RGB වර්ණ ආකෘතිය
RGB වර්ණ ආකෘතිය යනු රතු, කොළ සහ නිල් මූලික වර්ණ ලෙස ගන්නා ආකලන වර්ණ ආකෘතියකි. රතු, කොළ, නිල් වර්ණයන් විවිධ ආකාරයට සංකලනය කිරීමෙන් ඉතා පුළුල් වර්ණ මාලාවක් නිපදවිය හැක. RGB නාමය සෑදී ඇත්තේ ඒ මූලික වර්ණයන්ගේ ඉංග්‍රීසි නාමයන් වන Red, Green, Blue හි මුල් අකුරු වලිනි. RGB වර්ණ ආකෘතියේ මූලික අරමුණ වන්නේ රූපවාහිනී සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික පද්ධති වල රූප සංවේදනය, නිරූපණය සහ ප්‍රදර්ශනය කිරීම වේ. තවද එය සාම්ප්‍රදායික ඡායාරූපකරණයේදී ද භාවිතා කර ඇත.
මෙම වර්ණ ආකෘතිය උපාංගය අනුව තීරණය වෙයි. එනම්, යම් උපාංගයක් එයට ලබාදෙන RGB අගයකින් නිපදවන වර්ණය වෙනත් උපාංගයක් නිපදවන වර්ණයට වෙනස් විය හැක. එයට හේතුව විවිධ උපාංග නිෂ්පාදකයන් රතු, කොළ, නිල් ලෙස නියම සම්මත වර්ණ තුනක් භාවිතා නොකිරීමයි. මේ නිසා යම් කිසි ආකාරයක වර්ණ කළමණාකාරීත්වයක් නොමැති විටකදී, RGB අගයකින් දක්වන වර්ණය උපාංගය අනුව වෙනස් වේ.
RGB ආදාන උපාංග ලෙස රූපවාහිනි කැමරා, වීඩියෝ කැමරා, ඡායාරූප පරිලෝකන යන්ත්‍ර සහ ඩිජිටල් කැමරා සැළකිය හැකිය. RGB ප්‍රතිදාන උපාංග ලෙස රූපවාහිනී තිර (CRT, LCD, ප්ලස්මා, OLED ආදී), පරිගණක සහ ජංගම දුරකථන තිර, වීඩියෝ සංදර්ශක ආදිය සැළකිය හැකිය. කෙසේ නමුත් වර්ණ මුද්‍රණ යන්ත්‍ර RGB ප්‍රතිදාන උපාංග නොවෙයි. ඒවා භාවිතා කරන්නේ ව්‍යාකලන වර්ණ ආකෘතියක් වන CMYK වර්ණ ආකෘතියයි.