http://mahamevnawa.lk/angulimala-maharahathan-wahanse/ මහමෙව්නාව
- ^ මජ්ක්‍ධිම නිකාය
- ^ http://mahamevnawa.lk/angulimala-maharahathan-wahanse/ මහමෙව්නාව
- ^ සෙත් පිරිත් පිටුව