Jump to content

සාස් රෝගය

විකිපීඩියා වෙතින්

උග්‍ර ශ්වසන රෝග සින්ඩ්‍රෝමය හෙවත් Sever acute respiratory syndrome (SARS) යනු SARS කොරෝනා වෛරසය මගින් (SARS – CoV) මිනිසුන්ට ඇති කරන ශ්වසන රෝගයකි. 2002 නොවැම්බර් මාසයේ සිට 2003 ජුලි මාසය අතර කාලය තුළ මෙමගින් වසංගත රෝග තත්ත්වයක් ඇති වූ අතර එමගින් රෝගීන් 8096 දෙනෙක් ආසාදනයට ලක් වූ අතර මරණ 774 ක් සිදු වුණි. (මරණ අනුපාතිකය 9.6% ක් වුණි.) මෙම දත්ත 2004 අප්‍රේල් 21 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන ලද ඒවාය.


රෝග ලක්ෂණ

[සංස්කරණය]

මුල්ම අවස්ථාවලදී ඇති වන රෝග ලක්ෂණ වනුයේ උණ, ඇගපතෙහි ඇතිවන කැක්කුම, කම්මැලිකම, ආහාර ජීරණ පද්ධතියේ ඇති වන රෝග ලක්ෂණ, කැස්ස, උගුරෙහි ඇති වන වේදනාව සහ වෙනත් විශේෂ නොවූ රෝග ලක්ෂණයන්ය. සියළුම සාර්ස් රෝගීන්ට ඇතිවන පොදු රෝග ලක්ෂණය වනුයේ 380C (100.40F) ට වඩා ඉහළ මට්ටමකට හටගන්නා උණයි. රෝගයෙන් පසු අවධිවලදී හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වේ. රෝග ලක්ෂණ ඇති වනුයේ අදාල රෝග කාරක වෛරසයට නිරාවරණය වී දින 2 සිට 3 අතර කාලයක් ගත වූ පසුව වන අතර නමුත් දින 13 කට පසුව පමණ කාලයකට පසුව වුවද රෝගය ඇති වූ බවට වාර්තා වී ඇත. බොහෝ අවස්ථාවලදී රෝග ලක්ෂණ ඇති වනුයේ දින 2 සිට 3 අතර කාලයකදීය. මෙම රෝගීන්ගෙන් 10 % සිට 20% අතර සංඛ්‍යාවට කෘතිමව යන්ත්‍රයක් මගින් ශ්වසනය ලබාදීම අවශ්‍ය වේ.


රෝග විමර්ශන ක්‍රම

[සංස්කරණය]

සාර්ස් රෝගීන්ගේ පපුවෙහි ලබාගන්නා එක්ස් කිරණ ඡායා රූප එක් එක් රෝගියා‍ට අනුව වෙනස් වේ. සාර්ස් රෝගය සදහාම ආවේනික පිහිටුමක් ගන්නා එක්ස් කිරණ ප්‍රතිබිම්භයක් නොමැති අතර පෙනහළුවල ඕනෑම කොටසක තැනින් තැන ඇතිවන අසාමාන්‍ය පිහිටීම් පොදුවේ දක්නට ඇත. රෝගය ඇති වී මුල් අවස්ථාවලදී ලබාගන්නා පපුවෙහි එක්ස් කිරණ ඡායා පිටපත නිරෝගී එකක් විය හැකිය.

බොහෝ අවස්ථා වලදී රුධිරයෙහි සුදු රුධිර සෛල සහ රුධිර පට්ටිකා‍ ප්‍රමාණය පහත බසියි. රෝගය මුල් අවස්ථාවලදී සුදු රුධිරාණුවල නියුට්‍රෝෆීල ප්‍රමාණය ඉහළ යන අතර එයට සාපේක්ෂව වසා සෛල ප්‍රමාණය පහත බැසීමෙන් සමස්තයක් වශයෙන් ගත් කළ සම්පුර්ණ සුදු රුධිරාණු ප්‍රමාණය පහත බසී. අනෙකුත් විද්‍යාගාර පරීක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ලැක්ටේට් ඩිහයිඩ්‍රජනේස් , ක්‍රියටිනීන් කයිනෙස් යන එන්සයිම හා C – Reactive protein ප්‍රමාණය එහිදී ඉහළ යන බවයි.


රෝග නිර්ණයකට එළඹිය හැකි පරීක්ෂණ

[සංස්කරණය]

2003 වසරේ අප්‍රේල් 12 වනදා සාර්ස් ඇති කිරීමට හේතු කාරක වන කොරෝනා වෛරසයෙහි ආර්.එන්.ඒ. පිහිටුම සොයා ගැනීමත් සමගම රෝගය නිෂ්චිතවම නිර්ණය කරගැනීම සදහා භාවිතා කළ හැකි රෝග නිර්ණය කිරීමේ කට්ටල නිෂ්පාදනය කර ඇති අතර ඒවායෙහි භාවිතය පිළිබදව අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවති.

රෝග නිර්ණය කර ගැනීමේ ක්‍රමෝපායන් තුනක් මේ වන විට බිහිවී ඇත. ඉන් පළමු වැන්න වනුයේ ELISA (enzyme-linked immunosorbent assay) හෙවත් සාර්ස්වලට එරෙහිව සිරුර තුළ නිෂ්පාදනය කර ගන්නා ලද ප්‍රතිදේහ හදුනා ගැනීමට යොදා ගන්නා ලද පරීක්ෂණයයි. නමුත් මෙය වලංගු වනුයේ රෝග ලක්ෂණ ඇති වී දින 21 කට පසුවය. දෙවැන්න වනුයේ රෝග ලක්ෂණ ඇති වී දින 10 කට පසුව ප්‍රතිදේහ හදුනාගත හැකි Immunofluorescence assay නම් පරීක්ෂණ වන අතර මෙය සදහා විශේෂිත අන්වීක්ෂයක් හා එය ක්‍රියාකරවීම සදහා පුහුණුව ලද ක්‍රියාකරවන්නෙකු අවශ්‍ය වන බැවින් වැඩි මුදලක් සහ ශ්‍රමයක් වැය කර සිදු කළ යුතු පරීක්ෂණයකි. අවසාන පරීක්ෂණය වන්නේ Polymerase Chain reaction (PCR) පරීක්ෂණය වන අතර එය මගින් රෝගියෙකුගේ, රුධිරය, සෙම, පටක සාම්පල හා මළපහවල අන්තර්ගත සාර්ස් වෛරසයෙහි ප්‍රවේනික ද්‍රව්‍ය හදුනා ගත හැකිය. මෙම පරීක්ෂණය සුවිශේෂ එකක් වන නමුත් එහි සංවේගතාවය එතරම් ඉහළ නොවේ. මෙමගින් අදහස් වනුයේ PCR පරීක්ෂණය සදහා ඉතා තදින් ප්‍රතිචාර දක්වන පුද්ගලයෙකු සාර්ස් රෝගය ඇත්තෙකු ලෙසට නම් කළ හැකි නමුත් එම පරීක්ෂණය සදහා ප්‍රතිචාර නොදක්වන රෝගියෙකු හට සාර්ස් රෝගය නොමැති බවට තහවුරු කළ නොහැක.


http://en.wikipedia.org/wiki/Severe_acute_respiratory_syndrome

"https://si.wikipedia.org/w/index.php?title=සාස්_රෝගය&oldid=469909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි