ෆුවා මුලාකු හැවිට්ටා

විකිපීඩියා වෙතින්
ෆුවා මුලාකු හැවිට්ටා; එච්. සී. පී. බෙල් විසිනි, 1922.

ෆුවා මුලාකු හැවිට්ටා (ඓතිහාසිකව ධාඩිමාගි හැවිට්ටා) යනුවෙන් හඳුන්වනු ලබන්නේ බෞද්ධ චෛත්‍යයක නටබුන් ය. මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ නෂ්ටාවශේෂ වූ ස්තූපයක්[1] වන අතර මෙම හැවිට්ටාව පිහිටා ඇත්තේ මාලදිවයිනේ ෆුවාමුලාහි ඊසානදිග අන්තයේ ය. මෙය පිහිටියේ දූපතේ ධාඩිමාගු ඓතිහාසික‍ කොට්ඨාස සීමාවේ ය. 1990 දශකයේ අග කාලයේ සිට, මෙම ප්‍රදේශය හොආධාඩු කොට්ඨාසයට අයත් යැයි සලකා ඇත.

1922දී, බෙල් විසින් මෙම විශාල හැවිට්ටාව සොයාගන්නා විට එය අඩි 40ක් පමණ උසින් යුක්ත විය. එයට යාබද ව අඩි 15ක් පමණ උසින් යුත් කුඩා ගොඩැල්ලක් පිහිටා තිබිණි‍. නමුත් 1982 වන විට, වටිනා පුරාවස්තු සොයාගැනීමේ අරමුණින් සිදු කරන ලද අපරික්ෂාකාරී කැනීම් සහ අයෝග්‍ය පර්යේෂණ ව්‍යාපෘති හේතුවෙන් එහි හැඩිය බෙහෙවින් විනාශයට පත් වී ඇත. දූපත් වාසීන්ගේ වාර්තා අනුව ඒවා 1940 දශකයේ සිදු වූ ඒවායි.[2][3]

ගවේෂකයින්[සංස්කරණය]

එච්. සී. පී. බෙල්[4] 1879දී මාලදිවයින වෙත පැමිණ තිබූ අතර,[5] 1920දී අවසන් වරට ද ඔහු දූපත් වෙත පැමිණියේ ය. එහි දී ඔහු නිගමනයකට පැමිණියේ ක්‍රි.ව. 1153දී මාලදිවයින් දූපත් වාසීන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට පෙර සැබැවින්ම ඔවුන්ගේ ආගම වූයේ බුදු දහම බවයි. 1922 පෙබරවාරි මස, ඔහු ෆුවාමූලා දූපත වෙත පැමිණි අතර, හැවිට්ටාවේ නටබුන් මඳ කාලයක් අධ්‍යයනය කළේ ය. කෙසේනමුත්, ඔහු දූපතේ නැවතී සිටියේ දින අර්ධයක් පමණි. ඔහු කැනීම් සිදුකළේ ද නැත. 1922 බෙල්ගේ ගවේෂණයේ වැඩිදුර විස්තර 1922-35 අතර කාලයේ රාජකීය ආසියාතික සංගමයේ ජර්නලවල පල විය. එසේම එම තොරතුරු ඔහුගේ මරණින් පසු, 1940 ග්‍රන්ථයක් ලෙස පල විය. මෙමගින් හැවිට්ටා වැනි පූර්ව-ඉස්ලාමික බෞද්ධ ඉදිකිරීම් අසල්වැසි ශ්‍රී ලංකාවේ අනුරූප අංග සමග ඇති සම්බන්ධය ‍සලකා බැලිණි. මෙම හැවට්ටාව සහ අනුරාධපුරයෙහි තමනි නැරඹූ දාගැබ් අතර සමීප සමානත්වයක් ඇති බව බෙල් නිරීක්ෂණය කළේ ය. මාලදිවයින් දූපත් සමූහය පිළිබඳ සිදුකළ එකම වෘත්තීය පුරාවිද්‍යා කැනීම් ලෙස බෙල්ගේ ගවේෂණ සැලකේ. මෙම කැනීම් කටයුතු හා සමගාමීව බෙල් සමහර ඇතැම් දූපත් වෙත ද සංචාරය කොට ඇත.[6]

නෝර්වීජියානු ජාතික තෝර් හෙයර්ඩාල් ද මෙම හැවිට්ටාව වෙත පැමිණ තිබේ. (1982 නොවැම්බර් මස) නමුත් ඔහුට කැනීම් කටයුතු සිදු කිරීමට අවසර දෙනු නොලැබිණි. බෙල්ගේ සංචාරයෙන් පසු මෙම භූමිය ඒ වනවිටත්, වෘත්තී-නොවන කැනීම්කරුවන්ගේ ග්‍රහණයට නතු වීමෙන් හානියට පත්ව තිබිණි. කෙසේනමුත්, හෙයර්ඩාල් සහ ඔහුගේ සගයන් විසින් එම ස්ථානයේම පිහිටා තිබූයේ යැයි සැලකිය හැකි පාෂාණමය කොටස් කිහිපයක් සොයාගන්නා ලදී. මේවා බෞද්ධ ආගමික ගොඩනැගිල්ලක කොටස් යැයි සැලකිය හැකි විය. මීට අමතරව මේ අසලින් තවත් කුඩා ගොඩැලි දෙකක් සොයා ගන්නට හැකි විය. මින් කුඩා ගොඩැල්ල 1982දීත් දූපත්වාසීන්ට ඇස නොගැටී පැවතිණි.[7]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom
  2. Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom
  3. Heyerdahl, Fua Mulaku (German version, Bertelsmann 1986). p. 53.
  4. H.C.P Bell, The Maldive Islands - Monograph on the History, Archaeology and Epigraphy. Colombo 1940, ISBN 99915-3-051-7
  5. On occasion of the wreckage of a british steamer, he had to go to the wrecksite on Gafaru reef and also spent two or three days in Malé. Bethia Nancy Bell, Heather M. Bell: H.C.P. Bell: Archaeologist of Ceylon and the Maldives, p.16.
  6. "Persée". Persee.fr. සම්ප්‍රවේශය 2013-08-20.
  7. Heyerdahl, Fua Mulaku (German version, Bertelsmann 1986). pp. 50ff.

"Maldives" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.

"https://si.wikipedia.org/w/index.php?title=ෆුවා_මුලාකු_හැවිට්ටා&oldid=410171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි