සෙන් දහම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සෙන් දහම චීනයට හඳුන්වා දුන් කාලය පිළිබඳව හා හඳුන්වා දුන් පුද්ගලයන් පිළිබඳ විවිධ මත පවතී. එසේ වුවද මේ පිළිබඳ වඩාත් ප්‍රචලිත මතය වන්නේ සෙන් දහම ප්‍රථම වතාවට චිනයට හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රිව 520 දී බෝධිධර්ම නම් ඉන්දීය භික්ෂුවක් විසින් බවයි. මෙම මතය පළ කරන හිරෝෂි කනසාවා සෙන් නිකායේ ඉතිහාසය බෙහෙවින් අපහැදිලි වුව ද, ජපානයේ සෑම සෙන් භික්ෂුවක්ම තමන් බෝධිධර්ම භික්ෂුවගේ පරපුර හා සම්බන්ධ බව පවසන්නේ යයි සඳහන් කරයි. හියුගෝ මන්ස්ටර්බර්ගේ අදහස වන්නේ ද සෙන් දහම ක්‍රි. ව. 520 දී චීනයට හඳුන්වා දෙනු ලැබුවේ බෝධිධර්ම භික්ෂුව විසින් බවයි. ජපාන දරුවන් බෝධිධර්ම භික්ෂුවට ඉමහත් ගරු සත්කාර පුදන බවත්, ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩය වන දෙපා නැති, රතු, වටකුරු බෝනික්කා දීර්ඝකාලීනව ධ්‍යාන වැඩීමෙන් දෙපා අහිමි වූ බෝධිධර්ම භික්ෂුව නිරූපණය කරන බව ද පවසයි. චීනයේ සිට පැමිණි ශුන්ජෝ නමැති ශිංගොං භික්ෂුව (ක්‍රි.ව. 1166-1227) කියොතෝහි සෙන්යු-ජි නම් භාවනාව සඳහා ම කැප වූ ආයතනයක් 13 වැනි ශත වර්ෂයේ මුල් කාලයේ පිහිටුවීමත් සමග සෙන් දහමේ මුල් බීජ ජපානයේ වපුරනු ලැබිණි. නරා යුගයේ දි ජපානයට හඳුන්වා දෙනු ලැබූ සෙන් ධර්මය එවක ජපානයේ පැවති තෙන්දායි හා ශිංගොං නම් වු නිකායයන් හා සමාග්‍රහණව පැවතිණි. ක්‍රිව 1141-1215 අතර කාලයේ විසු එයිසායි නමැති භික්ෂුවක් විසින් රින්සායි නම් නිකාය ස්ථාපිත කිරිමෙන් අනතුරුව එය ස්වාධීන නිකායක් බවට පත් විය. සෙන් ශික්ෂූන්ගේ දින චර්යාව හා ආගමික වතාවත් දැඩි පාලනයක් ඇතිව සිදු විය. සෙන් ආචාර්යවරුන් හා ශිෂ්‍යයින් අතර බැඳීම බෙහෙවින් වැදගත් සේ සැලකූ අතර එය සෙන් සම්ප්‍රදායේ ආරක්ෂාව හා පැවැත්මට හේතුවන බව පිළිගැනුනි.

චින්සෝ යනුවෙන් හැඳින්වුණු චීන ආචාර්යවරයාගේ ප්‍රතිරූප චිත්‍රය යථෝක්ත ආගමික වාතාවරණයෙහි වැදගත් අංගයක් විය. සෙන් භික්ෂුවක් තම ආචාර්යවරයාගෙන් මෙන්ම ස්වාධීනව වාසය කරන්නට තරම් ධර්ම ඥානය ලබා ගත් කළ, ආචාර්යවරයාගේ ප්‍රතිරූපයක් ශිෂ්‍යයාට පිරිනැමේ. බුද්ධ මනස පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය කිරිම සඳහා ශිෂ්‍යයා ලබා ගත් හැකියාවට ලැබෙන තිළිණයකි. එය සෙන් නිකායෙහි හෘදයාංගම සම්ප්‍රදායක්ව පැවතිණි

"https://si.wikipedia.org/w/index.php?title=සෙන්_දහම&oldid=309809" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි