Jump to content

හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ

විකිපීඩියා වෙතින්
හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ
ජුලියා මාග්‍රට් කැමරන් විසින් ලොන්ග්ෆෙලෝ 1868 දී
උපත27 පෙබරවාරි 1807(1807-02-27)
පෝර්ට්ලන්ඩ්,මේයින්, ඇමෙරිකා එක්සත් ජනපදය.
විපත24 March 1882(1882-03-24) (වයස 75)
කේම්බ්‍රිජ්, මැසචුසෙට්ස්, ඇමෙරිකා එක්සත් ජනපදය.
වෘත්තියකවියෙකු
මහාචාර්යවරයෙකු
සාහිත්‍යමය සංවිධානයරොමෑන්ටික්වාදය
දරුවන්චාර්ල්ස් ඇප්ල්ටන් ලොන්ග්ෆෙලෝ
අර්නස්ට් වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ
ෆැනි ලොන්ග්ෆෙලෝ
ඇලිස් මේරි ලොන්ග්ෆෙලෝ
ඊඩිත් ලොන්ග්ෆෙලෝ
ඈන් ඇලේග්‍රා ලොන්ග්ෆෙලෝ

අත්සන

හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ (පෙබරවාරි 27, 1807-මාර්තු 24, 1882) ඇමෙරිකානු කවියෙකු සහ අධ්‍යාපනඥයෙකුවු ඔහුගේ කෘති අතර "රෙව්රේස් රයිඩ්", ද සෝන්ග් ඔෆ් හියාවතා හා ඉවැන්ජලීන් විය. එමෙන්ම ඔහු දාන්තේ ඇලිගියෙරිගේ ද ඩිවයින් කොමඩි පරිවර්ථනය කල පළමු ඇමෙරිකානුවා වූ අතර ෆ්යර්සයිඩ් කවියන් පස් දෙනාගෙන් කෙනෙකුද විය.

එසමයෙහි මැසචුසෙට්ස් හි කොටසක් වූ මේයින්, පෝර්ට්ලන්ඩ් හීදී ලොන්ග්ෆෙලෝ උපත ලැබීය. බොව්දොයින් කෝලීජියෙන් උගත ඔහු යුරෝපයේ කලක් විසීමෙන් අනතුරුව බොව්දොයින් හි මහාචාර්ය පදවියටත් ඉන්පසුව හාර්වර්ඩ් කෝලීජියේ මහාචාර්ය පදවියටත් පත්විය. ඔහුගේ පළමු ප්‍රධාන කවි එකතුව වුයේ 1839 දී වොයිසස් ඔෆ් ද නයිට් හා 1841 දී බැලඩ්ස් ඇන්ඩ් අදර් පොයම්ස්. 1854 දී ගුරු දිවියට විශ්‍රාම කියු ඔහු රචනය කෙරෙහි තම අවදානය යොමු කලේ තම ඉතිරි දිවිය, ජෝර්ජ් වොෂිංටන් ගේ පෙර මූලස්ථානයක් වූ කේම්බ්‍රිජ් මැසචුසෙට්ස් හි ගත කරමිනි. ඔහුගේ පළමු බිරිඳ වූ මේරි පොටර් 1835 දී ගබ්සා වීමක් හේතුවෙන් සිය දිවියෙන් සමුගත්තාය. ඔහුගේ දෙවන බිරිඳ වූ ෆ්‍රාන්සෙස් ඇප්ල්ටන් සිය ඇඳුමට ගිනි ඇවිලීමෙන් හටගත් පිළිස්සුම් තුවාල හේතුවෙන් 1861 දී ජිවිතක්‍ෂයට පත් විය. ඇගේ මරණයෙන් අනතුරුව ලොන්ග්ෆෙලෝ හට කාව්‍ය නිර්මාණයෙහි අපහසුතා ඇතිවූ හෙයින් හේ පරිවර්තන කටයුතු වලට සිය අවධානය යොමුකරලීය. 1882 දී හෙතෙම සිය ජීවිතයෙන් සමුගත්තේය.

පුරාණ ප්‍රවාද හා පුරාවෘත්ත කතා ආශ්‍රයෙන් ලියැවුනු, ගීතවත් බව පිලිබඳ ප්‍රකට පදවැල් කාව්‍ය ලොන්ග්ෆෙලෝ ප්‍රමුඛව රචනා කළේය.ඒ සමයෙහි ජනප්‍රියතම ඇමෙරිකානු කවියා ලෙස ප්‍රකට වූ ඔහු දේශීය මෙන්ම විදේශීය රටවල පවා ප්‍රකට විය. කෙසේ නමුත් යුරෝපිය ආරය අනුගමනය කිරීම සහ විශේෂයෙන් පොදු ජනයා පිලිබඳ නිර්මාණ කිරීම සම්බන්ධව ඔහු විවේචනයට බඳුන් විය.

තුරුණු විය සහ අධ්‍යාපනය

[සංස්කරණය]
හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ උපන් ස්ථානය පෝර්ට්ලන්ඩ්, මේයින් 1910.මෙම නිවාසය 1955 දී විනාශ කර ඇත.

ලොන්ග්ෆෙලෝ 1807 පෙබරවාරි 27 වන දින ස්ටීවන් ලොන්ග්ෆෙලෝට සහ සෙල්පා (වර්ඩ්ස්වර්ත්) ලොන්ග්ෆෙලෝට දාව, එසමයෙහි මැසචුසෙට්ස් [1] වලට අයත් දිස්ත්‍රික්කයක් වූ පෝර්ට්ලන්ඩ්, මේයින්[2] හිදී උපත ලබා වර්ඩ්ස්වර්ත්-ලොන්ග්ෆෙලෝ ලෙස හැඳින්වූ ගෘහයේ හැදී වැඩුනේය. ඔහුගේ පියා නීතිඥයෙකු වූ අතර ඔහුගේ මවගේ පියා ප්ලේග් වර්ඩ්ස්වර්ත් ඇමෙරිකානු විප්ලව සටනේ ජෙනරාල්වරයෙකු මෙන්ම කොන්ග්‍රස් සභිකයෙකු [3] ද විය. ඔහුව නම් තැබුණේ ඔහුගේ මවගේ සහෝදරයෙකු වූ හෙන්රි ව්ර්ඩ්ස්ව්ර්ත්ට අනුවයි. හෙතෙම නාවුක හමුදාවේ ලුතිනන්වරයෙකුව සිට එයට වසර තුනකට පෙර ට්‍රිපොලි හි අරගලයේ[4] දී ජීවිතක්ෂයට පත්ව තිබුණි. ළදරු ලොන්ග්ෆෙලෝ ළමුන් අට දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවන දරුවා විය;[5] ඔහුගේ අනෙක් සහෝදර සහෝදරියන් වුයේ; ස්ටීවන් (1805), එලිසබෙත් (1808), ඈන්(1810), ඇලෙක්සැන්ඩර් (1814), මේරි (1816),එලන් (1818) සහ සමුඑල් (1819)ය.

වයස අවුරුදු තුනේදී හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ, ආර්යා පාසලකට ඇතුලත් කරන ලද අතර වයස අවුරුදු සයේදී පෞද්ගලික පොර්ට්ලන්ඩ් විද්‍යාපිඨයට ඇතුලත් කරන ලදී. එහි අධ්‍යාපනය ලබන සමයේ ඉගෙනීමට ලදී ශිෂ්‍යයකු ලෙස ප්‍රකට වූ ඔහු ලතින්[6] භාෂාවේ ව්‍යක්තකයෙකු විය. රොබින්සන් කෲසෝ සහ ඩෝන් ක්වික්සොටික් [7] වැනි කතා හඳුන්වාදීම තුලින් ඔහුගේ මව ඔහු තුල ඇති කියවීමේ සහ ලිවිමේ ආශාව දිරිමත් කළාය.1820 [8] නොවැම්බර් 17 පොර්ට්ලන්ඩ් ගැසට් පත්රයේ පළවූ දේශානුරාගී හා ඓතිහාසික සිව්පද කවයක් වූ " ද බැට්ල් ඔෆ් ලොවෙල්ස් පොන්ඩ්" ඔහුගේ ප්‍රථම මුද්‍රිත කාව්‍ය විය. වයස අවුරුදු දාහතරක් වනතුරු හෙතෙම පොර්ට්ලන්ඩ් විද්‍යාපිඨයෙන් අධ්‍යාපනය ලැබීය. ළමා කල ගිම්හනයෙන් වැඩි කොටසක් ඔහු ගතකලේ බටහිර මේයින් නගරයේ පිහිටි හිරාම් වල වූ ඔහුගේ සීයා ප්ලේග් ගේ ගොවිපළේය.

1822 සරත් සමයේ එවකට 15 හැවිරිදි වියේ පසුවූ ලොන්ග්ෆෙලෝ ඔහුගේ සහෝදරයා වූ ස්ටීවන් [6] සමඟ බ්‍රන්ස්වික්, මේයින් හි පිහිටි බොව්දොයින් කොලීජියට ඇතුලත් කරන ලදී. ඔහුගේ සීයා පාසලේ ආදිකතෘවරයෙකු [9] වූ අතර ඔහුගේ පියා පාසලේ භාරකරුවෙකු විය.[6] එහිදී, පසුකාලීනව ඔහුගේ දිවියේ දිගුකාලීන මිතුරෙකු වන නැදනියෙල් හොව්තොර්න් ඔහුට මුණගැසුණි.[10] කලක් ලොන්ග්ෆෙලෝ දේවගැතිවරයෙකු සමඟ නවාතැන් ගත් අතර පසුව 1823 [11] මේයින් නගර ශාලාව බවට හැරවූ ගොඩනැඟිල්ලේ 3 වන මහලේ කාමරයක නවාතැන් ගත්තේය. ඔහු ෆෙඩරල්වාදී ඉගෙනුම් [12] මත දැරූ ශිෂ්‍ය සංගමයක් වූ පෙයුසීනියන් සංගමය ට බැඳුණේය. ජ්‍යෙෂ්ඨ සිසුවෙකුව සිටියදී ලොන්ග්ෆෙලෝ තම අභිලාෂයන් පියාට ලිපියකින් මෙසේ දැන්වීය:

මම එය කිසිම විදියකින් සඟවන්නේ නැහැ ....සත්‍ය වශයෙන්ම කිවහොත්, මා ආශාවෙන් ප්‍රර්ථනා කරනවා අනාගතයේ කීර්තියක් ලබන්න සාහිත්‍ය තුලින්. ඒ වෙනුවෙන් මගේ මුළු ආත්මයම ප්‍රචණ්ඩ ලෙස දැවෙනවා සහ මාගේ සෑම සිතුවිල්ලක්ම ඒ වටා භ්‍රමණය වෙනවා...මම සහතික ලෙස දැඩිව විශ්වාස කරනවා, මට මේ ලොව තුල නැඟී සිටීමට හැක්කේ මා සතු සාහිත්‍ය පිලිබඳ ඇති දක්ෂතාවයන් ප්‍රගුණ කිරීම තුලින් පමණක් බව.[13]

තෝමස් කොග්ස්වෙල් අප්හෙම් [14] මහාචාර්යවරයාගේ අනුබල දීමට අනුව ගද්‍ය හා පදය නිර්මාණ විවිධ පුවත්පත් හා සඟරා වලට යොමු කිරීම තුලින් ඔහු තම සාහිත්‍ය අභිලාෂයන් ලුහුබැඳ ගියේය. 1824 ජනවාරි සිට 1825 ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය අතර කාලය තුල ඔහු කුඩා කවි පන්ති 40 [15] කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කර තිබුණි. ඉන් පද්‍ය 24ක් කෙටි කලක් ප්‍රකාශනය කෙරුණු බොස්ටන් වාරික සඟරාවක් වූ ඇමෙරිකානු එක්සත් ජනපදයේ සාහිත්‍ය ගැසට් පත්‍රයේ [12] පළවුණි. උපාධි ප්‍රධානයේදී ලොන්ග්ෆෙලෝ පන්තියේ 4 වන ස්ථානයට පත්ව තිබු අතර ගෞරව සංගමයක සමජිකත්වය (ΦΒΚ)[16] සඳහාද තේරී පත්වී තිබුණි . එහිදී ශිෂ්‍ය ආරම්භක කතාව කරන ලද්දේ ද ඔහු විසිනි.[14]

යුරෝපිය සංචාරයන් හා මහාචාර්යධුරයන්

[සංස්කරණය]

1825 උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව බොව්දොයින් කොලීජියට නූතන භෂා පිලිබඳ මහාචාර්ය පදවිය ඔහුට පිරිනැමුණි. අසත්‍යක් විය හැකි නමුත් මෙයට හේතුසාධක වූ කතාව ලෙස සඳහන් වන්නේ, බෙන්ජමින් ඕර් යන වැදගත් භාරකරුවෙකු ලොන්ග්ෆෙලෝගේ පරිවර්තනයක් වූ හොරේස් පිලිබඳ පැහැදී , ඔහු යුරෝපයේ සංචාරය කොට ප්‍රංශ, ස්පාඤඤ හා ඉතාලි භාෂා ඉගෙන ගැනීම යන කොන්දේසි මත රක්‍ෂාවට බඳවා ගත බවයි. අභිප්‍රේරණය කුමක් වුවද ඔහු 1826 මැයි මස දී කැඩ්මස් නෞකාවෙන් සිය යුරෝපා චාරිකාව ආරම්භ කළේය. එතෙර ගතකල කාලය වසර 3ක් වූ අතර ඒ සඳහා ඔහුගේ පියාට ඩොලර් 2 604.24ක් පිරිවැයක් දැරීමට සිදුවිය. 1829 අගෝස්තු මස මද භාගයේ එක්සත් ජනපදයට නැවත පැමිණීමට පෙර හෙතෙම ප්‍රංශය, ස්පාඤඤ, ඉතාලිය, ජර්මනිය, නැවතත් ප්‍රංශය හා එතනින් එංගලන්තයටද සංචාරය කළේය. එතෙර ගතකල කාලයේදී ඔහු මනා උපදේශනයක් රහිතව ප්‍රංශය, ස්පාඤඤ, පෘතුගීසි හා ජර්මන් බසද උගත්තේය. මැඩ්රිඩ් හිදී ඔහුට වොෂිංටන් අර්වින්සමග කාලය ගත කරන්නට ලැබුණු අතර එම කතුවරයාගේ කාර්යයන් හි සදාචාර ප්‍රතිපත්ති පිළිබඳව ඔහුට පැහැදීමක් ඇතිවිය. අර්වින්, තරුණ ලොන්ග්ෆෙලෝ හට ලේඛන කලාව නොනැවතී කරගෙන යාමට අනුබල දුන්නේය. ස්පාඤඤයේ සිටින සමයේ ඔහුට කනගටුදායක සිදුවිමක් දැනගැනීමට ලැබුණි , ඒ ඔහුගේ ප්‍රියතම සොයුරියක වූ එලිසබෙත් ක්ෂය රෝගය හේතුවෙන් විසිවැනි වියේදී සිය දිවියෙන් සමුගත් බවයි.

1829 අගෝස්තු මස බොව්දොයින්හි සභාපතිට ලිපියක් මඟින් ඔහු දැන්ව සිටියේ මහාචර්ය පදවිය ප්‍රතික්ෂේප කරන බවයි එයට හේතුව ලෙස ඔහු දන්වා සිටියේ ඩොලර් 600ක වැටුප ඒ සඳහා කිරිමට ඇති රාජකාරි හා සසඳා බලන කල නොගැළපෙන බවයි. භාරකාර මණ්ඩලය ඔහුගේ වැටුප ඩොලර් 800 දක්වා වැඩි කරන ලද අතර අතිරේකව ඩොලර් 100ක මුදලක් දිනකට පැයක වැඩ සහිත කොලේජියේ පුස්තකාල අධිපති තනතුර වෙනුවෙන් එක් කරන ලදී. කොලිජියේ උගන්වන සමයෙහි ඔහු ප්‍රංශ, ස්පාඤඤ හා ඉතාලි භාෂා ගුරු පොත් පරිවර්තනයෙහි යෙදුණි. 1833 පරිවර්තනය කල මධ්‍යතන යුගයේ ස්පාඤඤ කවියෙකු වූ ජෝර්ජ් මැන්රික් ගේ කාව්‍ය සංග්‍රහය ඔහුගේ පළමු ප්‍රකාශිත පොත විය. එමෙන්ම ඔහු අවුට්රේ-මර්: අ පිල්ග්‍රිමේජ් බියොන්ඩ් ද සි නමින් සංචාරක කෘතියක් ද ප්‍රකාශයන කරන ලදී. එම පොත ප්‍රකාශයට පත් කර කෙටි කලකින් අනතුරුව හෙතෙම නිව්යෝර්ක් හි සාහිත්‍ය කවයට සම්බන්ධ වීමට උත්සහ දැරීය. එමෙන්ම මොරිස් ප්‍රකාශකයන් ගේ කතෘ තනතුරක් පිළිබඳව ජෝර්ජ් පොප් මොරිස් ගෙන් විමසා බැලිය. නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය මඟින් ලොන්ග්ෆෙලෝ හට නුතන භාෂා පිලිබඳ මහාචාර්ය පදවිය පිරිනැමීම සලක බැලීමෙන් අනතුරුව එය වේතනයක් රහිත වුවද ඔහු නිව්යෝර්ක් නගරයේ පදිංචියට පැමිණියේය.මහාචාර්ය පදවිය නිර්මාණය නොවූ හෙයින් හෙතෙම පෙරසේම බොව්දොයින් කොලේජියේ ඉගැන්වීම් කරගෙන ගියේය. එය නීරස රස්සාවක් වීමට ඉඩ තිබුණි. හෙතෙම මෙසේ ලීවේය, "මට පෑනක, තීන්ත හා කඩදාසි වල දර්ශනය පවා අප්‍රසන්න විය... මා ඒවා වෙනුවෙන් ඉපදුන බව මම විශ්වාස නොකලෙමි. මා අරමුණු කර තිබුනේ ඊටත් වඩා එහා යාමටයි."

ලොන්ග්ෆෙලෝ ගේ පළමු බිරිඳ මේරි පොර්ටර්,විවාහයෙන් වසර 4කට පසු මියගියාය .

1831 සැප්තැම්බර් 14, තම කුඩාකල පොර්ට්ලන්ඩ් හි මිතුරියක වූ මේරි පොර්ටර් හා ලොන්ග්ෆෙලෝ විවාහ විය. නොකැමැත්තෙන් වුවද යුවල බ්‍රන්ස්වික් හි පදිංචි විය. 1833 ලොන්ග්ෆෙලෝ සම්පුර්ණයෙන්ම ප්‍රබන්ධිත නොවූ සාහිත්‍ය නිමාණ කිහිපයක් හා ප්‍රබන්ධිත ගද්‍ය කිහිපයක් අර්වින්ගේ අනුබලදීම මත පළ කරන ලදී. ඒවා අතර "ද ඉන්ඩියන් සමර්" හා "ද බෝල්ඩ් ඊගල්" විය.

1834 දෙසැම්බරයේදී ලොන්ග්ෆෙලෝ හට හාර්වර්ඩ් කොලේජියේ සභාපති වූ 3 වන ජොසියා ක්වින්සි ගෙන් ලිපියක් ලැබුණි. එමඟින් ඔහු වසරක හෝ ඊට ආසන්න කාලයක් විදෙස් අධ්‍යාපනය ලබන කොන්දේසිය මත ඔහුට නුතන භාෂා පිලිබඳ මහාචාර්ය පදවිය පිරිනමා තිබුණි. ඒ අනුව ඔහු වැඩිදුර ජර්මන් භාෂාවද එමෙන්ම ලන්දේසි, ඩෙන්මාර්ක්, ස්වීඩන්, ෆින්ලන්ත හා අයිස්ලන්ත යන භාෂා ඉගනීමට අවස්ථාව ලැබුණි. මෙම චාරිකාව අතරතුර 1835 දී ඔහුගේ බිරිඳ මේරිගේ මාස 6ක දරුගැබ ගබ්සාවට ලක්විය, ඉන් සුවනොවූ ඇය සති කිහිපයක් අසනීපයෙන් පසුවී 1835 නොවැම්බර් 29 දින, 22 හැවිරිදි වියේදී සිය දිවියෙන් සමු ගත්තාය. වහා ඇගේ සිරුර සුවඳ කවා ඊයම් මිනීපෙට්ටියක් තුල වූ ඕක් මිනීපෙට්ටියක් තුල බහා බොස්ටන් නගරය අසල පිහිටි අර්බන් මවුන්ට් සුසානභූමියවෙත පිටත් කිරීමට ලොන්ග්ෆෙලෝ කටයුතු කළේය. ඇගේ මරණයෙන් ඔහු දැඩිව කම්පාවට පත්විය, "එක් සිතිවිල්ලක් දිවා-රෑ මා අසල ගැවසෙනවා ....ඇය මියගිහින්-ඇය මියගිහින්! මුළු දවස පුරාම මා වෙහෙසින් හා දුකින්" යනුවෙන් ඔහු ලියා තිබෙනවා. වසර 3කට පසු "ෆූට්ස්ටෙප්ස් ඔෆ් එන්ජල්ස්" නමින් ඇය පිලිබඳ කවියක් ලිවීමට ඔහු පෙළඹී තිබෙනවා. තවත් වසර කිහිපයකට පසු "මෙසෝ කැමින්" නමින් මැදි වියේ ඔහුගේ ජීවන අරගලය පිළිබඳ කවියක් ලියා තිබෙනවා.

1836 එක්සත් ජනපදයට නැවත පැමිණීමෙන් පසු ඔහු හාවර්ඩ් හි මහාචාර්ය පදවිය පිළිගනු ලැබිය. විශ්වවිද්‍යාලයට ආසන්නව පදිංචි විය යුතු හෙයින් කේම්බ්‍රිජ් හි ඔහුගේ වාසය අත්‍යවශ්‍ය විය.ඒ හේතුවෙන් හෙතෙම 1837 වසන්ත සමයේදී ක්රෙයිග් හවුස් හි කාමරයක් කුලියට ගනුලැබිය. වර්තමානයේදී එය ලොන්ග්ෆෙලෝ නිවාස - වොෂිංටන් මුලස්ථානය නමින් ජාතික ඓතිහාසික භූමියක් ලෙස සංරක්ෂණය කර ඇත.1739 දී ඉදිකරන ලද එම නිවාසය, 1775 ජුලි මස ඇරඹි බොස්ටන් හි වටලෑම සිදුවූ සමයෙහි කලක් ජෝර්ජ් වොෂිංටන් විසින් සිය මුලස්ථානය ලෙස යොදාගෙන තිබුනි. ඊට පෙර මෙහි ජෙරාඩ් ස්පාර්ක්ස්, එඩ්වර්ඩ් එව්රේට් හා ජෝශප් එමර්සන් වෝර්සෙස්ටර් වැනි ප්‍රකට පුද්ගලයන් පදිංචි වී සිට ඇත.1839 දී ලොන්ග්ෆෙලෝ වොයිසස් ඔෆ් ද නයිට් කවි එකතුව ඇතුළුව ඔහුගේ කාව්‍ය සංග්‍රහ ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කර ඇත. ආරම්භයේදී පරිවර්තන වලින් සමන්විත වුවද සංස්කරණය කරන ලද වොයිසස් ඔෆ් ද නයිට් කාව්‍ය සංග්‍රහයට ප්‍රකෘති කවි 9ක් ද නව යොවුන් වියේදී ඔහු ලියු කවි 7ක් ද අතිරේකව එක් කළේය. ඒ සමඟම 1841 දී ද "විලේජ් බ්ලැක්ස්මිත්" හා "ද ව්රෙක් ඔෆ් ද හේස්පෙරුස්" එක් කරන ලද බැලඩ්ස් ඇන්ඩ් අදර් පොයම්ස් පොත පල කරන ලදී. කෙටි කලක් තුල ඒවා ඉමහත් ජනප්‍රියත්වයකට පත්විය.ඔහු ප්‍රදේශයේ සමාජ දර්ශනයටද හවුල් විය. එහිදී ද ෆයිව් ඔෆ් ක්ලබ්ස් යනුවෙන් මිතුරු හවුලක්ද ඇතිකළේය. කොර්නේලියස් කොන්වෙයි ෆෙල්ටන්, ජෝර්ජ් ස්ටිල්මෑන් හිලාර්ඩ් හා චාර්ල්ස් සම්නර් එහි සාමාජිකයන් අතර විය. ඉන් චාර්ල්ස් සම්නර් ඊළඟ වසර 30 තුල ලොන්ග්ෆෙලෝගේ සමීපතම මිතුරෙකු විය.මහාචාර්යවරයෙකු ලෙස ඔහු කා අතරත් මහත් ප්‍රසාදයට පත්විය. නමුත් "වැඩුණු මිනිසුන්ගේ මනස සමග පොරබදනවාට" වඩා "නිතර නොපැසුණු කොල්ලන්ගේ ක්‍රීඩා සහයකයෙකු වීමට සිදුවීම" පිලිබඳ හේ නොකමත්තෙන් පසුවිය.

ෆ්‍රාන්සෙස් ඇප්ල්ටන් හා විවාහය

[සංස්කරණය]
1843 දී ලොන්ග්ෆෙලෝ, ෆ්‍රාන්සෙස් ඇප්ල්ටන් හා විවාහ විය.

ස්විට්සර්ලන්තයේ තර්න් නගරයේදී ලොන්ග්ෆෙලෝ හට බොස්ටන්හි කර්මන්තකරුවකු වූ නේදන් ඇප්ල්ටන් හා ඔහුගේ පුතු වූ තෝමස් ගෝල්ඩ් ඇප්ල්ටන් ඇතුළු පවුලේ සැම මුණ ගැසුණි. එතැන් පටන් ඔහු ඇප්ල්ටන් ගේ දියණිය වූ ෆ්‍රාන්සෙස් "ෆැනි " ඇප්ල්ටන් හා සමීප ඇසුරට පෙළඹුණේය. පළමුව නිවහල් මනසක් ඇති ඇප්ල්ටන් මෙනවිය විවාහය පිලිබඳ උනන්දු නුවුවාය.එහෙත් ලොන්ග්ෆෙලෝ නොසැලෙන සුළු විය. 1839 ජුලි මසදී හෙතෙම ලිපියකින් තම මිතුරෙකුට මෙසේ දැන්වා යැවිය: "ජයග්‍රහණය සැක සහිතයි. ඇය අකමැති බව පවසා සිටිනවා, මම බල කර සිටිනවා එසේ කරන ලෙස! එය උඩඟුකම නොවේ, එහෙත් රාගයේ උමතුවයි." ඔහුගේ මිතුරෙකු වූ ජෝර්ජ් ස්ටිල්මෑන් හිලාර්ඩ් ලුහුබැඳීම පිලිබඳ ඔහු උනන්දු කරවිය; "මම මහත් සොම්නසට පත්වෙනවා ඔබ නිර්භිත හදවතක් පවත්වා ගැනීම ගැන, ජයග්‍රහණය පිලිබඳ සමතයකට පැමිණීම ආදරයෙත් යුද්ධයේත් අරගලයේ අර්ධ ජයග්‍රහණයක් පමණයි." මෙසමයෙහි ලොන්ග්ෆෙලෝ කේම්බ්‍රිජ් සිට ඇප්ල්ටන් නිවාස පිහිටි බොස්ටන්හි බිකන් හිල් වෙත බොස්ටන් පාලම හරහා නිතර ගියේය. එම පාලම 1906 දී ප්‍රතිස්ථාපනය කල අතර පසුව එය ලොන්ග්ෆෙලෝ පාලම ලෙස නම් කෙරුණි.

1839 අවසාන භාගයේ ලොන්ග්ෆෙලෝ ඔහුගේ විදෙස් සංචාරයන් හා ෆ්‍රාන්සෙස් ඇප්ල්ටන් සමඟ වූ අසාර්ථක පෙම් ඇරයුම අළලා නිමවූ කෘතියක් හයිපරියොන්නමින් ප්‍රකාශයට පත් කරන ලදී. මේ අතරතුරදී ලොන්ග්ෆෙලෝ "අවස්ථාමය සංත්‍රාසයන් සහිත ස්නායුමය අවපාත" තත්වයට පත්විය. එමනිසා හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මාස 6ක් නිවාඩුවක් ලබාගත් ඔහු ජර්මනියේ බෝපාර්ඩ් හි පිහිටි මෙරින්බ්ර්ග් බෙනඩික්ටයින් නමින් කලක් හැඳින් වූ ආශ්‍රමයේ සෞඛ්‍ය සායනයට සහභාගී විය.නැවත පැමිණීමෙන් අනතුරුව ලොන්ග්ෆෙලෝ 1842 දී "ද ස්පැනිෂ් ස්ටුඩේන්ට්" නමින් නාට්‍යක් ලියා පල කළේය. ඒ 1820 දී ඔහු ස්පාඤඤයේ ගතකල සමයේ මතකයන් ආශ්‍රිතවයි. එහි මුල් පිටපත සම්බඳව ව්‍යකුලතාවයක් ඇති විය. ග්‍රැහැම්ගේ සඟරාවේ මුද්‍රණය කිරීමෙන් අනතුරුව එහි කතුවරයා වූ රුෆස් විල්මොට් ග්‍රිස්වෝල්ඩ් එහි පිටපත අහකට නොදමා ප්‍රවේසම් කර ඇත. සාමාන්‍යයෙන් මුද්‍රණාල එසේ නොකරන බැවින් ලොන්ග්ෆෙලෝ එය සුරැකිව ඇති බව අසා පුදුමයට පත්ව ප්‍රතිශෝධනය කරන අරමුණින් එය ඉල්ලාගත් නමුත් නැවත පිටපත ග්‍රිස්වෝල්ඩ් හට දිමට අමතක විය. නිතර පලිගනිමට කැමති ග්‍රිස්වෝල්ඩ් එයට ප්‍රතිචාර දැක්වුයේ දොස්නගා ඔහුට ලිපියක් යැවීම මගිනි.

ෆැනි ඇප්ල්ටන්, චාර්ල්ස් හා අර්නස්ට් පුතුන් සමග,1849 දී පමණ

වහල්භාවය අවලංගු කිරීමට ප්‍රසිද්ධියේ සහාය දැක්වීමක් ලෙස 1842 දී ලොන්ග්ෆෙලෝ "පොයම්ස් ඔන් ස්ලේවරී " නමින් කුඩා කවි එකතුවක් පල කරන ලදී. ඩයල් මුද්‍රණාලය එයට පවසා තිබුනේ "ලොන්ග්ෆෙලෝ මහතාගේ කුඩා (දුර්වල) පොත් අතර කුඩාතම පොත;එහි පුරෝගාමියා මෙන්ම දිරිය සම්පන්න හා සභ්‍යත්වයක් සහිතයි; නමුත් එම මාතෘකාවට එයට වඩා ගැඹුරු හඬක් නැංවීමේ හැකියාවක් තිබෙනවා" යනුවෙනි. ඩයල් මුද්‍රණාලයේ විවේචනය අනුමත කරමින් හෙතෙම මෙසේ ලීවේය "එම කවි කොතෙක් සෞම්‍යද යත් වහලුන් අයිතිකරුවෙකුට එම කවි කියවා තම උදැසන ආහාරය අරුචි නොවන අයුරෙන් ගත හැක". කෙසේ නමුත් නව එංගලන්ත වහල්-විරෝධින්ගේ සංගමය එම කවි එකතුව නැවත මුද්‍රණය කර තවදුරටත් බෙදාහැරීමට තරම් පැහැදීමට පත්ව තිබුණි.

1843 මැයි 10 වන දින, වසර 7කට පසු ෆැනි ඇප්ල්ටන් විසින් ලොන්ග්ෆෙලෝගේ විවාහ යෝජනාව පිළිගන්නා බව දන්වා ලිපියක් එවූ අතර, කලබලයට පත් ඔහු කුලී රථයකට නොනැගී විනාඩි 90ක පා ගමනකින් පසු ඇගේ නිවසට ලඟා විය. ඔවුන් ඉක්මනින් විවාපත් වුහ. මංගල තෑග්ගක් ලෙස නේදන් ඇප්ල්ටන්, ක්‍රෙරේයිග් නිවාස නව යුවලට තෑගි කළේය. ලොන්ග්ෆෙලෝ සිය ඉතිරි දිවියම එහි ගත කළේය. ෆැනි කෙරෙහි ඔහු තුල තිබු ආලය 1845 ඔක්තෝම්බරයේදී ඔහු ලියු එකම ප්‍රේම කාව්‍ය "ද ඉවිනිංග් ස්ටාර් " ලුහුඬු පද්‍යයේ පද මගින් ප්‍රකට වේ:"මගේ ආදරිය, මගේ මිහිරි හෙස්පෙරුස්! මගේ ආදරයේ උදා සහ සැන්දෑ තරුව!". වරක් ඇය නොමැතිව ආලිංග නැටුමකට සහභාගී වූ ඔහු මෙසේ ලීවේය."විදුලි ආලෝකය අඳුරුයි, සංගීතය දුක්බරයි, පුෂ්පයන් අඩුයි සහ කාන්තාවන් ශෝභාවන් රහිතයි."

ලොන්ග්ෆෙලෝ,1850 දී පමණ

ඔහු හා ෆැනි හට දරුවන් සය දෙනෙකි:චාර්ල්ස් ඇප්ල්ටන් (1844-1893),අර්නස්ට් වර්ඩ්ස්වර්ත්(1845–1921), ෆැනි (1847–1848), ඇලිස් මේරි (1850–1928), ඊඩිත් (1853–1915) හා ඈන් ඇලේග්‍රා (1855–1934).ඔවුන්ගේ දියණිය ඊඩිත්,ටූ ඉයර්ස් බිෆෝ ද මාස්ට් කෘතියේ ප්‍රකට කතුවරයා වූ ජ්‍යෙෂ්ට රිචර්ඩ් හෙන්රි ඩානා ගේ පුත්, 3වන රිචර්ඩ් හෙන්රි ඩානා හා විවාහ විය. 1847 අප්‍රේල් 7 ඔවුන්ගේ කුඩා දියණිය ෆැනි ඉපදෙන මොහොතේ, වෛද්‍ය නේදන් කුලෙයි කීප් ගේ අනුදැනුම ඇතිව ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු වරට නිර්වින්දකයක් ලෙස ඊතර්, ෆැනි ලොන්ග්ෆෙලෝ හට යොදා ගැනුනි.එයින් මාස කිහිපයකට පසු 1847 නොවැම්බර් 1 දින ඉවැන්ජලීන් කව්‍ය ප්‍රථම වරට ප්‍රකාශනය විය. ලොන්ග්ෆෙලෝගේ ගේ සාහිත්‍යමය ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහල ගියේය: 1840 දී ඔහුගේ ඉපැයීම් ඩොලර් 219ක් වූ අතර 1850 දී එය ඩොලර් 1 900ක් විය.

ලොන්ග්ෆෙලෝ 1853 ජුනි 4 වන දින, විදේශගත වීමට නියමිත ඔහුගේ මිතුරු නැදනියෙල් හොව්තොර්න් වෙනුවෙන් සමුගැනීමේ සාදයක් සිය කේම්බ්‍රිජ් නිවසේදී පැවැත්වීය. 1854 දී ලොන්ග්ෆෙලෝ හාර්වර්ඩ් සරසවියෙන් විශ්‍රාම ගත්තේ සිය දිවිය සම්පුර්ණයෙන්ම ලේඛන කලාව උදෙසා කැප කිරීමටයි. 1859 දී නිතිය පිලිබඳ ගෞරව උපාධියක් හාවර්ඩ් විශ්වවිද්‍යාලය මගින් ඔහුට පිරිනමන ලදී.

ෆ්‍රාන්සෙස් ගේ මරණය

[සංස්කරණය]

1861 ජුලි 9 මදක් උණුසුම් සහිත දිනයේ ලොන්ග්ෆෙලෝ කෙටි නින්දකට පිවිස සිටි අතර ෆැනි දරුවන්ගේ කොණ්ඩා කැරැළි ලියුම් කවරයක බහා ඉටි වලින් මුද්‍රා තබමින් සිටියාය. නිශ්චිතවම හේතුව පැහැදිලි නොවුවත්, හදිසියේ ඇගේ ඇඳුමට ගිණි ඇවිලුණි. රත් වූ ඉටි හෝ ඇඳුමට වැටුණු ඉටි පන්දමක් නිසා හෝ එය සිදුවන්නට ඇත. වහා ඇහැරුණු ලොන්ග්ෆෙලෝ ඇගේ සහයට දිව අවුත් කුඩා පලසක් ඈ වටා එතුවේය. ඔහුගේ සිරුරෙන් හැකිතරම් ගිනිදළු යටපත් කිරීමට උත්සහ දැරුවේය. නමුත් ඒ වන විටත් ඇය දරුණු ලෙස පිළිස්සී තිබුණි. වසර 50කට පමණ පසු ලොන්ග්ෆෙලෝගේ බාලම දියණිය ඇනී එම සිදුවීම වෙනස් අයුරින් විස්තර කළාය. ඇය පැවසු පරිදි එය ඉටිපන්දමක් හෝ රත්වූ ඉටි නිසා නොව හිතා මතා දැල්වූ ගිණිකුරක් බිම වැටීම නිසා ඇතිවූ ගින්නක් බවයි. කෙසේ නමුත් අවස්ථා දෙකේදීම ෆැනි ඇගේ කාමරයට ගෙනයන ලද අතර වෛද්‍යවරයෙකු කැඳවනු ලැබිය. රාත්‍රිය පුරා සිහියත් අසිහියත් අතර සිටි ඇයට වේදනා නාශකයක් ලෙස ඊතර් සපයන ලදී. පසුදින උදැසන 10ට පමණ කෝපි කෝප්පයක් ඉල්ලීමෙන් අනතුරුව ඇය මිය ගියාය. ඇය බේරා ගැනීමට දැරූ උත්සහයේදී ලොන්ග්ෆෙලෝ ද දැඩිව පිළිස්සීමට ලක්වී තිබුණු අතර ඒ හේතුවෙන් ඇගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ඔහුට නොහැකි විය. මුහුණට සිදුවී තිබු පිළිස්සුම් හේතුවෙන් දිගටම රැවුල වැවීමට ඔහුට සිදුවූ අතර පසුකලෙක එය ඔහුගේ වෙළඳ සලකුණ බවට පත්විය.

ඇගේ මරණයෙන් කම්පනයට පත් ඔහු කෙදිනකවත් ඉන් ප්‍රකෘති තත්වයට පත්වුයේ නැත ඒ සඳහා විවිධ බෙහෙත් වර්ග වලින් සහනයක් පැතිය. හෙතෙම උන්මත්තකයෙකු වේ යයි බිය වූ ඔහු උන්මත්තකාගාරයට නොයවන ලෙස බැගපත් විය. තමා "ඇතුලාන්තයෙන් මියයමින් සිටිනවා" යැයි හේ ලියා තැබීය. ඔහුගේ ශෝකය ප්‍රකට කරවන ද ක්‍රොස් ස්නොව් ලුහුඬු පද්‍ය, ඇගේ මරණයෙන් වසර 18කට පසු 1879 අනුස්මරණයේ වෙනුවෙන් ඔහු රචනා කළේය.

මා ළයේ දරා සිටින කුරුසය මෙසේය
පසුගිය වසර දහඅට පුරා වෙනස් වූ සියලු සිදුවීම්
සහ සෘතු, ඇය මියගිය දිනයේ සිට කිසිදු වෙනසක් නැත.

ජීවිතයේ සැන්දෑ සමය හා මරණය

[සංස්කරණය]
හෙන්රි වර්ඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ මිහිදන්කළ ස්ථානය

ලොන්ග්ෆෙලෝ වසර කිහිපයක් දාන්තේ ඇලිගියෙරිගේ ඩිවයින් කොමඩි පරිවර්තනයෙහි යෙදුණේය.එහි පරිපුර්ණත්වයට සහය ලබාගැනීම පිණිස සෝදුපත් සමාලෝචනය් සඳහා 1864 වසරේ සිට සෑම සතියකම බදාදා දිනයන්හි මිතුරුහවුලක් පැවැත්විය. "දාන්තේ සංගමය" ලෙස හැඳින්වූ එහි විලියම් ඩීන් හොවෙල්ස්, ජේම්ස් රසල් ලොවෙල්, චාර්ල්ස් එලියට් නොර්මන්සහ අනෙකුත් ආගන්තුකයන් විය. 1864 දී සම්පුර්ණ පරිවර්ථිත වෙළුම් තුනම ප්‍රකාශනය කෙරුණු අතර ලොන්ග්ෆෙලෝ නොකඩවා එය ප්‍රතිශෝධනය කරගෙන ගියේය. පළමු වසර තුලදී එය සිව් වතාවක් මුද්‍රණය කෙරුණි. 1868 වසර වන විට ලොන්ග්ෆෙලෝගේ වාර්ෂික ආදායම ඩොලර් 48 000 ඉක්මවීය. 1874දී සැමුඑල් කට්ලර් වෝර්ඩ ගේ උදව් මත "ද හැඟින් ඔෆ් ද කරේන්" කාව්‍ය ඩොලර් 3 000ක මුදලකට නිව්යෝර්ක් ලෙජර් හට අලෙවි කෙරුණි. එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ කවියකට ගෙවන ලද උපරිම මිල විය.

1860 දී ලොන්ග්ෆෙලෝ වහල්භාවයට-විරුද්ධව සහාය දැක්විය එසේම ඇමෙරිකානු සිවිල් යුද්ධයට පසු උතුරු සහ දකුණු ජනපද සමගි වීම විශේෂයෙන් පැතුවේය.1878 ඔහුගේ දිනපොතේ මෙසේ සටහන් වේ: "මා හට ඇත්තේ එක් අභිලාෂයක් පමණයි: ඒ එකමුතුකම පිළිබඳව උතුර සහ දකුණ අතර අවංක හා සෘජු අවබෝධයයි". ප්‍රසිද්ධියේ කතා පිළිකුල කල නමුත්, බොව්දොයින් කෝලීජියේ 50 වන ප්‍රතිසංගමය වෙනුවෙන් කථාව ජෝෂුවා චැම්බ්‍ර්ලෙයින් ගේ ආරාධනාවට අනුව පිළිගත්තේය. ඔහු මොරිටියුරි සැල්යුටාමස් කවිය කෙතරම් ශාන්ත ලෙස පැවසුවේද යත් අසල සිටි කිහිප දෙනෙකුට පමණක් එය ඇසුණි. ඊළඟ වසරේ (1876) හාර්වර්ඩ් හි විදේශීය කමිටුව සඳහා ඔහුගේ නාම යෝජනාව ඉතා පෞද්ගලික කාරණා මත හේ ප්‍රතික්ෂේප කළේය.

1879 අගෝස්තු මස 22 දින කේම්බ්‍රිජ්-ලොන්ග්ෆෙලෝ නිවසට පැමිණි ලොන්ග්ෆෙලෝ අගයන සංචාරකයෙක්, ඇය කතාකරන්නේ කා සමග දැයි නොදැන ලොන්ග්ෆෙලෝ ගෙන් "ලොන්ග්ෆෙලෝ ඉපදුනේ මේ නිවසේ දිදැයි" අසා තිබෙන අතර එසේ නොවන බව ඔහු පවසා තිබෙනවා.පසුව ඇය, ඔහු මියගොස් ඇතිදැයි ඇසු පැනයට "තවම නැහැ" යනුවෙන් පිළිතුරු දී තිබෙනවා. 1882 දී තදබල උදරයේ වේදනාවක් හේතුවෙන් ඔහු ඇඳට ගියේය. දින කිහිපයක් එම වේදනාවෙන් පෙළුණු ඔහු වේදනා නාශකයක් ලෙස අබිං භාවිතාකර ඇත. 1882 මාර්තු 24 පවුලේ අය පිරිවරා සිටියදී ඔහු දිවියෙන් සමුගත්තේය. අන්තරාවරණය ඉදිමීම ඔහුගේ රොගයට හේතු විය. මියයන විට ඔහුගේ ඉඩකඩම් වල වටිනාකම ඩොලර් 356 320ක් පමණ විය. ඔහුගේ බිරින්දෑවරුන් දෙදෙනා භූමදාන කල අර්බන් මවුන්ට් සුසානභූමියේ ඔහුද භූමදාන කෙරුණි. ඔහු අවසාන වසර කිහිපය තුල මයිකල් ආන්ජලෝ ගේ කාව්‍ය පරිවර්තනයෙහි යෙදුණි. නමුත් ජිවිත කාලය තුලම ප්‍රකාශනය සඳහා සම්පුර්ණ සෑහිමට පත්ව නොතිබුණි. 1833 ඔහුගේ මරණින් පසුව එහි සංශෝධනයක් එක් කෙරුණි. ළඟදීම සිදුවන තම මරණය එනතුරු බල සිටින වයස්ගත කලාකරුවකු සේ පරිවර්තකයා දකිමින්, විශාරදයෝ සාමාන්‍යයෙන් එය ආත්ම රචනයක් සේ සළකති.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Sullivan, 180
  2. ^ Calhoun, 5
  3. ^ Wadsworth-Longfellow Genealogy at Henry Wadsworth Longfellow – A Maine Historical Society Web Site
  4. ^ Arvin, 7
  5. ^ Thompson, 16
  6. ^ a b c Arvin, 11
  7. ^ Sullivan, 181
  8. ^ Calhoun, 24
  9. ^ Calhoun, 16
  10. ^ McFarland, 58–59
  11. ^ Calhoun, 33
  12. ^ a b Calhoun, 37
  13. ^ Arvin, 13
  14. ^ a b Sullivan, 184
  15. ^ Arvin, 14
  16. ^ Who Belongs To Phi Beta Kappa සංරක්ෂණය කළ පිටපත 2012-01-03 at the Wayback Machine, Phi Beta Kappa website, accessed Oct 4, 2009