Jump to content

ඉහළ සහ පහළ ඊජිප්තුව

විකිපීඩියා වෙතින්
පහළ සහ ඉහළ ඊජිප්තුවේ සිතියම

ඉහළ සහ පහළ ඊජිප්තුව හෙවත් භූමි ද්විත්වය යනු පුරාතන ඊජිප්තුව සඳහා භාවිත වූ නමකි. මෙම සංකල්පය ඊජිප්තු රජවරුන්ගේ සහ රැජිනියන්ගේ නාමයන්හි දක්නට ලැබෙන අතර, දේවස්ථාන සහ සොහොන්ගැබ්වල ද නිරූපණය කොට ඇත. එසේම මෙම සංකල්පය මගින් ඊජිප්තු සංස්කෘතියේ තිබූ ද්විත්ව ස්වභාවය පිළිඹිබු වේ.

ඊජිප්තු පාඨයක් වන සෙමා-ටාවි යන්න "භූමි ද්විත්වය එක්සත් කළ තැනැත්තා" ලෙස පරිවර්තනය කෙරේ.[1] මෙය මිනිස් ශ්වාසනාලයක් වටා එතුණු පැපිරස් සහ ලිලී පැළෑටි මගින් සංකේතාත්මකව නිරූපණය කොට ඇත. මෙහි ශ්වාසනාලය සංකේතය එක්සත් කිරීම යන්න සඳහාත්, පැපිරස් සහ ලිලී, පහළ සහ ඉහළ ඊජිප්තුව නිරූපණයටත් භාවිත කොට ඇත.

ඊජිප්තුවේ රජුගේ සම්මත නාමයන් වූයේ “ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ” (nsw-bi.tj ලෙස ලියයි)[2] සහ “භූමිද්විත්වයේ අධිපතියා” (nb-t3wy ලෙස ලියනු ලැබේ) යන්නයි. මීට සමානව රැජිනියන් විසින්, “භූමි ද්විත්වයේ ආර්යාව” (nbt-t3wy), “මුළු භූමි ද්විත්වයේම උත්තමාවිය” (hnwt-t3wy-tm), සහ “භූමි ද්විත්වයේ උත්තමාවිය” (hnwt-t3wy) වැනි නාමයන් යොදාගෙන තිබේ.[3]

එක්සත් කිරීම

[සංස්කරණය]
ප්ස්චෙන්ට්, ඊජිප්තුවේ ද්විත්ව කිරුළ

පුරාතන ඊජිප්තුව ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව ලෙස ප්‍රධාන කලාප දෙකකට බෙදා තිබිණි.ඉන් උතුරට වන්නට පිහිටි පහළ ඊජිප්තුව, නයිල් ඩෙල්ටාව සෑදීමට නයිල් ගංගාව ශාඛාවලට බෙදෙන ස්ථානයේ පිහිටා තිබිණි. දකුණට වන්නට පිහිටි ඉහළ ඊජිප්තුව, සියේන් දක්වා පැතිරිණි. මෙහි "ඉහළ" සහ "පහළ" යන වදන් සම්භවය වී ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවේ උස්බිම්වලින් ආරම්භ වී උතුරු දෙසින් මධ්‍යධරණී මුහුද වෙත ගලාගිය, නයිල් ගංගාවේ ජලය ගැලූ දිශාව අනුවයි. මෙහි ජලය ගලා ගියේ දකුණේ සිට උතුරට බැවින් ඉහළ ඊජිප්තුව, පහළ ඊජිප්තුවට දකුණින් පිහිටියේ ය. පහළ ඊජිප්තුවට නයිල් ඩෙල්ටාවේ වැඩි ප්‍රදේශයක් අයත් වේ.

ඉහළ සහ පහළ ඊජිප්තුව ලෙස පැවති රාජධානි දෙක එක්සත් කරන ලද්දේ ක්‍රි.පූ. 3000දී පමණ ය. නමුත් මේ සෑම රාජධානියකටම අනන්‍ය රාජකීය ආභරණ පැවතිණි. එහි දී, හෙඩ්ජෙට් හෙවත් ශ්වේත කිරුළ ඉහළ ඊජිප්තුවටත්, ඩෙෂ්රෙට් හෙවත් රතු කිරුළ පහළ ඊජිප්තුවටත් විශේෂිත විය. මේ නිසා භූමි ද්විත්වයේ පාලකයා වශයෙන් සැලකුණු පාරාවෝවරයා එක් එක් අර්ධය මගින් එක් එක් භූමියෙහි ආධිපත්‍යය නිරූපණය කළ ප්‍ස්චෙන්ට් නම් ද්විත්ව කිරුළ පැළඳියේ ය. පුරාතන ඊජිප්තු සම්ප්‍රදාය අනුව ඉහළ සහ පහළ ඊජිප්තුව ඒකාබද්ධ කළ බව පැවසෙන මෙනස් රජු යනු, නාමර් රජුම බව පිළිගැනේ. නාමර් ඵලකය තුළ රජු එක් දර්ශනයක රතු කිරුළත්, අනෙක් දර්ශනයෙහි සුදු කිරුළත් පැළඳ සිටීම මගින් භූමි ද්විත්වය තුළ ඔහු පාලනය ගෙනගිය බව නිරූපණය වේ.[4]

සෙමා ටාවි සහ සංකේතවාදය

[සංස්කරණය]
ඉහළ සහ පහළ ඊජිප්තුවේ ඒකාබද්ධ බවේ සංකේතය වූ සෙමා ටාවි තුළ, පැපිරස් සහ බට පඳුරු ගැටගසන හාපි දෙවිඳු නිරූපිත කැටයමක්

ඉහළ සහ පහළ ඊජිප්තුවේ ඒකාබද්ධ බව ගැටගැසූ පැපිරස් සහ බට ශාක මගින් නිරූපණය වේ. මෙම ගැටගසන මෝස්තරය මගින්, බැඳීම මගින් ඇතිවන එක්සත් බවත්, සීමා කිරීම මගින් ඇතිවන ආධිපත්‍යයත් සංකේතවත් කොට ඇත. මෙම ද්වෛතය රාජකීය ප්‍රතිමා නිර්මාණයේ වැදගත් අංගයක් ද විය. ඇතැම්විට මෙම ද්විත්ව ස්වභාවය ගැටගැසූ පැළෑටිවලින් මෙන්ම බැඳ දැමූ විදේශ සතුරන් (උතුරින් මෙන්ම දකුණින් පැමිණි) මගින් ද විස්තීරණය කොට පෙන්වයි.[4]

පළමු රාජවංශය තුළ ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ (nsw-bi.tj) වැනි ද්විත්ව නාමයන් භාවිතය ආරම්භ වන විට, පැළෑටියක් මගින් ඉහළ ඊජිප්තුවත්, මීමැස්සකු මගින් පහළ ඊජිප්තුවත් සංකේතාත්මකව නිරූපණය කොට ඇත. අනෙක් ද්විත්වමය නාමය ලෙස ද්විත්ව ආර්යා නාමය හෙවත් නෙබ්ටි නාමය දැක් වේ. මෙම ආර්යාවන් දෙදෙනා වන්නේ ඉහළ ඊජිප්තුවේ හයිරකොන්පොලිස් පෙදෙස හා බැඳී ඇති නෙඛ්බෙට් නැමැති ගිජුලිහිණි දෙවඟන සහ පහළ ඊජිප්තුවේ බුටෝ හා සම්බන්ධ වැඩ්ජෙට් නැමැති නාග දෙවඟනයි.[4]

භූමි ද්විත්වයේ ආගමික ඒකාබද්ධතාව ද විවිධ අයුරින් නිරූපිත ය. මෙය රාජ්‍ය සමය ආරම්භයේ සිදු වූ ආගමික සම්ප්‍රදායයක් ද, නැතහොත් හුදෙක්ම සංකේතාත්මක නිරූපණයක් ද යන වග පැහැදිළි නැත. බොහෝ නිරූපණයන්හි මෙම ඒකාබද්ධතාව දෙවිවරුන් දෙදෙනකු විසින් පැළෑටි ගැටගසන අයුරින් නිරූපණය කොට ඇත. මෙහි දී දෙවිවරුන් දෙදෙනා ලෙස බොහෝ විට හොරස් සහ සෙට් හෝ කලාතුරකින් හොරස් සහ තොත් ව ද යොදා ගැනේ. ගංගා දේවතාවුන් දෙදෙනකු විසින් මෙම චාරිත්‍රය ඉටු කරන අයුරින් නිරූපිත බාක් (Barque) නිර්මාණ IIIවන අමෙන්හොටෙප් (හර්මොපොලිස්), ටහාර්කා (ගෙබෙල් බර්කාල්), සහ ඇට්ලනෙර්සා (ගෙබෙල් බර්කාල්) රජ සමයන්ට අයත් ස්ථානවලින් හමු වේ. මෙයට සමාන දර්ශනයක් IIවන රැම්සෙස් රජසමයට අයත් අබු සිම්බල් දෙවොලෙන් ද හමු වේ.[5]

රජු විසින් මෙම චාරිත්‍රය ඉටුකරනු නිරූපිත නිර්මාණ ද ස්වල්පයක් හමු වී ඇත. මෙම නිර්මාණ IIIවන අමෙන්හොටෙප්, Iවන සෙටි සහ IIIවන රැම්සෙස් රාජ්‍ය සමයයන්ට අයත් යැයි නිර්ණය කොට ඇත. මෙහි පසුව සඳහන් රජවරුන් දෙදෙනාගේ සමයට අයත් නිර්මාණ, පළමුව සඳහන් නිර්මාණයෙහි අනුරූ වන්නට ඇත.[5]

මේවාත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ රොනල්ඩ් ජේ. ‍ලෙප්‍රොහොන්, ද ග්‍රෙට් නේම්: ඒන්ෂන්ට් ඊජිප්ටියන් රෝයල් ටයිටියුලරි, සොසයිටි ඔෆ් බිබ්ලිකල් ලිට්, 2013
  2. ^ අබීර් එල්-ෂහාවි, ෆරිඩ් එස්. ආටියා, ද ඊජිප්ටියන් මියුසියම් ඉන් කයිරෝ, ඇමරිකන් යුනිවර්සිටි ඉන් කයිරෝ ප්‍රෙස්, 2005
  3. ^ ග්‍රැජෙට්ස්කි, ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්වීන්ස්: අ හයිරොග්ලිෆික් ඩික්ෂනරි, ගෝල්ඩන් හවුස් පබ්ලිකේෂන්ස්, ලන්ඩන්, 2005, ISBN 978-0954721893
  4. ^ a b c වෙන්ග්‍රොව්, ඩේවිඩ්, ද ආකියොලොජි ඔෆ් අර්ලි ඊජිප්ට්: සෝෂල් ට්‍රාන්ස්ෆෝමේෂන් ඉන් නෝත්-ඊස්ට් ඇෆ්‍රිකා, 10,000 ටු 2650 B.C., කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්, 2006
  5. ^ a b රානියා වයි. මර්සෙබාන්, අන්යූෂුවල් sm3 t3wy සීන්ස් ඉන් ඊජිප්ටියන් ටෙම්පල්ස්, ඊජිප්තුවේ ඇමරිකන් පර්යේෂණ මධ්‍යස්ථානයේ ජර්නලය, වෙළුම. 44 (2008), පිටු. 41-71
"https://si.wikipedia.org/w/index.php?title=ඉහළ_සහ_පහළ_ඊජිප්තුව&oldid=385429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි