2009 අඟුලාන ද්විත්ව ඝාතනය

විකිපීඩියා වෙතින්
අඟුලාන ද්විත්ව ඝාතන සිද්ධිය
ස්ථානයඅඟුලාන, ශ්‍රී ලංකාව
දිනයඅගෝස්තු 12, 2009 (2009-08-12) හෝ ඊට ආසන්න දිනයකදී[1]
මරණ2
ගොදුරුවූවේදිනේෂ් තරංග ප්‍රනාන්දු
ධනුෂ්ක උදයකාන්ත අපෝන්සු
අපරාධකරුවෝතුඹේගෙදර වීට්‌ නිව්ටන් (පොලිස් ස්ථානාධිපති)
ගලගමගේ ඉන්ද්‍රවංශ කුමාරසිරි (පොලිස් කොස්තාපල්)
පියරත්නලාගේ ධම්මික නිහාල් ජයරත්න (පොලිස් කොස්තාපල්)
ජනප්‍රිය සේනාරත්න (ග්‍රාමාරක්ෂක)

2009 වසරේ අගෝස්තු මස 12 හෝ ඊට ආසන්න දිනයක, අඟුලාන පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී තරුණයින් දෙදෙනෙකු ඝාතනයට ලක් වීමේ සිද්ධිය 2009 අඟුලාන ද්විත්ව ඝාතන සිද්ධිය ලෙස හැඳින්වේ. දිනේෂ් තරංග ප්‍රනාන්දු හා ධනුෂ්ක උදයකාන්ත අපෝන්සු යන අය මෙසේ ඝාතනයට ලක්වූ තරුණයන් දෙදෙනා වූ අතර මෙම සිදුවීම පොලීසිය පිළිබඳව මහ ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති කරවීමට එකල සමත් විය.[2][3]

පසුබිම[සංස්කරණය]

2009 වසරේ අගෝස්‌තු 12 වැනිදා රාත්‍රියේ දිනේෂ් තරංග ප්‍රනාන්දු (21) හා ධනුෂ්ක උදයකාන්ත අපොන්සු (28) යන දෙදෙනා අඟුලාන පොදු ක්‍රීඩාංගණය අසල මත්පැන් පානය කිරීමට ගොස් ඇති බවත්, ඒ අවස්ථාවේදී අසල නිවසක සිටි කාන්තාවකගෙන් ගිනි පෙට්‌ටියක්‌ ඉල්ලූ බවත් සඳහන් වේ. එහිදී ඇතිවූ තත්වයක් හේතුකොට ගනිමින් එකී කාන්තාව විසින් අඟුලාන පොලිසියට එම වේලාවෙහිම පැමිණිල්ලක් සිදුකර තිබූ අතර, එම පැමිණිල්ලෙහි හමුදාවේ යැයි කියාගත් තරුණයන් දෙදෙනකු ගිනි පෙට්‌ටියක්‌ ඉල්ලන්නට පැමිණ තමාට කරදර කළ බවට සඳහන්ව තිබූ බව පැවසෙයි. පැමිණිලි ප්‍රකාරව එම අවස්ථාවේදීම තරුණයන් දෙදෙනා අඟුලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිදුවීම[සංස්කරණය]

තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ පසු දිනයේදී එනම් අගෝස්තු 13 වන දිනදී, මිය ගිය තරංගගේ සිරුර ලුනාව පාලම අසල අසළ තිබීයදීත්, ධනුෂ්කගේ සිරුර මුහුදු වෙරළ අසළ තිබියදීත් සොයා ගන්නා ලදී.[4]

මළසිරුරු හමුවීමත් සමග ලුනාව හා අඟුලාන ප්‍රදේශවාසීහු දැඩි කම්පනයට හා නොසන්සුන්තාවට පත්වූ අතර තරුණයින්ගේ මරණ සම්බන්ධව ජනතාව පොලිසියට සිය දෝෂාරෝපණ එල්ල කරන ලදී. තරුණයින් දෙදෙනාට පොලිස් ස්ථානය තුලදී පහර දී පසුව වෙඩි තබා මරා දමා ඇතැයි යැයි එම අවස්ථාවේ පැතිරී ගිය ආරංචියත් සමග කුපිත වූ ප්‍රදේශවාසීහූ පොලිසිය සමග ගැටුම් ඇතිකරගත් අතර එහිදී ඇතිවූ ගැටුම් වලින් කිහිප දෙනකු සුළු තුවාල ලබන ලදී.

පරීක්ෂණ[සංස්කරණය]

තරුණයන් දෙදෙනා ඝාතනය වීමේ සිදුවීම රට පුරා නොසන්සුන්තාවයක් ඇති කරලීමට එම කාල වකවානුවේ සමත් වූ අතර, එවක පොලිස්පතිවරයාගේ නියමය පරිදි ඝාතන සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසිය විසින් කඩිනමින් ආරම්භ කරන ලදී. ඒ අනූව අඟුලාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 9දෙනෙකු[5] සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට පත්විය.

නඩු විභාගය[සංස්කරණය]

ඝාතන සම්බන්ධ නඩු විභාගය 2010 අගෝස්තු මස 19 වන දින ආරම්භ වූ අතර, අඟුලාන හිටපු පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු පිරිසට එරෙහි අධි චෝදනා අටක්‌ යටතේ නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කොට තිබුණි. කඩිනම් නඩු විභාගයක්‌ ලෙස පැවැත්වූ නඩුවේදී, තරුණයන් දෙදෙනා මරා දැමීම සඳහා කුමන්ත්‍රණ කිරීම, මරා දැමීම සඳහා ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීම හා පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමීම යන චෝදනා විත්තිකරුවන් වෙත එල්ල වී තිබිණි.

2011 වසරේ අගෝස්තු 25 වන දිනදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්[6] විසින්, තරුණයින් දෙදෙනා පැහැරගෙන යාම හා පසුව ඔවුන්ව ඝාතනය කිරීම යන චෝදනා සඳහා, විත්තිකරුවන් 9දෙනා අතුරින් අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු වැරදිකරුවන් කරනු ලබමින් ඔවුන්ට මරණ දණ්ඩනය නියම කරන ලදී. සියළු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවට එහිදී ප්‍රකාශ කෙරිණි.[7]

අභියාචනා[සංස්කරණය]

තීන්දු කොට තිබූ මරණ දඬුවම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා අපරාධකරුවන් විසින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල අභියාචනයක් 2014 වර්ෂයේ අප්‍රියෙල් 2 වන දිනදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර දමන ලදී.[8]

පසුව නැවතත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියම කළ මරණ දඬුවමට එරෙහිව අපරාධකරුවන් විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අභියාචනා පෙත්සමක් ගොනුකරනු ලැබූවත්, එම අභියාචනා පෙත්සමද 2015 මාර්තු 26 වන දිනදී නිෂ්ප්‍රභ කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල 2011 අගෝස්තු 25 වන දින ලබා දුන් තීන්දුව යලි තහවුරු කරන ලදී.[9]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "අගුලාන ඝාතකයන්ගේ මරණ දඬුවම තහවුරුයි". නෙත් එෆ් එම්. 2014-04-02. සම්ප්‍රවේශය 2015-03-26.
  2. "පොලිස් කිල්ස් ටූ යූත්ස්". lankanewspapers. 2009-08-14. සම්ප්‍රවේශය 2015-03-26.
  3. "වර්ඩික්ට් ඔෆ් පොලිස් ඩබල් මර්ඩර් කේස් ඉන් ශ්‍රී ලංකා ඔන් ඕගස්ට් 25". කලම්බු පේජ්. 2011-07-11. සම්ප්‍රවේශය 2015-03-26.
  4. "නීතිය කාටත් එකයි". සිළුමිණ. 2011-08-28. සම්ප්‍රවේශය 2015-03-26.
  5. "අඟුලාන ද්විත්ව ඝාතනය ටී පනස්‌හය ගිනි අවි දහතුන රජයේ රස පරීක්‍ෂකට යවයි". දිවයින. 2009-09-26. සම්ප්‍රවේශය 2015-03-26.
  6. "අඟුලාන ද්විත්ව ඝාතනය ලක්‍ෂ 30 ක්‌ වන්දි ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම දෙසැම්බර් 7 වැනිදා". දිවයින. 2010-09-17. සම්ප්‍රවේශය 2015-03-26.
  7. "අඟුලාන ද්විත්ව ඝාතනය: චූදිතයින්ට මරණ දඬුවම". සිංහලයා.කොම්. 2011-08-26. සම්ප්‍රවේශය 2015-03-26.
  8. "අඟුලාන ද්විත්ව පුද්ගල ඝාතනයේ වැරදිකරුවන්ගේ අභියාචනය නිෂ්ප්‍රභයි". අද දෙරණ. 2014-02-02. සම්ප්‍රවේශය 2015-03-26.
  9. "අඟුලාන ද්විත්ව ඝාතනය පොලිසියේ 4කට දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි". දිණමිණ. 2015-03-26. සම්ප්‍රවේශය 2015-03-26.