හෙජමනිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search


ග්‍රාම්ස්චිගේ" හෙජමොනි" සංකල්පය[සංස්කරණය]

ග‍්‍රාම්ස්චි හැඳින්වීම[සංස්කරණය]

අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි ඉතාලි ජාතික කොමියුනිස්ට් චින්තකයෙකි. දකුණු ඉතාලියානු දිවයිනක් වන "සාර්දිනියාවේ" 1891 දී ග‍්‍රාම්ස්චි උපත ලැබිය. ඔහුගේ පියා ලේඛනාගාරයක ලිපිකරුවෙකු වශයෙන් සේවය කළ අතර ඔවුන් මධ්‍යම පාන්තික පවුලක් විය. 1897 දී ග‍්‍රාම්ස්චිගේ පියා රැකියාවෙන් ඉවත් කරනු ලැබූ නිසා ඔවුන්ගේ පවුලට ආර්ථිකමය වශයෙන් කම්කටොළු වලට මුහුණ දීමට සිදු විය. එවකට කුඩා දරුවෙකු වුවද තම ජීවිතය හා පවුලේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා ග‍්‍රාම්ස්චිට සුළු වැටුපකට වැඩ කිරීමට සිදු විය. එම ජීවිතය පිළිබඳව ඔහු පසුකාලීනව තම බිරිඳගේ සොයුරියකට ලියන ලද ලිපියක සඳහන් කර ඇත. "මගේ ළමා කාලය ගැන කල්පනා කරන විට මට මතක් වන්නේ එක්තරා ලේඛනාගාරයක් ය. එම ලේඛනාගාරයේ ළමා කම්කරුවෙකු වශයෙන් මා වැඩකරන ලද අතර එහිදී අවුරුදු දහයක පමණ ළමයෙකු වශයෙන් මට බරින් ඉතා වැඩි ලේඛන ගොනු එහා මෙහා ගෙනයාමට සිදුවිය. හැන්දෑවත්ම මගේ ශරීරය වේදනා දෙන්නට පටන්ගත් අතර, මේ නිසා මම සැඟවී වැලපී ඇත්තෙමි." කුඩා කල ග‍්‍රාම්ස්චි විඳි කටුක ජීවිතය මෙයින් පෙනේ.

ග‍්‍රාම්ස්චි වරින් වර උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාලවල උගත් නමුත් ඔහුගේ නියම අධ්‍යාපනය එම ආයතනවලින් ලබා ගත්තා යයි කිව නොහැකිය. මැක්සිම් ගෝර්කි විසින් වෙළුම් තුනකින් ලියන ලද තම ජීවිත කථාවේ තෙවන වෙළුම "මගේ විශ්වවිද්‍යාලයන්" ලෙස නම්කර ඇති අතර එහිදී ඔහු විශ්වවිද්‍යාල ලෙස හඳුන්වන්නේ ජීවත්වීමෙන්, මිනිසුන් ආශ‍්‍රය කිරීමෙන්, පන්ති සටනේ යෙදීමෙන් ඔහු ලබාගත් අවබෝධයයි. ග‍්‍රාම්ස්චිට ද මෙය වලංගු සත්‍යයකි.

තරුණ අවධියේ දී ඉතාලි කම්කරු පන්තියේ ප‍්‍රධානතම පක්‍ෂය වූ ඉතාලි සමාජවාදී පක්‍ෂයේ ක‍්‍රියාත්මක සාමාජිකයෙකු විය. ලෙනින් විසින් නායකත්වය දෙන ලද තුන්වන ජාත්‍යන්තරයට සම්බන්ධ විය යුතුය යන්න ඉතාලි සමාජවාදී පක්‍ෂයේ අති බහුතරයගේ මතය වූ අතර, එම ස්ථාවරය මත ඉතාලි කොමියුනිස්ට් පක්‍ෂය බෝර්ඩිගා ග‍්‍රාම්ස්චි සහ ටොගලියාට්ටි වැනි සටන්කාමීන්ගේ නායකත්වය යටතේ විකාශනය විය. 1920 වන විට ග‍්‍රාම්ස්චි ඉතාලි කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් පදවියට පත්විය. 1920 - 21 සමයේ ඉතාලි නගර සිසාරා කම්කරු පන්තිය විප්ලවකාරී සටන් මාලාවක් දියත් කරන ලද අතර මෙය ‘කර්මාන්ත ශාලා කමිටු ව්‍යාපාරය’ විය. මෙම සටන යටතේ කර්මාන්තශාලාවල පාලනය කම්කරු කමිටු විසින් අල්ලා ගන්නා ලදී. නමුත් රුසියාවේ මෙන් නොව මෙම කම්කරු සටන් ව්‍යාපාරයට ජනතාවගේ බහුතරය වූ ගොවීන්ගේ සහය නොලැබිණ. එම නිසා මෙම සටන පවතින රාජ්‍යය බිඳදමා ඒ මත නිර්ධන පන්තික අඥාදායකත්වයක් ගොඩනැංවීම දක්වා වර්ධනය කළ නොහැකි විය.

ඉතාලි පැසිස්ට්වාදය නිර්මාණය වන්නේ මෙම වාතාවරණය යටතේ ය. පැරණි ඉතාලි සමාජවාදී පක්‍ෂයේ නායකයන්ගෙන් කෙනෙකු මෙන්ම එම පක්‍ෂයේ පත්තරයක් වූ .්ඩ්බඑස. හි ග‍්‍රාම්ස්චි සමඟ සම කතෘවරයෙකු වන බෙනිටෝ මුසෝලිනී පැසිස්ට්වාදී ව්‍යාපාරය දියත් කරන ලදී. නිර්ධන පන්තික විප්ලවයකට බිය වූ සියලුම පන්ති සහ ස්ථරයන් මෙම පැසිස්ට්වාදී ව්‍යාපාරයට ආකර්ශනය කර ගැනීමට මසුසෝලිනීට හැකිවිය. 1923 දී රෝමය වෙත එල්ල කරන ලද පා ගමනකින් බලය අල්ලාගත් මුසෝලිනී ඇතුළු පැසිස්ට්වාදීන් 1928 මැයි මාසයේ දී අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි සිරගත කරනු ලැබීය. මෙහි මූලික අරමුණ වූයේ ඔහුගේ බුද්ධිමය දායකත්වය වළකාලීමයි. නමුත් ඔහුගේ මොළයේ ක‍්‍රියාකාරීත්වය නැවැත්වීමේ වැඩපිළිවෙල සාර්ථක නොවූ අතර 1928 සිට 1937 අපේ‍්‍රල් මස දක්වා සිරගත ව සිටි ග‍්‍රාම්ස්චි එම කාලය දේශපාලනය, සංස්කෘතිය හා මතවාදය පිළිබඳව හැදෑරිමටත් ඒ පිළිබඳ නව ප‍්‍රවාදයන් හා නිගමනයන් ඉදිරිපත් කිරීමටත් යොදා ගන්නා ලදී. ‘සිරගෙදර සටහන්’ නමින් ප‍්‍රකාශයට පත්කොට ඇති ග‍්‍රාම්ස්චිගේ න්‍යායාත්මක කෘති අතුරින් බොහෝමයක් ඔහු විසින් සිරගතව සිටි වසර 11 ක පමණ කාලය තුළ ලියන ලද ඒවාය. 1922 දී ඔහු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටුවේ ඉතාලි නියෝජිතයා ලෙස මාස ගණනක් සෝවියට් සංගමයේ ගත කළ අතර එහි දී රෝහල්ගත ව සිටි ග‍්‍රාම්ස්චිට ඔහුගේ බිරිඳ වූ ගිලියා හමුවිය. 1924 දී ඔවුන්ගේ වැඩිමහලූ පුත් ඩිලියෝ උපත ලැබූ අතර ඔවුනගේ දෙටු පුත‍්‍රයා වූයේ ගිලියානෝ ය. සාමාන්‍ය වශයෙන් වුවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නොතිබුණු ග‍්‍රාම්ස්චි 1937 අපේ‍්‍රල් මාසයේ දී නිදහස් වූයේ අසාධ්‍ය රෝගියෙකු වශයෙනි. එම මාසයේ ම අග භාගයේ දී මෙම මහා දාර්ශනිකයාගේ අභාවය සිදු වූ නමුත් ඔහුගේ චින්තනය දශකයෙක් දශකයට සමකාලීන වී ඇත.


හෙජමොනිය සංකල්පයේ ප‍්‍රභවය හා විකාශනය[සංස්කරණය]

200px|කම්කරු පංති අරගල 20 වන සියවස]]

මාක්ස්වාදී බුද්ධිමය සම්ප‍්‍රදාය තුළ හෙජමොනිය සංකල්පයේ පැන නැගීම මුලින් ම සටහන් වී ඇත්තේ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය තුළය. පෙරී ඇන්ඩර්සන් අනුව හෙජමොනිය සංකල්පය රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් කොමින්ටර්නයටත් (තුන්වන ජාත්‍යන්තරය) එතැනින් ග‍්‍රාම්ස්චිටත් උරුම විය. මේ යෙදුම මුලින්ම මුණ ගැසෙන්නේ සම්‍යක් - දෘෂ්ටික මාක්ස්වාදයේ රුසියානු නියෝජිතයන් වූ ඇක්සෙල්රොඞ්ගේ සහ ප්ලෙකනොව්ගේ ලිවීම් තුළය.

විසිවන සියවස මුල් භාගය වන විට රුසියාවේ කාර්මීකරණය වී තිබුණේ කුඩා ප‍්‍රදේශයක් වූ අතර විශාල ප‍්‍රදේශයක් කෘෂිකාර්මික විය. විශාල ඉඩම් හිමිකම සහ ප‍්‍රවේනි දාසකම සමාජ සබඳතාවයන්හි කැපී පෙනෙන ලක්‍ෂණයක් විය. සාර් ආණ්ඩුවේ පාලනයට එරෙහි ප‍්‍රබල විරෝධයක් සංවිධානය කරන්නට සාපේක්‍ෂව දුර්වල නාගරික කර්මාන්ත හිමි, දේපල හිමි සමාජය සමත් නොවීය. මේ තත්ත්වය ප්ලෙකනොව් සහ ඇක්සෙල්රොඞ් විසින් තේරුම් කරනු ලැබුවේ රුසියානු ධනපති පන්තිය තමන්ට නියමිත ඓතිහාසික කාර්යභාරය එනම්; ධනපති ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවය ඉටු කිරීමට සමත් නොවීමක් ලෙසය.

ප්ලෙකනොව්, ඇක්සෙල්රොඞ් දෙදෙනා ‘හෙජමොනිය’ නැමති යෙදුම හඳුන්වා දෙනු ලැබුයේ මෙසේ දේශපාලන නිදහස උදෙසා වන ස්වකීය ‘සාමාන්‍ය’ අරගලය පෙරට ගෙන යමින් ස්වකීය ඓතිහාසික කාර්යභාරය ඉටු කිරීමට රුසියාවේ ධනපති පංතිය සමත් නොවූ තත්ත්වය තුළ කම්කරු පංතිය එම කාර්යභාරය ඉටු කිරීමට මැදිහත් වීම විග‍්‍රහ කිරීම පිණිසය. එහෙයින් මෙහි දී යම් පංතියකට තම පූර්ව - නිශ්චිත කාර්ය භාරය වෙනුවට වෙනත් පංතික කාර්යභාරයක් භාරගැනීමට සිදුවේ. අරමුණෙහි පංතිමය ස්වභාවයත් එය අත්පත් කරගන්නා ඓතිහාසික ඒජන්තයාත් අතර පවතින්නේ ඛණ්ඩනයකි. ඉතිහාසයේ අනිවාර්ය විකාශනය පිළිබඳ නියතියෙන් අපගමනය වීමක් වූ මෙම තත්ත්වය ‘පංති දේශපාලනයක්’ ලෙස හැඳින්වීම පරස්පර විය. නමුත් රුසියානු මාක්ස්වාදීන් ඒ සඳහා අළුත් නමක් සොයා ගත්හ. එනම්; ‘හෙජමොනික දේශපාලනය’ යි.


හෙජමොනිය : ග‍්‍රාම්ස්චිගේ අර්ථ නිරූපණය[සංස්කරණය]

ආධිපත්‍යය’ හෙවත් ‘හෙජමොනිය’ (Hegemony) පිළිබඳ න්‍යායය, ග‍්‍රාම්ස්චිගේ චින්තනයේ ඉතාම නවීන වූත්, පොහොසත් වූත් අංගය බව බොහෝ විචාරකයන්ගේ පිළිගැනීමයි. ග‍්‍රාම්ස්චි විසින් සංකල්පනය කරනු ලබන පාලන මාධ්‍යයන් දෙකක් ඇත. එනම්; "ආධිපත්‍යය" සහ "මර්දකතන්ත‍්‍රය" වශයෙනි. ‘හෙජමොනිය’ සංකල්පය තුළින් ග‍්‍රාම්ස්චි අදහස් කරනුයේ පාලනය කිරීම නැතහොත් වඩාත් පුළුල් ආකාරයෙන් දක්වන විට නායකත්වය පිහිටුවීම යන්න කිසිඳු දේශපාලන සමාජයක මර්දනයෙන් පමණක් කළ හැක්කක් නොවන බවයි. මතවාදී ආකාරයෙන් විවිධ පන්ති, සමාජ ස්ථර හා ශ්‍රේණින් තම මතයට දිනා ගැනීම ඕනෑම රජයක් හෝ පාලක පන්තියක් විසින් අත්‍යාවශ්‍යයෙන්ම කළ යුත්තකි. ඇතැම් රාජ්‍යයන්හි මෙසේ මතවාදී ලෙස දිනාගැනීම විශාල පරිමාණයෙනුත්, මර්දනය සුළු පරිමාණයකිනුත් සිදුවේ. මෙම මතවාදී ආධිපත්‍ය (හෙජමොනිය) ‘කැමැත්ත මඟින් පාලනය කිරීම’ ලෙස හඳුන්වා දිය හැකිය. එනම්; ජනයා නොදැනුවත්වම පාලක පන්තියේ බලපෑමට කැමැත්තෙන්ම යටත්වීමයි. මෙය ගොඩනංවන ලද කැමැත්තකි.

උදා:- (1) ශ‍්‍රී ලාංකික දෙමළ ජනතාවගෙන් බහුතරය යුද්ධයට කැමති වුවද අකැමැති වුවද එල් ටී ටී ඊ සංවිධානය විසින් ජනතාවගේ පක්‍ෂපාතීත්වය ඊට ලබාගෙන ඇත.

(2) ජර්මනිය තුළ යුදෙව් සංහාරය සිදු කිරීමට හිට්ලර්ට හැකි වූයේ ජර්මානුවන් ආර්යය ජාතිය වශයෙන් මතවාදයක් ගොඩනංවා බහුතර ජනතාවගේ පක්‍ෂපාතීත්වය තම පාලනයට ලබා ගැනීම තුළිනි.

මේ අනුව ‘හෙජමොනිය’, පාලනයේ වැදගත් මානයක් ලෙස ග‍්‍රාම්ස්චි දක්වයි. පාලනයට සුජාත බාවයක් ලැබෙන්නේ මෙම ‘කැමැත්ත’ තුළිනි. මෙම කැමැත්ත නිර්මාණය කරනු ලබන්නේ දෘෂ්ටිවාදී උපකරණ මඟින් බව ඔහු ප‍්‍රකාශ කරයි. පවුල, අධ්‍යාපනික, ආගමික, ආයතන, ජනමාධ්‍ය වැනි ආයතන දෘෂ්ටිවාදී උපකරණ වේ.

මහා පරිමාණ වශයෙන් පාලිත පිරිස් දිනාගැනීම සහ සුළු පරිමානයෙන් මර්දනය යොදා ගැනීම ස්ථිරසාර පාලක පංතියකගේ පාලන ක‍්‍රමය වේ. නමුත් කිසිඳු රාජ්‍යයක් පාලනය කිරීම පරිපූර්ණ වශයෙන්ම මතවාදී දිනා ගැනීමක් තුළින් හෝ පරිපූර්ණ වශයෙන් මර්දනය යෙදීමෙන් හෝ කළ නොහැකිය. විවිධ නිශ්චිත අවස්ථාවන්හි දේශපාලනමය තුලනයක් සඳහා දිනාගැනීම සහ මර්දනය කුමන අනුපාතයන්ගෙන් යොදා ගත යුතුද? යන්න පාලක පන්තිය විසින් තීරණය කළ යුතුය. පාලක පන්තියකට දිගු කලක් ජීවත් විය හැක්කේ, මර්දනය මඟින් පාලිතයන් අවනතකර ගැනීමෙන් නොව, ඔවුන් සිය කැමැත්තෙන්ම පාලක පන්තියේ ආධිපත්‍යය පිළිගන්නා විටය. පාලක පන්තියේ දෘෂ්ටිවාදයට, සමාජයේ බහුතරය අවනතකර ගැනීම එලෙස ආධිපත්‍යය පිහිටුවා ගැනීමේ සුපුරුදු මෙන්ම හොඳ මාධ්‍යයකි. අසීමාන්තික මර්දනය මඟින් පෙන්නුම් කරන්නේ පාලක පන්තියේ ආධිපත්‍යය අර්බුදයට ලක්ව ඇති බවත්, පාලිත කොටස් අතර පාලක පංතිය පිළිබඳ විශ්වාසභංගත්වයක් ඇතිවී තිබෙන බවත්, පාලක පන්තියේ මතවාදී ආධිපත්‍ය ක්‍ෂය වී ඇති බවත්ය. මර්දන යන්ත‍්‍රය පමණක් භාවිතා කර, පාලිත සමාජ කොටස් හා පන්තීන් බලහත්කාරයෙන් තමන්ට අවනත කර ගැනීම පාලක පන්තියක ශක්තිය කියාපාන්නක් නොවන අතර, ඉතා අඩුවෙන් මර්දන යන්ත‍්‍රය පාවිච්චි කරන්නේ දැඩි ආත්ම විශ්වාසයෙන් යුත් පාලක පන්තීන්ය.

ඇතැම් විශේෂ අවස්ථාවන්හි දී ආධිපත්‍යයේ සිටි පාලක පන්තීන්ට දේශපාලනමය වෙනස්වීම නිසා මර්ධක තන්ත‍්‍රයට මාරුවීමට සිදුවනු ඇත. එවැනි මාරුවීමක් සිදුවනවාත් සමඟම පාලිත කොට්ඨාසය පාලක ස්ථරයෙන් ඈත්වීමක් සිදුවේ. මර්දන තන්ත‍්‍රය යොදා ගන්නේ මතවාදී ලෙස පාලිත කොට්ඨාස දිනාගැනීම තවදුරටත් අපහසු වී ඇති බැවිනි. මෙවැනි අවස්ථාවක් වනාහී පාලක, පාලිත සබඳතා දිය වී යන සමයකි. එම දිය වී යන සබඳතාවයන්ට ආදේශකයක් වශයෙන් මර්දන බලය යොදා ගනී. එසේ වුවද මර්දන තන්ත‍්‍රය ක‍්‍රියාත්මක කරවීමට ඇතැම් පූර්ව කොන්දේසි අවශ්‍ය වේ. එනම්; මර්දනකාරී උපකරණ පිළිබඳව පාලක පංතියට විශ්වාසයක් තිබිය යුතුය. ඒ සඳහා පාලක පංතීන් විසින් මර්දනකාරී උපකරණ මත පැහැදිලි න්‍යායික හා මතවාදී ආධිපත්‍යයක් ගොඩනගා තිබිය යුතුය. මෙම මර්දනකාරී උපකරණ වනාහී පොලිසි, හමුදාවන් වැනි ආයතනයන්ය. උක්ත දැක්වූ අයුරින් එම ආයතන මඟින් පාලකයන්ගේ ආධිපත්‍ය ගිලිහී ගියහොත් ඔවුන් පාලක ශ්‍රේණින්ට අවශ්‍ය දිශාවට නොව ප‍්‍රතිවිරුද්ධ දිශාවට ක‍්‍රියාත්මක වීමේ හැකියාව ඇත. එය තවදුරටත් වර්ධනය වූ විට මර්දන උපකරණයන් පාලන ශ්‍රේණීන් කෙරෙහිම එම මර්දනය යෙදීමේ හැකියාව ඇත.

ප‍්‍රබුද්ධ පාලක ශ්‍රේණීන් විසින් වුව ද යම් යම් අර්බුද සමයන්හි මර්දනය යොදාගැනීම අවශ්‍යවේ. එලෙස මර්දනය යොදා ගැනීමේ දී කොන්දේසි දෙකක් සම්පූර්ණ විය යුතුය. පළමු වශයෙන්, පාලක ශ්‍රේණීන් විසින් මර්දක උපකරණ මත පරිපූර්ණ මතවාදී ආධිපත්‍යයක් පැවැත්විය යුතු අතර, එම පරිපූර්ණ ආධිපත්‍යය මර්දන උපකරණවල විනයෙන් ප‍්‍රකාශ විය යුතුය. දෙවනුව, මර්දනය සම්පූර්ණ සමාජ ව්‍යුහයේම පැතිර නොයාමට පාලකයන් වගබලා ගතයුතුය. එනම්; මර්දනය කළ යුතු පිරිස් සාමාන්‍ය සමාජ ව්‍යුහයෙන් ඈත්කර මර්දනය කිරීමේ හැකියාව තිබිය යුතුය. සමස්ත මර්දනයක් ඇතිවන්නේ නම් පාලිතයන් කලකිරී මතවාදී ආධිපත්‍යය ක්‍ෂය වී යයි. ජනතා මානසිකත්වය කිසිඳු විටෙක රික්තකයක්ව නොපවතින තත්ත්වය තුළ දී පාලකයන් ප‍්‍රචාරය කරනු ලබන මතවාදය ප‍්‍රති‍ක්‍ෂේප කරන විටෙක වෙනත් මතවාදයන්ගෙන් ඔවුන් පෝෂණය විය හැකිය.

ආධිපත්‍යය සහ මර්දක තන්ත‍්‍රය පිළිබඳ ග‍්‍රාම්ස්චිගේ සංකල්පයන් ඉදිරිපත් වන්නේ සමකාලීන ඉතාලියේ දේශපාලන අර්බුදය හා සම්බන්ධ වෙමිනි. ඉතාලියේ දී පළමු වරට නිර්මාණය වී ජර්මනිය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි අනෙකුත් යුරෝපීය රාජ්‍යයන් ට පැසිස්ට්වාදය පැතිරී යමින් තිබුණු යුගයකි මෙය. මේ පිළිබඳව ග‍්‍රාම්ස්චි විග‍්‍රහ කරන ලද්දේ සිරගෙයි සිටිමින්ය. එම විග‍්‍රහයන් කිරීම සඳහා ග‍්‍රාම්ස්චිගේ සංකල්පයන් අත්‍යවශ්‍ය වූත් මූලික වූත් සංකල්ප විය.


පැසිස්ට්වාදය[සංස්කරණය]

පැසිස්ට්වාදය පිළිබඳව ග‍්‍රාම්ස්චිගේ නිරීක්‍ෂණයන්, දේශපාලන අර්බුදය පිළිබඳ නිර්වචනය හා සම්බන්ධවේ. දේශපාලන අර්බුදයක් ලෙස ග‍්‍රාම්ස්චි දක්වන්නේ සමාජ පන්තීන්, එම පන්තීන්ට චිරාගතව නායකත්වය සැපයූ නායකත්වයන්ගෙන් ගිලිහී යන තත්ත්වයකි. එනම්; චිරාගත නායකත්වයන්ට තම පන්තිය මත තිබූ මතවාදී ආධිපත්‍ය අහිමිවන තත්ත්වයකි. මෙය ආර්ථික අර්බුදයකින් පමණක් පැන නොනගී. සුවිශේෂී තත්ත්වයක දී එය එසේ සිදු විය හැකිය. ආර්ථික අර්බුදයක් මඟින් ගැටලූකාරී දේශපාලන තත්ත්වයන් මතුකළ හැකි වුවද, පන්තීන් තම චිරාගත නායකත්වයන්ගෙන් ගිලිහී යන තත්ත්වයක් අනිවාර්යයෙන් පැන නොනගී. නමුත් ග‍්‍රාම්ස්චි සඳහන් කළ දේශපාලන අර්බුදය එලෙස පන්තීන් නායකත්වයන්ගෙන් වෙන්වීම මඟින් පැනනගින්නකි. පැසිස්ට්වාදය මතුවන්නේ මෙබඳු දේශපාලන අර්බුදයක් පවතින අවස්ථාවකය.

ඉතාලිය සැලකිල්ලට ගත් කල, කම්කරු පන්තිය සමාජවාදී හා කොමියුනිස්ට් පක්‍ෂවලටත්, ධනේෂ්වර පන්තිය, ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයටත් සහයෝගය දෙමින් පැවතුනි. එහෙත් පැසිස්ට්වාදය නැගීගෙන එන කාලය වන විට මෙම නායකත්වයන්ගේ, තම පන්තීන් මත තිබූ ආධිපත්‍යය ගිලිහී යමින් පැවතුනි. පැසිස්ට්වාදය බලයට පත් වන්නේ මෙබඳු දේශපාලන තත්ත්වයක් උපයෝගී කොටගෙනය.

පැසිස්ට් ව්‍යාපාරය මුල් වකවානුවේ දී වාමාංශික හා රැඩිකල් පෙනුමකින් යුතු ව්‍යාපාරයක් විය. එසේම පැසිස්ට්වාදයට තිබූ ජනතා පදනම විසින් පැසිස්ට්වාදය, යුධමය ඒකාධිපතිත්වයකින් කැපී පෙනන ලෙස වෙනස් කෙරෙයි. යුධමය ඒකාධිපතිත්වයක් ජනතාව මර්දනය කිරීම මඟින් දිගින් දිගටම ජනතාවගෙන් කොන් වෙමින් පවතින ආඥාදායකත්වයකි. පැසිස්ට්වාදය ද මර්දනයකාරී ඒකාධිපති ස්වරූපයක් ගත්ත ද එයට පුළුල් ජනතා පදනමක් සහ එම ජනතා කොටස් මත මතවාදී ආධිපත්‍යයක් ඇත. මෙම තත්ත්වය ග‍්‍රාම්ස්චිගේ හෙජමොනික අර්ථ දැක්වීමට පදනම් වී ඇත.

ඉතාලි තත්ත්වය තුළ පැසිස්ට්වාදයේ ආරම්භක අවධියේ දී සමාජ කණ්ඩායම් තුනක් මත එය පදනම් විය. එනම්; ග‍්‍රාමීය මැද ධනේෂ්වර පන්තිය, නාගරික සුළු ධනේෂ්වර පන්තිය හා නන්නත්තාර නිර්ධන පන්තියයි. මුල්කාලීනව මෙම කොට්ඨාසයන්ගෙන් සමන්විත වූ නමුත් පසු අවධියේ දී එහි සමාජ පදනම පුළුල් වේ. මේ වන විට පැරණි පක්‍ෂවල චිරාගත නායකත්වයෙන් එම පක්‍ෂයන් විසින් නියෝජනය කරන ලද පන්තීන් ගිලිහී යාමෙන් ඓන්ද්‍රීය දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. මෙහි දී අර්බුදයට ලක් වූ ධනේෂ්වර පාලනයත්, ධනේෂ්වර නිෂ්පාදන ක‍්‍රමයත් නිසා තම පාලනය හා නිෂ්පාදනය පවත්වාගෙන යාමට වෙනත් විකල්ප සෙවීමට ධනේෂ්වර පන්තියට සිදුවේ. මේ මත තමන් අකැමැති වුව ද තම නිෂ්පාදන අයිතීන් රැකගනු වස් පැසිස්ට් ව්‍යාපාරයට සහය දීමට ධනේෂ්වර පන්තිය පෙළඹේ. මෙම තත්ත්වය ඉතාලියේ මෙන්ම ජර්මනියේ ද උද්ගත වූ අතර ඊට සමගාමීව එහි ගුණාත්මක වෙනසක් ඇති විය.

සමාජයේ පන්ති ප‍්‍රතිවිරෝධතා නැති බව කීමත්, පැසිස්ට් ව්‍යාපාරය ඊට ඉහළින් සිටින ව්‍යාපාරයක් වශයෙන් ඉස්මතු කිරීමත් පැසිස්ට්වාදයේ ලක්‍ෂණයකි. එකම ජාතියේ හෝ එකම ආගමේ වශයෙන් වූ සම්බන්ධතාවයන් ඉස්මතු කරමින් බහු ජනතාව දිනා ගැනීම මෙහි දී සිදුවේ. මෙය ජනතාව මත මතවාදී ආධිපත්‍ය දැරීමකි. එනම්; පාලක පංතිය කෙරෙහි ජනතාවගේ ගොඩනංවන ලද කැමැත්ත මඟින් පාලනය කිරීමයි. මෙය හෙජමොනියේ ප‍්‍රායෝගික භාවිතාවයි.

උදා:- (1) මුසෝලිනී විසින් රෝම අධිරාජ්‍යයේ පැරණි කීර්තිය නැවත ගොඩනැගීම කෙරෙහි වූ අපේක්‍ෂාවන් ජනතා සන්තානයට ඇතුල් කිරීම.

(2) හිට්ලර් විසින් ජර්මන් ජනතාව ආර්ය වංශිකයන් ලෙස සලකමින් යුදෙව්වන් සතුරන් ලෙස සලකමින් උග‍්‍ර ජාතිවාදයක් ගොඩනගා ඒ මත පාලනය ගෙනයාම.

එසේ ම පැසිස්ට්වාදය ජනතාවාදී වූත්, සමහර විටෙක සමාජවාදී වූත්, ජාතිවාදී වූත් ස්වරූපයෙන් දැකිය හැකිය. බොහෝ විට මෙය සමාජවාදී සටන් පාඨයන්ගෙන් පවා ආවරණය ලබන අතර සැබෑ සමාජවාදීන් ලෙස පෙනී සිටීමට උත්සාහ ගනී.

උදා:- හිට්ලර් තම පක්‍ෂය නම් කරන ලද්දේ "ජාතික සමාජවාදී පක්‍ෂය" වශයෙනි.

සාමාන්‍ය ප‍්‍රජාතන්ත‍්‍රික ධනේෂ්වර ක‍්‍රමයක හෝ මර්දනකාරී ධනේෂ්වර රාජ්‍යයක පවතිනවාට වඩා ඉතා පුළුල් මට්ටමකින් ජනතාවගේ නිදහස මර්දනය කිරීම පැසිස්ට් රාජ්‍යයේ විශේෂිත ලක්‍ෂණයකි. දේශපාලන අර්බුදයක දී තම නිෂ්පාදන ක‍්‍රමය හා පන්ති පාලනය පවත්වාගෙන යාම සඳහා මෙබඳු පාලනයක් හෝ පවත්වාගෙන යාමට ධනේෂ්වරය පෙළඹේ. ඒ සඳහා ධනේෂ්වරයේ කැමැත්ත, අකැමැත්ත තීරණය වන්නේ දේශපාලන අර්බුදයේ තියුණුතාව මතය.



බුද්ධිමය ශ්‍රේණීන්[සංස්කරණය]

ග‍්‍රාම්ස්චි ප‍්‍රකාශ කර ඇත්තේ "සියලු මිනිසුන් වනාහී බුද්ධිමතුන්ය" කියාය. මෙයින් ඔහු අදහස් කර ඇත්තේ සෑම මිනිසකුටම යම්කිසි ලෝක දැක්මක් ඇති අතර, තමන්ගේම බුද්ධිමය ආවේගයන්ට අනුව කටයුතු කරන බවයි. ග‍්‍රාම්ස්චිට අනුව බුද්ධිමතුන් හෝ බුද්ධිමතුන් නොවන ලෙස බෙදීම කළ හැක්කේ ඔවුන්ගේ චින්තනය හෝ ලෝක දැක්ම මත නොව සමාජයෙන් ඔවුන්ට බුද්ධිමය ක‍්‍රියාවක් නියම වී ඇද්ද? යන කරුණ මතයි. එබඳු කාර්යභාරයක් නියම වී ඇති පුද්ගලයන් වනාහී බුද්ධිමතුන්ය යි ග‍්‍රාම්ස්චි පෙන්වා දෙයි.

බුද්ධිමතුන් විවිධ පන්ති පදනම්වලින් බිහිවන බැවින් බුද්ධිමතුන් වෙනම සමාජ පන්තියක් වශයෙන් හඳුනා ගත නොහැකි බවත් ඔවුන් හඳුනාගත හැක්කේ විවිධ පන්තිවලට අයත් පිරිස් වශයෙනි යි ඔහු වැඩි දුරටත් පවසයි. එක් අතකින් පාලක පන්තීන්ට සම්බන්ධ බුද්ධිමතුන් පිරිසක් ද අනෙක් අතින් පාලක පන්තියට සම්බන්ධ නැති පාලිත පන්තිවලින් එන බුද්ධිමය පිරිස් ද සිටින බව ඔහුගේ මතයයි.

ග‍්‍රාම්ස්චි මුලින් ම ‘ග‍්‍රාමීය බුද්ධිමතුන්’ නම් කොටසක් හඳුනාගනී. එනම්, ගුරුවරු, වෙදමහත්වරු, ග‍්‍රාමීය පූජකයන්, නොතාරිස්වරු ආදීන්ගෙන් සමන්විත වූවන් ය. මෙම පිරිස ග‍්‍රාමීය ක්‍ෂේත‍්‍රයේ බුද්ධිමය කාර්යභාරයක් ඉටු කරති. මොවුන් ගොවිජන කොට්ඨාසයන්ගෙන් මතු වුව ද ග‍්‍රාමීය බුද්ධිමතුන්ගේ තත්ත්වයට පත් වූ පසු තම මුල් පසුබිම්වලින් වෙන්වීමේ තත්ත්වයක් පවතී. ග‍්‍රාම්ස්චි ග‍්‍රාමීය බුද්ධිමතුන්ගේ තත්ත්වය විග‍්‍රහ කරන්නේ අන්තර් මධ්‍යම පන්ති කොට්ඨාසයක් ලෙසය. එනම්; පාලක පංතියට හෝ සෘජු ලෙස පාලිත පන්තියට සම්බන්ධ නැති එහෙත් පාලන බලය පවත්වාගෙන යාමට ආධාර වන සමාජ කණ්ඩායම්ය. ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය තීරණය වන්නේ එම අවස්ථාවේ පවතින පන්ති බලතුලනය අනුවය. සමාජයේ ඉදිරිගාමී බලවේග ක‍්‍රියාත්මක වී ඉදිරියට එන කාලපරිච්ජේදවල දී මෙම කොටස් පැරණි මත අතහැර අළුත් තත්ත්වයන්ට යාමේ තත්ත්වයක් මතුවන නමුත් මෙම පන්තීන්ට කිසිවිටෙක සමාජ පරිවර්තනයක් සඳහා ආධිපත්‍යධාරී කාර්යභාරයක් ඉටු කළ නොහැකි බව ග‍්‍රාම්ස්චි කියයි. නමුත් ශ‍්‍රී ලංකාව තුළ 1956 මැතිවරණයේ දී බණ්ඩාරනායක මහතා විසින් පෙරටුගාමී කරගන්නා ලද්දේ මෙම ග‍්‍රාමීය බුද්ධිමතුන්ය. එනම්; සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ආදීන් ය. මෙරට බහුතරය මෙම කොටස්වලට අයත් වූ අතර එය ජාතිකවාදය ගොඩ නැගීමට ද ඉවහල් විය. එසේම කැමැත්ත මඟින් ආධිපත්‍යය පවත්වාගෙන යාමට මෙම බුද්ධිමතුන්ගේ කාර්ය භාරය ඉවහල් විය. කොයි ආකාරයේ වුව ද බුද්ධිමතුන් රාජ්‍ය ආධිපත්‍යය පවත්වාගෙන යනු වස් මතවාදය සකස් කිරිම පිණිස දායක වන්නෝ වෙති.

මූලික වශයෙන් තම කායික ශ‍්‍රමය වැය නොකරන සියලුම ශ‍්‍රමික කොටස් ග‍්‍රාම්ස්චිගේ විග‍්‍රහයට අනුව නාගරික බුද්ධිමතුන් වේ. එනම්; ඉංජිනේරුවන්, දාර්ශණිකයන්, කලාකරුවන් වැන්නවුන්ය. ඔවුන්ගේ කාර්ය භාරය බුද්ධිමය බව ඔහු පෙන්වා දෙයි.

ඓන්ද්‍රීය බුද්ධිමතුන් පිළිබඳ විග‍්‍රහයේ දී ඔහු විසින් ඓන්ද්‍රීය බුද්ධිමතුන් කොටස් දෙකක් දක්වයි. එනම්; පාලක කොටස් සමඟ සෘජු ලෙස සම්බන්ධ සහ ඔවුන්ගේ මතවාදය නියෝජනය කරන බුද්ධිමය කොට්ඨාසයත්, පාලිත කොට්ඨාසයේ ඉදිරියට බලය ලබා ගන්නට සිටින පන්තිය සමඟ සම්බන්ධව එම මතවාදය නියෝජනය කරන පිරිසත්ය. තමන්ගේම ඓන්ද්‍රීය බුද්ධිමතුන් ඇතිකරගත හැක්කේ දැනට පාලන බලය දරන පන්තියට හා අනාගතයේ පාලන බලය දරන්නට සිටින පන්තියට යන මූලික පන්තීන් දෙකට පමණි. (ගොවි ජනතාව අතරමැදි පන්තියක් වන බැවින් ඔවුන්ට එම හැකියාව නොමැත.) ඒ අනුව ධනපති සමාජයේ දී එම හැකියාව ඇත්තේ ධනපති පන්තියට සහ නිර්ධන පන්තියට පමණකි. තම පන්තියේ දේශපාලනය හා මතවාදය සංවර්ධනය කර ඉදිරියට ගෙනයාම හා එම පන්තියේ රාජ්‍ය තන්ත‍්‍රය ගොඩනැගීමේ මතවාදී පදනම දැමීම මෙම බුද්ධිමතුන්ගේ කාර්යභාරය වේ. ඓන්ද්‍රීය බුද්ධිමතුන් යනු; යම් සමාජ පංතියකට ඓන්ද්‍රීයව සම්බන්ධ වන, එම සමාජ පංතියේ දෘෂ්ටිවාදය සහ ලෝක දැක්ම ගොඩනැගීමට මෙන්ම ව්‍යාප්ත කිරීමට සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතය සමඟ සම්බන්ධ වී වැඩ කරන අයයි. ග‍්‍රාම්ස්චි යෝජනා කරන ලද විප්ලවවාදී ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ නිර්ධන පංතියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් බව ඔහු ප‍්‍රකාශ කර ඇත. මේ අනුව පෙනී යන්නේ පාලක පන්තියේ මතවාදී ආධිපත්‍යයට ජනතාව නතුකරගනු උදෙසා බුද්ධිමතුන්ගේ කාර්යභාරය මූලික හා සුවිශේෂී වන බවය.



ප‍්‍රතිහෙජමොනිය[සංස්කරණය]

පවතින හෙජමොනිය වෙනස් කිරීම සම්බන්ධව ග‍්‍රාම්ස්චි උපාය මාර්ගයක් යෝජනා කළේය. එනම්; පවතින හෙජමොනියට විරුද්ධව ප‍්‍රතිහෙජමොනිය (ක්‍දමබඑැර යැටැපදබහ) නම් සංකල්පය හඳුන්වා දීමයි. ප‍්‍රතිහෙජමොනිය ග‍්‍රාම්ස්චිගේ වැදගත් සංකල්පයකි.

පවතින රාජ්‍ය පවතින්නේ බලහත්කාරය මතම පමණක් නොව ඒ සඳහා පාලිතයන්ගේ කැමැත්ත ද අවශ්‍ය බව ඉහත පෙන්වා දෙන ලදී. ඒ අනුව පවතින පාලනය වෙනස් කිරීමට ද මර්දනය මෙන්ම කැමැත්ත අවශ්‍ය බව ඔහු කීය.

මාක්ස්වාදී න්‍යායේ කේන්ද්‍රීය අවශ්‍යතාවය රාජ්‍ය බලය අත්පත් කර ගැනීමය. එය ලෙනින්ගේ ‘රාජ්‍ය සහ විප්ලවය’ නැමැති කෘතියෙන් අවධාරණය කෙරෙයි. ග‍්‍රාම්ස්චිගේ විශ්ලේෂණය අනුව රාජ්‍ය බලය අත්පත් කරගැනීමෙන් පමණක් ධනවාදී හෙජමොනිය වෙනස් කළ නොහැකිය. එයට හේතුව ධනවාදය පවත්වාගෙන යනු ලබන්නේ රාජ්‍ය මඟින් පමණක් නොවන නිසාය. එයට සිවිල් සමාජය ද සම්බන්ධ වේ. (සිවිල් සමාජය යනු; දෘෂ්ටිවාදී කැමැත්ත ක‍්‍රියාවට නගන ක්‍ෂේත‍්‍රය වේ.) එහෙයින් ඔහු ප‍්‍රකාශ කරනුයේ රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් නොනැවතී පවත්නා හෙජමොනිය ද වෙනස් කළ යුතු බවයි.

"යමෙක් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට පෙර රාජ්‍ය බලය අභ්‍යාස කළ යුතුය."

මින් ග‍්‍රාම්ස්චි අදහස් කළේ පවතින රාජ්‍යයේ හෙජමොනියට ප‍්‍රතිවිරුද්ධ හෙජමොනියක් සමාජයේ ස්ථාපිත කළ යුතු බවයි. එනම්; මහජනයා තුළ නව දෘෂ්ටිවාදයක් ගොඩනැගිය යුතුය. එය පවතින හෙජමොනික දෘෂ්ටිවාදයට ප‍්‍රතිවිරුද්ධ හෙජමොනික දෘෂ්ටිවාදයක් විය යුතුය. ධනවාදී හෙජමොනියට ප‍්‍රතිවිරුද්ධ දෘෂ්ටිවාදය වශයෙන් ඔහු යෝජනා කරනු ලැබූයේ කොමියුනිස්ට් ව්‍යාපාරයයි. මෙම දෘෂ්ටිවාදී වෙනස සමාජයේ ඉහළ ස්ථරයේ සිට පහළ ස්ථරය දක්වා සිදුකළ නොහැකි බවත් එය පහළ ස්ථරයෙන් ආරම්භ කළ යුතු බවත් ඔහු ප‍්‍රකාශ කරයි. මේ අනුව ග‍්‍රාම්ස්චිගේ දර්ශනය තුළ දෘෂ්ටිවාදී අරගලයට (ෂබාසැදකදටසජ්ක ිඑරමටටකැ) ප‍්‍රධාන ස්ථානයක් හිමි වේ.

ග‍්‍රාම්ස්චිගේ දෘෂ්ටිවාදී අරගලය යනු; හුදෙක් ධනවාදී ගැටුමක් නොවේ. එය ඉන් ඔබ්බට ගමන් කළ දෙයකි. එය දෛනික ජීවිතය වෙනස් කරන එකක් විය යුතුය.

- ‘ධනවාදය යනු; හුදෙක් නිෂ්පාදනය, බෙදා හැරීම සහ පරිභෝජනය පිළිබඳ කාරණයක් නොවේ. ධනවාදය විසින් ධනවාදී ශිෂ්ටාචාරයක් පවත්වාගෙන යයි. ධනවාදය විසින් එයට ඔබින මිනිසෙකු නිර්මාණය කරයි.” -

එම නිසා වෙනසක් ඇති කිරීමට සිවිල් සමාජය තුළ දෘෂ්ටිවාදී වෙනසක් ඇති කළ යුතුය. මේ සඳහා ග‍්‍රාම්ස්චි ජනවහර (ක්‍දපපදබ ීැබජැ)නැමැති සංකල්පය යෝජනා කරයි. මෙය සාමාන්‍ය / පොදු දැනුම යන්නට වඩා පුළුල් අදහසකි. ඔහුට අනුව දෘෂ්ටිවාදය කාලාන්තරයක් තිස්සේ ජනතාව අතර ව්‍යවහාරයක් බවට පත් වීමෙන් මිනිසුන් එය ස්වභාවික යැයි පිළිගනී. එනම්; එය සාමාන්‍යකරණය වේ.

පොදු වහරක් බවට පත් වන්නේ අතීත දර්ශනයන්ය. එය පාලක පංතිය විසින් තම පාලිතයන් පාලනය කරනු පිණිස දෘෂ්ටිවාදී උපකරණයක් ලෙස භාවිත කරනු ලබයි. එම දෘෂ්ටිවාදයන් බොහෝ කලක් තිස්සේ භාවිත කිරීම තුළින් පසුකාලීනව ස්වභාවය බවට පත් වේ. මේ අනුව විප්ලවය සිදුකළ යුත්තේ ප‍්‍රතිදෘෂ්ටිවාදයක් ගොඩනැගීමෙනි. ඒ සඳහා දෘෂ්ටිවාදී අරගලයක් අවශ්‍යයය.

එසේ නම් දෘෂ්ටිවාදී අරගලයක් ගොඩනඟන්නේ කෙසේ ද? යන්න විමසා බැලිය යුතුය. ග‍්‍රාම්ස්චි ප‍්‍රකාශ කරනු ලැබූයේ ඒ සඳහා බුද්ධිමය සහ සදාචාරමය ප‍්‍රතිසංස්කරණ (ෂබඑැකකැජඑම්ක ්බා ඵදර්ක රුදෙරප) ඇති කළ යුතු බවකි.

බුද්ධිමතුන් විසින් සත්‍ය සහ අසත්‍ය ජනතාවට අවබෝධ කර දෙයි. සදාචාරයේ වැදගත්කම වන්නේ හොඳ සහ නරක පිළිබඳව ජනතාව දැනුවත් කරන බැවිනි. මේවා දෘෂ්ටිවාදී ගොඩනැංවීම්ය.

මේ අනුව ග‍්‍රාම්ස්චි ප‍්‍රකාශ කරන්නේ නිර්ධන පංතිය සමාජයේ බුද්ධිමය සහ සදාචාරාත්මක ප‍්‍රතිසංස්කරණයන් ඇති කිරීමට නම් බුද්ධිමය හා සදාචාරාත්මක නායකත්වය (ෂබඑැකකැජඑම්ක ්බා ඵදර්ක ඛැ්ාැරියසච) ඔවුන් විසින් දිනාගත යුතු බවයි. ග‍්‍රාම්ස්චිට අනුව සමාජයේ සියළලුම දෙනා බුද්ධිමතුන්ය. සාම්ප‍්‍රදායික බුද්ධිමතුන් සහ ඓන්ද්‍රීය බුද්ධිමතුන් ලෙස දෙකොටසකි. සාම්ප‍්‍රදායික බුද්ධිමතුන් යනු; මේ වන විටත් සම්ප‍්‍රදායික දෘෂ්ටිවාදයේ ප‍්‍රචාරකයින්ය. ඓන්ද්‍රීය බුද්ධිමතුන් යනු; යම් සමාජ පංතියකට ඓන්ද්‍රීයව සම්බන්ධවන, එම සමාජ පංතියේ දෘෂ්ටිවාදය සහ ලෝක දැක්ම ගොඩනැගීමට සහ ව්‍යාප්ත කිරීමට සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතය සමඟ සම්බන්ධ වී ක‍්‍රියා කරන අයයි. ග‍්‍රාම්ස්චි විසින් ඉදිරිපත් කළ විප්ලවවාදී ව්‍යාපාරයට අවශ්‍යය වන්නේ නිර්ධන පංතියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් ය.

ග‍්‍රාම්ස්චිගේ සංකල්පය තුළ දේශපාලන නායකත්වය පමණක් නොව බුද්ධිමය සහ සාදාචාරාත්මක නායකත්වයන් නිර්ධන පංතිය විසින් දිනාගත යුතුය. එය පංතිමය සාධකය තුළින් පමණක් ලබාගත නොහැකිය. පංතිමය නොවන ආගමික, ජාතිකත්වය වැනි සාධකද ඇත. මෙහි දී ග‍්‍රාම්ස්චි "ජාතික ජනතා බලවේගයක්" පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කරයි. එනම්; නිර්ධන පංති ව්‍යාපාරය ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශයෙහි පවතින ජාතික ජනතා බලවේගය මෙම විප්ලවීය ව්‍යාපාරයට සම්බන්ධ කරගත යුතු බවයි. (මෙම අදහසට ඔහුට බලපානු ලැබූයේ ඉතාලි පැසිස්ට්වාදය ජයග‍්‍රහණය කිරීම ජාතික ජනතා බලවේගය තුළින් සිදුවීමය.)

ග‍්‍රාම්ස්චි ‘පංතිය’ ලෙස අදහස් කළේ හුදෙක් ආර්ථික පංතිය පිළිබඳ සරල තේරුම නොවේ. ඔහුට අනුව පංතිය ගොඩනැගිය යුත්තේ ඔවුන්ගේ බුද්ධිමය, දේශපාලනික හා සදාචාරාත්මක නායකත්වය තුළිනි. සාමූහික අධිෂ්ඨානය (ක්‍දකකැජඑසඩැ අසකක) පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරන ග‍්‍රාම්ස්චි ප‍්‍රතිහෙජමොනික ව්‍යාපාරයක් යන්න හඳුන්වා ඇත්තේ "බුද්ධිමය සහ සදාචාරාත්මක නායකත්වයකින් ගොඩනැගෙන සාමූහික අධිෂ්ඨානය"ලෙසය. ග‍්‍රාම්ස්චිට අනුව නිර්ධන පංති දේශපාලනයේ යෙදෙන්නේ නිර්ධන පංතිය පමණක් නොවේ. පාලක පංතියත් එයට සහභාගී වෙයි. පාලක පංතියේ හෙජමොනික උපාය මාර්ගයත් වන්නේ ‘නිෂ්ක‍්‍රීය විප්ලවය’ (ඡු්ිිසඩැ ඍැඩදකමඑසදබ) යයි. ඉන් අදහස් කෙරෙනුයේ පාලක පංතියට විරුද්ධව යම් යම් ව්‍යාපාරයන් ඇතිවෙද්දී ඒවාට දේශපාලනිකව ආමන්ත‍්‍රණය කරනු වෙනුවට ඒවා පවතින දේශපාලනයට අන්තර්ග‍්‍රහණය කර ගැනීමයි. ග‍්‍රාම්ස්චිගේ ප‍්‍රති හෙජමොනික ක‍්‍රියාමාර්ගයට අනුව නිෂ්ක‍්‍රීය දේශපාලනයට විරුද්ධව යළි දේශපාලනීකරණය ක‍්‍රියාත්මක කළ යුතුය.



ආශ‍්‍රිත මූලාශ‍්‍ර

1. ීසපදබල ඍදටැරග 1982ග ඨර්පිජස.ි ඡුදකසඑසජ්ක ඔයදමටයඑථ ්බ සබඑරදාමජඑසදබථ ඛදබාදබග ඛ්අරුබජැ ්බා අසිය්රඑග

2. ගුණසිංහ, නිව්ටන්. 1986. අන්තෝනිඞ් ග‍්‍රාම්ස්චි: කෙටි හැඳින්වීමක් : කොළඹ. කම්කරු ගොවි ආයතනය.

3. ප‍්‍රභාෂිණී, සන්ධ්‍යා. ප‍්‍රවාද. කොළඹ 05. සමාජවිද්‍යාඥයන්ගේ සංගමය.

4. යඑඑචථරැුරැුැබගඅසනසචැාස්ගදරටරැුඅසනසරැු්බඑදබසද_ඨර්පිජස

5. යඑඑචථරැුරැුඅඅඅගසබෙැාගදරටරැුඑයසබනැරිරැුැඑ-ටර්පගයඑපක

6. යඑඑචථරැුරැුඅඅඅගඑයැදරහගදරටගමනරැුජඑර-ටර්පගයඑප

"https://si.wikipedia.org/w/index.php?title=හෙජමනිය&oldid=445048" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි