හෝර්ටන් තැන්න (මහ එලිය)

විකිපීඩියා වෙතින්
හෝර්ටන් තැන්නට යන මාර්ගය

මෙම ලිපිය හෝර්ටන් තැන්න හෙවත් මහ එලිය (ගෝණ තැන්න) ඉතිහාසය ගැන ලියවී ඇති අතර ඔබට හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ගැන දැනගැනීමට, එම විකිපීඩියා ලිපිය වෙත මෙතනින් පිවිසෙන්න.

පිහිටීම[සංස්කරණය]

මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට ඉහලින් පිහිටි මහ එළිය හෙක්ටාර 3169ක වපරිසයෙන් යුතුයි. මහ එළිය යටත් විජිත සමයේ "එල්ක් ප්ලේන්ස් - Elk Plains" හෙවත් ගෝනුන් බහුල තැන්න ලෙසද හැඳුන්වුනේ මෙහි දකින්නට ලැබෙන සැම්බර් නැමති ගෝනුන් විශේෂය (Sri Lankan sambar deer - Rusa unicolor unicolor) නිසයි.

පැරණි ලාංකිකයින්ට මහ එළියත්, යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය දඩයක්කරුවන්ට ගෝන තැන්නත් වූ මේ අපූර්ව භූමිය හෝර්ටන් තැන්න වූයේ, 1831 සිට 1837 දක්වා ආණ්ඩුකාරයා වූ විල්මොට් හෝර්ටන්ට ගෞරවයක් ලෙස බව ප්‍රසිද්ධයි. බොහෝදෙනා නොදන්නා කාරණයක් වන්නේ, ආණ්ඩුකාරයා ලෙස රාජකාරිකල සමයේ විල්මොට් හෝර්ටන් සබරගමුවේ රටේ මහත්තයා හමුවෙන්නට 1836දී මහ එළිතැන්නට පැමිණි බවයි. ඊට පස්සේ කිහිප වතාවක්ම මහ එළියේ සංචාරය කොට,එහි සුන්දරත්වය හා ජලපෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වැදගතකම නිසායෙන් එය ආරක්ශාකිරීමට විවිධ පියවරයන් ගත්බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා.

1969 දෙසැම්බර් 5 වැනිදා රක්ශිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කෙරුනු ගෝන තැන්න හෙවත් මහඑළිය හෙවත් හෝර්ටන්තැන්න 1988 මාර්තු ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කෙරුනා. [1] [2]

ගෝන හා ඇත් දඩබිම[සංස්කරණය]

මහ එලිය හෙවත් ගෝන තැන්න බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් අතර ජනප්‍රිය දඩබිමක් වූවා. විශාල ගෝනුන් මෙන්ම දැන් වඳවී ඇති අලිඇතුන් රංචුපිටින් මෙහි දකින්නට ලැබුණු අතර උඩරට ධනවත් වතුහිමියන් මෙහි දඩයම් ආවා. එලෙස පැමිණි දඩයම් කණ්ඩායම්වලට පහසුකම් සැපයීම සඳහා දඩයම් නිවහන් (hunting lodge) දෙකක් මෙහි තිබුණා. ඒ තෝමස් ෆා පිහිටවූ "ෆා ඉන්" නම් දඩයම් නිවහනත් ඇන්ඩර්සන් වතුපාලකයා ඉදිකල "ඇන්ඩර්සන් දඩයම් නිවහනත්ය"

තෝමස් ෆා ඉදිකල "ෆා ඉන්" නිවහන අද හෝර්ටන් තැන්නේ ලෝකාන්ත මංපෙත ආරම්භයේ ඇති සංචාරක තොරතුරු මධ්‍යස්ථානය බවට පත්වී තිබෙනවා. ඇන්ඩර්සන්ගේ දඩයම් නිවහන අද වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන "ගිණිහිරිය සංචාරක නිවහන" බවට පත්වී තිබෙනවා.

බේකර් ඇල්ලෙන් සිහිකරන සැමුවෙල් බේකර්[සංස්කරණය]

1846 සැමුවෙල් බේකර් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නුවර එලියේ මහගස්තොට විශාල ගොවිපොලක් ආරම්භකලා. දක්ෂ දඩයක්කරුවෙකු වූ බේකර් ඔහු ලියූ "The Rifle and the Hound in Ceylon (1853)" හා "Eight years wanderings in Ceylon (1855)" නම් පොත්වල මහ එලියේ ගෝනුන් දඩයම්කල හැටි විස්තර කර තිබෙනවා. මහ එලියේ ඇති බේකර් ඇල්ල, සැමුවෙල් බේකර් සිහිවීමට නම්කර තිබෙනවා.

ලංකාවෙන් පිටව ගිය සැමුවෙල් බේකර් අප්‍රිකාවේ ගවේෂණ චාරිකාවල යෙදෙමින් එකල අභිරහසක්ව පැවති නයිල් ගඟ ආරම්භවන ජල මූලාශ්‍රය සොයා ගත්තා. ඒ 1862දී. අප්‍රිකාවේ සිදුකල අති දුශ්කර දේශාටන චාරිකාව හා එහිදී සිදුකල වැදගත් සොයාගැනීම් නිසා 1866දී සැමුවෙල් බේකර්ට නයිට් පදවිය හිමිවූ අතර ඉන්පසු සර් සැමුවෙල් බේකර් ලෙස හැඳින්වෙන්නට වුනා. අප්‍රිකාවේ සිදුකල ගවේෂණයන් සිහිවීමට උගන්ඩාවේ කඳුවැටියක් "මවුන්ට් බේකර්" ලෙස නම්කොට තිබෙනවා.

හෝර්ටන් තැන්නේ ජෛව විවිධත්වය[සංස්කරණය]

මහ රත්මල්, හෝර්ටන් තැන්න

දෙසැබර් අගසිට අප්‍රේල් මුල් කාළය වනතෙක් වියළි කාළගුණයක් පවතින මහ එළියට නිරිතදිග හා ඊසානදිග මෝසම් වර්ෂා දෙකෙන්ම වැසි ලැබෙන අතර මිලිමීටර් 5000ක පමණ වාර්ශික වර්ෂාපතනයක් ලැබෙන අතර ලංකාවේ බොහෝ ප්‍රධාන ගංගාවල ජලපෝෂක ප්‍රදේශයක් ලෙසින් ඉතා වැදගත් වනවා. සෙන්ටිග්‍රේඩ් 15ක සාමාන්‍ය උශ්ණත්වයක් පවතින මහ එළියේ උශ්ණත්වය දෙසැම්බර් හා ජනවාරියේ සෙන්ටිග්‍රේඩ් 2-3 දක්වා පහත බසින අතර හිම තුහිණ (frost) දකින්නට හැකිවනවා. පතන ලෙසින් හැඳින්වන තෘණ භූමිය වටකොට කඳුකර වළාකුළු වනාන්තර (montane cloud forests) ලෙස හැඳින්වෙන මිටි ගස්වලින් යුතු වනාන්තර වලින් මහ එළිය සමන්විත වනවා.

මහවැලි, කැළණි හා වළවේ ගංගාවල ආරම්භක ජල පහරවල් හෝර්ටන් තැන්නෙන් ආරම්භවන නිසා ජලපෝෂක ප්‍රදේශයෙක් ලෙස මෙහි වැදගත්කම හිතා ගන්න පුලුවන්.

මහඑළිය ජාතික වනෝද්‍යාන භූමිය වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාළණය වන අතර, එයවටා ඇති හෙක්ටාර 18,000කින් පමණ වන රක්ශිත වනාන්තර භූමිය වන සංරක්ශණ දෙපාර්තමේන්තුව මගින් පාළණය වනවා. මහ එළියේ ජෛව පද්ධති 4ක් දකින්නට ලැබෙන අතර ඒවා

  • කඳුකර වළාකුළු වනාන්තර,
  • පතන් හෙවත් තෘණභූමි,
  • වගුරු
  • විල්ලු හෙවත් නොගැඹුරු ජලාශ

යන ජෛව පද්ධතියි. මහ එළියෙන් පෝෂණය වන ජළධාරා අතර මහවැලියේ ප්‍රධාන අතු-ගංගාව වන ආගාර ඔය, කැළණි ගඟේ ආරම්භය වන බගවන්තලා ඔය හා වළවේ ගඟේ ප්‍රධාන අතු-ගංගාව වන බෙළිහුල් ඔය වනවා. ලංකාවේ දෙවැනියට හා තුන්වැනියට උසම කඳු වන කිරිගල්පොත්ත හා තොටුපොල කන්ද මහ එළිය පෙනෙන මානයේ පිහිටා තිබෙනවා.

මහ එළියේ ඇවිදින ඔබට තද දම් පැහැති බිනර මල් දකින්නට පුළුවන්. ඒවගේම රතුපාට මහ රත්මල්ද දකින්නට පුලුවන් වෙනවා. ඒවගේම වසර 12-14 වරක් පමණක් මල් පිපෙන නෙල්ලු පැලෑටියද මහ එළියට ආවේණිකයි. නෙල්ලු පිපෙන කාළය වසර 12කට වරක් බව මුලින්ම අනාවරණය කරගත්තේ මහ එලියේ "ෆා-ඉන්" ගිමන් හල පවත්වාගෙන ගිය තෝමස් ෆා විසිනුයි. 1881, 1893, 1905 කාලාන්තරවල නෙල්ලු මල් පිපීම නිරීක්ශණය කල තෝමස් ෆා, 1912දී ලංකාවෙන් පිටත්ව යනවිට නෙල්ලු මල් 1917 යලිත් පිපෙන බවට අනාවැකියක් පලකොට පිටත්වූ අතර එය සැබෑ කරමින් 1917දී මහ එළිය නෙල්ලු මලින් වැසී ගියා. අවසාන වරට නෙල්ලු මල් පිපුනේ 2013 වසරේදී. යලිත් ඒ මල් දකින්නට ලෙබෙන්නේ 2024 හෝ 2025 සැප්තැම්බර්-දෙසැම්බර් කාළයේදී.

කීන (calophyllum walkeri) වල්කුරුඳු (wild cinnamon - cinnamomum ovalifolium) හා පොල්කටු ගහ (elephant ear tree - actinodaphne speciosa) ලෙස හැඳින්වෙන ගස්වර්ග මහ එළියේ වලාකුළු වනාන්තරවල බහුලව දකින්නට ලැබෙනවා. ලංකාවේ කුඩාම උණ ශාඛය වන කුරු උණ (dwarf bamboo - sinarundinaria densifolia) මහ එළියට ආවේණික තවත් ශාකයක්. මීට අමතරව බ්‍රිතාන්‍යයන් හඳුන්වාදුන්, දැන් ආක්‍රමණික ශාක බවට පත්වතිබෙන යුරෝපියන් ගෝස් (european gorse - ulex europaeus) නම් කුඩා කහමල් පිපෙන කටුපඳුරු, වැරැල්ල නම් ජලජ ශාකය හා කිකුරිය (pennisetum clandestinum) නම් අප්‍රිකානු තෘණ වර්ගයද බහුලව දැකිය හැකියි. ජනප්‍රවාදයේ විධියට යූලෙක්ස් ලංකාවට ගේන්නේ තෝමස් ෆා . අද හෝර්ටන් තැන්නේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය බවට පත්වෙලා තියෙන ඔහුගේ "Thomas Farr Inn " බංගලාවේ මල් වැටට හිටවන්න ගෙනාපු යූලෙක්ස්දැන් තැන්න පුරාම පැතිරිලා.

ගෝනුන්ට අමතරව රතු උණහපුළුවා, ලංකා දිවියා, දිය බල්ලා හා දඬුලේනා දැකගන්නට පුළුවන්. ඊට අමතරව කළු වඳුරා, රිලවා හා වළසුන්ද ඉඳහිට දකින්නට පුලුවන්. අතීතයේදී මහ එළියේ අතිවිශාල අලි ඇතුන් ගහණයක්ද වාසය කොට ඇතත් මීට වසර 70කට පමණ පෙර සිට මහ එළිය ප්‍රදේශයේ ඇතුන් දකින්නට ලැබී නෑ.

බටහිර හා දකුණු යුරෝපය නිජබිම කරගත් යූලෙක්ස් - Common Gorse (Ulex europaeus)  යුරෝපීයයන් පදිංචියට ගිය ලංකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව වගේ රටවල පැතිරුනා. යූලෙක්ස් වැඩිවශයෙන්ම දකුණු යුරෝපීය කාළගුණයට සමාන කාළගුණයක් තියෙන නුවර එලිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ප්‍රදේශයේ වැවෙන අතර දැන් ආක්‍රමණික ශාකයක් ලෙස හඳුනාගෙන තියෙනවා. කහ පාට මලක් පිපෙන මේ ආක්‍රමණිකයා ශීඝ්‍රයෙන් පැතිරෙමින් ආවේණික ශාකවලට ඇති ඉඩකඩ අහුරනවා. [3] [4] [5]

හෝර්ටන් තැන්නේ විසූ බලංගොඩ මානවයා[සංස්කරණය]

බලංගොඩ මානවයා හෝර්ටන් තැන්නේ දඩයමේ යෙදුනු බවටද පුරාවිද්‍යාඥයින් සාක්ශි සොයාගෙන තිබෙනවා. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයෙන් බලංගොඩ මිනිසා භාවිතා කලා යයි සැක කෙරෙන කුඩා ගල් ආයුධ (microlith stone tools) හමුවී තිබෙනවා. මේ පිලිබඳව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ලෝකාන්ත මංපෙතෙහි (worlds end trail) පිවිසුමේ පිහිටා ඇති සංචාරක තොරතුරු මධ්‍යස්ථානය හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයාගේ ක්‍රියාකාරකම් පිලිබඳව මූලික තොරතුරු සපනයවා.

කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතා 2006 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වුනු ඉපැරණි කෘෂිකර්මාණ්තය පිලිබඳව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වූ "First Farmers in Global Perspective" සම්මන්ත්‍රණයට ඉදිරිපත් කල "The emergence of early agriculture in the Horton Plains, central Sri Lanka" පර්යේෂණ නිබන්ධනය හෝර්ටන් තැන්නේ දඩයම් කරමින් සිටි බලංගොඩ මානවයා දඩයමට අමතරව ගොවිතැන් කිරීමද අරඹමින් පලමු ගොවීන් බවට පරිවර්තනය වෙමින් සිටි බව විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරයි. පර්යේෂණ නිබන්ධනයේ අරමුණ පැහැදිලි කිරීම සඳහා ආචාර්ය ප්‍රේමතිලක මෙලෙස පවසයි "The attempt of this paper is to give an account on the early evidence of agriculture in the form of palaeo-ecological findings in the Horton Plains, central Sri Lanka, and its links to climate change and archaeology..." [6]

බලංගොඩ මානවයා වසර 31,000කට පෙර සිටම ශිලා ආයුධ නිර්මාණයක කරගැනීමේ තාක්ශණය බිහිකොට ගෙන තිබූ බව ආචාර්ය ප්‍රේමතිලක තවත් පර්යේෂකයින් ගණනාවකගේ පර්යේෂණ නිබන්ධන උපුටා දක්වමින් පෙන්වා දෙයි. බලංගොඩ මානවයාගේ ගල් ආයුධ හෝර්ටන් තැන්නෙන් හමුවී අතර බලංගොඩ මානවයා ගල් ආයුධ නිර්මාණය කරගත්තේ යුරෝපයේ ගල් යුගයේ මිනිසා ආයුධ නිර්මාණය කරගැනීමට සෑහෙන කාලයකට පෙර බවද එහි සඳහන් වේ.

එමෙන්ම ආචාර්ය ශීරාන් දැරණියගල මහතාගේ පර්යේෂණයක් උපුටාදක්වන ප්‍රේමතිලක, ඒ කාලය වනවිට බලංගොඩ මානවයා බල්ලන් හීලෑ කරගෙන සිටි බවට සාක්ශද ලැබී ඇතැයි සඳහන් කරයි.  හෝර්ටන් තැන්නේ තමන් සිදුකල පර්යේෂණයේ ප්‍රථිපල සාරාංශගත කරන ආචාර්ය ප්‍රේමතිලක, හෝර්ටන් තැන්නේ පස් සාම්පල වලින් ලැබුණු පාෂාණිභූත පරාග (මල් රේණු ) රේඩියෝ-කාබන් ක්‍රමයට කාළනිර්ණය කිරීමෙන්  එම පරාග ක්‍රි.පූ 5000 (මීට වසර 7000කට පෙර) කාළයට අයත් බව සනාතවී ඇති අතර ඒ අනුව හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයා ගිණිතබා පස සකස්කොට සිදුකරන හේන් ගොවිතැන් ක්‍රමයට (slash & burn cultivation) බෝග වගාකොට ඇති බවත් මෙම බෝගවල පරාග අතර පැරණි කැලෑ සහල්වලට (wild rice) අයත් පරාගද විශාල ලෙස හමුවූ බැවින් බලංගොඩ මානවයා මීට වසර 7000කට පෙර හෝර්ටන් තැන්නේ හේන් ගොවිතැන් ක්‍රමයට වීවගාවේ යෙදෙන්නටද ඇතැයි අනුමාන කලහැකි බව පවසයි. මීට පෙර වී වගාව, යකඩ නිශ්පාදනය හා අශ්වයින් හා වෙනත් ගෘහාශ්‍රිත සතුන් ඇතිකිරීම පිලිබඳව සාක්ශි හමුවී ඇත්තේ ක්‍රි.පූ 900 නම් මීට වසර 2900කට පමණ පෙර අනුරාධපුරයෙනි. [7]

ආචාර්ය ආර්. ප්‍රේමතිළක හෝර්ටන් තැන්නේ සිදුකල පර්යේෂණයේ විස්තර[සංස්කරණය]

සාම්පල ලබාගත් ස්ථානය: ඉතා සැලකිල්ලෙන් තොරාගත් මඩ ගොහොරුවකිනි (mire).

සාම්පල ප්‍රමාණය හා යොදාගත් උපක්‍රමය: සාම්පල 36ක් ලබාගත් අතර මේවා සෙන්ටිමීටර් 5ක විශ්කම්භයකින් යුතු රුසියාවේ නිශ්පාදිත පස් සාම්පල ලබාගැනීමේ උපකරණයක් භාවිතා කරණ ලදී (Russian peat corer).

සාම්පල විශ්ලේෂණය : ලබාගත් සාම්පල; පරාග, බීජාණු, ඓන්ද්‍රිය කාබන් (organic carbon), ස්ථාවර කාබන් (ඓන්ද්‍රීය නොවන කාබන්) හා ඛණිජමය ගුණයන් සොයා බැලීමේ විශ්ලේෂ්ණයන් හට බඳුන්කොට ඇත. එමෙන්ම ඒවායින් ලැබුණු කාබණික ද්‍රව්‍ය රේඩියෝ-කාබන් කාළ නිර්ණයන්ට භාජනය කරන ලදී.

රේඩියෝ කාබන් කාළ නිර්ණය: ලබාගත් පස් සාම්පල වලින් කොටස් 14ක් කාබන් කාළ නිර්ණය සඳහා ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ ඇන්ග්ස්ට්‍රෝම් පර්යේෂණාගාරයට (Ångström Laboratory, Uppsala University, Sweden) යවන ලදී.

පර්යේෂණ ප්‍රථිපල වලින් එළඹිය හැකි නිගමන:

[1] ලැබී ඇති පාශාණිභූත පරාග හා වෙනත් ඓන්ද්‍රීය ශාක කොටස් වලින් ලැබෙන සාක්ශි අනුව ක්‍රි.පූ 15,000-14,000 (අදින් වසර 16,000-17,000ට පෙර කාළයේ) හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයින් බාර්ලි හා ඕට්ස් යන ධානය වගාකිරීම ආරම්භ කල බවට සාක්ශි තිබේ.

[2] එම කාළයේදී හෝ ඊට පසු කාළවකවානු වලදී සතුන් ගාල්කොට තබාගෙන ඇති කොට ඇති බවට සාක්ශි හමුවී ඇත.

[3] ධාන්‍ය වගා සඳහා කැළෑව ගිණිතබා හෙළිපෙහෙලි කල බවට කාබනික සාක්ශි සටහන්වී ඇත.

[4] ක්‍රි.පූ. 11,000 වනවිට හෝර්ටන් තැන්නේ ආදි මානවයින් වඩාත් විස්තීරණ ලෙස ගොවිතැන් කිරීමට පටන්ගත් බව ලැබී ඇති කාබණික, පරාග හා නයිට්‍රජන් සංයුතිය අනුව නිගමනය කරගෙන ඇත.

[5] ක්‍රි.පූ.8000-7000 කාළය වන විට බාර්ලි හා ඕට්ස් වගාව අදාල පරාග ගහණය අඩුවෙමින් ඇති අතර වී වගාවේදී දැකිය හැකි පරාග ගහණය මේ කාලයේදී වේගයෙන් ඉහල යන්නට පටන් ගෙන ඇත. ඒ අනුව කාළගුණික වෙනස් වීම අනුව හෝර්ටන් තැන්නේ බළංගොඩ මී මුත්තා බාර්ලි හා ඕට්ස් වෙනුවට කැළෑ වී වර්ග වගා කරන්නට පටන්ගෙන ඇති බව නිගමනය කල හැකිය. Oryza eichingeri, Oryza nivara, Oryza rhizomatis යන කැලෑ වී වර්ගවල පරාග හමුවී ඇත. [8]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Horton Plains National Park, From Wikipedia [1]
  2. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය
  3. ගෝන තැන්න, විද්‍යා ගවේෂණ (ටෙරන්ස් කහපොල ආරච්චි) [2]
  4. BIODIVERSITY BASELINE SURVEY:HORTON PLAINS NATIONAL PARK Contributors: S.M.D. Ajantha U. De Alwis (Fish), P. Nihal Dayawansa (Herpetofauna), Ric How (Data Analysis), B.M.P. Singhakumara (Plants), Devaka Weerakoon (Birds), Mayuri R. Wijesinghe (Mammals), Editor: Michael J.B. Green, March 2007 [3]
  5. SYNCHRONIZED FLOWERING AND MASTING BEHAVIOR OF STROBILANTHES (NELU), Yasoja Athugala [4]
  6. The emergence of early agriculture in the Horton Plains, The emergence of early agriculture in the Horton Plains, central Sri Lanka: linked to late Pleistocene and early central Sri Lanka: linked to late Pleistocene and early Holocene climatic changes Holocene climatic changes. R. Premathilake [5]
  7. From wild grass to golden grain: How rice cultivation in Sri Lanka may have been linked to Stone Age man. By Asiff Hussein, The Sunday Times. [6]
  8. Human used upper montane ecosystem in the Horton Plains, central Sri Lanka - a link to Lateglacial and early Holocene climate and environmental changes,September 2012. Rathnasiri Premathilake, University of Kelaniya [7]
"https://si.wikipedia.org/w/index.php?title=හෝර්ටන්_තැන්න_(මහ_එලිය)&oldid=579515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි