හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඉපදීම 1805 අප්‍රේල් 02
ස්ථානය ඔඩෙන්ස්, ඩෙන්මාර්කය
මියයාම 1875 අගෝස්තු 04 (වයස 70)
ස්ථානය කෝපන් හේගන්, ඩෙන්මාර්කය
වෘත්තිය නවකතා කරු, කෙටිකතා කරු, සුරංගනා කතා කරු, පද්‍ය රචක
ජාතිය - ඩෙන්මාර්ක්
නිර්මාණ වර්ග - ළමා සාහිත්‍ය, චිත්‍ර කතා

ඩෙන්මාක් බසින් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් හෝ සරළව H.C.ඇන්ඩර්සන් (1805 අප්‍රේල් 02 – 1875 අගෝස්තු 04) ඩෙන්මාර්ක් ජාතික කවියෙක් වු අතර ඔහුගේ සුරංගනා කතා සදහා ඔහු වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ වඩාත් ජනප්‍රිය වු කතා අතර The Snow queen , The Little Mermaid, The Emperor’s New Clothes හා The Ugly Duckling වෙයි. ඇන්ඩර්සන්ගේ ජීවිත කාලය තුළදී රාජකීයත්වයෙන් පිදුම් ලැබු අතර යුරෝපය පුරා වු ළමයින්ට සතුට ගෙන ආ පුද්ගලයෙකු ලෙස සැලකිනි. ඔහුගේ සුරංගනා කතා භාෂා 150 කට වැඩි ගණනකට පරිවර්තනය කර ඇති අතර ලෝකය පුරා පිටපත් මිලියන ගණන් වලින් ප්‍රකාශනයට පත්විය. ඇන්ඩර්සන් විසින් ඔහුගේ මුලකුරු දරා සිටි හොරයිසන් ක්‍රිස්ටියන් ඇකඩමියට ඔහුගේ ක්‍රියාකාරී දායකත්වය සැපයීය.

මුල් අවධිය[සංස්කරණය]

හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් 1805 අප්‍රේල් 2 දින ඩෙන්මාර්කයේ ඔඩෙන්ස් නම් නගරයේ දී උපත ලැබුවේ ය. ඔහු පවුලේ එක ම දරුවා විය. හෑන්ස් ම නම් වූ ඇන්ඩර්සන්ගේ පියා තමන් වංශවත් පෙළපතකට අයත් ලෙස සැලකුවේය. ඔහුගේ පිය පාර්ශ්වයේ මිත්තණිය විසින් ඔවුන්ගේ පවුළ අතීතයේ දී ඉහළ සමාජ කණ්ඩායමකට අයත් ව සිටි බැව් පවසා තිබුණ මුත් මෙය අසත්‍යයක් බව ගවේෂණවලින් තහවුරු වේ. පැතිර ඇති මතයකට අනුව ඇන්ඩර්සන් යනු 8වැනි ක්‍රිස්ටියන් රජුගේ විවාහයෙන් පරිබාහිර පුත්‍රයෙකි. නමුත් මේ කථාන්දරය අන්‍යයන් විසින් විවේචනය කරති.

මූලික අධ්‍යාපනයක් පමණක් ලබා තිබුණු ඇන්ඩර්සන්ගේ පියා ඔහුට අරාබි නිසොල්ලාසය කියා දෙමින් කුඩා හෑන්ස්  ව සාහිත්‍යය වෙත යොමු කළේ ය. ඈන් මේරි ඇන්ඩස්ඩැටර් නම් නූගත් තැනැත්තියක වූ ඇන්ඩර්සන්ගේ මව, 1816දී සිදු වූ ඇන්ඩර්සන්ගේ පියාගේ මරණින් පසු රෙදි අපුල්ලන්නියක ලෙසින් කටයුතු කළ අතර 1818දී ඕ දෙවන වරටත් විවාහ වූවා ය. දුප්පත් දරුවන් සඳහා වූ ග්‍රාමීය පාසැලකට යැවුණු ඇන්ඩර්සන්ට ඉන් මූලික අධ්‍යාපනය ලබා ගැනීමෙන් අනතුරු ව මුලින් ම  රෙදි වියන්නකු ළඟත් පසු ව සන්නාලියෙකු ළඟත් අත්උදව්කරුවකු ලෙස උගනිමින් සිය ජීවනෝපාය සාදාගන්නට සිදු විය. නලුවකු ලෙස වෘත්තීය අවස්ථාවක් සපයා  ගනු පිණිස වයස අවුරුදු 14දී කෝපන්හේගන් බලා යන ඔහු ව උත්කෘෂ්ඨ සොප්රානෝ කටහඬක් තිබීම හේතුවෙන් රාජකීය ඩැනිෂ් රඟහළ විසින් තෝරාගැණුනි. එහෙත් ඔහුට ඉක්මනින් ම කටහඬින් ඉවත් වන්නට සිදුවිය. තමන් ඇන්ඩර්සන් ව කවියකු ලෙසින් සලකන බැව් රඟහළේ සගයෙකු පැවසූ අතර මිතුරාගේ කීම දැඩි ව සිතට ගනිමින් ඔහු ලේඛනය කෙරෙහි යොමු විය.

රාජකීය ඩැනිෂ් රඟහළේ අධ්‍යක්ෂක වූ ජොනාස් කොලින් ඇන්ඩර්සන් කෙරෙහි ඉමහත් සෙනෙහසක් දැක්වු අතර යෞවනයාගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට 8වැනි ෆ්‍රෙඩ්රික් රජු ව එකඟ කරවා ගනිමින් ඔහු ව ස්ලැගෙල්ස් හි ව්‍යාකරණ පාසැලට ඇතුළත් කරවූයේ ය.  "The Ghost at Palnatoke's Grave" (1822) නමින් ඇන්ඩර්සන් සිය පළමු කථා පොත ඒ වන විටත් පළ කර තිබුණි. එතරම් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නොයෙදුණත් ඔහු 1827 දක්වා එල්සිනෝර් පාසැලට ද ඇතුළත් විය.

සිය දිවියේ අඳුරු ම සහ අමිහිරි ම යුගය තමන් පාසැල් අධ්‍යපනය ලැබූ වසරවල් බව ඇන්ඩර්සන් පසු කලෙක පැවසී ය. එක් විදුහලක දී ඔහු සිය විදුහල්පතිවරයාගේ නිවසේ වාසය කළ අකර එහි දී ඔහු ව අපයෝජනයට ලක් ව තිබූ අතර ඔහුගේ චරිතවත් බව වැඩිකිරීමේ අදහසින් ඒ සිදු කළ බව ඔහුට පවසන ලදී.පසු කලෙක ඔහු පැවසූ පරිදි පාසල ඔහු ව ලේඛනයෙන් ඈත් කිරීමට උත්සාහ කළ අතර ඔහු ව විශාදීය තත්ත්වයකට පත්වීමට එය හේතු විය.

සාහිත්‍ය සේවාව[සංස්කරණය]

මුල්කාලීන කෘති[සංස්කරණය]

The Tallow Candle නමින් ලියා තිබුණු ඇන්ඩර්සන්ගේ බෙහෙවින් ම මුල්කාලීන සුරංගනා කතාවක් 2012 ඔක්තොබර් මස ඩැනීෂියානු ලේඛනාගාරයක තිබී සොයා ගන්නා ලදී. ඇගයීමකට ලක් නොවුණු ඉටිපන්දමක් ගැන කියැවෙන එම කථාන්දරය 1820දී පමණ ලියැවුණකි. එය ලියා තිවුණේ ඔහු පාසල් අධ්‍යාපනය ලබන සමයේ දී ම ය. භාරකරුවකුට කැපකරන ලදු ව ඔහුගේ පවුලේ දේපළක් බවට පත් ව තිබූ එය එතෙක් කල් පවුලේ ලියකියවිලි සමූහයක් අතර සැඟවී ගොස් තිබුණි.

1829 දී A Journey on Foot from Holmen's Canal to the East Point of Amager නම් කෙටිකතාව රචනා කිරීමත් සමග ඇන්ඩර්සන් සැළකිය යුතු කීර්තියක් අත්කර ගත්තේ ය. මෙහි වීරවරයාට සාන්ත පීතරගේ පටන් කථාකරන බළලකු දක්වා වූ විවිධාකාර චරිත සමූහයක් මුණගැසෙති. Love on Sent Nicholas Church Tower නම් නාට්‍ය තුළ මෙන් ම කෙටි කාව්‍ය සංග්‍රහයක් තුළ ද මෙම සාර්ථකත්වය තවදුරටත් පවත්වාගැනීමට හෙතෙම සමත් විය. ඔහු ලේඛකයෙකු ලෙස විශාල ප්‍රගතියක් ඒ වනවිට අත්කරගෙන නොතිබුණත් 1833දී ඔහුට කෙටි චාරිකා අවස්ථාවක් රජුගෙන් හිමි විය. ස්විට්සර්ලන්තයේ ලෙ ලොක්ලේ ආසන්නයේ පිහිටි ජූරාහි දී ඔහු Agnet and the Merman නම් කථාන්දරය රචනා කළේය. ඉතාලියානු වෙරළ ගම්මානයක් වන සෙස්ට්‍රි ලෙවන්ටේ හි ඔහු එම වසරේ ම දිනක සන්ධ්‍යාවක් ගත කළ අතර The Bay of Fables යන නාමය එයට ලැබීමට එය හේතු විය. 1834 ඔක්තෝබරයේ දී ඔහු රෝමයට පැමිණියේ ය. 1835 දී පළ වූ ඇන්ඩර්සන්ගේ ප්‍රථම නවකතාව වන The Improvisatore (Improvisatoren) නම් ස්වයංචරිතාපදානමය කෘතියේ ඔහුගේ ඉතාලි සංචාරයන් පිළිබිඹු වන බව පැවසේ.

කවි සහ සුරංගනා කථා[සංස්කරණය]

ඔහුගේ මුල්කාලීන සුරංගනා කථා රචනයන් සිය ළමාකාලයේ දී අසන්නට ලැබුණු කථාන්දර ප්‍රතිරචනයට ගත් ප්‍රයත්නයක් විය. නමුත් අපූරු සහ නවීන වූ නිර්මාණයන් තුළින් එකී ශානරය නවමානයක් කරා ගෙනයාමට පසු ව ඇන්ඩර්සන් සමත් විය. පරිවර්තනය කිරීම දුෂ්කර වීම හේතුවෙන් දෝ ඒවා මුල දී ප්‍රචලිත නොවී ය. ඇන්ඩර්සන් සිය Fairy Tales කෘතියේ මුල් කාණ්ඩ දෙක පළකළේ 1835 දී ය. 1837දී පළමු වෙළුම සම්පූර්ණ කරමින් කථාන්දර රැසක් ම පළ කෙරුණි. එම සංග්‍රහය The Tinderbox, The Princess and the Pea, Thumbelina, The little Memaide සහ The Empire’s New Clothes ඇතුළු කථාන්දර නමයකින් සමන්විත විය.  මුල දී මෙම කථාන්දරවල වටිනාකම නිවැරදි ව හදුනා නොගත් අතර අලෙවි වූයේ ද සෙමිනි. මෙම කාලයේ දී ම ඇන්ඩර්සන් O.T. සහ Only a Fiddler නම් නවකතා දෙක රචනා කරමින් විශාල කීර්තියක් අත්කර ගැනීමට සමත් විය. දෙවනු කී කෘතිය තරුණ සොරන් කියකගාර්ඩ් විසින් විචාරයට ලක් කෙරිණ.

1837 දී ස්වීඩනයට කළ සංචාරයකින් අනතුරු ව ඇන්ඩර්සන් ස්කැන්ඩිනේවියානුවාදය වෙත ආකර්ෂණය වූ අතර ස්විඩීෂියානුවන්, ඩේන්ස්වරුන් සහ නෝර්වීජියානුවන්ගේ සහෝදරත්වය තේමාකරගත් කාව්‍යයක් රචනා කිරීමට යොමු විය. 1839 දී Funen වෙත කළ සංචාරයක් අතරතුර දී Jeg er en Skandinav (මම ස්කැන්ඩිනේවියානුවෙක් වෙමි) නමින් ඔහු සිය කාව්‍යයේ මුල් පද රචනා කළේ ය. ඇන්ඩර්සන් නොර්විජියානු ආධ්‍යාත්මයේ සුන්දරත්වය සහ සහෝදර ජාතීන් ත්‍රිත්වය අත්වැල් බැද ගනිමින් නැගී ආ අයුරු විදහා දක්වමින් එය රචනා කරන ලද්දේ ස්කැන්ඩිනේවියානු ජාතික ගීතයේ කොටසක් වශයෙනි. සංගීතඥ ඔටෝ ලින්ඩ්බ්ලැඩ් ඊට සංගීතය සැපයූ අතර 1840 ජනවාරියේ දී ප්‍රසිද්ධ කෙරුණි. එය කළාතුරකින් ගැයුණු 1845 සමයේ දී ජනප්‍රියත්වය හිනිපෙත්තට ම නැග තිබුණි. 1844 ගිම්හානයේ දී ඇන්ඩර්සන් ඔගස්ටන්බර්ග් මාළිගාවේ දෙසතියක් ගත කළේ ය.

ඇන්ඩර්සන් 1848 දී "The Daisy", "The Steadfast Tin Soldier" සහ "The Wild Swans" යන කථාන්දර ඇතුළත් Fairy Tales Told for Children. New Collection. First Booklet (Eventyr, fortalte for Børn. Ny Samling) නම් තවත් සංග්‍රහයක් සමගින් නැවතත් සුරංගනා කථා කලාවට ගොඩවැදුණි.

1845 වසරේ ඔහුගේ සුරංගනා කථාන්දරයන්හි පරිවර්තන භාෂා හතරකින් එළිදැකීම ඔහුගේ නිර්මාණ දිවියේ දැවැන්ත කඩඉමක් සනිටුහන් කළේය. Bentley's Miscellany නම් සඟරාවේ The Little Mermaide පළවුණු අතර Wonderful Stories for Children නමින් ඔහුගේ සුරංගනා කථාවල දෙවෙනි වෙළුමක්ද පළකෙරුණි. අනතුරු ව A Danish Story Book සහ Danish Fairy Tales and Legends නමින් තවත් වෙලුම් දෙකක් ද පළකෙරුණි. Wonderful Stories කෘතිය සම්බන්ධයෙන් The Athenæum නම් ලන්ඩනයේ පළ වූ සගරාවක මෙවැනි විචාරයක් ද පළ වී තිබුණි.

මෙම කෘතිය සුරංගනා ලෝකයේත් සැබෑ ලෝකයේත් සංකලනයකි. එය කෙළිලොල් බාලයන්ට මෙන් ම වැඩි මහලු අයටත් එකසේ රස විදිය හැක්කකි. මෙය කියවූ කිසිවකුගේ මතකයෙන් මෙහි එකදු වදනක් ඉවත් නොවනු නො අනුමාන ය.

ඇන්ඩර්සන් ඉන් අනතුරු ව ද 1872 දක්වා ම සුරංගනා කථා රචනයෙහි යෙදුණු අතර ඒවා කොටස් වශයෙන් පළ කෙරුණි.

සංචාරාඛ්‍යාන[සංස්කරණය]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

ඩිකන්ස් සමග ඇසුර[සංස්කරණය]

1847 ජුනි මස ඇන්ඩර්සන් සිය පළමු සවාරිය එංගලන්තය උදෙසා යොදාගත් අතර එහිදී ඔහුට ලේඛකයෙකු වශයෙන් සිය සමාජ ජීවිතයේ ජයග්‍රහණයන් රැසක් ම ලබාගැනීමට ද හැකි විය. බ්ලෙසිංග්ටන්හි අදිපාදවරිය සිය සාදවලට ඔහුට ද ඇරයුම් කළ අතර ඔහු මුල්වරට චාල්ස් ඩිකන්ස් ව මුණ ගැසෙන්නේ එවක සමාජයේ විද්වතුන්, කළාකරුවන් වැනි අය නිතර මුණගැසුණු එවැනි සාදයක දී ය. ඩිකන්ස් සමග අතට අත දී ඔහු සමග වැරැන්ඩාවේ ගමන් කිරීමට ලැබීම ගැන ඇන්ඩර්සන් සිය දිනපොතෙහි මෙසේ සටහන් කර තිබිණි. අපි වැරැන්ඩාව දිගේ එකට ගමන් කළෙමු. මා එදින මහත් ප්‍රීතියට පත් ව සිටියෙමි. මක්නිසාද යත් මා වඩාත් ම අගය කළ ලේඛකයා සැබවින් ම හමු වී කථාබහ කිරීමට මා වාසනා ලද බැවිනි.

ඩිකන්ස් සහ ඇන්ඩර්සන් එකිනෙකාගේ නිර්මාණ අගය කළ අතර නිර්මාණකරුවන් වශයෙන් තම සිතුවිලිද බෙදාහදා ගත්හ. ඔවුන් දෙදෙනා ම කාර්මික විප්ලවයත් අන්ත දරිද්‍රතාවයත් හේතුවෙන් බෙහෙවින් කම්කටොලු විද තිබුණු බැවින් අසරණ දිළිදු ජනතාව පිළිබද සාහිත්‍යමය දැක්ම දෙදෙනාට ම පොදු වූවක් විය. එමෙන් ම වික්ටෝරියානු සමය තුළ වූ දරුවන් පිළිබද සානුකම්පිත දයාව මෙන් ම ළමාවියේ නිර්මල අවිහිංසක බව පරමාදර්ශගත කිරීමද ඔවුන්ට බලපෑවේ ය.

ප්‍රේම සබදතා[සංස්කරණය]
මරණය[සංස්කරණය]

1872 සිට අක්මාවේ පිළිකාවක ලක්ෂණ පෙන්නුම් කරමින් සිටි ඔහු 1875 අගෝස්තු 4 කෝපන්හේගන් ආසන්නයේ සිය මිතුරකු වූ මොරිස් මෙල්ශියර්ගේ නිවසේ දී අවසන් හුස්ම හෙළී ය. සිය අභාවයට කෙටි කලකට පෙර සංගීතඥයකුට සිය අවමංගල සංගීතය නිර්මාණය කිරීමට පවරමින් ඇන්ඩර්සන් මෙසේ පවසා තිබුණි. කුඩා ළමුන් හුඟ දෙනෙක් මා එක්ක පසු ගමන් යන්න ඒවි. ඒ අයට අඩි තියන්න ලේසි වෙන රිද්මයක් යොදාගන්න. කෝපන්හේගන්හි Nørrebro පෙදෙසේ Assistens Kirkegård හි ඔහුගේ දේහය තැන්පත් කෙරිණි.

සිය ජීවිතය නිමා කරන විට ඇන්ඩර්සන් ජාත්‍යන්තර වශයෙන් සම්භාවනාවට පත් ලේඛකයෙක් ව සිටියේ ය.