Jump to content

සුනේත්‍රා රාජකරුණානායක

විකිපීඩියා වෙතින්

තිරංජනී සුනේත්‍රා රාජකරුණානායක(උපත 1954 පෙබරවාරි 7) සම්මානලාභී ශ්‍රී ලාංකික ලේඛිකාවකි. නවකතාකාරියක, පරිවර්තිකාවක, මාධ්‍යවේදිනියක හා තීරුලිපි රචිකාවක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ඇය පොත් වශයෙන් පළ කොට ඇති නිර්මාණවලට අමතර ව ශ්‍රී, රසවාහිනී, විදර්ශි, නවලිය, ඉරිදා ලංකාදීප, රාවය ඇතුළු පුවත්පත් හා සඟරා විශාල ප්‍රමාණයක් ඔස්සේ ද සිය කෘති එළිදක්වා තිබේ.

මුල් සමය

[සංස්කරණය]

1954 පෙබරවාරි 7 වැනිදා එඩ්මන් විල්මට් රෙනෝල්ඩ් සහ ක්ලැරිස් වීඩා ඇනට් යුවළට දා ව මොරටුවේ දී උපන් තිරංජනී සුනේත්‍රා ප්‍රනාන්දු සිය ළමා විය ගත කළේ රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවල ය. සිය පියාගේ රැකියාවේ ස්ථාන මාරුවීම් අනුව විවිධ ප්‍රදේශවල කෙටි කාලීන ව පදිංචි ව සිටි සුනේත්‍රා අධ්‍යාපනය ලද පාසැල් අතර ජා ඇල තුඩැල්ල කන්‍යාරාමය, කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, අටුළුගම මායාදුන්න මහා විද්‍යාලය සහ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය ද වේ.

ළාබාල වියේ සිට ම සාහිත්‍යය, නාට්‍යය හා සිනමාව කෙරෙහි ඇල්මකින් යුතු ව වැඩුණු සුනේත්‍රා දහතුන් හැවිරිදි සිසුවියක ව සිටිය දී 'අපි භාවනා කරමු' නමැති පොතක් රචනා කොට සිය පාසැලේ සිසුවියන් හා බෙදාහදාගත්තා ය.[1] ඇගේ මව කතාන්දර කියා දීමෙන් දියණියගේ පරිකල්පනය අවදි කළ ද එවක පැවති සමාජ සම්මතයන් හේතු කොට ගෙන නවකතා කියවීමට තහංචි පැනවූවා ය. එසේ වුව ද සුනේත්‍රා ඉතා ළාබාල වියෙහි දී ම ඩබ්ලියු. ඒ. සිල්වා, පියදාස සිරිසේන ආදීන්ගේ කෘති කියවා රසවිඳීමට අවස්ථාව උදා කරගත්තා ය.[2]

1970 වසරේ සිය පියාගේ අභාවයෙන් අනතුරු ව මව සමග ආපසු මොරටුවට පැමිණි සුනේත්‍රා ඒ වන විටත් ශ්‍රී සහ රසවාහිනී සඟරාවන්ට කෙටිකතා, නවකතා ආදිය සම්පාදනය කිරීම අරඹා තිබිණි. ඉන් පසු දෙසතිය සඟරාවට සම්බන්ධ වූ ඇය ගුවන්විදුලි නාට්‍ය රචනයට ද පිවිසියා ය. ඒ අතර වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් ද දායක වූ ඇය නිහාල් රාජකරුණානායක සමග යුගදිවියට ඇතුළත් වූයේ 1976 දී ය.[3]

ලේඛන කලාව

[සංස්කරණය]

මුල් කාලයේ පටන් ම ශ්‍රී සහ රසවාහිනී සඟරාවන්ට කෙටිකතා හා නවකතා ආදී නිර්මාණාත්මක කෘති මෙන් ම වෙනත් විශේෂාංග ලිපි ද සැපයූ සුනේත්‍රා නිදහස් මාධ්‍යවේදිනියක වශයෙන් විවිධ මුද්‍රිත මාධ්‍යවල මෙන් ම ගුවන් විදුලියෙහි ද සේවය කළා ය. ඇය මුලින් ම ප්‍රකාශයට පත් කළ පොත වූයේ 1983 දී මෝපසාං කෙටි කතා නමින් නිකුත් වූ ගී ද මෝපසාංගේ පරිවර්තිත කෙටි කතා එකතුව යි. 1999 දී ඇය නගීබ් මහ්ෆුස්ගේ හොරා සහ බල්ලෝ නමැති නවකතාව ද සිංහලයට පරිවර්තනය කළා ය. එහෙත් ඇගේ අවධානය මුඛ්‍ය වශයෙන් යොමු ව තිබුණේ පරිවර්තනවලට වඩා ස්වතන්ත්‍ර රචනා, විශේෂයෙන් දීර්ඝ ප්‍රබන්ධ කථා කෙරෙහි ය.

ප්‍රබන්ධ කථා

[සංස්කරණය]

1987 වසරේ හොඳ ම නවකතාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන ඩී. ආර්. විජයවර්ධන සම්මානයෙහි අවසන් වටය සඳහා නිර්දේශිත කෘති අතරට ඇතුළත් වූ සඳුන් ගිර ගිනි ගනියි පොතක් වශයෙන් පළ වූ ඇගේ මුල් ම නවකතාව ද විය. එහි පළමු මුද්‍රණය 1989 දී නිකුත් වූ අතර මාස තුනක් තුළ එහි සියලු පිටපත් විකිණී අවසන් විය. 2000 අග භාගය වන විට එහි තුන් වන මුද්‍රණය ද නිකුත් ව තිබිණ. මේ කෘතිය ජනප්‍රිය වූවා සේ ම විචාරක අවධානයට හා ප්‍රසාදයට ද බෙහෙවින් පාත්‍ර විණි. කතුවරිය සිය ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක් ගත කළ රත්නපුර ප්‍රදේශයේ ජන ජීවිතය පිළිබඳ සමීප අත්දැකීම් මෙන් ම එම ප්‍රාදේශීය බස් වහර ද නිර්මාණාත්මක ව උපයෝගී කරගනු ලැබ තිබීම මෙහි සාර්ථකත්වයට තුඩු දුන් සාධක අතර වේ. එම කෘතිය පිළිබඳ කලා විචාරක මහාචාර්ය සුචරිත ගම්ලත් සහ ප්‍රවීණ කවියකු වන පරාක්‍රම කොඩිතුවක්කු අතර හට ගත් විවාදාත්මක අදහස් හුවමාරුවක් 1990 මැයි 27 සිට 1990 සැප්තැම්බර් 30 වැනි දා දක්වා ඉරිදා දිවයින පුවත්පතෙහි පළ විය.[4]

1999 දී පළ වූ ප්‍රේම පුරාණය ඊට ප්‍රථම ඉංග්‍රීසි බසින් පළ වූ Attaining Age කෘතියෙහි ඇතුළත් කථා වස්තු කිහිපයක් ද ප්‍රතිනිර්මාණය කරමින් රචිත නවකතාවකි. මෙය සිංහල නවකතාව ආකෘතික පක්ෂය අතින් සේ ම අන්තර්ගතය අතින් ද අලුත් ඉසවු කරා රැගෙන ගිය කෘතියක් වශයෙන් විචාරක සම්භාවනාවට පාත්‍ර විය.

ඉන් අනතුරු ව 2000 දී ප්‍රකාශයට පත් රිදී තිරංගනාවි, ප්‍රේම පුරාණයෙන් ඇරඹි ආඛ්‍යානය රීතිය ම නව තලයකට ගෙන යාමක් බඳු ය. මොරටුව ප්‍රදේශයේ උපන් ප්‍රධාන චරිතයක් වටා ගොඩනැගෙන දීර්ඝ නවකතාවක් වූ මෙය අතුරු කථා වශයෙන් ඉදිරිපත් වන නාට්‍ය හා චිත්‍රපට කතා ගණනාවකින් ද සමන්විත සංකීර්ණ ආකෘතියකට හිමිකම් කියයි. මේ කෘතිය 2000 වසරේ හොඳ ම නවකතාව උදෙසා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය. ඉන් පසු මුද්‍රණවල දී මේ නවකතාව හැඳින්වුණේ රිදී තිරංගනාව නමිනි. 2001 සැප්තැම්බර් මස පළ වූ ඇගේ මීළඟ නවකතාව සද්ගුණාකාරය, සඳුන් ගිර ගිනි ගනියි කෘතියෙන් කතුවරිය ප්‍රකට කළ සබරගමු කලාපයේ ජන ජීවිතය හා භාෂාව පිළිබඳ උත්සුකයන් කරා නැවත ගමන් කිරීමක් බඳු විය. රත්නපුර ප්‍රාදේශීය කට වහර බෙහෙවින් ම යොදාගනිමින් රචිත මෙය පසු ව ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවට ද පරිවර්තනය කරනු ලැබී ය.[5]

වේගයෙන් නොකඩවා නිර්මාණකරණයෙහි යෙදුණු ලේඛිකාවක වූ රාජකරුණානායක බොහෝ විට වසරකට එක් නවකතාවක් හෝ අන් කෘතියක් පළ කොට තිබෙන බැව් පෙනී යයි.

2009 වසරේ පළ වූ පොදු පුරුෂයා නවකතාව එහි උපයුක්ත භාෂා රීතිය, ආකෘතිය මෙන් ම වස්තු විෂය ද හේතු කොට ගෙන බොහෝ වාද විවාද හා ආන්දෝලනයන්ට තුඩු දුන් අතර[6] එම වසරේ හොඳ ම නවකතාව වෙනුවෙන් පිදෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය ද හිමිකර ගත්තේ ය.[7] ඉන් අනතුරු ව මේ නවකතාව කාමන් වික්‍රමගමගේ විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබී ය.

2010 වසරේ පළ වූ කවි කඳුර නවකතාව ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානී යුගයේ සිට වර්තමානය දක්වා දිවෙන්නකි. ඒ ඒ අවධීන්හි සමාජ-දේශපාලන සංසිද්ධීන් හා ප්‍රවණතා සමග සමීප ව වෙළී ගමන් කරන එහි ආඛ්‍යානය විවිධ භාෂා ශෛලීන් ගණනාවක් උපයෝගී කරගනිමින් නිර්මාණය වී තිබේ. 2011 වසරේ හොඳ ම නවකතාව වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානය හිමි කරගත් මේ නවකතාවට පාදක වූ වස්තු බීජය ඇසුරින් සුනේත්‍රා රාජකරුණානායක ටෙලි නාට්‍ය පිටපතක් ද රචනා කළා ය. එය ධවල කඩුල්ල නමින් නිෂ්පාදනය වී විකාශය කෙරිණ.

තීරු ලිපි, චාරිකා සටහන් හා වෙනත් කෘති

[සංස්කරණය]

ප්‍රකාශන

[සංස්කරණය]

ස්වතන්ත්‍ර කෘති

[සංස්කරණය]
  • සඳුන් ගිර ගිනි ගනියි (1989)
  • පැජරොයියා
  • ටිංකිරි පැටියා
  • බෝනික්කෝ ගෙදර
  • දිරි බිඳීම
  • Attaining Age
  • රිදී තිරංගනාවි (2000) (පසු මුද්‍රණවල රිදී තිරංගනාව වශයෙන් හැඳින්විණි)
  • The Golden Bridge
  • සද්ගුණාකාරය
  • පියනි මණ්ඩපය
  • සර්වකාලත්‍ර ප්‍රේමය
  • නන්දිතය
  • බත් තරංග
  • හර්ද සූත්‍රය (සමන් අතාවුදහෙට්ටි සමඟ)
  • Sambol+
  • The Chameleon
  • කෙටි පණිවිඩය සහ දිග කතා
  • මතක පොත 1
  • මතක පොත 2
  • සුබෝධාලංකාරය
  • විචිත්‍ර වීර්යය
  • සුචිත්‍ර චාරිකා
  • Spirit of Paththini
  • පොදු පුරුෂයා (2009)
  • බුද්ධදාසි
  • කවි කඳුර
  • අසිරිමත් කියවීම (2011)
  • සෞම්‍යාලෝකය (2013)

පරිවර්තන

[සංස්කරණය]
  • මෝපසාන් කෙටිකතා
  • සකායි
  • හොරා සහ බල්ලෝ

නාට්‍ය

[සංස්කරණය]
  • අදිසි පවුර

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ සුනේත්‍රා රාජකරුණානායක සමග සම්මුඛ සාකච්ඡාව, සිළුමිණ, 2010 ජනවාරි 31, කුඹුක් ගහේ කුහරයට වී දොළෙන් එපිට ලෝකෙ දිහා බලා හිටියා, සාකච්ඡා සටහන සාගරිකා දිසානායක ජයසිංහ [1][permanent dead link]
  2. ^ සුනේත්‍රා රාජකරුණානායක සමග සම්මුඛ සාකච්ඡාව, සිළුමිණ, 2010 දෙසැම්බර් 12, සාකච්ඡා සටහන හේමාලි විජේරත්න [2] සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
  3. ^ සුනේත්‍රා රාජකරුණානායක සමග සම්මුඛ සාකච්ඡාව, සිළුමිණ, 2010 ජනවාරි 31, කුඹුක් ගහේ කුහරයට වී දොළෙන් එපිට ලෝකෙ දිහා බලා හිටියා, සාකච්ඡා සටහන සාගරිකා දිසානායක ජයසිංහ [3][permanent dead link]
  4. ^ ගම්ලත්, සුචරිත,, වාද ප්‍රතිවාද, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1998. 26 - 63 පිටු
  5. '^ විජේරත්න, හේමාලි, පරම්පරා පහක පවුල් සබඳතා ගැන කියන 'සද්ගුණාකාරය, සිළුමිණ, 2008 මාර්තු 23 [4] සංරක්ෂණය කළ පිටපත 2008-03-29 at the Wayback Machine
  6. ^ නවකතාව ගැන ඔවුන් කියන දේ, දිවයින, 2009.10.15 [5][permanent dead link]
  7. ^ 2009 හොඳම සිංහල නවකතාව සුනේත්‍රා රාජකරුණානායකගේ "පොදු පුරුෂයා", දිවයින, 2009.09.15 [6][permanent dead link]