සුදු ජාතික වාරි ඉංජිනේරුවාගෙන් පැවත එන ලංකාවේ හිංගර්ට් පරපුර...

විකිපීඩියා වෙතින්

හිංගර්ට් මහතා ලංක‍ාවට පැමි‍ණියේ වාරි ඉං‍ජිනේරුවරයකු ලෙසිනි. ඒ ඉංග්‍රීසි යටත් විජිත නිලධාරියකු ලෙස ‍ලංකාවේ වාරිකර්මාන්තයට සේවය කිරීම සදහාය. දහනව වැනි සියවසේ මුල් කාර්තුවේ පැමිණි මොහුගේ මුල්ම රාජකාරී බල ප්‍රදේශය වූයේ යාපනයයි. මොහුට හෙන්රි එබිනේෂන් හිංගර්ට් නම් තරුණ පුත‍තෙක්ද වූහ. තම පියාගේ ආභාෂයෙන් හෙන්රි එබිනේෂන් හිංගර්ට් තරුණයාටද වාරි කර්මාන්තය පිළිබදව දැනුම හා ආභාෂය ලැබීය. පිය පුතු දෙපල ලංකාවේ විවිද පලාත්වල වාරිකර්මාන්තය ආශ්‍රිතව කටයුතු කලහ.

මාතර දිස්ත්‍රික්කයේ ඇල්ලේවෙල වැව පිහිටා තිබෙන්නේ හක්මන කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ ඊරියතොට ප්‍රදේශයේය. හෙක්ටයාර 675ක් පුරා පැතිර පවතින විහාරකැලේ රක්ෂිතයෙන් වැව පෝෂනය වේ. දිවයින පුරා පිහිටි වැව් අතරින් ඇල්ලේවෙල වැව සුවිශේෂී වේ. අඩුම දිගකින් යුත් වැව් බැම්ම සහ නෑමට තොටුපලක් නොවීම මීට ප්‍රධාන හේතු සාධකයන්ය.

හිංගර්ට් පියපුතු දෙදෙනාම මෙම වැවේ නඩත්තු කටයුතු සිදුකරමින් සිටයහ. එහෙත් වැඩි කලක් යන්නට මත්තෙන් ජ්‍යේෂ්‍ඨ හිංගර්ට් මහතා සිය වැඩ රාජකාරී තම පුතුට භාරදෙන ලදී. පියාගේ අඩි පාරේ ගොස් වාරි ඉංජිනේරුවරයෙකු බවට පත්වුන හෙන්රි එබිනේෂන් හිංගර්ට් මහතාට ඉංග්‍රීසි ආණ්ඩුව වැව් පහක වගකීම භාරකරනු ලැබීය. ඒ අනුව ඇල්ලේවෙල, මුරුතමුරය, ලේනබටුව, සහ දෙනගම ආදි වැව් වල භාරකාරිත්වය ඔහුට පැවරුණි.

සිංහල සමාජයේ හැදුනු වැඩුනු ජර්මන් ජාතික හෙන්රි එබිනේෂන් හිංගර්ට් මහතා ප්‍රදේශයේ සිටි රූමත් තරුණියකට හිත ඇදී ගියේය. ඇය ඊරියතොටට නුදුරු කරපුටුගල ප්‍රදේශයේ ජීවත්ව සිටියාය.

දීත්තිමුන්නි අ‍ාර්ච්චිගේ දියෝනිස් හාමි නම්වූ එම රූමත් තරුණිය සහ වැව්භාර හෙන්රි එබිනේෂන් හිංගර්ට් මහතා පෙන්වතුන්වී වැඩිකල් නොගොස්ම විවාහ වුහ. මෙවැනි විවාහ එකල ජනසමාජයට නුහුරු නුපුරුදු විය. එම නිසා මනාලියගේ පාර්ෂවයේ නැදැයන් මෙන්ම ප්‍රදේශවාසීහුද මෙම විවාහයට මුලදී විරුද්ද විය.

විවාහයෙන් පසුව ඇල්ලෙවෙල වැව ඉස්මත්තේ පිහිටි වාරිමාර්ග නිළධාරීන් සදහා රජයෙන් ලබාදෙන නිළ නිවසේ මෙම හිංගර්ට් යුවල පදිංචි වූහ. විවාහයෙන් පසුව දියෝනිස් හාමි ලෙස හැදින්වූ හිංගර්ට් මහතාගේ බිරිදගේ නම වෙනස් කෙරුනි. ඇයට ජර්මානු නමක් භාවිතා කලාය. ඒ රෝස් හිංගර්ට් ලෙසය. පසුව මෙම පවුල දරු දැරියන් එකෙ‍ාලොස් දෙනෙකුගෙන් සමන්විත විය. එම පවුලෙන් පසුව ජර්මන් ජාතික හිංගර්ට් පරම්පරාව ලංකාවේ ව්‍යාප්ත විය.

ශ්‍රී ලංකාවට ක‍ැමතිව සිංහල කතක් විවාහ කරගෙන සිටි ජර්මන් ජාතික හිංගර්ට් මහතා 1981 වර්ෂයේදී මිය ගියේය. එක් රටක ඉපදී තවත් රටක මිය ගිය ඔහු වෙනුවෙන් හඩන්නට එකදු ජර්මානුවකු නොවීය. නමුත් ඔහු වෙනුවෙන් ජර්මන් සිංහල සම්භවයක් සහිත හිංගර්ට් පරපුරම හඩා වැටුණාහ.

ජර්මන් ජාතික හිංගර්ට් මහතා මෙලෙස ආරම්භකල හිංගර්ට් පරපුර අදටත් කඹුරුපිටිය ඊරියතොට ප්‍රදේශයේ ජීවත්වෙති. එමෙන්ම හිංගර්ට් පරපුර ඊරියතොටින් ඔබිබටද ව්‍යාප්තවී ඇත. ඒ අවාහ විවාහ සම්බධතාවයන් නිසාය. හිංගර්ට් පරපුරේ අය විවාහ වන්නේ සිංහල අය සමගය. මනාලිය සිංහලනම් මනාලයා හිංගර්ට්ය. මනාලයා සිංහලනම් මනාලිය හිංගර්ට්ය.

මුල්කාලීනව මේ ජනයා ක්‍රිස්තියානි ආගම ඇදහුවද මේවන විට සියල්ලෝම බුදු දහම අදහති. නමුත් නත්තල වැනි කතෝලික උත්සව අවස්ථාවන් වලදී මොවුන්ගේ පවුල්වල විවිද උත්සව, සංග්‍රහ ආදිය පවත්වති. මේ පරපුරේ බොහෝ දෙනාගේ නම් ජර්මානු නම්ය. වර්තමානයේත් එය එසේමය.

සියවස් එකහමාරකට අධික කාලයක් තිස්සේ ජර්මන් ජාතික හිංගර්ට් පරපුර හා බැදුනු සබදකම් හා හිතවත් කම් අදටත් වියැකී නොමැත. පරම්පරා පහකට පමන මේවන විට හිංගට් පරපුර ව්‍යාප්තව තිබේ. නව පරපුර තම පරම්පරාව පිළිබදව අභිමානවත් අයුරින් කථාබහ කරති. ඒ වෙන කිසිවක් නිසා නොව රටවල් දෙකක මව් පිය පාර්ශවයකින් තම පරම්පරාව පැවත එන නිසාය.

වැව් බැදි රටක වාරිකර්මාන්තය ව‍ටා ගෙතුනු අතීත සිදුවීම් රැසක්ම අපේ ඉතිහාසයට බොහෝදේ එක්කර තිබේ. නමුත් මේ පරපුරේ ලංකාවේ ව්‍යාප්තිය පිලිබදව වර්තමානයේ ජර්මන් ජාතිකයන් දැනුවත්වී ඇත්ද යන්න තව දුරටත් සොයාබැලිය යුතුය. ඒ මක් නිසාද යත් ලංකාවේ හිංගර්ට් පරපුර සමග ජර්මනිය කිසිදු සබද තාවක් ගොඩනැගී නොමැති නිසාය.

විස්තර ලිව්වේ, චමින්ද ජයසේකර, මාතර. chami.media@gmail.com