ගෞතම බුදුන් වහන්සේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගෞතම බුදුන් වහන්සේ
Buddha in Sarnath Museum (Dhammajak Mutra).jpg
බෝධිය: ඇසතු
අගසවු: සාරිපුත්ත - මොග්ගල්ලාන
බුදුවූ දිනය: බු.පූ. 45 වෙසක් මස පසළොස්වක දින
බුදුවූ ස්ථානය: ගයා ශීර්ශය
පරිනිර්වාණය සිදුවූ දිනය: බු.ව. 1 වෙසක් මස පසළොස්වක දින
ගිහිකල නම: සිදුහත් කුමරු
පූර්වප්‍රාප්තික: කාශ්‍යප බුදුරජාණන් වහන්සේ
අනුප්‍රාප්තික: අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
කල්පය: භද්‍ර
නියත විවරණ දුන්නේ: දීපංකර බුදුරජාණන් වහන්සේ
මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය


ලොව අවසානවරට පහලවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මේ කල්පයෙහි පහළ වූ සතරවෙනි බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ බුදුවීමට පෙර සිදුහත් (සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි.

බුදුවීමට පෙර ජීවිතය[සංස්කරණය]

ගිහි ජීවිතය[සංස්කරණය]

සිද්ධාර්ථයන් උපත ලැබුවේ කපිලවස්තු (කිඹුල්වත්) නගරයේ ගෞතම ගෝත්‍රයට හා ශාක්‍ය වංශයට අයත් රාජකීය පවුලක ය. එතුමන් ගේ පියා සුද්ධෝදන රජතුමා ය. මව මහාමායා දේවිය යි.

සතර පෙර නිමිති දැකීම[සංස්කරණය]

සුද්ධෝදන රජතුමා කුමාරයාගේ මාලිගාව සහ උද්‍යානය වටවන පරිදි විශාලා තාප්පයක් තැනුවේය. රජතුමා මේ සියල්ලම කලේ යම් දිනෙක මේ සැප සම්පත් සියල්ලම හැර දමා මහණ වෙතැයි ඇතිවූ බිය නිසාමය. කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට මෙලෙස සිරකාරයෙක් මෙන් ජීවත් වීම අප්‍රිය විය. ඔහු නිතරම සෙවුයේ මේ ජීවිතයේ අර්ථය කුමක්ද යන්නයි.

දිනක් කුමාරයා රජතුමා හමුවට ගොස් තමන් මාළිගයෙන් පිටතට ගොස් අනෙක් ජනතාව ජීවත් වන්නේ කෙසේදැයි සෙවීමට අදහස් කරන බව පැවසීය. රජතුමා එවිට කුමාරයට මඳ වේලාවක් නවතින්න යැයි පවසා තමන්ගේ සේවකයන් ලවා නුවර සම්පූර්ණයෙන්ම සරසා කුමරුට යන්නැයි පැවසුවේය.

සිද්ධාර්ථ තවුසා[සංස්කරණය]

ගිහි බැමි හැර ශ්‍රමණයකු විය යුතු යැයි හැඟීම හැර විමුක්තියට මග පිළිබඳ අන් කිසිම දැනුමක් එ කල්හි සිද්ධාර්ධයන් ට නොතිබිණි. විමුක්තිය සොයා යෑමේ නොසිඳෙන වීර්යයත්, එය අන් අයට හෙළි කිරීමේ සානුකම්පික හැඟීමත් නිසාම සය වසක් මුළුල්ලේ උන්වහන්සේ කළේ සත්‍යය සොයා යෑම යි. මෙය ධර්මයේ හැඳින්වෙන්නේ ආර්ය පර්යේෂණය ලෙස ය.

සත්‍ය ගවේශනය වෙනුවෙන් උන් වහන්සේ මුලින්ම කළේ විමුක්තිය සාක්‍ෂාත් කරගෙන සිටී යැයි එකල සිතා සිටි ආචාර්ය වරුන් සොයා යාමයි. භාවනාව ප්‍රගුණ කර අරූප ධ්‍යාන (මෙය බුදු දහමෙහි සම්මා සමාධිය නොවේ; ධ්‍යාන මට්ටමක් පමණී) උපදවා සිටි ආලාර කාලම සහ උද්දක රාමපුත්‍ර එවැනි ගුරුවරුන්ය. සුළු කලකින් ඔවුන්ගේ ධර්මයන් ප්‍රගුණ කළ සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ ඒවා විමුක්තිය වෙත යොමු නොවී ඇතැයි අවබෝධයෙන්ම බැහැර කළහ; තමන් ම විමුක්තිය සොයා ගත යුතු බව වටහා ගත්හ.

පස් කම් සැපෙහි ඇලි ගැලී සිටි කාමසුඛල්ලිකානුයෝගී අන්තය නිසරු බැව් මේ වන විටත් පසක් කර සිටි හෙයින් එතුමන් මෙවර තෝරා ගත්තේ ශරීරයට දැඩි දුක් පීඩා දී පව් ගෙවා දැමීම යැයි සමාජ සම්මතයේ පැවති අත්ථකිලමතානුයෝගී අන්තය යි. පස්වග භික්‍ෂූන්ගේ උපස්ථාන ලබමින් අවුරුදු හයක් මුළුල්ලේ දුෂ්කර ව්‍රත වල හැසිරීමෙන් (දුෂ්කර ක්‍රියාවෙන්) පවා උන් වහන්සේ පැතූ විමුක්තිය ළඟා කර ගත නොහැකි විය. මෙම පරීක්‍ෂණයේ නිගමනය වූයේ, අත්ථකිලමතානුයෝගය විමුක්තියෙන් බැහැරට ම යන බවයි.

ඉන් අනතුරුව උන් වහන්සේ ගේ මතකය ගියේ ළදරු වියේ දී දඹ රුක් මුලක හිඳ වැඩූ ආනාපානසති භාවනාවත් එයින් අත්දුටු සමාධි සුවයත් වෙතය. කාමසුඛල්ලිකානුයෝගී සහ අත්ථකිලමතානුයෝගී මාර්ගවලින් බැහැරවූ මැද මාවතක් (මධ්‍යම ප්‍රතිපදාව) අනුගමනය කළ යුතු බැව් උන් වහන්සේට වැටහිණි.

බුද්ධත්වයට පත්වීම[සංස්කරණය]

ගොනුව:Astasahasrika Prajnaparamita Victory Over Mara.jpg
බුදුරජාණන් වහන්සේ භාවනා වඬමින් සිටින විට මාරදුතිකාවන් වට කරගෙන සිටින ආකාරය.

ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ‍ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි(චතුරංග සමන්නාගත වීර්යය) යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ. උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් මහ පසළොස්වක දින ඇසතු ගසක් මුල සියලු කෙලෙස් නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්සේක. එවක් පටන් ඇසතු ගස් බෝ රුක බවට පත්විය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව ගෞතම බුදුන් වහන්සේ ලෙස හැඳින්විණි.

ගෞතම බුදුරජාණන් වහන්සේ[සංස්කරණය]

බුද්ධත්වයට පත්වූ පසු 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.

එම අවස්ථාවේදී උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.


බුද්ධ ශාසනය[සංස්කරණය]

tiny globe
භාරතදේශයේ බරණැස මිගදාය පිහිටි පුදබිම වර්තමානයේ දැකීමට ලැබෙන ආකාරය

බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය අන්‍යන්ට දේශනා කළ යුතුද, නැද්ද, යන්න කල්පනා කළ සේක[1]. තණ්හාව, වෛරය හා මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරු හා තේරුම් ගැනීමට අපහසු මෙම ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ සිතූහ. එහෙත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහත් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිසක් ද සිටිය හැකි බව පැවසීය. බුදුරාජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා ලෝක සත්වයින්ගේ ගුරුවරයා බවට පත්වීමට එකඟ වූහ.

බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ හමුවු තපස්සු හා භල්ලුක යන වෙළඳුන් දෙදෙනා බුදු සසුනේ පළමු උපාසකයින් (ගිහි ශ්‍රාවකයින්) දෙදෙනා විය. ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත් කේෂධාතු නිදන් කර බුරුමයේ චෛත්‍යයක් කරවු බව කියවේ. ශ්‍රී ලංකාවේ පිහිටි ගිරිහඬු සෑයේ මෙම කේෂධාතු නිදන් කර ඇති බවටද මතයක් පවතී. බුදුරජාණන් වහන්සේ අසිත තාපසතුමා හා තම පෙර ගුරුවරුන් වු ආලාර කාලාම හා උද්දකරාමපුත්ත තම ධර්මය දේශනා කිරීම සඳහා සොයා යාමට සිතුවද ඔවුන් සියලු දෙනාම ඒ වන විට මියගොස් සිටියහ.

සංඝ ශාසනය ඇතිකිරීම[සංස්කරණය]

බුදුරජාණන් වහන්සේ සිදුහත් තවුස් සමයේදී තමන් සමඟ සත්‍යය සොයා යෑමට අරමුණු කරගත් පස්වග තවුසන් වෙත ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කිරීම සඳහා බරණැස මිගදාය වෙත වඩිමින් තම ධර්ම චාරිකාව ආරම්භ කල‍සේක. පස්වග මහණුන්, පළමුවන සංඝයා වහන්සේ ලෙස සැලකෙන අතර එමගින් ත්‍රිවිධ රත්නය (බුද්ධ, ධම්ම, සංඝ) සම්පූර්ණ විය. කොන්ඩඤ්ඤ තවුසා පළමුවෙන්ම මාර්ගඵල ලබාගත් අතර ඔවුන් පස්දෙනාම අරහත් භාවයට පැමිණියහ. යසකුල පුත්‍රයා හා ඔහුගේ යාළුවන් 54 දෙනා පැවිදිවීමෙන් පසු සංඝ සමාජය මාස 2 ක් තුළදී 60 දක්වා වර්ධනය විය. පිළිවෙලින් පිරිවර 200, 300 හා 500 ක් පිරිවර සහිතව සිටි කාශ්‍යප සොයුරන් තිදෙනාද බුද්ධ ශ්‍රාවකයන් වීමෙන් අනතුරුව සංඝ සමාජය දහස ඉක්මවු අතර ජනතාවට ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඔවුහූ විවිධ ප්‍රදේශ වලට විසිරී ගියහ.

ධර්ම ප්‍රචාර චාරිකා[සංස්කරණය]

tiny globe
වජ්‍රපාණි හා ගෞතම බුදුරජාණන් වහන්සේ, ගාන්ධාරය, 2 වැනි සියවස

බුදුරජාණන් වහන්සේගේ අවු 45 ක කාලය ගංගානම් නිම්නයේ (බිහාරයේ උත්තර ප්‍රදේශය හා දකුණු නේපාලය) ධර්මය හා විනය දේශනා කරමින් චාරිකා කළ සේක. මෙම ගමනේ දී බුදුරජාණෝ කුලවතුන් මෙන්ම පහත් කුලවලට අයත් අය, කසලශෝධකයින්, අංගුලිමාල වැනි දරුණු මිනීමරුවන් හා ආලවක වැනි මීනිමස් කන්නන් යන විවිධාකාර පුද්ගලයන්ට ධර්මය දේශනා කළහ. මෙම ධර්මය ශ්‍රවණය කළ කොටසට වෙනත් ආගම්වල හා විරුද්ධ මත දරන දර්ශනවාදීන්ගේ බැතිමතුන් ද අයත් විය. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ධර්මය හා ශාසනය පවත්වාගෙන යාමට සංඝ සමාජය බිහිවිය. උන්වහන්සේගේ දර්ශනය කිසිම කුල ග්‍රෝතයකට සීමා ‍නොවූ විවෘත ආගමක් විය. එමනිසා විරුද්ධවාදී ආගම් වලට අයත් කණ්ඩායම් වල චෝදනාවලට ලක්වීමට උන්වහන්සේට සිදුවිය තවත් පිරිසක් උන්වහන්සේ මරණයට පත්කිරීමට ලක්වීමට උන්වහන්සේට සිදුවිය තවත් පිරිසක් උත්සාහ ගත්හ.

සංඝයා වහන්සේලාද ධර්මය දේශනා කරමින් ඉන්දියාවේ තැනින් තැනට සංචාරය කළහ. මෙය වස්කාලයේ හැර අවුරුද්දේ අනෙක් සෑම කාලයකම සිදුවිය.

වස්කාලයේ අධික වර්ෂාවක් පැවතීම නිසා ජල ගැල්ම හේතුවෙන් මෙම සමයේ දී සංචාරය අපහසු වන අතර වතුරේ ගිලී සිටින සතුන්ගේ සිරුරු මත පා ‍නොතබා ගමන් කිරීම අපහසුය. සියලුම ආගම් වලට අයත් තාපසයෝ වස්සාන කාලයේ සංචාරයේ නොයෙදෙති. මෙම සමයේ දී භික්ෂුන් වහන්සේලා ආරාම තුළ, වනාන්තර හෝ උද්‍යානවල ගත කරන අතර ගිහියෝ උන්වහන්සේලා බැහැදැකීමට යති.

බුදුරජාණන් වහන්සේ පළමුවන වස්කාලය බරණැස් නුවර ගත කළ අතර, මෙහිදී පළමු සංඝ පිරිස ඇතිවිය.පස්වග මහණුන්ගෙන් සංඝ පිරිස ඇතිවූ බව පෙරදී සඳහන් විය බුදුවීමෙන් පසු බිමිබිසාර රජතුමා බැහැදැකීමට මගධයට එන බවට රජුට වූ පොරොන්දුව ඉටු කිරීම සඳහා ප්‍රථම වස් කාලයෙන් පසු බුදුරජාණන් වහන්සේ මගධයේ රජගහ නුවරට වැඩිය සේක. මෙම ගමනේ දී බුදුරජාණන් වහන්සේ විසින් තුන් බෑ ජටිලයන්, භද්දවග්ගිය කුමාරවරු ඇතුළු මගධ වැසියන් රැසක් බුද්ධශ්‍රාවකයන් බවට හරවන ලදි. ඉන්පසු එළැඹි වස්සාන කාලයන් තුළ තෙවතාවක්ම බුදුරජාණන්වහන්සේ රජගහනුවර ‍වේළුවන උද්‍යානයේ විසූහ. මෙම වේළුවන ආරාමය පූජා කරන ලද්දේ බිම්බිසාර රජතුමා විසිනි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බවට අසන්නට ලැබුණු සුද්ධෝදන රජතුමා උන්වහන්සේ කපිලවස්තුපුරයට කැඳවාගෙන ඒම සඳහා දූතයන් යැවීය. මෙලෙස දූතයන් නවදෙනෙක්මක් පිටත් කළ හැරිය ද ඔවුන් සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව අරහත් භාවය ලැබීය. ලෞකික දේ අත්හරින ලද ඔවුන් මෙම පණිවුඩය දීම නොසලකා හැරියහ. දසවන වරට පිටත් කර හරින ලද කාළුදායි ඇමතියා නම් බුදුරජාණන් වහන්සේගේ කුඩා කල මිතුරා වු අතර රහත්භාවයට එළඹි පසු පණිවිඩය ලබා දීමට කාළුදායි රහතන් වහන්සේ සමත් වු සේක. බුද්ධත්වයෙන් අවුරුදු දෙකකට පසු බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට ගමන්කිරීම ආරම්භ කළහ. පා ගමනින් වැඩිය මේ ගමනේ දී මඟ ‍දෙපස ධර්මය දේශනා කරමින් කිඹුල්වත්පුරයට වැඩම කිරීමට මාස දෙකක් පමණ ගතවිය. බුදුරජාණන් වහන්සේගේ පැමිණිම නිසා මාලිගාවේ දානය සූදානම් කර තිබුණද, ආරාධනාවක් නොලැබුණු බැවින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා කපිල වස්තු නගරයේ පිඬු සිඟා වැඩියහ. මෙය ඇසු විගස බුදුරජාණන්වහන්සේ වෙත ගිය සුද්ධෝන රජතුමා 'අපගේ රාජකීය වංශයේ කිසිවෙකු සිඟමනේ ගොස් නැත' යනුවෙන් පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ 'මහරජ ඔබේ වංශය රාජ වංශය, මගේ වංශය බුද්ධ වංශයයි. බුදුවරුන් දහස් ගණනක් පිඬු සිඟා වැඩ ඇත.' යනුවෙන් රජුට පැවසු සේක.

ඉන්පසුව රජමාළිගාවේ දානයට ආරාධනා කළ සුද්ධෝදන රජතුමා දානය අනතුරුව පැවති ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඵලයට පත්වුවේය. මෙම ගමනේ දී රාජකීය සමාජිකයෝ බොහෝ දෙනෙක් පැවදි වූ අතර, බුදුරජාණන් වහන්සේ‍ගේ ඥාති සහෝදරයන් වන ආනන්ද හා අනුරුද්ධ ද පැවිදි විය. ඔවුන් දෙදෙනා පසුව බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් පස්දෙනාගේ අතරට එක්විය. උන්වහන්සේගේ ගිහිකළ පුත් රාහුල කුමරු වයස අවුරුදු හතේ දී පැවදිවී අග්‍රශ්‍රාවකයන් දස දෙනාගෙන් කෙනෙකි.

උන්වහන්සේගේ සහෝදරයෙකු වූ නන්ද කුමරුද, පැවිදිව රහත් බව ලැබීය. තවත් ඥාති සහෝදරයෙකු වූ දේව්දත්තද පැවිදි වූ නමුත් පසුව බුදුරජාණන් වහන්සේ හා වෛර බැද උන්වහන්සේ මැරවීමට කිහිප වරක් උත්සහ කළේය.

සැරියුත්, මුගලන්, මහාකාශ්‍යප, ආනන්ද හා අනුරුද්ධ යන රහතන්වහන්සේලා ප්‍රධානම ශ්‍රාවකයන් පස්දෙනා වන අතර, උපාලි, සුභූති, රාහුල, මහා කච්චායන හා පුණ්ණ රහතන්වහන්සේලා සමඟ ප්‍රධාන ශ්‍රාවකයන් දස දෙනෙකුවේ.

පස්වන වස්කාලය බුදුරජාණන්වහන්සේ වෛශාලිය ආසන්නයේ මහාවන නම් ස්ථානයේ ගතකළ අතර සුද්දෝධන රජතුමා මරණාසන්නව සිටින බව අසා තම පියාට ධර්මදේශනා කිරීම සඳහා එහි වැඩම කළ සේක. එම ධර්මදේශනාව අසා සුද්‍ධෝදන රජතුමා මරණයට පෙර රහත් භාවයට පැමිණියේ ය. මෙම ගමනේ දී භික්ෂුනී ශාසනය පිහිටුවන ලද අතර, ධර්මග්‍රන්ථ වල සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ එයට පළමුව එතරම් කැමැත්තක් නොදැක්වූ බවයි. උන්වහන්සේ හදාවඩාගත් ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුසසුනේ පැවිදි විම සඳහා අවසර ඇයැද සිටියාය. නමුත් මෙය ප්‍රතික්ෂේප කළ බුදුජරාණන් වහන්සේ නැවත රජගහනුවර වෙත වැඩීම ආරම්භ කළ සේක. පැවිදිවීමේ අදහස අත් ‍නොහළ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වීමට කැමති වූ ශාක්‍ය හා කෝලිය කුමාරිකාවන් රැසක් සමඟින් බුදුරජාණන්වහන්සේ පසුපස රජගහ නුවරට ගමන් කළෝය. භික්ෂු ශාසනය පිහිටුවීමෙන් වසර 5 කට පසු භික්ෂුණී ශාසනය ආරම්භ වූ අතර බුදුරජාණන් වහන්සේ එයට අනුමැතිය ලබාදුන්නේ මාර්ගඵල ලබාගැනීමට පුරුෂයාට හා ස්ත්‍රියට ඇති හැකියාව සමාන වුවත්, අමතර විනය නීති පැනවීමෙනි. භික්ෂුනී ශාසනයේ ආරම්භය සඳහා මැදිහත්වූයේ ආනන්ද තෙරණුවන්ය. බුදුරජාණන් වහන්සේගේ ගිහිකල භාර්යාව වූ යශෝධරා දේවියා ද පැවිදි වූ අතර පසුව රහත් බවට පැමිණියාය.

මෙම කාලයේ දේවදත්ත තෙරුන් (සෝවාන් ඵලයට හෝ පැමිණ නොසිටියේය) බුදුරජාණන් වහන්සේට අනතුරු කිරීම සඳහා කිහිප වාරයක් උත්සාහ කළේය. තමන්ට සංඝයා වහන්සේලා පාලන කිරීමේ බලය ලබාදෙන ලෙස ඒක් අවස්ථාවක දී දෙව්දත් තෙරුන් ඔහු බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. මෙය ප්‍රතික්ෂේප කළ බුදුන්වහන්සේ දෙව්දත් ක්‍රියාකරන්නේ තුරුණුවන් කෙරෙහි ඇති භක්තියෙන් නොව ආත්මාර්ථයෙන් බව ප්‍රකාශ කළ සේක. බිම්බිසාර රජතුමාගේ පුත් වූ අජාසත්ත කුමරු හා එක්වූ දේවදත්ත බුදුරජාණන් වහන්සේ මැරවීමෙන් භික්ෂු ශාසනය ලබාගැනීමටත්, කුමරු ලවා බිම්බිසාර රජු මැරවීමෙන් මගධ රාජ්‍ය කුමරුට ලබාගැනීමට හැකිවේය යන අරමුණැතිව කුමන්ත්‍රණය කළෝය. දෙව්දත් බුදුන් මැරවීමට තෙවරක් උත්සාහ කළේය. පළමුවර දුනුවායන් යෙදවූවද බුදුරජාණන්වහන්සේ මුණගැසුණු දුනුවායෝ බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුවෝය. දෙවන වර විශාල ගලක් බුදුරජාණන් වහන්සේ මත පෙරළීමට තැත්කළ අතර එය තවත් ගලක් මත වැදී විසිවුණු කුඩා පතුරක් පමණක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදුණි. අවසානයේ රා පොවා මත්කරන ලද ඇතෙක් බුදුරජාණන් වහන්සේගේ වඬිනා මාර්ගය වෙතට ‍යැවූ නමුත් එම උත්සාහයද ව්‍යර්ථ විය. දෙව්දත් ඉන්පසුව නව විනය නීති කිහිපයක් තනාගෙන ඒවා සංඝයා වෙත පනවන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ විට උන්වහන්සේගේ පාලනය මද බව බවසමින් ඔහු කෙරෙහි පැහැදුණු තවත් භික්ෂුන් සමඟ වෙනත් ස්ථානයක වසන්නට යාමෙන් සංඝ භේදයක් ඇති කළේය. නමුත් සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලා එම භික්ෂුන්ට ධර්මය දේශනා කර ඔවුන්ව නැවතත් නිවැරදි මාර්ගයට යොමු කර ගැනීමට සමත්වුහ.

බුදුරජාණන් වහන්සේට අවුරුදු55 ක් වූ විට උන්වහන්සේ තම අග්‍ර උපස්ථායක ලෙස ආනන්ද තෙරුන් පත් කර ගත්හ.

පරිනිර්වානය[සංස්කරණය]

බුදුන් වදාල ධර්මය[සංස්කරණය]

tiny globe
ක්‍රි.ව. 2 වන සියවසේ ගාන්ධාර හිදි පිළිමයක්

පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේගේ නියම ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම සඳහන් වන බව බොහෝ පඬිවරුන්ගේ විශ්වාසයයි. එහෙත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද, මහායාන සුත්‍ර බුද්ධ දේශනා ලෙස නොසැලකේ. නමුත් කිසිවෙකුත් බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරුණු යැයි නිසැකයෙන් ම කීමට අපොහොසත් හෙයින් මහායාන ලියවිලි වල සඳහන් දෑ බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම සඳහන් වන්නේ පාලිධර්ම ග්‍රන්ථ වල බවයි. බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක්

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුලික කරුණු[සංස්කරණය]

  • චතුරාර්ය සත්‍යය - දුක සෑම ජිවියෙකුටම පොදු ය. දුක ඇතිවන්නේ අවිද්‍යාව හේතුවෙන් වන අතර අවිද්‍යාවට මුලය වන්නේ බැඳීම් හා තණ්හාවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනයෙන් මෙම තණ්හාව දුරු කර ගත හැකිය. එමඟින් අවිද්‍යාව හා දුක දුරු කර ගත හැක.
  • ආර්ය අෂ්ඨාංගික මාර්ගය - නිවැරදි අවබෝධය, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජිවත්වීම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිකල්පනාව හා නිවැරදි සමාධිය.
  • පටිච්ච සමුප්පාදය - යමෙක් හෝ යමක් පවතින්නේ වෙනත් දෙයක්, සංකීර්ණව විහිදුණූ අතීත, වර්තමාන හා අනාගතය හා බැදුණු හේතුඵල ජාලයක පැවැත්මෙනි. සියලු දේම එම නිසා හේතු ඵල අනුව සෑදුනු අතර එය අනිත්‍ය වීම හේතුවෙන් තමන් යැයි හඳුන්වන විශේෂිත වූ පුද්ගලයෙක් නැත. (අනාත්ම)

මහායාන බුදුදහමේදී මෙම කරුණු එතරම් සැලකිල්ලට නොගනී. විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබඳව විවිධ මතභේද පවතී. සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සඳහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමා‍ගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදිව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත්, තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරුවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරූපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලඟා කරගැනීමට යොදා ගන්නකි.

  1. සංයුක්ත නිකාය vi - i ,ආයචන සුත්‍රය

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

අනිත්‍ය - සියළු ‍දේම නැසෙන සුළුයි
අනාත්ම - සදාකාලික පුද්ගල ආත්මයක් නොපවතී.
දුක්ඛ - දමනය නොකළ සිත් ඇති නිසා සියළු සත්වයෝ දුක් විඳිති
"http://si.wikipedia.org/w/index.php?title=ගෞතම_බුදුන්_වහන්සේ&oldid=312458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි