සොක්‍රටීස්

විකිපීඩියා වෙතින්
Socrates (Σωκράτης)
Socrates Louvre.jpg
සොක්‍රටීස්
උපතc. 469 / 470 BC[1]
දේමෙ ඇලොපෙසෙ, ඇතැන්ස්
මිය යාම399 ක්‍රි. පූ. (වයස 71 දී පමණ)
ඇතැන්ස්
ජාතිකත්වයGreek
යුගයපුරාතන දර්ශනය
ප්‍රදේශයබටහිර දර්ශනය
ගුරුකුලයසම්භව්‍ය ග්‍රීක
ප්‍රධාන ලැදිකම්
ඥාන විභාගය, ආචාර ධර්ම
සංගණ්‍ය අදහස්
සොක්‍රටීක විධි ක්‍රමය

'සොක්‍රටීස් (/iconˈsɒkrətz/; Greek: Σωκράτης, පුරාතන ග්‍රීක උච්චාරණය: Sōkrátēs; විසූ කාලය ක්‍රි. පූ. 469 – සිට ක්‍රි. පූ. 399 දක්වා)[1] යැයි සැලකේ. සොක්‍රටීස් සම්භව්‍ය ග්‍රීක දාර්ශනිකයෙකි. බටහිර දර්ශනයේ නිර්මාතෘවරයෙකි. ඔහු ගැන දැනගන්නට ලැබෙන්නේ ඔහු ගැන සමකාලීනයන් සහ පසුකාලීනයන් ලියූ සටහන් වලිනි. විශේෂයෙන් ම ප්ලේටෝ සහ ක්සෙනෆොන් වෙතින් ද ඇරිස්ටොෆනීස් අතින් ලියැවෙන නාට්‍ය වලින් ද සොක්‍රටීස් දර්ශනය උගත හැකිය. සොක්‍රටීස් පිළිබඳ තතු සියල්ල විනාශ නොවී පැවතුනේ ප්ලේටෝ විසින් ලියූ සංවාද නිසා යැයි පිළිගත් මතයයි. [2]

සොක්‍රටීස් යම් තරමක වත්කමකින් යුතු වූවෙකි. එබැවින් ඔහුට තම කාලය වාද විවාදයෙන් ගෙවන්නට ඉඩක් ලැබුණි. විතණ්ඩවාදීන් නමින් වූයේ එකළ වෘත්තීය ගුරුවරැන්ය. ඔවුන්ගේ දර්ශනය හා එකඟත්වයක් නොදැක්වූවත් ඔවුන් මෙන් ගාස්තුවක් අය කරමින් තරුණයන් හට ඉගැන්නුවේ නැති වුවත්, විතණ්ඩවාදී දැක්මක් සොක්‍රටීස් අනුගමනය කළේය. ඒ විශ්ව සම්භවය ගැන වෙහෙසීමට වඩා මිනිසා ගැන අවධානය යොමු කිරීමට කාලය ගැනීමයි. එහෙත් විතණ්ඩවාදීන් මිනිසත්බව ගැන කතා කළාට වඩා වෙනස් ලෙසකින් සොක්‍රටීස් විෂයයට පිවිසියේය. සොක්‍රටීස්ට උවමනා වූයේ සියළු තර්ක නිවැරදි වූ නිර්වචන මඟින් විවාරයටයි.

ඇරිස්ටොෆනීස් ලියන ලද "වළාකුළු" යන නාට්‍යයේ සොක්‍රටීස්ගේ විහිළු චරිතය හුවා දක්වයි. එයින් පෙනෙන්නේ සොක්‍රටීස් ඇතැන්ස් නගරයේ සුප්‍රසිද්ධ වූ පුද්ගලයෙක් බවයි. එහෙත් ඔහු ජනප්‍රිය වූවෙක් දැයි සැකයක් පවතී. මන්ද ඔහුගේ සංවාදයන්ට හසු වූ බොහෝ අය සොක්‍රටීස් වෙතින් තමන් දන්නවා යැයි සිතූ කාරණයක් ගැන ප්‍රශ්න කිරීම් වලට ලක්වෙද්දී තමන් නොදන්නා බව අවට සිටින අයට පැහැදිලි වෙද්දී නොසන්සුන් වූහ. සමහරු සොක්‍රටීස් කිසිවකට ගරු කළේ නැතැයි කියන්නේ මේ නිර්වචන සොයා යන්නට ඔහු නිතර ගත් උත්සාහය නිසයි. තවත් සමහරු ඔහු තරුණ මනස් දූෂණය කළා යැයි අපවාද කරති. ඒ ඔවුන් නිවැරදි යැයි සිතා සිටි දේවල් වැරදි යැයි පෙන්වූ සොක්‍රටීස් විසින් පැහැදිලි නිරාකරණයන් පිළිගැන්වූයේ නැති නිසා යැයි කියැවේ.

ක්සෙනෆොන් තම "මතකයන්" හි ලියන පරිදි සොක්‍රටීස් ඥාන විභාගයක් පටන් ගන්නේ ප්‍රශ්නයකිනි. "මට සපත්තුවක් අලුත්වැඩියා කරගැනීමට උවමනා වූ විට මා යන්නේ කා ළඟට ද?" යැයි හේ අසයි. ඊට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වෙන තරුණයෙක් කියන්නේ "සොක්‍රටීස්, ඔබ යා යුත්තේ සපතේරුවක් ළඟට," යැයි කියාය. ඊ ළඟට ඔහු මට පුටුවක් හදාගන්න නම් යා යුත්තේ කා ළඟට දැයි අසයි. වඩුවෙක් ළඟට යැයි උත්තරය ලැබේ. එසේ ප්‍රශ්න අසා ගෙන යමින් අවසානයේ දී මිනිසාගේ පාලනය සඳහා පත්කර ගත යුත්තේ කවරෙක් ද? වැනි ප්‍රශ්නයකට ඔහු එයි. ඔහු පෙන්වන්නට යන්නේ පාලකයෙකු වශයෙන් පත්කර ගන්නා තැනැත්තා ඒ වෘත්තීයේ ප්‍රවීනයෙක් විය යුතු යැයි කියාය. එහෙත් එවක ප්‍රජා පීඩකයන් තිස්දෙනාගෙන් අයෙක් වූ ක්‍රීටියාස් හා ඔහු එවැනි තැනක දී ඝට්ටනය විය. තරුණ මනස් ව්‍යාකූල කරනවා යැයි ඔහුට අවලාද කියුවේය. "ඔබ දැන් සපතේරුවන්, වඩුවන්, ලෝහකරුවන් යොදා ගත්තා හොඳට ම ඇති කියමින් හේ ඔවුන්ව ඔබ සංචාරයේ යැවූ තරමට දැන් ඔවුන්ගේ විලුම් හොඳට ම ගෙවී ඇතැයි සොක්‍රටීස්ව හාස්‍යයට ලක් කළ බව කියැවේ. [3]

පෙලපනීසියන් යුද්ධය අවසානයේ පිහිටුවන ලද කනිපයාධිපති ආණ්ඩුවේ නායකයන් වූයේ ප්‍රජා පීඩකයන් තිස්දෙනාය. ඔවුන්ගේ ආණ්ඩුව පැවතුනේ ඉතා කෙටි කලක් තුල පමණි. එවක ඇතැන්ස් නගරය ප්‍රජාතන්ත්‍රවාදී වූවකි. සොක්‍රටීස්ගේ සංවාද ශෛලිය පාලනයේ සිටි බොහෝ දෙනෙකුට නොරිස්සුමට හේතුවිය. ඔහුගේ සරදම් විලාසය ද තරුණයන් වික්ෂිප්තයට හා හිත් රිදවුම් වලට පාත්‍ර කරන ලද්දේ මහජන රැස්වීම් වල දී ය. ඔවුන් සමාජයේ ඉහළ තලයේ පවුල් වල වූ තරුණයන් වූ නිසා ඔවුන්ගේ රදළ පසුබිම හා සමාජ පංතියට අනුව සොක්‍රටීස් ගැන පැමිණිලි බොහොමයක් සිද්ධ විය. ඒවාට උත්තර දෙන්නට යැයි ඔහුව කැඳවන ලදි.

"සමාව" යන සංවාද කෘතිය නඩු විභාගයේ දී සොක්‍රටීස් විසින් තම නිදහස පිණිස පවත්වන ලද දේශනය යැයි සැලකේ. එය පසුකාලයක දී වාර්තා කෙරෙන්නේ ප්ලේටෝ අතින් බව අප මතක තබා ගත යුත්තකි. එය ඵෛතිහාසික නිවැරදි බවින් යුතු යැයි විද්වත් පිළිගැනීම වෙයි. තමන්ගේ දර්ශනයට නොව නඩු විභාගයේ දී සොක්‍රටීස් චෝදනා ලබන්නේ පාපිෂ්ඨ වූ දෑ කරන ලද්දෙක් යන්නටය, පොළව යට හා අහසේ ඉහළ ඇති දේ පිළිබඳ ව සොයා බලන, වඩා නරක කරුණු වඩා හොඳ කරුණු සේ දක්වන, මේ සියල්ලක් අන්‍යයෙකුට උගන්වන්නට තැත් කරන පුදුම පුද්ගලයෙක් යැයි කියමිනි. එම චෝදනා ගෙනෙන අය සොක්‍රටීස් ඒවාට පිළිතුරු නොදෙන බව දැන සිටියහ. සොක්‍රටීස් ක්ෂමාව ඉල්ලන්නේ නැති බවත් දැන සිටියහ. බහුතරයා විසින් සොක්‍රටීස් වැරදිකරුවෙක් යැයි තීරණය කරන ලදි. ඔහුට මරණ දණ්ඩනය නියම විය. ප්ලේටෝ ඇතුළු පිරිසක් ඔහුට පළා යන්නට මඟක් පාදා දුන්න ද හේ එය බාරගත්තේ ද නැත. හැත්තෑ විය ඉක්මවා තිබූ සොක්‍රටීස් තමනට හුරු පුරුදු ලෙසින් අවසන් දේශනය පැවැත්වූවා යැයි සටහන් වෙයි.

තව ෙබාහෝ තතු සදහා theuniv.webs.com

සොක්‍රටීක විධි ක්‍රමය[සංස්කරණය]

සොක්‍රටීස්ගේ සංවාදයන් දෙයාකාරයට දිග හැරේ. එක පැත්තක් නම් පිටතට ය, එනම් විෂය මූලික වූ දැයේ නිර්වචන පිළිබඳව ය. අනෙක් පැත්ත ඇතුලට යන්නකි, එනම් අභ්‍යන්තර වූ ස්ප්‍රීතුව සොයා යන්නකි. එය සොක්‍රටීස්ට අනුව සියළු සත්‍යය තිබි තැනයි. සත්‍ය යන්න පහදා ගත යුතු, පරිසිද්ධි හා සැසඳෙන, අවංක හා වගකීමකින් යුතු වූවක් හැටියට සැලකූ සොක්‍රටීස් සත්‍යය සොයා යෑම නොහොත් ඥානය හඹා යෑම එක සති අන්තයක දී පංතියකින් ඉගෙන ගත හැක්කක් නොව ජීවිත කාලයම ඊට කැප කළ යුතු යැයි කියූවේය. "විමර්ශනය නොකරන ලද ජීවිතය ජීවත්වීමට නොසුදුසුය."

කුමක් ද සද්ගුණය? කුමක් ද යුක්තිය? කුමක් ද සත්‍යය? යනුවෙන් ප්‍රශ්නයක් අසන සොක්‍රටීස් එය දන්නවා යැයි සිතා උත්තර දෙන්නෙක් අල්ලා ගත් විට ඉතා ප්‍රමුදිත වෙයි. ඊ ළඟට ඔහු කරන්නේ ඒ උත්තර වල වැරදි සොයා පෙන්නීමයි. එසේ පෙන්වා දීමේ දී උත්තර දෙන්නට පැමිණි අය තමන් නොදන්නා බව වටහා ගනියි. සොක්‍රටීස්ගේ අරමුණ ද එය ම වෙයි. එක සොක්‍රටීස් සංවාදයක අයෙක් තමා දත්තා යැයි සිතූ දැය නොදන්නා බව වැටහීමෙන් හඬා වැටෙන අවස්ථාවක් ද ඇත. සංවාදය අවසන් වෙන්නේ නොදන්නා දේ ගැන සොයා යෑමේ කර්තව්‍යයට සොක්‍රටීස් හා අනෙකා එකඟ වීමෙනි. සොක්‍රටීස්ගේ සංවාද බොහොමයක් අවසන් වෙන්නේ එළඹෙන අවසන් සමාප්තියකින් තොරව ය. සොක්‍රටීස්ට අනෙකා වෙනුවෙන් සත්‍යය කියා දිය නොහැක. අනෙකා තමා විසින් සත්‍යය අවබෝධ කරගත යුතුය.

විරෝධය[සංස්කරණය]

ප්‍රඥාවට බොරු අයිතිවාසිකම් කියා ගන්නා අය හෙළිදරව් කිරීමට ඔහුගේ මුළු කාලය වැය විණ. ඒ හෙයින් ඔහු අන්ත දිළිඳු බවට පත් වූවා යැයි ද සටහන් වෙයි. රදළ පංතියට අයත් එහෙත් වැඩි වත්කමක් නොතිබුණු තරුණයෝ ඔහුගේ සංවාද අසා ප්‍රීතියට පත් වූ නමුත් පාලකයන් අතර සිටි ධනවතුන් තම වැරදි හෙළිදරව් කරනවාට අකමැති වූහ. තමන් ප්‍රඥාවන්ත යැයි බොරුවට හඟවා සිටීම හෙළි වූ බව පිළිගැනීමට ඔවුන් අකැමති වූවා යැයි තමා මෙන් කිසිත් නොදන්නා යැයි කීමට එඩිතර නැතැයි සොක්‍රටීස් කීම නිසා ඔහුගේ හතුරන් සංඛ්‍යාව වැඩි විය.සොක්‍රටීස්‌ගේ ආචාරධර්ම පිළිබඳ ඉගැන්වීම්

සොක්‍රටීස්‌ විශ්වාස කළ ආකාරයට, දර්ශනයේ ප්‍රධාන අරමුණක්‌ විය යුත්තේ මිනිසා තම ජීවිතය ගෙවිය යුත්තේ කෙසේද? කුමන ආකාරයේ ක්‍රියාවන් වඩා යහපත් ද? පුද්ගලයන් ප්‍රජාවක්‌ තුළ හෝ රාජ්‍යයක්‌ තුළ එකට එක්‌ව ජීවත් විය යුත්තේ කෙසේ ද වැනි ගැටලුවලට පිළිතුරු සෙවීමයි. මේ සඳහා සොක්‍රටීස්‌ තමා විසින්ම නිර්මාණය කරගත් ක්‍රමවේදයක්‌ අනුගමනය කළේ ය.

ඒ හරහා ඔහු සදාචාර සම්පන්න සහ ආචාරධර්මීය චර්යාවන් යන්න නිර්වචනය කිරීමට උත්සහ කළේ ය. ඔහුගේ මතය අනුව, ඥානය ළඟා කරගැනීම සඳහාත් යහපත් ආචාරධර්මික පුද්ගලයෙක්‌ බවට පත්වීම සඳහාත් නිවැරදිම ක්‍රමවේදය වූයේ, විෂයික මූලධර්මයන් පිළිබඳව විවිධ පුද්ගලයන් සමඟ අර්ථසම්පන්න සාකච්ඡාවල නිරත වීමයි. සොක්‍රටීස්‌ වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ මෙම ක්‍රමවේදය නිසා ය. ඔහු ඇතැන්ස්‌ නගරයේ වෙළඳපළ ආශ්‍රිතව සාමාන්‍ය ජනයා සමඟ ඉතා දිගු සාකච්ඡාවල නිරත විය.

ඔවුන් සමඟ යුක්‌තිය, යහපත හා සදාචාරය වැනි මාතෘකා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළේ ය. මේ ක්‍රමය ‘dialect' නම් විය. මෙමගින් දාර්ශනික ගැටලු පිළිබඳ සාකච්ඡාව තනි පුද්ගල ප්‍රකල්පනයකට (contemplation) වඩා ඉහළ මට්‌ටමක තත්ත්වයකට පත් විය.

සොක්‍රටීස්‌ ඥානය, සද්ගුණය සමඟ සමානකොට දක්‌වයි. එනම් 'ඥානය සද්ගුණය වන අතර, සද්ගුණය ඥානයයි' (knowledge is virtue, virtue is knowledge). මෙමගින් ඔහු ඥානය/සද්ගුණය මගින් ආචාරධර්මික පැවැත්ම ඇතිවන බව දක්‌වයි. එමෙන්ම ඔහු ජීවත් වීම සඳහා සුදුසු වන්නාවූ ප්‍රතිපත්තීන් සහ ක්‍රියාවන් පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කරයි. එමගින් තීරණ ගත යුත්තේ ආචාරධර්මමය පදනමක්‌ මත පිහිටාගෙන ය. ඔහු විශ්වාස කළ ආකාරයට, පුද්ගලයෙකුට සතුටින් ජීවත් වීමට නම් සද්භාවය පිළිබඳ ඥානය පමණක්‌ ප්‍රමාණවත් ය.

එනම් සද්භාවය පිළිබඳ අවබෝධයකින් පසුවීමයි. ඔහු දක්‌වන පරිදි යහපත පිළිබඳ වූ ඥානය සැමවිටම සමානවන්නේ ඉහළ අධ්‍යාත්මික මට්‌ටමකට ය. ඔහුට අනුව කිසිදු පුද්ගලයෙක්‌ තම ජීවිතයේ වටිනාකම පිළිබඳව හොඳින් අවබෝධයෙන් සිටින්නේ නම් කිසිදු විටෙක තවත් අයෙකුට ස්‌ව-කැමැත්තෙන් හානියක්‌ කිරීමට උත්සහ දරන්නේ නැත.

සද්භාවය හෝ සතුට යන්න පුද්ගලයෙකුගේ සම්බන්ධතාවල යහපැවැත්ම මත පදනම් වන බව සොක්‍රටීස්‌ගේ ඉගැන්වීමයි. එනම් එම සම්බන්ධතාවන් ඥානය සමග සම්බන්ධ විය යුතු ය.(ඉහතින් දැක්‌වූ පරිදි) සාමාන්‍ය පුද්ගලයන් දක්‌වන පරිදි යහපත් යනු, සෞඛ්‍ය, ධනය, රූමත්බව, සහ ගුණධර්ම ආදියයි. ඒවා සාමාන්‍ය මනුෂ්‍යයා අවබෝධ කරගන්නේ සද්භාවය හා සම්බන්ධ කරගෙනයි. නමුත් සොක්‍රටීස්‌ට අනුව මෙම සෞඛ්‍ය, ධනය, රූමත්බව ආදිය මනුෂ්‍යයෙකුට අත්‍යවශ්‍ය ලෙස ප්‍රයෝජනවත් නොවේ.

මෙය වඩාත් පැහැදිලි කරන්නේ නම්, එවැනි තත්ත්වයන් ඥානය සමග සම්බන්ධ නොවී ඉදිරිපත් කෙරෙන විට එය මනුෂ්‍යයාට හානිදායක විය හැකි ය. එසේ නම් සත්‍යවශයෙන්ම යහපත යන්න ප්‍රයෝජනවත් විය යුතු ය.

එනිසා සාමාන්‍ය ලෝකය තුළ යහපත් යෑයි ගැනෙන බොහෝ දේ ප්‍රයෝජනවත් නොවන නිසා එය සැමවිටම යහපත් නොවේ. සොක්‍රටීස්‌ පවසන පරිදි නිරන්තරයෙන් ප්‍රයෝජනවත් සහ යහපත් වන්නේ ඥානය පමණි.

සොක්‍රටීස්‌ පැවසුවේ මනුෂ්‍යයා තුළ ස්‌වභාවයෙන්ම සද්ගුණය පවතින බවයි. එනම්, සද්ගුණය මගින් සෑම පුද්ගලයෙක්‌ තුළම සදාචාරය ඇතිකරන බවකි. එසේ නම් සදාචාරය සෑම කෙනෙකුටම පොදු තත්ත්වයකි. ඔහු දක්‌වන ආකාරයට යමෙක්‌ දාර්ශනිකයෙක්‌ නම්, ඔහු සිදුකළ යුත්තේ ඉහත කී සහජ තත්ත්වයන් සාමාන්‍ය ජනයාට පැහැදිලිකොට ඥානය ප්‍රචලිත කිරීමයි. එසේනම් ඥානය නිරන්තරයෙන් ඉන්ද්‍රිය මූලික නොවිය යුතු ය.

මේ නිසා, ඥානය. යන්න ආත්මීය ස්‌වභාවයෙන් මුද්වාගෙන එය විෂය මූලික සහ වාස්‌තවික තත්ත්වයක්‌ යටතට ගෙන ඒමට සොක්‍රටීස්‌ උත්සහ කළේ ය. සොක්‍රටීස්‌ගේ දර්ශනයට අනුව ඥානය ඉන්ද්‍රිය මූලික නොවේ. පවතින ඕනෑම යමක්‌ වේ නම් එය බුද්ධිමය තත්ත්වයක්‌ පමණක්‌ වේ. මෙහිදී ඥානය බුද්ධිමය තත්ත්වයක්‌ යටතට ගැනීම යනු ඥානය, ගණිතය. බවට පත්වීම නොවේ. එනම් ඥානය යනු ගණිතය නොවේ. එයට හේතුව ඥානය යනු සද්භාවය නම්, සද්භාවය යනු ගණිතය වීමට නොහැකි නිසාවෙනි. සොක්‍රටීස්‌ට අනුව සෑම පුද්ගලයෙක්‌ටම ඉන්ද්‍රියගෝචර අංශයකුත්, බුද්ධිගෝචර අංශයකුත් පවතී. මේ නිසා ඔහු සෑමවිටම ඉන්ද්‍රියගෝචර තත්ත්වයන්ට අනුකූල නොවිය යුතු ය. එනම්, ඔහුට බුද්ධියක්‌ පවතී. එහිදී මනුෂ්‍යයා ඉන්ද්‍රියගෝචරව ලබාගන්නා සංවේදනයන් ඥානය නොවේ. ඔහුට අනුව 'සියලු ඥානය වන්නේ සංකල්පයන්ගෙන් ලැබෙන ඥානයයි)

නඩුව[සංස්කරණය]

පන්සියයකින් වූ ජූරියේ නොදැනුවත්කම කියන දේශනයක් පැවැත්වූ සොක්‍රටීස් ඔවුන්ව කුපිත කරවීය. තමාට සුදුසු දඬුවමක් කියන්නට යැයි ඔහුට පවරන ලද විට සොක්‍රටීස් කිව්වේ ඇතිනියානු වැසියන් විසින් තමන්ට ප්‍රතිමාවක් හදා එය නගර චතුරශ්‍රයේ තැබිය යුතු බවයි. ජූරිය තවත් කෝපාවිෂ්ට වී ඔහුට මරණය නියම කරති. 280 ක් ඊට පක්ෂව හා 220 ක් විපක්ෂව චන්ද දුන් බව කියැවේ. තමන් ගත් තීරණය ගැන ලැජ්ජා වෙන ඔවුන් පසුව සොක්‍රටීස් මුර කරන්නට තැබූ මුරකරුවන් ඉවත් කර ඔහුට පළා යන්නට අවස්ථාව දුන්න ද, සොක්‍රටීස් ඊට එකඟ වූයේ නැත. පළා යෑමෙන් නීතිය කැඩුවොත් තමා සියළු නීති වලට හතුරෙක් වෙන බව සොක්‍රටීස් පැහැදිලි කළේය. ඔහු හෙම්ලොක් විෂ පානය කර අවසන් මොහොත දක්වා දර්ශනය ගැන කතාබහින් කාලය ගෙවීය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "Socrates". 1911 Encyclopaedia Britannica. 1911. සම්ප්‍රවේශය 2007-11-14.
  2. Sarah Kofman, Socrates: Fictions of a Philosopher (1998) ISBN 0-8014-3551-X
  3. http://www.gutenberg.org/files/1177/1177-h/1177-h.htm
  • බටහිර දර්ශන ඉතිහාසය, බට්‍රන්ඩ් රසල්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1970
  • A History of Western Philosophy, Fredrick Copleston, New York: Doubleday, 1985
  • http://en.wikipedia.org/wiki/Socrates
"https://si.wikipedia.org/w/index.php?title=සොක්‍රටීස්&oldid=541167" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි