චතුරාර්ය සත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Dharma Wheel.svg ත්‍රිපිටකය/බුදු දහම වෙනස්කල නොහැක.

පහසුවෙන් වෙනස්කලහැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කල හැක.
ත්‍රිපිටකය ලබාදෙන විකිමූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිලිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක්කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු !

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharmachakra.png
බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුදු දහමෙහි ඉතිහාසය

බෞද්ධ සංගායනා - බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
ශ්‍රාවකයෝ · පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථෙරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණයඅවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමම වන බැවිනි. "මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය." ( සච්ච සංයුක්තය- කෝටිගාම වග්ගය) බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂ කළ හැකිය.

ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව


මැක්මිලන් හි (බෞද්ධ විශ්වකෝෂය) සඳහන් පරිදි චතුරාර්‍ය සත්‍යය වන්නේ;

  • දුක
  • දුකට හේතුව
  • දුක නැති කිරීම
  • දුක නැති කිරීමේ මාර්ගය

බුදුන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව දේශනා කල පලමු ධර්ම දේශනාවේ මෙම චතුරාර්‍ය සත්‍යය පිලිබඳව සඳහන් වී ඇත. උන් වහන්සේ පලමු ධර්ම දේශනාව පැවැත්වූයේ උන්වහන්සේ සමග තවූස් දම් පිරෑ පස් වගතවුසන් හටය. චතුරාර්‍ය සත්‍යය පලමුව දේශනා කොට ඇත්තේ දාර්ශනිකත්වයෙන් බැහැරව. එය දේශනා කොට ඇත්තේ එවකට පැතිර ගිය ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න හඳුනා දෙමින්ය. ඒ තෙරුම් ගැනීමේ පහසුව​තකාය. ථේරවාදයේ​ තේරුම්​ ගෙන​ ඇති​​​ පරිදි​ මෙම​ දේශනාව ඉතා ගැඹුරු වූ තේරැම් ගැනීමට උත්සුක පුද්ගලයන්ටය. එහෙත් මහායානයේ මෙම​ දේශනාව ඉතා සරල වෙනත් ගැඹුරු වූ දේශනාවනට ප්‍රථම දැනගත යුතු කරුනු ලෙසය. නැගෙනහිර දේෂයන්හි මේ පිලිබඳව ඇත්තේ අල්ප දැනුමකි.

පටුන

සටහන් [සංස්කරණය]

සත්‍යය [සංස්කරණය]

ම2.jpg

" 'පැවැත්ම' අර්ථවත් 'සත්' ධාතුවෙන් 'සත්‍යය' සංකල්පය ජනිත වී ඇත. යමක් ඇත්ත වශයෙන් ම පවතීද එය සත්‍යය නම් ‍වේ.මේ වනාහී සත්‍යය පිළිබඳ පදංගත වූ අර්ථය වේ. ඉහත ආකාරයෙන් නිර්වචනය කළ හැකි සත්‍යයක ල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්ෂණ 3ක් වේ. එනම්,

  1. තථ-ඒකාන්ත සත්‍යය
  2. අවි තථ-කවදත් ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍යයයි. එය කිසි කලෙකත් බොරු නොවේ
  3. අනඤ්ඤථ-අන් පරිද්දකින් නොසිටින සත්‍යය

චතුරාර්‍ය්‍ය සත්‍යය සත්‍යයයි පවසනු ලබන්නේ ඒවායේ ඇති ඉහත ලක්ෂණ හේතුවෙනි 'ඉමානි චත්තාරි අරිය සච්චානීති භික්ඛවෙ මයා ධම්මෝ දේසිතෝ.......සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤුහි "(මහණෙනි මේ සතර ආර්‍ය්‍ය සත්‍යයයෝය යනු මා විසින්දෙසන ලද............ මහණුන් විසින් බමුණන් විසින් නුවනැතුන් විසින්............. බැහැර කරන්නට නොහැකි ධර්මයයි.)(අංගුත්තර නිකාය 1, 314 පිටු)

ආර්‍ය්‍ය සත්‍යය [සංස්කරණය]

Z p05-sivsas.jpg

අරිය හෙවත් ආර්‍ය්‍ය යන්නෙන් 'උසස් ' ,'උතුම්', 'ශ්‍රේෂ්ඨ' යන අර්ථය ලබා දෙයි.

  • බුදු, පසේ බුදු, රහත් යන අය විසින් අවබෝධ කළ හෙයින් මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
  • එම ධර්මය අවබෝධ කිරීමෙන්ම පෘතග්ජනභාවය ඉක්මවා සියලු කෙළෙසුන් නසා ආර්‍ය්‍ය භාවයට පත් කෙරෙන බැවින්ද මෙම ධර්මය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.
  • බුදු, පසේ බුදු, රහතන් වහන්සේලා ආර්‍ය්‍යන් ලෙස හැඳින්වේ.උන්වහන්සේලා එම ශ්‍රේෂ්ඨ තත්වයට පත්වීමේදී ඉවහල් වූ පිළිවෙත (අරිය සච්ච) ආර්‍ය්‍ය සත්‍යය ලෙස හැඳින්වේ.

" අරියා ඉමානි පටිවිජ්ඣන්ති ,තස්මා අරිය සච්චානීති වුච්චන්තීති............"(සච්ච විභංග නිද්දේසය) (ආර්‍ය්‍යන් වහන්සේලා එම තත්වයට පත් කළේ යමක්ස එය ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.)

මෙ‍ම ධර්මය අවබෝධ කර ගැනීමෙන් පෘතග්ජන තත්වය නැති වී ආර්‍ය්‍ය භාවයට පත් වේ. "ඉමේසං ඛෝ භික්ඛවෙ චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසංබුද්ධත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අරියෝති වුච්චතීති."(සච්ච විභංග නිද්දේසය)

ඒකාන්තයෙන් ඇති ඒ සැටියට ම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ. සත්‍යය යි කීමෙන් පමණක් නො නවත්වා ආය්‍යර්‍ යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්‍ය්‍ය සත්‍යය යි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසාය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍ය වතුදු තවත් ආකාරයකින් බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුඃඛාදී සත්‍ය සතරෙහි කවර ආකාරකින් වත් අසත‍්‍ය වීමක් නැත. ඒවා එසේම ය. කවර ආකාරකින් වත් වෙනස් නො වන සත්‍ය, සත්‍යයන් අතුරෙන් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍ය යන වචනයට මුලින් ආය්‍යර්‍ යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමට ය. උත්තම වූ සත්‍යය ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.

මේ සත්‍ය සතර ප්‍රකාශ කරන ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්‍ය්‍ය නම් වෙති. ආර්‍ය්‍ය වූ බුදුන් වහන්සේ දැක ලෝකයාට ප්‍රකාශ කරන ලද ඒවා බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේ ගේ ය. ආර්‍ය්‍යයන් වහන්සේ ගේ සත්‍යයෝ ය යන අර්ථයෙන් මේවාට ආර්‍ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ.

යමකු විසින් මේ සත්‍ය සතර ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නම් ඒ තැනැත්තා පෘථග්ජනභාවය ඉක්මවා ආර්‍ය්‍ය භාවයට පමුණුවන බැවින් ද මේ සත්‍යයන්ට ආර්ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.

චතුරාර්‍ය්‍ය සත්‍යයේ ලක්ෂණ [සංස්කරණය]

මෙ‍ම ධර්ම‍යෙහි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියළු ධර්මයන් මෙහි අන්තර්ගත වීමයි. "සච්ච විනිම්මුත්තෝහි භාගවතෝ දේසනා නත්ථා"' යන නෙත්තිප්පකරණ අටුවාවේ එන විග්‍රහයෙන් එය සඳහන් කෙරේ."ඒව මේව ඛෝ ආවුසෝ, යේ කේචි කුසලා ධම්මා සබ්බේ තෙ චතුසු අරිය සච්චේසු සංගහං ගච්චන්තී" යන මහාහත්ථි පදෝපම සූත්‍ර පාඨයද එය පැහැදිලි කරයි. එනම් ලොව වෙසෙන සියළු සතුන්ගේ පා සටහන් ඇත් පා සටහනට වඩා කුඩා වනු ඇත.එය ඉක්මවා යන කිසිඳු පාද සටහනක් දැකිය නොහැකිය.එමෙන් බුද්ධ දේශිත යම් කුසල ධර්මයක් වෙයිද ඒ සියල්ල චතුරාය්‍යර්‍ සත්‍යයෙහි අන්තර්ගත වනු ඇත. ලොව පවත්නා ධර්මයන් කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ 04 කි.එනම්,

  1. පවත්ති- ඇති වීම
  2. පවත්තක-ඇති වීමට ඉවහල් වූ හේතු
  3. නිවත්ති- නැති වීම
  4. නිවත්තක-නැති වීමට ඉවහල් වූ හේතු

චතුරාය්‍යර්‍ සත්‍යයද මෙම න්‍යායට අනුව ගොඩ නැගී තිබේ.

  1. පවත්ති-දු:ඛාර්‍ය්‍ය සත්‍යය
  2. පවත්තක-දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය
  3. නිවත්ති- දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය
  4. නිවත්තක-දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය

කෘත්‍ය සතරක් [සංස්කරණය]

චතුරාය්‍යර්‍ සත්‍යය සම්බන්ධයෙන් පුද්ගලයා විසින් කළ යුතු කාර්‍ය්‍යයන් සතරක් වේ.

01.දු:ඛාර්‍ය්‍ය සත්‍යය - මෙයින් ජීවිතයේ ස්වභාවයත් එහි දුක් දොම්නස්, සොම්නස් ද එහි අඩුපාඩු ද එය වෙනස් වන සුළු බවද දක්වනු ලැබේ.මෙම සත්‍යය පිරිසිඳ දැනගත යුතුය. (පරිඤ්ඤෙය්‍ය)

02.දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය- මෙයින් තෘෂ්ණාව මුල් කොට පවත්නා ක්ලේශයන් නිසා දුක හට ගත් බව දැක්වේ. එහෙයින් එය ප්‍රහාණය කළ යුතුය.(පහාතබ්බං)

03.දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්‍වාණයයි. එය අවබෝධ කළ යුතුය.(සච්ඡිකාතබ්බ)

04.දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය- එනම් නිර්‍වාණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මාර්‍ගයයි. එය පිළිපැදිය යුතුය.(භාවෙතබ්බං) මේ අනුව පුද්ගලයාගේ හා ලෝකයේ යථා තත්වය ගැන අවබෝධය ලැබෙන්නේ ආර්‍ය්‍ය සත්‍යයන්ගේ වැටහීම අනුවය.

"සච්චං සත්තෝ පටිසන්ධි-පච්චයාකාර මේවච අද්දසා චතුරා ධම්මා- දේසේතුංච සුදුක්කරා"

යනුවෙන් බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්‍ගයෙන් අවබෝධ කිරීමට දුෂ්කර වූ ධර්‍ම කරුණු පෙන්වා දෙමින් චතුරාය්‍යර්‍ සත්‍යය ,සත්වයාගේ ස්වභාවය, පුනර්භවය, හේතුඵලවාදය යන කරුණු හඳුන්වා දෙයි. මේවා අවබෝධ කර ගැනීම අපහසු වන අතර හ්වා සරළව විග්‍රහ කිරීම ඊටත් වඩා දුෂ්කර කාර්‍ය්‍යක් බවත් පවසයි.

ආය්‍යර්‍ සත්‍යය සතරකි [සංස්කරණය]

"චත්තාරි ඉමානි භික්ඛවෙ අරිය සච්චානි කතමානි චත්තාරි? දු:ඛං අරිය සච්චං, දු:ඛ සමුදයං අරිය සච්චං දු:ඛ නිරෝධං අරිය සච්චං" (මහණෙනි ආර්‍ය්‍ය සත්‍යයන් හතරක් ඇත. ඒවා නම්?දු:ඛාර්‍ය්‍ය සත්‍යය,දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය,දු:ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය,දු:ඛනිරෝධගාමිණීපටිපදාර්‍ය්‍ය සත්‍යය යනාදියයි.)

දුක්ඛ සත්‍යය [සංස්කරණය]

දුක්ඛ.jpg

" 'දු:ඛ' යන්නෙහි 'දු' යන්නේ නින්දා කටයුතු පිළිකුල් සහගත යන අර්ථය ද 'ඛ' යන්නෙන් හිස්, අසාර යන අර්ථය ද ගෙන දෙයි. මේ අනුව දු:ඛ යන්නේ නින්දා කටයුතු පිළිකුල් හිස් අසාර යන අර්ථ ගෙන දෙයි." මෙම සත්‍යය පිළිබඳව ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී බුදුන් වහන්සේ මෙසේ වදාළහ. " ඉදං ඛෝ පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා" (මහණෙනි, මේ වනාහි දු:ඛාර්‍ය්‍ය සත්‍යයයි.ජාතිය දුකයි,ජරාව දුකයි ,ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රිය සම්ප්‍රයෝගය දුකයි, ප්‍රිය විප්‍රයෝගය දුකයි, යමක් කැමති නම් එය නොලැබීම දුකයි, සැකෙවින් උපාදානස්කන්ධයෝ පස් දෙනම දුක් හු වෙති.) මෙහිදී සත්වයන්ට මුහුණපෑමට සිදු වන දුක අට වැදෑරුම් කොට දැක්වේ. එනම්,

තණ්හා 2.jpg
  1. ජාති
  2. ජරා
  3. ව්‍යාධි
  4. මරණ
  5. අප්‍රිය සම්ප්‍රයෝගය
  6. ප්‍රිය විප්‍රයෝගය
  7. කැමති දේ නොලැබීම
  8. උපාදානස්කන්ධ

පුද්ගලයන්ගේ චරිතානුරූපීය බුද්ධි මට්ටමට අනුව එක් එක් අවස්ථා වලදී දු:ඛාර්‍ය්‍ය සත්‍යය ලෙස හඳුන්වා ඇත්තේ පඤ්ච උපාදානස්ඛන්ධයන්ය.

"කතමඤ්ච භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං?පඤ්චූපදානක්ඛන්ධා තස්ස වචනීයං සෙය්‍යථීදං? රූපූපාදානක්ඛන්‍ධෝ වේදනුපාදානක්ඛන්ධෝ සඤ්ඤානූපාදානක්ඛන්ධෝ සංඛාරානූපාදානක්ඛන්ධෝ විඤ්ඤානූපාදානක්ඛන්ධෝ ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං........"(මහණෙනි ,දු:ඛාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද? මෙසේ ඇසුවහොත් පඤ්ච උපාපදානස්ඛන්ධය යයි පිළිතුරු දිය යුතුය. එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය,සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනාදියයි. මහණෙනි, මෙය දුකඛ ආර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.) මෙහිදී දුක්ඛ සත්‍යය පස් වැදෑරුම් වේ.


  1. රූප උපාදානස්කන්ධය
  2. වේදනා උපාදානස්කන්ධය
  3. සඤ්ඤා උපාදානස්කන්ධය
  4. සංස්කාර උපාදානස්කන්ධය
  5. විඤ්ඤාණ උපාදානස්කන්ධය

ඇස, කණ, නාසය, ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන විෂය ලෝකය මෙසේ පඤ්චස්කන්ධය වශ‍යෙන් හඳුන්වනු ලැබේ.

විභංගප්‍රකරණයේ සච්ච විභංගයට අනුව " තත්ථ කතමං දුක්ඛං අරිය සච්චං? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ‍සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා දුක්ඛා අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා" යනුවෙන් ද්වාදසාකාර (12) වේ.

දු 2.jpg
  1. ජාති
  2. ජරා
  3. මරණ
  4. සෝක
  5. පරිදේව
  6. කායික
  7. මානසික
  8. උපායාස
  9. අප්‍රිය සම්ප්‍රයෝගය
  10. ප්‍රිය විප්‍රයෝගය
  11. කැමති දේ නොලැබීම
  12. පඤ්ච උපාදානස්කන්ධය


ජාති දුක [සංස්කරණය]

එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,

දුක්ඛ දුක්ඛය [සංස්කරණය]

අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා

විපරිණාම දුක්ඛය [සංස්කරණය]

කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේදන

සංඛාර දුක්ඛය [සංස්කරණය]

සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා

පටිච්ඡින්න දුක්ඛය [සංස්කරණය]

අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක

පරියාය දුක්ඛය [සංස්කරණය]

ජාති,ජරා ,ව්‍යාධි ආදී විවිධ ලෙසසින් ඇති වන දුක

නිප්පරියාය දුක්ඛය [සංස්කරණය]

දුක්ඛ දුක්ඛ මෙයින් අදහස් කෙරේ

මෙබඳු දුක් වලට පෘතග්ජන සත්වයෝ මුහුණ දෙති.

    • ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ-මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිඳුවීම.
    • ගර්භ පරිහරණ මූලික දුක්ඛ -මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
    • ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
    • විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක
    • වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ-අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇත් වීම
    • ආත්මෝපක්‍රම දුක්ඛ- ජීවත් වන අතරතුර ලෝභාදී අකුසල ධර්ම නිසා ඇති වන දුක
    • පරෝපක්‍රම දුක්ඛ- අන්‍යයන් විසින් තැලීම්, කැපීම්, බැනීම් ආදිය නිසා ඇති වන දුක
  • . ජරා දුක -පංච ඉන්ද්‍රියන් දිරාපත් වීම නිසා ඇති වන දුක

උදා- ඇස් නොපෙනීම කන් නොඇසීම

දුක1.jpg


  • .මරණ දුක- ක්ෂණික මරණ හා සම්මුති මරණ
    • ආයුක්ඛය
    • කම්මක්ඛය
    • උපච්ඡේදන

යනුවෙන් මරණය සිවු වැදෑරුම් වේ.

  • සෝක දුක- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක
  • පරිදේව දුක- හඬාවැලපීම් නිසා ඇති වන දුක
  • දුක්ඛ දුක්ඛ -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක
  • දෝමනස්ස දුක්ඛ- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක
  • උපායාස දුක- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක
  • අප්‍රිය සම්ප්‍රයෝග දුක- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක
  • ප්‍රිය විප්‍රයෝග දුක - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක
  • කැමති දේ නොලැබී‍මේ දුක - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම
  • පඤ්ච උපාදානස්කන්ධ දුක - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ.

දුක්ඛ සත්‍යය කෙරෙන් ප්‍රකට වන මූලික ලක්ෂණ 04 කි.

  1. .පීළනට්ඨ
  2. .සංඛතට්ඨ
  3. .සන්තාපට්ඨ
  4. .විපරිණාමට්ඨ

පීළනට්ඨ [සංස්කරණය]

සත්වයා ජරාවෙන් හා මරණයෙන් පෙළෙන නිසා පඤ්චස්කන්ධය දුක් සහගතය. සිත කය නිතරම දුකින් පීඩාවට පත් වෙයි. කාම ලෝක රූප ලෝක යන කවර තැනක උපත ලැබූවත් උදව්‍යය පීඩා ඇති වන බැවින් පීළනට්ඨ නම් වේ.

සංඛතට්ඨ [සංස්කරණය]

හේතූන්ගේ බලපෑමෙන් ඇති වන බවයි. පඤ්චස්කන්ධය යනු හේතූන්ගෙන් ඇති වූවකි. උත්පාද ,ඨිති ,භංග යන ලක්ෂණ වලින් යුක්ත වෙයි. කුසලාකුසල කර්‍මානුරූපව ඇති වන බැවින් සංඛතට්ඨ නම් වේ.

සන්තාපට්ඨ [සංස්කරණය]

සිත කය විවිධ හේතූ නිසා තැවෙයි. එසේ සන්තාපයට පත් කරන බැවින් සන්තාපට්ඨ නම් වේ.

විපරිණාමට්ඨ [සංස්කරණය]

පඤ්චස්කන්ධය සථීර නැත. විපරිණාමයට පත් වේ. ඒ නිසා විපරිණාමට්ඨ නම් වේ.

සමුදය සත්‍යය [සංස්කරණය]

'සමුදය' යන්නෙන් ලබා දෙන සරළම අර්ථය හේතූන්ගේ එකතුවෙන් දුක් ඇති වන බවයි. සමුදය යන්න 'සං- උ- අය' යන කොටස් වලින් සැකසී ඇත.'සං'= එක් කිරීම, 'උ' = හට ගැනීම, 'අය' = හේතුව යන ලෙස වේ.මේ අනුව සමුදය යන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ බලපෑමෙන් (දුක්) හට ගැනීම සිදුවන බව ඉගැන්වෙයි. දුක් හට ගැනීමට හේතුව නම් තෘෂ්ණාවයි. "............තත්ථ කතමං දුක්ඛ සමුදය අරිය සච්චං? යායං තණ්හා පෝනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී , සෙය්‍යථීදං? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා ඉදං වුච්චතී භික්ඛවෙ දුක්ඛ සමුදය අරිය සච්චං..........."(විභංගප්‍රකරණයේ සච්ච විභංගය) (දුක්ඛ සමුදයයාර්‍ය්‍ය සත්‍යය යනු කවරේද යත්? යම් තණ්හාවක් නැවත නැවත භවගාමී තත්වයක් ( පෝනොභවිකා) ඇති කෙරේද? සකන්ධ පිළිබඳ සතුට ‍හා ඇලීම(නන්දිරාග සහගතා) ඇති කරයිද? ඒ ඒ භවයන්හි ඇලීම (තත්‍ර තත්‍රාභි නන්දිනී) ඇති කෙරේද? කාම තණ්හා භවතණ්හා විභවතණ්හා යනුවෙන් ත්‍රිවිධාකාර වූ එම තෘෂ්ණාව දු:ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෘෂ්ණාව ප්‍රධාන කොටස් 03 කි.

  1. .කාම තණ්හා
  2. .භවතණ්හා
  3. විභවතණ්හා

කාම තණ්හා [සංස්කරණය]

කාම වස්තූන් පිළිබඳව ආශාවයි.කාම වස්තූන් යනු පඤ්ච කාමයන්ය. එනම්, රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදියයි.චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩ් ඉන්ද්‍රියයන් පිනවීමට ඇති කැමැත්තයි.රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,ධර්‍ම යනුවෙන් ගත් කළ එය සය වැදෑරැම් වේ. අතීත වර්තමාන අනාගත යන තුන් කාලයට අනුව රූපාදී අරමුණු සය වැදෑරැම්ව ග්‍රහණය අනුව කාම තණ්හාව (18) අටළොස් වැදෑරැම් වේ.

භවතණ්හා [සංස්කරණය]

භව ගාමී වීමට ඇති ආශාවයි. මරණින් පසුවද ලබන ආත්ම වල දී පසිඳුරන් පිනවමින් පස්කම් සැප විඳීමට ඇති රුචිය මින් අදහස් කෙරේ. කාම වස්තූන් කෙරෙහි ඇති ඇල්ම අනුව ශාශ්වත දෘශ්ටිගතව සැප පැතීම භව තණ්හාවේ ලක්ෂණයකි. ෂඩ් ඉන්ද්‍රියන් තුනු කාලයට අනුව පිනවීමට යාම තුළින් භව තණ්හාව අටළොස් වැදෑරැම් වේ.

විභව තණ්හාව [සංස්කරණය]

මරණින් මතු තවත් උපතක් නැත. ඒ නිසා පස්කම් සැප විඳීමට අවස්ථාවක් නොලැබෙයි.ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය. මෙම දර්ශනය උච්ඡේදවාදී දර්ශනයක් වශයෙන් සලකනු ලැබේ.

තණ්හා1.jpg

සවිස්තරාත්මකව තෘෂ්ණාව 108 වැදෑරැම් වේ.

  • කාම තණ්හා භවතණ්හා විභවතණ්හා=03
  • රූප,ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ=06

=03*06=18

  • අධ්‍යාත්මික, භාහිර=02

=18*02=36

  • අතීත වර්තමානඅනාගත=03

=36*03 =108 " සමුදයස්ස ආයුහනට්ඨෝ නිදානට්ඨො සංයෝගට්ඨො පළිබොධට්ඨො ඉමේ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා" යනුවෙන් පටිසම්භිදාමග්ග සච්ච නිද්දේසයට අනුව සමුදය

සත්‍යයේ හෙවත් තෘෂ්ණාවේ මූලික ලක්ෂණ 04 කි.

  1. ආයුහනට්ඨ
  2. නිදානට්ඨ
  3. සංයෝගට්ඨ
  4. පළිබොධට්ඨ

ආයුහනට්ඨ [සංස්කරණය]

දුක් උපදවන දුක් ලබා දෙන දුක් රැස් කරන අර්ථයෙන්ආයුහනට්ඨ නම් වේ.කාම ලෝක රූප ලෝක අරූප ලෝක යන කවර භවයක උපත ලැබූවද ජාති ජරා මරණාදී දුක් ලබා දෙයි. ලොව යම් දුකක් වේද ස්කන්ධ ඇසුරින්ම ඒ සියළු දුක් පවතියි.

නිදානට්ඨ [සංස්කරණය]

සියළු දුක් වලට මූලික වූ තණ්හාව හේතු කොට ගෙන උපත ලද සත්වයන්ට විවිධාකාර වූ හිරිහැර දුක්පීඩා උපදවන ස්වභාවය නිදානට්ඨ නම් වේ.දුක ඇති වීමට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගෙන තෘෂ්ණාව නැති කිරීමට පිළියම් කළ යුතුය.සසරෙහි භව ගාමීව සිටින තෙක් දුක්උපදවා ලීමට තෘෂ්ණාව ඉවහල් වේ.ජාතියක් ජාතියක් පාසා අභිනව ස්කන්ධ නැවත නැවත ඇති කරන අතර ඒ නිසාම දුක් ඇති වීමද නිතැතින්ම සිදු වේ.

සංයෝගට්ඨ [සංස්කරණය]

සත්වයාට සසරින් එතෙරව විමුක්ති සුවය සළසා ගැනීමට ඉඩ නොදී නැවත නැවතත් සසරට පත් කරමින් දුක්පීඩා විඳීමට සැළැස්වීම සංයෝගට්ඨ නම් වේ. ගසක බඳින ලද ගවයාට බැමි ලිහන තෙක් ඉන් ඈත‍ට ගිය නොහැක. පෘතග්ජන සත්වයා ද තණ්හාව නිසා පඤ්චස්කන්ධය පිළිබඳව පවත්නා බැඳීම නිසාම සසරගතව දුක් අනුභව කරයි.

පළිබෝධට්ඨ [සංස්කරණය]

මාර්‍ග හා ඵලාධිගමනයෙන් විමුක්තිය සළසා ගැනීමේ අවස්ථාව වළක්වන ස්වභාවය පළිබොධට්ඨ නම් වේ. මේ අනුව පුද්ගලයා පාපයට නැඹුරු කෙරේ.හොඳ ක්‍රියා වලින් ඈත් කරවයි.දුසිරිතට පොළඹවයි. මෙබඳු මූලික ලක්ෂණ 04 ක් තෘෂ්ණාව ඇසුරින් දැකිය හැකිය.

නිරෝධ සත්‍යය [සංස්කරණය]

'නි' යන්නෙන් නැතිවීම, අභාවයට යාම යන අර්ථ ලැබෙයි.'රෝධ' යන්නෙන් සිරගෙය යන අර්ථය ලැබෙයි . ඒ අනුව නිරෝධ යනු සිරගෙයින් නික්මීම, නිදහස් වීම, වෙන් වීම යන අර්ථය ලැබෙයි. එනම් තෘෂ්ණාව නමැති සිරගෙයින් නිදහස් වීමයි.තෘෂ්ණාවෙන් නිදහස් වීම යනු නිවන් දැකීමයි.විමුක්ති සාධනයයි. " තත්ථ කතමං දුක්ඛ නිරෝධං අරිය සච්චං? යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්තී අනාලයෝ ඉදං වුච්චතී භික්ඛවේ දුක්ඛං නිරෝධං අරිය සච්චං........." (දුක්ඛ නිරෝධ සත්‍යය යනු කවරේද යත් දුක් ඉපදීමේ හේතුව වූ තෘෂ්ණව ඉතිරි නොවන සේ මුළුමනින්ම නැති කෙරේද (අසේස විරාග නිරෝධෝ ) තෘෂ්ණාව දුරු කෙරේද(චාගෝ) තෘෂ්ණව බැහැර කෙරේද (පටිනිස්සග්ගෝ) තෘෂ්ණාවෙන් මිදීමක් වෙයිද (මුත්තී) තෘෂ්ණාව පිළිබඳ ඇල්මක් නොවේද (අනාලයෝ) එය නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෙවැදෑරුම් වන තණ්හාව මුළුමනින්ම පුහාණය කිරීමෙන් විමුක්තිය සැලසෙයි.එම නිවනේ ස්වභාවය පෘතග්ජන සත්වයන්ට තේරුම් ගත නොහැක. පැහැදිලි කළ නොහැක. සෝවාන් ආදී මාර්‍ග ඵල සිත් වලටම අරමූණු වනු ඇත. නිවන යනු පරම සුවයයි.කවර කලෙකවත් වෙනස් නොවන ලෝකෝත්තර සුවයයි.අවේදයිත හෙවත් නොවිඳින සුවයක් වීම මෙහි උත්තරීතර බව පිණිස මූලික හේතුවයි.වේදයිත හෙවත් විඳිනා සැප වෙනස් වේ. දුකට පෙරළෙයි.නොවිඳින සුවයක් බැවින් එය ස්ථීරය. නිත්‍යය.සදාකාලිකය.සැප පිළිබඳ ප්‍රභේද 02 කි.

  1. කාම සුඛ(කම් සැප)
  2. විමුක්ති සුඛ(ලෝකෝත්තර සැප)
  • කාම සුඛ -පසිඳුරන් පිනවීම තුළින් ලබන සැපය
  • විමුක්ති සුඛ-සදාකාලික සැප දෙන නිවන තුළින් ලබන සැපය


නිවන් ලැබීමේ අවස්ථා 02 කි.

  1. සෝපධිසේස නිර්‍වාණය -මෙහිදී නිවන් අව‍බෝධය කරගන්නේ පඤ්චස්කන්ධය සයිතවයි.
  2. අනුපදිසේස නිර්‍වාණය- පඤ්චස්කන්ධය රහිතව නිවන් අව‍බෝධ වීම (රහත් වීමෙන් පසු පිරිනිවන් පෑම)

තණ්හා නිරෝධය හෙවත් තණ්හාව දුරලීම නිර්‍වාණය බව බුදුන් වහන්සේ වදාළහ. "තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං" යනුවෙන් තණ්හාව ක්ෂය කිරීම රාගය නැති කිරීම නිර්‍වාණය බව දේශනා කළහ. "නිරෝධස්ස නිස්සරනට්ඨෝ විවේකට්ඨෝ අසංඛතට්ඨෝ අමතට්ඨෝ" යනුවෙන් පටිසම්භිධා මග්ග

පාළියෙහි එන විග්‍රහයට අනුව නිරෝධ සත්‍යයේ විශේෂ ලක්ෂණ 04 කි. 01නිස්සරනට්ඨ 02විවේකට්ඨ 03අසංඛතට්ඨ 04අමතට්ඨ

නිස්සරනට්ඨ [සංස්කරණය]

සකලක්ලේශයන්ගෙන් හා සංසාර ගත සියලු දුක්වලින් පහවීම නිදහස් වීම පෘතග්ජන සත්වයෝ ලෝභ, දෝස, මෝහ,ඉස්සරිය,මායා,සාඨෙය්‍ය,ථම්භ, මද,මාන,අභිමාන,මක්ඛ,ඵලාස ආදී 1500 පමණ වන කෙ‍ලෙස් වලින් යුක්ත වෙති. නිවන් අවබෝධ කිරීම තුළින් එම සියළුම කෙලෙස් වලින් ප්‍රහීණ වෙයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක,මරණ දුක ආදී අප්‍රමාණ දුක්වලින්නිදහස් වීමක්ද සිදුවන බැවින් නිස්සරනට්ඨ නමින් හැඳින්වේ.කිසිඳු බියක් වේදනාවක් ඔහුට නැත.

විවේකට්ඨ [සංස්කරණය]

සන්තානගත සියලු කෙලෙසුන්ගෙන් හා සංසාරික සියලු දුක්වලින් හිස් වූ අර්ථයෙන් විවේකට්ඨ යයි පවසයි. නිවන් ලබන තෙක් කෙලෙස් වලින් හා දුක්වලින් නිදහස් වීමක් නැත. කෙලෙස් නිසාම දුක් සහගතව පීඩාවිඳින්නකු වෙයි. නිර්‍වාණ ධාතුව කෙලෙස් වලින් හා දුක්වලින් හිස් වූවකි. කිසිඳු ක්ලේශයක් නැත. කිසිඳු දුකක් නැත. ඒ නිසාම බියක් ද නැත.

අසංඛතට්ඨ [සංස්කරණය]

හේතූන්ගෙන් හට නොගත් බැවින් අසංඛතට්ඨ වේ. කාම ලෝක, රූප ලෝක ,අරූප ලෝක යන ලෝක වල සියලු ධර්මයන් කර්‍මාදී හේතූන්ගෙන් හටගත් ධර්‍ම වනු ඇත. ඒ නිසාම ඒවා සංඛත ධර්‍ම ගනයට අයත් වෙයි. සංඛත ධර්‍ම වල ස්වභාවය අනිත්‍යය, දුක, අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගෙන් යුක්ත වීමයි. එහෙත් නිවණ අසංඛතය. ඒ නිසාම අනිත්‍යය නො‍වේ. නිත්‍ය වේ. දුක් සහගත නොවේ. අනාත්ම නොවේ. ස්ථීරය. සදාකාලිකය. සංඛාර ධර්‍මයන්ගෙන් තොර වූ බැවින් අසංකතට්ඨ යැයි නම් කෙරේ.

අමතට්ඨ [සංස්කරණය]

මෙයින් නොමැරෙන බව අදහස් කෙරේ. නොමැරෙන බව , විනාශ නොවන බව, කැඩී බිඳී වෙනස් නොවන බව නිවණෙහි ලක්ෂණයකි. ලොව පවත්නා ජීවී, අජීවී සියලු වස්තූන්ගේ ස්වභාවය ඇති වු නිසා නැති වීමයි. උපත ලද නිසාම මිය යයි. උප්පාද ,ඨිති ,භංග යන ලක්ෂණයන්ට යටත් වෙයි. එහෙත් නිවණ යනු එබඳු ලක්ෂණවලින් තොර වූ ධර්‍මයක් වන බැවින් අමතට්ඨ යයි නම් කෙරේ. නිවණ ඇසුරින් මෙබඳු ලක්ෂණ දැකිය හැකිය. නිර්‍වාණය යනු තමන් විසින්ම අවබෝධ කරගත යුත්තකි. අධිභෞතික සන්තාවක් හෝ දේවධර්‍මවාදයක් නොවේ. දුක්ඛ නිරෝධයකි. උදානපාළියේ ද නිර්‍වාණය පිළිබඳව අර්ථකථනයක් දැක්වේ. "අත්ථි භික්ඛවේ අජාතං අභූතං අකතං අසංඛතං........." යනුවෙන් අජාත, අභූත, අකත, අසංඛත යන ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ධර්‍මතාවයක් ලෙස නිවණ හඳුන්වා දී ඇත.

Z p05-nivana.jpg
  • නිවණ යනු ඇති වූවක් නොවේ(අජාතං)
  • පහළ වූවක් නොවේ(අභූතං)
  • කරන ලද්දක් නොවේ(අකතං)
  • හේතූන්ගෙන් හට ගත් තත්වයක්ද නොවේ(අසංඛතං)

" ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණන්ති....." චතුභාණවාර පාළියේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන මෙම පාඨයෙන්ද නිවණෙහි ස්වභාවය පෙන්නුම් කෙරේ. සියලු සංඛාරයන්ගේ සිඳීමක් වෙයි. සියලු උපධීන්ගේ දුරලීමක් වෙයි. තෘෂ්ණාව ක්ෂය වීමක් වෙයි. නොඇලීමක් වෙයි. එබඳු සුවිශේෂී ලක්ෂණ නිවණ කෙරෙන් ප්‍රකට වෙයි. අධ්‍යාත්මික ශික්ෂණය තුළින්ම සාක්ශාත් කර ගත යුතු නිවණ සදාචාර ධර්‍ම පද්ධතියක උපරිම අවස්ථාවයි. තණ්හක්ඛය-දෝසක්ඛය-මෝහක්ඛය යනුවෙන් නිවණ හඳුන්වන්නේ තෘෂ්ණාව ක්ෂය කිරීමයි. "භව නිරෝධො නිබ්බාණං "-භවයෙහි නිරෝධය හෙවත් නැවැත්වීම නිර්‍වාණයයි.(සංයුක්ත නිකාය) ඉපදීමෙහි හා මරණයෙහි කෙළවර නිවණ බව "ජාති මරණස්ස අන්තං" යන සංයුක්ත නිකායේ එන පාඨයෙන් පැහැදිලි වේ. නිවණෙහි ස්වභාවය නම් ජරාවට පත් නොවීමයි(අජරං). රෝගී නොවීමයි(අබ්‍යාධිං). නොමැරෙන සුළු බවයි(අමතං). ශෝක රහිත වීමයි(අසෝකං). කෙළෙස්මලින් තොර වීමයි(අසංකිලිට්ඨං). නිවන් ලැබූ පසු පෘතග්ජන සත්වයින් සැප ලෙස සලකන ලෞකික සැප කෙරෙහි ඇල්මක් නැත. එම සැප හා සම්බන්ධ අස්සාද (ආශ්වාද) අදීනව(ආදීනව) හා නිස්සරණ යන අවස්ථානුරූපීව දකිති. අනාර්‍ය්‍ය සුඛයෙන් තොරව ආර්‍ය්‍ය සුඛ වින්දනය කරති. පෘතග්ජනයන් මානසික රෝග වලින් පීඩා විඳින මුත් නිවන් පසක් කර ගත් විට (චේතසික රෝගං) මානසික රෝග කිසිවක් නැති තත්වයකට පත් වේ.කායික මානසික සියළු දුක් වලින් තොර වෙති.නිවන් ලැබීම තුළින් සියළු ශෝක දුරු වෙයි.

'සබ්බ සෝකං අතික්කන්තෝ අසෝකං හෝති නිබ්බුතෝ'''''

යනුවෙන් සංයුක්ත නිකායේ විස්තර වේ. සියළු බිය දුර ලූ අයෙකු වෙයි.(අකුතෝභයං) ලෝක ධර්‍මතාවලදී කම්පාවට පත් නොවෙති. "පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති"- මංගල සූත්‍රය

නිවන් අවබෝධයෙන් සියල්ල දැනගත් අයෙකු බවට පත් වේ.යථාභූත ඤාණය ලැබීම තුළින් එය සිදු වෙයි. නිවණ යනු (පච්චත්තං වේදිතබ්බෝ) ප්‍රත්‍යක්ෂ කළ යුත්තක් වන බැවින් පෘතග්ජනයන් වශයෙන් එහි යථා ස්වභාවය තේරුම් ගැනීම අපහසුය. සිව්සස් දහම් අවබෝධ කළ පුද්ගලයාගේ විශෙෂත්වය "'''අරහං ඛීණාසවෝ වුසිතවා කත කරණීයෝ ඕහිරතෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීණ භව සංයෝජනෝ සම්මදඤ්ඤාවිමුත්තෝ......." ආදී වශයෙන් පැහැදිලි කෙරේ. ඒ අනුව ආශ්‍රවයන් ප්‍රහීණ කළ වසන ලද බඹසර ඇති, කළ යුතු දේ කොට නිම කළ ,බහා තැබූ බර ඇති, පරමාදර්ශී තත්වයට පත් වූ භව සංයෝජන බිඳ දැමූ මැනවින් මිදුන තත්වයක් දැකිය හැකි වෙයි. නිවණ කෙරෙන් කෙසේවත් දැක්විය නොහැකි ලක්ෂණ 04 කි.

  1. රූප(රූපය)
  2. සන්ඨාණ(හැඩය)
  3. වය(පවත්නා කාලය)
  4. පමාණ(ප්‍රමාණය)

සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් අවස්ථා මාර්‍ග හා ඵල තත්වයන්ට පත් වීමෙන් නිවන් සුවය සැලසේ.දස සංයෝජන ධර්‍ම ප්‍රහීණ වීම ද ඒ සමඟම සිදු වේ.

  • සෝවාන් වීම - සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහීණ වෙයි.
  • සකෘදාගාමී වීම - කාමරාග, ව්‍යාපාද තුනී වෙයි.
  • අනාගාමී වීම- කාමරාග, ව්‍යාපාද ප්‍රහීණ වෙයි.
  • අර්හත් වීම -රූප රාග, අරූප රාග,මාන ,උද්ධච්ච, අවිජ්ජා ප්‍රහීණ වෙයි.

සංයෝජන ධර්‍ම මෙසේ මුළුමනින්ම ප්‍රහීණ වීමත් සමඟ පෙර විසූ ආත්ම දැන ගැනීමේ නුවණ(පුබ්බේ නිවාසානුස්සති) දිවැස් (දිබ්බ චක්ඛු) කෙලෙස් ප්‍රහීණ වී ඇති බව දන්නා නුවණ(ආසවක්ඛය) යනාදී ත්‍රිවිද්‍යා පහළ වෙයි.රහත් බව ලබයි. දම්සක් පැවතුම් සූත්‍රයේදී චක්ඛුං උදපාදී- ඤාණං උදපාදී-පඤ්ඤා උදපාදී- විජ්ජා උදපාදී-ආලෝකෝ උදපාදී යනුවෙන් දේශනා කරන ලද්දේ නිර්‍වාණ අවබෝධ වීමත් සමඟ ය.

ආලෝක.jpg

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය [සංස්කරණය]

ලෝකය ද්වන්ද චරණයෙන් යුක්තය. එනම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අංශ දෙකකින් සමන්විත වීමයි. හොඳ නරක, සුදු කළු, උඩ යට, ලොකු කුඩා ආදී වශයෙනි. දර්‍ශනවාද ඇසුරින් ද එම ප්‍රභේදය පවතී. මේ අනුව දුකට ප්‍රතිවිරුද්ධ වූ තවත් පැත්තක් ඇත. එනම් සැපයයි. දුක්ඛ සත්‍යයෙන් දුක පිළිබඳව ද නිරෝධ සත්‍යයෙන් දුකට ප්‍රතිවිරුද්ධ සැප ගැනද සමුදය සත්‍යයෙන් දුකට හේතු ද මාර්‍ග සත්‍යයෙන් සැපට හේතු ද සාකච්ඡා කෙරේ.

".'..........තත්ථ කතමං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං? අයමෙව අරියො අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යථීදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මාසති සම්මා සමාධි........"(විභංගප්‍රකරණය- සච්ච විභංගය') මාර්‍ග සත්‍යය ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය ,අරි අටඟි මග, මධ්‍යම ප්‍රතිපදාව, මැඳුම් පිළිවෙත ආදී නම් කිහිපයකින්ම හැඳින්වේ. සෝවාන් ආදී මාර්‍ග ඵල පිළිවෙලින් කෙලෙස් බැහැර කළ කල්හි 'අරිය' හෙවත් 'ආර්‍ය්‍ය' තත්වයට පත් වෙයි.අංග අටකින් යුක්ත වන බැවින් 'අට්ඨංගික' යැයි පවසයි. මේ අනුව ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙන් කෙලෙස් ප්‍රහීණ කොට උත්තරීතර තත්වයට පත් වීම පිණිස ගමන් කළ යුතු මාර්‍ගය පැහැදිලි කෙරේ.

මාර්‍ගාංග අට [සංස්කරණය]

Sasara.JPG


  1. සම්මාදිට්ඨි -නිවැරදි දැක්ම
  2. සම්මාසංකප්පෝ -නිවැරදි කල්පනාව
  3. සම්මාවාචා -නිවැරදි වචන
  4. සම්මාකම්මන්තෝ -නිවැරදි කර්‍මාන්තය
  5. සම්මා ආජීවෝ -නිවැරදි දිවිපෙවෙත
  6. සම්මා වායාමෝ -නිවැරදි උත්සාහය
  7. සම්මාසති-නිවැරදි සිහිය
  8. සම්මා සමාධි-නිවැරදි සිතේ එකඟ කම

මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන්ම නිවන් සුව සලසා ගත හැකි වේ.

සම්මාදිට්ඨි [සංස්කරණය]

A-05.jpg

නිවැරදි දැක්ම යනු නිවැරදි දැනීමයි.වැරදි දැක්ම මිච්ඡා දිට්ඨි නම් වේ. සම්මාදිට්ඨිය

යන්න කොටස් 02කින් යුක්තය.

  1. දස වස්තුක සම්මාදිට්ඨි
  2. චතුසත්‍ය සම්මාදිට්ඨි
  • දස වස්තුක සම්මාදිට්ඨි
  1. අත්ථි දින්නං(දන් දීමෙහි විපාක ඇත)
  2. අත්ථි යිට්ඨං(උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත)
  3. අත්ථි හුතං(ගුණවතුන්ට පුද පඬුරු විපාක ඇත)
  4. අත්ථි සුකට දුක්කට කම්මානං ඵලං විපාකෝ(හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
  5. අත්ථි අයං ලෝකෝ(පරලොව ගියවුන් මෙලොවට පැමිණීමක් ඇත)
  6. අත්ථි පරෝ ලෝකෝ(මෙලොව සිටිනවුන්ට පරලොවක් ඇත)
  7. අත්ථි මාතා(මවට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
  8. අත්ථි පිතා(පියාට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
  9. අත්ථි සත්තා ඕපපාතිකා(මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත)
  10. අත්ථි ලෝකේ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං

අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති(යහපත් මාර්‍ගයට පිළිපන් මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත)

  • චතුසත්‍ය සම්මාදිට්ඨි
  1. දුක්ඛෙ ඤාණං(දුක්ඛ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
  2. දුක්ඛ සමුදයෙ ඤාණං(දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
  3. දුක්ඛ නිරොධෙ ඤාණං(දුක්ඛ නිරොධ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
  4. දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය ඤාණං(දුක්ඛ නිරොධ මාර්‍ග සත්‍ය පිළිබඳ දන්නා ඥානය)

සම්මාසංකප්ප [සංස්කරණය]

නෙක්කම්ම.jpg

"........'තත්ථ කතමං සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං වුච්චති සම්මාසංකප්පෝ........."

මෙය ත්‍රිවිධාකාරය.

  • නෙක්ඛම්ම සංකප්ප -නෙක්ඛම්ම යනු නික්මීමයි. වෙන් වීමයි. ඈත් වීමයි. එනම් පඤ්ච කාම

සම්පත්තියෙන් නික්මීමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ආදී පස් කම් සැපතින් ඈත් වීමේ කල්පනාවයි.

  • අව්‍යාපාද සංකප්ප -ව්‍යාපාදයෙන් හෙවත් ද්වේශයෙන් තොර වීමේ කල්පනාවයි.
  • අවිහිංසා සංකප්ප -හිංසාවෙන් තොර වීමේ කල්පනාවයි.

සම්මා වාචා [සංස්කරණය]

Z p07-katawata.jpg

".........තත්ථ කතමෝ සම්මා වාචා? මුසාවාදා වේරමණී පිසුණාවාචා වේරමණී ඵරුසාවාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී අයං වුච්චතී සම්මා වාචා........" නිවැරදි වචන යනු වාග් සුචරිතයයි.වචනයෙන් සිදුවන සිවුවැදෑරුම් වැරදි වලින් වැලකී ක්‍රියා කිරීමයි.

එනම්,

  1. බොරු කීමෙන් වැලකීම
  2. කේළාම් කීමෙන් වැලකීම
  3. ඵරුස වචන කීමෙන් වැලකීම
  4. හිස් වචන කීමෙන් වැලකීම

සම්මා කම්මන්ත [සංස්කරණය]

'.........තත්ථ කතමෝ සම්මා කම්මන්තෝ ? පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසුමිච්ඡාචාරා වේරමණී අයං වුච්චතී සම්මා කම්මන්තෝ........"'''

මෙය ත්‍රිවිධාකාරය.

  1. ප්‍රාණඝාතයෙන් වැලකීම
  2. සොරකමෙන් වැලකීම
  3. කාම මිථ්‍යාචාරයෙන් වැලකීම

සම්මා ආජීව [සංස්කරණය]

Z p04-nava.jpg

".........තත්ථ කතමෝ සම්මා ආජීවෝ ?ඉධ අරිය සාවකෝ මිච්ඡාජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං වුච්චතී සම්මා ආජීවෝ......." නිවැරදි දිවි පෙවෙත යනු මිථ්‍යාජීවයෙන් තොර වීමයි.අධාර්මික වූ වෙළඳාම් වලින් වැලකී දැහැමි

ජීවනෝපාය ක්‍රම අනුගමනය කිරීමයි. අදමිටු වෙළඳාම් ක්‍රම නම්,

  1. සත්ත වණිජ්ජා -මස් පිණිස සතුන් වෙළඳාම
  2. සත්ථ වණිජ්ජා- නපුරු අවි ආයුධ වෙළඳාම
  3. විස වණිජ්ජා- වස විෂ වෙළඳාම
  4. මාංස වණිජ්ජා- මස් වෙළඳාම
  5. මජ්ඣ වණිජ්ජා- මත්පැන් වෙළඳාම

සම්මා වායාම [සංස්කරණය]

වායාම.jpg

".........තත්ථ කතමෝ සම්මා වායාමෝ ? ඉධ භික්ඛූ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං........."'ආදී වශයෙන් නිවැරදි උත්සාහය යන්න සිව්වැදෑරුම්ව විස්තර කෙරේ. එනම්,

  1. නූපන් අකුසල් නොඉපදවීමට උත්සාහ කිරීම
  2. උපන් අකුසල් නැතිකිරීමට උත්සාහ කිරීම
  3. නූපන් කුසල් ඉපදවීමට උත්සාහ කිරීම
  4. උපන් කුසල් වැඩිදියුණු කිරීමට උත්සාහ කිරීම

සම්මා සති [සංස්කරණය]

සති1.jpg

".........තත්ථ කතමෝ සම්මා සති ?ඉධ භික්ඛු කායේ කායානුපස්සී විහරති. ආතාපි සම්පජානෝ........." යනුවෙන් නිවැරදි සිහිය සිව්වැදෑරුම්ව විස්තර කෙරේ.එනම්,

  1. කායානුපස්සනා- (කය අනුව බැලීම)
  2. වේදනානුපස්සනා-(වේදනාවන් අනුව බැලීම)
  3. චිත්තානුපස්සනා-(සිත අනුව බැලීම)
  4. ධම්මානුපස්සනා-(ධර්‍මානුකූලව බැලීම)

සම්මා සමාධි [සංස්කරණය]

".........තත්ථ කතමෝ සම්මා සති ? ඉධ භික්ඛූ විවිච්චේව කාමේහි විවිච්චේව අකුසලේහි ධම්මේහි...."ආදී වශයෙන් නිවැරදි සමාධිය යන්න සිව්වැදෑරුම්ව විස්තර කෙරේ. එනම්,

සමාධි1.jpg
  1. ප්‍රථම ධ්‍යාන සමාධිය
  2. ද්විතීය ධ්‍යාන සමාධිය
  3. තෘතිය ධ්‍යාන සමාධිය
  4. චතුර්ථ ධ්‍යාන සමාධිය

මෙසේ සිත ස්ථිර ලෙසින් නොසැලෙන අයුරින් පිහිටුවා ගැනීම සම්මා සමාධිය වේ.මෙසේ විස්තර වන ආර්‍ය්‍ය මාර්‍ගය ත්‍රි ශික්ෂාවන්ට අනුව ප්‍රධාන කොටස් 03 කට වර්‍ග කෙරේ. එනම්,

  1. සීල -සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව
  2. සමාධි- සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි
  3. ප්‍රඥා- සම්මා දිට්ඨි, සම්මා සංකප්ප

ආර්‍ය්‍ය මාර්‍ගය වැඩීමෙන් විමුක්තිලාභියෙකු බවට පත් වන අතර සසර පැවැත්ම නිම වෙයි.සියල්ල අවබෝධ කරගත් අයෙකු වශයෙන් උත්තරීතර තත්වයට පත් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ [සංස්කරණය]

පොත්.jpg
  • පේමරතන රොටුඹ, බුද්ධ ධර්මය හා බෞද්ධ දර්ශනය,ශ්‍රී පාලි මුද්‍රණාලය, බණ්ඩාරගම,1996
  • රාහුල වළ්පොල,බුදුන් වදාළ ධර්මය, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම,කොළඹ 11,1989
  • මහතන්ත්‍රිගේ ගුණසේන, ථේරවාද බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්- බෞද්ධ ධර්මාචාර්ය විභාගය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,2006
  • වෙත්තමුණි ආර්. පී. ද ඇස්.,බුදු දහම සහ එය ආගමටත් විද්‍යාවටත් සමවිසම වන අයුරු,ඇම්.ඩී. ගුණසේන සහ සමාගම,කොළඹ 11,1967
  • විජේබණ්ඩාර චන්දිම ,මොරටුවගම එච්.එම්., බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය, කතෘ ප්‍රකාශන, 1977
  • විජේබණ්ඩාර චන්දිම ,මොරටුවගම එච්.එම්.,ආදි බෞද්ධ චින්තනය, එස් ගොඩගේ සහ සහෝදරයෝ,කොළඹ 10,1995
  • වික්‍රමසිංහ කේ.ඩී.පී., සම්බුදු දහම,කතෘ ප්‍රකාශන,1976
  • ගමගේ එස්. දීගොඩ(පරි.) සමස්ත බුද්ධ ධර්මය,සමය වර්ධන පොත් හල,කොළඹ 10,2004


වැඩිදුරට කියවීම සඳහා [සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=චතුරාර්ය_සත්‍යය&oldid=248274" වෙතින් නැවත ලබාගන්නා ලදි