සිංහබාහු රජ
| සිංහබාහු රජ | |
|---|---|
| වල්ලභයා | සිංහසීවලී (සහෝදරිය) |
| දරුවන් | විජය රජ, සුමිත්තා |
| මව | සුප්පා දේවි |
සිංහබාහු විජය ගේ පියා වූ අතර සිංහපුර රජු විය.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික ලේඛනයක් මහාවංශයේ ලේඛනගත කොට ඇති ජනප්‍රවාදය අනුව, සිංහබාහු ගේ පියා සිංහයෙක් වූ අතර ඔහුගේ මව වංග (වඟු රට) කුමාරිකාවක් වූවාය. ඇගේ නම සුප්පා දේවිය යි. ඔහු ගේ අත් පා සිංහයකු ගේ පා මෙන් විය. ඔහුට සිංහසීවලී නමින් සොහොවිරියක් විය.
සුප්පා දේවිය සිය පිරිවර සමඟින් වනය මැදින් ගමන් කරද්දී මෙම සිංහයා පැමිණ පිරිවර පලවාහැර කුමරිය සිය පිට මත තබා වන වැදුණු බව කියැවේ. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බව ද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බව ද ජනප්‍රවාදවල කියැවේ. තම බිරිඳට හා දරු දෙදෙනාට ඇවැසි සියලු දේ සිංහයා සැපැයූ නමුදු සිංහ ගුහාවෙන් පිටතට යෑම ඔවුනට තහනම් විය. සිය පුතා වැඩිමහලු වූ කල සිංහ තෙම සිංහ ගුහාව විසල් ගලකින් අහුරා කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ හ යි පැවසේ.
සිංහබාහුට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සොහොවිරිය සමඟ වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමු ව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් වලට පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීය. පුතු දැකැ සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදාහළි. පළමු දෙවැනි හී පහර දෙකම සිංහයා ගේ ස්නේහය නිසාවෙන්ම නලලත වැදී බිම වැටිණි. පසුව සිංහයා කිපුණේය. තුන්වන හී සර සිංහයා ගේ හදවත පසාරු කළේය. එම "වීර" ක්‍රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුණු බව කියැවේ.
මෙය ප්‍රතික්ෂේප කළ හේ, තම මව ගේ ජන්ම භූමිය වන වංග රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවහ කොට ගෙන විසී ය. ඔවුනට දරුවන් තිස් දෙදෙනකු ලැබුණු අතර, වැඩිමලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය.