Jump to content

ABS තිරිංග පද්ධති

විකිපීඩියා වෙතින්
ABS තිරිංග පද්ධති නිල ලාංචනය
BMW යතුරු පැදියක ABS තිරිංග පද්ධතියක්

ABS හෙවත් anti-lock braking system[1] (අගුලු විරෝධී තිරිංග පද්ධතිය) කියන්නේ මෝටර් රථ වල යොදා ගන්නා ආරක්ෂක තිරිංග පද්ධතියක්. මෙම පද්ධතියේ සේවය අපට වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ හදිසියේ තදින් තිරිංග තද කරන අවස්ථාවකදී. මෙලෙස ක්‍ෂණිකව තදින් තිරිංග තද කිරීමේදී රෝද සිරවිමකට ලක්වී වාහනය ලිස්සා යන්න පුළුවන්. විශේෂයෙන්ම, වැසි දිනයකදී හෝ හිම පතනයකදී වැනි අවස්ථාවකදී මෙලෙස වාහනය ලිස්ස්යා යාමේ ඉඩකඩ බොහොමත්ම වැඩියි. වාහනයයේ රෝද ලිස්සිමට පටන් ගත් විට රියදුරාට සුක්කානම කරකවා වාහනය පාලනය කරන්න හැකි වෙන්නේ නෑ. ඒ වගේම තමයි මෙවන් අවස්ථාවක වාහනය නවතා ගන්න යන දුර ප්‍රමාණය ලිස්සා නොයන අවස්ථාවක යන දුර ප්‍රමාණයට වඩා වැඩියි. මේ නිසා බරපතල අනතුරු ඇතිවීමේ අවධානමක් තියෙනවා. ABS පද්ධතිය මගින් සිදු කරන්නේ තිරිංග තද කිරීමකදී වාහනයේ රෝද හිරවීම වලක්වා වාහනය ලිස්සායාමට ඇති අවධානම වලක්වා ගැනීමයි.[2] මේ නිසා කෙටි දුරකදී වාහනය නතර කර ගත හැකි වනවා වගේම වාහනය මනාව පාලනය කර ගන්නත් රියදුරු ට අවස්ථාව ලැබෙනවා.[3][4]


ඕස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්ව විද්‍යාලයෙන් සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී තියෙනවා ABS තිරිංග පද්ධතියක් වාහනයක ඇති විට වාහන එකිනෙක හා ගැටීමෙන් අනතුරු සිදුවීමේ අවධානම 18% කින් සහ වාහනය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් පිටතට ලිස්සා ගොස් අනතුරු සිදුවීම අවධානම 35% කින් ද අඩු වන බව. මීට අමතරව, ඇමෙරිකාවේ Insurance Institute for Highway Safety (IIHS) නම් ආයතනය මගින් සිදු කල සමීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා ABS පද්ධතිය සහිත මෝටර් සයිකල් පැදවීමේදී මාරක අනතුරු ඇතිවීමේ අවධානම 37%කින් අඩු වන බව. මේ අනුව ABS පද්ධතියක වැදගත්කම ඔබට හොඳින් වැටහෙනු ඇති.


ABS පද්ධතියේ ඇති වැදගත්කම නිසාම 2007 වසරේ සිට යුරෝපයේ අලෙවි කරන සියලුම කාර් සඳහා ABS පද්ධතිය අනිවාර්න්ම තිබිය යුතු බවට නීති පනවා තිබෙනවා. මෙයින් තවත් ඉදිරියට යමින් ඇමෙරිකාව 2011 වසරේදී නීති සම්පාදනය කර තිබෙනවා ABS පද්ධතිය මෙන්ම Electronic Stability Control (ඉලෙක්ට්‍රොනික ස්ථායිතා පාලනය) පද්ධතියත් අනිවාර්යයෙන්ම කාර් වල තිබිය යුතු බවට.

ඉතිහාසය

[සංස්කරණය]

ABS තිරිංග පද්ධතියක් පලමු වරට නිෂ්පාදනය වූයේ ගුවන් යානා සඳහායි. ඒ 1929 ප්‍රංෂ වාහන හා ගුවන්යානා නිර්මාපකයෙකු වූ ගේබ්‍රියල් වයොසන් (Gabriel Voisin) විසිනුයි. මෙය යාන්ත්‍රික පද්ධතියක් වූ අතර, ජව රෝදයක් මගින් ක්‍රියාත්මක විය.ගුවන් නියමුවා හදිසියේ දැඩිව තිරිංග තද කරන අවස්ථාවකදී ගුවන් යානය ලිස්සා යාම වලක්වා ගැනීම සඳහා තමයි මෙය යොදාගෙන තියෙන්නේ. ඉන් පසු මෙය ගුවන් යානා සඳහා භාවිත වුවද මෝටර් වාහන සඳහා භාවිත වීමට ආරම්භ වූයේ 1960 පසුවයි. Ferguson P99 රේසින් කාරය, Jensen FF, ෆොර්ඩ් Zodiac යනාදී මෝටර් වාහන වල භාවිත කලද එය ජනප්‍රිය නොවූයේ නිෂ්පාදනයට වැය වු මිල අධික වීම හා ප්‍රායේගික ගැටළු හේතුවෙනි.[5] පලමු වරට ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරිත්වයෙන් යුතු ABS පද්ධතියක් නිර්මානය වූයේ 1960 අවසාන භාගයේ කොන්කෝර්ඩ් ගුවන්යානා සඳහායි. ක්‍රයිස්ලර් සමාගම තම ඉම්පෙරියල් රථයට ABS පද්ධතියක් සවි කර වෙලඳපොලට යැවූ අතර ඉන් පසු අනෙක් මෝටර් වාහන නිෂ්පාදන සමාගම් ද එය අනුගමනය කලේය. BMW සමාගම විසින් පලමු වරට ඉලෙක්ට්‍රොනික හයිඩ්‍රොලික් පද්ධතියක් සහිත යතුරුපැදිය හඳුන්වා දෙන ලදී.

ක්‍රියාකාරීත්වය

[සංස්කරණය]

ABS පද්ධතියක් ප්‍රධාන උපාංග 4 කින් සමන්විත වේ. ඒවා පහත පරිදි හඳුන්වාදිය හැක.


1) වේග ස්ංවේදක - Speed sensors වාහනයේ එක් එක් රෝදය කැරකෙන වේගය කුමක්ද යන්න ඉලෙක්ට්‍රොනික පාලක ඒකකයට ලබා දීම සඳහා මෙය යොදා ගනු ලබයි. එක් රෝදයකට එක බැගින් වාහනයේ රෝද හතරටම මෙම වේග සංවේදක සවි කොට ඇත. සමහර වාහන වල මෙම සංවේදක වාහනයේ අවකලකයේ (Differential) සවි කර තිබෙනු දක්නට ලැබේ.


2)වෑල්ව - Valves සාමාන්‍ය තිරිංග පද්ධතියකද අපට වෑල්ව දැක ගත හැකිය. මේවා බොහෝවිට වාහනයේ ඉදිරිපස හා පසුපස රෝද වලට වෙන වෙනම හයිඩ්‍රොලික් සැපයුම ලබා දීම සඳහා මාස්ටර් පොම්පය සමග පිහිටනු ලබයි. මේ අයුරින් ම ඇඹ්ශ් ක්‍රමයේදීත් එක් එක් රෝදයට සැපයෙන හයිඩ්‍රොලික් සැපයුම පාලනය කිරීමට හැකි වන පරිදි වෙන වෙනම් වෑල්ව හතරක් තිබේ.


3) පොම්පය - Pump වෑල්වයක් හරහා හයිඩ්‍රොලික් පීඩනය මුදා හැරිය පසු නැවත වෙනත් වෑල්වයක්ට හයිඩ්‍රොලික් පීඩනය ලබා දීමට අවශ්‍ය පීඩනය උත්පාදනය කිරීමට මෙය ABS පද්ධතියට සම්බන්ධ කොට ඇත. පාලක ඒකකය මගින් මෙම පොම්පයේ ක්‍රියාව නිරතුරුවම ස්ංවේදනය කරනු ලබයි.


4) ඉලෙක්ට්‍රොනික පාලක ඒකකය - ECU (electronic control unit) තිරිංග යෙදූ පසු රෝද වල වේගය මැන බලා ඊට අදාලව රෝද වෙත හයිඩ්‍රොලිච් පීඩනය යැවීම හා නිදහස් කිරීම සඳහා නිර්මාණය කරඇති ඉලෙක්ට්‍රොනික උපාංග සහිත කොටසකි. පොම්පය හා වෑල්ව යන කොටස් එක්වී Modulator unit යන ඒකකය නිර්මාණය වේ.


මෝටර් වාහනයක රියදුරා විසින් වාහනයේ තිරිංග ක්‍රියාත්මක කල විට ඉලෙක්ට්‍රොනික පාලක ඒකකය මගින් එය සංවේදනය කරයි. පසුව වෑල්වය සෙමින් නිදහස් කරමින් රෝදය වෙතට හ‍යිඩ්‍රොලික් පීඩනය ලැබීමට සලස්වයි. එවිට රෝදයේ රෝධක ක්‍රියාත්මක වීම නිසා රෝදයේ වේගය අඩුවීගෙන ගොස් රෝදය ලොක් වීමට ආසන්න අවස්ථාවට පැමිනේ. එවිට ඒ බව පාලක ඒකකය සංවේදනය කර,නැවත වෑල්වය සෙමින් වැසීම සිදු කරයි. එවිට රෝදයට ලැබෙන හ‍යිඩ්‍රොලික් සැපයුම අඩාල වීම නිසා නැවත රෝදය කරකැවීමට පටන් ගනී. මෙම ක්‍රියාවලිය සිදු වීමට ගත වන්නේ ඉතාමත් කෙටි කාලයකි. තත්පරයකට කිහිපවාරයක්ම මෙය සිදුවේ. මේ අයුරින් මෙම ක්‍රියාවලිය සෑම රෝදයකටම ක්‍රියාත්මක වීම නිසා වාහනය ඉක්මණින් නවතා ගැනීමට හැකියාව ලැබේ.

තිරිංග පද්ධති වර්ග

[සංස්කරණය]

භාවිත වන වෑල්ව ප්‍රමාණය හා යොදාගන්නා වේග සංවේදක ගණන අනුව තිරිංග පද්ධති වර්ග කිහිපයකි.

මෙහි channel යනුවෙන් දක්වා ඇත්තේ භාවිතා වන වෑල්ව ප්‍රමාණය වේ. වාහනයේ බර, ගමන්කල හැකි වේගය, නිෂ්පාදක සමාගම වැනි කරුණු අනුව මෝටර් වාහනයක සවිකරන ABS පද්ධතියේ වර්ගය එකිනෙකට වෙනස් වේ .

1) Four-channel, four-sensor ABS

2) Three-channel, four-sensor ABS

3) Three-channel, three-sensor ABS

4) Two-channel,four sensor ABS

5) One-channel, one-sensor ABS




ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Toyota Prius c features safety anti-skid braking system (ABS)". Toyota Motor Corporation Australia. සම්ප්‍රවේශය 7 March 2016. Prius c is equipped with Toyota's Anti-skid Braking System (ABS).
  2. ^ "Effectiveness of ABS and Vehicle Stability Control Systems" (PDF). Royal Automobile Club of Victoria. April 2004. සම්ප්‍රවේශය 2010-12-07.
  3. ^ Heißing, Bernd (2011), Chassis Handbook, Springer, , https://books.google.com/books?id=NSlSJtEy-NIC&pg=PA182&dq=abs+stopping+distance+gravel&hl=en&sa=X&ei=btUjUY3ELcn3igKH34GoDg&ved=0CDgQ6AEwAg#v=onepage&q=gravel&f=false, ප්‍රතිෂ්ඨාපනය February 19, 2013 
  4. ^ "Speed With Style", Cycle World, June 1992, , https://books.google.com/books?id=eToxUA1LZbsC&pg=RA6-PA54#v=onepage&q&f=false, ප්‍රතිෂ්ඨාපනය February 19, 2013 
  5. ^ Jon Lawes (31 January 2014). Car Brakes: A Guide to Upgrading, Repair and Maintenance. Crowood. pp. 207–. ISBN 978-1-84797-675-8.

බාහිර සැබැදි

[සංස්කරණය]
  • Anti-lock braking systems හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=ABS_තිරිංග_පද්ධති&oldid=543041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි