සැක්‍රිෆයිස් (2010 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
සැක්‍රිෆයිස්
අධ්‍යක්‍ෂණයචෙන් ‍කායිජ්
රචනයචෙන් කායිජ්
ෂාඕ නිංග්‍යු
නිශ්පාදනයරෙන් ෂොංග්ලුන්
ලොං ක්වියුයුන්
ක්වින් හොං
චෙන් හොං
රංගන ශිල්පීන්ගේ යූ
වං ෂුඒකි
ෆැන් බිංබිං
වින්සන්ට් ෂාඕ
හුවාං ෂියාඕමිං
සංස්කරණයඩෙරෙක් හුයි
සංගීතයමා ෂැංග්යූ
Production
companies
21 සෙන්චරි ෂෙංකායි ෆිල්ම්,
ෂැංහයි ෆිල්ම් ගෲප්,
ස්ටෙලාර් මෙගාමීඩියා,
TIK ෆිල්ම්ස්
බෙදාහැරීමස්ටෙලාර් මෙගාමීඩියා
නිකුත්වූ දිනය
4 දෙසැම්බර් 2010
තිර කාලය
මිනිත්තු
රටචීනය
භාෂාවමැන්ඩරින්
පිරිවැයඇ.ඩො. මිලියන 10
ආදායමඇ.ඩො. 29,093,560[1][2]

සැක්‍රිෆයිස් යනුවෙන් හැඳින්වෙන්නේ 2010දී ප්‍රදර්ශනය ඇරඹි චීන ඓතිහාසික නාට්‍යමය චිතපටයකි. චෙන් කායිජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගේ යූ, වං ෂුඒකි, හුවාං ෂියාඕමිං, ෆැන් බිංබිං සහ වින්සන්ට් ෂාඕ විසිනි. මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ ජි ජුන්ෂියාංගේ යුවාන් රාජවංශ සමයේ නාට්‍යයක් වූ ෂාඕහි අනාථයා නැමැති නිර්මාණයයි‍.[3] මෙය එක්සත් ජනපදය තුළ බෙදාහරින ලද්දේ සැමුවෙල් ගෝල්ඩ්වින් ෆිල්ම්ස් ආයතනය මගිනි.[4]

කථා පුවත[සංස්කරණය]

මෙම කථාව සඳහා පසුබිම් වී ඇත්තේ පුරාතන චීනයේ වසන්ත සහ සරත් යුගයේ ෂෞ රාජවංශයේ ආදිපාද රාජ්‍යයක් වූ ජින් රාජ්‍යයයි. ජින් රාජ්‍යයේ අමාත්‍යවරයා වන ෂාඕ දුන් සහ ඔහුගේ පුත් ෂාඕ ෂුවෝ සෙන්පතියා හට ටුවෑන් ගු සෙන්පතියා සමග ආරවුලක් ඇති වේ. ටුවෑන් ගු රහසේම ජින් ආදිපාදවයරා ඝාතනය කොට එහි වරද ෂාඕ පවුල වෙත පවරා, මුළු ෂාඕ පවුලම ඝාතනය කරවයි. ෂාඕ පවුලෙන් දිවි ගලවා ගන්නේ ෂාඕ ෂුවෝගේ ළදරු පුත් ෂාඕ වු පමණකි. ෂාඕ වුගේ මව වූ ෂුවාං ආර්යාව ආදිපාදවරයාගේ වැඩිමහල් සොයුරියයි. ෂුවාං ආර්යාව ටුවෑන් ගුගේ සහායකයා වූ හන් ජුඒ හට දරුවා බේරාගන්නා ලෙස පවසයි. අනතුරුව ඇය සියදිවි හානි කරගැනීමට පෙර වෙදැදුරකු වූ චෙං යිං හට දරුවාව ෂාඕ පවුලේ මිතුරකු වූ ගොංසුන් චුජියු වෙත භාරදෙන ලෙස පවසයි. කුඩා දරුවා පලාගොස් ඇති බව වටහා ගන්නා ටුවෑන් ගු කෝපයෙන් යුතුව හන් ජුඒ ගේ මුහුණට කඩුවෙන් හානි කරයි. අනතුරුව ටුවෑන් ගු නගරයේ දොරටු වසා නගරයේ අළුත උපන් ළදරුවන් සියල්ල රැස් කරවයි. මෙම සැලසුම ෂාඕ ළදරුවා හඳුනාගැනීම සඳහා විය. මෙහි දී ෂාඕ ළදරුවාව සඟවා ගෙන සිටි තැනැත්තා දරුවාව ඔහුට භාර නොදෙන බව ඔහු දැන සිටියේ ය. ඒ අනුව නගරයේ ඉතිරි වන ළදරුවා ෂාඕ ළදරුවා ලෙස වෙන් කරගැනීම ඔහුගේ අරමුණ විය.

චෙං යිං විසින් ෂාඕ වු ළදරුවා නිවසට රැගෙන එයි. නමුත් ඔහුගේ බිරිඳ දරුවාව සෙබලුන්ට භාර කරයි. අනතුරුව චෙං යිං, ‍ගොංසුන් චුජියු හට ඔහුගේ බිරිඳ සහ සැබෑ දරුවා (ෂාඕ වු ලෙස වෙස්වලාගත්) නගරයෙන් පිටතට රැගෙන යන මෙන් පවසයි. නගරය තුළ ටුවෑන් ගු ගෙන් ෂාඕ වු ළදරුවා නැවත ලබා ගැනීමට ඔහු කල්පනා කරයි. මේ අතර ටුවෑන් ගු චෙං යිං සැක කටයුතු පුද්ගලයකු බව සොයා ගනියි. නමුත් ගොංසුන් චුජියු විසින් ෂාඕ ළදරුවා නගරයෙන් පිටතට රැගෙන ගිය බවට චෙං මුසාවක් පවසයි. අනතුරුව ගොංසුන් චුජියුගේ නිවස වෙත හමුදා මෙහෙයවන ටුවෑන් ගු එහිදී චෙං යිංගේ බිරිඳ සහ පුත්‍රයාව සොයා ගනියි. නමුත් චෙං යිං‍ගේ පුත්‍රයා ෂාඕ ළදරුවා යැයි වරදවා වටහාගන්නා ටුවෑන් ගු විසින් දරුවා, ගොංසුන් චුජියු සහ චෙංගේ බිරිඳව මරා දමයි.

සිය පවුල විනාශ කොට තිබෙනු දැක කෝපයට පත් වන චෙං යිං මේ වෙනුවෙන් ටුවෑන් ගු ගෙන් පලි ගැනීමට අදහස් කරයි. ටුවෑන් ගුහට ව්‍යාජ පක්ෂපාතීත්වයක් පෙන්වන චෙං යිං, ෂාඕ වු ළදරුවාව ද තමන් සමග රැගෙන විත් ටුවෑන්ගේ නිවසේ සිට හදාවඩා ගනියි. ෂාඕ වු යනු චෙං යිංගේ පුත්‍රයා යැයි වරදවා වටහා ගන්නා ටුවෑන් ගු, දරුවාව සිය දෙව් දරුවා ලෙස හදාවඩා ගනියි. ටුවෑන් ගු ගේ භාරකාරීත්වය යටතේ ෂාඕ වු ක්‍රමයෙන් වැඩෙන අතර, ඔවුන් දෙදෙනා අතර සමීප බැඳීමක් ඇති වේ. මේ අතර චෙං යිං, විරූපී කළ හන් ජුඒ මහග ද සමීප මිත්‍රත්වයක් ගොඩනගා ගන්නා අතර, ඔවුහු ෂාඕ වුට ඔහුගේ පවුලේ පලිය ගැනීමට උපකාර කිරීමට රහස් සැලසුමක් සකසති.

එක් දිනෙක, ෂාඕ වුව පසුගිය වසර 15 පුරා හදාවඩා ගත් ටුවෑන් ගු යනු වෙන කිසිවකුවත් නොව ඔහුගේ දෙමව්පියන්ගේ මිනීමරුවා බව චෙං යිං, ෂාඕ වු හට හෙළි කරයි. ෂාඕ ‍වු මෙම සත්‍යය පිළිගන්නට සූදානම් නැත. නමුත් චෙං යිං ඔහුගේම පුත්‍රයාව බිලි දී ෂාඕව බේරාගත් අයුරු හන් ජුඒ විසින් හෙළි කිරීමත් සමග, ෂාඕ වු සිය අදහස වෙනස් කරගනියි. ෂාඕ වු සහ චෙං යිං අවසානයේ ටුවෑන් ගුට එරෙහි වෙති. ෂාඕ ගේ පෙනුව ෂාඕ ෂුවෝට බෙහෙවින් සමාන ස්වරූපයක් ගෙන තිබූ හෙයින්, ටුවෑන් ගු ඔහුගේ අනන්‍යතාවය වටහා ගෙන තිබිණි. ෂාඕ වු සම ටුවෑන් ගු අසිපත් ගෙන සටනක නිරත වුවද, එය ටුවෑන් ගුට තරගයක් නොවී ය. මෙම භයානක අවස්ථාවේ ෂාඕ වු හට, ටුවෑන් ගුව පිහියෙන් ඇණ මරණයට පත් කිරීමට අවස්ථාවක් ලබා දීම පිණිස චෙං යිං සිය දිවිය පූජා කරයි. චිත්‍රපටය අවසන් වන්නේ මිය යන චෙං යිං නැවත සිය පවුල සමග එක්වනු සිහිනයෙන් දිස්වීමත් සමගයි.

චරිත නිරූපණය[සංස්කරණය]

  • ගේ යූ, චෙං යි (程婴) ලෙස; වෙදැදුරුවරයෙකි.
  • වං ෂුඒකි, ටුවෑන් ගු (屠岸贾) ලෙස; සෙන්පතියෙකි.
  • ෂැං ෆෙංයි, ගොංසුන් චුජියු (公孙杵臼) ලෙස; ෂාඕ පවුලේ මිතුරු නිලධාරියෙකි.
  • වින්සන්ට් ෂාඕ, ෂාඕ ෂුවෝ (赵朔) ලෙස; සෙන්පතියකු සහ ෂාඕ දුන්ගේ පුත්‍රයායි.
  • ෆැන් බිංබිං, ෂුවාං ආර්යාව (庄姬) ලෙස; ෂාඕ ෂුවෝගේ බිරිඳ සහ ලිං ආදිපාදවරයාගේ සොයුරියයි.
  • හුවාං ෂියාඕමිං, හන් ජුඒ (韩厥) ලෙස; ටුවෑන් ගුගේ සහායකයායි.
  • බාඕ ගුවෝඅන්, ෂාඕ දුන් (赵盾) ලෙස; අමාත්‍යවරයායි.
  • පෙං බෝ, ජින්හි ලිං ආදිපාද (晋灵公) ලෙස; ජින්හි පාලකයායි.
  • ලි දොංෂුවේ, ටිමි මිං (提弥明) ලෙස; ෂාඕ දුන්ගේ ආරක්ෂකයායි.
  • ෂාඕ වෙන්හාඕ, ෂාඕ වු (赵武); ෂාඕ පවුලේ අනාථ දරුවායි.
    • වං හන්, ළමා ෂාඕ වු ලෙස
  • හායි ක්විං, චෙං යිංගේ බිරිඳ ලෙස

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "සැක්‍රිෆයිස් (2012)". බොක්ස් ඔෆීස් මෝජෝ. 2012-08-09. සම්ප්‍රවේශය 2014-07-29.
  2. "සැක්‍රිෆයිස් (2010)". Boxofficemojo.com. සම්ප්‍රවේශය 2014-07-29.
  3. ලී, මැගී (11 ජනවාරි 2011). "සැක්‍රිෆයිස් -- ෆිල්ම් රීවිව්". ද හොලිවුඩ් රිපෝටර්. {{cite web}}: Invalid |ref=harv (help)
  4. ෆ්ලෙමිං, මයික්. "ගෝල්ඩ්වින් ඇක්වයර්ස් චෙන් කායිජ්'ස් 'සැක්‍රිෆයිස්'". Deadline.com. සම්ප්‍රවේශය 2014-07-29.

බාහිර සබැඳි[සංස්කරණය]