සිඟාලෝවාද සූත්‍රය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සිඟාලෝවාද සූත්‍රය (සිඟාලක සූත්‍රය) ත්‍රිපිටකයේ දීඝ නිකායෙහි, පාථික වර්ගහි එන අට වන සූත්‍ර දේශනාවයි. බුදු රජාණන් වහන්සේ විසින් සිඟාලක නම් ගැහැවි පුත්‍රයා අරඹයා දේශනා කර ඇත.

සූත්‍රයෙහි සිංහල තේරුම මෙසේය:

සූත්‍රයෙහි සිංහල තේරුම[සංස්කරණය]

1. මා විසින් මෙසේ අසන ලදි.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා කලන්දක නිවාප නම් වූ වෙළුවන අරමැ වැඩ වසන සේක. එ කල්හි සිගාලක නම් ගැහැවි පුත් කලින් ම (උදාසනක් සේ ම) නැඟී සිට, රජගහ නුවරින් නික්මැ ගොස්, තෙත් රෙදි ඇත්තේ, තෙත් කෙහෙ ඇත්තේ, දොහොත් මුදුනැ තබා ගත්තේ පෙර දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උඩ දෙස ද යන බොහෝ දිශාවන් වඳී.

2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ, පා සිවුරු ගෙන, රජගහ නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ, කලින් ම නැඟී සිට රජගහ නුවරින් නික්මැ, තෙත් වස්ත්‍ර ඇති ව, තෙත් කෙහෙ ඇතිව, දොහොත් මුදුනැ තබා ගෙන, පෙර දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උඩ දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උඩ දෙස ද, වඳනා සිගාලක ගැහැවි පුතු දුටු සේක් ම ය. දැක, ඔහු බණවා, ‘ගැහැවි පුත, කවර හෙයින් තෙපි කල් තබා ම නැඟී සිට රජගහ නුවරින් නික්මැ, තෙත් වස්ත්‍ර ඇත්තෙහි, තෙත් කෙහෙ ඇත්තෙහි, දොහොත් මුදුන් තබාගෙන, පෙර දෙස, දකුණු දෙස, අවර දෙස, උතුරු දෙස, යට දෙස, උඩ දෙස යන බොහෝ දිශාවන් වඳිවු දැ?” යි අසා වදාළ සේක.

“වහන්ස, මා පියා කලුරිය කරනුයේ, ‘දරුව, දිශාවන් වඳුව’ යි මට මෙසේ කී ය. වහන්ස, ඒ මම් පියාගේ වචනයට සත්කාර කරනුයෙම්, ගරුකාර කරනුයෙම්, බුහුමන් කරනුයෙම්, පූජා කරනුයෙම්, කලින් ම නැඟී සිට රජගහ පුරයෙන් නික්මැ, තෙත් රෙදි ඇති ව, තෙත් කෙහෙ ඇති ව, දොහොත් මුදුනැ තබාගෙන, පෙර දෙස … උඩ දෙස වඳිමී’ යි (සිගාලක තෙමේ) කී ය.

‘ගැහැවි පුත, ආර්‍ය්‍ය විනයයෙහි ස දෙස්හු මෙසේ නො වැන්ද යුත්තාහ’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

‘වහන්ස, කෙසේ නම් ආර්‍ය්‍ය විනයයෙහි ස දෙස්හු වැන්ද යුත්තාහු ද? වහන්ස, ආර්‍ය්‍යවිනයයෙහි යම්සේ ස දෙස්හු වැන්ද යුත්තාහු නම්, එසේ භාග්‍යවතුන් වහන්සේ මට දහම් දෙසන සේක් වා’ යි ගැහැවි පුත් කී ය.

3. ‘ගැහැවි පුත, එසේ වී නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එසේ ය, වහන්සැ’ යි ම සිගාලක ගැහැවි පුත් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ගැහැවි පුත, යම් හෙයෙකින් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සතර කර්මක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද, යම් හෙයෙකින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සතර කරුණෙකින් පව්කම් නො කරයි ද, යම් හෙයෙකින් භෝගයන්ගේ විනාශමුඛ සයත් නො සෙවී ද, හෙ තෙමේ මෙසේ තුදුස් ලාමක කම්වලින් පහ වූයේ ස දිසාවන් වසාලනුයේ, දෙලෝ ජය ගැන්ම පිණිස පිළිපන්නේ වෙයි. ඔහු විසින් මෙලොව ද ආරාධිත වෙයි, පරලොව ද ආරධිත වෙයි. හේ කාබුන් මරණින් මතු මනාප ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණෙයි.

කර්ම ක්ලේශ[සංස්කරණය]

4. ඔහුගේ කවර සතර දෙනෙක් කර්ම ක්ලේශයෝ (අත්බව කිලිටි කරන කර්ම) ප්‍රහීණ වෙත් ද? ගහැවිපුත, ප්‍රාණඝාතය වනාහි කර්ම ක්ලේශයෙකි, අදත්තාදානය කර්ම ක්ලේශයෙකි, කාමයන්හි වරදවා හැසිරීම කර්ම ක්ලේශයෙකි, මෘෂාවාදය කර්මක්ලේශයෙකි. ඔහුගේ මේ ක්ලේශයෝ ප්‍රහීණ වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ නැවැත ගාථා බන්ධන වශයෙන් අනෙකක් වූ මෙය වදාළ සේක:

පණීවා ද, අයිනාදන් ද, මුසවා යැ යි යමෙක් කියනු ලැබේ නම් එය ද, පරඹුන් කරා යෑම ද යන මේ දෑ නුවණැත්තෝ නො පසසත්.

අගති ගමන[සංස්කරණය]

5. (ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ) කවර සතර කරුණෙකින් පව්කම් නො කෙරේ ද යත්: (පුහුදුන්තෙමේ), ඡන්දයෙන් අගතියට යනුයේ (කො කටයුත්තක් කරනුයේ) පව්කම් කරයි, ද්වේෂයෙන් අගතියට යනුයේ පව්කම් කරයි, බියෙන් අගතියට යනුයේ පව්කම් කරයි, මෝහයෙන් අගතියට යනුයේ පවකම් කරයි. ගැහැවිපුත, යම් හෙයෙකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඡන්දයෙන් අගතියට නො ම යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො ම යන්නේ ද, බියෙන් අගතියට නොම යන්නේ ද, මෝහයෙන් අගතියට නො ම යන්නේ ද, හේ මේ සතර කරුණින් පව්කම් නො කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා, නැවත ගාථාබන්ධන වශයෙන් අනෙකක් වූ මේ වචන ද වදාළ සේක:

‘ඡන්දයෙන් ද ද්වේෂයෙන් ද බියෙන් ද මෝහයෙන් ද යමෙක් යුක්තිධර්මය ඉක්මැ යේ ද, කළුවර පසැ සඳුහු මෙන්, ඔහුගේ යශස පිරිහෙයි.’

යමෙක් ඡන්දයෙන් ද ද්වේෂයෙන් ද බියෙන් ද මෝහයෙන් ද යුක්තිධර්මය ඉක්මැ නො යේ ද, ඔහුගේ යශස පුර පසැ සඳුහු මෙන් වැඩෙයි.”

අපායමුඛ සය[සංස්කරණය]

6. හේ භෝගයන්ගේ කවර විනාශමුඛ සයක් නො සෙවි ද යත්: ගැහැවි පුත, මත් බවට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමෙහි යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. නොකල්හි වීථිසංචාරයෙහි යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. උත්සව දර්ශනය පිණිස යෑම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. ප්‍රමාදයට කාරණයක් වූ දූකෙළියෙහි යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. පාපමිත්‍රයන් හා පුන පුනා එක් වීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. අලසබව්හි නැවත නැවත යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි.

මද්‍යපානාදීනව[සංස්කරණය]

ගැහැවි පුත, මත්බවටත් ප්‍රමාදයටත් කාරණ වූ රහමෙර පීමෙහි පුන පුනා යෙදීමෙහි මේ දොස් සයෙකි: මෙ ලොවැදීම වන ධන හානිය, කලහ වැඩීම, රෝගයනට කෙතක් වීම. අපකීර්ති ඉපැදැවීම, කයෙහි ගුහ්‍යස්ථාන විවෘත කොට හැසිරීම, නුවණ දුර්වල කිරීම යන සවැනි කාරණය ද වෙයි. ගැහැවි පුත, මදයට ප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙහි මේ දොස් සය වේ.

විකාලචරියාදීනව[සංස්කරණය]

ගැහැවි පුත, නොකල්හි වීථි සඤ්චාරයෙහි පුන පුනා යෙදීමෙහි මේ දොස් සයෙකි: තමේ ද සංගොපිත නො වූ යේ නො රක්නාලද්දේ වෙයි. ඔහුගේ අඹුදරුවෝ ද අසංගෝපිත වූවාහු නොරක්නා ලද්දාහු වෙත්, ඔහුගේ වස්තුව ද සංගොපිත නො වූයේ නොරක්නා ලද්දේ වෙයි. පාප ක්‍රියාවන්හි සැක කටයුත්තෙක් ද වෙයි, අභූත දෝෂ කථා ද ඔහු කෙරෙහි නැඟෙයි, තවත් බොහෝ දුක් දොම්නසුන් විසින් පෙරටු කරන ලද්දේ වෙයි, (බොහෝ දුක් ඔහු පසු පස එයි). ගැහැවි පුත, මොහු සදෙන නොකල්හි වීථිසඤ්චාරයෙහි පුන පුනා යෙදීමෙහි දෝෂයෝ ය.

සමද්‍යාභිචරණාදීනව[සංස්කරණය]

ගැහැවි පුත, උත්සව දර්ශනයට යාමෙහි මේ දොස් සයෙකි: කොහි නැටුම් ඇද්ද? කොහි ගැයුම් ඇත්ද? කොහි වැයුම් ඇද්ද? ආඛ්‍යාන (රාමායණාදී කථා කීම) කොහි ඇද්ද? අත්තාලම් ඈ ගැසීම කොහි ඇද්ද? කළ පිඹීම් ආදිය කොහි ඇද්ද? යි සොයා හැවිදිත්. උත්සව දර්ශනයට යෑමෙහි මේ ආදීනව සය ය.

ද්‍යුතප්‍රමාදාදීනව[සංස්කරණය]

ගැහැවි පුත, ප්‍රමාදයට කාරණ වූ දූ කෙළියෙහි යෙදීමෙහි මේ දොස් සයෙකි: දිනනුයේ (පැරැදුණුහු තුළ) වෛර උපදවයි, පැරැදුණේ (නටුවාවූ) වස්තුව අනු සොවී. තමා දැක්කැදී ම ධනහානිය වේ. සභාවට ගිය ඔහුගේ වචන නො නැඟේ. මිත්‍රාමාත්‍යයන් විසින් පිරිහෙලන ලද්දෙක් වෙයි. ‘මේ පුරුෂපුද්ගල තෙමේ අක්ෂධූර්තයෙකැ’ යි අඹුදරුවන් රක්නට නො සමත් වේ යැ’ යි ආවාහක විවාහකයන් විසින් නො පතන ලදුයේ වෙයි. ගැහැවි පුත, මොහු ප්‍රමාදයට කාරණ වූ දූකෙළියෙහි පුනපුනා යෙදුම්හි දෝෂයෝ සදෙන වෙත්.

පාපමිත්‍රානුයොගාදීනව[සංස්කරණය]

ගැහැවි පුත, පාපමිත්‍රානුයෝගයෙහි (ලාමක මිතුරන් ඇසුරු කැරැම්හි) මේ දෝෂ සයෙකි: අක්ෂධූර්ත (දූකෙළියෙහි යෙදුණු) යම් කෙනෙක් වෙත් ද ඔහු ඔහුට මිත්‍ර වෙත්, සහාය වෙත්, යම ඉතිරි සොඬ ආදි සොඬහු වෙත් ද, ඔහු ඔහුට මිත්‍ර වෙත්, සහාය වෙත්, බීමෙහි ලොල්වූ යම් කෙනෙක් වෙත් ද, ඔහු පාපමිත්‍රානුයුක්තයාට මිත්‍ර වෙත්, සහාය වෙත්, යම් නෛකතික (බොරුරන් ආදිය දී රවටන) කෙනෙක් වෙත් ද, ඔහු ඔහුට මිත්‍ර වෙත්, සහාය වෙත්, යම් වංචනික (සම්මුඛ වචනයෙන් රවටන) කෙනෙක් වෙත් ද, ඔහු ඔහුට මිත්‍ර වෙත්, සහාය වෙත්, ගම් පැහැරීම් ආදි සාහසික කර්මයන්හි යෙදුණු යම් කෙනෙක් වෙත් ද, ඔහු පාපමිත්‍රානුයෝගියාට මිත්‍ර වෙත්, සහාය වෙත්. ගැහැවි පුත, පාපමිත්‍රානුයෝගයෙහි මේ දොස් සය ය.

ආලස්‍යාදීනව[සංස්කරණය]

ගැහැවි පුත, අලසබව්හි යෙදීමෙහි මේ දෝෂයෝ ස දෙනෙක් වෙත්. ඉතා ශීත යැයි කර්මාන්ත නො කෙරෙයි, ඉතා උෂ්ණයැ යි කර්මාන්ත නො කෙරෙයි. ඉතා සවස් කාලය වී යැ යි කර්මාන්ත නො කෙරෙයි. ඉතා උදාසන යැ යි කර්මාන්ත නො කෙරෙයි, ඉතා බඩ සා ඇත්තෙමි යි කර්මාන්ත නො කෙරෙයි, ඉතා වැඩියක් අහර ගතිමි යි කර්මාන්ත නො කෙරෙයි. මෙසේ කටයුතු අතපසු කිරීම බහුල කොට ඇති ඔහුට නූපන් භෝගයෝ නො උපදිත්; උපන් භෝගයෝ ද විනාශයට යෙත්. ගැහැවි පුතුනි, මේ අලසබව්හි යෙදීමෙහි දොස් සය ය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා යලි ගාථා බන්ධන වශයෙන් අනෙකක් වූ මෙය වදාළ සේක.

7. පානසඛ නම් (මත් පැන් බොන තැනැදී පමණක් යහලු වූ) යහලුවෙක, සම්මීය සම්මීය නම් (හමු වූ තැනදී පමණක් මිතුරු කම් අඟවන) යහලුවෙක, වැඩ ඇති වූ කල්හි යමෙක් යහලු වේ ද එසේ වූ යහලුවෙක් ඇත.

ඉරු උදා වන තෙක් නිදීම ය, පරඹුවන් සෙවීම ය, වෛර බහුල බව ය, අවැඩ කරන බව ය, පාප මිත්‍රයෝ ය, තද මසුරු බව ය යන මේ කරුණු සය පුරුෂයා වනසයි.

ලාමක මිතුරන් ඇති, ලාමක යහලුවන් ඇති, ලාමක වූ ආචාර ගෝචර ඇති මිනිස් තෙමේ මොලොවින් ද පරලොවින් ද යන දෙපසින් ම වැනැසෙයි.

දූ කෙළීම ය, පරඹුවන් කරා යෑම ය, මත්පැන් පීම ය, නැටුම් ගැයුම් සොයා යෑම ය, දහවල් නිදීම ය, නොකල්හි වීථි සංචාරය ය, පාප මිත්‍රයෝ ය, දැඩි මසුරු බව ය යන මේ කරුණු සය මිනිසා වනසයි.

පසැටින් කෙළිත්, රො බොත්, අනුන් ප්‍රාණ සම ව රක්නා අඹුවන් කරා යෙත්. පිරිහුණවුන් සෙව්නාහුයැ වැඩුණවුන් නො සෙව්නාහු ය. ඔහු කළුවර පසැ සඳු සෙයින් පිරිහෙත්.

ධනය නැති දිළිඳු වූ යමෙක් මත්පැන් බොනුයේ පොකුණක් වෙත් ගියක්හු පැන් බොන්නා සේ මත්පැන් බීමෙහි ගිජු වූයේ ද, හේ ණය ගැති බවට බැසගනී. වහා සිය කුලය අකුලයක් (පිරිහුණු කුලයක්) කරන්නේ ය.

දහවල් නිදන සුලු, රෑ පිබිදැ සිටීම නොරිසියෙන, නිතර මත් වූ. සොඬ වූ තැනැත්තහු විසින් ගෙහි වසන්නට නො හැක්ක.

ධනයෝ ‘දැන් ඉතා ශීත ය, ඉතා ඌෂ්ණ ය, ඉතා සවස් යැ’ යි හරන ලද කර්මාන්ත ඇති මිනිසුන් ඉක්මැ යෙත්.

මෙහි යමෙක් ශීතයත් උෂ්ණයත් තණපතකට වැඩියෙන් නො තකා ද, පුරුෂ කාර්යයන් කරන හෙ තෙමේ සැපය අත් නො හරී.

මිත්‍රප්‍රතිරූපකයෝ[සංස්කරණය]

8. ගැහැවිපුත, මිත්‍ර ප්‍රතිරූපක වූ (මිතුරු වෙසින් පැනෙන) සතර අමිත්‍රයෝ දත යුතු හ. මිත්‍රප්‍රතිරූපක අඤ්ඤදත්ථුහර අමිත්‍රයා දතයුතු, මිත්‍රප්‍රතිරූපක වචීපරම අමිත්‍රයා දත යුතු. මිත්‍රප්‍රතිරූපක අනුප්‍රියභාණී අමිත්‍රයා දත යුතු. මිත්‍රප්‍රතිරූපක අපායසහාය අමිත්‍රයා දත යුතු.

ගැහැවිපුත, සතර කරුණෙකින් මිත්‍රප්‍රතිරූපක වූ අඤ්ඤදත්ථුහර (ඒකාන්තයෙන් කිසිවක් හැරගෙන ම යන) අමිත්‍රයා දත යුතු:

ඒකාන්තයෙන් සිය මිතුරා ගෙන් කිසිවක් හැරගෙන ම යන්නේ වෙයි. අල්ප දැයෙකින් (ස්වල්ප දැයක් දී) බොහෝ දෑ ලබන්නට පතයි. තමාට බියක (උවදුරක්) උපන් කලහි පමණක් මිතුරාගේ කටයුතු කෙරෙයි. තමාගේ වැඩ ම කරුණු කොට මිතුරා සෙවී. ගැහැවි පුත, මේ සතර කරුණින් මිත්‍රප්‍රතිරූපකවූ අඤ්ඤදත්ථුහර අමිත්‍රයා දත යුතු.

ගැහැවිපුත, මේ සතර කරුණින් මිත්‍රප්‍රතිරූපක වචීපරම (වචනය ම පරම කොටැති) අමිත්‍රයා දත යුතු: අතීතයෙන් සඞ්ග්‍රහ කෙරෙයි, අනාගතයෙන් සඞ්ග්‍රහ කෙරෙයි. නිරර්ථක කථායෙන් සඞ්ග්‍රහ කෙරෙයි. වර්තමාන කාර්‍ය්‍යයන්හි ව්‍යසන දක්වයි. ගැහැවිපුත, මේ සතර කරුණින් වචීපරම වූ මිත්‍රප්‍රතිරූපක අමිත්‍රයා දත යුතු.

ගැහැවි පුත, සතර කරුණෙකින් අනුප්‍රියභාණී (අනුකූල වූ පිය බස් කියන) මිත්‍රප්‍රතිරූපක අමිත්‍රයා දතයුතු: (පවක් කරමි යි කී කලැ ඒ) ඔහුගේ පාප ක්‍රියාව ද (මැනැවැ යි) අනුදනී, (පිනක් කරමැ යි කී කලැ ඒ) ඔහුගේ පින් කිරිය ද අනුදනී, සම්මුඛයෙහි ඔහුගේ ගුණ කියි, අසම්මුඛයෙහි ඔහුගේ අගුණ කියි. ගැහැවිපුත, මේ සතර කරුණින් මිත්‍රප්‍රතිරූපක වූ අනුප්‍රියභාණී අමිත්‍රයා දත යුතු.

ගැහැවිපුත, සතර කරුණෙකින් මිත්‍රප්‍රතිරූපක වූ අපායසහාය වූ (වස්තු විනාශ කිරීමෙහි යහළු වූ) අමිත්‍රයා දතයුතු: මත් බවට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමේ යෙදීමෙහි යහළු වෙයි, නොකල්හි වීථි සංචාරයේ යෙදීමෙහි යහළු වෙයි. නෘත්‍යගීතාදිය දකිනු අසනු පිණිස යෑමෙහි යහළු වෙයි, ප්‍රමාදයට කාරණ වූ දූකෙළියේ යෙදීමෙහි යහළු වෙයි. ගැහැවිපුත, මේ සතර කරුණින් අපාය සහාය වූ මිත්‍ර ප්‍රතිරූපක අමිත්‍රයා දත යුතු.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා, අනතුරු වැ ගාථාබන්ධන විසින් අනෙකක් වූ මේ වචන වදාළ සේක:

“යමෙක් අඤ්ඤදත්ථුහර මිත්‍ර නම් වේ ද යමෙක් වචීපරම මිත්‍රනම් වේ ද, යමෙක් අනුප්‍රියභාණී වේ ද, යමෙක් ධන විනාශක ක්‍රියාහි යහලු වේ ද, මෙසේ මේ සතර අමිතුරන් නුවණැත්තේ දැන, උවදුරු ඇති මාර්ගයක් සේ දුරින් ම දුරු කරන්නේ ය.”

සුහෘන්මිත්‍රයෝ[සංස්කරණය]

9. ගැහැවි පුත, මේ සුහෘද වූ සතර මිතුරෝ දත යුතු හ: උපකාරී වූ සුහද මිතුරා දත යුතු. සමාන සුඛ දුඃඛ වූ සුහද සුමිතුරා දත යුතු. අර්ථාඛ්‍යායී (වැඩට නිසි කරුණු ම කියන) සුහද මිතුරා දත යුතු. ආනුකම්පක (අනුකම්පා කරන) සුහද මිතුරා දත යුතු.

ගැහැවි පුත, සතර කරුණෙකින් උපකාරී වූ සුහෘද මිත්‍රයා දතයුතු: මත් වැ වැදැහෙන මිතුරා රැකගනී, මත් වැ වැදැහෙන්නාහුගේ ධනය රැක දෙයි, බියට පැමිණි මිතුරාට පිහිට වෙයි, කළයුතු කාර්‍ය්‍යයක් උපන් කලැ අවශ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් ධනය දෙයි. ගැහැවි පුත, ම සතර කරුණින් උපකාරී වූ සුහෘද මිතුරා දත යුතු.

ගැහැවි පුත, සතර කරුණෙකින් සමාන සුව දුක් ඇති (සැප දුක් දෙක්හි ම සමාන වැ හිතෛෂී ව පවත්නා) මිතුරා දත යුතු: සැඟෙවියැ යුතු රහස් සිය මිතුරාට නොසඟොවා කියයි, ඒ මිතුරාගේ සැඟෙවියැ යුතු රහස් සඟොවා රකියි, විපත්තීන්හිදී නො අත්හරී, මිතුරා විසින් ඔහු පිණිස සිය දිවි වුව ද පරිත්‍යක්ත වෙයි (සිය දිවි ද නො තකා මිතුරාගේ කටයුතු කැරැදෙයි). ගැහැවිපුත, මේ සතර කරුණින් සමාන සුඛ දුඃඛ සුහද මිතුරා දත යුතු.

ගැහැවි පුත, සතර කරුණෙකින් අර්ථාඛ්‍යායී (දෙලෝවැඩ පවසන) සුහද මිතුරා දත යුතු: පවින් වළක්වයි, පිනෙහි යොදාලයි, පෙරැ නො ඇසූ දහම් අස්වයි, සුගතියට මඟ කියා දෙයි. ගැහැවිපුත, මේ සතර කරුණින් අර්ථාඛ්‍යායී සුහද මිතුරා දත යුතු.

ගැහැවි පුත, සතර කරුණෙකින් ආනුකම්පක සුහෘද මිත්‍රයා දත යුතු: ඔහුගේ පිරිහීමෙන් නො සතුටු වෙයි, ඔහුගේ අභිවෘද්ධියෙන් සතුටු වෙයි, මිතුරාගේ අගුණ කියන්නහු වළක්වයි, මිතුරාගේ ගුණ කියන්නහු පසසයි, ගැහැවි පුත, මේ සතර කරුණින් ආනුකම්පක (අනුකම්පා කරන) සුහද මිතුරා දත යුතු.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා, අනතුරු වැ (ගාථාබන්ධන විසින්) අනෙකක් වූ මේ වචන වදාළ සේක:

10. “යම් උපකාරී මිතුරෙක් වේද, සුවදුක් දෙක්හි ම යමෙක් යහළු ද, යම් මිතුරෙක් දෙලෝ වැඩට මඟ කියන්නේ ද, යම් මිතුරෙක් අනකම්පා කරන්නේ ද,

මෙසේ නුවණැත්තේ මේ සතර මිතුරන් ම දැන, මව ළෙහි දා පුතක්හු සෙයින් සත්කාර කොට ඇසුරු කරන්නේ ය,

(සැබෑමිතුරන් ඇසුරු කරන) නුවණැති සිල්වත් තැනැත්තේ දිලියෙන ගින්නක් සේ බබලයි. (මල නො පෙළා) මල් පැණි රැස් කොට මි බඳින බමරක්හු සෙයින් (මෙරමා නො පෙ ළා) භෝග රැස් කරන්නහුගේ භොගසම්පත්හු වැඩීමට යෙත්. ක්‍රමයෙන් සුඹසක් පස්කැට රැස් කොට බඳිනු ලබන්නාක් මෙනි.

මෙසේ භෝගයන් එක්රැස් කොට ගිහිගෙහි වසන්නට සමර්ථ වූ ගෘහස්ථ තෙම භෝගයන් සතර කොටසක් කොට බෙදන්නේ ය. හේ ඒකාන්තයෙන් මිතුරන් බැඳගනී (බිඳී යනු නොදී රැකගන්නට සමත් වෙයි).

එක් කොටසෙකින් භෝගසම්පත් වළඳන්නේ ය, කොටස් දෙකෙකින් (කෘෂි වණික්කර්මාදි) කර්මාන්ත යොදන්නේ ය, විපතක් පැමිණි කල්හි ප්‍රයෝජන පිණිස වන්නේ යැ යි සලකා සතර වන කොටස නිදහන් කොට තබන්නේ ය.”

සදිසා වැඳීම[සංස්කරණය]

11. ගැහැවි පුත, කෙසේ නම් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සදිසා හවුරන්නේ වේ ද? ගැහැවි පුත, මේ ස දිසා දත යුතු: මාපියෝ පෙර දිසාව යැ යි දත යුතු. ආචාර්යයෝ දකුණු දෙස යැ යි දත යුතුහ. අඹුදරුවෝ පැසිම් දෙස යැ යි දත යුතු හ. මිත්‍රාමාත්‍යයෝ උතුරු දෙස යැ යි දත යුතු හ. දැසි දස් කම්කරුවෝ යට දෙසැ යි තද යුතු හ. මහණ බමුණෝ උඩ දෙස යැයි දත යුතු හ.

ගැහැවි පුත, කරුණු පසෙකින් පුතු විසින් පෙර දෙස වූ මාපියෝ උපස්ථාන කළ යුතු: ඔවුන් විසින් පෝෂිත වූ මම් මහලු ව සිටින ඔවුන් පෝෂිත කරන්නෙමි යි ද, ඔවුනට (මාපියනට) පැමිණි කටයුතු (ඔවුන් වෙනුනවට) මම් කරන්නෙමි යි ද, (මා පිය සතු වස්තුව නො නසා රක්නෙම්) කුල පරපුර රැකගන්නෙමි යි ද, මා පියන්ගෙන් ලත් දෑවෑද්ද (ඔවුන් ඔවා පරිදි පවත්වන්නෙම්) බුත්ති විඳින්නෙමි යි ද, නැවැත, කලුරිය කළ පරලෝ ගි මාපියනට (දන් දී) පින් දෙන්නෙමි යි දැ යි මේ කරුණු පසින් පුතු විසින් පෙර දිසා වූ මා පියෝ උපස්ථිත වූහු (උවතන් කරනු ලදහු) කරුණු පසෙකින් පුතුට අනුකම්පා කෙරෙත්. (මාපියෝ) පුතු පවින් වළක්වත්, පිනෙහි යොදාලත්, ශිල්ප හදාරවත්, සුදුසු වූ ස්ත්‍රියක හා සංයුක්ත කෙරෙත් (ස්ත්‍රියක පාවා දෙත්), සුදුසු කල්හි දෑවෑද්ද (උරුම වූ වස්තුව) පවරා දෙත්. ගැහැවි පුත, මෙකී කරුණු පසින් පුත්‍රයා විසින් පූර්ව දිශාව වූ මා පියෝ උවටන් කරනු ලැබුවාහු, මේ දෙවැනි ව කී කරුණු පසින් පුතුට අනුග්‍රහ කරත්. මෙසේ ඔහු විසින් මේ පූර්ව දිශාව (එයින් බියක් නො එන පරිදි) උපද්‍රව රහිත කොට ප්‍රතිභය රහිත කොට හවුරන ලද්දේ වෙයි.

12. ගැහැවිපුත, දකුණ දිග වූ ආචාර්යයෝ අතවැස්සා විසින් පස් කරුණෙකින් උපස්ථාතව්‍ය වෙත් (උවතන් කළ යුතු වෙත්): ඇදුරුහු දැක හුනස්නෙන් නැඟී සිටීමෙන් ද, උවටන් කිරීමෙන් ද, උගන්වන දෑ අසනු කැමැතිවීමෙන් ද (නොහොත් හදහා ඇසීමෙන් ද), වතාවත් කිරීමෙන් ද උගන්වන ශිල්ප සකසා පිළගැනීමෙන් ද යන මේ කරුණු පසිනි.

ගැහැවිපුත, අතවැස්සා විසින් මේ කරුණු පසින් දක්ෂිණදිශා සංඛ්‍යාත ආචාර්යයෝ උපස්ථිත වූහු, කරුණු පසෙකින් අතවැස්සාට අනුග්‍රහ කරත්: අතවැස්සා මොනොවට හික්මවත්, ඔහුට මොනොවට උගන්වත්, තමන් අසා ගත් සියලු ශිල්ප (අතවැස්සාට) මොනොවට කියන්නාහු වෙත්. මිත්‍රාමාත්‍යයන් කෙරෙහි පිහිටුවති, දිශාවන්හි ආරක්ෂාව සලස්වත්. ගැහැවිපුත, මේ කරුණු පසින් උපස්ථිත වූ (උවටන් කරනු ලැබූ) ආචාර්යයෝ කරුණු පසෙකින් අතවැස්සාට අනුකම්පා කරත්. මෙසේ ඔහු විසින් මේ දක්ෂිණ දිශාව උපද්‍රව රහිත කොට, ප්‍රතිභය රහිත කොට හවුරන ලද්දේ වෙයි.

13. ගැහැවිපුත, කරුණු පසෙකින් සැමියා විසින් පැසිම් දෙස වූ භාර්‍ය්‍යාව උපස්ථාතව්‍ය (උවටන් කළ යුතු) වෙයි: සම්භාවන වචනයෙන් ද අවමන් බස් නොකීමෙන් ද, පරඹුවන් කරා නො යෑමෙන් ද, ගෙහි කටයුතුවල අධිපති බව ඇයට බාර දීමෙන් ද, තමන් පහොසත් පරිදි ඇඳුම් පැලැඳුම් සපයා දීමෙන්ද යන කරුණු පසිනි. ගැහැවි පුත, මේ කරුණු පසින් සැමියා විසින් පශ්චිමදිශා සංඛ්‍යාත භාර්‍ය්‍යාව උවටන් කරනු ලැබුවා, කරුණු පසෙකින් සැමියාට අනුකම්පා කෙරෙයි: (කැඳබත් පිසීම් ඈ විසින් කලට වේලාවට) මනා කොට කරන ලද කර්මාන්ත ඇත්තී ද වෙයි, මොනොවට සංග්‍රහ කරන ලද පරිවාර ජනයා ඇත්තී ද වෙයි, සැමියා හැර අන් පුරුෂයකු සිතිනුදු නො පතන්නී වෙයි, සැමියා විසින් ගෙනෙන ලද ධනය රකියි, සියලු කටයුත්තෙහි දක්ෂ ද නොමැලි ද වෙයි. ගැහැවිපුත, මේ කරුණු පසින් සැමියා විසින් පශ්චිම දිශාසංඛ්‍යාත භාර්‍ය්‍යාව උපස්ථිත වූවා (උවටන් කරන ලද්දි) මේ පසුවැ කී කරුණු පසින් සැමියාට අනුග්‍රහ කෙරෙයි. මෙසේ ඔහු විසින් මේ පැසිමදෙස නිරුපද්‍රැත ව, ප්‍රතිභය රහිත ව හවුරන ලද්දේ වෙයි.

14. ගැහැවි පුත, කුලපුතු විසින් කරුණු පසෙකින් උත්තර දිශා නැමැති මිත්‍රමාත්‍යයෝ (මිත්‍රයෝ ද සැප දුක දෙකෙහි එක් වැ කටයුතු කරන්නෝ ද) උවටන් කළයුතු හ: දානයෙන් ද ප්‍රිය වචනයෙන් ද අර්ථචර්‍ය්‍යායෙන් ද සමානාත්මතායෙන් ද නොරවටන බැවින් ද යන පසිනි. ගැහැවි පුත, මේ පස් කරුණින් කුලපුතු විසින් උත්තර දිශාව වූ මිත්‍රාමාත්‍යයෝ උවටන් කරන ලද්දාහු, කරුණු පසෙකින් කුලපුතුට අනුකම්පා කරත්: රහමෙරින් මත් වූවහු රැකගනිත්, මත් වැ හොත්තහුගේ වස්තුව රැක දෙත්, උවදුරකට පැමිණියාහට පිහිට වෙත්, විපත්හි දී අත් නො හරිත්, ඔහුගේ දරුමුනුබුරනට ද මමත්වයෙන් සංග්‍රහ කරත්. ගැහැවිපුත, මේ කරුණු පසින් කුලපුතු විසින් උත්තරදිශා සංඛ්‍යාත මිත්‍රාමාත්‍යයෝ උවටන් කරන ලදුවෝ, පසු වැ කී කරුණු පසින් කලුපුතුට අනුග්‍රහ කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ උතුරු දෙස නිරුපද්‍රැත කොට, ප්‍රතිභය රහිත කොට, හවුරන ලද්දේ වෙයි.

15. ගැහැවි පුත, කරුණු පසෙකින් ස්වාමියා විසින් යට දිසාව යැ යි කියන ලද දැසි දස් කම්කරුවෝ උවටන් කළ යුතු හ: ඔවුන්ගේ ශක්තියට අනුරූප ලෙස කර්මාන්ත විධාන කිරීමෙන් ද බත් වැටුප් දීමෙන් ද, ගිලන් වූ කල ඔවුනට නිසි උපස්ථාන යොදාලීමෙන් ද, මිහිර රස බොජුන් (තමා හුදෙකලාව නො වළඳා) ඔවුනටත් දීමෙන් ද සුදුස කාලයන්හි වැඩෙන් මුදා හැරීමෙන් ද යන පසිනි. ගැහැවි පුත, මේ කරුණු පසින් ස්වාමියා විසින් යට දෙස යැ යි කියන ලද දැසි දස් කඹුරෝ උවටන් කරන ලද්දාහු මේ කරුණු පසෙකින් ස්වාමියාට අනුග්‍රහ කරත්: ස්වාමියාට පළමුවෙන් ම නැඟී සිටින්නාහු ද වෙත්, ස්වාමියාට පසු ව නිදන්නාහු ද වෙත්, (කිසිත් හොරා නොගන්නාහු) ස්වාමියා දුන් දැය ම ගන්නා සුලු වෙත්, මනා කොට කරන ලද කර්මාන්ත ඇත්තාහු ද වෙත්, ස්වාමියාගේ ගුණ කථාව පතුරුවන්නාහු ද වෙත්. ගැහැවිපුත, මේ පස් කරුණින් ස්වාමියා විසින් යට දෙස නැමැති දැසි දස් කඹුරෝ උවටන් කරනු ලැබුවාහු, පසු වැ කී කරුණු පසින් ස්වාමියාට අනුග්‍රහ කරත්. මෙසේ ඔහු විසින් මේ යට දෙස නිරුපද්‍රැත කොට ප්‍රතිභය රහිත කොට හවුරන ලද්දේ වෙයි.

16. ගැහැවි පුත, කරුණු පසෙකින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කළ යුතු හ: මෛත්‍රී සහගත කායකර්මයෙන්, මෛත්‍රී සහගත වාක්කර්මයෙන්, මෛත්‍රී සහගත මනඃකර්මයෙන්, නො වැසූ දොර ඇති බැවින්, ආහාරපාන සැපයීමෙන් යන පසිනි. ගැහැවිපුත, මේ පස් කරුණින් කුලපුතු විසින් උඩ දිසාව යැ යි කියන ලද මහණ බමුණෝ උපස්ථිත වූවාහු, කරුණු සයෙකින් කුලපුතුට අනුග්‍රහ කෙරෙත්: පවින් වළකාලත්, පිණෙහි යොදාලත්, කලන සිතින් අනුග්‍රහ කෙරෙත්, නො ඇසූ විරූ දහම් අස්වත්, අසා ඇති දහම් (සැක දුරැලැවීමෙන්) පිරිසිදු කරවත්, සුගතියට මඟ කියත්. ගැහැවිපුත, මේ කරුණු සයින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කරන ලද්දාහු, මේ කරුණු සයින් කුපුතුට අනුග්‍රහ කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ උඩ දෙස නිරපද්‍රැත කොට, ප්‍රතිභය රහිත කොට, හවුරන ලද්දේ වෙයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා ගාථා බන්ධන විසින් අනෙකක් වූ මේ වචන වදාළ සේක:

මා පියෝ පෙර දෙස ය. ආචාර්යයෝ දකුණු දෙස ය, අඹුදරුවෝ පැසිම් දෙස ය, මිත්‍රාමාත්‍යයෝ උතුරු දෙස ය.

දැසි දස් කඹුරෝ යට දෙස ය, මහණ බමුණෝ උඩ දෙස ය. කුලයෙහි (කුලය රැක්මෙහි) සමර්ථ ස්වභාවය ඇති ගෘහස්ථ තෙමේ මේ ස දිසා නමඳනේය.

පණ්ඩිත වූ, සිල්වත්, සියුම් අරුත් දන්නා, වැටැහෙන නුවණැති, යටත් පැවැතුම් ඇති, හැඩි දැඩි නොවූ, එබඳු තැනැත්තේ යශස් ලබයි.

නැඟී සිටුනා (උට්ඨානවීර්ය යුක්ත) අලස නො වූ තැනැත්තේ ආපදාවන්හිදී නො සැලෙයි. අඛණ්ඩ වෘත්ති ඇති, ස්ථානොචිත ප්‍රඥා ඇති, එ බඳු තැනැත්තේ යශස් ලබයි.

සිවු සඟරාවතින් සංග්‍රහ කරන, මිතුරන් සොයන, වදාන්‍ය වූ, පහ වූ මසුරු බව ඇති, කරුණු දක්වා මඟ පෙන්වන, හික්මවන, පුන පුනා මඟ පෙන්වන, එබඳු තැනැත්තේ යශස් ලබයි.

දානය ද ප්‍රිය වචන ද මෙහි යම් අර්ථචර්‍ය්‍යාවෙක් වේ නම් එය ද, ඒ ඒ පුඟුලා කෙරෙහි සුදුසු පරිදි, ධර්මයන්හි සුදුසු පරිදි සමානාත්මතාව ද, යන මොහු යන්නාවූ රියකට එහි ඇණය මෙන් ලොවැ සඞ්ග්‍රහයෝ ය. මේ සංග්‍රහයෝ නො මැත්තාහු නම්, පුතුගේ කරුණින් මව හෝ පුතුගේ කරුණින් පියා හෝ බුහුමනක් හෝ පූජාවකේ හෝ නොලබන්නේ ය.

යම් හෙයෙකින් පණ්ඩිතයෝ මේ සඞ්ග්‍රහයන් මොනොවට දක්නාහු ද, එහයෙින් මහත්ත්වයට පැමිණෙත්. ඔහු සෙසු ලෝ වැස්සා විසින් පැසැසියැ යුත්තෝ ද වෙත්.”

18. මෙසේ වදාළ කල්හි ගැහැවිපුත් සිගාලක තෙමේ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, අභිකාන්ත යැ, වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම්සේ යටිකුරු කළ දැයක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ හෝ වේ ද, මුළා වූවක්හට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියන් රෑප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ සරණ යෙමි, ධර්මය ද භික්ෂුසඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට යව්දව් සරණ ගිය උවසක්හු කොට සලකන සේක් ව’ යි මේ වචන කී ය.

අට වැනි සිගාලක සූත්‍රය නිමියේ යැ. [1]

  1. https://www.thripitakaya.org/tipitakaya/Index/80?s=36
"https://si.wikipedia.org/w/index.php?title=සිඟාලෝවාද_සූත්‍රය&oldid=443795" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි