-කළාකරුවෝ-
සුනිල්ගුණවර්ධන
[සංස්කරණය]කවියට පෙම්බැඳ ගීතය හැඩකල සිංහල ගුරුවරයා...... සුනිල්ගුණවර්ධන
" හිච්චි නඟේ බාලේ හිඳ හැංගි හොරා ළපටි හිතින් මට මතකයි විහිළු කලා හිතට හොරා මල් පිපුනා ආල නුරා අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා"
-සංගීත් නිපුන් සනත් නන්දසිරි+මල්කාන්ති නන්දසිරි
" දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ නොදැනීම අපගේම සිත් යාවුනා දසුනින්ම හසුනක් මවා"
- සංගීත් නිපුන් සනත් නන්දසිරි
"හද ආදර යෞවනියේ සිටි මොලකැටි බාලවියේ ඔබෙ රුවට වගේ-මුදු හිතට අගේ ආදර හිත බැදුනේ"
- සංගීත් නිපුන් සනත් නන්දසිරි
"අහංකාර ළඳුන් කොහෙද පෙමක් හැදින්නේ අලංකාර නොමැති හිතට කවුද අඬන්නේ"
-ටී .එම්. ජයරත්න
"නන්දන උයනේ මියුරස තවරා ගේනා මල් මල් වැසි සීත රෑ යාමේ"
- එච්. ආර්. ජෝතිපාල + ඇන්ජලින් ගුණතිලක
"හිතුවක්කාරෙට කරගත්තයි කියලා පන්නන්නේ කෝම පරම්පරාවට නින්දාවක් කියලා අහක බලන් කෝම"
- සංගීත් නිපුන් සනත් නන්දසිරි
- "තේක්ක නැන්දේ තේක්ක නැන්දේ"
- සනත් නන්දසිරි
- "මගෙ නෙත් ඉසව්වේ"
-ඉන්ද්‍රානි සේනාරත්න
- කණ කෙකිණියනේ"
-ත්‍යාගා එන්.එඩ්වඩ්
- "විලක් නොවේ "
-මර්වින් පෙරේරා
- "ලා හිරු කිරණේ"
-සනත් නන්දසිරි
- "ඇල ඉවුරේ පුංචි පැලේ"
-විජය කුමාරතුංග
- "ඈ සොයා ආ යුතුය"
- විශාරද එඩ්වඩ් ජයකොඩි
- "පැලේ පිළේ රැදිලා"
-ඉන්ද්‍රානි පෙරේරා
- "මා හදේ සිනා හඳුනා "
-ටී.එම්.ජයරත්න
- "සව්ලෙව් සත වෙත"
-සුනිල් එදිරිසිංහ
- "කාරණාව හරියනවා"
-සනත් නන්දසිරි
එවැනි හරවත් ගී රැසක් නිර්මාණය කල ඔහුගේ ගී චාරිකාව ඇරඹෙන්නේ ,හැත්තෑව දශකයේ මුල් භාගයේදී පමණ සරසවි බිමේ තුරු සෙවනක සිට අකුරු කල ආචාර්ය අමරා රණතුංග ගැයූ "හිරු මිළිනව සඳ මිළිනව" ගීතයෙනි.
ඔහු සුනිල් ගුණවර්ධන යි. 1949 සැප්තැම්බර් 03 වන දින උපන් සුනිලුන්, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයට පිවිස උසස් අධ්‍යාපන කඩයිම ඉහලින්ම ජයගෙන කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව එහිදී සිංහල ගෞරව උපාධිය ලැබ ගන්නා සුනිල් ගුණවර්ධනයන් , 1976 වසරේ හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයට පත්වීම් ලැබ , එහිදී හය වසරේ සිට උපාධි අවසාන වසර දක්වා සිංහල ගුරුවරයෙක්ව වසර 20 කාලයක් පුරාවට එකම ස්ථානයක සිසු නැණ පැහැදු ඔහු 1996 වසරේදී විශ්‍රාමික විය.
ගුවන් විදුලි සරළ ගීත පමණක් නොව , "පටලැවිල්ල "," සම්මාන" යන ටෙලි නිර්මාණයන් සඳහාද ගීත නිර්මාණය කල ඔහු, "ජය සිකුරුයි"(1984)/"රෝසි"(1985)/"යුක්තියද ශක්තියද"(1987)/"රස රහසක්"(1988)/"දේදුන්නෙන් සමණළියක්"(1990)/"සිහින අහසේ වසන්තේ"(1991)/"ජය ශ්‍රී වේ කුමරිය"(1992)/"සුර නිමල"(1992)/"ප්‍රතිඥා"(1993)/"රතු අළුයම"(1999) ඇතුළු යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපට රැසකටම ගීත නිර්මාණය කර ඇත . ඔහුගේ චිත්‍රපට ගී නිර්මාණ කරණයේ විශේෂිත කරුණ වනුයේ , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාරයන්ගේ චිත්‍රපට නිර්මාණයන්ට පමණක් සීමාවී ඇති බැවිනි . විශ්වවිද්‍යාල අධ්‍යාපන අවධියේ දී" ගැඬවිලා සහ බ්‍රක්ම ලෝකය " නම්වූ කවිපොත සංස්කරණය කල ඔහු පසු කලෙක , "සුඛාත්මක නොවේ ජීවිතය ",
"සඳයි පෙම්වතියයි අමතක කලෙමි", "හිරු නොදකින්නෝ", "මහ පොළොවේ දෙවියෝ අපි", "සඳ මඬල හා පිණි කඳුල", "කැළණි ගඟට හිරු එනතුරු",සහ " දැන් වැටුනු හුස්මක්"(මුද්‍රණයෙ) යන කවි පොත් ද , "දූලගේ තාත්තා" "රේස් ආච්චි" "නොසිතු විරූ" "මෙත් අම්මා" "ඩ්‍රැයිවර් නැන්දා" "බිකා" නමින් කෙටිකතා කෘති 6ක් ද, "ආල නුරා මල් පිපුණා" "සිත් වැටට වැසී වැටී" නමින් ගී පද රචනා කෘති යුගලක්ද, " කවි අරණ" සහ "සරසවි කාව්‍ය විචාර" නමින් කාව්‍ය විචාර කෘති යුගලක්ද මුද්‍රණයෙන් එළි දක්වා ඇත .
ප්‍රියානන්ද විජේසුන්දර යන් සමඟ "අපේ කවි" නමින් කවි කොළයක්ද එළිදැක්වූ ඔහුට , තමන් ලියූ සියළු ගීතයන් පිළිබඳව නිවැරදි මතකයක් නොමැත්තේ , ඒ කිසිවක් සංරක්ෂණය නොකල වරද නිසාවෙනි.
වැඩිම ගීත ප්‍රමාණයක් ලියා ඇත්තේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාට බව ඔහු පවසයි. එසේම ලියූ කිසිම ගීතයකට රු: 200/= වඩා නොලද බවද පවසන්නේ සොඳුරු සිනාවෙන් යුතුවය. එසේම ඔහු කිසි දිනෙකත් මඩුවිත තොල නොගෑ නිර්මාණශීලි කලාකරුවෙකු බව සඳහන් කරන්නේ ඔහුට කරනා ගෞරවයක් වශයෙනි. දකිනා ඕනෑම තැනෙක නිර්ව්‍යාජ සිනා සපිරි මුව පානා ආදරණීය සුනිලුන්ට දීර්ඝායු වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ඔහුගේ උපන් දිනය දවසේම මෙම සටහන තැබීමට ලැබීමද භාග්‍යයකි.
2020 සැප්තැම්බර් 03
Anton J Fernando
ජයලත් මනෝරත්න
[සංස්කරණය]ජයලත් මනෝරත්න
[සංස්කරණය]පවුලේ බඩපිස්සා ලෙස මෙලොව එළිය දුටු ‘කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ හෙවත් අප සියල්ලන් ම ඉතා හොඳින් දන්නා ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ රංගධරයන් අතුරින් රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග පුරුෂයෙකි.
ඔහු පවසන අයුරින් ඔහුගේ කුඩා කාලය ඉතා සතුටින්, අම්මා තාත්තාගේ පමණක් නොව අයියලා අක්කලාගේ අසීමිත ආදරයට වගේ ම අවධානට ලක් ව ගෙවුනා වූ සුන්දර ළමාවියකි. ඉතා අලංකාර කඳුවැටි අතරේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ උපත ලද මෙතුමා වචනයේ පරිසමාප්තයෙන්ම ගැමියෙකි. ඔවුන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැන යි.
සොකරි, කිඳුරු නාට්‍ය ගමේ අතිප්‍රචලිත වූ අතර එකළ සමවයසේ මිතුරන් සමඟ මෙතුමා එම නාට්‍ය රසවිඳ ඇත. ඉන්පසු ඒවා අනුගමනය කිරීමෙන් නිවසේ නාට්‍ය රඟදැක්වීම ඔහුගේ විනෝදාංශය විය. එය ඔහුගේ නාට්‍ය කලාවේ ආරම්භය යි.
ඔහුගේ මුල් ම පාසල දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය යි.ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් වූ එතුමා පාසල් නේවාසිකාගාරයේ ලැගුම් ගන්නා ලදී. පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ උගත් සමය ජීවිතේ ලද වටිනාම අත්දැකීම් හා හෙන්රි ජයසේන මහතාගේ හමුවීම සිදුවිය.
අ.පො.ස සාමාන්‍ය පෙළ තෙක් මළල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගිය මෙතුමා එක් වසරක දී වසරේ ජ්‍යෙෂ්ඨ, විශිෂ්ටම ක්‍රීඩකයා බවට ද පත්විය.
මුල් ම වතාවට පාසල් වේදිකාවේ නාට්‍යයකට එතුමා සම්බන්ධ වන්නේ පාසලේ නාට්‍ය ගුරුතුමා වුණ සුනිල් ශ්‍රියානන්දයන්ගේ ‘අස්ප ගුඩුන්’ නම් පාසල් වේදිකා නාට්‍යයෙනි. පළාත් මට්ටමින් පැවැත්වුණු නාට්‍යය තරගාවලියේ දී අස්ප ගුඩුන් නාට්‍යයට මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානයට පත්විය. අවසන් තරගය පැවැතියේ කොළඹ ලුම්බිනියේ ය.
පාසල් අධ්‍යාපනය ඉතා හොඳින් අවසන් කළ මෙතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එය එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත්විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීම සිදුවන්නේ මෙහිදී වන අතර එවකට පේරාදෙණියේ රඟදැක් වූ සෑම නාට්‍ය නිර්මාණයක් ම නැරඹූ මෙතුමා ඒවා තම නිර්මාණ ශක්තිය වැඩි කර ගැනීමට භාවිත කළේය.
විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ දී සරච්චන්ද්‍රයන්ගේ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට නවක නළුනිළියන් සොයන බව දැනගන්නට ලැබුණු පසු, එම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු එතුමා ගායන හැකියාව නිසා මුල් ම වටයෙන් චරිතයකට තෝරාගනු ලැබිණි. එතැන් පටන් ඔහුගේ වෙස්සන්තර, මහාසාර, කදාවළලූ, එලොව ගිහින් මෙලොව ආවා වගේ නාට්‍යය කිහිපයක රඟපැමට මෙතුමාට අවස්ථාව ලැබුණි. විශ්ව විද්‍යාල ජීවිතය හමාර කළ මෙතුමා හඟුරන්කෙත පිරිවෙනක ගුරුවරයෙක් ලෙස කටයුතු කළ අතර කෙටි කලකින් රජයේ ලිපිකරු පත්වීමක් ලැබ නුවරඑළියේ සේවයට වාර්තා කරන ලදී. එහි සේවය කරන අතරතුර නිශ්ශංක දිද්දෙණිය මහතා හෙවත් විශ්ව විද්‍යාලයේ ඔහුගේ හොඳ ම මිතුරා නැවතත් මුණ ගැසුණු අතර ඔහු ඒ වනවිට සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්වමින් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලද චරිතයක් බවට පත්වී සිටියේ ය.
මනෝරත්න මහතාගේ රංගන හැකියාවන් ගැන හොඳින් දන්නා නිශ්ශංක දිද්දෙණිය මහතා රැකියාවේ ස්ථාන මාරුවීමක් ගෙන කොළඹට’විත් හෙන්රි ජයසේනයන්ගේ චිත්‍රසේන කලායතනයට සම්බන්ධ වන ලෙස ඔහුට ආරාධනා කරන ලදී. ඒ අනුව ඔහු රැකියාවේ ස්ථාන මාරුවීමක් ලබාගත්තේ ය. ඉන්පසු ඔහු හෙන්රි ජයසේනයන්ගේ සති අන්ත පාඨමාලාවලට සම්බන්ධ වෙමින් රැකියාව ද හොඳින් කරගෙන ගියේ ය. පසුකාලීනව සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයන් යටතේ නිර්මාණවලට දායක වෙමින් විෂය පිළිබඳ මනා දැනුමක් ලැබූ ඔහු ඒ සිද්ධීන් අතරේම ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වුණ තමරා ජයන්ති සිල්වා සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සබඳතාව ජයගනිමින් 1979 දී විවාහ දිවියට ඇතුළත් විය. ඔවුන්ට දියණියක් හා පුතණුවෙක් සිටිති.
ලිපිකරුවෙක් ලෙසට මුල් ම පත්වීම් ලැබූ මහවැලි අධිකාරියේ ඉහළ තනතුරක් දක්වා ගොස් පසුකාලීනව වසර දහසයක් සේවයකර රැකියාවෙන් ඉවත්, වී පූර්ණ කාලීනව රංගනය ම තෝරාගත් මෙතුමා වර්තමානයේ වේදිකාවේ, සිනමාවේ මෙන් ම රූපවාහිනියේ රඟපාන අතරේ එතුමා ම රචනා කරමින් නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයක් වේදිකා ගත කර ඇත. ලිපිය සැකසීම : චාන්දනී තෙන්නකෝන්
ළමා විය
[සංස්කරණය]මනෝරත්නගේ නිමල ළමාවියේ මිහිරිමතකය
අද පුංචි කාලයේ මතකයන් සිහිපත් කරන්නේ ආචාර්ය ජයලත් මනෝරත්න. ජයලත් මනෝරත්න මාමා පුංචි තිරයේ වගේම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේත් සම්මානනීය නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වගේම හොඳම අධ්‍යක්ෂවරයා ලෙසත් අවස්ථා කිහිපයකදීම සම්මාන ලද ඔහු 2014 වසරේ නවදිල්ලියේ පැවති බයිස්කෝප් ග්ලෝබල් සිනමා උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
නාට්‍යවේදියෙක්, රංගන ශිල්පියෙක් වගේම කතුවරයෙක් වන මනෝරත්න මාමාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශන සූරි ආචාර්ය උපාධිය හිමි වුණා. ඒ ඔහු ඉදිරිපත් කළ ‘සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය 1970 – 2000’ නම් පර්යේෂණ නිබන්ධය වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය සූරි සම්මාන ආචාර්ය උපාධිය ද පිරිනැමීමත් සමඟ මෙරට ආචාර්ය උපාධි දෙකකින් පිදුම් ලද ප්‍රථම රංගධරයා වන්නේත් මනෝරත්න මාමා. අද මේ තත්ත්වයට එන්න මුල් වූ එදා ගමේ සුන්දර රසබර මතක සිහිපත් කළේ මෙලෙසින්.
මම පුංචි කාලේ අධ්‍යාපනය ලැබුවේ අපේ ගමේ ඉස්කෝලේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපෙ ගමේ ප්‍රාථමික විද්‍යාලයෙන් තමයි මම පහ වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වුණේ. ඊළඟට මම පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට මුහුණ දුන්නේ එහි අධ්‍යාපනය ලබමින්. මම පොඩි කාලයේ පටන් බොහොම පිළිවෙළට අධ්‍යාපන කටයුතු කළ නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය පාස්වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වුණා.
දරුවනේ ඔයාලා දන්නවාද මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තෙක්ම එදා පහ වසර ශිෂ්‍යත්වය පාස් වුණාම ලැබුණු රජයේ ශිෂ්‍යත්ව ආධාර මුදල ලැබුණා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද දන්නවාද? ශිෂ්‍යත්වය පාස් වුණාට පසුව කිසිම විභාගයක් අසමත් නොවී සිටියොත් ඒ මුදල අධ්‍යාපන කටයුතු හමාර වෙනතෙක් පිරිනමනවා. ඉතිං මමත් විශ්වවිද්‍යාලය දක්වාම සියලු විභාග ඉතා හොඳින් සමත් වුණා. එක විභාගයක් හරි අසමත් වුණොත් අර ශිෂ්‍යත්ව මුදල අහිමි වෙනවා. මම ආර්ථික අතින් ගොඩක් ශක්තිමත් පවුලක දරුවෙකුත් නෙවෙයි. අම්මට තාත්තාට පවුලේ අයියලා අක්කලා ගැනත් බලන්න වුණා. ඉතිං මේ නිසාම ශිෂ්‍යත්ව මුදල රැක ගන්න මම ගොඩක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් පාඩම් කළා. ප්‍රතිඵල ලැබුණා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා එහි වසර තුනක අධ්‍යාපන කටයුතු නිම වෙන තෙක්ම රජයෙන් පිරිනමන ඒ ආධාර මුදල මගේ අධ්‍යාපන කටයුතුවලට විශාල ශක්තියක් වුණා.
මේ දරුවන්ටත් මම කියන්නේ පුංචි කාලයේ පටන්ම එක අරමුණක සිට තම අධ්‍යාපන කටයුතු කරන්න මහන්සි වෙන්න කියලයි. පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අද දැඩි තරගකාරි විභාග බවට පත් වෙලා. ඔබ ඒ තරගකාරිත්වය නොව එය තමන්ගේ ජීවිතයට වැදගත් වන ආකාරය හිතට ගන්න. මේ විභාග කඩඉම් ඔබේ අනාගතය යහපත් කරන විදිය දකින්න. ඒ අනුව සූදානම් වන්න. ක්‍රමානූකූලව පාඩම් කරන්න. දරුවනේ ඔබලාට කවදාවත් වරදින්නේ නැහැ.
මට අද කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් එන්න හැකි වෙලා තියෙනවා. එදා මම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරන ගමන් කලා කටයුතුවලටත් දායකත්වය දුන්නා. හවසට මගේ කලා හැකියාවන්වලට සහාය දෙන්නේ ගමේ යහළුවන් පිරිස තමයි. අපි හවසට එකතු වුණාම පොඩි පොඩි නාට්‍ය නිර්මාණය කරනවා. ඒ නිසා ගමේ සමකාලින යහළුවන් මගේ කලා හැකියාවන් ඔපමට්ටම් කරගන්න දුන්නේ ලොකු සහයෝගයක්.
පාසලේ අවසන් අවුරුද්දේදී මම ‘අස්ප ගුඩුං’ නම් වේදිකා නාට්‍යකට දායක වුණා. ඒක නිර්මාණය කළේ අපේ පාසලේ ආචාර්යවරයකු වූ සුනිල් ශ්‍රියානන්ද ගුරුතුමා. 1966 වසරේදී විතර පළාත් නවයෙන් නාට්‍ය නවයක් තෝරලා අවසන් වටයේ තරග කොළඹදී පැවැත් වුවා. මධ්‍යම පළාතෙන් ප්‍රථම ස්ථානය දිනුවේ අපේ ‘අස්ප ගුඩුං’ නාට්‍යය. ප්‍රධාන චරිතය රඟපෑවේ මම. මම මගේ ජීවිතේ ප්‍රථම වතාවට කොළඹ ආවෙත් එදා තමයි. අවසන් වටයේදී අපට ස්ථානයක් නොලැබුණත් මට කුසලතා සහතිකයක් ලැබුණා. ඒ කාලයේ ඒක අපට ලොකු ජයග්‍රහණයක් වුණා.
මට එය තවත් විශේෂ වුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට සූදානම් වෙන විටදී දායකවීම නිසා. විභාගයත් හොඳින් සමත් වුණා විතරක් නෙවෙයි ඒ අවුරුද්දේ පාසලේ විශිෂ්ටතම ක්‍රීඩකයා වුණෙත් මම. එදා මම පාඩම් කටයුතු කළා වගේම කලා කටයුතුත් ක්‍රීඩා කටයුතුත් කළා. හැබැයි මේ එකක් අනෙකට බාධාවක් වෙන විදියට නම් කටයුතු කළේ නැහැ.
මේ හැමදේම කරන්න නේවාසිකාගාර ජීවිතය ලොකු බලපෑමක් වුණා. මොකද නේවාසිකාගාරය තුළ අපි හැමදේම කාල සටහනකට කරන්න පුරුදු පුහුණු වුණා. නේවාසිකාගරය භාරව සිටියේ වික්ටර් පීරිස් මහතා . අපේ ජීවිත පිළිවෙළට හැඩගැස්වීමේ ගෞරවය එතුමාටත් හිමි වෙනවා. ඒ වගේම විදුහල්පති පී සෙනරත් මහතා වගේම සුනිල් ශ්‍රියානන්ද ගුරුතුමාත් විශේෂ චරිත වුණා. දැන් මේ දරුවන් අම්මා තාත්තා සමඟින් ගෙදර සිටියත් කාල සටහනකට අනුව තමන්ගේ වැඩකටයුතු කරන්න පුරුදු වෙන එක අපහසු කටයුත්තක් නෙවෙයි. පාසලේ නම් ඔබ අනිවාර්යයෙන්ම කාල සටහනකට අනුව වැඩ කරනවානේ. ඒ හැරුණාම උදෙන්ම නැඟිටින්න, පිරිසුදු වෙලා පාඩම් කරන්න. පිළිවෙළකට ආහාර ගන්න පුරුදු වෙන්න. මේ දේවල් නිසි වෙලාවට ඉටු කළාම ඕනම අභියෝගයක් ජයගන්නා එක අපහසු කටයුත්තක් නෙවෙයි.
මේ දරුවන් දන්නවාද? මම පුංචි කාලයේදී පත්තරේට ලියන්නත් අමතක කළේ නැහැ. ඒ කාලයේ තිබුණු ටිකිරි පත්තරේට මම නිතරම කවි, කතා, රචනා ලියනවා. එකක් දෙකක් පළ වුණාම දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. දැන් මමත් පාසල්වල වැඩමුළුවලට ගියාම නිර්මාණශීලි පුංචි හපනුන් දකිනවා. අද සමාජය එදා මගේ පුංචි කාලය ගෙවුණු සමාජයට වඩා ගොඩක් සංකීර්ණයි. ඒ වගේම ඉක්මන්. තරගකාරිත්වය වැඩියි. මේ අතරේ පුංචි ඔයාලාට ජයගන්න කඩඉම් කිහිපයක්ම තියෙනවා. කම්මැලි වුණොත් නම් කවදාවත් ඉදිරියට යන්න ලැබෙන්නේ නැහැ. ආදරණීය දුවේ, පුතේ අධ්‍යාපන කටයුතු අතරේ ඔයාලාගේ නිර්මාණ හැකියාව වෙනුවෙනුත් පුංචි ඉඩක් වෙන් කරන්න. කවියක් ලියන්න. කතාවක් ලියන්න. චිත්‍රයක් අඳින්න. ළමා ගීතයක් අහන්න. ඔයාලගේ පුංචි මනසට ලොකු වෙනසක් දැනේවි.
මිහිර පුවත්පතේ පුංචිකාලේ මං ලිපියෙන් උපුටා ගැනිණ
කලා ශූරි කලා කීර්ති අාචාර්ය කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න වෘත්තියෙන් කථිකාචාර්යවරයකු මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු ද විය. රංගන ක්ෂේස්ත්‍රයේ ඉහළ දක්ෂතා දැක්වූ මනෝරත්න මහතා, OCIC, ජනාධිපති, සරසවි, රයිගම් ටෙලීස්, සුමති සහ රාජ්‍ය සාහිත්‍ය හා නාට්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනා ගත්තේය. සොක්‍රටීස් සහ ද්විත්ව හි රංගනය වෙනුවෙන් 1991 සහ 1992 දී ඔහු හොඳම නළුවා විය. ඔහු ශ්රී ලාංකීය වේදිකාවේ ආධිපත්‍යය දැරූ නළුවන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස විචාරකයින් විසින් සලකනු ලැබේ.
වයස අවුරුදු 71 දී ප්‍රතිකාර ලබමින් සිටියදී ලාංකීය කලා ක්ෂේස්ත්‍රයම කදුලින් නහවාලමින් 2020 ජනවාරි 12 වන දින අප අතරින් සදහටම වෙන් විය.
නාට්‍ය
[සංස්කරණය]මහගිරිදඹ
ජයලත් මනෝරත්නගේ පළමු වේදිකා නාට්‍යය ලෙස ගැනෙන්නේ ‘මහගිරිදඹ’ යි. එය ඔහු නිෂ්පාදනය කරන්නේ 1980 වර්ෂයේයි. නාට්‍ය නිෂ්පාදනය කරන නිෂ්පාදකවරයකුගේ දියණිය ප්‍රධාන නිළියට ගත යුතුය කියන අදහසේ සිටින අයකු සමඟ වැඩ කරන අධ්‍යක්ෂවරයකු අතර ඇතිවන ගැටුමක් ඇසුරෙන් නිර්මාණය වී ඇති මේ නාට්‍යයේ රඟපෑ නළු නිළියන් අතර අද කලා ලෝකයේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් සිටියා. හේමසිරි ලියනගේ, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, සුනිලා අබේසේකර, නිශ්ශංක දිද්දෙණිය, ජය ශ්‍රී චන්ද්‍රජිත්, ලාල් කුලරත්න, සෝමපාල පතිරගේ, සුවිනීතා පෙරේරා ඒ අතර සිටි කිහිප දෙනෙක්. මෙහි සංගීතය නිර්මාණය කළේ ප්‍රවීණ සංගීතඥයකු වූ ඔස්ටින් මුණසිංහයි. ස්වත්‍රන්ත්‍ර නාට්‍යය නිර්මාණයක් වූ මෙහි ඔහු රඟපාන ලද්දේ ගුරුජි නම් ප්‍රධාන චරිතයයි.
පුත්‍ර සමාගම
ජයලත් මනෝරත්න පුත්‍රසමාගම නාට්‍යය වේදිකාවට ගෙන එන්නේ 1985 වසරේදියි. මේ නාට්‍ය යේ තිබෙන විශේෂ බව නම් පරිවර්තනයක් ඇසුරෙන් පුත්‍රසමාගම නිර්මාණය වීමයි. 'ද එල්ඩර් සන්' නමැති නිර්මාණයේ පරිවර්තනය පුත්‍රසමාගම නමින් පරිවර්තනය කරන ලද්දේ ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින්. මෙහි මුලින්ම රඟපාන ලද්දේ අජිත් ජිනදාස, ශ්‍රියන්ත මෙන්ඩිස්, රත්නා ලාලනී, චාන්දනී සෙනෙවිරත්න, සම්පත් කෙන්නකෝන්, ජය ශ්‍රී චන්ද්‍රජිත් යන පිරිසයි. මෙහි සංගීතය නිර්මාණය කරන ලද්දේ ලක්ෂමන් විජේසේකරයි. මෙහිත් ප්‍රධාන චරිතය රඟපාන ලද්දේ ද ජයලත් මනෝරත්නම ය. මේ නාට්‍යයට රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නළුවා ලෙස ජයලත් මනෝරත්නටත්, හොඳම සහය නළුවා ලෙස ජය ශ්‍රී චන්ද්‍රජිටත් සම්මාන හිමි වූහ.
තලමල පිපිලා
1988 වසරේ නිර්මාණය වූ 'තලමල පිපිලා' නාට්‍යය ජයලත් මනෝරත්නගේ ස්වත්‍රන්ත නිර්මාණයකි. එහි සංගීතය නිර්මාණය කරන ලදදේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහයි. ජයලත් මනෝරත්නගේ ගමේ පරිසරය අලළා නිර්මාණය වුණු වේ නාට්‍ය යේ මුලින්ම රඟපාන ලද්දේ ජයලත් මනෝරත්න ඇතුළු රත්නා ලාලනී, ලාල් කුලරත්න, සම්පත් තෙන්නකෝන්, සරත් චන්ද්‍රසිරි, බණ්ඩාර ඇහැලියගොඩ, ජගත් බෙනරගම ඇතුළු නළු නිළි පිරිසයි.
අන්දරේලා
හාස්‍යෝත්පාදක චරිතයක් වූ අන්දරේගේ චරිතය අලළා නිර්මාණය වුණු 'අන්රේලා' නාට්‍යය රාජ්‍ය පාලකයා ඇතුළු රාජ්‍ය තන්ත්‍රයේ යම් යම් කටයුතු හාස්‍යයට ලක් කරමින් කළ නිර්මාණයකි. 1993 වසරේ නිර්මාණය වූ මේ නාට්‍යයේ 1995 වසරේ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම පිටපත ලෙස ද, හොඳම සංගීතය ලෙස රෝහණ බැද්දගේට ද සම්මාන හිමි වෙයි.
ගුරුතරුව
1996 වසරේ ජයලත් මනෝරත්න අතින් නිර්මාණය වූ 'ගුරුතරුව' නාට්‍යය සඳහා
මේ නාට්‍යය සඳහා 1997 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මානය හිමිවිය. ඒ වගේම හොඳම සංගීතය ලෙස ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ රංජිත් බාලසූරියටත්, හොඳම රචනයටත් ඒ වසරේම සම්මාන හිමිකර ගැනිණි. එහි සාහිත්‍ය ගුරුතුමා ලෙස ජයලත් මනෝරත්න රඟපෑ අතර සුමින්ද සිරිසේන, ලාල් කුලරත්න, ඩයස් ධර්මප්රිය,සරත් චන්ද්‍රසිරි, සම්පත් තෙන්නකෝන්, දයාදේව එදිරිසිංහ, ජගත් පද්මසිරි, ප්‍රියන්ත සෙනෙවිරත්න, සෝමපාල පතිරගේ,රත්නා ලාලනී ජයකොඩි, ජගත් බෙනරගම, ආදි නළු නිළි පිරිස රඟපෑමෙහි නිරත වූහ.
ලෝකය තනියායක්
මහගමසේකරගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය ඇසුරෙන් ජයලත් මනෝරත්න නිර්මාණය කරන ලද ලෝකය තනියායක් නාට්‍යය වේදිකා ගත වන්නේ 2006 වසරේයි. මෙහි මාදනී මල්වත්ත හා ජයලත් මනෝරත්න ඇතුළු අවශේෂ නළු නිළියෝ රැසක් රංගනයෙන් සහභාගි වූහ. මෙහි සංගීතය නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේයි.
හඬනිහඬ
එක්දහස් නවසිය තිස් ගණන්වල සිදු වුණු සංගීත ශිල්පීන් පිළිබඳ කියැවෙන 'හඬනිහඬ' නාට්‍යයේ මෙන් ජයලත් මනෝරත්න ද සඳහටම නිහඬව ගියේ ය. 2016 වසරේ නිර්මාණය වූ මේ නාට්‍යය රෝද පුටුවකට වී කාලය ගත කරන සංගීත ශිල්පියකුගේ ජීවිතයේ අවසානය ගැන කියැවෙන්නක්. ඔහු මෙන් ජයලත් මනෝරත්න ද අප අතැර යයි. ඔහු නිර්මාණය කරන ලද අවසාන නාට්‍යය වන මෙහි ඩබ්ලිව්. ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සංජීව දිසානායක, රවීන්ද්‍ර යසස්, ලංකා බණ්ඩාරනායක, ෆර්නි රෝෂිනී, ගංගා පරණවිතාන යන නළු නිළියන් රඟපෑමෙන් සහය වෙති.
තිලානි ශානිකා විතානාච්චි
චිත්‍රපට
[සංස්කරණය]- 1979 - හඳයා
- 1980 - සිරිබෝ අයියා
- 1987 - හිත හොඳ චණ්ඩියා
- 1987 - මංගල තෑග්ග
- 1991 - ස්ත්‍රී
- 1992 - උමයංගනා
- 1992 - සිසිල ගිනිගනී
- 2002 - පුංචි සුරංගනාවී
- 2003 - සුදු කළුවර
- 2004 - සූරිය අරණ
- 2004 - ප්‍රේමවන්තයෝ
- 2004 - ගිනි කිරිල්ලි
- 2006 - හිරි පොඳ වැස්ස
- 2006 - භේරුන්ඩ පක්ෂියා
- 2008 - සිරි රජ සිරි
- 2008 - වලා පටල
- 2009 - බිංදු
- 2010 - බඹර වලල්ල
- 2015 - ප්‍රවේගය
- 2016 - ගෝල් (ප්රධාන චරිතය)
- 2016 - හෝගානා පොකුණ
- 2018 - තාල
සම්මාන
[සංස්කරණය]- 2004 - හොඳම සහය නළුවා - සුදු කළුවර
- 2007 - හොඳම සහය නළුවා - භේරුන්ඩ පක්ෂියා
ජයලත් මනෝරත්නයන් 2020 ජනවාරි 12 වන දින දැයෙන් සමු ගන්නා ලදී.
හේමසිරි ගුණතුංග
[සංස්කරණය]රුපියල් තිස්පහට ප්‍රකට සුභාවිත ගීත ලියු අප්‍රකට ගීත රචකයා.....
අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මෙම රචකයා පිළිබඳව 1996 වසරේදී තැබූ සටහනකින් මෙම ලිපිය ආරම්භ කිරීමට අදහස් කළෙමි.
" ගීත රචකයාගේ ප්‍රධාන මෙවලම වචනයි.ඔහුට කාව්‍යමය භාෂාව ඔසුවක් ලෙසත්, අවියක් ලෙසත් භාවිතා කරන්නට පුළුවන්. ඒ නිසා වෙසෙසින්ම අයුක්තියට හා අසාධාරණයට එරෙහි වීමේදී එම අදහස තම ශ්‍රාවකයාට දිය යුත්තේ මනා සංයමයකින් යුතුවයි. ඔහුගේ සංකල්පනාවන් ආවේගාත්මක නොවීම මෙහිදී ඉතා වැදගත්. මා විසින් සංගීත නිර්මාණය කල ඔහුගේ පද රචනා තුළ එම ගුණය නොඅඩුව දකින්නට පුළුවන් . මා හේමසිරි ගුණතුංග දකින්නේ නව අනුභූතීන් සොයා යන නව පරපුරේ නිර්මාණශීලි රචකයෙක් හැටියටයි".( උපුටා ගැනීමකී)
හේමසිරි ගුණතුංග යනු කවුරුන්දැයි ඔබ නොදනිතත්, මේ ගීත ඔබේ සවනතේ, මතකයේ නිදන්ගතව ඇති බව මා තිර ලෙස දනිමි.
- " පි: ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ ගැ: වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ" - විශාරද අමරසිරි පීරිස් මැණික් ජයසේකර. සංගීත නිර්මාණය : ආචාර්ය රෝහණ වීරසිංහ
- "සිලිං බිලිං කූරු වළලු
පාට හතේ මාල පබලු වයිවාරන අරුමෝසම් වටේට එල්ලා රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා" - විශාරද නීලා වික්‍රමසිංහ සංගීත නිර්මාණය: කළණි පෙරේරා
- " මී පැණියේ රිදී ගන්ට
ගම් පොජ්ජට මංගච්ඡා සහේ ගෙනා මයේ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට කැලෑ පොජ්ජ පටෑරගෙන සීපාවුන් ගිනි බිදිනා සිදාදියේ හූරන්ගෙන් වහන් වෙයන් ගෝඹරියේ" -ගායනය,සංගීත නිර්මාණය : ටී.ෂෙල්ටන් පෙරේරා
- " කවුරුවත් නෑ- කවුරුවත් නෑ
එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුලට ලන්තෑරුම කෝ - ඔහේ තිබුනාවේ කවුරුවත් නෑ එගොඩට යන්නට " -විශාරද අමරසිරි පීරිස් සංගීත නිර්මාණය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
- පි :"සල් සමන් සුගන්ධිනී වසන්ත විල්තෙරේ
ගැ: මල් තරංගයක් වෙමී ඔබේ නුවන් දොලේ" - විශාරද අමරසිරි පීරිස් මැණික් ජයසේකර සංගීත නිර්මාණය: උපාලි ද සිල්වා
- " ඉරට උඩින් යන ගිරවුන්නේ
මලට උඩින් එන බඹරුන්නේ සූරියගහ මුල සිරියහනේ පිරුණු සභාවට වඩිනු මැනේ" - ලක්ෂ්මන් රුද්‍රිගු සංගීත නිර්මාණය: මර්වින් ප්‍රියන්ත
- "උදාඉරේ වරුණේ පියුම් කුමාරි දකින්නයි"
-රූපා ඉන්දුමතී/යමුනා විනෝදනී
- "බිඟු රෑන වගේ මල් යායට"
- මැණික් ජයසේකර
- "ලෝල බැළුම් දෙන දෑසට"
-අයිවෝ ඩෙනිස්
- " මැදින් මහට පූදින මල්"
- විශාරද එඩ්වඩ් ජයකොඩි/ විශාරද මාලනි බුලත්සිංහල
- " කෝප නොගන් මා සිරිදේවි"
-ටී.එම්. ජයරත්න
- "කරපින්නාගෙන නුඹෙ දූ දරුවන්"
- විශාරද එඩ්වඩ් ජයකොඩි
- "රණ භූමියේ සෙබළුන් අපේ"
- ආචාර්ය දයාරත්න රණතුංග/ රූපා ඉන්දුමතී
- "පොළොවේ වැලිසේම"
-විශාරද සුනිල් එදිරිසිංහ
- "මල්ලතා හංස සිතුවම්"
-විශාරද අමරසිරි පීරිස්
- "අඩවන් දෑසින් හිමි වැඩ සිටිනා"
-ටී එම් . ජයරත්න
- " ඉන්ද්‍රචාප සැදි සරදවලාවෝ"
-බණ්ඩාර ආතාවුද මොහු විසින් ලියා පටිගත වූ ගීත දෙසීය පණහක පමණ ප්‍රමාණය අතරින්, විශාරද අමරසිරි පීරිස්ට පමණක් ලියූ ගීත විසිහයකි.
" කළු උපනෙත දෙනුවනින් ඉවතලා හිරුදෙස බලමින් පියවි ඇසින් මිරිවැඩි සඟලින් පා මුදවාගෙන මිහිකත සිපගෙන දෙපාමතින් ඔබත් මාත් දිනු මේ පින්බර බිම සව්සිරියෙන් පුරවා රැකගන්න එන්න කුමර කුමරියනේ" 1978 වසරේ ගුවන් විදුලිය මඟින් පැවැත්වූ දීප ව්‍යාප්ත ගීත රචනා තරඟයකින් දෙවන ස්ථානය හිමි කර ගත් මෙම ගීතය රචකයාගේ ප්‍රථම ගීතයයි. ගායනා කරන ලද්දේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි විසිනි.
එවන් හරවත් ගී ලියූ , ඔහුගේ කතාවයි මේ....
" 1950 වසරේ පෙබරවාරි 02 වන දින වැලිගමදී උපන් මා සිප්සත ලැබූයේ රුහුණු තක්සලාව වූ මාතර රාහුල විද්‍යාලයෙනි.පසුව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ජනමාධ්‍ය ඩිප්ලෝමාවත් , ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලේඛකත්ව හා සංනිවේදන ඩිප්ලෝමාවත් ලබා ගතිමි..ගිය මඟ එසේ වී නමුදු , 1969 වසරේදි ආධුනිකයෙකු ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික අංශයට ඇතුලත්ව, පසු කලෙක එහිම යාන්ත්‍රික පරීක්ෂකයෙකු ලෙස 1991 වසර දක්වා සේවය කලෙමි. 1991 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුල විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙසත්,කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිළධාරි ලෙසත්, කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ලේකම් ලෙසත්, ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත හා ප්‍රතිපත්ති අයෝජන ප්‍රවර්ධන හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිළධාරි ලෙසත් , අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙසත්, අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරි වශයෙනුත් සේවය කළෙමි. වසර 20 ට ආසන්න කාලයක් මාධ්‍ය ආයතන හා එක්ව කටයුතු කලත් කිසිකලෙකත් මාගෙ නිර්මාණ දිවිය පිළිබඳව මාධ්‍ය තුළින් ප්‍රචාරයක් ලබා ගැනීමට මා උත්සාහකලේ නැත . එසේ මා පිළිබඳව ප්‍රවෘත්ති පලවුයේද නැත .ඒ නිසාම මා ලියූ ගීත ජනප්‍රිය වූවාට මා ජනප්‍රිය වූයේ නැත. නමුත් දිවයින දිනපතා පුවත්පතේ අජිත් අලහාකෝන් මිතුරාගේ පෙරැත්තය මත එම පුවත් පතේ හා, ලංකාදීප පුවත්පතේ මා පිළිබඳව කෙටි සටහන් දෙකක් පළවූ බව මතකයේ ඇත . මා ගීත රචනා ක්ෂේත්‍රට පිවිසීමද අහම්බයකින් සිදුවූවකි. එකල ගුවන් විදුලිය මඟින් පැවැත්වූ දීපව්‍යාප්ත ගීත රචනා තරඟයකට මා ලියා ඉදිරිපත්කල පද රචනාවකට දෙවන ස්ථානය හිමිවිය . ඒ වෙනුවෙන් මා හට ගුවන් විදුලි යන්ත්‍රයක් තෑගි ලෙස ලැබින .එම ගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා විසින් ගායනා කරනු ලැබීය. පසුව මා ඒ සම්බන්ධව ඇති උනන්දුව නිසාම, ගුවන් විදුලියේ "ගීත රචනා බැංකුව ", හා " සංගීත නව නිර්මාණ " යන වැඩසටහන් සඳහා ගීත රචනා ඉදිරිපත් කිරීමට පෙළඹුනෙමි. එහිදී මාගේ නිර්මාණ වැඩි ප්‍රමාණයක් ගායක ගායිකාවන් විසින් තෝරාගෙන එම ගීත ඔවුන්ගේ සරළ ගී වැඩසටහන් තුළින් ගීත බවට පත්වී , ගුවන් විදුලිය තුලින්ම ප්‍රචාරය වන්නට විය . එකල තෝරාගන්නාලද එක් ගීතයකට මා හට ලැබුනේ රුපියල් තිස්පහක මුදලකි. එසේම ගුවන් විදුලියේ ප්‍රචාරය වන ගීත සඳහා එක් අවස්ථාවකට රුපියල බැගින් ගෙවනු ලැබූ අතර, මාසයකට රුපියල් 20-25 වැනි මුදලක් හිමිවිය .එම මුදල යම් පමණකට එකතුවන්නට හැර එම මුදල් ලබා ගන්නට ආ කල , මගේ අත්සන හොරට යොදා වෙන අයවලුන් විසින් එම මුදල් අරගෙන තිබූ අවස්ථා එමට තිබුණි . මා ඒ පිළිබඳව තැවුනේ හෝ සොයාබැලීමක් කලේද නැත . බොහෝ ගීත මා'තින් ලියැවුනේ මා ලද අත්දැකීම් හා දුටු දසුන් ඇසුරෙනි .1996 වසරේදී ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් මාගේ ගී පද රචනා ඇතුලත් කෘතියක් " ස්නේහයේ නගරයයි" නමින් ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නිකුත්විය . මා විසින් ලියන ලද ," රේල්ලුවේ වැඩපලේ විත්ති "සහ"ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික හා ජාත්‍යන්තර කර්මාන්තපුර " කෘති යුගල එළිදැක්වීම සඳහා කල් යල් බලමින් හිදිමි .විවාහක මා හට දියණියන් දෙදෙනෙකු වන අතර , ඔහුන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ තාවයක් නොමැත . ප්‍රවීණ ගායක ගායිකාවන් නව ගී නොගයන මෙකල, ප්‍රවීණයන්ට ගී ලිවීමටද අවස්ථා නොමැතිවීම පිළිබඳව ඇත්තේ කනගාටුවකි .ගෙවුන අතීතය සිහිපත් කරමින් , විශ්‍රාමිකව වර්තමානයේ කල් ගෙවමි." ඒ ඔහුගේ දීර්ඝ කතාවේ සංෂිප්තයයි . ඔහු කතාවට රුසියෙකි . සොඳුරු හිතවතෙකි. වර්තමාණ ගීත නිර්මාණකරුවන්ට මෙය ආදර්ශයක් වේ යැයි සිතමි. ඔබට සුබ අනාගතයක් වේවා.
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු 2020/09/09