සාම්ප්‍රදායික සිංහල විවාහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(සිංහල විවාහය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
උඩරට මනාලිය

මානව ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යනයයන්හි අතිශය වැදගත් තේමාවක් වු 'විවාහය' නම් සංස්ථාව මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි, එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි . විශේෂයෙන්,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන නෛතික පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු වීමෙනි. ඒ අනුව විවාහය,සභ්‍ය සමාජයේ නීත්‍යානුකූල ක්‍රියාකාරී සංස්ථාවක් වී ඇත. විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අ‍න්‍යෝන්‍ය ‍ගෞරවය හා ‍‍ප්‍රේමය පදනම් කර‍ගෙන ගත කරන්නා වු චර්යා මාර්ගයක් වෙයි. එකී චර්යා පද්ධතිය විශ්වාසය ‍හෝ ආවේණික සම්ප්‍රදායන් මඟින් අනාදිමත් කාලයක සිට පැවතුණි. වර්ගයා‍ගේ ව්‍යාප්තිය පමණක් නොව ආදරය, ආරක්ෂාව, ශික්ෂණය ආදී චෛතසික ගුණ වගාවේ අර්ථ සිද්ධීන් රැසක් ඉටු කරන 'විවාහය' නම් සැබවින් ම සංකීර්ණ සංස්ථාවකි.

බොනිස්ලෝ මැලි‍නොවුස්කි වරක් පවසා ඇත්තේ; "විවාහය වු කලී දරුවන් බිහි කිරීම හා වැඩී ම පිළිබඳ ගිවිසුමක්" ලෙස යි. එලෙස විවාහය සම්බන්ධයෙන් නිර්වචන පළ වෙද්දී, නූතන සමාජ ලෝකය දෙස බැලූ කළ එය ස්වජාතික ද නැතිනම් විජාතික ද යන්න පවා නීර්ණය කළ නොහැකි තරමට සංකීර්ණත්වයට පත් ව තිබේ. නීති රීති ආදිය කාලානුරූපව වෙනසකට භාජනය වුවත් විචාර බුද්ධියකින් ක්‍රියා කිරීම වැදගත් සභ්‍යත්ව ලක්ෂණයකි. මේ අතර,සම්ප්‍රදායානුකූලව හෙළ කුළ සිරිතට අනුව යමින් පාවඩ ලා, ජයසක්හඬ මධ්‍යයේ, පතිකුලයට සපැමිණෙන සීංහල විවාහ මංග‍ලෝත්සව අද වුව මැනවින් දෘශ්‍යමාන වේ. එවැන්නකින් හෙළි වන්නේ අමුතුම ආකාරයේ හෙළ අනන්‍යතාවකි. එය සැබවින් ම 'සීංහල විවාහයක්' බවට දුටු දුටු දනන්ගේ නෙත් සිත් සපථ කරවන්නකි.

සිංහල විවාහ ක්‍රම[සංස්කරණය]

පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම් වේ.

  1. දීග විවාහ
  2. බින්න විවාහ

දීග විවාහ[සංස්කරණය]

ස්ත්‍රියක් සරණ පාවා දීම හෙවත් ස්වාමි පුරුෂයාගේ නිවසට ඇය කැන්දා ගෙන යාම දීග විවාහය යි. 1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශන අනුව දීග විවාහයකින් පියා සතු වස්තුව දුවට අහිමි වේ. එහෙත් පුරාණ නීතියට අනුව දීග ගිය දූවණියකට පියා සතු දේපළ(සිය අයිතිවාසිකම්) ලබා ගැනීමේ ක්‍රම පවතී. නමුදු, මෙය සදාචාරාත්මක ගැටළුවකි.

ක්‍රි.ව. 1660 දී, ලංකාවට ගොඩ බැස විසි වසරක් වාසය කළ රොබට් නොක්ස් සිංහලයන්ගේ සිරිත් විරිත් හා ගතිගුණ ආශ්‍රයෙන් ලියු ඓතිහාසික විස්තර‍යේ 16 වැනි සියවසේ, සිංහලයින්ගේ අවාහ-විවාහ සම්බන්ධව ලියූ කොටසක් පහත දැක්වෙන පරිදි 'එදා හෙළ දිව' කෘතියෙන් උපුටා ගන්නා ලදී.

"මනාලිය සිය ගෙදරට කැන්දා ගෙන ඒමෙන් පසු ස්‍වශක්ති ප්‍රමාණයෙන් මනාලයා සිය නිවසෙහි මංගල සාදයක් පිළියෙල කරන්නේය.දින කිහිපයකට පසු මනාලියගේ බන්ධූහු ආහාර අඩුක්කු කඳ බැඳ ගෙන නැතහොත් ගැල්වල පටවාගෙන මනාලිය බලන්නට මනාලයාගේ නිවසට පැමිණෙති. මෙදින ද සුළු උත්සවයක් වෙයි. එනම්, මනාලයා ස්ත්‍රිය ඇඳි වස්ත්‍රයෙන් කොණක් ගෙන, ස්ත්‍රිය අනෙක් කොණ ඇඳගෙන සිටියදී දෙදෙනාම තෙමී යන පරිද්දෙන් වතුර වත් කිරීමයි. මෙම අභිෂේකයෙන් පසු ඔවුහු ජීවිතාන්තය දක්වා, නැතහොත් හැකිතාක් කල්, එක්ව වාසය කිරීමට තදින්ම බැඳුණාහු වෙති."

බින්න විවාහ[සංස්කරණය]

පුරුෂයා ස්වකීය නිවසින් වෙන් ව ගොස් භාර්යාවගේ නිවසෙහි පදිංචියට යාමෙන් සිදු කරන විවාහය යි. යුරෝපීයන් පැමිණීමට පෙර සිට ම බින්න විවාහ මෙරට සමස්ථ සමාජය පුරා ම ව්‍යාප්ත ව පැවති බවට සාක්ෂි හමු වේ. එසේ ම,බින්න විවාහයට පත් වන ස්වාමි පුරුෂයින් ගිනි හුලක්, තල් අත්තක්,සැරයටියක්, සුදානම් කරගෙන සිටිය යුතු යැයි ග්‍රාමීය ව්‍යවහාරයේ පවතී. මෙම උපහාසාත්මක වැකියෙන් හැඟෙනුයේ බිරිඳගේ නිවසින් ඔහුට කුමන හෝ වෙලාවක ගෙයින් පිටවී යන්නට සිදු වේද කියා නොකියා කීමට යි.

මීට අවශේෂ විවාහ ක්‍රමයක් පිළිබඳව ද පුරාණ ලක් සමාජයෙන් හෙළි වේ.

එකගෙයි කෑම[සංස්කරණය]

පුරාණ සිංහල විවාහ ක්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලක එක් බිරිඳක් කැන්දා ගෙන ඒමේ විවාහ ක්‍රමයක් ද දක්නට ලැබු‍ණි. එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීම යි.මෙම විවාහ ක්‍රමය අනුව පවුලක වැඩිමහළු පිරිමි දරුවා දෙපාර්ෂවයේම ඥාති සමූහයාගේ එකගත්වයෙන් චාරිත්‍රානුකූලව බිරිදක් කැදවාගෙන එයි එලෙස පවුලේ වැඩිමහළු පිරිමි සහෝදරයා විසින් ආවාහ කරගත් බිරිද තමාගේද බිරිද ලෙස සලකා ලිංගික ඇසුර පැවැත්වීමට ඔහුට බාල සහෝදරයන් හය දෙනකු දක්වා පිරිසකට අවසර මෙම විවාහ ක්‍රමයේදී ලැබේ ඒ අනුව එකම පවුලේ පිරිමි සහෝදරයන් හත් දෙනකුට එක පොදු බිරිදක් සිටීම මෙම විවාහ ක්‍රමයේ ලක්ෂණයකි කෙසේ වෙතත් පවුලේ පිරිමි සහොදරයන් හතකට වඩා සිටීනම් ඔහුට වෙනත් බිරිදක් කැදවාගෙන ඒමට අවසර හිමිවිය අටවන සාමාජිකයාට පසු තවත් පිරිමි සහොදරයන් සිටීනම් පෙර පරිදි තම වැඩිමහල් සොයුරා(අටවන සාමාජිකයා)ආවාහ කරගත් බිරිද තමාගේ බිරිද ලෙස සලකා අඹුසැමි ඇසුර පැවැත්වීමට අවසර තිබිණ

මෙම විවාහ ක්‍රමයට අයත් විශේෂ ආචාර ධර්ම පද්ධතියක්ද පැවතිණ සැම විටම එකගෙයි කෑම විවාහ ක්‍රමයේ දී පුරුෂයන් සත් දෙනාම එකම පවුලකට අයත් විය යුතුවීම ඇතැම් විට සත් දෙනාට වඩා අඩු සාමාජිකයන් සිටින පවුල් ද මෙම විවාහ ත්‍රමය අනුගමනය කළහ පවුලේ පිරිමි සහෝදරයන් සත් දෙනකුට වඩා වැඩිනම් අට වැන්නාට වෙනත් බිරිදක් ආවාහ කරදීම බාල සහෝදරයෙකු මෙම ක්‍රමය යටතේ විවාහ කරගත් බිරිදක් තමාගේ බිරිද ලෙස සැලකීමට නොහැකිවීම එක් සොයුරකු තම බිරිද සමග අඹුසැමි ඇසුර පවත්වන විට අමුඩ ලේන්සුව උළුවස්ලේ තබා වෙනත් සහෝදරයෙකු එතැනට නොපැමිනෙන ලෙස සංඥා කිරීම අදී ආචාර ධර්ම පද්ධතියක් පැවතිණ අතීතයේ මෙසේ එකගෙයි කෑමේ විවාහයට සම්බන්ධවන ස්ත්‍රීන් ඉතා වාසනාවන්ත ස්ත්‍රීන් ලෙස සැලකීය මෙම විවාහ ක්‍රමය වර්තමාන සමාජයේ නොපවතින විවාහ ක්‍රමයකි

පොරොන්දම් බැලීම[සංස්කරණය]

පුරාණ ගැමියන් විසින් පවසන පරිදි පෙර භවයේ පතාගෙන එන අන්දම 'පෙර උන්දම්' පොරොන්දම් වී ඇතැයි පැවසේ. මෙය විවාහයේ පැවැත්ම මුල් කරගෙන කායික, මානසික හා ජීව විද්‍යාත්මක වශයෙන් ගැළපීමේ පරීක්ෂණයකි.ප්‍රථමයෙන්, නැකැත් පොරොන්දම් බැලීමබොහෝ සීංහල විවාහයන්හි සිදු කෙරේ.මෙය ධනය, බලය, සමගිය හා සැපය ගැළපේ ද, යන්න පිළිබඳ කෙරෙන්නා වූ පරීක්ෂණයකි.දශ පොරොන්දම් ගැළපීමෙන් ආරම්භව විසි පොරොන්දම් ආදී වශයෙන් පොරොන්දම් බැලීම සිදුවේ.

මංගල උත්සවය[සංස්කරණය]

අවාහ-විවාහවලදී සිංහලයෝ ස්වකීය කුලය ගැන විශේෂයෙන් පරික්ෂාකාරී වූහ.තමන්ගේ කුලයේම කෙනෙකු මිස පහත් යැයි සම්මත කුලයකින් ඔවුහු අවාහ-විවාහයට සම්බන්ධ නොවූහ.මෙවැනි තත්ත්වයන් නූතන සිංහල සමාජයන්හි වුව අවශේෂව පවතින බැව් විද්‍යමාන වනූ නියතය.

නැකැත් පත්‍රය[සංස්කරණය]

මනාලයාගේ පාර්ශවය විසින් මංගල දිනයට ප්‍රථමව මනාලියගේ පාර්ශවය වෙත මංගල දින‍යේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් රැගෙන යනු ලබයි.එය නැකැත් පත්‍රයයි.

මංගල්‍යාරාධනය[සංස්කරණය]

"නැකැත් දීමෙන් විවාහය ගිවිස ගත් පසු සතියකට දෙකකට පමණ කලින් දෙපාර්ශවයේ අය තම නෑයන්ගේ ගෙවල්වලට ගොස් මඟුල් කෑමට එන ලෙසට වැඩිහිටියෙකු ලවා ආරාධනය කෙරේ. පිත්තල හෙප්පුවක හෝ රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සු‍වකින් වසා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය." (ශ්‍රී ලංකා‍වේ විවාහ චාරිත්‍ර-සේනාරත්න,පී.ඇම්.)

මංගල පෝරුව[සංස්කරණය]

මංගල පෝරුව

පුරාණ සිංහල සමාජයන්හි නූතනයේ මෙන් කුලියට මංගල පෝරු නොවීය.එය ද මංගල්‍යයට දින කිහිපයකට පෙර සුභ හෝරාවකින් සෑදීම ආරම්භ කෙරේ.සුභ දිසාවට මුහුණලා සිටින සේ එය නිර්මාණය කෙරේ.එසේම, පෝරුව මතට පාවාඩ එළීම හා එයට උඩින් වියන් බැඳීම ග්‍රාමයන්හි හේන මාමා විසින් සිදු කෙරේ.නියම වූ සුභ මුහූර්තියෙන් මනාල යුවළ පෝරුවට නැංවීම සිදු කරනුයේ ඔවුනගේ මාමලා විසිනි.නියමිත දිසාව බලා පෝරුවට නංවන මොහොතේ මඟුල් බෙර වැයීම සිදූවේ.

පෝරු‍වේ චාරිත්‍ර ලෙසින් මනාලයා පළමුව සිය මනාලියට තැලි පිළි පළඳවයි. මනාලිය විසින් ද මනාලයාහට මුදුවක් පළඳවයි.ඉන් අනතුරුව,පවුලේ වැඩිහිටියෙකු විසින් දෙදෙනාගේ සුළැඟිලි පිරිත් නූලකින් බැඳ අත් පැන් වැඩීම සිදු කෙරේ.පසුව, මනාලිය විසින් තම මෑණියන්ට කිරිකඩ සේලයක් පිරිනමා,බුලත් හුරුල්ලක් දී ඇගේ දෙපා නමදියි.මනාලියගේ මව එය පිළිගනූයේ හිස මත තබා ගනිමිනි.යුවතිපති දෙදෙනාගේ සුළැඟිලි බැඳ අත් පැන් වඩන විට කන්‍යා ලඳුන් විසින් 'ජයමංගල ගාථා' කියනු ලබයි.එසේම, මේවායෙහි පළාතෙන් පළාතට ‍වෙනස් වූ ලක්ෂණ පෙන්නුම් කරයි.පෝරුවෙන් බසිනවාත් සමඟම පොල් ගෙඩියක් පිහියෙන් ගසා දෙපලූ කරයි.මෙය ගණ දෙවියන් උදෙසා කරන පූජාවක් ලෙස සැලකේ. එසේම,ඒ දෙස බලා පැරැන්නෝ විවිධ අනාවැකි පළ කරති.

විවාහ මංගල උත්සවය[සංස්කරණය]

මනාල පාර්ශවයේ පිරිස මනාලිය 'කැන්දන් ඒමට' නැකතකට අනුව පිටත් වේ.බොහෝ විට, එකී සිරිත් විරිත් සියල්ල සිදුවුයේ ආගමානුකූල චාරිත්‍ර ඉටු කිරිමෙන් අනතුරුවය. සීංහල විවාහ සම්බන්ධව සැලකීමේදී, නීතියෙන් යුග දිවියට ප්‍රවිශ්ඨ වූ බවක් කිසිදු තැනක සඳහන් නොවන කරුණකි. සිදුහත් කුමරුන්ගේ සරණ මංගල්‍යයේ සිටම, අවාහ-විවාහ සිදුවුව ද 'කසාඳ බැඳීම' යනුවෙන් නීතිගත ලියවිලි,රෙජිස්ටාර් කිරිම් පිළිබඳ අසන්නට නොමැත. එවැන්නක් ප්‍රථම වරට දෘශ්‍යමාන වනුයේ, විදේශිකයන් ලංකාව‍ට පැමිණීමෙන් අනතුරුවය.

අතීතයේ ජෝඩුව වෙනුවෙන් සුදු ගොන් හා ගෙජ්ජි බැඳි කරත්තයක් සරසන ලදී. සෙසු ඥාතීන් සඳහා වෙන වෙනම කරත්ත යොදා ගැණින.නමුදු අද වන විටඑකී තත්ත්වය කුලී මෝටර් රථ දක්වා වර්ධනය වී ඇත.මනාලිය කැන්දන් ඒමට මනාලයාගේ මව,පියා ඇතුළු හතරවරිගේ ප්‍රධාන නෑදෑයින් මෙ‍ම විවාහ මංගල උත්සවයට සහ-සම්බන්ධ වෙයි.

විවාහ මංගල්‍යය[සංස්කරණය]

මංගල භෝජනය[සංස්කරණය]

බිම පැදුරු මත වාඩි වී සාමූහිකව භුක්ති විඳි මංගල භෝජනය වත්මන වන විට, මේස පුටු සැරසිලි කරන ලද 'මඟුල් මඩුවක්' දක්වා වර්ධනය වී තිබේ. එදා මංගල පෝරුවෙන් බසින යුවති පති දෙපළ පළමුව සිදු කළ කාර්ය වූයේ, මංගල භෝජනය ගැනීමයි. මනාලයා සහ මනාලිය මෙහිදී එක බඳුනේ ආහාර ගත්තෝය.

මංගල භෝජන සංග්‍රහය අවස්ථා 04 කින් යුක්ත විය.

1.ලාදර බත: මඟුල් ගෙදරට උදව් පදව් කළ නෑදෑයන් වෙනුවෙන් දෙනුයේ;ලාදර බතයි.

2.ආදර බත: මංගල භෝජනයයි.

3.කෑදර බත: මඟුල් ගෙදරට වෙහෙස මහන්සි වූ නෑදෑ හිතවතුන් වෙනුවෙන් දෙනුයේ; කෑදර බත‍යි.

4.යෝදර බත: පසුදා මනාලයා දෙන විශේෂ බතයි.

යුවතිපති දෙපළට ආශිර්වාද[සංස්කරණය]

මංගල භෝජන‍යෙන් පසුව, ඈත අතීතයේ කවිකාර මඩුවක් පැවැත්විණි. එය පසු කලෙක කතා පැවැත්වීම, මනාලියට මනාලයාට අවවාද දීම්, සංග්‍රහ උදෙසා ස්තූතිය ප්‍රකාශ කිරීම්, අඩුපාඩු සඳහා සමාව භජනය කිරීම් ආදියෙන් සමන්විත සභාවක් බවට පත්ව තිබේ. මනාලිය, මනාලයාගේ මවට භාර දීම, මනාලියගේ මව, පියා ඇතුළු වැඩිහිටියන්ට වැඳ නමස්කාර කිරීම් එහිදී සිදුවේ.විශේෂයෙන්, මනාලිය කැන්දාගෙන යාමට ආසන්නව ඇය‍ට අවවාද දීම් අසන්නට, දකින්නට ලැබේ.

ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත කාව්‍ය ශේඛරයේ මංගල අවස්ථාවක පියකු දියණියකට දුන් අවවාද මෙසේ දැක්වේ.

"නොකියා සිය හිමිට , නැතිවද උතුරු සළු පට, ගමන් ඉක්මන් නොකොට, නොයන් නුඔ වසන ගෙන් පිටතට"

මංගල පෙරහැර[සංස්කරණය]

මනාලිය කැන්දාගෙන ‍යන මෙම මංගල පෙරහැර ඉතා අලංකාරවත් වූවකි. අසවලා අසවල් තැනින් කැන්දාගෙන ‍යන බැව් ඉන් සංකේතවත් කරයි. ප්‍රසිද්ධිය ගෙ‍නෙ‍න අංග මීට ඇතුළත්ය.

මනාලියගේ පාර්ශවයේ උත්සවය[සංස්කරණය]

සිය මනාලිය ස්වකීය නිවසට කැන්දාගෙන ඒමෙන් මනාලයාගේ පාර්ශවයේ උත්සවය ආරම්භ වේ. මෙය 'දෙවැනි ගමන් යාම' ලෙස සිංහල විවාහයන්හි දී හඳුන්වයි. එදා, අද මෙන් 'මධුසමය' සඳහා පිටත් ව යාමක් නොපැවතුනු අතර, මනාලියගේ නිවසින් මනාලයාගේ නිවස වෙත ගමන් ඇරඹීය. එතෙක්, තමා හැදුනු, වැඩුනු පරිසරයෙන් වියුක්තව මනාලිය එතැන් සි‍‍ට නව දිවියක් අරඔයි.

එලෙසින්, සීංහල විවාහ මංගලෝත්සවයක නිමාව සනිටුහන් වුව ද, යහපත් සමාජයක ඉදිරි පැවැත්ම නීර්ණය කෙරෙන සොඳුරු ගමන් මඟක‍ට කවුළු පියන් පත් ඉන් විවර වනු ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • කරුණරත්න,ඩේවිඩ්.(අනුවාදක),රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව,සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ සමාගම,කොළඹ,1962.
  • සේනාරත්න,පී.ඇම්.ශ්‍රී ලංකා‍‍වේ විවාහ චාරිත්‍ර,සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ සමාගම,කොළඹ,1999.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]