"මාපලගම විපුලසාර හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
123 පේළිය: 123 පේළිය:
==ආශ්‍රිත==
==ආශ්‍රිත==
*[http://www.lankadeepa.lk/Section/diyatha/01022009/07.htm ජනරජ ලාංඡනය නිර්මාණය කළ හැටි]
*[http://www.lankadeepa.lk/Section/diyatha/01022009/07.htm ජනරජ ලාංඡනය නිර්මාණය කළ හැටි]
*[http://www.rivira.lk/2010/11/21/rivinetha2.htm අමර සමර]


==මෙයද බලන්න==
==මෙයද බලන්න==

04:05, 20 නොවැම්බර් 2010 තෙක් සංශෝධනය

ගොනුව:මාපලගම විපුලසාර.jpg


“මාපලගම විපුලසාර ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වත්මන් භික්ෂු සමාජයෙහි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ අද්විතීය ගණයේ යතිවරයෙකි. උන්වහන්සේ ගේ චරිතය සමකාලීන වෙනත් කිසිදු හිමිනමකට සම කළ නො හැකිය. උන්වහන්සේ ප‍්‍රතිභාපූර්ණ කලාකරුවෙකි. භික්‍ෂුව ගේ යුග මෙහෙවර ප‍්‍රදර්ශනය කළ අසාමාන්‍ය සංඝ නෙතෘවරයාණ කෙනෙකි. සියලු කාර්යයන්හි අති දක්ෂ සංවිධායකවරයෙකි. සිතූ දේ කරන විප්ලවීය චින්තකයෙකි. පටු සීමාවන්ට කොටු නො වූ විවෘත හදවතක් ඇති මානව හිතවාදියෙකි.” (පුජ්‍ය මාපලගම විපුලසාර රූපා දර්ශනය 2000 පෙරවදන)

උපත

1925 මාර්තු මස 3 වන දින ගාලු දිස්ති‍්‍රක්කයේ ගඟබඩ පත්තුවේ ගිං ගඟට නුදුරු සුන්දර ගම්මානයක් වූ මාපලගම දී උපන් විජේදාස ගනේවත්ත ප‍්‍රාථමික අධ්‍යාපනය ලද්දේ මාපලගම පරණ තානායම්ගොඩ රජයේ පාසලෙනි. උසස් අධ්‍යාපනය ලැබුවේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනිනි. විජේදාස ගනේවත්ත, මාපලගම විපුලසාර නමින් පැවිදි භාවය ලැබූ අතර 1946 දී උන්වහන්සේ ගේ උපසම්පදාව සිදු විය.


කළා දිවිය

මාපලගම ගංගාතිලක විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වූ පූජ්‍ය මාබොටුවන සෝනුත්තර හිමියන් අපවත් වී අවුරුද්දක් පිරීම නිමිත්තෙන් පින්කමක් පවත්වන්නට යෙදුණේ ය. විපුලසාර හිමියන් ගේ නිර්මාණශීලි හැකියාව පළමුවරට ඉස්මතු වූයේ එහි දී සත් පිරිත් දේශනාව සඳහා වන පිරිත් මණ්ඩපයක් සැකැසීමේ දී ය. ඒ පින්කම උදෙසා රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනේ නායක හාමුදුරුවන් වූ පූජ්‍ය වලානේ සට්ඨිස්සර හිමියෝ ද වැඩම කළහ. විපුලසාර හිමියන්ට පැවිදි වීමේ මං පෑදුණේ උන්වහන්සේ මාර්ගයෙනි. 1939 දී විපුලසාර හිමියෝ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනට වැඩම කළහ. (උන්වහන්සේ පිරිවෙනට වැඩම කළ දිනයේ වූ එක්තරා සුවිශේෂ සිදුවීමක් වන්නේ ශී‍්‍ර නේරුතුමාගේ ලංකා ගමනයයි.)

විපුලසාර හිමියන් ගේ කලා ජීවිතය කෙරෙහි ප‍්‍රබල ආනුභාවයක් පෑ එක් සංසිද්ධියක් වූයේ රුවන්වැලි මහා සෑයේ චූඩා මාණික්‍යය පැළැඳවීමේ උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට ගිය ගමන යැයි සිතිය හැකි ය. එහි දී උන්වහන්සේට අතීත නටබුන් ඔස්සේ අපේ පාරම්පරික කලා උරුමය අත්දකින්ට ලැබුණේ ය. විශේෂයෙන් එහි දී දුටු සමාධි බුදු පිළිමය, ඉසුරුමුණිය, සඳකඩ පහණ උන්වහන්සේ ගේ කලාත්මක හැඟීම් ප‍්‍රබෝධවත් කළේ ය. ඒ සම්බන්ධයෙන් විපුලසාර හිමියන් මෙසේ ප‍්‍රකාශ කර ඇත. “ලොකු හාමුදුරුවන් පිරිතට, දානෙට වඩින වෙලාවට, සැතැපෙන වෙලාවට මාත් ඒ අවට තියෙන කැඩී බිඳී ගිය පැරණි නටබුන් බොහොමයක් ම බලන්න ගියා. ඉසුරුමුනිය වගෙ තැන් හරි ආශාවෙන් බැලුවා. සමාධි ප‍්‍රතිමාව බලන කොට මගේ සිතේ ඇති වෙච්ච හැඟීම් වචනවලින් කියන්න පුළුවන් ඒවා නොවෙයි. මගේ සිත ඒ දෙසට තදින්ම ඇදී ගියා. ලස්සන මුරගල්, සඳකඩ පහණ ඉතාම ආශාවෙන් බැලුවා. පිරිත් සතිය තුළම මා කළේ මේවා බලමින් ඇවිදින එකයි. ඒ පුංචි කාලෙත් පැරණි කලා නිර්මාණ බලලා මං පුදුම රසයක් වින්දා. සති පිරිත් පින්කමෙන් පස්සේ පිරිවෙනට ආවා. අනුරාධපුයේ දී දැක්ක දුටු දේවල් මගේ සිතේ මැවි මැවී නැවත නැවත පේන්න පටන් ගත්තා.” (‘මේ මම’ 2000 පිටුව 12 - 13 - සම්පාදක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි)

අනුරාධපුර ගමනින් ඉනික්බිති ව විපුලසාර හිමියෝ අනුරාධපුරේ චිත‍්‍ර, කැටයම් හා ප‍්‍රතිමා අනුව යමින් චිත‍්‍ර අඳින්ට පටන් ගත්හ. උන්වහන්සේ විශේෂයෙන් ධර්මපාල තුමා ගේ, හික්කඩුවේ ශී‍්‍ර සුමංගල හිමියන් ගේ, රත්මලානේ ශී‍්‍ර ධර්මාරාම හිමියන් ගේ, ශී‍්‍රමත් ඩී. බී. ජයතිලක ගේ ආලේඛ්‍ය චිත‍්‍ර (ර්‍ථර්‍ණඅඊඅඒධ්ඊ) නිර්මාණය කර පිරිවෙනේ එල්ලා තැබූහ.

රත්මලානේදී පිරිත් මණ්ඩපයක් නිර්මාණය කිරීමට ද උන්වහන්සේට අවස්ථාවක් ලැබුණේ ය. එය පූජ්‍ය පිඹුරේ වාචිස්සර හිමි ගුණ සමරු පින්කම වෙනුවෙනි. ඊට සහභාගි වූ එවක අධ්‍යාපන ඇමැති ධූරය දැරූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ගේ නොමඳ ප‍්‍රශංසාව විපුලසාර හිමියන්ට හිමි වූයේ ය.

මහාචාර්ය ගුණපාල මලලසේකරයන් හමුවීම විපුලසාර හිමියන් ගේ කලා ජීවිතයේ ඉදිරි වර්ධනයට මහත් පිටිවහලක් වූ සංසිද්ධියකි. මලලසේකරයන් සංවිධාන කළ කලා මංගල්‍යයකට උන්වහන්සේ ද නිර්මාණයක් ඉදිරිපත් කර තිබිණි. එය මලලසේකරයන් ගේ ඇගැයීමට ලක් වූයේ ය. දිනක් රත්මලාන පිරිවෙනට පැමිණි මලලසේකරයන්ට විපුලසාර හිමියන් ගේ චිත‍්‍ර නිර්මාණ දකින්ට ලැබුණේ ය.

“මේ චිත‍්‍ර ඇන්දෙ කවුද?”

මලලසේකර නායක හාමුදුරුවන්ගෙන් ඇසුවේ ය.

“මේ අර මෙහෙ ඉන්න පිස්සු උන්නාන්සෙගෙ වැඩ.”

නායක හාමුදුරුවො පිළිතුරු දුන්හ.

“එහෙම කියන්න එපා.” යැයි කියූ මලලසේකර විපුලසාර හිමියන් ගේ චිත‍්‍ර බුහුමනට ලක් කෙළේ ය. එහි ප‍්‍රතිඵලයක් වූයේ මලලසේකර මාර්ගයෙන් උන්වහන්සේ ලංකා කලායතනයේ අධිපති වූ ජේ. ඩී. ඒ. පෙරේරා වෙත යොමු වීම ය. එහි දී උන්වහන්සේ මෙරට විසූ දියසායම් විශේෂඥයකු වූ මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර වෙතින් චිත‍්‍ර කලාව පිළිබඳ තෙවසරක පාඨමාලාවක් හැදෑරූහ.

විපුලසාර හිමියන් ගේ ලලිත කලා නිර්මාණයන්ට පන්සලෙන් අනුබල ලැබුණු බවක් කිය නොහැකි ය. නායක හාමුදුරුවන් නිතර ම කියා සිටියේ “මහණ කළේ බලි අඳින්න නෙමෙයි. ති‍්‍රපිටකය ඉගෙන ගන්නයි.” යන්නය. නායක හාමුදුරුවන් සමඟ ඇති කර ගත් ගැටුමකින් විපුලසාර හිමියන්ට පන්සල හැර යන්ට සිදු විය. උන්වහන්සේ මරදාන ඇවැන්ඩල් පාරේ (දැන් එස්. මහින්ද හිමි මාවත) නිවෙසක නතර වූහ. (එකල විපුලසාර හිමියන් ගේ චිත‍්‍ර, මූර්ති හා ගොක් කලා වැඩ නිසා උන්වහන්සේ හැඳින්වූයේ ‘බලිකාරයා’ කියා ය.)

ලංකා කලා සංගමය සංවිධාන කළ කලා භවනේ වාර්ෂික චිත‍්‍ර ප‍්‍රදර්ශනයකට විපුලසාර හිමියෝ රේඛා චිත‍්‍රයක් ඉදිරිපත් කළහ. ඒ රේඛා චිත‍්‍රය පැරැණි සම්ප‍්‍රදායට අනුව කළ බුද්ධ රූපයක් විය. ඉහත සංගමයේ සභාපති වූ මුදලිදු අමරසේකර විසින් ඒ නිර්මාණය ප‍්‍රතික්ෂේප කරන ලදී. ඒ සිද්ධියේ ප‍්‍රතිඵලය වූයේ විපුලසාර හිමියන් ගේ පුරෝගාමිත්වයෙන් ජාතික කලා පෙරමුණ පිහිටුවීම ය. හෙන්රි ධර්මසේන, ආරියවංශ වීරක්කොඩි, පූජ්‍ය තිරණාගම රතනසාර හිමි, යසපාල සල්ගාදු, ඊ. ඒ. බුද්ධදාස, අයිලින් අමරසේකර වැනි ලලිත කලාකරුවෝ ජාතික කලා පෙරමුණ වටා රොද බැඳ ගත්හ. මේ කලා සංවිධානයේ මූලික අරමුණ වූයේ දේශීය කලාවන්ට මුල් තැන දීම ය. රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනේ ආචාර්ය රූපහ සුමනජෝති හිමියන් කියා ඇති පරිදි ජාතික කලා පෙරමුණ දේශීය කලාකරුවන් දිරි ගන්වමින් දේශීය කලාවෙහි අනන්‍යතාව ස්ථාපනය කිරීමෙහි ඇප කැප වූ ජාතික ව්‍යාපාරයක් බවට පත් විය. (බුදුසරණ 2001 නොවැම්බර් 8)

මහා පත‍්‍රකලාවේදී ඩී. බී. ධනපාල මහතා විපුලසාර හිමියන් ගේ සුවිශද ප‍්‍රතිභා ශක්තිය හඳුනා ගෙන ඊට මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දිරිදුන් අයෙකි. ‘ලොකු වැඩ කරන පොඩි සාදු’ යන ශීර්ෂය යටතේ ඔහු පියල් වික‍්‍රමසිංහ ලවා ‘ලංකාදීප’ පත‍්‍රයට ලියැවූ ලිපියෙන් මෙරට රසික ජනතාව උන්වහන්සේ ගේ ශිල්පීය කෘතහස්තභාවය පළමු වතාවට හඳුනා ගත්හ.

1954 දී විපුලසාර හිමියෝ නැවත වතාවක් රත්මලාන පිරිවෙනට වැඩියහ. බෞද්ධ කලායතනයක් ආරම්භ කිරීම එහි දී උන්වහන්සේ ගේ අභිප‍්‍රාය වූයේ ය.

පනස් හයේ දී 2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මෙරටට පැමිණි මිකාෂා නම් වූ ජපන් කුමාරයා පිළිගැනීම සඳහා පැවැති උත්සවය වෙනුවෙන් මණ්ඩපය සෑදීම හා රත්මලානේ සිට රජගෙදර දක්වා වූ මාර්ගයේ සැරැසිලි කටයුතු භාරවූයේ විපුලසාර හිමියන්ට ය. ගොක් කලාව පළමු වරට එළිදුටුවේ ඒ අවස්ථාවේ දී ය. බලි තොවිල්වලට පමණක් සීමාවී තිබුණු ගොක් කොළය, හබරල කොළය රජමැතිවරුන් වෙනුවෙන් ඉදිකැරෙන මණ්ඩප දක්වා රැගෙන ගියේ උන්වහන්සේ බව රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනේ ආචාර්ය රූපහ සුමන ජෝති හිමියන් කියා ඇත. (බුදුසරණ 2001 නොවැම්බර් 8)

1958 දී පමණ වන විට නායක හාමුදුරුවන් හා විපුලසාර හිමියන් අතර වූ ගැටුම නැවතත් මතුවන්ට පටන්ගත්තේ ය. පූජ්‍ය බස්නාගොඩ විමලරතන හිමි, පූජ්‍ය කපුගම අරියජෝති හිමි, බද්දේගම සුමන හිමි යන හිමිවරුන් ගේ සහභාගිත්වයෙන් රත්මලාන පන්සලේ බෞද්ධ කලායතනයක් ඇරැඹීමට කටයුතු කැරිණි. එය ද නායක හාමුදුරුවන් ගේ නොසතුටට හේතු විය. මින් මතු ලලිත කලා කර්මයන්හි නොයෙදෙන බවට පොරොන්දු පත‍්‍රයක් අස්සන් කිරීමට උන්වහන්සේට බල කැරිණි. උන්වහන්සේ එය තරයේ ප‍්‍රතික්ෂේප කළහ. එහි දී ද උන්වහන්සේ ගේ පිහිටට ආවේ මහාචාර්ය මලලසේකර ය. ඔහු උන්වහන්සේට නැවතීමට කලාභවනේ කාමරයක් පිළියෙල කර දුන්නේ ය. රාතී‍්‍ර කාලයේ ලැගුම් ගත්තේ බොරැල්ලේ බෞද්ධ මධ්‍යස්ථානයේ ය.

ඒ අතරවාරයේ ඉන්දියාවට ගිය විපුලසාර හිමියෝ අජන්තා, එල්ලෝරා ලෙන් චිත‍්‍ර, මූර්ති හා කැටයම් හැදෑරුහ. උන්වහන්සේ ජපානය, චීනය, කොරියාව, මොන්ගෝලියාව, හොංකොං, තායිවාන්, සිංගප්පූරුව, තායිලන්තය, බුරුමය, කාම්බෝජය, මැලේසියාව, ඉන්දුනීසියාව යන බෞද්ධ රටවල ද වරින්වර සංචාරය කළහ.

1959 දී නායක හාමුදුරුවන් ගෙන් විපුලසාර හිමියන්ට ඇමතුමක් ලැබුණේ ය. “දැන් තමුසේ ඔහොම හිටියා ඇති. දැන් තමුසේ රටත් ලෝකයාත් පිළිගත් කෙනකු වෙලා අවසානයි. මා පමණක් විරුද්ධව සිටීමෙන් වැඩක් නැහැනේ. පන්සලට ඇවිල්ලා ඒවත් බලාගෙන ඔය වැඩක් කරගෙන ඉන්නවා” යැයි ඒ ඇමැතුමෙන් කියැවිණි. ඒ අනුව 1960 දී විපුලසාර හිමියෝ රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනේ විහාරාධිපති බවට පත්වූහ.

අනුරාධපුර මහාමෙවුනා උයනේ සමාධි බුදුපිළිමයේ කැඩී තිබුණු නාසිකාව ප‍්‍රකෘතිමත් කිරීමේ ව්‍යාපෘතිය පැවැරුණේ විපුලසාර හිමියන්ට ය. පසු ව මාලිගාවිල මහ සෙල් පිළිමය ද උන්වහන්සේ අතින් පිළිසකර වූයේ ය.

මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ සුමංගල ප‍්‍රතිමාව, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිට ඉදිකළ අවුකන පිළිමය, කොළඹ විහාර මහා දේවි උයනේ ධර්මපාල ප‍්‍රතිමාව, මාලිගාකන්දේ මහාබෝධි මන්දිරයේ ධර්මපාල ප‍්‍රතිමාව, මරදානේ ආනන්ද විදුහලේ විහාර මන්දිරය හා බුද්ධ ප‍්‍රතිමාව, නාලන්දා විදුහලේ බුද්ධ ප‍්‍රතිමාව, රජගෙදර, දකුණු කොළඹ මහ රෝහල, ද සොයිසා රෝහල, රක්ෂණ සංස්ථාව, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයය යන ස්ථානවල ඇති බුද්ධ ප‍්‍රතිමා ද කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාර පිළිමය, නුගේගොඩ කන්දවත්ත විජයවර්ධනාරාමය, ගම්පහ කොස්සින්න රජමහා විහාරයේ බුදු මැදුරු ද විපුලසාර හිමියන් ගේ අග‍්‍රගණ්‍ය නිර්මාණ කෞශල්‍යයට සාක්ෂ්‍ය වේ.

ලෝහ ප‍්‍රතිමා දෙකක් ද උන්වහන්සේ අතින් නිමැවී ඇත. ඒ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ ඇති හිඳි පිළිමය හා පැපිලියානේ සුනේත‍්‍රා දේවි පිරිවෙනේ ඇති බුද්ධ ප‍්‍රතිමාව ය.

ධර්ම චක‍්‍රය, සිංහ ලාංඡනය, ඉරහඳ, පුන්කලස, වී කරල් දෙක යොදා ඇති ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක ජනරජ ලාංඡනය ද විපුලසාර හිමියන් ගේ නිර්මාණයකි.

1970 වසරේ දී 6 වැනි පාවුළු පාප් වහන්සේ ලංකාවට සැපත් වූ අවස්ථාවේ උන්වහන්සේ පිළිගැනීම සඳහා ඉදිකළ මණ්ඩපය විපුලසාර හිමියන් ගේ විශිෂ්ට නිර්මාණාවලිය අතර කැපී පෙනෙන්නකි. රැලි පාලම්, ගොක් කොළ, හබර කොළ, තැඹිලි හා පොල් වලින් එය නිර්මාණය කර තිබිණි. මේ මණ්ඩපය ඉදිකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රෝමයට ගොස් රෝම හා ගී‍්‍රක කලා සම්ප‍්‍රදායයන් හැදැරීමේ අවස්ථාවක් උන්වහන්සේට ලැබුණේ ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය

රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිමිවී ඇත්‍‍තේ රටේ ආණ්ඩුවටය. දනට අප රටේ භාවිතා කෙරෙන රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.

රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.

සිංහයා : නිර්භීතකම
පුන්කලස : සමෘද්ධිය
ඉර සහ හඳ : චිරජීවනය
ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
ධර්ම චක්‍රය : ධාර්මික භාවය සහ සාධාරණත්වය
නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව

රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු

ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දිය.එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල ආචාර්ය නිශ්ශංක විජයරත්න ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය කලාශූරී මාපලගම විපුලසාර හිමියන් ගේය.


ලන්ඩන්හි පොදු රාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානයේ ශී‍්‍ර ලංකා කොටසෙහි ඇති ප‍්‍රතිමා වහන්සේ ද, නිව්යෝක්, වොෂිංටන්, බර්ලින්, පැරිස්, සිංගප්පූරු, හොංකොං, මැලේසියා වැනි රටවල පිහිටි විහාරවල ඇති ප‍්‍රතිමා ද උන්වහන්සේ ගේ තවත් නිර්මාණයෝ වෙත්.

ඉන්දියාවේ බුද්ධගයාවේ ඇති ජපන් විහාරයේ අඩි 21 ය 12 ප‍්‍රමාණයේ යෝධ චිත‍්‍ර දෙක ද කේරළයේ මහාබෝධි මධ්‍යස්ථානයේ ඇති බුද්ධ ප‍්‍රතිමාව ද ජපානයේ යෝකෝහාමා විහාරයේ සැතපෙන පිළිමය ද ජපානයේ හිරෝෂිමා සිහිවටනයේ ඇති බුද්ධ රූපය ද විපුලසාර හිමියන් ගේ කලා නිපුණත්වයට තවත් මාහැඟි සාධක දෙකකි.

එසේ ම තෝකියෝ නුවර නොමියුරි උද්‍යානයේ චෛත්‍යය නිර්මාණය කර ඇත්තේ උන්වහන්සේ ගේ සැලැසුම් හා උපදෙස් පරිදි ය. එය අනුරාධපුරේ ථූපාරාම චෛත්‍යයට අනුරූපී ව ගොඩනංවන ලද්දකි.

වී.අයි. ලෙනින් ගේ හා හෝචිමිං ගේ උඩුකය රුව රුසියාවේ හා චීනයේ ඇරියුම පරිදි විපුලසාර හිමියන් වෙතින් නිර්මිත මූර්තීන් දෙකකි.

ලීයෙන්, බදාමයෙන්, ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින්, ෆයිබර් ග්ලාස්වලින් හා ලෝහයෙන් බුදුපිළිම හා වෙනත් මූර්ති නිර්මාණය කළ උන්වහන්සේ ලී කැටයම්, බිතුසිතුවම්, ස්තූප නිර්මාණ, වෙහෙර විහාර, ගොක් සැරැසිලි, රන්සිවි ගෙවල් තමන්ට ම ආවේණික වූ ශෛලියකින් නිර්මාණය කළහ. (ෆයිබර් ග්ලාස් භාවිතයෙන් මෙරට දී ප‍්‍රථම වතාවට පිළිම නෙළීම ආරම්භ කර ඇත්තේ විපුලසාර හිමියන් ය)

මාපලගම විපුලසාර හිමියන් ගේ නිර්මාණශීලි දායකත්වය සිංහල චිත‍්‍රපටයකට ද ලැබී ඇත. ඒ ‘දෛවයෝගය’ චිත‍්‍රපටය යි. ඒ චිත‍්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සඳහා උපදේශකත්වය ලැබුණේ උන්වහන්සේ ගෙනි.

1984 දී විපුලසාර හිමියන්ට කලාශූරී සම්මානය පිරිනැමිණි. බරණැස විශ්ව විද්‍යාලයයේ කලා විශාරද සම්මානයකට ද තායිලන්තයේ ආචාර්ය උපාධියකට ද උන්වහන්සේ හිමිකම් කියයි.

අපවත්වීම

2000 වසරේ ඔක්තෝබර් මස 28 වැනි දින මාපලගම විපුලසාර හිමියෝ අපවත් වී වදාළහ

ආශ්‍රිත

මෙයද බලන්න

"https://si.wikipedia.org/w/index.php?title=මාපලගම_විපුලසාර_හිමි&oldid=130459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි