Jump to content

ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකා

විකිපීඩියා වෙතින්


හැඳින්වීම

[සංස්කරණය]

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි‍.එසේ වුවද ආක්‍රමණික විදේශීය බලවේග සහ වෙනත් සාධක නිසා ඇති වු සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන්ටද සමාජයටද බරපතල ගැටළුවක් බවට පත් වී ඇත.මෙවන් වූ සමාජ තත්වයක් මත ළමා අපයෝජන,සියවස් ගණනාවක් පුරා රහසේ ව්‍යාප්ත වෙමින් පැවති උවදුරක් වුවද එය බරපතල සමාජ පිළිලයක් බව හදුනාගෙන ඊට එරෙහි වීමට තරම් අවධානයක් යොමු වූයේ මෑත දශක කිහිපයක සිටය.

80 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාව තුළ ළමා කායික දණ්ඩනය වරදක් බවත්,90 දශකයේ මුල් භාගයේ ළමා ලිංගික අපයෝජනය බරපතල වරදක් බවටත් හදුනා ගනිණි.එතැන් සිට ළමා අපයෝජන වලින් සිදුවන කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අයහපත් බලපෑම් පිළිබඳව කටයුතු කිරීම පිණිසත් ළමුන්ට සිදුකරන විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියා සහ කෲරත්වයන්ට එරෙහිව පියවර ගැනීම සදහාත් ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමග අත්වැල් බැදගනු ලැබිණි.මෙතුලින් ඉහත කී පරිදි ආපදාවන් සමුදායකින් දරුවන් ආරක්ෂා කරලීම සදහා පවත්නා වු නීතිමය රාමුව විදහා දැක්වීම අරමුණයි.


ළමයා යනු කවරෙක්ද?

[සංස්කරණය]

ss"අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය."

"මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ඔහුය"

"විශ්වයේ ශේෂ්ඨතම නිර්මාණය ඔහුය."

මෙවන් සාහිත්‍යමය නිර්වචනයන්ට පාත්‍ර වු ළමයා නිර්වචනයකට හසුකළ නොහැකි තරම්ය. 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරලම අදහස නම් "නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය".

ළමුන් ආරක්ෂා කිරීම පිළිබදව ජාත්‍යන්තර නීති තත්වය

[සංස්කරණය]

සංවර්ධනාත්මක අවධියක් ලෙස ළමාවිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම සදහාද ළමයින්ට හිමි මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිමය රාමුවක් සලසාදීමේ අරමුණින් වර්ෂ 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබදව ප්‍රඥප්තිය (CRC) සම්මත කර ගන්නා ලදි. මෙම ප්‍රඥප්තිය වගන්ති 54කින් සමන්විත වන අතර මුල් වගන්ති 42 මගින් ළමයා පිළිබඳව නිර්වචනය, ළමුන්ගේ අයිතිවාසිකම්, ළමුන්ගේ ආරක්ෂාව, සම්බන්ධව දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් වෙත පවත්නා වගකීම විස්තර කර ඇත.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ළමා අයිතිවාසිකම්

[සංස්කරණය]

ළමා අයිතිවාසිකම් පිළිබඳව අණ පනත් පැනවීම යටත් විජිත යුගයේ සිටම දක්නට ලැබුණු අතර වර්ෂ 1883 දී මුල් වරට සංග්‍රහ කරන ලද දණ්ඩනීති සංග්‍රහයේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබදව ප්‍රතිපාදන දැක්වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 75 සහ 76 වගන්ති අනුව වයස අවු:8ට අඩු දරුවකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් හෝ ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවු: 8 ට වැඩි නමුත් 12 ට අඩු දරුවකු විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් නීතිය අනුව අපරාධයක් ලෙස නොසැලකේ. එමෙන්ම වයස අවු:12ට අඩු දරුවකු දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු විසින් අතහැර දැමිම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන තවත් පනත් වන අතර ,1939 දී පනවන ලද ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනතද, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැලැක්වීම සදහා වන පනතද වැදගත් පනත් වේ.

මේ පනත අනුව යම් පුද්ගලයකු විසින් අවුරුදු 14 ට අඩු දරුවකු සේවයෙහි යෙදවීම දඩුවම් ලැබිය හැකි වරදකි.එසේ වුවද වර්තමාන සමාජයේ බරපතල සමාජ උවදුරක්ව ඇති ළමා අපචාරයන් වැලැක්වීම සදහා පැවති නීතිමය රාමුව කිසිසේත් ප්‍රමාණවත් නොවීය. මේ නිසා ළමුන් සම්බන්ධව සම්මත කරන ලද ඉතා වැදගත් මෑත කාලීන පණත් 05ක් පිළිබදව අවධානය යොමු කර ඇත.

1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනත

[සංස්කරණය]

මෙහි විශේෂත්වය වනුයේ ළමා අපචාර පිළිබද වැරදි සම්බන්ධයෙන් පැනවිය හැකි උපරිම දඩුවම පමණක් නොව අවම දඩුවමද නියම කිරීමය. මෙම පනත මගින් අපරාධ වරදවල් ලෙස නිර්වචනය කර ඇති දේ:

*ළමයින් කෲර වධහිංසා වලට භාජනය කිරීම.

*ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම.

*ලිංගික අපචාරයන් සදහා ළමුන් සැපයීම.

*අසත්‍යය හෝ අශ්ලීල දර්ශනයකට හෝ ප්‍රකාශනයකට ළමයකු යොදා ගැනීම හෝ ඒ සදහා අනුබල ලබා දීම.

*එවැනි ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම, විකිණීම බෙදා හැරීම හෝ ඒ සදහා අනුබල දීම.


1998 අංක 27 දරණ අධිකරණ (සංශෝධන) පනත

[සංස්කරණය]

මෙම පනත මගින් ව්‍යවස්ථාපිත, ස්ත්‍රී දුෂණය හෙවත් වයස අවු 16ට අඩු ළමයකු දුෂණය කිරීම සම්බන්ධ නඩු කටයුතු වලදී මූලික

සාක්ෂි විභාගය යන අවශ්‍යතාවය ඉවත් කොට ඇත.මෙමගින් ළමා අතවර පිළිබද නඩු කඩිනම් කිරීමටත්, අතවරයකට ලක් වූ ළමයාට නැවත නැවත ස්වකීය සාක්ෂිය ඉදිරිපත් කිරීමේ කටුක අත්දැකීම් අවම කිරීමටත් හැකියාව ලැබී ඇත.

1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත

[සංස්කරණය]

මෙම පනත මගින් පහත සදහන් කාරණ සම්බන්ධයෙන් වයස අවු :18ට අඩු ළමයින් යොදවා ගැනීම ඉතා බරපතල අපරාදයක් ලෙස නිර්වචනය කර,දඩුවම්ද නියම කොට ඇත.

*ළමුන් සිඟා කෑම සදහා යෙදවීම.

*ලිංගික සංසර්ගය සදහා ළමුන් කුලියට ගැනීම, සේවයේ යෙදවීම.

*සීමිත භාණ්ඩ, එනම් විෂ ද්‍රව්‍ය, අබිං හා වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා ළමුන් යොදවා ගැනීම.


1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත

[සංස්කරණය]

මෙම පනත මගින් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනු ලබන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නම් ආයතනය පිහිටුවා ඇත. මෙහි අරමුණු:

*ළමා අපචාර වැලැක්වීම.

*අපයෝජනයට ගොදුරු වු ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම.

*ළමා අපයෝජනය පිටු දැකීම සදහා වන ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග සකස් කිරීම .

*සම්බන්ධීකරණය හා කළමණාකාරීත්වය.

ගොනුව:Safe baby.jpg

2005 අංක 34 දරණ ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත

[සංස්කරණය]

මෙම පනත පැනවීමේ මුඛ්‍ය පරමාර්ථය නම් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිටු දැකීමයි. ශාරීරික හෝ මානසිකව සිදුවන හෝ සිදුවීමට ඉඩ ඇති ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාවකටම එරෙහිව පියවර ගැනීම සදහා මෙම පනත යටතේ ප්‍රතිපාදන සලසා ඇත.

මෙම පනතෙහි නියම කර ඇති ආකාරයට අයදුම් පත්‍රයක් පුරවා අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප්‍රචණ්ඩත්වයට එරෙහිව තහනම් නියෝගයක් අයැද සිටිය හැක.ළමුන්ට කාන්තාවන්ට පමණක් නොව ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්වන ඕනෑම පාර්ශවයකට මෙමගින් සහනයක් අයැද සිටිය හැක."ආරක්ෂක ආඥාවක්" ලෙස හදුන්වන ලබන ඉහත කී තහනම් බන්ධනය කඩකිරීම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.

ගොනුව:5boys.jpg





ළමා අපචාර හෝ අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දිය යුතු ආයතන

[සංස්කරණය]

*පොළිස් ළමා හා කාන්තා කාර්යංශය.

*ජාතික ළමා ආරක්ෂක අධිකාරිය.

*කම්කරු කොමසාරිස්. පරිවාස කොමසාරිස්

"ඉටු කරමු යුතුකම් රැක ගනිමු හිමිකම්"

[සංස්කරණය]

ළමා අයිතිවාසිකම් ගැන කතා කරනු ලබන සෑම අවස්ථාවකදීම ළමුන්ගේ යුතුකම් හා වගකීම් අමතක නොකල යුතුයි.ළමයකු සතු අයිතිවාසිකම් මෙන්ම අනෙකුත් ළමුන් හා වැඩිහිටියන් කෙරෙහි ළමයා සතු යුතුකම් හා වගකීම්ද අත්හළ නොහැකිය.

උදා: සෑම ළමයකුටම මානසික හෝ ශාරීරික දඩුවම් වලින් වැලකීමේ අයිතිවාසිකමක් තිබෙනවා මෙන්ම ඒ සමගම දෙමාපියන්ට,ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට ගරු කිරීම ළමයකුගේ යුතුකමක් හා වගකීමක්ද වේ.

කිසිදු තැනැත්තෙකු ස්වකීය යුතුකම් හා වගකීම් ඉටු නොකර අයිතිවාසිකම්වල පිළිසරණ පැතීම නිෂ්පල ක්‍රියාවකි. පාසලේදී නිවසේදී හා සමාජයේදී පළමුව ස්වකීය යුතුකම් හා වගකීම් ඉටුකොට දෙවනුව අයිතිවාසිකම් පිළිබඳව සැළකිලිමත් වීම සෑම ළමයකුගේම වගකිමයි.



උපුටා ගැනීම;

[සංස්කරණය]

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය හා අනුබද්ධව පැවති

ඒක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් තොරතුරු ඇසුරෙන්

සබැදි පිටු:

[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]