දූරියන්

විකිපීඩියා වෙතින්
දූරියන්
Fruit of Durio kutejensis, commonly known as durian merah
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Malvales
කුලය: Malvaceae
උපකුලය: Helicteroideae
Tribe: Durioneae
ගණය: ''Durio''
L.
Species

දැනට හදුනා ගනු ලැබූ විශේෂ 30ක් පමණ පවති.

පර්යාය නාම(ය)

Lahia Hassk.


දූරියන් දූරියෝ ගණ​යට හා මලවාසියේ කුලයට අයත් වන පළ​තුරකි (සමහර වර්ගීකරණඥයින් දූරියෝ දූරියොනාසියේ කුලයට ඇතුල් කරයි)

අග්නිදිග​ ආසියාතිකයන් විසින් "පළතුරු අතර රජු" ලෙසින් හඳුන්වන දූරියන් එහි විශාලත්වය, දැඩි කටු (Spine) සහිත ලෙල්ල (Husk) හා එයටම ආවේණික සුවඳ (Odour) නිසා විශේෂත්වයක් උසුලයි. මෙම පළතුරට දිග සෙන්ටිමීටර 30ක්, වටප්‍රමාණය සෙන්ටිමීටර 15ක් වන තෙක් වර්ධනය වීමේ හැකියාව පවතින අතර සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 3ක් පමණ වේ. එහි වර්ගය අනුව පළතුරේ හැඩය දිගටි ආකරයේ සිට වටකුරු ආකරයටත්, ලෙල්ලෙහි වර්ණය කොළ පැහයේ සිට දුඹුරු පැහැයටත් සහ මදයේ වර්ණය ලා කහ පැහැයේ සිට රතු පැහැයටත් වෙනස් වේ.

දූරියන්හි මාන්සලමය මදයේ සුවිශේෂි වු ගන්ධය එහි ලෙල්ල නොකඩා තිබියදී පවා පැතිරී යාමට තරම් ප්‍රබල වේ. සමහරුන් විසින් එය ප්‍රසන්න සුවඳක් ලෙසින් සැලකුවද සමහරුන්ට එය පිළිකුල දනවන කටුක ගන්ධයක් ලෙස සලකයි. මෙම සුවඳ ගැඹුරු රසාස්වාදයක සිට ප්‍රබල අප්‍රසන්නතාවයක් දක්වා සංවේදනා ඇති කිරීමට සමත් වෙන අතර එය ආමන්ඩ් (Almond) සුවඳ ලෙසින්ද, කුණු වු ළූණු ගඳ ලෙසින්ද, ටර්පන්ටයින් (Turpentine) සුවඳ ලෙසින්ද, කුණුකසල ගන්ධයක් ලෙසින්ද අර්ථ දක්වනු ලැබේ.. මෙම සුවඳ නිසා අග්නි දිග ආසියාවේ සමහර හෝටල් සහ පොදු ප්‍රවාහන පද්ධතින් විසින් දූරියන් පිටුදැකිමේ ප්‍රවනතාවයක් තිබේ.

අග්නිදිග ආසියාවට (Southeast Asia) ආවේණික පළතුරක් වන දූරියන් වසර 600කට පමණ පෙර බටහිරටද හදුන්වා දෙනු ලැබුණි. 19 වන ශත වර්ෂයේදි බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වන ඇල්ෆ්‍රඩ් රුසෙල්ස් වොල්ලස් (Alfred Russel Wallace) විසින් දූරියන් මදය ආමන්ඩ් රසැති ප්‍රණිත කස්ටර්ඩ් වර්ගයක් වැනියයි ප්‍රකාශ කලේය. දුරියන් මදය සම්පුර්ණයෙන් ඉඳිම තෙක් වු විවිධ අවස්ථා වලදී පරිභෝජනය කිරිමේ හැකියාව පවති. එය ඉමිහිරි, සුධන්දවත් අග්නිදිග ආසියාතික ආහාර රැසක් රස ගැන්වීම සදහා යොදා ගනි. එමෙන්ම දූරියන් බීජද පිස ආහාරයට ගැනිමේ හැකියාව පවති.

දැනට හදුනා ගනු ලැබූ දූරියෝ විශේෂ 30ක් පවතින අතර ඒවායින් 9ක පමණ ආහාරයට සුදුසු ඵල හට ගනි. අන්තර්ජාතික වෙලදපොළේ දූරියෝ සිබෙතිනස් විශේෂය පමණක් දැකිය හැකි වන අතර, අනෙකුත් විශේෂ දේශීය වශයෙන් අලවි කරනු ලැබේ. දුරියන් උප විශේෂ (Cultivars) සියයක් පමණ පවතින අතර පාරිභෝගිකයන් සමහර උප විශේෂ සදහා වැඩි මනාපයක් දක්වන නිසා ඒවයේ මිල ඉහළ අගයක් ගනි.

විශේෂ[සංස්කරණය]

බොහෝ විට දිවා කාලයේදි දූරියන් පුෂ්පය මුකුලිතව පවති.
මිනිස් උසට සපේක්ෂව පැඟිරි වයසේ දූරියන් ශාකයක උස. හොඳින් වැඩුනු ශාකයක් මිටර 50ක්(අඩි 164ක්) පමණ වේ.

දූරියන් ශාක විශාල වන අතර එහි වර්ගය අනුව මීටර 25ත් 50ත් (අඩි 80ත් 164ත් ) අතර වර්ධනයක් දක්නට ලැබේ. සෙන්ටිමීටර 8ත් 10ත් අතර සදාහරිත පත්‍ර ඉලිප්සාකාරයේ සිට දිගටි ආකාරය තෙක් දක්නට ලැබේ. විශාල දූරියන් අතු වල හා එහි කඳෙහි දූරියන් පුෂ්ප 3ත් 30ත් අතර පොකුරු හට ගන්නා අතර සෑම පුෂ්පයක්ම පුෂ්ප කෝශයකින් (මනි පත්‍ර) හා පත්‍ර 5කින් සමන්විත වේ. දූරියන් ශාකයකට වසරකට මල් වාර 1ක් හෝ 2ක් පවතින අතර, ශාකයේ කුලය, ප්‍රභේදය හා ප්‍රදේශය අනුව එහි කාලය වෙනස් වේ. සාමන්‍යයෙන් දූරියන් ශාකයකට වසර 4කට 5කට පසු ඵල දැරිමෙ හැකියාව පවති. දූරියන් ශාකයේ අතු වල හට ගන්නා ඵල සාමන්‍යයෙන් පරාගණයෙන් මාස 3කට පමණ පසු පරිණත බවට පත් වේ. මෙම ඵලයට දිගින් සෙන්ටිමිටර 30ක් (අඟල් 12) ද, වට ප්‍රමාණයෙන් සෙන්ටිමිටර15ක් (අඟල් 6) ද බරින් කිලෝග්‍රැම් 1-3(රත්තල් 2-7) පමණ වන තෙක් වර්ධනය විමේ හැකියාව පවති. ශාකයේ ප්‍රභේදය අනුව දූරියන් ඵලය දිගටි හො රවුම් ආකාරයක් ගන්නා අතර ලෙල්ල කොළ සිට දුඹුරු පැහැය දක්වාද, මදුළු ලා කහ සිට රතු පැහැය දක්වාද වෙනස් වේ. දූරියො ප්‍රභේද 30ක් අතරින් 9ක් ආහාරයට ගත හැකි ඵල හට ගන්නා ප්‍රභේද ලෙස හදුනාගෙන තිබේ. ඒවා නම් ඩි. සිබෙතිනස්, ඩි. දුල්සිස් '(D. dulcis)', ඩි. ග්‍රැන්ඩිෆ්ලොරුස්' (D. grandiflorus)', ඩි. ග්‍රවොලෙන්ස්, ඩි. කුටෙජෙන්සිස් (D. kutejensis), ඩි. ලොවිනස්, ඩි. මක්‍රන්ත, ඩි. ඔක්ස්ලෙයනුස්, සහ ඩි. ටෙස්ටුඩිනරම් (D. testudinarum) ය. සමහර ප්‍රභේදයන්ගේ ඵල කෙදිනකවත් නියමාකාරයෙන් පිරික්සිමකට ලක් කර නොමැති නිසා ඒවා අතරද ආහාරයට සුදුසු ඵල හට ගන්නා ශාක තිබිමේ හැකියාවක් පවති. දූරියන් පෙනුමෙන් කොස් ගෙඩියකට සමාන වුවත් ඒවායේ ප්‍රභේද අතර සම්බන්ධතාවයක් දක්නට නොලැබේ.

දූරියන් නාමය මැලේ භාෂාවෙන් කටුව හදුන්වන දූරි යන පදයට අන් (මැලේ භාෂාවේදි නාම පදයක් සෑදිමේදි යොද ගන්නා පදයකි ) යන පසු ඇඳිය එකතු විමෙන් සෑදි ඇත. දූරියො විශේෂ අතරින් ඩි. සිබෙතිනස් යන විශේෂය පමණක් වාණිජ වශයෙන් වගා කරන අතර ආවේණික ප්‍රදේශයන්ගෙන් බැහැරව බහුල ලෙස දක්නට ලැබේ. මෙය විවෘත පරාගණයට ලක් වු ප්‍රභේදයක් නිසා එහි ඵලයේ වර්ණය, ගන්ධය, ප්‍රමාණය, මදුළු හා බීජයේ ප්‍රමාණය හා ශාකයේ ජීව සෘතුවේ විශාල වෙනස්කම් දක්නට ලැබේ. විශේෂ නාමකරණයෙදි සිබෙතිනස් යන්න ඉන්දියානු උරුලෑවා හැදින්විම සදහා විවෙරා සිබෙතා ලෙස යොද ගනී.

විශාල දූරියන් පුෂ්ප මල් පැණියෙන් (Nectar) යුක්ත වේ. එය තද පැඟිරි සුවඳක් පතුරවයි. මෙම ලක්ෂණ නිසා මල් පැණි ආහාරයට ගන්නා වවුල් (Bat) විශේෂ මඟින් පුෂ්ප පරාගණය විම සිදුවේ. 1970 වේ දී මැලේසියාවේ සිදු කරනු ලැබු පරික්ෂණයකට අනුව දූරියන් සම්පුර්ණයෙන්ම පරාගණය වන්නේ පළතුරු වවුලන් මගින් බව කියවුනද, 1996 යේ දි කල අධ්‍යයනයකින් ඩි. ග්‍රැන්ඩිෆ්ලොරුස් සහ ඩි. ඔබ්ලොන්ගුස් යන විශේෂ ස්පයිඩර් හන්ටර්ස් මගින්ද ඩි. කුටෙජෙන්සිස් විශේෂය යෝධ මී මැස්සන් (Giant honey bee) හා කුරුල්ලන් මඟින් මෙන්ම වවුලන් මඟින්ද පරාගණය වන බව හදුනා ගැනුනි.

උප විශේෂ[සංස්කරණය]

විවිධ දූරියන් උප විශේෂ වල විවිධ වර්ණ ප්‍රභේදයන් දක්නට ලැබේ. ඩි 101(දකුණ) හි තද කහ පැහති මදුළු වල වර්ණයේ හා වම් පස ඇති ඵලයෙහි මදුළු වල වර්ණය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ.

වසර සිය ගණනක් තිස්සෙ අග්නිදිග ආසියාවේ හටගත් ශාකමය ක්ලෝන මගින් අතිවිශාල දූරියන් උප විශේෂ ප්‍රමාණයක් හටගෙන තිබේ. ඒවායේ උසස් තත්වයෙන් යුතු ඵල හට ගන්නා ලදි. නමුත් වර්තමානයේදි අතු බැඳීම හෝ වඩාත් බහුල ලෙස බද්ධයන් මඟින් ශාක ප්‍රචාරණය සිදු කරනු ලැබේ. අංකුර, පතුරු, කූඤ්ඤ , U බද්ධය වැනි බද්ධ ක්‍රම වලදි අහඹු ලෙස තෝරා ගන්නා ලද අනුජයකට ඒවා බද්ධ කිරීම සිදු කෙරේ. විවිධ උප විශේෂයන් ඒවායේ ඵල වල හැඩයේ, කටු වල හැඩයේ වෙනස්කම් අනුව තරමක් දුරට වෙනස් වේ. පරිභෝගිකයන් විශේෂිත උප විශේෂයන් සඳහා දක්වන කැමත්ත වෙළඳපොලේදි ඒවාට ඉහළ මිලක් ලබා දිමට සමත්වේ.

බොහෝ උප විශේෂ සඳහා ඉංග්‍රීසි “ඩී” අකුරත් සමග සමාන්‍ය නාමයක් සහ කේත අංකයක් පවති. උදාහරණයක් ලෙස සමහර ප්‍රසිද්ධ ක්ලෝනයන් වන කෝප් (ඩී 99 ෆ්‍රොග් ) , චානේ (ඩී 123 ගිබන්), බෙර්ශෙරා හෝ ග්‍රීන් දූරියන් හෝ ටන් මෙක් හිජව් (ඩී 145 ග්‍රීන් දූරියන්), කන් යෝ (ඩී 158 ලෝන්ග් ස්ටෙම්), මොන් තොන්ග් (ඩී 159 ගෝල්ඩන් පිලෝ), ක්‍රඩම් තොන්ග් (ගෝල්ඩන් බට්න්) සහ සාමාන්‍ය නාමයන් නොමැති ඩී 24 සහ ඩී 169 දැක්විය හැක. සෑම උප විශේෂයක්ම වෙනස් රසයකින් හා සුවඳකින් යුක්ත වේ. තායිලන්තය පුරා ඩී .සි‍බෙතිනස් විශේෂයේ උප විශේෂ දෙසියකට අධික ප්‍රමාණයක් පවති.

වාණිජ වශයෙන් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ මොන් තොන්ග් වලටය. එහි මෘදු මිහිරි මදුළු, සාපේක්ෂව සුළු වශයෙන් වහනය වන සුවඳ සහ කුඩා බීජ මෙයට හේතු වේ. කෘමි උවදුරු වලට ප්‍රතිරෝධයන් දැක්වි‍මේ හැකියාව අතින් ගත් කල චානේ ඉහළ ස්ථානයක වැජඹේ. තායිලන්තය පුරා ඇති උප විශේෂ අතරින් චානේ, මොන් තොන්ග්, කන් යෝ, රන්ග් හා ක්‍රඩම් යන වර්ග පහ වාණිජමය වශයෙන් බහුල ලෙස වගා කරයි. 1920 දි මලයාසියාවේ ලියාපදිංචි කළ උප විශේෂයන් 100ක් පැවති අතර 1992දි එම අගය 193ක් දක්වා වර්ධනය වි තිබුනි. මේවායින් උසස් තත්වයේ පවතින බොහෝ විශේෂයන් මැලේසියාවේ වාර්ෂික කෘෂි කාර්මික, ගෙවතු වගා හා තෘණ විද්‍යා ප්‍රදර්ශනයන් වලදී පැවති තරඟ වලදි හදුනා ගත් ඒවායි. වියට්නාමයද මෙම ක්‍රියාවලිය අනුගමනය කරමින් අග්නිදිග පළතුරු පර්යේෂණායතනය මගින් තරඟාවලි පවත්වයි. කැට් මවුන්ටන් කින්ග් ඉතා මෑතකදි ප්‍රචලිත වු ප්‍රභේදයකි.

තායි රජයේ විද්‍යාඥයෙකු වන සොන්ග්පොල් සොම්ශ්‍රී විසින් චැන්ටබරි අංක1 නැමති දූරියන් වර්ගය නිපදවීම සඳහා දූරියන් විශේෂයන් අනුවකට අධික ප්‍රමණයක් දෙමුහුන් කරන ලදි. තවත් දෙමුහුමක් වන චැන්ටබරි අංක 3, ඵලය ගසින් නෙලාගෙන දින තුනකට පමණ පසු එහි සුවඳ නිකුත් කරයි. එය අප්‍රසන්න ගන්ධයෙන් තොර ප්‍රවාහනයකට උපකාරි වන අතර ගන්ධයට දැඩිව ඇලුම් කරනා පරිභෝගිකයන් තෘප්තිමත් කිරිමටද සමත් වේ. 2012 මැයි මස 22 වැනි දින තායිලන්තයේ උත්තරාදිත් ප්‍රාන්තයේ අණ්ඩුකාරවරයා වන යොතින් සමුත්ක්‍රි විසින් සුපුරුදු ගන්ධයෙන් තොර තවත් උප විශේෂ දෙකක් හදුන්වා දෙන ලදි. ඔහු ලෙප්ලෑ දිස්ත්‍රික්කයේ වාර්ෂික දූරියන් පොළ සඳහා දින ප්‍රකාශ කරන කාලය තුල මෙම උපවිශේෂ වැඩි දියුණු කළ නිසා ඒවා ලොන්ග් ලෙප්ලෑ සහ ලීන් ලෙප්ලෑ ලෙස නම් කෙරුණි.

වගාව සහ ව්‍යාප්තිය[සංස්කරණය]

සිංගප්පුරුවේ ([Singapore]) දූරියන් වෙළඳ සැලක්
ඉන්දුනීසියාවේ සිරෙබෝන් හි අලවියට තබා ඇති දූරියන්.

දූරියන් බෘනේ ([Brunei]), ඉන්දුනීසියාව සහ මැලේසියාවට ([Malayasia]) උරුම පළතුරකි. එමෙන්ම දූරියන් පිලිපීනයේ ([Philippinines]) මින්දනාවෝ දිවයිනේ ([Mindanao]) ඩාවෝ ප්‍රදේශයට ආවේණික පළතුරක්ද නැතහොත් හදුන්වාදෙන ලද්දක්ද යන්න පිළිබඳව විවාදයන් පවති. සමාන දේශගුණයක් සහිත අනෙකුත් ඝර්ම කලාපීය ප්‍රදේශ වලද දූරියන් වර්ධනය වන අතර සාමාන්‍ය දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ( ෆැරන්හයිට් 72)ට වඩා අඩු වුවහොත් වර්ධනය අඩපණ වේ.

ආහාරයට ගත හැකි දූරියො විශේෂ වලින් ඩී. සිබෙතිනස්, ඩී. දුල්සිස්, ඩි. ග්‍රවොලෙන්ස්, ඩී. කුටෙජෙන්සිස්, ඩී. ඔක්ස්ලෙයනස් සහ ඩී. ටෙස්ටුඩිනරම් යන වර්ග බොර්නියෝ වෙළඳපලේ දක්නට ලැබේ. බෘනේ හි පාරිභෝගිකයන් ඩී. ග්‍රවොලෙන්ස්, ඩී. කුටෙජෙන්සිස් සහ ඩී. ඔක්ස්ලෙයනුස් යන විශේෂ වලට කැමත්තක් දක්වන නිසා එහි ඩී. සිබෙතිනස් විශේෂය වගා කරනු නොලැබේ. මෙම විශේෂයන් ඩි. ටෙස්ටුඩිනරම් සහ ඩි. දුල්සිස් යන විශේෂයන් සමග බෘනේ පුරා පැතිරී ඇති නිසා උසස් ජාන විවිධත්වයක් පෙන්නුම් කරයි.

දූරියන් තායිලන්තයට ආවේණික පළතුරක් නොවුවත් වර්තමානයේ එය ප්‍රධාන දූරියන් අපනයනකරුවෙකු බවට පත් වි තිබේ. 1999 දි ලෝකයේ දූරියන් නිෂ්පාදනය ටොන් 1,400,000ක් වු අතර ඉන් ටොන් 781,000ක දායකත්වය තායිලන්තයෙනි. තායිලන්තය මින් ටොන් 111,000ක් තායිවානය, හොංකොං, මැලේසියාව සිංගප්පුරුව හා කැනඩාව යන රට වලට අපනයනය කරන ලදි. මැලේසියාව හා ඉන්දුනිසියාව ටොන් 265,000 බැගින් නිපදවු අතර මැලේසියාව මින් ටොන් 35,000ක් අපනයනය කළේය. ලෝක දූරියන් උළෙල සෑම වසරකම මැයි මාසයෙදි තායිලන්තයේ චැන්ටබරි හිදි පැවත්වේ. මෙම ප්‍රදේශයෙන් පමණක් තායිලන්තයේ දුරියන් නිෂ්පාදනයෙන් අර්ධයකට වැඩි ප්‍රමාණයක දායකත්වය සැපයේ. ඩාවෝ කලාපය පිලිපීනයේ දූරියන් වගාවේ මර්මස්ථානයයි. මෙහි වාර්ෂිකව කඩයවන් (Kadayawan Festival) නැමති දූරියන් උළෙල පැවැත්වේ. මේ හැරුනුවිට කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, මියන්මාරය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ෆ්ලොරීඩාව, හවායි, පැපුවා නිව්ගිනියාව, පොලිනේසියානු දුපත්, මැඩගස්කරය, දකුණු චීනය, උතුරු ඕස්ට්‍රේලියාව හා සිංගප්පුරුවද දූරියන් වගා කරයි.

කැලිෆෝනියානු වෙළඳපොලේ විකිණිම සඳහා ශිතකරණයෙන් පිටතට ගන්නා ලද මලු වල ඇසිරු දුරියන්.

1960 ටේ මුල් බාගයේදි දූරියන් ඕස්ට්‍රේලියාවට හදුන්වා දෙන ලදි. පසුව ඩි සිබෙතිනස් ක්ලෝන තිහකට අධික ප්‍රමාණයක් සහ දූරියො විශේෂ හයක් හඳුන්වා දෙන ලදි. 1999දි දූරියන් ටොන් 65,000ක් ආනයනය කල චීනය ප්‍රධානම දූරියන් ආනයනකරුයි. එම වසරේදිම සිංගප්පූරුව ටොන් 40,000ක් ද, තායිවානය ටොන් 5000ක් ද, ඇමෙරිකාව ටොන් 2000ක් ද, යුරෝපීය ප්‍රජාව ටොන් 500ක් ද අනයනය කරන ලදි.

නිරාවරණය වු බීජයක් සමග විකිණිම සඳහා ඇසුරුම් කරන ලද දූරියන් මදුළු.

දූරියන් ගස්ලබු වැනි වසර පුරාම දැකිය හැකි ඝර්ම කලාපීය පළතුරක් නොවන අතර වසරේ විශේෂ කාලයකදි පමණක් දැකිය හැක. සාමාන්‍යයෙන් මැලේසියානු අර්ධද්වීපයේ හා සිංගප්පූරුවේ ජූනි සිට අගෝස්තු දක්වා කාලය දූරියන් වාරය වන අතර එම කාලය මැංගුස්ටීන් වාරයද වේ. අනෙකුත් පළතුරු වලට සාපේක්ෂව දූරියන් හි මිල ඉහළ අගයක් ගනු ලැබේ. උදාහරණයක් ලෙස සිංගප්පූරුවෙදී ඩි 24, සුල්තන්, සහ මවෝ ෂැන් වැන් වැනි ප්‍රමිතියෙන් උසස් උප විශේෂ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එම නිසා සාමාන්‍යයෙන් දූරියන් කිලෝග්‍රෑමයක සිල්ලර මිල සිංගප්පූරු ඩොලර් 8ත් 15ත් (ඇමෙරිකානු ඩොලර් 5ත් 10ත් ) අතර අගයක් ගනී. එවිට දූරියන් ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1.5ක්(රත්තල් 3.3) වන නිසා, දූරියන් ගෙඩියක් සඳහා සිංගප්පූරු ඩොලර් 12ත් 22ත්(ඇමෙරිකානු ඩොලර් 8ත් 15ත්) අතර මුදලක් වැය කිරිමට සිදුවේ. නමුත් “මදුළු” ලෙසින් හදුන්වන දූරියන් ගෙඩියෙහි ආහාරයට ගත හැකි කොටසෙහි ප්‍රමාණය මුළු දූරියන් ගෙඩියෙන් සියයට 15ත් 30ත් පමණ වේ. එසේ වුවත් බහුතර සිංගප්පූරු පරිභෝගිකයන් තම ප්‍රියතම දූරියන් මිලදි ගැනීම සඳහා වරකට සිංගප්පූරු ඩොලර් 75ක්(ඇමෙරිකානු ඩොලර් 50) පමණ වැය කිරීමට මැලි නොවෙති.

දූරියන් වාරයෙදි ජපානයේ ප්‍රධාන පෙලේ වෙළඳසැල් වලද බටහිර රට වල ආසියානු වෙළඳසැල් වලද දූරියන් විකුණනු ලැබේ.

රසය සහ සුවඳ[සංස්කරණය]

සිංගප්පූරුවේ මාස් රැපිඩ් ට්‍රාන්සිට් හි දුරියන් තහනම් බව හඟවන සලකුණක්.

දූරියන් රසය සහ සුවඳ බොහෝ මිනිසුන් තුල ගැඹුරු ප්‍රසාදය සිට තදබල පිළිකුලක් දක්වා වු විවිධ අදහස් හා හැගීම් ක්ෂණිකයෙන් ඇති කිරීමට සමත් වේ. 1856 දී බ්‍රිතාන්‍ය ජාතික පෝෂණවේදියෙකු වු ඇල්ෆ්‍රඩ් රුස්සෙල් වොල්ලස් විසින් දූරියන් රසය පිළිබදව පහත දැක්වෙන සවිස්තරාත්මක කියමන ඉදිරිපත් කරනු ලැබුවේය.

“සේද වැනි සුදු පැහැති කුටීර පහ ක්‍රීම් පැහැති පල්පයකින් පිරි පවතින අතර එක් කුටීරයක් තුල බීජ තුනක් අඩංගු වේ. මෙම පල්පය ආහාරයට ගත හැකි කොටස වන අතර එහි උකු බව හ රසය විස්තර කළ නොහැකි තරම්ය. ආමන්ඩ් වලින් හොඳින් රස ගැන්වු කස්ටඩ් වැනියැයි දළ අදහසක් ඉදිරිපත් කළ හැකි වුවත් එම රසය, ක්‍රීම් චීස්, ළූණු සෝස්, ෂෙරි වයින් හා අනෙකුත් එකිනෙකට නොගැලපෙන ආහාර රසයන් මතකයට නැංවීමට සමත් වේ. වෙන කිසිවක් සතු නොවෙන ඇලෙනසුලු මෘදු බව මෙම පල්පයේ ප්‍රණිත බව වැඩි කිරීමට හේතු වේ. එය ඔක්කරයක් හෝ අනෙකුත් අහිතකර බලපෑමක් ඇති නොකරවන අතර එය වැඩි වැඩියෙන් ආහාරයට ගනිත්ම තව තවත් අහාරයට ගැනිමේ ආශාවක් උපදි. ඇත්ත වශයෙන්ම දූරියන් අහාරය ගැනීම, අත්දැකීම් ලබා ගැනිම සදහා නැගෙනහිරට යත්‍රා කිරිම තරම් උද්වේගකරයි.”

එහි සුවඳ නිසා තමාද පළමු වරට දූරියන් ආහාරයට ගැනිමට මැළි වු අන්දම වොල්ලස් විස්තර කරන්නේය, “නමුත් බෝනියෝ වලදි මට ඉඳි බිම වැටුනු දූරියන් ගෙඩියක් හමුවි එය එළිමහනේදි ආහාරයට ගත්තා. එසැනින් මම නිත්‍ය දූරියන් ලොලියෙකු බවට පත් වුණා.” ඔහු 1599 දි කරන ලද සංචාරයකදි සදහන් කර ඇති පරිදි, “දූරියන් රසවිඳ ඇති අයට අනුව එයට ඇත්තේ ලොව අනෙකුත් සියළු පළතුරු වල රස පැරදවිය හැකි උත්කෘෂ්ට රසයකි ”. ඔහු තවත් සටහනක සදහන් කර ඇති පරිදි, “දූරියන් වලට හුරු නොවු පුද්ගලයන්ට පළමු වරට එහි සුවඳ කුණු ළූණු ගඳක් ලෙස දනුනද, එය ආහාරයට ගත් සැණින් ඔවුන් එයට ඇලුම් කරනවා.ස්වදෙශිකයන් දූරියන් වලට ගෞරව නාම හා ප්‍රශංසාවන් ලබා දෙනවා ”.

වොල්ලස් “ඉදුණු පළතුරේ සුවඳ පළමු වර නිසැකයෙන්ම අප්‍රසන්නසහගතයි” යයි ප්‍රකාශ කරද්දි අනෙකුත් බටහිර ජාතිකයන් විසින් එය වඩාත් සවිස්තරාත්මකව විස්තර කර ඇත . බ්‍රිතාන්‍ය ජාතික නවකථාකරුවෙකු වන ඇන්තනි බගස් විසින් දූරියන් ආහාරයට ගැනීම “මිහිරි රාස්ප්බෙරි පුඩිමක් වැසිකිළියක සිට ආහාරයට ගැනීමක්” වැනියැයි ප්‍රකාශ කළේය. සූපවේදියෙකු වු ඇන්ඩෘ සීමන් එහි රසය “සම්පුර්ණයෙන්ම කුණු වු ළූණු” වලට උපමා කර ඇත. දූරියන් ලෝලියෙකු වන ඇන්තනී බර්ඩන් ඔහු ගේ දූරියන් පිළිබඳ පළමු අත්දැකිම”එහි රසය විස්තර කළ නොහැකි තරම් ය. එක්කො ඔබ එයට ඇලුම් කරාවි නැතහොත් පිළිකුල් කරාවි. …එය ආහාරයට ගත් පසු ඔබේ සුසුම් මිය ගිය වයස්ගත කාන්තාවකගෙ මුව සිපගත් කලෙක මෙන් ය”. සංචාර හා ආහාර පිළිබඳ විස්තර රචකයෙකු වන රිචඩ් ස්ටේලින් කියන පරිදි

“එහි ගඳ ඌරු වසුරු, ටපන්ටයින් හා ළූණු ඇසුරෙන් ඉතා හොඳින් විස්තර කල හැක. එය සැතපුම් ගනනක් ඈතකදි වුවත් හදුනා ගත හැකියි. අග්නිදිග ආසියවේ බහුතර වැසියන් ගේ අකමැත්ත මැද වුවත්, සමහර හෝටල්, උමං මාර්ග හා ගුවන්තොටුපලවල් ඇතුළු ආයතන ද, පොදු ප්ර වාහන සේවාවන් ද දුරියන් පළතුර තහනම් කර තිබෙනවා.”

උරුලෑවන්, අසූචි, පිලුණු වමනය, භාවිතා කල වෙලුම් පටි සමඟ තවත් සැසදිමක් තිබේ. විවිධ විශේෂයන්ගෙන් හා ක්ලොන වලින් පැවත එන දූරියන් වර්ග වල විශාල ලෙස වෙනස් ගන්ධයන් පවති. උදහරණ ලෙස රතු දූරියන් (ඩි. දුල්සිස්) ගැඹුරු කැරමල් රසකින් හා ටපන්ටයින් සුවඳින් යුක්ත වන අතර රතු මදුළු සහිත දූරියන් (ඩි. ග්‍රවොලෙන්ස්) රෝස්ට් කරන ලද ආමන්ඩ් සුවඳක් නිකුත් කරයි. ඩි. සෙබතිනස් විශේෂයේ ප්‍රභේද අතුරින් තායි ප්‍රභේද, මැලේ ප්‍රභේදයන්ට වඩා වැඩි රසයකින් හ අඩු ගන්ධයකින් යුක්ත වේ. ඵලය කෙතරම් දුරට ඉදී ඇත්ද යන්නත් මෙම රසය සඳහා බලපායි. දූරියන් ගන්ධයෙහි සංයුතිය පිළිබඳව 1972දි, 1980දි සහ 1995දි පැවත්වු විද්‍යාත්මක විශ්ලේෂණයන් තුනකට අනුව එස්ටර, කේටොන හ විවිධ සල්ෆ සංයෝග අඩංගු බව සොයා ගත්තද, දූරියන්හි විශේෂ සුවඳට මූලිකවම හේතු වන ද්‍රව්‍ය පිළිබඳව එකඟතාවයකට පැමිණිමට නොහැකි වුණි.

මෙම ප්‍රබල ගන්ධය සතුන්ට සැතපුම් භාගයක් පමණ ඈතකදි වුවත් හදුනා ගත හැකි නිසා එය ඔවුන් ආකර්ශනය කර ගැනිමට සමත් වේ. මෙය ලේනුන්, ගෝනුන්, ඌරන්, ඔරංඔටන්, අලින් සහ සමහර මාංශ භක්ශක කොටින් ගේ පවා ආහාර රුචිය වැඩවිමට සමත් වේ. දූරියන් ආහාරයට ගන්නා සමහර සතුන් එම බීජ මව් ශාකය යටම විසුරුවා ගියද සමහර සතුන් ඒවා මදුළුත් සමග ගිලින නිසා ඒවා මෙම සතුන් මගින් ව්‍යාප්ත වේ.

ඉදුණු දූරියන් සහ ඒවා තෝරා ගැනිම[සංස්කරණය]

දූරියන් මිල දී ගැනිමට පෙර එය ඉව කර බලන පාරිභෝගිකයෙක්

ලාරොස්සෙ ගැස්ට්‍රොනොමික් ට අනුව දුරියන් ලෙල්ල පිපිරිමට පටන් ගන්නා විට එම ඵලය ආහාරයට ගැනිමට සුදුසු තත්වයට පැමිණ තිබේ. මෙම අවස්ථාව දකුණු ආසියාවේ කලාපයෙන් කලාපයට මෙන්ම දූරියන් විශේෂය අනුවද වෙනස් වේ. සමහර දූරියන් විශේෂයන් ඉතා උසට වැඩෙන නිසා ඒවා ආහාරයට ගත හැකි වන්නෙ ගසෙන් ගිලිහි බිම වැටුණු පසුව පමණි. නමුත් ඩි. සෙබෙතිනස් හි බොහෝ උප විශේෂ වල ඵල ගසෙන් නෙලාගෙන, විකිණීමට පෙර ඉඳවනු ලබයි. දකුණු තායිලන්තයේ සමහර පිරිස් නොමේරු දූරියන් සදහා කැමැත්තක් දක්වති. උතුරු තායිලන්තයේ සමහර පිරිස් ඉදුණු මෘදු හා සුවඳැති දූරියන් සදහා කැමැත්තක් දක්වති. මැලේසියානු හා සිංගප්පූරු පාරිබෝගිකයන් හැකිතාක් ඉදුණු, ඉතා තියුණු සුවඳකින් යුත් දූරියන් ආහාරයට ගැනිමට ප්‍රියතාවයක් දක්වති.සමහර අවස්ථා වලදි ඔවුන් දූරියන් ගෙඩිය පිපිරි විවර වුනු පසුවද, තව තවත් ඉදීම සදහා තබයි. එවිට දූරියන් මදුළු ඉතා උකු හා සුළු මත්වන ගතියකින් යුක්ත වන අතර එහි සුවඳ හා රසය බොහෝ සංකිරණ ස්වභාවයක් ගනි.

පාරිභෝගිකයන් අතර දූරියන් ගෙඩියෙහි ඉදුණු බව පිළිබදව විවිධ අදහස් පවතින නිසා “හොඳ” දූරියන් ගෙඩියක් තෝර ගැනිම පිළිබදව පොදු අදහසක් ප්‍රකාශ කිරිම ඉතා අපහසුය. ගසෙන් වැටුණු දූරියන් ගෙඩියක් දින දෙකත් හතරත් අතර කාලයක් ඉදීමට ලක් වන අතර, බොහෝ විට දින පහකට හයකට පසු, පමණ ඉක්මවා ඉදුණු දූරියන් අප්‍රසන්න තත්වයකට පත් වේ. කල් ගත වත්ම දූරියන් නටුවෙහි තෙතමනය අඩු වි යයි. එම නිසා දූරියන් ගෙඩියක් මිලදි ගන්න පාරිභෝගිකයෙකුට උපදෙස් දෙන්නේ එහි නටුවෙහි ස්වභාවය පරීක්ෂා කර බලන ලෙසයි. විශාල ඝන නාරටියක් යනු දූරියන් ගෙඩියක නැවුම්බව පිළිබදව සලකුණකි. වාර්තා වන ලෙසට වංචනික වෙළදුන් විසින් මෙම නටුව වෙළීමට, වර්ණ ගැන්වීමට හෝ ගැලවීමට කටයුතු කරයි. කන් යෝ විශේෂයේ ඉහළ ජනප්‍රියතාවය නිසාම සමහර වීදි වෙළදුන් විසින් අඩු ජනප්‍රියතාවයකින් යුත් විශේෂ ඒවායේ නටුව සමඟ විකිණිමට තබයි. එය පාරිභෝගිකයන්ගේ අවිශ්වාසය දුරු කරවයි. තවත් උපදෙසක් ලෙස දූරියන් ගෙඩිය හොඳින් සොලවා එය තුලින් නැගෙන හඬට සවන්දෙන ලෙස පවසයි. බීජ එහා මෙහා ගමන් කරන හඬින් හැඟවෙන්නේ දූරියන් ගෙඩිය හොදින් ඉදි මදුළු සුළු වශයෙන් වියළි පතින බවයි.

ඉතිහාසය[සංස්කරණය]

Michał Boym, මයිකල් බෝයිම් නැමති ජේසුයිට් නිකායිකයෙකු විසින් බටහිර පඬිවරයන් වෙත 1655දි පමණ දූරියන් පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවක්.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අග්නිදිග ආසියාතිකයන් දූරියන් පරිභෝජනය කළත් බටහිර ලෝකය ඒ පිළිබඳව දැනුවත් වූයේ දැනට වසර 600කට පමණ පෙරයි. පහළොස් වන සිය වසේදි අග්නිදිග ආසියාවේ සංචාරය කල නිකොලො ඩා කොන්ටි ගේ වාර්තාව, යුරෝපයේ දුරියන් පිළිබඳ ඉපැරණිම මුලාශ්‍රය ලෙස සැලකේ. “ඔවුන් (සුමත්‍රානු වැසියන් ) සතුව දූරියන් ලෙසින් හදුන්වන කොළ පැහැති පළතුරක් ඇත. එය විශාලත්වයෙන් පැණි කොමඩු ගෙඩියක් තරම්වේ. එය තුළ දිගටි දොඩම් සහ සමානව පැතිරුනු උකු බටර් වැනි දෙයක් ඇති අතර එය විවිධ රසයන් ගේ සමිශ්‍රණයකි.” පෲතුගීසි ජාතික වෛද්‍යවරයෙකු වන ගාර්ශියා ඩි ඔට්‍රා විසින් 1563නේ දි ප්‍රකාශ කරන ලද "Colóquios dos simples e drogas da India" හි දූරියන් පිළිබඳ විස්තර කරයි. මෙම වසර සිය ගණන පුරාවටම දූරියන් පිළිබඳව වඩාත් සවිස්තරාත්මක හා නිවැරදි තොරතුරු අන්තර්ගත වන්නේ ජෝර්ජ් එබෙර්හර්ඩ් රම්පියස් නැමති ජර්මන් ජාතික උද්භිත විද්‍යාඥයෙකු විසින් 1741කේ දි ප්‍රකාශ කළ Herbarium Amboinenseහියි. රම්පියස් විසින් අනෙකුත් විශේෂයන් ගේ නාම වලට කොටස් එකතු කරමින් හා ඒවායෙන් කොටස් ඉවත් කරමින් නාමයන් යෙදු නිසා දූරියො ගණය තුළ සංකීර්ණ වර්ගීකරණයක් දකිය හැක. දූරියන් හා අනෝදා (අනෝනා මුරිකටා) යන දෙවර්ගයටම කටු සහිත කොළ පැහැති ඵල ඇති නිසා, වර්ගීකරණයේ මුල් අවධියේදී යම් පැටලිලි සහගත බවක් පැවතිණි. මැලේ භාෂාවෙන් ලතින් දූරියන් නැමති අරුත ඇතිව දූරියන් බෙලන්ඩා නමින් අනෝදා හදුන්වයි.


දූරියො සිබෙතිනස්. 1863නේ දි පමණ හූලා වැන් නොටෙන් විසින් කරන ලද ක්‍රෝමොලිතොග්‍රාපයක්.

16 වැනි සිය වසේදි පෲතුගීසින් විසින් ඩී. සිබෙතිනස් ලංකාවට හදුන්වා දෙන ලදී. එය ඇමෙරිකාවට ද හදුන්වා දුන් නමුත් ඒවා උද්භිත උද්‍යාන වලට පමණක් සීමා වුණි. 1884දි රාජකීය උද්භිත උද්‍යානයේ හට ගත් පළමු බීජ පැළ ඩොමිනිකානු රාජ්‍යයේ ඔගස්ටී සෙන්ට් ඇරොමන් වෙත යවන ලදි.

18 වන සියවසේ පමණ සිට අග්නිදිග අසියාවේ ග්‍රාමීය වශයෙන් දූරියන් වගාකෙරුනු අතර 20 වන සියවසේ මැද භාගයේ පමණ සිට වාණිජ වශයෙන් වගා කිරිම ආරම්භ කෙරුණි. ඕස්ට්‍රේලියානු ගත්කතුවරයෙකු සහ පෝෂණවේදියෙකු වන ඩේමන්ඩ් ජේම්ස් බැන්ෆිල්ඩ් My Tropic Isle කෘතියේ ඔහුගේ දූරියන් වගාවක් පිළිබදව සඳහන් කරයි. එහි සඳහන් පරිදි 20 වන සියවසේ මුල් කාලයේදි සිය සිංගප්පූරු මිතුරෙකුගෙන් ලැබුණු දූරියන් බීජ, ඔහු විසින් උතුරු වෙරළබඩ කුවින්ස්ලන්තයෙන් එහා පිහිටි ඝර්මකලාපීය දූපතක වගා කොට රැක බලාගෙන තිබේ.

1949යේදි බ්‍රිතාන්‍ය ජාතික උද්භිද විද්‍යාඥයෙකු විසින් The Dhuriyan Theory, or the Origin of the Modern Tree ප්‍රකාශ කරන ලදි. ඔහුගේ සිද්ධාන්තය වුයේ අනෙකුත් බීජ ප්‍රචාරණය වන ක්‍රම වලට කලින් එන්ඩොසොකොයි (සතුන් ගේ ආමාශය හරහා බීජ ප්‍රවාහනය කිරීමට දෙන අල්ලසක්) මඟින් සතුන් උද්දීපනය වන බවයි. මෙම ව්‍යාප්ති ක්‍රමයේ ඉපැරණිම භාවිතාකරුවන් වන්නේ දූරියො විශේෂ වල ඉපැරණිම මුතුන් මිත්තනුයි. උදාහරණයක් ලෙස රතු දූරියන් (ඩී. දුල්සිස්) දැක්විය හැක.

අග්නිදිග ආසියානු කලාපයේ දේශියව හා අන්තර්ජාතිකව දූරියන් සඳහා වු ඉල්ලුම, 1990වේ මුල් අවධියේ සිට විශාල වශයෙන් වර්ධනය විය. ආසියාවේ වර්ධනය වෙමින් පවතින සමෘධිමත් බවද මෙයට හේතුවක් විය.

භාවිතයන්[සංස්කරණය]

ආහාර පිසීම[සංස්කරණය]

දූරියන් පළතුර පුළුල් පරාසයක විහිදුනු ආහාර රස ගැන්විමට යොද ගනි. මෙම ආහාර අතර සාම්ප්‍රදායික මැලේ රසකැවිලි, අයිස් කකන්ග්, දොදොල්, ලෙම්පක්, රෝස් බිස්කට් මෙන්ම නවින ආහාර වන අයිස් ක්‍රීම්, මිල්ක් ශේක්, මෝන් කේක්, යුලෙ ලොග් (කොටයක හැඩය ගත් නත්තල් කේක් වර්ගයක් ) සහ කැපුචිනො (පෙණ සහිත කිරි කෝපි වර්ගයක්) ද වේ. දූරියන් අයිස් ක්‍රීම් ඉන්දුනීසියාවේ ජනප්‍රිය අතුරුපසක් වන අතර එහි නගරවල, විශේෂයෙන් ජාවා හි මග දෙපස ඇති කඩ වල විකිණිමට තබා තිබේ. පොල් කිරි වලින් පිසින ලද ඇලෙන සුළු බතක් වන පුලුට් දූරියන් හෝ කෙටන් දූරියන් ඉදුණු දූරියන් සමග පිළිගන්වයි. සභා හි ළූණු සහ මිරිස් සමග බදින ලද රතු දූරියන් අමතර ආහාරයක් ලෙස පිළිගන්වයි. සයර් නැමති නැවුම් මාළු වතුරෙන් සාදන සුප් වර්ගය සදහා සම්ප්‍රදායිකව රතු මදුළු සහිත දූරියන් එකතු කරයි. ඉකන් බ්‍රෙන්ග්කෙස් යනු දූරියන් සෝස් හි පිසින සම්ප්‍රදායික සුමත්‍රානු මාළු වර්ගයකි. සාම්ප්‍රදායිකව බොල්ලෙන් පේස්ට්‍රි වල පිරවුම සඳහා කෙසෙල් සහ චීස් යොදා ගත්තද වර්ථමානයේ දූරියන් පුරවන ලද බොල්ලෙන් දූරියන් ද දක්නට ලැබේ. වියළු දූරියන් මදුළු දූරියන් චිප්ස් සෑදීමට යොදා ගනි.

අඩු ප්‍රමිතියකින් යුතු, සෘජු පරිභෝජනයට නුසුදුසු දූරියන් මුහුම් කිරිමෙන් ටෙම්පොයක් සාදා ගනි. එය පිස හෝ අමුවෙන් ආහාරයට ගත හැකි අතර සාමාන්‍යයෙන් බත් සමග අහාරයට ගනි. ටෙම්පොයක් ව්‍යාංජන සෑදිම සඳහාද යොදා ගනි. සුමත්‍රානු ආහාරයක් වන ටෙම්පොයක් සම්බෝල මුහුම් කල දූරියන්, පොල් කිරි හා කුළු බඩු වර්ග යොදා සදා ගනි.

තායිලන්තයේ පැණි රස බතක් සමග නැවුම් දූරියන් නිතරම ආහාරයට ගන්නා නිසා වෙළඳපොලේ දූරියන් තලප කුට්ටි වශයෙන් විකිණිමට තබා තිබේ. නමුත් බොහෝවිට මෙම තලප වට්ටක්කා සමග මිශ්‍ර කර විකුණනු ලැබේ. නොඉදුණු දූරියන් එළවලුවක් ලෙස පිසින පිලිපින ජාතිකයන් හැරුනු විට අනෙකුත් සියල්ලන් පාහේ දූරියන් පැණි රස ආහාරයන් පිළියල කිරිම සදහා යොදා ගනි. මැලේසියානුවන් සීනි දැමු හා ලුණු දැමු දූරියන් කල් තබා ගනු ලබනවා. සිහින් කොට ලියන ළූණු, ලුණු සහ විනාකිරි සමඟ මිශ්‍ර කරන ලද දූරියන් බොඩෙර් යනුවෙන් හදුන්වයි. ප්‍රමානයෙන් චෙස්නට් ඇටයක් තරම් වන දූරියන් බීජ තම්බා, රෝස්ට් කර හෝ පොල් තෙල් හි බැද ආහාරයට ගත හැක. එවිට එහි ස්වභාවය ගහල හෝ බතල වලට සමාන වුවත් ඇලෙනසුලු ගතියක් දක්වයි. ජාවා හි සිහින් පෙති කපන ලද දූරියන් සීනි සමග පිස රස කැවිල්ලක් ලෙස ආහාරයට ගනි. නොපිසු දූරියන් බීජ සික්ලොප්‍රොපෙන් අම්ලය නිසා විෂ විය හැකි බැවින් එලෙස පරිභෝජනය නොකල යුතුයි.

ඇතැම් අවස්ථා වලදි නොමේරු දූරියන් පත්‍ර සහ රිකිලි පලා වර්ගයන් ලෙස පිසිනු ලබයි. සමහර විශේෂ කේක් වර්ග සදහා දූරියන් ලෙලි පුලුස්සා ලබා ගන්නා අලු යොදා ගනු ලැබේ. ඉන්දුනීසියවේ උතුරු සුමත්‍රා ප්‍රදේශයේ දූරියන් මල් පෙති ආහාරයට ගන්නා අතර මොලුස්කා දිවයිනේ මසුන් දුම් ගැස්විම සදහ ඉන්ධනයක් ලෙස දූරියන් පොතු භාවිත කරනු ලබයි. මී මැස්සන් විසින් දූරියන් මල් පැණි සහ පරාග පැණි නිපදවීම සදහා රැස් කලද එම පැණි වල ස්වභාවය පිළිබද තොරතුරු අප්‍රකට වේ.

පෝෂණය සහ ඖෂධ[සංස්කරණය]

Durian (Durio zibethinus)
Nutritional value per 100 g (3.5 oz)
Energy 615 kJ (147 kcal)
Carbohydrates 27.09 g
- Dietary fiber 3.8 g
Fat 5.33 g
Protein 1.47 g
Water 65g
Vitamin A 44 IU
Thiamine (vit. B1) 0.374 mg (33%)
Riboflavin (vit. B2) 0.2 mg (17%)
Niacin (vit. B3) 1.074 mg (7%)
Pantothenic acid (B5) 0.23 mg (5%)
Vitamin B6 0.316 mg (24%)
Folate (vit. B9) 36 μg (9%)
Vitamin C 19.7 mg (24%)
Calcium 6 mg (1%)
Iron 0.43 mg (3%)
Magnesium 30 mg (8%)
Manganese 0.325 mg (15%)
Phosphorus 39 mg (6%)
Potassium 436 mg (9%)
Sodium 2 mg (0%)
Zinc 0.28 mg (3%)
Cholesterol 0mg
Edible parts only, raw or frozen.
Refuse: 68% (Shell and seeds)
Source: USDA Nutrient database
Percentages are relative to
US recommendations for adults.
Source: USDA Nutrient Database

දූරියන් හි සීනි, විටමින් සී, පොටෑසියම් සහ ඇමයිනො අම්ලය ඉතා ඉහළ ප්‍රමාණයක් අන්තර්ගත වේ. එහි බහුල ලෙස කාබෝහයිඩ්‍රෙට්, ප්‍රෝටීන් හා මේදයද අන්තර්ගත වේ. සමහර විද්‍යාක්චයින් විසින් එය හොඳ මේද මුලාශ්‍රයක් ලෙසින් හැදින්වුව ද, සමහරුන් එය අධි ග්ලයිසෙමික් අහාරයක් ලෙස වර්ග කර පරිභෝජනය අවම කරන ලෙස නිර්දේශ කරයි.

මැලේසියාවේ දුරියන් කොළ සහ මුල් වලින් සාදා ගන්නා කසායක් ප්‍රතිජ්වරකයක් ලෙස නියම කරයි. මෙම කොළ වල ඉස්ම උණ රෝගීන්ගේ හිසෙහි ගල්වයි. 1930හේදි බර්කිල් හා හනීෆ් විසින් රැස් කරන ලද උණ රෝගීන් සඳහ වු මැලේ බෙහෙත් වට්ටෝරුව, දූරියන් යොදා සාදන බෙහෙත් වර්ගයක් පිළිබඳව ඇති වඩාත් සවිස්තරාත්මක තොරතුරයි. එහිදි උපදෙස් දෙන්නේ Hibiscus rosa-sinensis මුල් සමඟ දූරියො සෙබතිනස්, Nephelium longan, Nephelium mutabile හා Artocarpus integrifolia තම්බා කසායක් ලෙස හෝ ආලේපනයක් ලෙස භාවිතා කිරීමටයි.

1920දි නිව්යෝක් හි දූරියන් ඵල නිෂ්පාදන ආයතනය “දූරි ඉන්දියා” නමින් සෞඛ්‍යමය ආහාර අතිරේකයක් ඉදිරිපත් කරන ලදි. මෙම බෝතල් දුසිමක් ඇමෙරිකානු ඩොලර් 9කට අලෙවි කෙරුනු අතර එක් බෝතලයක පෙති 63ක් අන්තර්ගත විය. මෙම පෙති වල දුරියන්, ඉන්දියාවේ ඇලියම් විශේෂයක් සහ විටමින් ඊ අන්තර්ගත විය. මෙම ආයතනය විසින් මේ පෙති අලවි කෙරුවේ “ලොව අන් කිසිදු නිෂ්පාදනයක අඩංගු නොවන තරම් සෞඛ්‍යසම්පන්න ශක්තියක් අඩංගු නිෂ්පාදනයක්” ලෙසින් ප්‍රචාරය කරමිනුයි.

ඇදහිලි සහ විශ්වාස[සංස්කරණය]

සාම්ප්‍රදායික අග්නිදිග ආසියානු මතයන්ට අනුව මෙන්ම සාම්ප්‍රදායික චින වෛද්‍ය විද්‍යාවට අනුව දූරියන් සතුව අධික දහඩියට හේතුවන උෂ්ණාදික ගුණයක් ඇති බව සැලකේ. මෙයට ප්‍රතිරෝධයක් දැක්වීම සඳහ සාම්ප්‍රදායික පිළියමක් ලෙස මදුළු ආහාරයට ගෙන අවසන් වු හිස් කට්ටට ජලය දමා එය පානය කරයි. තවත් ක්‍රමයක් වන්නෙ දූරියන් මැන්ගුටීන් සමග ආහාරයට ගැනීමයි. එය සිසිලන ගුණ ඇති කරවයි. ගැබිණි කාන්තාවන්ට හා අධි රුධිර පීඩනයෙන් යුත් අයට දූරියන් පරිභෝජනය නොකිරීමට උපදෙස් දේ.

තවත් සුලභ දේශීය විශ්වාසයක් වන්නේ දූරියන් කෝපි හෝ මධ්‍යසාර පානයන් සමඟ ආහාරයට ගැනිම නුසුදුසු බවයි. 18 වන සිය වසේදි රම්පියස් විසින්ද දූරියන් ආහාරයට පසු මධ්‍යසාර පානය කළහොත් එය අජීර්ණයන්ට හේතු වන බව ප්‍රකාශ කර ඇත. 1929යේදි ජේ. ඩි. ගිම්ලෙට් විසින් රචිත Malay Poisons and Charm Cures හිද බ්‍රැන්ඩි සමඟ දූරියන් ආහාරයට නොගත යුතු බව සඳන් කර ඇත. 1981කේදි ජේ. ආර්. ක්‍රොෆ්ට් රචිත Bombacaceae: In Handbooks of the Flora of Papua New Guinea හිද දූරියන් ආහාරයට ගත් සැණින් මත් පන් අධික ලෙස පානය කිරිමෙන් රෝගී හැඟීමක් ඇති කරවන බව සඳහන් වේ. මෙම විශ්වාසයන්ගේ වලංගු භාවය තහවුරු කිරිම සඳහා නොයෙක් වෛද්‍ය පර්යේෂණ පවත්වා ඇත. ටුසුකූබා සරසවිය මඟින් පැවතූ පර්යේෂණයකින් අනාවරණය වුයේ දූරියන්හි අධි සල්ෆ සංයුතිය සිරුරේ ඇල්ඩිහයිඩ ඩීහයිඩ්‍රජනේස් ක්‍රියාවලිය අකර්මණ්ය කිරීම නිසා ශරීරයේ විෂ නැසිමේ හැකියාව 70% කින් පමණ අඩු වන බවයි.

ජාවා වැසියන් දූරියන් වල කාමෝද්දීපික ගුණ ඇති බව විශ්වාස කරති.

විශාල ලේ වැගිරීමක් කළ හැකි තියුණු කටු වලින් සමන්විත දූරියන්.

දූරියන් ගෙඩි තද තියුණු කටු වලින් යුක්ත නිසාත්, ඉතා ඉහළක සිට වැටිය හැකි නිසාත් එය මිනිස් හිසක් මත පතිත වුවහොත් දරුණු තුවාල සිදු විය හැක. එම නිසා දූරියන් ඇහිලීමේදි ඝන තොප්පියක් පලදින ලෙස නිර්දේශ කරයි. ඇල්ෆ්‍රඩ් රුසෙල් වොල්ලස් ලියා ඇති පරිදි මෙම තුවාල නිස මරණයක් සිදු වන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට මිනිසුන්ට තුවාල විය හැකි දිවා කාලයේ දුරියන් ගෙඩි බිම නොවැටෙන නිසා , දූරියන් වලට ඇස් ඇතැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. ඉන්දිනීසියානු වැසියන් බලපොරොත්තු විරහිත වාසනාවක් ලැබිම හැදින්විමට “වැටුණු දූරියන් ගෙඩියක් ලැබුණ වාගේ” යන කියමන භාවිතා කරති. කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ දූරියන් ගස් යට මිනිසුන් හට ඇවිදිමට නුසුදුසු යයි අනතුරු අඟවන සළකුණු දැකිය හැක.

1960ටේ දි කල ගවේෂණයකින් පිලිපීනයේ ඩාවො හි කැලැ වල ස්වභාවික කටු රහිත දූරියන් විශේෂයක් ඇති බව හඳුනා ගැනුණි. මේවායේ බීජ වලින් බෝ වන පැළ වල ද කටු අඩු දූරියන් හට ගැනුණි. 1989යේ ජූනි 17 මැලේසියාවේ කෘෂි කර්ම දෙපාර්තමේන්තුව විසින් කටු රහිත දූරියන් ක්ලෝනයක්, ඩී 172 ලෙසින් ලියපදිංචි කරන ලදි. එය දූරියන් බොටක් (තට්ට දූරියන්) ලෙස හැදින්වුණි.

මිනිසුන්ට අමතරව සුමත්‍රානු අලින් වැනි සතුන්ද දූරියන් පරිභෝජනයට දනිති. පුදුම සහගත ලෙසින් මාංශ භක්ශක සුමත්ත්‍රානු කොටින්ද ඇතම් අවස්ථා වලදි දූරියන් පරිභෝජනය කරති. කැලයේ ඉදී වැටෙන දූරියන් වල සුවඳ කොටින්ද ආකර්ෂණය කර ගැනිමට සමත් වන නිසා මෙය සිදු විය හැකියි.

සංස්කෘතික බලපෑම[සංස්කරණය]

සිංගප්පූරුවේ Esplanade ගොඩනැගිල්ල, දූරියන් ලෙසින්ද හදුන්වයි

දුරියන් එහි භයානක පෙනුම හා මැඩලිය නොහැකි සුවඳ නිසාම “පළතුරු අතර රජු” ලෙස විරුදාවලි ලබා තිබේ. එහි නිජබිම වු අග්නිදිග ආසියාවේ එය එදිනෙදා ආහාරයට ගන්නා පළතුරකි.

තායිලන්තය විසින් බටහිර උතුරු පැසෆික් නිවර්තන සුළි සුළං සඳහා වු කුණාටු නාමාවලියට දූරියන් නාමයද එක් කරන ලදි. 2006යේදි එනමින් ඇති වු දෙවන කුණාටුවෙන් පසුව එය භාවිතයෙන් ඉවත් වුණි.

යොමුව[සංස්කරණය]

ඉංග්‍රිසි ලිපිය

බාහිර සබැදුම්[සංස්කරණය]

ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව-දූරියන් සංරක්ෂණය කළ පිටපත 2013-06-23 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=දූරියන්&oldid=592302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි