RPG-7

විකිපීඩියා වෙතින්
RPG-7 අවියක්

RPG-7 (රුසියානු: РПГ-7, Ruchnoy Protivotankoviy Granatomyot) යනු අතේ රැගෙන යා හැකි, නැවත භාවිත කළ හැකි, නියාමනය නොකරන (Unguided), උරහිස ආධාරකය ලෙස ගන්නා, යුධ ටැංකි නාශක රොකට් ප්‍රචාලිත ග්‍රෙනේඩ විදිනයකි. මෙයද, මෙහි පෙර සංස්කරණයක් වූ RPG-2 මෙන්ම සෝවියෙට් සමූහයේ නිර්මාණයකි; දැන් එය රුසියානු ආයතනයක් වන Bazalt විසින් නිෂ්පාදනය කෙරේ.

විස්තරය[සංස්කරණය]

රොකට් විදිනය නැවත භාවිත කළ හැකි අතර, එය මි.මී. 40 ක විෂ්කම්භයක්, සෙ.මී. 95.3 ක දිගක් සහ කි.ග්‍රෑ. 7 ක් බර වානේ ටියුබයක් මත පදනම් වේ. එහි මැද කොටස ලී ආවරණයකින් වසා නිමවා ඇත්තේ භාවිතා කරන්නා ව තාපයෙන් ආරක්ෂා කිරීමට ය. අනෙක් මෙවැනි ආයුධ මෙන්ම මෙහිත් ග්‍රෙනේඩය රොකට් විදිනයෙන් පිටට නෙරා පිහිටා තිබේ. ග්‍රෙනේඩය මි.මි. 40 ත් 105 ත් අතර විෂ්කම්භයකින් යුතු අතර කි.ග්‍රෑ. 2 ත් 4.5 ත් අතර බරකින් යුක්ත වෙයි. එය වෙඩිබෙහෙත් ආධාරයෙන් විදිනයෙන් පිටතට විදින අතර එමගින් එයට තත්පරයට මීටර් 115 ක ආරම්භක වේගයක් ලබා දේ. මිටර 10 ක දුරකදි රොකට් මෝටරය ජ්වලනය වෙන අතර එය මීටර 500 ක දුරකට පමන ක්‍රියාත්මකව පවතී. ග්‍රෙනේඩය ස්ථාවර කිරීම සඳහා එය දෙපස වරල් ඇති අතර, එයට උපරිම මි. 1100 ක් පමන දුරක් ගමන් කළ හැක.

භාවිතය[සංස්කරණය]

බොහෝ නවීන යුධ ටැංකි වල දියුණු සන්නාහ වලින් සන්නද්ධ බැවින් RPG ප්‍රහාර එතරම් ඵලදායි නොවේ. නමුත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමෙන් දුර්වල වන සන්නාහය විනිවිද යාමට හැකිවන ග්‍රෙනේඩයකට යුධ ටැංකියක් විනාශ කළ හැක. මද වශයෙන් සන්නාහ වු පුද්ගලයන් ප්‍රවාහනය කරන රථ ආදියට RPG භාවිත කල හැක. එමෙන්ම සාමාන්‍ය වාහන, ගොඩනැගිලි, බංකර ආදියට පහර දිමටද RPG භාවිතා කරයි. RPG ගුවන්යානා නාශක අවියක් ලෙස තරමක් දුරට ප්‍රයෝජනවත් වෙයි. සාමාන්‍යයෙන් මේවා භාවිතයෙන් ගුවනේ එක තැන රැදී සිටින හෝ ගොඩබ‍ාන හෙලිකොප්ටර් යානයකට සැගවී සිට ප්‍රහාර එල්ල කළ හැක.

ඇෆ්ගන්-සෝවියට් යුද්ධයේදී, ඇෆ්ගනිස්ථාන මුජාහිදීන් ගරිල්ලන් හෙලිකොප්ටර්වලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා සුදුසු වන පරිදි RPG අවි නවීකරණය කර පිළියෙළ කර ඇත. එහිදි ඔවුන් RPG ප්‍රචාලක සිලින්ඩරයේ පිටුපස කොටසට වක්‍ර හැඩයට සකස් කළ පයිප්ප කොටසක් එක් කිරීම මගින් පසු පසට එල්ල වන පිපුරුම් බලය හැරවීමක් කරනු ලබයි. මේමගින් RPG අවියක් බිම වැතිරී සිට ගුවන්යානයක් වෙත ඉහළට එල්ලකිරීමේ හැකියාව ලැබේ. මෙම නවීකරණය හේතුවෙන් අවිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ක්‍රියාකර වන්නා අණාවරණය වීමේ හැකියාව අවම වන අතර උණුසුම් වායූන් මගින් ක්‍රියාකරවන්නාට හානිවීමේ අවදානම ද අවමවේ. මුදිහිදීන්වරු RPG අවි වල පවතින තත්පර 4.5 මුහුර්තනය මෙම අවිය සතුරු ගුවන්යානාවලට වෙඩිතබන තුවක්කු සමුහයක් ලෙස ක්‍රියාකර වීම සඳහා යොදා ගනී. මෙසේ එකවර RPG කිහිපයක් එල්ල කිරීම මගින් ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව ඉහළ නංවා ගනී.

මේ කාලය තුළදී සෝවියට් හෙලිකොප්ටර් යානා ගොඩබෑම් ප්‍රදේශයන් තුළදී RPG මගින් එල්ල වන අවධානම මගහරවා ගැනීම සඳහා ගොඩ බෑමට ප්‍රථම අවට ප්‍රදේශ සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සිදු කළහ. තවද ඇෆ්ගන් ගරිල්ලන් නිවැරදි සූදානම සහ තක්සේරුව වළකනු පිණිස එකවරකට එක්ව ගමන් කරන හෙලිකොප්ටර් යානා සංඛ්‍යාව වෙනස් කිරීමට පුරුදුව සිටියහ. මෙම තත්ත්වයට මුහුණ දීම පිණිස මුජයදීන්වරු පොළව තුළට හාරා සකස් කළ ඉහළින් ආවරණය වූ ප්‍රහාරක පිහිටුම් සකස් කළ අතර එවිට එයට මුහුණදීම සඳහා සෝවියට් හමුදා සේනාංක තම ගොඩබෑම් ප්‍රදේශ අවට ආරක්ෂිත තත්ත්වයට පත් කිරීම සඳහා ඒවා අවට ඉන්ධන වායු බෝම්බ හෙළීම ආරම්භ කළහ. කෙසේ නමුත් එක්සත් ජනපදය මගින් ලබාදුන් ස්ටින්ගර් වර්ගයේ (Stinger) බිම සිට අහසට එල්ල කෙරෙන (SAM) මිසයිල ලැබීමත් සමග ඇෆ්ගන්වරු RPG අවි භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීම අත්හැර දැමූහ.

1993 වසරේ සෝමාලියාවේ මොගඩිෂු සටනෙහිදී එක්සත් ජනපදයට අහිමි වූ බ්ලැක් හෝක් (Black Hawk) හෙලිකොප්ටර් යානා යුගලම විනාශ කරන ලද්දේ RPG – 7 වර්ගයේ අවි මගිනි. ඉරාකයේ දී සහ දෙවැනි ඇෆ්ගනිස්ථාන සටන් ව්‍යාපාරයෙහි ඒකාබද්ධ හමුදා හෙලිකොප්ටර් යානාවලට එරෙහිව RPG අවි භාවිතා වූ අතර එමගින් මිශ්‍ර ප්‍රතිඵල ලැබුණි.

ශ්‍රී ලංකා යුද හමුදාව ද චීනයේ නිෂ්පාදිත RPG-7 හි ප්‍රභේදයක් වන Type 69 RPG අවි භාවිතා කරනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=RPG-7&oldid=482337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි