"අශ්‍රැ අස්ථිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{Infobox bone | Name = අශ්‍රැ අස්ථිය | Latin = os lacrimale | GraySubject = 39...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

15:20, 15 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

අශ්‍රැ අස්ථිය
අශ්‍රැ අස්ථියේ පිහිටීම (කොළ පැහැයෙන් දැක්වේ).
අක්ෂි කූපයේ මධ්‍ය බිත්තිය. අශ්‍රැ අස්ථිය කහ පැහැයෙන් දැක්වේ.
තොරතුරු
ලතින්os lacrimale
හඳුන්වනයන්
ග්‍රේ ගේp.164
TAA02.1.09.001
FMA52741
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

අශ්‍රැ අස්ථිය යනු මුහුණේ පිහිටි කුඩාම සහ වඩාත් බිඳෙනසුලුම අස්ථියයි. දළ වශයෙන් එහි ප්‍රමාණය කුඩා නියපොත්තක තරම වේ. එයි පිහිටා ඇත්තේ අක්ෂි කූපයේ මධ්‍ය බිත්තියේ පූර්ව පෙදෙසට වන්නට ය. එහි පෘෂ්ඨ දෙකක් සහ දාර හතරක් පවතී. අශ්‍රැ අස්ථියේ මායිම් කිහිපයක්ම අශ්‍රැකරණය හෙවත් හැඬීමේ දී උපකාරී වේ. විශේෂයෙන්ම අශ්‍රැ අස්ථිය අශ්‍රැ පරිවහනය සඳහා වැදගත් වන නාසාඅශ්‍රැ නාලය තැනීමට දායක වේ. අස්ථියේ පූර්ව අධර පෙදෙසේ අවපාතයක් ලෙස පිහිටි අශ්‍රැ නිඛාතය පටලමය අශ්‍රැ මඩිය රඳවා ගනී. අධිකව අශ්‍රැකරණයේ දී අශ්‍රැ ග්‍රන්ථිවලින් නිපදවෙන කඳුළු හෙවත් අශ්‍රැ තරලය මෙම මඩිය තුළට එකතු වේ. මෙම තරලය අනතුරුව නාසාඅශ්‍රැ ප්‍රණාලය ඔස්සේ නාසාග්‍රසනිකාව වෙත ගලා යයි. මෙම ගලායාම හේතුවෙන් අධිකව හැඬීමේ දී හෙවත් කඳුළු නිෂ්පාදනයේදී සිදුවන පොදුවේ හඳුන්වන නාසය තෙත්වීම සිදු වේ. අශ්‍රැ අස්ථියට හානි වීම හෝ බිඳී යාම හේතුවෙන් පසුකාලීනව අශ්‍රැ මාර්ග අවහිර විය හැක.[1][2]

ව්‍යූහය

පාර්ශ්වික හෙවත් අක්ෂිකූප පෘෂ්ඨය

පාර්ශ්වික හෙවත් අක්ෂිකූප පෘෂ්ඨය අපර අශ්‍රැ කුඩුම්බිය නැමැති සිරස් නෙරුමක් මගින් කොටස් දෙකකට බෙදේ.

මෙම කුඩුම්බියට මුහුණ ලා පිහිටි අන්වායාම ඇලිය අශ්‍රැ ඛාතය (sulcus lacrimalis) නැමැති අතර එහි ඇතුළු දාරය ඌර්ධවහනුක අස්ථියේ පූර්ව ප්‍රසරය සමග සම්බන්ධ වී, අශ්‍රැ නිඛාතය සම්පූර්ණ කරයි. මෙම නිඛාතයේ ඉහළ කොටස අශ්‍රැ මඩිය සඳහා ද, පහළ කොටස නාසාඅශ්‍රැ ප්‍රණාලය සඳහා ද ඉඩ සලසයි.

කුඩුම්බිය පිටුපස පෙදෙස සුමට ය. එය අක්ෂිකූපයේ මධ්‍ය බිත්තියේ කොටසක් සාදයි.

කුඩුම්බිය සහ එයට වහාම පිටුපසින් පිහිටන අක්ෂිකූප පෘෂ්ඨය මගින් ආක්ෂ්‍ය කුණ්ඩකය ඇතිවන අතර, එය අවසන් වන්නේ පහළ කොකු ආකාර ව්‍යූහයකිනි. මෙම ව්‍යූහය අශ්‍රැ වලිශය නම් වන අතර, එය ඌර්ධවහනුක අස්ථියේ අශ්‍රැ ගැටිත්ත සමග සන්ධානය වී නාසාඅශ්‍රැ ප්‍රණාලයේ ඉහළ විවරය සාදයි. මෙම වලිශය (hamulus) ඇතැම් විට වෙන් වූ කොටසක් ලෙස පවතින අතර, එවිට එය සුළු අශ්‍රැ අස්ථිය නම් වේ.

මධ්‍ය හෙවත් නාසා පෘෂ්ඨය

මධ්‍ය හෙවත් නාසා පෘෂ්ඨය අන්වායාම ඇගිලියක් ලෙස පවතින අතර, එය පාර්ශ්වික පෘෂ්ඨයේ කුඩුම්බියට අනුරූපව පිහිටයි.

මෙම ඇගිලියට ඉදිරිපස පෙදෙස නාසයේ මධ්‍ය ආයනයේ (meatus) කොටසක් සාදයි. එය පසුපසින් ජිද්‍රාස්ථිය සමග සන්ධානය වී සමහර පූර්ව ජිද්‍රාස්ථි සෛල සාදයි.

දාර

මෙහි පවතින දාර හතර නම්:

  • පූර්ව දාරය ඌර්ධවහනුක අස්ථියේ පූර්ව ප්‍රසරය හා සන්ධානය වේ;
  • අපර දාරය ජිද්‍රාස්ථියේ පත්‍රාකාර තලාව (lamina papyracea) සමග සන්ධානය වේ;
  • උත්තර දාරය ලලාට අස්ථිය සමග සන්ධානය වේ.
  • අධර දාරය අපර අශ්‍රැ කුඩුම්බියේ මායිම මගින් කොටස් දෙකකට බෙදේ:
    • අපර පෙදෙස ඌර්ධවහනුක අස්ථියේ අක්ෂිකූප තලය සමග සන්ධානය වේ;
    • පූර්ව පෙදෙස අවරෝහණ ප්‍රසරය මෙන් පහළින් දික් වී අධර නාසා කම්බු අස්ථිවල අශ්‍රැ ප්‍රසරය සමග සන්ධානය වේ. එසේම එය නාසාඅශ්‍රැ ප්‍රණාලය සඳහා නාලය තැනීමට දායක වේ.

වර්ධනය

අශ්‍රැ අස්ථිය අස්ථිභවනය වන්නේ තනි මධ්‍යස්ථානයකිනි. එය දොලොස්වන සතියේ දී කාටිලේජීය නාසා ප්‍රාවරය ආවරණය කරන පටලයෙන් දෘශ්‍යමාන වේ.

සන්ධානයන්

අශ්‍රැ අස්ථිය අස්ථි හතරක් සමග සන්ධානය වේ: ඉන් දෙකක් කපාල අස්ථි වන ලලාටාස්ථිය සහ ජිද්‍රාස්ථිය වන අතර, අනෙක් දෙක වක්ත්‍ර අස්ථි වන ඌර්ධවහනුක අස්ථිය සහ අධර නාසා කම්බු අස්ථි වේ.

වෙනත් සතුන් තුළ

මුල්කාලීන ඛණ්ඩික වරල් දරන මත්ස්‍යයින් සහ ආදි සිව්පාවුන් තුළ, අශ්‍රැ අස්ථිය සාපේක්ෂව විශාල ශක්තිමත් එකක් විය. එය අක්ෂිකූපයේ සිට නාස් පුඩු දක්වා දිවෙයි. එය නාසාස්ථි සහ ඌර්ධවහනුක අස්ථි අතර මුහුණේ කොටසක් සෑදීමට දායක විය. ප්‍රාථමික ස්වරූපවල, එය බොහෝ විට නාස් විවරවලවලට වහාම පිටුපසින් පිහිටි කුඩා සෙප්ටොමැක්සීල අස්ථිය සමග පිහිටි නමුත්, නූතන විශේෂවල එය දක්නට නැත. වර්තමාන පෘෂ්ඨවංශීන් තුළ අශ්‍රැ අස්ථිය කුඩා අතර, නාසා විවර සමග බොහෝවිට ඍජු සම්බන්ධ වීමක් දක්නට නොලැබෙයි. නමුත් එය අක්ෂිකූපය සමග සම්බන්ධ වී ඇත. කෙසේනමුත් මෙම අස්ථි වර්තමාන උභයජීවීන් සහ ඇතැම් උරග විශේෂවල සම්පූර්ණයෙන් නැති වී ගොස් ඇත.[3]

අමතර පින්තූර

මේවාත් බලන්න

මූලාශ්‍ර

  1. මැලිබෝර්ස්කි, ඒ; රොසිකි, ආර්. (2014). "ඩයග්නෝස්ටික් ඉමේජිං ඔෆ් ද නැසෝලැක්‍රිමල් ඩ්‍රේනේජ් සිස්ටම්. I කොටස. රේඩියොලොජිකල් ඇනටමි ඔෆ් ලැක්රිමල් පාත්වේස්. ෆිසියොලොජි ඔෆ් ටියර් සික්‍රීෂන් ඇන්ඩ් ටියර් අවුට්ෆ්ලෝ". Med. Sci. Monit. 20: 628–38. doi:10.12659/MSM.890098. PMC 3999077. PMID 24743297.
  2. ඇනටමි ඇන්ඩ් ෆිසියොලොජි සැලඩින්, 7e
  3. රෝමර්, ඇල්ෆ්‍රඩ් ෂර්වුඩ්; පාසන්ස්, තෝමස් එස්. (1977). ද වර්ටිබ්‍රේට් බොඩි. ෆිලඩෙල්ෆියා, PA: හෝල්ට්-සෝන්ඩර්ස් ඉන්ටර්නැෂනල්. pp. 217–241. ISBN 0-03-910284-X.

බාහිර සබැඳි

  • Atlas image: eye_5ට අදාළ මිචිගන් විශ්වවිද්‍යාල සෞඛ්‍ය පද්ධතියේ ගිණුම
  • Atlas image: rsa2p4‍ට අදාළ මිචිගන් විශ්වවිද්‍යාල සෞඛ්‍ය පද්ධතියේ ගිණුම
  • Anatomy diagram: 34256.000-1ට අදාළ රොච්-ලෙක්සිකන් ගිණුම - සිතුවම් සහිත මාර්ගකය, එල්සිවියර්
  • Diagram at upstate.edu

සැකිල්ල:OrbitalBones

"https://si.wikipedia.org/w/index.php?title=අශ්‍රැ_අස්ථිය&oldid=383975" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි